IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘ඔහු අහෝසි වුණේ නෑ, ඒ යුගය නිමාවුණා’

ආරියදාස ආලෝචනා - 2

 

කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා, මීට සත් දිනකට ඉහත දී දිවිගමනින් සමුගෙන නික්ම ගියේය. වර්තමානය සමඟ සංසන්දනාත්මක විමසා බලන කල, ඔහු ජීවත් වූ යුගය හඳුනාගත හැක්කේ බුද්ධිවාදයේ යුගය නොඑසේ නම්, නූතනයට අවතීර්ණවීමේ යුගය ලෙසිනි. දත්ත පද්ධතියක් වශයෙන් පුද්ගලයකු ඉස්මතු වූ තත් යුගය, නූතනය හා ගළපාගත හැක්කේ කෙසේද? ඔහු නියෝජනය කළ යුග අනන්‍යතාව කවරක්ද?

එඩ්වින් ආරියදාස මහතා හෙඹවූ විවිධ භූමිකා පිළිබඳව ඒ ඒ විෂයන්හි ප්‍රාමාණික වියතුන් තිදෙනෙකුගේ මත සහ මතක විමසුමක් මෙහි පළමු කොටසින් පළකරන්නට යෙදිණි. එම සංවාදයෙහි දෙවන කොටස මෙම ලිපියෙහි එයි.

හෙළහවුලේ සකසුරු, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය  ගනුෂ්ක රන්දුල (භාෂා නිරුක්ති සම්බන්ධයෙන්)

“එඩ්වින් ආරියදාස මහතා හෙළ හවුලේ සාමාජිකයකු නොවුණත් නිවැරදි සිංහලය භාවිත කළා. ඔහුගේ අරිසෙන් අහුබුදු, විනී විතාරණ වැනි වියතුන් එතුමාව හැඳින්වූයේ, ‘එඩී වින් අරී දස්’ ලෙසින්. ඔවුන් ඕනෑම නමක් සිංහල කළා. ආරියදාස මහතාගේ නම ඒවිදියට ඔවුන් හැඳින්වුවා. ‘එඩී වින්’ කිව්වේ එඩිතර හැඟුම් ඇති කියන අදහසින්. ‘අරී දස්’ කිව්වෙ ආරියදාස කියන එතුමාගෙ නම හැඳින්වීමට. එතුමා කටවහරින් භාෂාව පරිණාමය වන විදිය ගැන කතා කළා. ඔහු කිව්වා ‘කටවහරේ තියෙනවා ඇතැම් වචන, අපි නොතකා හැරලා තියෙනවා අව්‍යක්තයි, ග්‍රාම්‍යයි කියලා. නමුත් ඒ වචන ගැන වැඩිදුරටත් අර්ථ නිරුක්ති හොයාගෙන ගියාම සමාජයේ, සංස්කෘතියේ සහ භාෂාවේ වැදගත් ඉතිහාසයක් අහුවෙනවා’ කියලා.

හෙළහවුලේ සකසුරු ගනුෂ්ක රන්දුල

මේ බව පැහැදිලි කරන්න ඔහු උදාහරණ දෙකක් කිව්වා. දවසක් ගමනක් යන්න ඔහු ත්‍රිරෝද රථයක් නැවැත්තුවලු. රියදුරා ආරියදාස මහතාගේ මුහුණ දිහා මද වෙලාවක් බලාගෙන ඉඳලා කිව්වලු, ‘මහත්තය නේද එඩ්වින් ආරියදාස’ කියලා. එතුමා කිව්වලු ‘ඔව්’ කියලා. රියදුරු එතකොට කිව්වලු ‘ඒකතමයි, මට මේ ඩයල් එක පුරුදුයි’ කියලා. ‘ඩයල්’ එක කියන්නෙ ඔරලෝසුවේ මුහුණතටනෙ. ඔරලෝසුවෙ වර්ගය හඳුනාගන්න පුලුවන් මුහුණත බැලුවම. එතකොට එතන තියෙනවා අර්ථ පරිණාමයක්. ඒ කතාව හරි. අපි ‘ඩයල්’ කියල පාවිච්චි කරනව අදටත් මනුස්සයන් සම්බන්ධයෙන්. එතුමා තවත් වදනක් කිව්වා. ඉවරයක් නොවන වැඩවලට කියනව ‘දහි රිය වාට්ටුව’ කියලා. එතුමා මුලින් හිතුවෙ ධෛර්ය කියන අදහසින් ඒනම යොදන්නට ඇති කියලාලු. නමුත්, මේ වාට්ටුවකුත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියල ඔහු හිතුවාලු. පසුව කල්පනා වුණාලු දහරිය කියල කිව්වෙ, ‘ඩයරියා’පාචනයට ඉංග්‍රීසි බසින් කියන නම කියලා. ඉවරයක් නැති කරදර තියන ලෙඩක්නෙ පාචනයත්. ඒවගේ ඉවරයක් නැති කරදරකාරි කටයුතුවලට ‘දහි රිය වාට්ටුව’ කියලා කියනවා කියල එතුමා කිව්වා. මේ වචනය ඉංග්‍රීසි යටත්විජිත යුගයේ ඇතිවුණු එකක්. ඔරලෝසු මුහුණත් ආදියත් එසේමයි. මේ නිසා අපිට අලුත් වාග් ව්‍යවහාර ඇතිවෙලා තියෙනවා. සන්නිවේදනය ලස්සන කරන්න අපි යෙදුම් අපි ඇසුරෙහිම තියන බව ඔහු කිව්වා. ඒ වගේම ඒ වචන වැරදිය හෝ ඒ වචන තුරන් කර වෙන වචන ඕනෑය හෝ ඒ මිනිසුන්ට අපි කතාකරන වචන හුරුකරවන්න ඕනෑය කියල එතුමා කිව්වෙත් නැහැ. භාෂාව දරදඬුව, කෘතිමව, අස්වාභාවිකව පාලනය කරන්න ඔහු උත්සාහ කළේ නැහැ”

සිනමා විචාරක, තිර පිටපත් රචක බූපති නලින් වික්‍රමගේ (සිනමා විචාරයෙකු සහ දත්ත පද්ධතියක් වශයෙන්)

“ලංකාවේ සිනමා විචාරයේ විවිධ ධාරාවන් තිබෙනවා. ඉස්සර පාවිච්චි කළා වචනයක් ‘මතවාදය’ කියලා, මතවාදී විචාරකයන් කියලා. දැන් ඒකම කියන්නෙ ‘දෘෂ්ටිවාදී’ විචාරකයන් කියලා.

වම් ඉවුරේ සිනමාව වෙනුවෙන් පෙනී ඉන්න පිරිසක් ඉන්නවා. ‘සිනෙසිත්’ සඟරාවෙන් එම පිරිසව නම් කළේ වම් ඉවුරේ සිනමා විචාරකයන් ලෙසට. ඔවුන් වාමාංශික, යම්කිසි විදියක මාක්ස්වාදී අදහසක් එක්ක සිනමා විචාරයේ යෙදුණු අය. එහෙම අය ඉස්සර ඉඳන් හිටියා. පියල් සෝමරත්න, ගුණසිරි සිල්වා, සුචරිත ගම්ලත්, ඒ.ජේ.ගුණවර්ධන, දීප්ති කුමාර ගුණරත්න දක්වා පිරිසක් හිටියා. අනෙක් පැත්තෙන් සිනමා සෞන්දර්ය පැත්තෙන් විචාරය කරන පිරිසක් හිටියා. උදාහරණයක් විදියට චන්දන සිල්වා‍.

චන්දන සිල්වා සිනමා තාක්ෂණය සහ භාෂාව ගැන දැනුවත් සහ උනන්දු කෙනෙක්. ඔහු සිනමා ඡායාරූප ශිල්පියෙක්. කෘති ගණනක් සිනමාවට අදාළව පළකරලත් තිබෙනවා. ඔහු විචාරය කරන්නෙ සෞන්දර්ය රීතිත් එක්කයි. තිස්ස අබේසේකරත් ඒ වර්ගයේ කෙනෙක්. ඔහු චන්දන තරම් නොලියූවත්, බලපෑම් සහගතව සම්මුඛ සාකච්ඡාවලදි කිව්වා සහ කෘතිවලට ලිව්වා. ඔහුත් සිනමා භාෂාව සම්බන්ධව සිටි කෙනෙක්. ඒ ධාරාවේ අලුත් කෙනෙක් තමයි ගාමිණී විජේතුංග. එයා සිනමාව කතාකළේ දර්ශනයත් එක්කයි. මේ ධාරා දෙකටම දාන්න බැහැ එඩ්වින් ආරියදාසව. මට හිතෙන්නෙ එඩ්වින් ආරියදාස මතවාදයක් පළ කළ විචාරයෙකු නෙමෙයි. ඔහු මාධ්‍යවේදියෙකු විදියට සිනමාව ගැන තමන්ගෙ අදහස් පළකළ අයෙක්. සිනමා විචාරය සම්බන්ධයෙන් නිශ්චිත මූලධර්මයක් තිබුණේ නැහැ.

සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ

එහෙම විචාරකයන් ලංකාවේ හිටියා. ගාමිණී වේරගමත් එවැනි විචාරකයෙක්. ඔහුත් විශාල වශයෙන් සිනමා භාෂාව සම්බන්ධයෙන් දැනසිටියේ නැහැ. ඊ.එම්.වී. එදිරිසිංහ කියලා විචාරකයෙක් ඉස්සර හිටියා. ඔහු පුවත්පත්වලට ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලිව්වා. ඒ වගේම සාහිත්‍ය විචාරය කරන අයත් සිනමා විචාරය කළා. මාර්ටින් වික්‍රමසිංහගේ සිටම එවැනි පිරිසක් හිටියා.

මේ දෙක දෙකක්. සාහිත්‍ය විචාරයක් වෙනම තියෙනවා. සිනමා සෞන්දර්ය විචාරයක් වෙනම තියෙනවා. දේශපාලනික සිනමා විචාරයක් වෙනම තියෙනවා. මේ එකකටත් එඩ්වින් ආරියදාසව ඇතුළත් කරන්න බැහැ. මගේ වර්ගීකරණය ඇතුළෙදි නම් ඔහු සිනමා විචාරකයෙකු නෙමෙයි. සිනමා විචාරය කළාට, සිනමාවේ මූලධර්ම නෙවෙයි, ඔහු ලියුවේ සිනමාව පිළිබඳ තොරතුරුයි. තොරතුරු සහ අදහස් ඉදිරිපත් කිරීම විචාරය නෙමෙයි.සිනමාපටයක් යනු කුමක්ද කියල ඇහුවොත් අර කී ධාරාවන්ගේ නියුතු පිරිසට නිශ්චිත මතයක්, ස්ථාවරයක්, විචාරයක් තිබුණා. අපි ගත්තොත් අපිට දෘෂ්ටිවාදී ස්ථාවර තියෙනවා.

සිනෙසිත් වගේ සිනමා සඟරා කියෙව්වාම තේරෙනවා, ඇතැම් විචාරකයන් චිත්‍රපටි බලල නෙමෙයි විචාර ලියල තියෙන්නෙ කියලා. ඔවුන් සඟරා කියවලයි ලියල තියෙන්නෙ. ඔප්පු කරගන්න විදියක් නෑ. මට තියන අනික් ප්‍රශ්නය තමයි ඒකාලේ එයාලා චිත්‍රපටි හොයාගත්තෙ කොහොමද කියන එක, වීඩියෝ පටිගත කිරීමේ කැසට් තාක්ෂණය(වීඑච්එස්) තිබුණෙත් නැතිව. අනිවාර්යෙන් මිලිමීටර් 35 රීල් එක බලන්න ම ඕන ඒ විචාර ලියන්න නම්. බලන්න විදියක් නෑ. ඉංග්‍රීසි සඟරාවක් හෝ පත්තරයක් ගෙන්නගෙන, ඒක බලල පරිවර්තනය කරලා, තමන් ලියූවා සේ ලියල තියෙනවා කියලයි මට හැඟෙන්නෙ. ලංකාවෙ ඒ විචාර ලියපු චිත්‍රපටි පෙන්නලත් නෑ කවදාවත්. නමුත් මම මේක වරදක් විදියට දකින්නෙත් නැහැ. අපි මේ දේ කියන්නෙ 2021දිනේ. මම හිටිය නම් 80 ගණන්වල මමත් ඒක කරයි. ඒකාලේ මිනිස්සු විශාල ප්‍රමාණයක් සිනමාව ගැන දැනුවත් වුණේ එහෙම තමා.

මට මතකයි වරක් ඔහු මහවැලි කේන්ද්‍රයේ තිබුණු උත්සවයකදි කිව්වා, ‘ඉස්සර මිනිස්සු හරි කඩිසරයි, දැන් මිනිස්සු එහෙම නෑ’ කියලා. මම නැගිටලා කෑගැහුවා, ‘එඩ්වින් ආරියදාස කියන්නෙ ඇවිදින පුස්තකාලයක් බව කියන කතාව ඇත්ත, මොකද හෙල්ලිච්ච දැනුමක් තියෙන්නෙ’ කියලා. ඒ කාලෙ මම තරුණයි, විවේචනය කළා සෘජුවම. මම එහෙම කතාකළාට පස්සෙ, ඔහු මාව හොයලා තිබුණා. ඔහු කිව්ව, ‘පුතා හරි හොඳයිනෙ. ඔයා වගේ තරුණයෝ ප්‍රශ්න කරන්න ඕන. මොකක්ද පුතා ඔයා ඒ කිව්වෙ. තත්පරයට රාමු 16ද’ කියල ඔහු ඒක පොතක එවෙලෙ ලියාගත්තා. මිනිසුන් සම්බන්ධව ඔහුට පෞද්ගලික කැපිලි තිබුණෙ නැහැ.

එඩ්වින් ආරියදාසගේ යුගය කියන්නේ නූතනත්වයේ යුගය. බුද්ධිවාදයේ යුගය. ආරියදාස මහතා විශාල දත්ත පද්ධතියක්නෙ. ඔහු බුද්ධිමය පද්ධතියක්. කෞතුක ගබඩාවක්. තොරතුරු දැනගැනීමේ යුගයක්. අපි කවුරුත් විශ්වාස කරන්නෙ නෑ අපිට තොරතුරු කටපාඩම් තියෙන්න ඕනෙ කියලා. ඒක ඒයුගයේ අවශ්‍යතාවක් වුණාට දැන් ඒක, උපාංගයක වගකීමක් වෙලා. පරිගණකයක, කෘතිම බුද්ධියක වගකීමක් පමණයි. පැරණි පරම්පාරවේ අයට එඩ්වින් ආරියදාස විශාල ගබඩාවක් වුණාට වර්තමානයේ ඒ දේ එහෙම නෙමෙයි. සේරම කටපාඩම් කෙනෙක්ව අද අවශ්‍ය නැහැ. මං හිතන්නෙ ඔහු අහෝසි වුණා නෙමෙයි, ඔහු නියෝජනය කළ යුගය අහෝසි වුණා කියලයි. එය ඔහුගේ ගැටලුවක් නෙමෙයි. මතවාදීමය වශයෙන් කැක්කුමක් ඔහුට තිබුණේ නැහැ කියලයි මම හිතන්නෙ. ඔහු මනුෂ්‍යයකු විදියට වැදගත්. මනුෂ්‍යයකු විදියට ඔහු ගැන මට කිසිම විවේචනයකුත් නැහැ. මම උසස්පෙළ කරද්දි තොරතුරු ගත්තෙ අන්තර්ජාලයෙන්. ඒනිසා තොරතුරු ලබාගන්න ක්‍රම තිබුණා. එක අතකින් ඒක ශිෂ්ටාචාරයේ ඛේදවාචකයක්. තොරතුරු ගබඩාවක් වුණ මනුස්සයෙක්ව නූතනයෙදි වැඩක් නැති වීම එක්තරා විදියකින් විරුද්ධාභාසයක් කියල හිතෙනවා. මේ බව ආරියදාස මහතා මිය ගිය මොහොතේ වුණු සිදුවීමකිනුත් පැහැදිලි වුණා.

එක්තරා ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි කියල පින්තූරය පළ කළේ මාර්ටින් වික්‍රමසිංහගේ. ඒකියන්නෙ ඒ ආයතනයේ සිටින අය මාර්ටින් වික්‍රමසිංහ අඳුරන්නෙත් නෑ, එඩ්වින් ආරියදාස අඳුරන්නෙත් නෑ. කවුරුත් තනිවම පුවත් පළකරන්නෙ නැහැනෙ. එතන සංස්කාරකවරයෙක් ඉන්නවා. නිරීක්ෂණය කරන්න අය ඉන්නවා. ක්‍රියාදාමයකින් පසුවනේ පුවතක් ලෙස පළවෙන්නෙ. මේ සිදුවීම උපහාසාත්මක නැද්ද? ජනමාධ්‍ය, තොරතුරු පිළිබඳ දත්ත පද්ධතියක් වුණු ආරියදාස මහතා මිය ගියාම ඒ පුවත පළ කරන මාධ්‍ය ආයතනය විසින් ඔහුගේ පින්තූරය වෙනුවෙට වෙනත් අයෙකුගේ පින්තූරයක් පළකිරීම උපහාසාත්මකයි. අපි කියන විදියට කෘතිම බුද්ධිය ඇවිත්, දැනුමෙන් දැන් පිරිල නම් මේ යුගය තියෙන්නෙ මෙවැනි දෙයක් වෙන්න පුලුවන්ද? ඒකයි මම කියන්නෙ යුගයේ ඛේදවාචකයත් මෙතන තියෙනව කියලා”

කැලණිය විශ්වවිද්‍යාලයේ, සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ (ද්වීභාෂික උගතෙකු වශයෙන්)

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ

“යටත්විජිත යුගයේ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර පීඨ හැඩගැහුණේ විශාල වශයෙන් ජාත්‍යන්තර නිර්ණායක මත පදනම් වෙලා. ඒනිසා ඒ භාෂා ඥානය, ඉංග්‍රීසි භාෂා ඥානය රට තුළ පැතිර ගියා. ඉංග්‍රීසි පමණක් නොවේ පාලි, සංස්කෘත, සිංහල ආදි ඕනෑම විෂයක් ඉගෙනගන්න කෙනෙකුට අද තියන ක්‍රම වේදයට වඩා පළල් ජාත්‍යන්තර ක්‍රමවේදයක් තුළයි එය ඉගෙනගත යුතු වුණේ. ඒනිසා ඒ අධ්‍යාපන ක්‍රමය තුළ ද්වීභාෂික අධ්‍යාපන ක්‍රමය ඔවුන්ට හොඳින් ලැබුණා. මේ කියන්නෙ ඉංග්‍රීසි උගැන්වීම කියන කාරණය පමණක් නොවේ. ඉංග්‍රීසි ඉගැන්වීම අධ්‍යාපන ක්‍රමය ඇතුළේම තිබුණා. නිසදැස් කවිය බුද්ධිවාදී කවියක් බවට පත් කළ සිරි ගුණසිංහ වැනි අයගේ සමකාලීනයකු වූ එඩ්වින් ආරියදාස ඒකාලේම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ගාල්ලේ සිට පැමිණියත්, ඉංග්‍රීසි හැදෑරුවත් සිංහල භාෂාව සහ සංස්කෘතිය පිළිබඳවත් වියත් අදහසක් ඔහු තුළ තිබුණා. ඔහු භාෂා දෙකෙන්ම පුවත්පත් ලිපි, සාහිත්‍ය ලිපි රචනා කරනවා. සිරි ගුණසිංහගේ ‘මිරිඟුව ඇල්ලීම’ කෘතියේ ඔහුගේ චරිතය නිරූපණය කරලත් තියෙනවා.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විෂය පිහිටුවන්න, උගන්වන්න පෙළඹවෙන්නෙ 71 කැරැල්ලත් එක්කයි. වෘත්තීය වශයෙන් විෂයන් හඳුන්වාදෙන්න ඕන කියලා රාජ්‍ය මට්ටමින් ම අදහසක් ඇවිත් ඒ වෙනුවෙන් කොමිසමක් පත්කරනවා. ඒ හඳුන්වාදීමට මුල්වන එක් පුරෝගාමියෙක් එඩ්වින් ආරියදාස මහතා. විෂය නිර්දේශ සකසන්න, සංශෝධනය කරන්න ඔහුට අවස්ථාව හිමිවෙනවා. ඒ ඒ විෂයට අනන්‍ය පාරිභාෂික ශබ්ද බිහිකරන්න පෙළඹෙනවා. ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු සහ ද්විභාෂික උගතෙකු වශයෙන් ඔහුට අවස්ථා ගණනක් හිමිවෙනවා. ඉතිහාසය, විශ්ව ඥානය, දර්ශනය සහ සංකල්ප ගැන ඔහුට පැහැදිලි අදහසක් තිබුණා. මෑතකදී ඔහු ‘ලෝක ඉතිහාසය’ නමින් වැදගත් කෘතියක් පළකළා. විවිධ ක්ෂේත්‍ර ගැන ලියා පළකර තිබුණා.

ඇත්තටම ලංකා විශ්වවිද්‍යාලයේ අය කළේ එඩ්වින් ආරියදාස ගොඩනගපු දේවල් පසුපස ගිහින් පසුකලෙක අයිතිකරුවන් වීමයි. ඔහු විශ්වවිද්‍යාලයට එද්දි එය පාලනය කළේ අයිවර් ජෙනිංස් මහතායි. ජෙනිංස් ගොඩනගපු විශ්වවිද්‍යාලයෙනුයි ආරියදාස මහතා බිහිවුණේ. විශේෂයෙන් නාට්‍ය සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට විශ්වවිද්‍යාලයට පැමිණි ලුඩොවයික් නම් ආචාර්යවරයා නිසාත් ඔහුට පැහැදිලි බලපෑමක් වන්නට ඇති. ඒ සම්ප්‍රදායන් ඇසුරු කිරීමේ ශක්තිමත් බව මතයි ඔහුගේ පරිණත බව වැඩෙන්නෙ. හුදෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම පමණක් නෙමෙයි ඔහු කළේ. ගැඹුරින් කෘති කියවන්න පුලුවන්, ඉංග්‍රීසි සංස්කෘතියට ඇතුළු වෙන්න පුලුවන් තත්වයක් ඔහුට හිමිවෙනවා. අවුරුදු 98ක් වෙලාත් ඔහු සක්‍රීයව වැඩ කළා. ඒ විෂයට ඇති ආශාව, කැපවීම යටත්විජිත යුගයේ බුද්ධිමතුන්ගේ ලක්ෂණයි. ඒ ලක්ෂණ එඩ්වින් ආරියදාස මහතා තුළත් තිබුණා”

ප්‍රවීණ විචාරක, ලේඛක ගුණසිරි සිල්වා (විචාර ලිපි රචකයෙකු සහ පරිවර්තකයකු ලෙස)

ප්‍රවීණ විචාරක ගුණසිරි සිල්වා

“එඩ්වින් ආරියදාස මහත්මයාගේ විචාර නිර්දය විවේචන සහිත විචාර නොවෙයි. ඔහු පොතක්පතක් හෙළා දැක්කේ නැහැ. සිනමාපටයක් ගැන කියන්න ගියාම, ඔහු ලෝකයේ  අනෙක් සිනමාපට ගැනත් මූලික එළඹුමක් විදියට කතාකරලායි විචාරයට පිවිසෙන්නේ. භාෂා දෙකෙන්ම විචාර ලිපි පළ කළා මෙන්ම දේශන ද සිදුකළා.

මම කිසිදිනක දැකලා නැහැ ඔහු බැණවැදිලා පහරදීලා අදහස් පළකරනවා. ඔහුගේ චරිත ලක්ෂණත් එහෙමනේ. ඇතැම් අවස්ථාවක මම පවා ඔහු විවේචනය කළ අවස්ථා තිබුණා. එහිදී ඔහු ‘ගුණේ ගුණේ’ කියමින් බොහොම සුහදව කතාකරනවා. කොහොමනමුත් ඔහුගේ විචාර ජනප්‍රිය වුණේ නැහැ. ජයවිලාල්, චින්තක වැනි අයගේ විචාර ප්‍රහාරාත්මක නිසා ජනප්‍රිය වුණා. නමුත් ඔහුට තිබුණෙ සන්සුන් විචාරයක්. විචාරය කිරීමටත් වඩා ආරියදාස මහත්මයා කළේ, අගය කරන එකයි. නමුත්, ජනප්‍රිය සහ විචාරය කළ යුතුයි කියා නොහිතන කෘති විචාරය කළෙත් නැහැ. ඔහු ආධුනික සහ නැගී එන රචකයන්ව අගය කළා.

ස්වර්ණ සංඛ, සරසවි, ජනපති ඇතුළු ලංකාවේ බොහෝ සම්මාන උළෙලවල්වල බොහෝ විනිසුරු මඬුලුවල සාමාජිකයකු ලෙස සිටියා. ආරම්භක දේශන සඳහාත්, සිසුන්ට මූලික හැඩහුරුවක් සහ පෙළඹවීමක් ඇතිකරවීමට සමත් දේශන කිරීමෙහිත් ආරියදාස මහතා වැදගත් වුණා

රියුනොසුකෙ අකුතගාවා නම් ජපන් කෙටිකතාකරුවා විසින් රචනා කරන ලද ‘රෂෝමාන්’ කෙටිකතාව ඔහු පරිවර්තනය කරන්නට යෙදුණා. මේ කෙටිකතාවෙන් තමයි අකිර කුරසෝවා නම් සිනමාකරුවා රෂෝමාන් සිනමාපටය නිර්මාණය කළෙත්. ඒ වගේම  ‘සිනමා ලිපි’ නමින් කෘතියක් කරනවා, සිනමාපට පිළිබඳව විචාර ලිපි ඇතුළත්ව. පිලිප් කුරේ ලියූ ‘ද ලෝන්ලි ආටිස්ට්’ නම් පොත  ඔහු ‘හුදෙකලා කලාකරු’ නමින් පරිවර්තනය කළා. මේ කෘති පරිවර්තනය කිරීම ඒ කාලයට ඉතා වැදගත් සේවාවක් වුණා”

 

සංවාදය  - ඩිල්ෂානි චතුරිකා දාබරේ

 

(ලිපියේ පළමු කොටස සඳහා සබැඳිය -‘ඔහු ඉන්න තිබුණේ විශ්වවිද්‍යාලයක’)



අදහස් (0)

‘ඔහු අහෝසි වුණේ නෑ, ඒ යුගය නිමාවුණා’

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1207 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1796 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site