බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන
([email protected],[email protected])
තුන් වසරක යහපාලන ආණ්ඩුවේ වඩාත් ආන්දෝලනයට තුඩු දුන් නීතිය හා සාමය විෂයට සිව් වැනි ඇමැතිවරයා පත්වූයේ පසුගිය දාය. ඒ, රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයාය. දින කීපයකට තමා අත තබා ගත් නීතිය හා සාමය විෂය බාරදෙමින් අගමැති රනිල් වික්රමසිංහ මහතා නව ඇමැතිවරයාට නමෝවිත්තියෙන්ම පැවරූ රාජකාරිය වූයේ ජාතික පොලිස් කොමිසම ගැන වාර්තාවක් සම්පාදනය කිරීමය.
ඊට හේතුව හැටියට අගමැතිවරයා දැක්වූයේ ජාතික පොලිස් කොමිසම ප‍්‍රායෝගික ක‍්‍රමවේද සකස් නොකොට අඩුපාඩු ඇති විට පමණක් ක‍්‍රියාත්මක වීම යන්නයි. මෙම ප‍්‍රකාශය සමඟ ව්‍යවස්ථා නීති විශාරදයන් අතර දැන් යම් කතාබහක් මතුව තිබෙන්නේ ස්වාධීන කොමිසමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඇමැතිවරයාට බලය තිබේදැයි කියාය. එය වෙනම කතා කළ යුතුය.
කෙසේ වෙතත් පොලිස් කොමිසමේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කීපයකදීම ගවේෂණ ලිපි මගින් කරුණු අනාවරණය කරන්නට ලියුම්කරුවෝ කටයුතු කළහ. ඒ මහජන පැමිණිලි අරභයා කොමිසම දක්වන උදාසීනත්වය හමුවේ සිදුවන අයුක්තිය ගැනය. මෙවර ලිපියට පදනම් වන්නේ කොමිසමේ අභ්‍යන්තර ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්ව නිසා අභියෝගයට ලක්වන එහි ස්වාධීනත්වය සම්බන්ධයෙනි.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම පැවැරී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවටය. කතානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අග‍්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායක නිල බලයෙන්ම සාමාජිකයෝය. අගමැතිගේ සහ විපක්ෂ නායකගේ නාමයෝජනා මත ජනපති විසින් පත්කරනු ලැබිය යුතු පස් දෙනෙක් (එයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුය), අගමැති හා විපක්ෂනායක අයත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය නොකරන අනෙකුත් දේශපාලන පක්ෂවල බහුතර එකඟත්වයෙන් නාමයෝජනා කර ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන මන්ත‍්‍රීවරයෙක් සෙසු සාමාජිකයෝ වෙති.
එකී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත්කෙරෙන පොලිස් කොමිසම ගැන සඳහන් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155 වැනි ව්‍යවස්ථාවේය. ඊට අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් හත් දෙනෙකුගෙන් පොලිස් කොමිසම සමන්විතය.
මෙම සාමාජිකයන් අතරෙන් එක් සාමාජිකයකු නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝ ඊට ඉහළ ධූරයක් දැරූ විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකු විය යුතුය. සාමාජිකයන් අතරෙන් එක් අයෙකු සභාපති හැටියට පත්කළ යුත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි.
වර්තමාන පොලිස් කොමිසමේ සභාපතිවරයා වන්නේ පී.එච්.මනතුංග මහතාය. මහාචාර්ය සිරි හෙට්ටිගේ, නීතිඥ සාවිත‍්‍රී ඩී. විජේසේකර, බී.ඒ ජෙයනාදන්, වයි.එල්.එම් සවාහිර්, තිලක් කොල්ලූරේ, ආචාර්ය ෆ‍්‍රෑන්ක් ද සිල්වා සෙසු සාමාජිකයෝ වෙති. පොලිස් කොමිසමට මූලික වශයෙන් ඉදිරිපත් වන පැමිණිලි පොලිසියෙන් මහජනතාවට සිදුවන අසාධාරණ හා පොලිස් සාමාජිකයන්ට දෙපාර්තමේන්තුමය වශයෙන් සිදුවන අසාධාරණ හැටියට දැක්විය හැකිය.
පොලිසියෙන් සිදු වූ අයුතුසහගත ප‍්‍රතිචාර හා ගැහැට හමුවේ පොලිස් කොමිසමට හමුවට ගිය ද සාධාරණයක් නොවූ සාමාන්‍ය ජනතාව ගැන මින් පෙර අවස්ථාවකදී ද ගවේෂණ ලිපියක් මගින් කරුණු අනාවරණය කිරීමට ලියුම්කරුවෝ කටයුතු කළහ. එහෙත් මෙවර ලිපියෙන් අප කියාපාන්නේ පොලිස් කොමිසමේ ක‍්‍රියාකාරිත්වය එය පිහිටුවීමේ අරමුණුවලින් පීලි පැනීම හේතුවෙන් පොලිස් සාමාජිකයන් පත්ව ඇති අසරණභාවය ගැනය.
විශේෂයෙන්ම පොලිස් කොමිසමේ තීන්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිදුකරන මැදිහත්වීම ගැන කොමිසමේ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් ද සිටින්නේ දැඩි අසතුටිනි. ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පොලිස්පතිවරයා යනු පොලිස් කොමිසමේ සාමාජිකයෙක් නොවේ. එනිසාම ඔහුට රැස්වීම්වලදී ඡන්ද හිමිකම ද නැත.
එහෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පොලිස් කොමිසමේ රැස්වීම්වලට සහභාගීවීමට ඔහුට හිමිකමක් දී තිබේ. අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවැසෙන්නේ පොලිස්පතිවරයා විසින් රැස්වීම්වලට සහභාගීවීමට ඇති අයිතිය අවභාවිත කරනු ලබන බවය.
කොමිසමේ රැස්වීම්වලදී ඝන පූර්ණය හතර දෙනෙකි. බහුතර ඡන්දයෙන් තීන්දු ගන්නා අතර තීරණාත්මක අවස්ථාවලදී රැස්වීමේ මුලසුන දරන්නාට තීරක ඡන්දයක් හිමිවේ. අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවැසෙන්නේ පොලිස්පතිවරයාට ඡන්දය හිමි නොවුණ ද අදාළ තීන්දු ගැනීමේදී තමාට හිතෛශී අයුරින් ඡන්ද ප‍්‍රකාශ කරගැනීමට බලපෑම් සහගත හැසිරීමක් ඔහුගෙන් දක්නට ලැබෙන බවය. තවද පොලිස් නිලධාරින්ගේ අභියාචනා ක‍්‍රියාවලියේදී කොමිසම අනුගමනය කරන කල්මැරීමේ පිළිවෙත නිසා ඔවුන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටය.
මේ බොහෝ අභියාචනා කල්යෑමට එක හේතුවක් වී තිබෙන්නේ ද පොලිස්පතිවරයා විසින් ඊට අදාළව ලබා දිය යුතු වාර්තා පමා කිරීමය. පොලිස් කොමිසම සෑම සතියකම බ‍්‍රහස්පතින්දා රැස්වේ. ඒ අනුව සුපරුදු පරිදි හෙට (22) ද පොලිස් කොමිසම රැස්වුවහොත් පැවැත්වීමට නියමිතව ඇත්තේ 130 වැනි රැස්වීම් වාරයයි. අපි උදාහරණයකට මාර්තු 8 වැනිදා පැවැත් වූ 128 වැනි රැස්වීම පමණක් ගමු. එහිදී සැලකිල්ලට ගනු ලැබූ අභියාචනා අතිබහුතරයක් නැවත සලකාබැලීම සඳහා කල් දැමිණි. ඊට ප‍්‍රධාන හේතුවක් වූයේ අභියාචනාවට අදාළව පොලිස්පතිවරයා විසින් දෙනු ලැබිය යුතු වාර්තාව ඒ දක්වා ලබා නොදීමය.
අංක 2885/91/ජුනි 29/2017 පොලිස් පරීක්ෂක පී.විල්ෆ‍්‍රඞ් සිල්වා, අංක 3367/112/නොවැම්බර් 09/2017 පො.කොස්තාපල් 46919 එච්.එම් ගාමිණි රණසිංහ, 3504/115/නොවැම්බර් 30/2017 පො.කොස්තාපල් සී.එම් රණසිංහ, අංක 2475/89/ජුනි 20/2017 උප පොලිස් පරීක්ෂක එස්.එම්.එස් සිසිර, අංක 2485/89/ජුනි 20/2017 පොලිස් පරීක්ෂක යූ.ඩබ්ලිව්. සෙනෙවිරත්න, අංක 2574/91/ජුනි 29/ 2017 පො.කොස්තාපල් එස්.නිමල් ශාන්ත, අංක 2892/100/අගෝස්තු 24/ 2017 පොලිස් පරීක්ෂක ශිවරාමන් ශිවකුමාර්, අංක 3208/107/ ඔක්තෝම්බර් 04/2017 සහ 3705/119 උපපොලිස් පරීක්ෂක කේ.එල්.ජී පුෂ්පකුමාර පෙරේරා යන අභියාචනා ඊට උදාහරණ කීපයක් පමණි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලබන ශ්‍රේණිවල පොලිස් නිලධරයන් පත්කිරීමේ උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ සහ ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීමේ හා ඔවුන් සේවයෙන් පහකිරීමෙහිලා කොමිසම සතු බලතල කොමිසම විසින් නම් කරනු ලැබිය යුතු කමිටුවක් වෙත පැවැරීමට කොමිසමට හැකිය. ඒ අනුව වත්මන් පොලිස් කොමිසම මෙම ක‍්‍රියාවලියට අදාළ තීන්දු තීරණ ගන්නේ සහකාර පොලිස් අධිකාරි ධූරයෙන් ඉහළ නිලයන්හි පමණි.
ගැසට්ටුවක් මගින් එම බලය පවරා තිබෙන්නේ නැවතත් පොලිස්පතිවරයාටය. ඒ අනුව පත්කිරීම් උසස් කිරීම් විෂයෙහි කොමිසමේ අවධානයට ලක්වන්නේ සංඛ්‍යාත්මකව ගතහොත් අසූ දහසකට අධික පොලිස් සේවයේ තුන් දහසකට ආසන්න පිරිසකි. මෙම පොලිස් ලොක්කන් අතර පොලිස්පතිවරයාට පමණක් දෙවැනි වන ජ්‍යෙෂ්ඨයන් පිරිසක් වරෙක පොලිස් කොමිසමට සිය දුක්ගැනවිල්ල කියාපාමින් ඉල්ලා සිටියේ දෙපාර්තමේන්තුවේ පරිපාලනය කොමිසම හමුවට පවරාගන්නා හැටියටය.
තවද පොලිස් නිලධාරින්ගේ වැරදි සෙවීමට සකස් කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඇතැමුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරන බළල් අතක් බවට පත්ව ඇතැයි කොමිසම හමුවේ කීවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්මය. එහෙත් මේ කිසිවක් තවමත් කොමිසමට විෂය වී නැති බව පැහැදිලිය.
ඒ අනුව උද්ගතව ඇති නවතම තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට සෘජුවම පැමිණිලි කිරීමට කොමිසම අභ්‍යන්තරයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් සූදානමින් සිටිති. රජයේ ප‍්‍රබල ඇමැතිවරුන්ගෙන් කොමිසමේ ප‍්‍රධානියකුට ලැබෙන දුරකතතන ඇමතුම් ගැන ද එහිදී ඔවුන් පැමිණිලි කිරීමට සූදානම්ය.
මේ අතර පොලිස් කොමිසමේ කටයුතු ගැන පැමිණිලි කරමින් එහි ස්ථිර කාර්යමණ්ඩලයේ සේවක පිරිසක් විසින් විගණකාධිපතිවරයා වෙත පෙස්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඔවුන් සිය පෙස්සමෙන් මූලිකවම කර ඇති ඉල්ලීම වන්නේ පොලිස් කොමිසමේ පරිපාලනය සහ මූල්‍ය පාලනය ගැන සාධාරණ පරීක්ෂණයක් කරන හැටියටය.
යහපාලන ආණ්ඩුව 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂා කළ අරමුණු මුදුන්පත් කරගත නොහැකි තත්ත්වයක පොලිස් කොමිසම පවතින බව කියමින් ඔවුන් එමගින් චෝදනා කර ඇත්තේ පොලිස් කොමිසම මහජන මුදල් කාබාසිනියා කරන සුදු අලියෙකු හැටියටය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ කාමර ගණනාවක් අනවශ්‍ය ලෙස කුලියට ගැනීමෙන් මාසික කුලිය හැටියට රුපියල් ලක්ෂ ගණනක නාස්තියක් සිදුවන බව ද ඔවුහු එමගින් අවධාරණය කර ඇත. ඇතැම් කාමරවලට මාසික කුලී ගෙව්ව ද පාවිච්චියට ගැනෙන්නේ කෙටි වේලාවකට යැයි ද ඔවුහු පවසති. 2015 දී කොමිසම පත්කරන විට එහි කාර්ය මණ්ඩලය විසි පහක් පමණ වූ අතර වර්තමානයේදී එය සියය ඉක්මවයි.
අභියාචනා මණ්ඩල සම්බන්ධයෙන් ද තිබෙන්නේ යහපත් තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම දින වකවානු ඉක්මවා ගිය හා සේවය හැර ගිය අභියාචනා ප‍්‍රතික්ෂේප වන බව බැලූ බැල්මටම පෙනෙන පසුබිමක ඒවා පොලිස් කොමිසම දක්වා ගෙනඒමෙන් කාලයත් මුදලූත් නාස්තියක් සිදුවේ.
මෙසේ බලද්දී පොලිස් කොමිසමේ බලතලත් කාර්ය හා කර්තව්‍යත් ක‍්‍රියාත්මක කිරීමේදී පැහැදිලි ගැටලූ රැසක් පැන නැගී ඇති බව පෙනේ. අප දන්නා නීතියට අනුව කොමිසම ඇමැතිවරයාට කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට වග කිව යුතුය. කොමිසමේ ක‍්‍රියාකාරිත්වය ගැන වාර්ෂික වාර්තා සම්පාදනය කෙරෙන්නේ ඒ අනුවය. එහෙත් වාර්තාවට හසු නොවන පොලිස් කොමිසමේ අඩුපාඩු ගැන ලංකාදීප අවස්ථා කීපයකදීම පෙන්වාදුන්න ද බලධාරිහු ඒ ගැන අවධානය යොමුකළේ නැත. අවසානයේදී පසුගිය දෙසැම්බරයේදී මෙරට සංචාරයක නිරත එක්සත් ජාතින්ගේ ක‍්‍රියාකාරින්ගේ කණ්ඩායමේ නිලධාරින් විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවැසුවේ ද ජාතික පොලිස් කොමිසම ශක්තිමත් නොමැති බවය. විශේෂයෙන්ම පොලිසිය විසින් කරන ලද අත්තනෝමතික රඳවාගැනීම් සහ වදහිංසා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් වී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් විය යුතු යැයි එහි සාමාජික ඕසේ ග්වේරා අවධාරණය කළේය.
මෙවර අප පෙන්වාදෙන්නේ කොමිසමේ තවත් එක් පැතිකඩක් පමණි. අදාළ නියෝජිත කණ්ඩායම දින එකොළහක කාලයක් මෙරට රැඳී සිටිමින් ඒකරාශි කරගත් කරුණු ද ඇතුළත් කරගනිමින් සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අතරතුර නිසි පියවර ගැනීමට බලධාරින්ට වුවමනාවක් තිබේ නම් ඊට මාස පහක කාලයක් තිබේ.
අභියාචන විභාගයට අවුරුදු දෙකක්
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයකට එක් වූ ඔහු පොලිසි ගණනාවක රාජකාරි කළේය. පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස් වීම් ලැබ පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස දකුණු පළාතේ සේවය කරද්දී බලපත‍්‍ර නොමැති දැව ලොරියක් අත්අඩංගුවට ගැනීමට ඔහු කටයුතු කළේ ලැබුණු තොරතුරකට අනුවය. පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. නියෝගය වූයේ දැව තොගය මුදා හරින ලෙසයි. ඒ වන විටත් නෛතික ප‍්‍රතිපාදන ආරම්භ කර ඇති නිසා එම නීති විරෝධී නියෝගය ප‍්‍රතික්ෂේප කළ ස්ථානාධිපතිවරයා මේ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට දැනුම් දුන්නේය. නීතිය හරියට ක‍්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නියෝග කළේය. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. ගත වූයේ ටික දිනකි. නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ පොලිස් ඒකකයකින් පැමිණ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නේ නීති විරෝධී ලෙස කොට ලොරියක් අත්අඩංගුවට ගත්තායැයි කියමිනි. බලපත‍්‍ර නැති ලොරියක් නීති විරෝධී වන්නේ කෙසේදැයි සියලූ දෙනාට ප‍්‍රශ්නයක් විය. ඔහු තමාගේ බලපත‍්‍රය බව කියමින් ඉන් පසු බලපත‍්‍රයක් පෙන්වූ අතර ලොරිය අත්අඩංගුවට ගත්තායින් පසුව ඒ සැකකරු බලපත‍්‍රය සකසාගෙන තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩු විභාගයේදී සාක්කිවලින් කියැවුණේ පොලිස් පරීක්ෂකවරයා කොට ලොරිය අත්අඩංගුවට ගැනීම නීතියට අනුකූල බවයි. මෙම ලොරියට බලපත‍්‍රයක් නොමැති බව පොලිස් පරීක්ෂකවරයා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්ගෙන්ද ප‍්‍රකාශ සටහන් කරගෙ තිබිණි. ඒ අනුව පොලිස් පරීක්ෂක්වරයා නිදහස් විය. එදා සිට අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පොලිස් පරීක්ෂකගෙන් පලි ගැනීම ආරම්භ කළේය. ඔහුට උසස්වීම් අහිමි විය. අවසානයේ වත්මන් පොලිස්පතිවරයා යටතේ ඔහු ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට පොලිස් පරීක්ෂක ධුරය දක්වා පහත හෙළනු ලැබීය. ඒ මූලික පරීක්ෂණයක්වත් නැතිවය. මේ ගැන පොලිස් කොමිෂන් සභාවට ඔහු පැමිණිලි කළ අතර පොලිස්පති වාර්තාව ලැබී නැතැයි කියමින් වසර එක හමාරක් පුරා අභියාචනය කල් ගියේය. ඒ අතරතුර වෙනත් බොරු චෝදනාවක් දමා ඔහු සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය. මේ පොලිස් නිලධාරියා ඊට එරෙහිව ද අභියාචනයක් කළ අතර එය ද වසර එක හමාරක් යන තුරු කල් ගියේය. අසාධාරණය ගැන කළ කිරී මෙය අත්නොහැර අවශ්‍ය නෛතික කටයුතු කරමින් ඉදිරියටම ගිය නිසා වසර දෙකකට පමණ පසු ඔහු යළි සේවයේ පිහිටැවූ අතර ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලයද ලැබිණි. එපමණක් නොව මෙම නිලධාරියා සහකාර පොලිස් අධිකාරී නිලයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනාධිකාරය නියෝක කර තිබේ. එහෙත් තවමත් ඔහුගේ වැටුප් වර්ධක අත්හිටුවීම් ලැබී නොමැත. ඒ ගැන අභියාචනාවක් කර මේ වන විට වසරකටත් වැඩිය. නමුත් ප‍්‍රතිඵලයක් නැත. පුද්ගලයකුගේ ජීවිතයේ වසර එක හමාරක් දෙකක් යනු සුළු කාලයක් නොවේ. පොලිස්පති වාර්තා නොදීම සහ කොමිසමේ වගකීම් විරහිත ක‍්‍රියාකලාපය නිසා පුද්ගලයකුගේ ජීවිතයේ වසර එක හමාරක් දෙකක් කාලකන්නි වනවා නම් එය මොන අපරාධයක්ද? එහි වරද බාර ගන්නේ කවුද? මෙලෙස කල් මැරීමට නම් ස්වාධීන කොමිෂන් සභා අවශ්‍යද? මේ එක් උදාහරණ කතාවක් පමණි. මේ ලිපිය ලිවීමට තොරතුරු සොයද්දී මෙවැනි උදාහරණ කතා රැසක් සොයා ගත හැකි විය. ඉඩ කඩ සීමිත නිසා පළ කරනුයේ එක් උදාහරණ කතාවක් පමණි. |
තොරතුරු පනතටවත් උත්තර නෑ
පොලිස් කොමිෂන් සභාවට යොමු කරන තොරතුරු ඉල්ලූම්පත‍්‍රවලට ද බොහෝ විට තොරතුරු නොදෙන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරති. එහි සත්‍යා සත්‍ය සොයා බැලීමට අප ද පොලිස් කොමිෂන් සභාවට තොරතුරු ඉල්ලීමක් යොමු කළ අතර ඊට පිළිතුරු නොලැබිණි. දුරකතනයෙන් විමසූ විට තොරතුරු ඉල්ලීම ලැබුණු බව පමණක් කීවේය. තොරතුරු නොලැබීම නිසා යළිත් වරක් තොරතුරු නිලධාරියාගෙන් මීට මාසයකට පමණ පෙර විමසු විට ‘තොරතුරු නැත්නම් ඇපීල් එකක් දාන්න.‘ යැයි දැනුම් දුන්නේය. තොරතුරු නිලධාරියකු ඉන්නේ තොරතුරු දීමට මිස තොරතුරු වහං කිරීමට නොවේ. තොරතුරු ලබා දිය නොහැකි නම් එය ලිඛිතව දැන්විය යුතුය. නමුත් පොලිස් කොමිසමට එය අදාළ නැත. තොරතුරු ලබා නොදීම ගැන පොලිස් කොමිෂන් සභාවේ නම් කළ නිලධාරියාට අභියාචනයක් යොමු කළ අතර මේ ලිපිය ලියන මොහොත වන තෙක් ඊට ද ප‍්‍රතිචාරයක් ලැබී නැත. |
කොමිසම ඇතුළේ අර්බුද
මේ වන විට ජාතික පොලිස් කොමිෂන් සභාව ඇතුළේ අර්බුධ කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. කොමිසමේ නිලධාරීන් නුදුරේදීම ඒ ගැන කතානායකවරයාට පැමිණිලි කිරීමට නියමිතව ඇත. පොලිස්පතිවරයා විසින් එවනු ලබන ඇතැම් පත්කිරීම් හා මාරු කිරීම් කිසිදු වග විභාගයකින් හා ඊට එරෙහිව ලැබෙන විරෝධතාද නොතකා සිදු කරන බව අභ්‍යන්තර ආරංචි කියයි. එම ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන අන්දමට ඊට හොඳම උදාහරණය පොලිසියේ ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පත් කිරීමට අවශ්‍ය එක්තරා පරිපාලන තනතුරකට ආධුනික පොලිස් අධිකාරිවරයෙක් පත් කිරීමයි. ඒ සම්න්ධයෙන් පොලිසිය අභ්‍යන්තරයේ ද දැඩි කතා බහක් ඇති වී තිබේ. එමෙන්ම අසාධාරණ ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තාවේ.
පොලිස් කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරවුලේ ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ විට කොමිෂන් සභාවේ ප‍්‍රධාන නිලධාරියකු එම තනතුරින් ඉවත් කර වෙනත් අයකු පත් කිරීමට නියමිත බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතාට මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කර තිබේ. මෙම අර්බුදවල අවසාන ප‍්‍රතිඵලය වන්නේ මහජනතාවට හා අසාධාරණයන්ට ලක්වන පොලිස් නිලධාරීන්ට සාධාරණයක් අත් නොවීම පමණි. |
පොලිස්පති කැඳවා දැනුම් දුන්නා පොලිස් කොමිෂන් සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක පී ඞී ලියනආරච්චි
‘පොලිසියෙන් ලැබෙන වාර්තා ප‍්‍රමාද වීම කාලයක් තිස්සේ තිබුණා. මේ ගැන පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු වුණා. ඒ අනුව අපි සැරෙන් සැරේ සිහි කැඳවීම් යොමු කළා. අවසානයේ අපි පොලිස්පතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නිශ්චිත දිනයක් දුන්නා එදාට කළින් අදාල වාර්තා එවන්න කියලා. මේ ගැන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ පවා සාකච්ඡා කළා. ඉදිරියෙදිත් කඩිනමින් පොලිස්පති වාර්තා ගැනීමට අවශ්‍ය වැඩ කරගෙන යනවා.‘ |
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොමිසම් එපා කරවන පොලිස් කොමිසම
Dr. Wijeratne Friday, 23 March 2018 02:07 AM
ලංකාවේ කොමිෂන් ගැන කතා කරන්න එපා. රාජ්‍ය සේවා කොමිෂම ඔයිට එහා. මා සේවය කල අමාත්‍යංශයේ ලේකම් ( මා සේවය කල ආයතනයේ හිටිය ඔහුගේ හොර අඹුවට දඬුවමක් දුන්න කියල ) මගෙන් පුද්ගලික පළිගැනීමකට චෝදනා පත්‍රයක් දැම්ම. එක විභාගවෙන්න අවුරුදු 05 ක් ගියා. එතකන් ම මම හිටියේ පූල් එකේ. මගේ PhD එකට රජය රුපියල් ලක්ෂ 100 ක් වියදම් කරලා තිබුනේ. මම මේ බව ලොකු තැන වලට කීව. ඒගොල්ල කීවේ මගේ පඩිය ලැබෙනවනම් පූල් එකේ හිටියම මොකක් වෙනවද කියන එකයි.
Sooriyaarachchi Thursday, 09 July 2020 02:32 PM
අළුත්ගම පොලිසිය නීතිය අකුරටම සිදු කරන්නේ නැහැනේ...