IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කොරෝනා සමඟ රට යා යුතු මඟ

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වයිරසය යම් මට්ටමකට පාලනය කරගැනීමට අපට හැකිවුණේ යහපත් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීමට කටයුතු කිරීමෙනි. දැන් අපට පෙර පරිදි සමාජයට යන්නට සිදුව තිබේ. එහෙත් සමාජයට යනවිට පෙර පරිදිම වෙන්ව විසීමට නොහැකි වේ. එනිසා වැදගත්ම දේ වන්නේ රෝගය වැළැඳීමට ඇති අවම ඉඩටත් එරෙහිව ක්‍රියා කිරීමය. විශේෂයෙන්ම මෙතෙක් කලක් ජනමාධ්‍යයෙන් සමාජයක් හැටියට ලබාගත් දැනුම අභ්‍යාස කිරීමේ අවස්ථාව එළැඹ තිබෙන්නේ දැන්ය. ඒ නිසා කම්හලේ වැඩබිමේ කාර්යාලයේ සේව්‍ය සේවක දෙපක්ෂයෙන්ම විය යුතු කාරිය මෙන්ම අත්හළ යුතු දේ ගැන ගැඹුරින් සිතිය යුතු දින කීපයක් බවට මේ කාලය පත්වනු ඇත.

මුළු ලොවම කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීමට යොදාගන්නා බහුලම ක්‍රියාමාර්ගය වන්නේ දෑත හොඳින් සබන් යොදා පිරිසිදු කිරීමය. දෙවැන්න නම් මුඛ ආවරණ භාවිතයයි. මෙසේ මුඛ ආවරණ භාවිතයේදී ආවාට ගියාට නැතිව ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණ පැළැඳීම අත්‍යවශ්‍යය. කිසිවක්ම නැති නම් රෙදි කැබැල්ලකින් හෝ මුව ආවරණය කරගැනීම කිරීම වටී. ඊළඟ පියවර නම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමය. සාමාන්‍ය ජීවිතයේදී මේ කටයුතු මේ ආකාරයෙන්ම අනුගමනය කිරීම අප අතින් මගහැරීමට ඕනෑ තරම් ඉඩ තිබේ. එවැනි අවස්ථාවකදී වැදගත්ම දේ වන්නේ දෑත සබන් යොදා පිරිසිදු කරගැනීමය. පොදු ප්‍රවාහනය යොදාගන්නා සෑම මගියකුටම පාහේ බස් රථය හෝ දුම්රිය අල්ලාගැනීමට ස්පර්ශ කිරීමට සිදුවීම නොවැළැක්විය හැකිය. එනිසා එසේ පැමිණෙන පිරිස කාර්යාලයට පැමිණි විගසම සියල්ලට ප්‍රථම කළයුත්තේ දෑත සබන් යොදා පිරිසිදු කරගැනීමය. මුදල් හදල් ඇති අයකු නම් පිරිසිදුකාරක දියර කුප්පියක් තම සාක්කුවේ හෝ අත් බෑගයේ තබාගෙන පැයකට වරක්වත් දෑත් පිරිසිදු කරගත හැකි නම් වඩා හොඳය. මේ වනවිට ලංකාව පුරා බොහෝ පොදු ස්ථානවල දෑත් සේදීම සඳහා පහසුකම් සපයා ඇත. එම නිසා මගීන්ට ජල කරාමවලින් හෝ අත් සෝදාගැනීම කළ හැකිය.

ඊළඟ කරුණ නම් මුඛ ආවරණය ඉවත් කිරීමය. ආහාර ගන්නා වේලාව හෝ තේ පානය කරන වේලාව හැරුණු විට කිසිදු අවස්ථාවක මුඛ ආවරණය ඉවත් කිරීමට ඔබ කටයුතු නොකළ යුතුය. සාමාන්‍ය කාර්යාල ජීවිතයේදී එක බත් මුල රංචු ගැසී අනුභව කළ පුරුදු තවත් කාලයක් යනතුරු අනුගමනය නොකළ යුතුමය. තේ පානය කරන අවස්ථාවේදී ද එසේය. සිය කෝප්ප සෝදාගැනීමට යැයි කියා ජල කරාමය වටේ එක්රොක් නොවී සිටීම අත්‍යවශ්‍යය. ප්‍රායෝගිකව මේ පියවර අනුගමනය කිරීම අපහසු නම් එකම වේලාවකට ආහාර ගැනීම නොකොට කාණ්ඩ වශයෙන් යෑම කළ හැකිය. රාජකාරි අවසන් කිරීමෙන් පසුව නිවෙස බලා පැමිණීමට පෙර ද දෑත සබන් යොදා සෝදාගෙන පිටවිය යුතුය. එසේ ගොස් නිවෙසට ඇතුළුවීමට පෙර මිදුලේ ඇති ජල මූලාශ්‍රයකින් අත් සෝදාගෙන පාවහන් ගලවා දමා එහි අඩිය පිරිසිදු කරගත යුතුය. මුඛ ආවරණය දවසකට වඩා පාවිච්චි නොකිරීම ද ඉතාම වැදගත්ය. සෝදා පාවිච්චි කළ හැකි මුඛ ආවරණ නම් සෝදාගැනීමෙන් මිස දවසකට වඩා පාවිච්චි නොකළ යුතුය. මේ මූලික පියවර අනුගමනය කළහොත් සැකකටයුතු අය අප අතර සිටිය ද රෝගය අපට වැළඳීමේ අවදානම අවම වනු ඇත.

අප කොතරම් මේවා ගැන සාකච්ඡා කළ ද සාමාන්‍ය ජීවිතයේදී මෙම පියවර අපගේ පුරුදුබවට පත්කරගැනීමේ දුෂ්කරභාවය ද අපි දනිමු. කාර්යාල, කම්හල්, වැඩබිම්, පාසල් හා වෙළෙඳ මධ්‍යස්ථාන ආදී වශයෙන් සියලු තැන්වල අභ්‍යාස කළ හැකි පියවර අන්තර්ගත නිර්දේශ ගණනාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ ඒ නිසාය. ටික කලක් සාමාන්‍ය ජීවිතය යළි ගත කරන විට අපට නිතැතින්ම සිදුවන දෙයක් වන්නේ මේ පියවර අමතක වීමය. නොඑසේව තමන් අවදානමින් බැහැරව ඇතැයි සිතීමය. එනිසා දවසේ සැලකිය යුතු වේලාවක් ගතවෙන කම්හලේ වැඩබිමේ කාර්යාලයේ ප්‍රධානීන්ට විශාල වගකීමක් මෙහිදී පැවරේ. ඒ සඳහා අදාළ ආයතන පරිශ්‍රවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය පුරුදු ගැන සිය සේවකයන්ට සිහිකැඳවීම කළ හැකිය. දෑත් සේදීමට අවශ්‍ය සම්පත් සැලැසීම ද එසේය. ඇතැම් ආයතන නිරීක්ෂණය කිරීමේදී අප දුටු දසුනක් වූයේ දෑත් සේදීමට ජල කරාම ඇතත් සබන් හෝ පිරිසිදුකාරක සපයා නොතිබීමය. නැතිනම් සබන් අවසන් වීමෙන් පසුව ඊට අලුතින් සබන් කැටයක් තබන්නට කටයුතු නොකිරීමය. එවිට සිදුවුණේ ඊළඟට පැමිණෙන සේවක පිරිස සබන් නොදා වතුරෙන් පමණක් අත් සෝදාගෙන රාජකාරියට වාර්තා කිරීමය. එනිසා කොවිඩ් වැළැක්වීමට අවශ්‍ය සම්පත් අඛණ්ඩව සැපයීම ආයතනවල වගකීමක් බව අවධාරණ කටයුතුය.

තවත් කාරණයක් වන්නේ සෞඛ්‍ය පුරුදු වුව එකම ආයතනයේ ස්ථාන අනුව වෙනස් ලෙස අනුගමනය කිරීමට සිදුවීමය. එහිදී ආයතන පිවිසුම, රැස්වීම් ශාලාව, කාර්යාලයීය මේසය හා පුටුව භාවිතය, ආහාර ගන්නා ස්ථානය, වැඩ බිම, වැසිකිළි ආදිය ගත හැකිය. මෙම ස්ථානවලදී සේවකයන් කටයුතු කළ යුතු ආකාර ගැන උපදෙස් සහිත පෝස්ටර දැන්වීම් ප්‍රදර්ශනය කිරීම වටී. උදාහරණයක් වශයෙන් රැස්වීම් ශාලාවකට නම් ඇතුළුවීමට එක් දොරක් හා පිටවීමට තවත් දොරක් භාවිත කළ හැකිය. කාර්යාලයේ ඔබමොබ යෑමේදී නිශ්චිත මාර්ග සකස් කරගත හැකිය. කාර්යාලයේ සේවය කරන සංඛ්‍යාව නිශ්චිතව දැනුවත් කළ හැකිය. ආරම්භයේදී මේ පියවර අනුගමනය පහසු නොවනු ඇතත් කාලයාගේ ඇවෑමෙන් ඒවා පුරුදු බවට පත් කරගත් පසු ප්‍රශ්නයක් නොවනු ඇත.

සාමාන්‍ය පරිදි රට විවෘත කිරීමේදී අප මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුවක් වී ඇත්තේ ජාතික ප්‍රවාහන මාධ්‍යයි. සාපේක්ෂව දියුණු වෙමින් පැවැතිය ද අපට ඇත්තේ හොඳ ප්‍රවාහන පද්ධතියක් නොවේ. විශේෂයෙන්ම මේ ප්‍රවාහන මාධ්‍යයේදී මීටරයක දුර පවත්වාගැනීම ලෙහෙසියෙන් කළ හැකි දෙයක් වනු ඇතැයි මම නම් නොසිතමි. අනෙක් අතට පොලිසියට වුව සියලුම බස් රථ පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව කළ හැකි නොවේ. එනිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදීම මෙන්ම පෞද්ගලික අංශයේ බස් රථ ද යොදාගෙන හැකි උපරිමයෙන් නියාමනයක් සහිතව පොදු ප්‍රවාහනය ආරම්භ කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබේ. මිනිසුන්ට තෙරපීමකින් තොරව ගමන් කිරීමට නම් අවශ්‍ය තරමින් බස් රථ පාරට පැමිණිය යුතුය. එහෙත් දැනට මෙය අභියෝගයක් බව අපි සියලු දෙනාම දනිමු. ඉතින් පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන් සියලු දෙනාම සිය මුඛ ආවරණය ගැනත් බස් රථයෙන් දුම්රියෙන් ඈත් මෑත් වූ විගස දෑත් සේදීම ගැනත් සංවේදී විය යුතුය.

සියලුම දුම්රිය ස්ථානවලත් බස් නැවතුම්පොළවලත් දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සලසා තිබීම එහිදී වැදගත් වේ. සියයට සියයකින් බැරි වුණත් රෝගය බෝවීම සැලකිය යුතු ප්‍රතිශතයකින් නතර කරගැනීමට මෙමගින් හැකිවනු ඇත. මෙහිදී මගීන්ට ද සිය සෞඛ්‍යාරක්ෂාව ගැන පෞද්ගලිකව ක්‍රියා කිරීමට වගකීමක් ඇත. තදබදයකින් තොරව බස් රථවල පැමිණීමට අප සාමාන්‍යයෙන් අනුගමනය කළ එක් පියවරක් වූයේ වේලාසනින් පාරට පැමිණීමය. ඉතින් සාමාන්‍ය කාලවලදී අප අනුගමනය කළ එවැනි උපක්‍රම වුව මේ සඳහා යොදාගැනීම සමාජයක් හැටියට අප කාටත් හොඳය.

කොවිඩ් වයිරසය මා දකින්නේ ඍණ මෙන්ම ධන ලක්ෂණ ද සහිතවය. මිනිසුන් මියයාම, රෝගීවීම, ආර්ථික පරිහානිය වශයෙන් වූ විවිධ ගැටලු එහි නිශේධාත්මක පැතිකඩය. එහෙත් මෙහි සාධනීය පැතිකඩක් ද වේ. එනම් මෙතෙක් අප අනුගමනය කළ සමාජ ආර්ථික ක්‍රියාවලිය පරිවර්තනකට භාජනය කිරීමට අවස්ථාවක් ලැබීමය. පෙට්ටියෙන් එළියට පැමිණ සිතුවහොත් ආයතනවල සිදුකරන වෙනස්කම් හරහා රටේ සමාජ ආර්ථික පරිවර්තනයක් අත්පත් කරගැනීමට කොවිඩ් ලෝකය යොදාගත හැකිය. උදාහරණයකට ගතහොත් කොවිඩ් පැමිණීමට පෙර ද වෙළෙඳ කටයුතු සඳහා රාත්‍රී කාලය කෙතරම් ඵලදායී ලෙස යොදාගත හැකිදැයි ලංකාවේ ද අත්හදාබැලීම් කෙරිණි. නිසි සූදානමක් නොතිබූ නිසා එය ඉදිරියට ගියේ නැත. එහෙත් ලොව බොහෝ රටවල් මේ දේවල් අද වනවිට කර තිබේ.

දින 365 බැංකු සේවා දැන් තිබේ. එනිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකම මේ වෙනසට බර තැබීමට කාලය පැමිණ ඇත. මන්දයත් කොවිඩ් සමඟ සැලකිය යුතු කාලයක් ජීවත්වීමට අපට සිදුවනු ඇති බවට අනාවැකි පළ වන බැවිනි. එන්නතක් සොයාගන්නා තෙක්ම කොවිඩ් වයිරසයේ පීඩාව රටවලට නැවත නැවතත් දැනෙනු ඇත. එනිසා කෙටිකාලීන පියවරවලට අවතීර්ණ නොවී සේවා මුර ක්‍රම වැනි දිගුකාලීන පියවරට යෑම අත්‍යවශ්‍ය වනු ඇත. එවැනි වෙනස්කම් ආයතනවල ඵලදායීතාව වර්ධනය කරගැනීමට මෙන්ම රටේ ආර්ථිකයට පණපෙවීමට ද මඟක් වනු ඇත.

ගෝලීයකරණය සමඟ ලොව සියලු ක්‍ෂේත්‍රවලට ලැබුණු විසල්ම අවියක් වූයේ ඩිජිටල් තාක්ෂණයයි. අන්තර්ජාල සේවා, විදුලි සංදේශනය මගින් ආයතන විවිධ ඵල ප්‍රයෝජන ලබාගත්තේය. ඇතැම් ආයතන මෙමගින් සිය ඵලදායිතාව උපරිම කරගත්තේ සිය පරිචය කවර දිසාවලට පුළුල් කරගත යුතුද යන වෙළෙඳපොළ හඳුනාගැනීම් ද සමගිනි. ප්‍රාග්ධන ගැටලු මෙන්ම සාම්ප්‍රදායික දැක්ම හා තාක්ෂණය ගැන අවබෝධයක් නොතිබීම නිසා ඇතැම් ආයතන තිබුණේ ඉදිරියට යාගත නොහැකිවය. මෙසේ පුළුල් ආකාරයට ලොව දැකීම හා තාක්ෂණය නිසි පරිදි පාවිච්චි කිරීමේ වැදගත්කම හොඳින්ම විෂද වූ කාලයක් බවට පශ්චාත් කොවිඩ් ලෝකය පත්විය. මේ සඳහා දැන් මුළු ලංකාවම සූදානම් විය යුතුය.

උදාහරණයක් වශයෙන් විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් අන්තර්ජාලය ඔස්සේ නිවෙසේ සිටම කරන්නට අපි හැකි තරම් පියවර ගත්තෙමු. අන්තර්ජාල සේවා වෙනම වෙබ් අඩවියක් හරහා අඩු මුදලකට ලබාගැනීමට අවශ්‍ය පසුබිම එහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සකස් කරනු ලැබිණි. මේ ආකාරයට ඉහළ ධාරිතාවකින් යුතු අන්තර්ජාල සේවා සැකැසීමේ පදනම දමාගැනීමට මෙය හොඳ අවස්ථාවකි. සැබැවින්ම ඇතැම් ව්‍යාපාර ඩිජිටල් තාක්ෂණය හරහා කෙතරම් හොඳින් කළ හැකි දැයි දැනගත්තේ ද කොවිඩ් නිසාය. ඇතැම් එළවළු ව්‍යාපාරිකයන් දැනටම වට්ස්ඇප් වැනි තාක්ෂණ මගින් භාණ්ඩ සැපයුමට දැන් හුරු වී තිබේ. මේ පියවර ඉදිරියේදී සෙසු ව්‍යාපාරවලටත් මුසුවීම හරහා ආර්ථික අංශයේ හැඩරුව පවා වෙනස්වීමට ඉඩක් ඇත. ඒවා කොවිඩ් ලෝකයෙන් අප ලද සාධනීය දේය.

විශේෂයෙන්ම වසා දැමුණු සරසවි හා පාසල්වල සිසු සිසුවියන් සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු කිරීමට අපි සැලකිය උත්සාහයක් ගත්තෙමු. එය යම් මට්ටමකට සාර්ථක ද විය. එහෙත් අපට අභියෝගයක් තිබිණි. ඒ සියලුම දරුවන්ට ප්‍රවේශවීමට නොහැකි වීමය. යථාර්ථය එයයි. උපකරණ නොමැතිවීම හා ආර්ථික දුෂ්කරතා නිසා අන්තර්ජාල පහසුකම් නොමැතිවීම මූලික හේතුව විය. දෙවැනි බාධකය වූයේ වට්ස්ඇප් වැනි තාක්ෂණ ඔස්සේ ඉගැන්වීමට ගුරුවරුන් පවා හැඩගැසී නොතිබීමය. විශ්වවිද්‍යාල පද්ධතියට වඩා පාසල් පද්ධතියේදී මේ තත්ත්වය දැකිය හැකිවිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකිරීම විශ්වවිද්‍යාල මට්ටමින් නිරීක්ෂණය කරන අතර ඒ පිළිබඳ වාර්තාවක් ද නිකුත් කරයි. එහිදී අධ්‍යාපනය ගුණාත්මකව පවත්වාගෙන යෑමට රජය පැත්තෙන් මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් කළ යුතු තව බොහෝ දේ තිබේ. විශේෂයෙන්ම යළිත් කොවිඩ් හිස එසවීමක් වුවහොත් කිසිදු දරුවකුට අසාධාරණයක් නොවන පරිදි අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද ගැන අප කල්පනා කළ යුතුය.

උදාහරණයකින් පැහැදිලි කළහොත් ගම් දනව්වල වෙසෙන දුවා දරුවන්ට අන්තර්ජාල පහසුකම් නැත. එවැනි දරුවන්ට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන රැස්වී අධ්‍යාපනය ලබාගැනීම ගැන කල්පනා කළ හැකිය. ගම් මට්ටමින් ඇති විදාතා මධ්‍යස්ථාන ඊට යොදාගත හැකිය. එමෙන්ම ආචාර්ය මණ්ඩල ඊට හුරු කිරීම ද එමෙන්ම වැදගත්ය. සාමාන්‍යයෙන් පාසල් ගුරුවරුන්ට අන්තර්ජාලය ඔස්සේ උගැන්වීම් කටයුතු කිරීම පහසු නැත. මන්දයත් ඇතැම් පාඩම් මාලා අන්තර්ජාල වැඩසටහන්වලට අනුරූප වන පරිදි සකසාගැනීම ද කළ යුතු බැවිනි. කොවිඩ් වයිරසය හදිසියේ කඩාපාත් වූවක් බැවින් එවැනි වැඩසටහන්වලට පුහුණුවීම් ලබාදීමට අපට කාලයක් තිබුණේ නැත. එහෙත් ඇතැම් ගුරුවරුන් ඊට හැඩගැසීම හමුවේ කිසියම් සාර්ථක මංසන්ධියකට පැමිණීමට ද අපට හැකි විය. ඒ අනුව ඉදිරියේදී සෑම දරුවකු මෙන්ම ගුරුවරයකු ගැන ද සිතා අන්තර්ජාල මාධ්‍ය යොදාගතහොත් අධ්‍යාපනයේ ප්‍රගමනයට එය විශාල පිටිවහලක් වනු ඇත.

මේ සියලු පියවර අනුගමනය කිරීමේදී වැදගත් වන්නේ සමාජයක් හැටියට අපට ඇති පැවැත්මයි. සෙසු ලෝකයට සාපේක්ෂව කොවිඩ් සමග සටන් කිරීමේදී අපට තිබූ ලොකුම හයියක් වූයේ කෘෂිකර්මය හා ප්‍රජාමූල ජීවන පැවැත්මය. කවර දුෂ්කරතා මතු වුවද මිනිසුන්ට කුසගින්නේ සිටීමට සිදු නොවූ වාතාවරණයක වැඩ කිරීමට හැකිවුණේ එමගිනි. ගමේ මුදල් ඉන් පිටතට ඇදෙන කූට ව්‍යාපාරවලට වැටකඩොළු බැඳීමටත් එය මඟක් වී තිබේ. ලොව වෙනත් රටවල නැති ආකාරයේ ප්‍රජාමූල සංවිධාන හා බැඳුණු ශක්තිමත් යාන්ත්‍රණයක් අපේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා බැඳී තිබේ. නිසි පුහුණුවක් හා හරි වැඩපිළිවෙළක් සහිතව යොදාගතහොත් මිනිසුන්ට සිය ජීවිත පිළිබඳ තීන්දු ගත හැකි බලගැන්වීමක් කිරීමට මේ යාන්ත්‍රණයම ප්‍රමාණවත්ය. ඉතින් මේ සියලු පියවරවල ප්‍රාරම්භය වනු ඇත්තේ පෞද්ගලිකව මෙන්ම සමාජයක් හැටියට යහ සෞඛ්‍ය පුරුදු ජීවන විලාසය බවට පත්කරගැනීමෙහිය. උදේ සවස යළි සිහියට නගාගෙන භාවිතයෙන්ම ආදර්ශමත් වීමෙහිය.

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)

 



අදහස් (2)

කොරෝනා සමඟ රට යා යුතු මඟ

සමන් ඕස්ට්‍රේලියාව Thursday, 11 June 2020 07:16 AM

ඉතා හොඳ ලිපියක්.. නමුත් ඇස් හරහා, ඇසට වැටෙන කෙළ බින්දු හරහා වයිරසය ඇඟට යාහැකියි. කතාකරනවිට බොහෝ දෙනෙකුගේ මුඛයෙන් කෙල පිටවේ. ඒ නිසා කතාකරන විට මුඛවාඩම ඉවත් කරන්න එපා... යම් කෙනෙක් එසේ කරයි නම් දුරින් ඉන්න...

:       0       0

lalithm Friday, 12 June 2020 02:35 AM

වාඛ්‍ය රචනා වලින් රට ගොඩ ගන්න බැහැ. නීති රීති හරිහැටි ක්‍රියාවට ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1207 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 565 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 767 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2154 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site