වසන්ත කුමාර කොබවක, මෙරට ගිත කලාවට අමරණීය ගීත පද මාලා රැසක් දායාද කළ ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙකි. ‘රූකඩ මඩුයාග පොළේ’, ‘පලංචියේ ලී ඉරුවේ අපි එකට’, ‘කඳුළු පිසදාලන සඟවාලන රැයේ සිනා මල්’, ‘ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු’, ‘ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ’, ‘වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන’, ‘සියාතුවේ මා මිතුරේ’, ‘දූවිල්ලෙන් වත්සුණු තවරා’ ආදී ගීත කොබවකගේ අපූර්ව නිර්මාණාවලියෙන් කිහිපයක් පමණි. ඔහුගේ නවතම ගීත පද රචනා ඇතුළත් ගී පද සංග්‍රහයක් ‘පමා වී පිපුණු මල් සුවඳයි’ නමින් පසුගියදා එළිදැක්වුණි. කොබවක මෙසේ නව ගිත පද සංග්‍රහයක් පළ කරන්නේ දිගු කලකට පසුවයි. මෙවර සංවාදය ඔහු සමගයි.
• පසුගියදා එළිදුටු ‘පමා වී පිපුණු මල් සුවඳයි’ ගීත පද සංග්‍රහය පළවන්නේ ඔබේ ‘පමා වී ආ වසන්තේ’ කෘතිය පළ වී බොහෝ කලකට පසුවයි. ඔබේ නිර්මාණවල ඇති සාර්ථකත්වයට පදනම මේ කල්මැරීම ද?
“අවුරුදු විසි අටකටම මගේ මුල් ගීත පොතේ තිබුණේ ගීත එකසිය විසි එකයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ සම්බන්ධයෙන් කියලා තිබුණා මේ කෘතියේ හමුවන්නේ වසරකට ගීත දෙකක් තුනක් හෝ හතරක් ලියූ රචකයෙක් කියලා. ඉතා මසුරු ලෙස, දොර දන් නොදෙන රචකයෙක් කියලා තමයි එතුමා හඳුන්වා දුන්නේ.
ඇත්තෙන්ම කෙනෙකු ඉල්ලීමක් කළ පමණින් ගීතයක් ලියන්න බෑ. අනිත් පැත්තෙන් මගේ අතින් හොඳ නිර්මාණයක් බිහි වුණොත් පමණයි මම තව කෙනකුට ලබාදෙන්නේ. ඉල්ලීමකට ලියවෙනවා නම් ලියවෙන්නෙ චිත්‍රපට හා ටෙලිනාට්‍ය තේමා ගීත පමණයි. තේමා ගීත රචනයට ඇත්ත වශයෙන් ලොකු කල් මැරීමක් අවශ්‍ය නෑ. ඒත් කල් පවතින ගීතයක් නිර්මාණය කරන්නට නොහිතන කාලයක් ගතවෙන්න පුළුවන්.”
• ‘පමා වී පිපුණු මල් සුවඳයි’ කෘතියට ඇතුළත් නිර්මාණත් වසර ගණනක් තිස්සේ රචනා කළ ඒවා බව පෙනෙනවා. මේ ගීත සංග්‍රහයේ ඇතුළත් ගීතවලට බලපෑ අනුභූතීන් සහ මූලාශ්‍ර මොන වගේ ද?
“මේ සමහර නිර්මාණවලට පදනම් වෙන්නෙ මා ඇසූ දුටූ දේ. ඇතැම් විට රාජකාරි දිවියේදී ලැබූ අත්දැකීම්. ගම්වල දැකපු සමහර මානුෂීය සිද්ධි. මේ කිසිම අත්දැකීමක් ඍජුව ප්‍රකාශ කරන්න බෑ. ඒක කාව්‍යාත්මකව ගීතාත්මකව ගොඩනැගෙන්න ඕනෑ. බුද්ධිමත් රසිකයාට හිතන්න ඉඩක් මෙයින් ලැබෙන්න ඕනෑ. එවැනි ගීත තමයි කල් පවතින්නේ.”
• වර්තමානයේ බොහෝ දෙනා කවියේත් ගීතයේත් නියමාර්ථ අදහස හඳුනාගත නොහැකිව වැරැදි අදහස්වල එල්බගෙන සිටින සැටි පෙනෙනවා. ගීතයක් යනු කුමක්දැයි හඳුනා ගන්නේ කොහොම ද?
“ගීතයේත් සංගීතයේත් විවිධ යුග වෙන් කළාට පොදුවේ ගත්තාම අපි ගීතය සඳහා ඇසුර ලබන්නේ ඉන්දියානු රාගධාරී සංගීතය සහ යම් තරමකට බටහිර සංගීතයේ ආභාසයෙන්. එහෙම වුණත් ගීත පද රචනාව තුළදී කවුරු වුණත් අපේ ක්‍රමයක් හොයනවා. ගීතය කියන්නේ විනාඩි තුන හතරකින් අවසන් වෙන කලා මාධ්‍යයක්. මේ කුඩා කාලය තුළ රසිකයාට අපි ලබාදෙන අදහස උපරිමාර්ථ ගැන්වෙන හැටියට ඉදිරිපත් කරන්න ඕනෑ.
කවියකට මීට වඩා ඉඩ හසරක් තියෙනවා. ඒකට දිග පළල සීමාවක් නෑ. කවියාට තම අනුභූතිය ඕනෑ තරම් දුරට විස්තාරණය කරන්න පුළුවන්. මුළු කෘතිය පුරාම එක කවියක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒත් ගීතයේදී ඒ නිදහස ලැබෙන්නේ නෑ. අපි පුරුදු වෙලා ඉන්න හැටියට ගීතයේ ස්ථායි හා අන්තරා කියලා කොටස් දෙකක් හඳුනා ගත්තාට ඒක සම්මතයක් නොවෙයි. ඊට වඩා නිදහස් රීති ඔස්සේ ගීත ලියවෙන්න පුළුවන්. ඔබ පවා එහෙම නිර්මාණ කරලා තියෙනවා. එකම දේ අපි මතක තියාගන්න ඕනෑ කාරණය තමයි කවියකට තනුවක් යොදපු පලියට ඒක ගීතයක් වෙන්නේ නෑ.”
• ඔබ ලියූ බොහෝ ගීත නොනැසී පැවැත්මට එක් හේතුවක් විය හැක්කේ එම පදමාලාවල ඇති සාහිත්‍යමය අගයයි. ගීතයක කල් පැවැත්මට එම කාරණය බලපාන්නේ කොහොම ද?
“අප තෝරා ගන්නා එක් එක් ගායක – ගායිකාවන්ගේ ගායනාවල ඔවුන්ට අනන්‍ය ගායන විධි තිබෙනවා. ඇතැම් ශිල්පීන්ට එබඳු සීමාවක් නැහැ. පද රචකයා කිසියම් ගායකයකු වෙනුවෙන් ගීයක් ලිව්වොත් ඔහුගේ ගායන රුචි අරුචිකම්, ගායන ලීලාවන් තේරුම් ගැනීම වැදගත්. ඔවුන්ගේ සීමාවලට පද රචනය කොටු විය යුතුයි කියලා නොවෙයි මේ කියන්නේ. කිසියම් කෙනකුගේ ඇරැයුමකට ලියනවා නම් ඒ කාරණය වැදගත්. අපි අර කියපු සාහිත්‍යමය භාවිතාව කිසියම් වර්ණයක් ඇතිව භාවිත කිරීම එවිට පහසු වෙනවා. එහෙම වුණාම ඒ සාහිත්‍යමය භාවිතයටම ගැළපෙන සංගීතයක් නිර්මාණය කිරීමට සංගීතඥයාටත් පහසුවක් ඇති වෙනවා වගේම ගායකයාගේ ගායනයත් පහසු වෙනවා.”
• ඔබේ ගීත බොහොමයකට සාම්ප්‍රදායික ජන මූලාශ්‍ර ඉතා කලාත්මකව භාවිතයට ගත් අවස්ථා දකින්නට ලැබෙනවා. ගීතයකදී මුසු කරගන්නා එබඳු මූලාශ්‍ර ඔබ තෝරාගන්නේ ගළපාගන්නේ කොහොම ද?
“කලාපීය විදිහට වර්ධනය වූ ගායනාවන් බැලුවොත් ඒ හැම එකක්ම මතු වන්නේ ඔවුන්ගේ මූලාශ්‍රත් එක්ක. යුරෝපීය ජාතිකයන් ගැන කිව්වත් ඔවුන්ගේ මූලාශ්‍ර කොහේ හරි කොනක තැවැරිලා තියෙනවා. ඇතැම් විට ඒවා ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා. එහෙම වුණාම එය මුළු ලෝකයටම සමීප බවක් පෙන්වනවා. හැම වෙලාවෙම අපි යමක් ලියන්න ඕනෑ රසිකයා යනු බුද්ධිමත් කෙනෙක්ය කියන ස්ථාවරයේ ඉඳලයි. තාවකාලික සතුට පමණක් අපේක්ෂා කරලා ලිව්වොත් ඒ මොහොතින් පස්සේ ඒ නිර්මාණයත් ප්‍රතික්ෂේප වෙනවා.
ඒ කොහොම වුණත් අපේ නාද රටාවල මේ කියන සියල්ල තියෙනවා. නිර්මාණකරුවන් කරන්න ඕනෑ මේවා ගැන ටිකක් ගැබුරට ගිහින් විමසන එකයි. මම මුල්ම කාලයේ ලියපු ‘ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ’ වගේ ගීතයකදී වන්නම්වල ආශ්‍රය ලැබුණා. ඊට පස්සේ දිගින් දිගට මේවා ගැන හොයනකොට අපට පුළුල් ජන මූලාශ්‍ර අධ්‍යයනයක අවශ්‍යතාව දැනෙන්න ගන්නවා. ඒ සඳහාම අවශ්‍ය වදන් මාලාවකුත්, විරිත් මාලාවකුත්, ගායනා විධිත් අපට තිබෙනවා.
අත්දැකීමට උචිතව එහෙම බිහි වෙන ගීතය හොඳ නිර්මාණයක් හැටියට එළියට දාන්න තියෙන ඉඩකඩ වැඩියි. පැරැණි ගීත රචකයන් බොහෝ දෙනකු ඒ විදිහේ ගැඹුරු අධ්‍යයනයක් සහිතව පද රචනා කළ අය. මේ අධ්‍යයන ඇසුරින් අලුත් නාද රටා නිපදවා ගැනීමයි වැදගත් වෙන්නේ. එහෙම අලුත් විරිත් භාවිතයක් මතු කළ අවස්ථාවක් තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලියූ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව ගායනා කළ ‘මහබෝ වන්නම’ ගීතය. ‘සිනිදු සුදුමුදු තලාවේ’ ගීතයේ වුණත් හොඳ සංගීතයක් නිර්මාණය කිරීමට ඇල්විටිගල මහතාට බලපෑවේ මේ පද රචනාවේ විශේෂ ගුණය.”
• හැබැයි අද ගීතය පත්ව ඇති තත්ත්වය ගැන ප්‍රවීණයන් බොහෝ දෙනා අප්‍රසාදයෙන් නේද කතා කරන්නේ? ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොම ද?
“මම නම් හිතන්නේ අපි යුග වශයෙන් වෙනම ඉරක් ගහලා වෙන් කරලා ඒ යුගය තමයි හොඳ, දැන් කාලේ හොඳ නෑ කියන එක සාධාරණ නැහැ. හොඳ ගීත බිහි වෙන්න හෝ නොවෙන්න යම් යම් හේතු තිබුණා. මුල් කාලේ හොඳ ගීත බිහි වෙන්න ගුවන්විදුලිය විශේෂයෙන් බලපෑවා. ඒ වගේම ඇතැම් කැසට් ආයතන. මේ තත්ත්වය 80–90 දශක දක්වාම පැවැතුණා. ඉන් පස්සේ මේවා අවර ගණයේ භාවිතාවන්ට ලක්වෙලා ගුණාත්මක බව පිරිහිලා ගියා. තාක්ෂණික භාවිතයන් නිසා ගීත හොරුන් බිහි වුණා. දක්ෂයකුට එන්න මාර්ගයක් නැතිව ගියා. පෞද්ගලික මාධ්‍යවල වුණත් එබඳු නිර්මාණ සඳහා ඇති ඉඩකඩ සීමිත වුණා.
එහෙම බැලුවාම දැන් ගීත පද රචකයන් වර්ග කීයක් ඉන්නවා. එක් පිරිසක් තමයි තමන් හොඳට ලියලා පුළුවන් ආකාරයෙන් වියදම් කරලා ගායන ශිල්පියාටත් ගෙවලා ගායනා කරවලා ගීතයක් බිහි කරගන්න අය. මෙයින් සමහර අය නිර්මාණවල හොඳකම නිසා යම් සාධනීයත්වයක් පෙන්නුම් කොට ක්ෂේත්‍රයේ රැදී ඉන්නවා. තවත් පිරිසක් මොන තරම් සල්ලි වියදම් කළත් නිර්මාණවල අසාර්ථක බව නිසා මතු වෙන්නේ නැතුව යට යනවා. මුදල් තියෙන අය නිර්මාණ වෙනුවෙන් කල් මරන්නේ නෑ, සංස්කරණ නෑ, සල්ලි බලයට කරනවා.
ඒ වගේම තරු සංකල්ප ඔස්සේ ගීත ලියන අයත් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඒ අවස්ථාවේ ජනප්‍රියත්වය පමණයි. ඔවුන් බලන්නේ සුලබ ජනප්‍රියත්වය සහ වාණිජ වෙළෙඳ වටිනාකම පමණයි. ඒත් ඒවා වැඩි කාලයක් පවතින්නේ නෑ. මේ තත්ත්වය ක්‍ෂේත්‍රයට හානිකරයි. මේ තත්ත්වයට මුහුණ දෙන්න බැරි සහ තමන්ට රුචි නිර්මාණ කරන්න පරිසරයක් නැති තව පිරිසක් නිර්මාණ නොකර නිහඬව ඉන්නවා.”
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ප්‍රවීණ ගීත පද රචක වසන්ත කුමාර කොබවක
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කවියකට තනුවක් දාපු පමණින් ගීතයක් වෙනවද?