IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කවුරු හිටියත් නැතත් ධූර කාලය දිගටම

සන්ඩේ ටයිම්ස් දේශපාලක විශ්ලේෂක විසිනි
පරිවර්තනය  කෝවිද ගුණසේකර

මෙම වසරේ පැවැත්වෙනු ඇතැයි තවමත් සහතිකයක් නොමැති වුව ද සභාග රජයේ ප්‍රධාන පාර්ශව වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලට මුහුණදීමට සූදානම් වෙමින් සිටින අයුරු දැකගත හැකිය.

මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභාවලට අදාළ වන තවත් සංශෝධනයන් කිහිපයක් නුදුරේදීම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.එම සංශෝධනවලට අදාළ කෙටුම්පත් මේ වන විටත් ලහිලහියේ සකස් කැරෙමින් පවතී.පසුගිය සතියේ කතානායක කරූ ජයසූරිය මහතා පළාත් පරිපාලන (සංශෝධන) පණතට අත්සන් තැබුවේ ය.සියයට හැටක නියෝජනයන් කේවල ක්‍රමය යටතේත්, ඉතිරි සියයට හතළිහක නියෝජනය සමානුපාතික ක්‍රමය යටතේත්, පත් කැරෙන නව මැතිවරණ ක්‍රමය එම පණතෙහි සදහන් වැදගත් කරුණකි.

පිළිවෙලින් සැප්තැම්බර් මස 26, සැප්තැම්බර් මස 30 සහ ඔක්තෝබර් මස 1 වැනි දින ධූර කාලවල අවසන් වන සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභාවල මැතිවරණ අදාළ පරිදි පැවැත්විය යුතු වනු ඇත.ඒ සඳහා නාම යෝජනා භාර දීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 2 හෝ 3 වැනිදා වුවත්, එය එසේ සිදුවනවාදැයි තීරණය වනු ඇත්තේ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමෙන්තුවේ සම්මත වීම හෝ නොවීම මතය. 20ඒ සංශෝධනයේ සඳහන් ඇතැම් කරුණු දැනටමත් අභියෝගයට ලක් කැරෙමින් පවතින අතර, සියලු මැතිවරණ එකම දිනයක දී පැවැත්විය යුතුයැයි සදහන් වගන්තිය දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර හමාරය.සංශෝධනය සම්මත කරගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීමට රජයේ නායකයෝ උත්සාහ කරමින් සිටින්නෝ ය.ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයැයි එම සන්ධානය මතුකළ කරුණු ඊට ඇතුළත් කිරීම හරහා මෙම සහය දිනාගැනීම ඔවුන්ගේ සැලසුම වන අතර, මේ අනුව ගතහොත් 20ඒ තවදුරටත් සංශෝධනය කිරීමට ඉඩ තිබේ.

මෙම කටයුතු සිදුවන්නේ ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගැනීම සඳහා පාර්ලිමෙන්තුවේ සහය දිනාගැනීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද එකසේ කටයුතු කරමින් සිටින වාතාවරණයකය.ව්‍යවස්ථා සම්පාදන කටයුතු හා සම්බන්ධ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු නීති ක්ෂේත්‍රයේ විශාරදයින් හා සාකච්ඡා පවත්වා ඇත.දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග මුහුණට මුහුණ හමුවකට සහභාගී වූ අතර, එහිදී සම්බන්ධන්, ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සදහා ලබාදෙන්නැයි ඉල්ලා තිබේ.එසේ සහාය ලබාදීමෙන් ඒකාබද්ධ විපක්ෂයට ද යම් යම් වාසි සැලසෙන බව ද ඔහු පෙන්වා දී ඇත.මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් දැනුම්වත් මුල් පෙලේ ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයකු සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.

“ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන ලෙස සම්බන්ධන් කළ ඉල්ලීම රාජපක්ෂ ඉතා ආචාරසම්පන්නව ප්‍රතික්ෂේප කළා. එහෙත් මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට දැනුම්දෙන බව ඔහු කීවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා යෝජනා ගැන තවමත් නිල වශයෙන් දැනුම්වත්ව නොමැති බවත්, ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා යෝජනා 14ක් යොමුකර තිබෙන බවත්, රාජපක්ෂ පැවසුවා.ඒ වගේම රජය ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දිගින් දිගටම හිරිහැර කරමින් සිටින බවත්, හිටපු ජනපතිවරයා, සම්බන්ධන්ට පැමිණිලි කළා.“

සම්බන්ධන් සන්ඬේ ටයිම්ස් හා සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පැවසුවේ ය.

“ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ආරාධනයත් පිළිගෙන මම පසුගිය අගහරුවාදා ඔහුව හමුවුනා.රටේ ඔඩුදුවා තිබෙන ගැටලු බොහෝමයකට විසදුම් ලබාගත හැකි බවක් පෙනෙන නිසා, නව ව්‍යවස්ථාවට සහය ලබාදෙන්නැයි ජේ්‍යෂ්ඨ මහජන නියෝජිතයකු ලෙස මා ඔහුගෙන් ඉල්ලා සිටියා.නායකයකු ලෙස ඔහු ජනතාවට නායකත්වය දිය යුතුයි.ඒ ගැන සිතා බලන්නම් කියා ඔහු මට කීවා.“

සිකුරාදා ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායමේ නායක සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සත්‍යග්‍රහයක් පැවැත්වුයේ ය.එය ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමේ අරමුණින් පැවැත්වෙන බව සදහන් කැරින.කතරගම කිරිවෙහෙරේ දී පැවැති මෙම අවස්ථාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා, පළාත් සභා අමාත්‍යවරුන්, හිටපු පළාත් සභා සහ පළාත් පාලන සාමාජිකයන් රැසක් සහභාගීව සිටියහ.

ළග එන මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් පළකළේ ය.

’‘ උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල ධූර කාලය සැප්තැම්බර් මාසයේ අවසන් වීමට නියමිතයි.ධූර කාලය අවසන් වීමෙන් සතියකට පසු නාමයෝජනා කැඳවන ලෙස දැනුම්දීමට නියමිතයි.මෙය සිදුවෙන්නේ ඔක්තෝබර් 2 හෝ 3 වැනිදා.නාමයෝජනා භාරදීම සිදුවන්නේ එයින් දවස් 14කට පස්සේ.නාමයෝජනා භාරදීමෙන් පසු සති 5ක්  8ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතුයි.හැබැයි මෙහෙම සිදුවන්නේ 20ඒ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමෙන්තුවේ සම්මත වුවහොත් පමණයි.“
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වූයේ ය.

“ මැතිවරණ පැවැත්වීම සදහා අදාළ අවසරය මසක් ඇතුළත ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තුවෙන් සිටින්නේ.අවසරය ලැබී දින දෙකක් හෝ තුනක් ඇතුළත අපි නාමයෝජනා කැඳවනවා.එතැන් සිට සති දෙකක් ගෙවී ගියාට පසු අපි නාමයෝජනා භාරගන්නවා.ඉන් අනතුරුව සති පහක් හතක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතුයි.මේ අනුව පළාත් සභා හෝ වේවා පළාත් පාලන ආයතන හෝ වේවා එක් මැතිවරණයක් දෙසැම්බර් මස පළමු සතියේ පැවැත්විය හැකියි. එහෙත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාසය පුරාම පැවැත්වෙන නිසා මැතිවරණ මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට පාසල් ලබාදීමට හැකියාවක් නොමැති බව විභාග කොමසාරිස්වරයා දැනුම් දී තිබෙනවා.ඒ නිසා එම කාලයේ මැතිවරණ පැවැත්වීමට හැකියාවක් නැහැ.මේ අනුව සලකන විට  මේ කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ ලබන වසරේ ජනවාරි මාසයේ පළමු සතියෙන් පසුව.“

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බලවත් කණ්ඩායමක් පසුගිය දා ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවූයේ මෙවන් තත්ත්වයක් පැවැතියදීය.තමන් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නොපැමිණි බවත්, මෙය නිල නොවන හමුවක් බවත් අවධාරණය කර සිටි ඔවුහු, ඉදිරි මැතිවරණය සදහා මහින්ද කදවුර සහ මෛත්‍රී කදවුර එක්සත්ව අපේක්ෂකයින් ඉදිරිපත් කළ යුතුව ඇතැයි යෝජනාවක් ඉදිරිපත් කළහ.මේ හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි වාසියක් හිමිකරගත හැකි බව ඔවුහු පෙන්වා දුන්හ.

ඔවුන්ගේ සතුටට හේතුවන පරිද්දෙන් ජනපති සිරිසේන එම යෝජනාව පිළිගත්තේ ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කිරීමට කැමති අයට ඒ සදහා අවස්ථාව විවෘත බව ඔහු පැවසුවේ ය.දෙපාර්ශවය එක්සත් වීමට නම් තවත් බොහෝ දුරක් ගෙවීමට ඇතත්, විවිධ කරුණු සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිට කටයුතු කිරීමට මහින්ද සහ මෛත්‍රී දෙපාර්ශවයේ සාමාජිකයෝ කටයුතු කරමින් සිටින්නෝ ය.මෙසේ දෙපාර්ශවය එක් වුවහොත් එක්සත් ජාතික පක්ෂයට මුහුණදීමට සිදුවන්නේ සුලුපටු අභියෝගයකට නොවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය අරබයා පසුගිය බදාදා ජනපති මන්දිරයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ජනපති සිරිසේන කටයුතු කළේ ය.සංවත්සර සැමරුමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩි අවධානයක් යොමු කරන්නේ පිරිසිදු දේශපාලනයක නිරත වෙමින් එක්සත්ව කටයුතු කිරීමට බව ඔහු පැවසුවේ ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සභාග රජයක් ඇතිකරගැනීම සදහා එළැඹි අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් තනිව රජයක් පිහිටුවන බව නොයෙක් තැන්හි ප්‍රකාශ කර ඇතත්, පාර්ලිමෙන්තුවේ දෙපක්ෂයම සතු ආසන සංඛ්‍යාව සැලකිල්ලට ගත් විට තනිව රජයක් තැනීමට අවශ්‍ය තරම් ආසන සංඛ්‍යාවක් එකදු කණ්ඩායමකටවත් නොමැති බවයි.එනිසා සභාග රජය ඉදිරියටත් පවතිනු ඇති බව ඔහු පැවසුවේ ය.

සභාග රජයේ පැවැත්ම පිළිබද තීරණය ගනු ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම බව ජනපතිවරයා මෙහිදී නැවත වරක් කියා සිටියේ ය.

“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභාව තමයි සභාග රජය 2017 දෙසැම්බර් මාසය දක්වාම පවත්වාගත යුතු බවට 2015 අගෝස්තු මාසයේ තීරණය කළේ.පක්ෂයේ සංවත්සරයෙන් පස්සේ අප මෙය දිගටම පවත්වාගෙන යනවා ද නැති ද යන තීරණය ගන්න ඕනෙත් පක්ෂයේ මධ්‍යම කාරකසභාව.අපට දැනට නම් ගැටලුවක් පෙනෙන්නට නැහැ.රජයේ පැවැත්ම තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායම බව මම මෙහිදී පැහැදිලිව කිව යුතුයි.මම දැක්කා ඉරිදා පත්තරයක එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් කියලා තියෙනවා ජනවාරි මාසයේ ඔවුන් ඔවුන්ගේම රජයක් හදනවා කියලා.කවුරු ගියත්, මම දිගටම රට පාලනය කරනවා.එය තමයි මගේ වගකීම.මගේ ධූර කාලයේ මා එක්ක කවුරු හිටියත් මම රජය කරගෙන යනවා.“

මෙම වසරේ අයවැය සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ජනපති සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ රටෙහි ආර්ථිකය වෙනුවෙන් වන “2020 දැක්ම“ යටතේ මෙවර අයවැය ඉදිරිපත් කරන බවයි. “දැක්ම 2020“ නිල වශයෙන් අද (4) නිකුත් කිරීමට නියමිතය.මේ සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස්, මුදල් අමාත්‍යවරයා හා පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව පහතින් දක්වා තිබේ.

දෙපාර්ශවය අතර ගැටුම් පැවැතිය ද ආර්ථික සංවර්ධන කටයුතු අරබයා එම ගැටුම් බාධා බවට පත් කරගැනීමේ වුවමනාවක් ජනපති සිරිසේනට නොමැති බවක් පෙනෙන්නට ඇත.රටේ ආර්ථික කටයුතුවලට වැඩි මැදිහත්වීමක් සිදුකිරීමට ඔහු පියවර ගෙන ඇත.පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී ජනපතිවරයා ගෙන ඇති එවන් එක් පියවරක් වන ජාතික ආර්ථික කවුන්සිලය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කැරුනු අතර, තවත් අමාත්‍යවරු එහි සාමාජිකයන් ලෙස පත්කර ගත යුතු බවට එහිදී එකගත්වය පළවිය.

2025 වසර වන විට ශ්‍රී ලංකාව සමෘධිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් හදුන්වාදෙන දැක්ම 2020 සම්බන්ධයෙන් ජනපති සිරිසේනව දැනුම්වත් කිරීමට පසුගිය ඉරිදා රාත්‍රියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, යන අමාත්‍යවරු කටයුතු කළහ.ජනපතිවරයාගේ ඉල්ලීම මත ඔවුහු නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරු ද දැනුම්වත් කළහ.සරත් අමුණුගම මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වුව ද, ඔහු නොපැමිණියේ ය.

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආශිර්වාදය සහ සහාය හිමි දැක්ම 2020 වැඩපිළිවෙල නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ දි සිල්වා, මහ බැංකුවේ ජේ්‍යෂ්ඨ නිළධරයන්, භාණ්ඩාගාර නිළධරයන්, සහ ජාතික ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ නිළධරයන්, එක්ව ජනපතිවරයා සහ රැස්ව සිටි පිරිස හමුවේ පැහැදිලි කළේ ය.එයට අදාළව යම් යම් නීතිමය සංශෝධන ද හදුන්වාදීමට නියමිත අතර, නව ආදායම් බදු පණත, විදේශ විනිමය පණත, වත්කම් ප්‍රකාශ කිරීමේ පණත, රාජ්‍ය ඉඩම් සහ බැංකු පණත, ගොඩකිරීම් වැළැක්වීමේ පණත, රාජ්‍ය වානිජ කර්මාන්ත පණත, වරාය හා ගුවන්තොටුපල පණත, රුහුණු ආර්ථික සංවර්ධන පණත, ඉඩම් (විශේෂ අවසරයන්) පණත, තිරසාර සංවර්ධන පණත, හිමිකම් කලමණාකරන පණත, ජාතික ණය කාර්යාල  පණත, ආදිය ඒ අතරින් ප්‍රධානය.

පහත දැක්වෙන්නේ පිටු 200කින් යුතු දැක්ම 2020 හි තෝරාගත් කොටස් කිහිපයක සංක්ෂිප්තයකි.
2020 දැක්ම යටතේ වසර තුනක ආර්ථික සංවර්ධන සැලැස්මක් හදුන්වාදීමටත්, එම සැලැස්ම ප්‍රකාරව පුලුල් ආර්ථික සංවර්ධන මූලෝපායක් හදුන්වාදීම හරහා සංවර්ධනය හමුවේ ඇති බාධක ජයගැනීමටත්, ඒක පුද්ගල ආදායම වසරකට ඩොලර් 5000ක් දක්වා ඉහළ නැංවීමටත්, රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කිරීමටත්, විදෙස් සෘජු ආයෝජනයන්ගේ වටිනාකම වසරකට ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමටත්, අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 20ක් දක්වා ඉහළ දැමීමටත්, රජය අපේක්ෂාවෙන් සිටී.මේ සියල්ලේ අරමුණ වනුයේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත් කිරීම බව එහි වැඩිදුරටත් සදහන්ය.

විනිමය අනුපාතිකය වෙළදපල මත තීරණය වීමට සලස්වා ඒ මාර්ගයෙන් සියලු භාණ්ඩ, සේවා හා නිශ්පාදනයන්ගේ මිල සියලුමදෙනාට දැරිය හැකි අගයකට ගෙන ඒම මගින් ශ්‍රී ලංකා අපනයනවලට අන්තර්ජාතික වෙළදපලේ තරගකාරී ස්ථානයක් හිමිවන බව සහතික කිරීම රජයේ සැලැස්මයි.විනිමය අනුපාතිකය මත බාහිර බලපෑම් අවම රටට හිමි අන්තර්ජාතික සංචිතයන් වර්ධනය වීමට හේතුවක් වනු ඇති බව සලකන රජය, ඒ හරහා බාහිර බලපෑම්වලින් ශ්‍රී ලංකා ආර්ථිකයකට සිදුවිය හැකි හානි අවම කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරයි.

රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම මගින් පොදු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ණය ගිවිසුම් ඇති කරගැනීම අවම කිරීමටත්, විධිමත් නීතිමය, රෙගුලාසිමය සහ ආයතනිකමය ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වන පැහැදිලි රාජ්‍ය පෞද්ගලික ප්‍රතිපත්තියක් ඇති කිරීම මගින් පෞද්ගලික අංශය රජය වෙත වඩාත් ආකර්ෂණය කරගැනීමටත් රජය බලාපොරොත්තු වේ.දැනට ප්‍රවාහන සේවා, බලශක්ති ජනනය, පානීය ජලය, කසළ කලමණාකරනය, සහ කර්මාන්තපුර යන ක්ෂේත්‍රවලට පමණක් සීමාවී ඇති රාජ්‍ය පෞද්ගලික සම්බන්ධතා ඉදිරියේ දී සෞඛ්‍යය, විනෝදාස්වාදය, සංචාරක, අධ්‍යාපන, වරාය හා ගුවන් යනා ක්ෂේත්‍ර දක්වාම පුලුල් කිරීමටත් රජය අපේක්ෂාවෙන් සිටී.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීමට නොහැකි වීමට ප්‍රධානම හේතුව ලෙස රජය හදුනාගෙන තිබෙන්නේ යහපාලනයට බලපෑම් එල්ල කරන දැනට රටේ ක්‍රියාත්මක දුර්වල ප්‍රතිපත්තීන්ය.එවන් ප්‍රතිපත්තීන් නිසාවෙන් රජයට දිගින් දිගටම අන්තර්ජාතික තලයේ අපහසුතාවයට පත්වීමටත්, තවද, ප්‍රතිපත්තිවල අවිනිශ්චිතභාවය, පොදු සේවාවල දුර්වලතාව, සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සේ ඇතැම් රාජ්‍ය පරිපාලන කටයුතු ක්‍රියාත්මක වීමටත් ප්‍රධාන හේතුව වන්නේ මෙම දුර්වල ප්‍රතිපත්තීන් බවත් රජය වැඩිදුරටත් හදුනාගෙන ඇත.

ඒ අනුව ප්‍රතිපත්තීන් ශක්තිමත් කිරීම මගින් මෙම තත්ත්වය පිටුදැකීමටත්, දූෂණය හා වංචාවට එරෙහිව දැඩිව පෙනී සිටීමටත්, වෙනස් කිරීමේ න්‍යාය පත්‍රයක් යටතේ  රටේ ව්‍යවස්ථාවට වෙනස්කම් සිදුකිරීම මගින් යහපාලනය ස්ථාපිත කිරීමටත්, නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීමටත් රජය කැපවන බව 2020 දැක්මෙහි දැක්වේ.මේ හරහා එක් එක් පුද්ගලයාට සංවර්ධනය සඳහා සම අවස්ථා ලැබෙන බව සහතික කිරීමත්, ආර්ථික සහ පෞද්ගලික සංවර්ධනයට ඉඩකඩ තිබෙන බව සහතික කිරීමත් රජයේ අරමුණයි.

තොරතුරු දැනගැනීමේ පණත සම්බන්ධයෙන් ද විශේෂ සදහනක් 2020 දැක්මට ඇතුළත් කිරීමට රජය කටයුතු කර ඇත.ඒ අනුව, තොරතුරු දැනගැනීමේ පණත හඳුන්වාදී තිබෙන්නේ රජය ජනතාවය වගකිව යුතුවන, තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට හවුල්වීමට ජනතාවට ද අවස්ථාව සලසා දෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට ඉතාම අවශ්‍ය වන සංවාදය ඇති කිරීමට වේදිකාව තනන, මාර්ගයක් ලෙසය.තොරතුරු දැගගැනීමේ පණත හරහා බිම් මට්ටමෙන් ජනතාව බලගැන්වී, වඩා ක්‍රියාශීලීව, රාජ්‍ය කරවීම සදහා රජය සමග වඩා අර්ථවත් සහ ගුණාත්මක භාවයෙන් යුතු සංවාදයකට එළැඹෙන බව රජය පෙන්වා දී තිබේ.තොරතුරු දැනගැනීමේ පණත වෙනුවෙන් දැඩිව පෙනී සිටින බව ද 2020 දැක්මෙන් රජය සහතික කර ඇත.

ජනපති සිරිසේන ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයන්ගෙන් එල්ලවන අභියෝගයන්ට මුහුණදීමට සූදානම් වන බව පසුගිය සතියේ දේශපාලන කරළියේ සිදුවීම්වලින් පැහැදිලි විය.ඉදිරියේ එන මැතිවරණයන් සහ ව්‍යවස්ථා සංශෝධනය ඒ අතරින් ප්‍රධානය.ආර්ථික ක්ෂේත්‍රය සළකන විට ආන්දෝලනාත්මක හම්බන්තොට වරාය එළැඹෙන ඔක්තෝබර් මස පළමුවැනිදා ව්‍යාපෘතිය භාර චීන සමාගම වෙත ලබාදීමට නියමිතය.දැක්ම 2020 සැලකුවහොත් එහි සදහන් වන්නේ පසුගිය කාලය පුරාවටම රජය නැවත නැවතත් දුන් සහතික සහ පොරොන්දුය.අලුත් දේවල් නැතිවාම නොවේ.නමුත් ජනපතිවරණ සහ මැතිවරණ වේදිකාවේ රජය එම අලුත් දේවල් ද යම් යම් වශයෙන් සදහන් කළ අවස්ථා තිබින.මෙය දකින අයෙකු පරණ වයින් අලුත් බෝතලයක දමා පෙන්වනවාක් වැනි යැයි කියා තත්ත්වය විග්‍රහ කළහොත් එහි වරදක් නැත.මේ කියන දේ කොපමණ තරමකින් ඉටුවනු ඇති ද? ගැටලුව ඇත්තේ එතැනය.

 



අදහස් (0)

කවුරු හිටියත් නැතත් ධූර කාලය දිගටම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 142 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site