IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කළුතර බෝ සමිඳුට සෙවණ සැදූ මහා දානපති

(ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අධ්‍යාපනපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නාහිමි)

ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා සම්පත්තීන් ජීවිතය පුරා පුරුදු පුහුණු කරමින්, ප්‍රතාපවත් මහා පෞරුෂයකින් ද, අප්‍රතිහත ආත්ම ශක්තියකින් ද, දූරදර්ශී ඥානයකින් ද පිරිපුන් දේශවාත්සල්‍යයෙන් හා ශූර ව්‍යාපාර බුද්ධියකින් හෙබි, ඒ සැමටත් වඩා සම්බුදු සසුනෙහි අතිප්‍රසන්න වූ බෞද්ධ මහෝපාසක චරිතයක් මෑත කාලයේ අප ලක් ධරණී තලයේ පහළ වී නම් ඒ අන් කවරකුවත් නොව ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ම ය.

විරුවන්ගේ නිජබිම ලෙස විරුදාවලි ලත් දකුණු සිරිලක ඓතිහාසික වැලිතොට හෙවත් බලපිටිය පුරවරය මෙතුමාගේ ජන්ම භූමියයි. බලපිටිය වැලිතර විසූ සොලමන් ද සොයිසා නොතාරිස්තුමා හා හැරියට් ද සොයිසා ළමාතැනී මෙතුමාගේ මව්පියෝ වූහ. වර්ෂ 1896 ඔක්තෝම්බර් 26 වැනිදා උපත ලැබූ මෙතුමා මාතර ශාන්ත තෝමස්, ගාල්ල රිච්මන්ඩ් හා කොළඹ රාජකීය යන විදුහල්වලින් අධ්‍යාපනය හැදෑරීය. 1916 කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත්ව කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව නීති උපාධිය හදාරා බලපිටිය උසාවියෙන් නීතිඥයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. නොබෝ කලකින්ම කළුතර උසාවියේ නීතිඥයකු ලෙස සේවයට පැමිණීම මෙතුමාගේ ජීවන ගමන් මගෙහි විශිෂ්ට වෙනසක් ඇති කිරීමට හේතු වූයේය.

කළුතර උසාවිය අසල දුම්රිය මාර්ගය ආසන්නයෙහි පැරණි බෝධීන් වහන්සේ නමක් වැඩසිටින බව දුටු මෙතුමා උසාවියේ රාජකාරි අවසන් කිරීමෙන් පසු දිනපතා සවස් කාලයේ බෝධීන් වහන්සේ වෙත ගොස් වතාවත් කොට තෙල් මල් පහන් පූජා කිරීම සිරිතක් කර ගත්තේය. එකල මෙම බෝධීන් වහන්සේ පැවතියේ ඉතා අනාරක්ෂිතව හා නොදියුණු තත්ත්වයකය. වරක් ඉංග්‍රීසි ඒජන්තවරයා බෝධීන් වහන්සේට වත්පිළිවෙත් කිරීම නවතා දමන ලෙස නියෝග කර තිබුණි. ඒ නිසාම බෝධීන් වහන්සේ පැවතුණේ හුදකලාවමය. දක්‍ෂ තරුණ නීතිඥවරයකු ලෙසත් ශ්‍රද්ධා භක්තියෙන් යුත් බෞද්ධයකු ලෙසත් ඒ නියෝග නොතකා පෙරටත් වඩා බෝධීන් වහන්සේ වෙත වත්පිළිවෙත් පුද සත්කාර කරන්නට යෙදුණි. මෙය දුටු බෞද්ධ ජනතාව මෙතුමා සමඟ එක්ව වන්දනාමාන කටයුතු නොබියව සිදු කළේය. බෝධීන් වහන්සේ ඉදිරිපස කඳු ගැටය මත පිහිටි සුදු ඒජන්ත නිල නිවස හා ඊට දකුණුපස තිබුණු කච්චේරි භූමිය සිය පෞද්ගලික මුදලින් මිලට ගත් මෙතුමා විශ්වකර්ම නිර්මාණයක් බඳු මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ නිර්මාණය කරන්නට කටයුතු ආරම්භ කළේය.

ඒ සඳහා 1951 වර්ෂයේ දී කළුතර බෝධිභාරකාර මණ්ඩලය පිහිටුවා ගාලු පාරේ යනෙන ජනයාගේ පහන් සිත් ජනිත කරවීමට සමත් දර්ශනීය පූජා භූමියක් නිර්මාණය කළේය. අඩි 95 විශ්කම්භයකින් හා අඩි 300 වට ප්‍රමාණයකින් යුක්ත චෛත්‍යය අභ්‍යන්තර අවකාශයකින් යුක්තව බුබ්බුලාකාර හැඩයට නිර්මාණය කළේය. 1964 වර්ෂයේ චෛත්‍ය කර්මාන්තයේ වැඩ අරඹා 1974 වර්ෂයේ ජනවාරි වන විට සියලු වැඩ අවසන් කොට කොත් පලඳවා ශාසනයට පූජා කිරීමට තරම් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාණෝ භාග්‍යසම්පන්න වූහ. එසේම මේ නිර්මාණ සඳහා තම ධනය මෙන්ම ශ්‍රමය හා කාලය ද යෙද වූයේ අසීමිත භක්තියකිනි. අද දෙස් විදෙස් ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ අබෞද්ධ ජනතාවගේ පුද සත්කාර ලබන දර්ශනීය පූජනීය ස්ථානයක් බවට පත්ව ඇති කළුතර බෝධි පරිශ්‍රය මෙතුමාගේ පුණ්‍ය ඵලයෙහි අග්‍ර ඵලයයි.

ස්වර්ණපාලි නමින් පෞද්ගලික බස් සමාගමක් ආරම්භ කළ මෙතුමා පසුව එම සමාගම සවුත් වෙස්ටර්න් නමින් නම් කොට පවත්වාගෙන ගියේය. එම බස් සමාගම එකල අප රටේ විශාලම පෞද්ගලික බස් සමාගම විය. 1956 බණ්ඩාරනායක රජය බස් ජනසතු කළ අවස්ථාවේ දී තම සමාගමේ බස් රථ රජයට බාර දුන්නේ සියලු බස් රථ අලුත්වැඩියා කොට ඉන්ධන ද පුරවාලමිනි. එසේම බස් සමාගමට අයත්ව තිබූ ඩිපෝ හා සේවා ආයතන ද රජයටම පවරා දුන්නේ මහජන සුභසිද්ධිය ප්‍රාර්ථනා කරමිනි.

තමා උපන් බලපිටිය ගමේ තම මහගෙදර වත්තේ පේෂ කර්මාන්ත ව්‍යාපාරයක් අරඹා සිය ගණනකට රැකියා අවස්ථා උදා කර දුන් අතර දේශීය විදේශීය වෙළෙඳපොළට ඉතා ඉස්තරම් උසස් තත්ත්වයේ රෙදිපිළි නිකුත් කරන්නට සමත් විය. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථික සම්පතක් වන රබර් අමුද්‍රව්‍ය භාවිත කර කර්මාන්ත කිහිපයක්ම ආරම්භ කොට තරුණ තරුණියන්ට රැකියා දහස් ගණනක් උදා කර දුන්නේය. එසේම රටට විදේශ විනිමය ද විශාල වශයෙන් උපද්දවා ගන්නට එතුමා සමත් විය.

1941 වර්ෂයේ දී කළුතර නගරාධිපති ධුරයට පත් වූ මෙතුමා පසු කාලයක උත්තර මන්ත්‍රී මණ්ඩලය නමින් ප්‍රකට වූ සෙනෙට් සභාවට පත්ව එහි වසර හයක් උප සභාපති ධුරය ද, වසර අටක් සභාපති ධුරය ද දරමින් දේශපාලන ලෝකයේ නිකැලැල් අව්‍යාජ උත්තුංග නාමයක් සනිටුහන් කරන්නට සමත් විය. එතුමාගේ දේශපාලන පරිණතභාවය එමගින් මනාවට විශද වේ.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති පදවියට පත් වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා සිය පෞද්ගලික ධනය ද යොදමින් තම පුරෝගාමීත්වයෙන් ඉදි කළ කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ලෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් යොදවනු ලබන්නේ තරුණ බෞද්ධ සංගමය විසින් සිදු කරන සේවාවන් වෙනුවෙනි. ලංකා නීති සංගමය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බාලදක්‍ෂ සංගමය, පරමවිඥානාර්ථ සංගමය ආදී සංවිධාන රාශියකම මුල් පුටුව මෙතුමාට හිමි වූයේ බහුජන කැමැත්ත මතය. කළුතර මහා විද්‍යාලය හා කළුතර බාලිකා විද්‍යාලය ආරම්භ කළේ මෙතුමා ය.

කතරගම කිරිවෙහෙර සංවර්ධන සමිතිය පිහිටුවා එහි ප්‍රථම සභාපති පදවියට පත්ව ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කළේය. එසේම කතරගම පූජා භූමියට අවශ්‍ය පරිදි මංමාවත්, විශ්‍රාම ශාලා, දාන ශාලා ආදී යටිතල පහසුකම් රාශියක් ඇති කළේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාය. කතරගම පූජා භූමියේ අතීත ශ්‍රී විභූතියත් ප්‍රෞඩත්වයත් යළි ස්ථාපිත වූයේ කිරිවෙහෙර ප්‍රතිසංස්කරණයත් සමඟය. ඒ වන විට කතරගම පූජා භූමියට විදුලි ආලෝකයවත් නොතිබුණි. විදුලි බල මණ්ඩලයට ද එය කිරීමට තරම් ශක්තියක් හා වත්කමක් නොවීය. මේ අඩුව පිරිමැසීම සඳහා ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ඉදිරිපත්ව මුළු කතරගම පූජා භූමියටම විදුලිය සැපයීමට ප්‍රමාණවත් විදුලි උත්පාදන යන්ත්‍රයක් පරිත්‍යාග කොට එය නඩත්තු කිරීමේ වගකීම ද භාර ගත්තේය. අද කතරගම පූජා භූමිය මේ තරම් සංවර්ධනය වී දියුණු වූයේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා නිසා බව අප අමතක කළ යුතු නොවේ.

කොටස් විසිදෙකකට වෙන්ව කටයුතු කළ අමරපුර භික්‍ෂු සංඝයා වහන්සේ එක් සංවිධානයක් ලෙස සන්ධානගත විය යුතුය යන තිර අදිටනේ සිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ඒ බව මුලින්ම දන්වා ඇත්තේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේටය. පසුව ලංකාව පුරා විසිරී වැඩවාසය කළ අමරපුර පාර්ශ්ව මහානායක, අනුනායක, ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා හමු වී කතිකා කර ගන්නට ප්‍රවාහන පහසුකම් ආදී සියලු පහසුකම් සලසා දුන්නේ ද මෙතුමාය. 1966 දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ අනුව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ආරම්භ කිරීමේ ක්‍රියාදාමයේ තිරය පිටුපස සිටි මහා දැවැන්ත යෝධ ශක්තිය වූයේ මෙතුමාය.

බුද්ධ ශාසනයේ දියුණුව සඳහා ඉමහත් සේවාවක් කළ, ජාතික ආගමික සාමාජික අධ්‍යාපනික දේශපාලනික ආදී සෑම අංශයකින්ම පොදු මහත් සේවාවක් කළ සිරිල් ද සොයිසා මැතිතුමා වෙත මහා බ්‍රිතාන්‍ය රජය විසින් නයිට් පදවියක් ප්‍රදානය කළේය. ඒ Knight of the British Empire නාමයයි. එය කෙටි කොට ඉංග්‍රීසියෙන් Sir කියා ද සිංහලෙන් ශ්‍රීමත් කියා ද භාවිත කරයි. සිරිල් ද සොයිසා සර් සිරිල් වූයෙත් ශ්‍රීමත් සිරිල් වූයේත් මෙසේය.

මේසා විශාල සේවාවක් කළ මෙතුමා අවුරුදු අසූ දෙකක් ආයු වින්දනය කොට 1978 ජනවාරි 02 දින අභාවප්‍රාප්ත වූයේය.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ගෙන ගිය සේවාවන් ඒ ආකාරයටම අඛණ්ඩව සිදු කිරීම සඳහා කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ වර්තමාන සභාපති දේශමාන්‍ය අජිත ද සොයිසා මැතිතුමා හා භාරකාර මණ්ඩලය සිදු කරනු ලබන කැපවීම අතිශයින් අගය කරමි. අජිත ද සොයිසා සභාපතිතුමාගේ අනුශාසකත්වයෙන් බෝධි භාරකාර මණ්ඩලය සිදු කරනු ලබන සේවාවන් අතර දහම්පාසල් ගුරු පුහුණු ව්‍යාපෘතිය, කළුතර දිසාවේ සියලුම පිරිවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වාර්ෂිකව පෙළ පොත් පූජා කිරීමේ ව්‍යාපෘතිය, කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රාචීන පණ්ඩිතෝපාධිය සඳහා අධ්‍යාපනය ලබන භික්‍ෂූන් වහන්සේලාට ශිෂ්‍යත්ව පිරිනැමීමේ ව්‍යාපෘතිය, බෝධිඥාන පුස්තකාල ව්‍යාපෘතිය, වැඩිහිටි හා ළමා නිවාස ව්‍යාපෘතිය ප්‍රධාන වෙයි.

මෙයට අමතරව විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් හා භික්‍ෂුන් වහන්සේලාගේ සෞඛ්‍ය වෙනුවෙන් ද ආදාහන පූජෝත්සව වෙනුවෙන් ද සුවිශාල දායකත්වයක් දක්වයි. මේ සියලු කටයුතුවල දී සභාපතිතුමා වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන්නේ භාරකාර මණ්ඩල සාමාජික අශාන් ද සොයිසා මැතිතුමාය. එය අනාගයේ සුභ පෙර නිමිත්තක් සේ මම දකිමි. මේ මහා දානපති පරපුරේ අතීතය ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගෙන් ද, වර්තමානය අජිත ද සොයිසා සභාපතිතුමාගෙන් ද, අනාගතය අශාන් ද සොයිසා මැතිතුමාගෙන් ද මම දකිමි.

ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ වර්තමාන සභාපති ධුරය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ උප සභාපති ධුරය ද, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පාලක මණ්ඩලයේ සභාපති ධුරය ද, ජනප්‍රිය බෞද්ධ කාන්තා පාසලක් වන කොළඹ මියුසියස් විද්‍යාලයේ භාරකාර මණ්ඩලයේ සභාපති ධුරය ද දරන්නේ දේශමාන්‍ය අජිත ද සොයිසා මැතිතුමායි. එදා ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ දායකත්වයෙන් ඇරඹි අමරපුර මහා සංඝ සභාව සුරක්‍ෂිත කිරීමට සහ එතුමා විසින් සිදුකළ සාමාජීය මෙහෙවර ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට අජිත ද සොයිසා සභාපතිතුමා ගන්නා උත්සාහය හා දක්වනු ලබන දායකත්වය ප්‍රශංසනීයයි.

එමෙන්ම බෞද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් අමරපුර සහ රාමඤ්ඤ නිකායන් එකට එක්වී ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව නිතරම සිහිපත් කරන ගරු සභාපතිතුමා ඒ වෙනුවෙන් තමාගේ පූර්ණ දායකත්වය ලබාදීමට කැපවී ක්‍රියා කරයි.

අමරපුර සංඝ සභාවට කාර්යාලයක් නොමැති අඩුව සම්පූර්ණ කරමින් කොළඹ 06, වැල්ලවත්ත ගාලු පාර අංක 70 යන ලිපිනයේ තෙමහල් කාර්යාල සංකීර්ණයක් සිය පෞද්ගලික මුදල් යොදවා ඉදිකොට 2020 අගෝස්තු 16 වැනිදා ශාසනයට පූජා කළේ ද අජිත ද සොයිසා මැතිතුමා විසිනි. එම කාර්යාල සංකීර්ණය ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ මන්දිරය ලෙස නම් කළේ එතුමාට අමරපුර නිකායෙන් කෙරෙන උපහාරයක් හා ගෞරවයක් හැටියටය.

127 වැනි ජන්ම දිනය සමරන හෙට දවසේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා මේ සියලු කටයුතු දිවැසින් බලා ආශිර්වාද කරන බව අපගේ විශ්වාසයයි. එතුමාට අමා මහ නිවන් සුව ලැබේවායි පතමි.



අදහස් (1)

කළුතර බෝ සමිඳුට සෙවණ සැදූ මහා දානපති

Anura Nanayakkara Wednesday, 25 October 2023 02:20 PM

මහ සිටුවරයෙක් බඳු බුදුදහමට අනූපමේය සේවයක් කළ අතිගරු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් හට නිවන් සුව ලැබේවා...

:       0       36

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site