IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ජනමත ප‍්‍රකාශයේ අවකාශය වැසීම

 

(පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අයි. රේණුක ප‍්‍රියන්ත)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයක මැතිවරණ යනු එහි පදනමයි. විශේෂයෙන් නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකෘතිය තුළ ජනතා කැමැත්ත පිළිබිඹු කරන මාධ්‍ය වන්නේ මැතිවරණයි. වෙනත් ලෙසකට ප‍්‍රකාශ කරන්නේ නම් ආණ්ඩුවේ බල අධිකාරිත්වයේ සුජාතභාවය මිනුම් කිරීමේ එක් ප‍්‍රධාන නිර්ණායකයක් වන්නේ මැතිවරණයි.

ප‍්‍රජානත්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වඩාත් විනිවිදභාවයකින් යුතුව නිසි කලට නිදහස් මැතිවරණ පැවැත්විය යුතුය. ඒ අනුව මැතිවරණ මගින් නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවල තමන් පාලනය කළ යුතු පුද්ගල කණ්ඩායම තෝරාගැනීම සඳහා කලින් කලට මැතිවරණ පවත්වනු ලැබේ.

බොහෝවිට ලංකාවේ ජන විඥානය තුළ සාමාන්‍යකරණය වී ඇත්තේ මැතිවරණ යනු ජනතා නියෝජිතයන් තෝරා පත්කරගැනීමේ ක‍්‍රියාවලියක් වශයෙනි. එසේ වුවත් අප වටහාගත යුතු ප‍්‍රධාන කාරණය වන්නේ මැතිවරණ මගින් අපේක්‍ෂා කරණ කාර්යභාරය මේ ආකාර සීමිත ක‍්‍රියාවකට ලඝු කළ නොහැකි බවය.

ඇරිස්ටෝටල්ට අනුව ටික දෙනකු විසින් කරනු ලබන පාලනය බහුතරයක් විසින් නිරීක්‍ෂණය කිරීම සඳහා ඇති යාන්ත‍්‍රණය මැතිවරණයි. එහෙයින් පාලනය සඳහා සම්බන්ධවන දේශපාලන කණ්ඩායම තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය මැතිවරණ ලෙස හැඳින්වීම නිරවද්‍ය වේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රම තුළ පිළිගනු ලබන ප‍්‍රධානතම මූලධර්මය වන්නේ ජනතා කැමැත්ත පිළිගැනීම සහ එයට ගරු කිරීමයි. ජනතා ආශා ජනතා සිතුම් පැතුම් ජනතා පිළිගැනීම් සහ වෙනස්කම්වලට ගරු කළ යුතුය. පාලකයන් විසින් පවත්නා ජනමතය විමසීම සිදු කරන්නේ මැතිවරණ හරහා ය. එබැවින් මැතිවරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර ඇත්තේ එකම කාසියක දෙපැත්ත හා බැදි සම්බන්ධතාවයකි.

මැතිවරණ නියමිත කාලයට සහ සාධාරණ අන්දමින් පැවැත්විම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ක‍්‍රියාකාරිත්වය නිරූපණය කරන ප‍්‍රබලම මාධ්‍යය ෙවි. එසේ කිරීම මගින් ආණ්ඩුව සහ එහි පරිවාර පාලන ඒකක පිළිබඳව ජනතා කැමැත්ත නිවැරැදිව හඳුනාගත හැකිය එබැවින් පළමුව මැතිවරණයේ කාර්යභාරය විමසා බැලීම අගනේය. 

නිදහස් හා සාධාරණ මැතිවරණ කාලීනව පැවැත්වීම මගින් මෙරට ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් අංග සම්පූර්ණ වන අතර පාලකයන්ගේ දෘෂ්ටිකෝණයෙන් දේශපාලන ගමන් මෙඟ් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය මඟපෙන්වීම මැතිවරණ මගින් සිදු කරයි. ඒ අනුව දේශපාලන ක‍්‍රමයක සිදුවිය යුතු වෙනස්කම් මැතිවරණ හා බැඳී පවතී.

එනම් තමන් විසින් පත්කරනා දේශපාලන බලධාරීන් ජනතාවට වගකීමට සහ වගවීමට බැඳ තබන යාන්ත‍්‍රණය මැතිවරණ වේ. අනෙක් අතට පාලකයන් පාලනය කිරීමට සහ සංවරණය කිරීමට ඇති මෙවලමක් වන්නේද මැතිවරණයි. තවදුරටත් දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්වල  ක‍්‍රියාකාරී සැලැස්ම ජනතා වේදිකාවට ඉදිරිපත් කොට අනුමත කරගන්නේ ද මැතිවරණ ඔස්සේය. එපමණක් නොව බලයට පත්වන ආණ්ඩුවක සුජාතභාවය තීරණය කරමින් රටේ ජනතා පරමාධිපත්‍යය ක‍්‍රියාවට නැංවිමේ කි‍්‍රයාවලිය වන්නේ ද මැතිවරණයි.

මේ සියලූ කාරණාවලට අවශ්‍ය ජනතා දේශපාලන සවිඥානකත්වය සහ දේශපාලන සාක්‍ෂරතාව ඉහළ නැංවීම සිදුවන්නේද මැතිවරණ පදනම් කොට ගෙනය.

තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් අපවැනි රටකට මැතිවරණ අතිශයින්ම වැදගත්ය. හේතුව යුද්ධය අවසානයේ සමාජය තුළ සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණ සහ වෙනස්කම් හරහා සංහිදියාව සහ සහජීවනය ගොඩනැඟීමට අත්‍යවශ්‍ය දේශපාලන විශ්වසනීයත්වය තහවුරු කළ යුතුය. එසේ සිදුකළ හැක්කේ සමාජයේ විවිධ ජනකොටස් එම දේශපාලන ක‍්‍රමයේ හවුල්කරුවන් ය යන මානසිකත්වය නිර්මාණය කිරීම මගිනි.

එබැවින් බෙදී වෙන්වි කල්පනා කිරීමට හුරුව ඇති ශ‍්‍රී ලාංකික ජනසමාජය ප‍්‍රතිසන්ධාන ගතකිරීමට නම් ඔවුන් පවත්නා දේශපාලන ක‍්‍රමයට අනුගත කරගැනීම අත්‍යවශ්‍යය. කාලීනව පවත්නා මැතිවරණවල වැදගත්කම වන්නේ මෙම කාර්යය යම්පමණකට ඉටු කිරීමය.

ශ‍්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය පරීක්‍ෂා කිරීමේ දී පෙනී යන්නේ විවිධ කාල වකවානුවල දී නිසි කලට මැතිවරණ පැවැත්වීම සිදුවී නොමැති බවය. ඒ සඳහා හේතු විමර්ශනය කරන විට පෙනීයන එක් කාරණයක් වන්නේ පවත්නා දේශපාලන වතාවරණය බලයේ සිටින ආණ්ඩුවට අවාසි දායක වේ යැයි කල්පනා කිරීමය. දෙවැන්න එවැනි පසුබිමක් තුළ ජනතා මතය වෙනතකට යොමු කිරීමේ අරමුණින් වෙනත් දේශාපලන ව්‍යාපෘතීන් පෙරට ගෙනවිත් ඒ වායේ නියැලෙමින් ඒවා ජනතාවගේ පරම අපේක්‍ෂාව ලෙස සිතා කටයුතු කිරීමය. වර්තමාන ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කතිකාවත දේශපාලන කරළියට ගෙනවිත් මේවන විට සිදු කරමින් සිටින්නේ ද එවැන්නකි. යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාදාමය ආණ්ඩුව අපේක්‍ෂා කරන ආකාරයෙන් ජන සම්මත ව්‍යවස්ථාවකින් කෙළවර වුවහොත් සමාජයේ ඇති සියලූම ප‍්‍රශ්නවලට ඉන් විසඳුම් ලැබෙන ආකාරයේ මානසික සිතුවිල්ලක් සමජගත කිරීමේ උත්සාහයක නියැලී සිටින බව පෙනෙන්නට තිබේ.

මෙසේ කල්පනා කිරීමේ විලාසිතාව මෙම ආණ්ඩුව විසින් පමණක් අනුගමනය කළ එකක් නොවන අතර 1972 සමගි පෙරමුණු ආණ්ඩුව වසර හතක් බලයේ සිටියේ 1975 දී පැවැත්වීමට තිබූ මහා මැතිවරණය නව ව්‍යවස්ථාවේ විධිවිධාන යොදාගනිමින් 1977 දක්වා කල්දැමීම හරහාය. 1998 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණය හදිසි නීති රෙගුලාසි යොදා ගනිමින් කල්දැමීම සහ 2001 දී පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණය අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් වසරක කාලයක් ප‍්‍රමාද කිරීම මේ සම්බන්ධ තවත් නිදසුන්ය.

එහි දී යොදාගත් තර්කය වූයේ අද මෙන්ම මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය යැයි ප‍්‍රකාශ කිරීමය. මෙයට වෙනස්ව එවකට බලයේ සිටි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව නිලකාලය අවසන් වීමට වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට කි‍්‍රයා කිරීම හරහා තම බලය කලින් අත්හදා බැලීමට කටයුතු කළේද කාලීනව මැතිවරණ නොපැවැත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

යහ ආණ්ඩුකරණ මූලධර්ම පදනම් කරගෙන යහපාලනය ස්ථාපිත කරනවා යැයි ප‍්‍රකාශ කළ වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය මේ වනවිටත් වසර දෙකකට වඩා වැඩියෙන් කල් දමා හමාරය. පළාත් පාලන මැතිවරණ නීතියට අනුව මෙසේ මැතිවරණ කල්දැමීම තම අවශ්‍යතාව අනුව ආණ්ඩුවට සිදු කළහැකි වුවත් පළාත් සභා මැතිවරණ කල්දැමීමේ බලයක් නෛතිකව ආණ්ඩුවට හිමි නොවේ. එසේ කිරීමට අවශ්‍ය නම් සිදු කළ යුත්තේ එය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීම හරහා එවැන්නක් සිදු කිරීමය. ඒ ඔස්සේ යමින් විසිවන සංශෝධනය මගින් එම කටයුත්ත ඔවුනට රිසි පරිදි සිදු කරගත්තේ පළාත් සභා මැතිවරණ එකවර පැවැත්විමේ අවශ්‍යතාව ඉස්මතු කරමිනි. එහි දී ආණ්ඩුවේ තර්කය වූයේ එකවර මැතිවරණ පැවැත්වීම මගින් ජනමතයට නිවැරැදි පිළිබිඹුවක් ලබාදිය හැකි බවය. එම තර්කයට අනුව ආණ්ඩුව ඊළඟ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ 2019 අගභාගයේ දීය. මෙහි දී මතුවන ප‍්‍රශ්නය වන්නේ මෙම අතරමැදි කාලය තුළ ජනමතය ප‍්‍රකාශ කිරීමට ඇති අවකාශය වැසී යාමය.

මෙහිදී සිදුවන සමාජ බලපෑම් ස්ථර දෙකක දී හඳුනා ගත හැකිය. දේශීය වශයෙන් පශ්චාත් යුදකාලීන සමාජ වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා ඇති ඉඩ ප‍්‍රස්ථා ඇහිරී යාම හේතු කොටගෙන සමාජ බෙදීම් තවදුරටත් තීව‍්‍රවිය හැකිය. ජාත්‍යන්තර වශයෙන් මේ වන විට අප හිමිකරගෙන ඇති ස්ථානයක් වේද එය නැවතත් පසුපසට ගමන් කිරීමට ද මෙවැනි තත්ත්වයක් ඉවහල් විය හැකිය. මෙය එසේ වියහැකියයි කල්පනා කළ යුත්තේ දැනටමත් එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව විසින් තම මතය තහවුරු කිරීමට මැතිවරණ නොපැවැත්වීම යොදා ගැනීමද එක් හේතවක් නිසාය. ඇත්ත වශයෙන්ම යහපාලන මූලධර්ම පදනම් කරගත් ආණ්ඩුවක් මැතිවරණ කල් නොදමා වගකීම් සහිත ආණ්ඩුකරණය සහ ප‍්‍රතිචාරාත්මක ආණ්ඩුකරණය ක‍්‍රියාවෙන් ඔප්පු කළ යුතුය.

දීර්ඝ කාලයක් මැතිවරණ නොපැවැත්වූ රටක් විසින් මැතිවරණ කල්දැමීම සිදු කළහොත් එය පුදුමයට කාරණයක් නොවන්නේ ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහ පරිපාලන ආයතන ශක්තිමත්ව ගොඩනැගීමට කාලයක් අවශ්‍ය විය හැකි බැවිනි. නේපාල අත්දැකීම පරීක්‍ෂාකරන විට පෙනී යන්නේ දශක එකහමාරකට ආසන්න කාලයක් පළාත් පාලන මැතිවරණ නොපැවැත්වූ පසුබිමක අවශ්‍ය ආයතන පිහිටුවා ගැනීම හරහා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමය.

එහෙත් මෙරට ප‍්‍රචණ්ඩ ගැටුම අවසන් වී වසර අටකට වැඩි කාලයක් ගතවී ඇති පසුබිමක අපට එවැනි ආකාරයේ මැතිවරණ කල්දැමීමේ අවශ්‍යතාවක් කොහෙත්ම ඇත්තේ නැත. මැතිවරණ පැවැත්විමට අවශ්‍ය ශක්තිමත් යාන්ත‍්‍රණය 17 සහ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ස්ථාපිත කොට තිබෙන තත්ත්වයක් තුළ මැතිවරණ කල්දැමීමේ අවශ්‍යතාවක් පැනනගින්නේ නැත. මැතිවරණ කොමසාරිස්වරයාම පවසන පරිදි පිච් එක ලැස්ති කොට තිබෙන තත්ත්වයක් තුළ බෝල ගසන්නේ නැත්තේ ඇයිද යන්න ප‍්‍රශ්නයකි.

ආණ්ඩුව විසින් සිදුකරන මැතිවරණ කල්දැමීමේ ක‍්‍රියාදාමය මූලධර්මිය වශයෙන් නිවැරැදි නොවේ. එසේ වුවත් මැතිවරණ වෙනස්කම් සිදු කිරීමේ කතිකාව හරහා එය සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරතවී සිටී. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට සැබෑ ජනමතය පිළිබඳව විශ්වාසයක් නොමැති නිසා මැතිවරණ කල් දැමීම සිදුකරන බව පෙනෙන්නට තිබේ. එයට හේතුව බලය ලබා ගන්නා අවස්ථාෙවි ජනතාවට ඉදිරිපත් කළ දේශපාලන පොරොන්දු වලින් බොහොමයක් ඉටුකිරීමට ආණ්ඩුව අසමත් විමය.

එක් අතකින් ඉහළයන උද්ධමනය ද අනෙක් අතින් ආදායම් බෙදීයාමේ විෂමතාවද ජනතාව තුළ නිර්මාණය කොට ඇත්තේ ආණ්ඩුව පිළිබද අවිශ්වාසයකි. එසේම ජනතා ප‍්‍රශ්න (විශේෂයෙන් තරුණයන්ගේ) විසඳීමට  ආණ්ඩුව ගතකරන කාලය එම ප‍්‍රශ්න නිර්මාණය විමට ගතවූ කාලයට වඩා වැඩිය. විරැකියාව. සමාජ අපරාධ ද ඉහළ ගොස් ඇති බව ජනතාවගේ පිළිගැනීමය.

ජන්දය කල්දැමීමට වත්මන් ආණ්ඩුව යොදාගත් එක් ව්‍යාපෘතියක් වූයේ සීමා ප‍්‍රතිනිර්ණය කිරීමේ කාර්යයට අත ගැසීමය. එහි ප‍්‍රතිළුලය දැන් නිකුත් වී ඇති අතර නියෝජිත සංඛ්‍යාව ඉහළ නැංවිමමට යෝජනා කිරීම හේතුවෙන් පළාත් පාලන ආයතන තුළ ඇති ඉඩකඩ ප‍්‍රමාණාත්මක නොවිම හරහා ඒවා ප‍්‍රසාරණය කිරීමේ අවශ්‍යතාවද මතුව තිබේ. මෙහි දී මතුවන ප‍්‍රශ්නය වන්නේ දැනට සිටින නියෝජිතයන් සංඛ්‍යාව ඔවුනට පැවරී ඇති කාර්යභාරය නිවැරැදිව ඉටුකරමින් ජනතාව සතුටුකිරීමට කොතෙක් දුරට සමර්ථ වී ඇත් ද යන්නය.

සැබවින්ම කළ යුත්තේ දේශපාලන පක්‍ෂවලට වැඩි නියෝජිතයන් සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන තුළට ඇතුළු කිරීමටට ඉඩ සැලැස්වීමට වඩා ජනතා බදු මුදල් ඉහළ නොදමමින් දැනට සිටින නියෝජීතයන්ගෙන් ඵලදායී කාර්යභාරයක් ඉටුකර ගැනීමය. එසේ නොවුණ හොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ජනතා විශ්වාසය හීනවි ජන්්දය ප‍්‍රකාශ කිරීමද අඩුවගොස් දේශපාලන අකර්මන්‍යතාවයකට ගමන් කිරීම ද නොවැළක්විය හැකිය.  

අවසාන වශයෙන් කිවයුත්තේ ආණ්ඩුව තම යහපාලනත්වය විදහා පෙන්වීම සඳහා රටේ මැතිවරණ පැවැත්විය යුතු දිනවකවානු අඩුම තරමින් පනතක් හරහා හෝ එසේ නොමැතිනම් ව්‍යවස්ථා විධිවිධානයක් ලෙස නිශ්චිතව සඳහන් කිරීම මගින් මැතිවරණ කල්දැමීමට දේශපාලනඥයන්ට ඇති අත්තනෝමතික ඉඩකඩ අහුරා ලීමවත් සිදුකළ යුතුය.



අදහස් (0)

ජනමත ප‍්‍රකාශයේ අවකාශය වැසීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 278 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1796 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1335 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site