IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඩොලර් අර්බුදයේ පිපිරීම

නිදහසින් පසු මුහුණ දෙන අභියෝගාත්මකම ආර්ථික අර්බුදයට අද අපි මුහුණ දෙමින් සිටින්නෙමු. ප්‍රශ්නයට නිසි පිළිතුරක් දීමට ආණ්ඩුව අසමත් වුවොත් ආර්ථික අර්බුදයෙන් සමාජ අර්බුදයකට ගමන් කිරීමේ ඉඩ කඩ ද තිබේ. ජීවත්වීම බරපතළ ප්‍රශ්නයකි. ජනතාවගේ ඇඟට එය තදින්ම දැනෙමින් තිබේ. එයට කිසිදු බේදයක් නැත. ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදයකට කෘෂිකර්මාන්තයේ නියුතු පිරිස ඇද දමා තිබේ. තීන්දු, තීරණ ගැසට් රිවස් කළ ද මේ අර්බුදයෙන් මිදීමට සෑහෙන කාලයක් ගතවනු ඇත.

කර්මාන්ත යම් ආකාරයක යථා තත්ත්වයේ තිබේ. අපනයන ඇණවුම් නොකඩවා ලැබීම එයට හේතුවය. ඇඟලුම්, රබර්, ටයර් අපනයන ආදිය සහ ඉහළ තාක්ෂණය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය ඇති වී තිබේ. ලෝකයේ ඕනෑම සමාගමක් සමග තරග කළ හැකි මට්ටමේ මේ කර්මාන්ත පැවතීම තවත් හේතුවකි. සේවා ආර්ථිකයේ නියුතු අය අපහසුතාවට පත්ව සිටිති. සංචාරක කර්මාන්තයට අදාළ සියලු සේවා අඩපණව ගොසිනි. ඉදිකිරීම් සේවාවේද ඇත්තේ කඩාවැටීමකි. සිල්ලර වෙළෙඳාමේ ඇත්තේ පසුබෑමකි. විධිමත් මූල්‍ය අංශය තවමත් ඇද නොවැටී අල්ලාගෙන සිටින ආකාරයක් දැකගතක හැකිය. කුමන කෝණයෙන් බැලුවත් ඇත්තේ අර්බුදයකි. මේ අර්බුදය පුපුරන්නේ නැතිනම් සමාජ ආර්ථික අර්බුදයකට ගමන් කරන්නේ අවශ්‍ය පමණට ඩොලර් සැපයීමට ආණ්ඩුවට හැකි ද නොහැකි ද යන්න මතය.

ආණ්ඩුව මේ කාර්යය මේ වන විට කරන්නේ ඉතා අමාරුවෙනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් දහස් ගණනින් වරායේ සිරවීමෙන්ම එය පැහැදිලිය. බොර තෙල් ආනයනය නතර කළේ ද ඩොලර් ප්‍රශ්නය හේතුවෙනි. එහෙත් වැඩි මිලක් ගෙවා පිරිපහදු කළ ඉන්ධන ආනයනයට ආණ්ඩුව සූදානම්ය. ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරීන් කියන ආකාරයට පොහොර සහ බොරතෙල් ආනයනය නතර කළේ ඩොලර් ඉතිරි කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් වශයෙනි.

එසේ නම් මේ තීරණ ගෙන ඇත්තේ දිගුකාලීන ප්‍රතිපත්තිමය දැක්මකට වඩා කෙටි කාලීනව ඩොලර් අර්බුදය කළමනාකරණය කර ගැනීමේ අරමුණෙනි. බෙහෙත්වලට ඉන්ධනවලට ඩොලර් හිඟවූ විට මේ අර්බුදය පුපුරා යනු ඇත. ඒ වගේම වැස්ස නැවතී ජලාශවල ජල මට්ටම පහළ ගොස් ජල විදුලිය නිපදවීම පහත වැටුණු පසු විදුලිය නිපදවීමට දැවිතෙල් නැත. එවිට ඇතිවන්නේ නරකම තත්ත්වයකි. ඒ නිසා වහා විසඳාගත යුත්තේ ඩොලර් ප්‍රශ්නයයි. එහෙත් මෙවන් ප්‍රශ්නයක් ඇති බව ආණ්ඩුව පිළිගන්නා ස්වරූපයක ඔවුන්ගේ ප්‍රකාශවලින් නම් පෙනෙන්නට නැත. ආණ්ඩුවත් එහි බලධාරිනුත් සිටින්නේ සමාන්තර  විශ්වයකය. ප්‍රශ්නයක් ඇති බව තේරුම් නොගන්නා අයට ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට නොහැක. ඒ නිසා ගමන් කරන්නේ ව්‍යසනකාරී තත්ත්වයකටය.

අය වැය ඉදිරිපත් කළ පසු එහි ඇති උපකල්පන පිළිගත හැකි ද යන ප්‍රශ්නය මතු වේ. 2021 දී රු. බිලියන 2029 ක ආදායම් බලපොරොත්තු වන බව මුලින් කීවේය. දැන් කියන්නේ එම වසරේ ආදායම රු. බිලියන 1495 ක් බවය. එනම් රුපියල් බිලියන 500 ක පමණ ආදායම් අඩුවීමකි. සියයට 36 ක පමණ අඩුවීමකි. රු. බිලියන 1495 ට වැටී ඇති ආදායම 2022 වසරේදී රු. බිලියන 2284 ට වැඩි වන බව අයවැයෙන් කියා තිබේ. රු. බිලියන 750 කින් පමණ ආදායම් වැඩිවන්නේ කෙසේද? එනම් සියයට 48 කිනි. සියලු දේ ගොඩනැගෙන්නේ මේ උපකල්පනය මතය. අධිභාර බදු යනාදිය හරහා මේ ආදායම් උපයා ගන්නා බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අය කුමක් ප්‍රකාශ කළ ද මේ රටේ කිසි දිනක වසරින් වසර සියයට පනහකින් බදු වැඩි වී නැත. සියයට පනහක් බදු ගසන්නේ කාටදැයි එදා අපට අවලාද නැගූ වත්මන් ආණ්ඩුවෙන් ඇසිය යුතුය. සියයට පනහකින් බදු වැඩිකරන බව අයවැයේ කොතැනකවත් කියා නැත. එහෙත් මේවා සඟවා තිබෙන්නේ තාක්ෂණික කාරණාවලය. ඇත්තටම මේ අය සියයට පනහකින් බදු වැඩි කරනවාද නැති නම් ඇස්බැන්දුමක් කර මෙතරම් ආදායමක් ලැබෙන බව පෙන්නා වියදම ස්ථිරකර ගැනීමට යනවාද කියන කාරණා දෙක මෙතැනදී මතුවේ.

 එසේ නොවුණොත් අයවැය පරතරය දැඩිව පුළුල් වේ. දැන් පෙන්නා දෙන්නේ අයවැය පරතරය සියයට 8.8 ක් බවය. එනම් රු. බිලියන 1628 කි. ආදායම් නැතිව වියදම් කිරීම බෙහෙවින් අනතුරුදායකය.

වියදම එලෙසම තිබියදී ආදායම් නැති විට කරන්නේ එක්කෝ ණය ගැනීමය. නැතිනම් කුමන හෝ වත්කමක් විකිණීමය. ඇ. ඩොලර් බිලියන හතක දේපල විකිණීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවට මාධ්‍ය අනාවරණය කර තිබුණි. දෙසැම්බරය වන විට අවම වශයෙන් ඩොලර් මිලියන 400 ක් උපරිම වශයෙන් ඩොලර් බිලියනයක් පෞද්ගලීකරණයෙන් ලබා ගන්නා බවට ආණ්ඩුවේ වගකිව යුත්තෝ කීහ. එහෙත් ලැබුණු දෙයක් නැත. ලැබිය යුතුව තිබෙන මුදලක් නියමිත කලට පෙර යුගදනවි ගිවිසුම හරහා ගත්තා මිස වෙනත් ආදායමක් ලබා ගැනීමට හැකිව නැත.

දේපල, වත්කම් විකිණීමට කොතරම් උත්සාහ කළ ද ආයෝජකයන් නැත. බංකොළොත් වීමට ආසන්න රටක් ලෙස ආයෝජකයන් ලංකාව හඳුනාගෙන සිටීම එයට ප්‍රධාන හේතුවය. රට බංකොලොත් වුවොත් කරන්නේ කීයට හෝ විකුණා දැමීමය. ආයෝජකයන් බලා සිටින්නේ ඒ තත්ත්වය උදාවන තෙක්ය.

මේ පසුබිමේ වන්නේ දේශීයව හෝ ජාත්‍යන්තර ණය ගැනීමටය. ජාත්‍යන්තර ණය ගැනීම ද අද රට පවතින තත්ත්වය අනුව අපහසුය. ද්විතීයික වෙළෙඳපොළේ විකිණෙන ස්වෛරී බැඳුම්කර මෙරට තිබේ. ඒවාට යම් ඉල්ලුමක් ද තිබේ. 2022 ජනවාරි 18 වැනිදා කල්පිරෙන එවන් බැඳුම්කරයක් තිබේ. ඩොලර් සියයක බැඳුම්කරයක් තිබේ යැයි සිතමු. ඩොලර් සියයට වාර්ෂික පොලිය සියයට 2.5 කි. ඒ අනුව බැඳුම්කරය කල් පිරෙන ඉදිරි මාස එකහමාරක කාලය වෙනුවෙන් ලැබෙන පොලිය ඩොලර් ශත 20 කි. එසේ නම් ඩොලර් සියයක බැඳුම්කරයේ වටිනාකම ඩොලර් 99.80 කි. මෙයට අමතරව පොලිය වශයෙන් තවත් ඩොලර් තුනක් එකතු විය යුතුය. ඒ අනුව ඩොලර් සියයක් වටිනා බැඳුම්කරයක් මිලදී ගත් අයකුට ඩොලර් 102.80 ක් ලැබිය යුතුය. බැඳුම්කරයේ වටිනාකම වන්නේ එම මුදලයි.
එහෙත් පසුගියදා එය අලෙවි වූයේ ඩොලර් 92.65 කටය. ලැබෙන පොලියේ ප්‍රතිශතයක් ලෙස මෙය ගණනය කළ විට එය සියයට 82.2 කි. ග්‍රීසියේවත් ස්වෛරී බැඳුම්කරයක් මෙතරම් බාල්දු වී ඇතැයි මම නොසිතමි. යම් කෙනකු අද ඩොලර් 92.65 ට මේ ස්වෛරී බැඳුම්කරය විකුණුයේ නම් ඔහු ලබන 18 වැනිදා එය මහ බැංකුවට දුන් විට ඩොලර් සියයක් සහ පොලිය වශයෙන් ඩොලර් තුනකුත් ගෙවන්නේ නම් ඒ පුද්ගලයාට වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභය සියයට 82.2 කි. මෙවන්  ප්‍රතිලාභයක් ලැබෙන වෙනත් තැන්පතුවක් ලෝකයේ කොතැනකවත් තිබේද? ලෝකයේ කිසිදු රජයක් මෙවන් පොලියක් ගෙවන්නේ නැත.

ජූලි මාසයේ ගෙවීමට ඇති ස්වෛරී බැඳුම්කරය මේ ආකාරයටම ගණනය කළොත් එහි පොලිය සියයට 53.7 කි. සියයට දහයට වඩා පොලිය ගෙවන ස්වෛරී බැඳුම්කර ලෝකයේ ඇත්තේ 11 කි. එයින් දහයක් ලංකාවේය.  ඉතිරි  එක මොසැම්බික්හිය. එයට ගෙවන පොලිය සියයට 28 කි. ලංකාවේ දහයෙන් අඩුම පොලිය එනම් සියයට 19 ක් ගෙවන ස්වෛරී බැඳුම්කරය කල් පිරෙන්නේ 2028 දීය. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාව සම්බන්ධව 2028 දී ආයෝජකයන්ට යම් විශ්වාසයක් ඇතිවිය හැකි බවය. මේ කාරණා මින් පෙර හෙළිකර නැත.

වහා විසඳාගත යුත්තේ ඩොලර් ප්‍රශ්නයයි. එහෙත් මෙවන් ප්‍රශ්නයක් ඇති බව ආණ්ඩුව පිළිගන්නා ස්වරූපයක ඔවුන්ගේ ප්‍රකාශවලින් නම් පෙනෙන්නට නැත. ආණ්ඩුවත් එහි බලධාරිනුත් සිටින්නේ සමාන්තර  විශ්වයකය. ප්‍රශ්නයක් ඇති බව තේරුම් නොගන්නා අයට ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට නොහැක. ඒ නිසා ගමන් කරන්නේ ව්‍යසනකාරී තත්ත්වයකටය.

 මේවායෙන් පෙන්නුම් කරන්නේ ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ දොර අගුල් දමා ඇති බවය. කටුකම්බි ගසා ඇති බවය. එසේ නම් රටට මුදල් කොයින්ද? ණය, පොලී හා අනෙකුත් වියදම් කරන්නේ කෙසේද? ආදායමෙන් සියයට 80 ක් වැය වන්නේ පොලී ගෙවීමටය. ආණ්ඩුවේ අපේක්ෂාව ආදායම සියයට 50 කින් වැඩිකර ගැනීමටය. එය සිදුවන්නක් නොවේ. මේ නිසා පොලී ගෙවීම පවා ප්‍රශ්නකාරීය. වැටුප්, විශ්‍රාම වැටුප්, විවිධ සහනාධාර, බෙහෙත්, යටිතල පහසුකම් සංවර්ධනයට මුදල් සොයන්නේ කෙසේද? මේවාට අවශ්‍ය මුදල් සොයාගැනීමට සිදුවන්නේ දේශීය වෙළෙඳපොළෙනි. දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමේදී වෙළෙඳපොළ මත පොලිය තීරණය වීමට ඉඩ දුන්නොත් එය ඉහළ අගයක් ගන්නා බව ආණ්ඩුවේ අදහසය.

එවන් පොලියකට ඉඩ දුන්නොත් ගෙවීමට ඇති පොලී ප්‍රමාණය ද ඉහළ යන නිසා පොලියේ මිල පාලනයට ආණ්ඩුව යොමුවූවේය. හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් පොලියේ මිල පාලනය කළේය. ඒ සියයට 5 ක  අගයකටය. බඩු මිල, ජීවන බර වැඩිවන පරිසරයක සියයට 5ක පොලියක් ගෙන කළ හැක්කේ කුමක්ද? එවිට මුදල් සියයට 5 ගෙවන බැංකුවේ තැන්පත් නොකර ඊට වැඩියෙන් ගෙවන මූල්‍ය ආයතනයක හෝ කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට යොමුවෙති. කොටස් වෙළෙඳපොළ දර්ශක ඉහළ යාමටත් බලපෑවේ පොලියේ පරස්පරයයි.

 හාල්, සීනි, කිරිපිටි, ගෑස් මිල පාලනය කළ විට වෙළෙඳපොළේ එම භාණ්ඩ හිඟ විය. පොලියේ මිල පාලනයෙන් වූයේද වෙළෙඳපොළේ මුදල් හිඟවීමය. මේ භාණ්ඩ ක්ෂණිකව ලබා දීමට දෙවියන්ටවත් නොහැක. එහෙත් වෙළෙඳපොළට රුපියල් ක්ෂණිකව ලබා දීමට ආණ්ඩුව සූදානම්ය. එය නැවැත්වීමට කාටවත් නොහැක. මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ ගැන්වෙන්නේ එයයි.

ආණ්ඩුවට මුදල් අවශ්‍ය විට කරන්නේ අවශ්‍ය මුදල මහ බැංකුවෙන් ඉල්ලා සිටීමය. එවිට මහ බැංකුව කරන්නේ එම මුදල ක්ෂණිකව ඉලෙක්ට්‍රොනිකව රාජ්‍ය බැංකුවක තිබෙන මහා භාණ්ඩාගාර ගිණුමට බැර කිරීමය. ඒ ජනතාවගෙන් සියයට පහේ පොලියට ගත් මුදල් නොවේ. මේ මුදල් වෙනුවට වටිනාකම අනුව භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට ද ලබා දෙයි. ඒ කවදා හෝ ගනුදෙනු පියවා ගන්නා අරමුණෙනි. මුදල් අච්චු ගැසීමේ මේ ක්‍රියාවලිය හැර ආණ්ඩුවට මුදල් සොයාගත හැකි ක්‍රමයක් දැන් නැති තරම්ය.

 2020 ජනවාරි මාසයේ සිට මේ කතා කරන මොහොත වන විට රුපියල් බිලියන 1500 ක පමණ මුදලක් මහ බැංකුව මෙලෙස මවා තිබේ. ගෙවුණු වසරට රටේ මුළු ආදායම වූයේ ද රුපියල් බිලියන 1500 කි. රටේ පවතින තත්ත්වය කුමක්දැයි මේ අනුව වටහා ගන්නට පුළුවන.

මෙසේ අච්චු ගැසූ සියලු මුදල් වෙළෙඳපොළේ නැත. චීන ණය හෝ ජාත්‍යන්තර බැඳුම්කරයකට හෝ ගෙවීමට භාණ්ඩාගාරයට සිදුවිය හැකිය. එහෙත් ඩොලර් නැත. එවිට මහා භාණ්ඩාගාරය කරන්නේ මහ බැංකුවේ සංචිතයෙන් ඩොලර් ප්‍රමාණයක් ඉල්ලා සිටීමය. එම ඩොලර් වෙනුවට භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට දෙන්නේ අච්චු ගසා කලින් ලබාගත් මුදල්ය. ඒ අදාළ වටිනාකම අනුවය. මෙහිදී සිදුවන්නේ මහ බැංකුව මැවූ මුදල් යළිත් මහ බැංකුවටම යාමය. ඩොලර් මිලියනයක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 ක් මහ බැංකුවට ලබාදිය යුතුය. සංචිත අඩු වී ඇති ප්‍රමාණයෙන් සෑහෙන කොටසක් අච්චු ගැසූ මුදල්වලින් අහිමි වී තිබේ. එසේ නොමැතිව රු. බිලියන 1500 ක් අච්චු ගැසුවා නම් මුදල් ගෙන යාමට සිදුවන්නේ විල්බැරෝවලය. මුදල් අච්චු ගැසුවද ණය ගෙවීමට, ඩොලර් ගැනීමට, ආනයනවලට ගෙවීමට එම මුදල් යොදාගෙන තිබේ.

 එසේ නම් බැලිය යුත්තේ ශුද්ධ වැඩිවීම කොතෙක්ද කියාය. ඒ සඳහා වෙළෙඳපොළේ පුළුල් මුදල් සැපයුම කොතරම් වැඩි වී ඇත්දැයි අවධානයට ගත යුතුය. අතේ නැති මුදල් ඉතිරිකිරීමේ සහ ස්ථාවර තැන්පතුවල ඇති මුදල් යනාදී සියල්ල ගත් විට සියයට 20 කින් 25 කින් පමණ වැඩි වී තිබේ. අවසන් ප්‍රතිඵලය එයයි. අද බඩුමිල ඉහළ යාමේ වේගයේ වැඩිවීමක් දකින්නේ  පුළුල් මුදල් සැපයුමේ සියයට 25 ක පමණ වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහීම, ඩොලර් හිඟය යනාදියට ද මේ කාරණය බලපා තිබේ. අච්චු ගැසූ සියලුම මුදල් වෙළෙඳපොළේ පැවැතියා නම් තත්ත්වය මීට වඩා බෙහෙවින්ම දරුණු වනු ඇත.

තවත් කාරණාවක් තිබේ. මහා භාණ්ඩාගාරය ඩොලර් ගැනීමට මහ බැංකුවට අදාළ වටිනාකමට රුපියල් දුන් විට වෙළෙඳාපොළේ මුදල් ප්‍රමාණය අඩුවනු ඇත. එවිට පොලී අනුපාත ඉහළ යාමට පුළුවන. එහෙත් පොලී අනුපාත ඉහළ යනවාට ආණ්ඩුව කැමැති නැත. මේ නිසා කරන්නේ ඇති වූ පරතරය පියවීමට අවශ්‍ය මුදල් අච්චු ගසා දීමය. එවිට භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය වැඩි වීම ද සිදුවේ. ලක්ෂ්මන් තියරිය වූයේ එයයි.

 එහෙත් කබ්රාල් මේ කාරණය තේරුම් ගත්තේය. සැමවිටම විවේචනය අවශ්‍ය නැත. ඔහුට මේ ගැන අවබෝධයක් වැටහීමක් තිබේ. ඔහු කළේ පොලී අනුපාත යම් පමණකට ඉහළ යාමට ඉඩදීමය. පදනම් අංක තුන්සියයක් පමණ ඉහළ ගොස් ඇත්තේ ඒ අනුවය. සියයට පහට මිල පාලනය කළ පොලී අනුපාතය සියයට 8.17 ට පැමිණ ඇත්තේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙනි. ආසන්න වශයෙන් සියයට 3.2 කින් පමණ පොලිය වැඩි වී තිබේ. සියයට පහට මුදල් නොදුන්නද සියයට අටට මුදල් දීමට ජනතාව සූදානම්ය. මේ දිනවල වෙන්දේසියේ බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සියල්ල අලෙවි වන්නේ ඒ නිසාය. එහෙත් ඒ මාස තුනක් වැනි කෙටි කාලයකටය. වසරකට, දෙකකට මුදල් දීමට තවමත් සූදානමක නැත. ඒ පොලිය තවත් ඉහළ යන බව ජනතාව දන්නා නිසාය. කෙසේ වුවත් මේ නිසා මුදල් අච්චු ගැසීම අඩු වී වෙළෙඳපොළෙන් මුදල් ගැනීම සිදුවෙමින් තිබේ. මුදල් අච්චු ගැසීමට යම් ආකාරයක බ්‍රේක් ගැසීමක් කර තිබේ. යම් ස්ථාවර මට්ටමක යන බවක් පෙනෙන්නට තිබේ.

 රුපියල් වැඩිවන විට සිදුවන්නේ එහි අගය කඩා වැටීමය. මිලදී ගත හැකි ප්‍රමාණය අඩුවීමය. දේශීයව රුපියලේ අගය කඩාවැටීමෙන් වන්නේ උද්ධමනය වැඩි වීමය. ජාත්‍යන්තරව රුපියලේ අගය පිරිහීම යනු විනිමය අනුපාතය කඩාවැටීමය. රටේ පවතින බැරෑරුම් තත්ත්වය මේ හරහා වටහා ගන්නට පුළුවන.

සටහන චමින්ද මුණසිංහ

ආචාර්ය හර්ෂ ද සිල්වා

 



අදහස් (7)

ඩොලර් අර්බුදයේ පිපිරීම

sisil Tuesday, 07 December 2021 05:31 PM

සමගි බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා රජයට චෝදනා කළද, ඔවුන්ගේ විසඳුම් කිසිවක් ඉදිරිපත් කර නැත.. විසඳුම් නොමැතිව විවේචනය පමණක් කිරීමෙන් ජනතාවට ඵලක් නොවන බව රටවාසීන් හොඳින්ම දනියි. ඔවුනුත් සූදානම් වෙන්නේ මුදල් මුද්‍රණය කිරීමටද?

:       5       5

RaveendraWednesday, 08 December 2021 02:13 PM

අපි බලයේ සිටියා නම් මේ කිසිදු ලෙඩක්වත්, ඩොලර් හිඟයක් වත් නැහැ. ගොන් තඩියන්ට විතරයි රට කාබාසිනියා කරන්න පුළුවන්.. දැන්ඉන්න අයටත් පුළුවන්. ඒ වුණාට අපිට වගේම බැහැ වගෙයි...

:       3       1

sugath Tuesday, 07 December 2021 06:08 PM

විපක්ෂයේ සිටිනතාක් කල් සියලු දෙනාම ආර්ථික ඔස්තාර්ලාය. ආණ්ඩු කරන්නට ගිය විට කලිසමේම වැසිකිළි යන්නේය.

:       3       8

Jagath Wednesday, 08 December 2021 07:53 AM

හිතවත් හර්ෂ, වත්මන් ආර්ථික අර්බුදය ගැන ඔබේ ඉදිරි දර්ශනය ට ස්තුතියි. ඔබ එය සිංහල මාධ්‍යයෙන් කළ නිසා වැඩි වැඩියෙන් මිනිසුන්ට සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. හරයක් නැති සුපුරුදු වාචාල කතාවලට පටහැනිව අන්තර්ගතය, අවංක භාවය, විනයගරුක බෙදාහැරීමේ වටිනාකම ද මම අගය කරමි. ජනතාව පාරට බැස්සොත් ප්‍රශ්නය උග්‍ර වන බැවින් වෙන කවරදාකටත් වඩා මෝටර් රථ නඩත්තු කිරීමට කාලය මෙය බව කාරුණිකව දන්වන්න (ජාතික ආරක්ෂාව පිළිබඳ ඇඟවුම?) ජගත් ඩයස් අගය කරමි

:       2       5

Senarath Wednesday, 08 December 2021 09:17 AM

ඔබලා බලයේ හිටිය අවුරුදු 5 ටම ඒක පුද්ගල ආදායම වැඩි කලේ ඩොලර් 50 ක් පමණි.ඒ උනාට ගත්තු ඩොලර් ණය ප්‍රමාණය 1948 සිට 2015 දක්වා ගත්ත මුළු ණය මුදල හා සමානයිනේ .ඒවායෙන් රටට ආදායම එන කිසිම දෙයක් කලාද ?ඒ මදිවට හම්බන්තොට වරාය විකුනලා ඩොලර් බිලියන 1.1 ක් ගත්තා.සංචිතයේ තිබුණු ඩොලර් බිලියන 7 අඩු කළා 4 දක්වා.අද මේ රජය දුවන්නේ කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කරමින්.ඔබලා බලයේ හිටියා නම් මිනිස්සු මැරෙන එක සීමාවක් නැතිව වෙන්න තිබුනා

:       6       7

de silva Wednesday, 08 December 2021 12:49 PM

සෙනරත් සර් තමයි නියමෙට කළේ... එතුමාට පින් සිද්ද වෙන්න අප කළ රැකී රක්ෂා නවතා දමලා ගෙදරට වී විවේක සුවයෙන් සිටිමු...

:       2       5

fairoos Wednesday, 08 December 2021 05:43 PM

වහල්ලුන්ට මේවා කියලා වැඩක් නෑ මහත්තයා...

:       3       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 278 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1796 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1335 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2115 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site