IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඩොලර් අර්බුදයට හුවමාරුව පිළියමක්ද?

මුදල් හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමටත් අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙළෙඳ ණයක් ලබාදීමටත් ඉන්දියාව එකඟතාව පළ කර ඇත් ද? 

ඉන්දියාවෙන් ඉල්ලා ඇති ආධාරවලට අවශ්‍ය කටයුතු තවමත් අවසන් කර නොමැති බවක් පෙනෙන්නට තිබේ. රටේ විදේශ (බාහිර) මූල්‍ය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන නිසාත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට රට ට ඇති නොහැකියාව නිසාත් ඉන්දියාවේ ආධාරය ඉතා වැදගත් වේ. කෙසේ නමුත් ගෙවුම් ශේෂයේ තිබෙන අසමතුලිතාවට එය මධ්‍යකාලීන විසඳුමක් නොවේ. 

අවිනිශ්චිතතාව 

මෙම ලිපිය ලියන මොහොතේදී, මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගොස් ඉල්ලූ ආධාරය ලැබී ඇත් ද? සාකච්ඡාවලින් එම ප්‍රදානය හෝ ආධාරය ලබාගැනීමට සමත්ව ඇත් ද? තවදුරටත් සාකච්ඡා සිදුවනවා ද? යන්න පැහැදිලි නැත. විශේෂයෙන්ම ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් ව නොමැති නිසා අදාළ ආධාර හෝ ණය පහසුකම්වලට හෝ අදාළ කටයුතු අවසන් වී ඇත් ද නැත් ද යන්න පැහැදිලි නැත. 

ඉන්දීය සංචාරය 

ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දීය සංචාරයකින් පසුව, දෙසැම්බර් 3 වැනිදා නැවත මෙරටට පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඉන්දියාව සමඟ මූල්‍ය ගිවිසුමක් ඇති කරගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. මෙමඟින් රට මේ වන විට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය තරමක් දුරට නිරාකරණය කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. කෙසේ නමුත් තවමත් නිල නිවේදනයක් හෝ ආණ්ඩුව පාර්ශ්වයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත? 

එම නිසා අදාළ ආධාර පැකේජවලට අදාළ කටයුතු අවසන් වී ඇත් ද නැත් ද යන්න සම්බන්ධයෙන් අනුමාන සහ මත ඉදිරිපත් වෙමින් තිබේ. මෙම ආධාර ලබාගැනීමට අදාළව දැඩි කොන්දේසි තිබේ ද?

වගවීම

ඉන්දීය ආණ්ඩුවේ මූල්‍ය වගවීම සහ ප්‍රඥාව (නුවණක්කාර බව) මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි කොන්දේසියක් පැනවීමේ ඉඩක් තිබේ. එනම් ඉන්දියාවේ අදාළ ආධාර පැකේජය ලබාගැනීමට නම්, කොන්දේසියක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු වේ ද? මුදල් හුවමාරු ගිවිසුමටත් (Currency Swap) එය අදාළ වේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ කෙරෙන ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් ද කොන්දේසි ඉදිරිපත් වනු ඇති අතර ඒවා සම්බන්ධයෙන් තවමත් එකඟතාව පළ වී නැත. 

අවශ්‍යයෙන් කළ යුතු දෑ 

ශ්‍රී ලංකාව රටේ තිබෙන දුර්වල විදේශ මූල්‍ය (බාහිර මූල්‍ය) තත්ත්වය මඟ හරවා ගැනීමට නම් ඉන්දියාවෙන් ප්‍රමාණවත් මූල්‍ය සහාය ලබාගත යුතු වේ. ඉන්දියාවෙන් ලබාගන්නා මූල්‍ය සහායෙන් දැනට පවතින ආහාර, ඖෂධ, පෙට්‍රෝලියම්, ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අවසන් කළ හැකි ය. 

ඉල්ලීම

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරුවක් (Currency) සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයන සඳහා ණය පහසුකමක් (Credit Line) ඉල්ලා ඇත. රට දැනට මුහුණ දී තිබෙන දුර්වල විදේශ මූල්‍ය තත්ත්වයෙන් සහ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන යනාදියේ හිඟය අවසන් කිරීමට එම මුදල් ප්‍රමාණවත් වේ. 

මුදල් හුවමාරු ගිවිසුම (Currency Swap) 

ශ්‍රී ලංකව ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරු පහසුකම මීට කලකට පෙර ඉල්ලන ලද්දකි. එහෙත් එය සිදුවන බවක් පෙනෙන්නට නොතිබිණි. ඇතැම් විට ඉන්දියාව ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි කියනවා වන්නට පුළුවන. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ලබාගන්නා ණය ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇප ණය පැකේජයක් (IMF Bailout Package) ලබාගැනීමට එකඟතාව පළ කරන්නැයි ඉන්දියාව, ශ්‍රී ලංකාවට අවධාරණය කරනු ඇත.

කොන්දේසි 

අපේ රටේ විදේශ මූල්‍ය මේ වන විට ඉතා අවදානම් සහගත සන්ධිස්ථානයකට පැමිණ තිබේ. එම නිසා මේ මොහොතේ දී අපට ද ඉන්දියාව කියා සිටින ඕනෑම කොන්දේසියකට එකඟ වීමට සිදු වේ. උපායමාර්ගික කර්මාන්ත සහ සේවාවල කෙරෙන ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් අපට එකඟතාව පළ කිරීමට සිදුවනු ඇත. 

උපකාරී නමුත් ප්‍රමාණවත් නැහැ

ඉන්දියාවෙන් ලැබෙන ආධාරය කෙටි කාලීන සහනයකි. එහෙත් රටේ විදේශ මූල්‍යයේ තිබෙන මූලධාර්මික දුර්වලතාව විසඳෙන්නේ නැත. මේ නිසා අප, විදේශ මූල්‍යයේ තිබෙන දුර්වලතාව විසඳා ගැනීමටත් ඉදිරි මාස 12ක කාලයේ දී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට වඩා වැඩි ණය නැවත ගෙවීමේ වගකීම් ඉටු කිරීමටත් හැකි වන ආකාරයේ ප්‍රමාණවත් සහ ප්‍රායෝගික විසඳුමක් සෙවිය යුතු වේ. 

කොළඹ පැවැති ආර්ථික සමුළුවේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන් පරිදි ප්‍රමාණවත් විදේශ මූල්‍ය මඟින් සහනයක් ලබාදෙන්නේ ගෙවුම් ශේෂයේ දැනට ඇති හිඟයට පමණක් නොවේ. ඉදිරි වසර හතරත් පහත් අතර කාලයේදී ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන හතරට වඩා වැඩි ණය ගෙවීමට ද මෙමඟින් පහසුවක් සලස යි. 

විසඳුම 

විදේශ මූල්‍යයේ තිබෙන අභියෝගය ට පිළියම සෙවීම සඳහා දැනට මධ්‍යකාලීන විසඳුමක් අවශ්‍ය බව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කළේ ය. ඒ සඳහා වේදනාකාරී නොවන විසඳුමක් නොමැති බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. “අපිට ක්‍රමයක් හොයාගන්න වෙනවා, අපට හොයාගන්න වෙනවා වේදනාව අඩු ක්‍රමයක්” යැයි හිටපු අධිපතිවරයා තවදුරටත් පැහැදිලි කළේ ය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ගෙවුම් ශේෂයට සහයෝගය දක්වාවි” යැයි ද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේ ය. ලෝක බැංකුව, ඉන්ටර්-ඇමෙරිකන් ඩිවලොප්මන්ට් බෑන්ක් (IDB), ආසියානු සංවර්ධන බැංකුව හෝ ද්විපාර්ශ්වීය ප්‍රදාන එකකින් හෝ දෙකකින් ඍජු මූල්‍ය හෝ අයවැය සහාය ලබාගැනීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය ශ්‍රී ලංකාවේ ණය විශ්වාසී බව (ණය දීමට සුදුසු/ ණය ලබාගැනීමට සුදුසු) ද ඉහළ දමනු ඇත. එමඟින් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳපොළට පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබෙනු ඇත. 

ආර්ථික උපදේශය 

රට මුහුණ දී තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනක් අනුගමනය කිරීම සඳහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැන්නැයි ආර්ථික විද්‍යාඥයෝ සියලු‍ දෙනාම පාහේ ආණ්ඩුවට උපදෙස් දී ඇත. මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය ප්‍රේමචන්ද්‍රා අතුකෝරාළ, මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, ආචාර්ය සරත් රාජපතිරණ සහ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන යන ආර්ථික විද්වත්හු ඒ අතර වෙති. 

අඩුම පිරිවැයක් ඇති වඩාත් වැඩි ප්‍රතිලාභයක් ඇති විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම යැයි බොහෝ ආර්ථික විද්වත්හු සහ මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ආණ්ඩුවේ උපදේශකයන් සිතන්නේ එහි අනෙක් පැත්ත ය. 

වේදනාවක් නොමැති විසඳුමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීම වේදනාව අඩු වඩාත් වාසිදායක ම විසඳුම යැයි කොළඹ ආර්ථික සමුළුව අමතමින් මහ බැංකුවේ හිටපු අධිපති කුමාරස්වාමි මහතා පැවැසීය. විදේශ මූල්‍ය දැනට තිබෙන අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීමටත් ණය නැව ව්‍යුහගත කිරීමටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සලකා බැලිය යුතු යැයි ද හෙතෙම කීවේ ය. 

සාරාංශයක්

ගෙවුම් ශේෂ අර්බුදය ඉතා දරුණු තත්ත්වයකට පැමිණ තිබේ. ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරු පහසුකම සහ ණය පහසුකම ලබාගත්ත ද ඒවා මේ මොහොතේ පවතින දුෂ්කරතාවලින් ගැලවීමට අවශ්‍ය අත්‍යවශ්‍ය සහනයක්/ පහසුකමක් පමණි. එය ගෙවුම් ශේෂයේ තිබෙන අර්බුදයට දිගු කාලීන විසඳුමක් නොවේ. 

අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමටත් හැකියාව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් මඟින් පමණි. එමඟින් අපගේ ආර්ථිකයේ ස්ථාවරත්වය සහ වර්ධනය තහවුරු කළ හැකි ය. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනකට එකඟ වීම ඉන්දියාවෙන් ආධාර පැකේජය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවට එකඟ වීමට සිදුවන කොන්දේසියක් වනු ඇත. 

නිගමනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගන්නවා ද නැද්ද යන කාරණය කාලය විසින් තීරණය කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ නොගසන බවට හපන්කම් කීම  (ආඩම්බරයෙන් කීම) ඉවත දැමීමට සිදුවනු ඇත. 

අවම පිරිවැයකින් වැඩි වාසියක් ලබාගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වේදනාකාරී නමුත් ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කොන්දේසියකි. 

ඉන්දියාවෙන් ලැබෙන ආධාරය කෙටි කාලීන සහනයකි. එහෙත් රටේ විදේශ මූල්‍යයේ තිබෙන මූලධාර්මික දුර්වලතාව විසඳෙන්නේ නැත. මේ නිසා අප, විදේශ මූල්‍යයේ තිබෙන දුර්වලතාව විසඳා ගැනීමටත් ඉදිරි මාස 12ක කාලයේ දී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට වඩා වැඩි ණය නැවත ගෙවීමේ වගකීම් ඉටු කිරීමටත් හැකි වන ආකාරයේ ප්‍රමාණවත් සහ ප්‍රායෝගික විසඳුමක් සෙවිය යුතු වේ. 

ආචාර්ය නිමල් සඳරත්න විසිනි



අදහස් (0)

ඩොලර් අර්බුදයට හුවමාරුව පිළියමක්ද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site