IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දේශපාලන ඇසින් සියල්ල දැකීමේ වරද

ශ්‍රී ලංකාව මේ වනවිට රටක් හැටියට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එහෙත් මෙය ගෝලීය ආර්ථික ගැටලුවකි. නොඑසේව ජාතික ආර්ථික ගැටලුවක් නොවේ. ගෝලීය ප්‍රශ්නයක් නිසා එයින් පරිධියේ රටවලට ඇතිකරන බලපෑම වැඩිය. සාමාන්‍යයෙන් ලෝක ආර්ථිකයේ දිගුකාලීන කම්පනයක් දරාගෙන සිටීම පහසු මධ්‍යයේ පවතින රටවලටය. රටේ ආර්ථික ශක්තිය, මූල්‍ය සංචිත ප්‍රමාණය, දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය යම් පමණකට ආරක්ෂා කිරීමට ඔවුනට හැකියාව තිබේ. ඔවුන් ඒ සඳහා භාවිත කරන උපක්‍රම ද වෙනස්ය. 

නිදසුනකට ගතහොත් නිවෙසේ සිට වැඩ කිරීමේ දී මේ රටවලට තිබුණේ ඉහළ තාක්ෂණික හැකියාවකි. එනිසා සේවා ස්ථානයෙන් බැහැර සිට වැඩ කිරීම ඔවුන්ට ලොකු කම්පනයක් වුණේ නැත. තවත් සරලව කිවහොත් ධනවත් පුද්ගලයකුට රැකියාව අහිමිව ජීවත්වීමට ඇති හැකියාව සහ දුප්පතෙකුට ඇති හැකියාව සමාන නැත. මෙහි තවත් සුවිශේෂී කරුණක් වූයේ මෙම තත්ත්වය නිසාම ගෝලීය ධනය නැවතත් මධ්‍යයේ රටවල් හෙවත් ධනපති රටවලට සංකේන්ද්‍රණය වීමය. කොවිඩ් වසංගතයට එන්නත් සොයාගනු ලැබුවේ ඔවුන් විසිනි.

එවිට ඒවා විකිණීමෙන් ආදායම ලැබෙන්නේ ඔවුන්ටමය. ලංකාව වැනි රටවල සංචාරය කර මුදල් වියදම් කරනු ලැබුවේ ද ඔවුන් විසිනි. දැන් සංචාරක සීමා නිසා එම මුදල් ද ඇත්තේ ඔවුන් අතය. කොවිඩ් සමයේ බිඳ වැටුණු සමාජ බැඳීම් ගැට ගසන අන්තර්ජාල සමාජ ජාල සබඳතා හිමිකාරිත්වය ඇත්තේ ද ඔවුන්ටය. එවිට එමගින් ලැබෙන ලාභය ද නැවත යන්නේ ඔවුන් වෙතය. ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ආදායම් කොවිඩ් වසංගත සමයේ දී ඉහළ ගොස් ඇත්තේ මේ පසුබිමේය. 

2021 මැද භාගය වනවිට ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 3.5ක පමණ ආදායමක් ලෝකයට අහිමිව ඇතැයි කියැවේ. මේ අහිමිවීමේ වැඩි බලපෑම ඇත්තේ ලංකාව වැනි රටවලටය. චීනයේ ආර්ථික වර්ධන වේගය සියයට 9.8 - 10 අතර යැයි විශ්වාස කෙරේ. ඔවුන්ගේ ආදායම මේ වනවිට ඩොලර් ට්‍රිලියන 14ක් පමණ වේ. එය සියයට 10කින් පමණ වැඩිවීම යනු ආදායම ඩොලර් බිලියන 140කින් පමණ වැඩිවීමය.

එහෙත් අපේ රටේ මුළු වත්කම ද ඇත්තේ ඩොලර් බිලියන 84 සීමාවේය. එවැනි අගයකට සියයට 2ක පමණ වර්ධනයක් යනු සොච්චමකි. තවත් කරුණක් නම් බොහෝ සංවර්ධිත රටවල් යනු තවත් රටක නිෂ්පාදන මත යැපෙන්නෝය. එහෙත් ඇතැම්විට ඒ නිෂ්පාදන අත්‍යවශ්‍යම නැත. නිදසුනකට අපේ රටේ ඇඟලුම් නිෂ්පාදන නැති වුවත් ඔවුන්ට සිය පැරැණි ඇඟලුම් භාවිත කළ හැකිය. ලංකාවේ තේ වෙනුවට වෙනත් පානයක් පරිභෝජනය කළ හැකිය. අපේ සුළු අපනයන බෝග වුවත් මාළු වුවත් එසේය. අපේ විදෙස්ගත කම්කරු ශ්‍රමයට වුව මේ කාරණය පොදුය. එහෙත් මෙවැනි දෙයින් ලංකාව වැනි රටවලට අහිමි වන වත්කම අති විශාලය.

ලෝකයේ මේ වනවිට වැඩිම වත්කම් උපයන්නේ සේවා අංශයෙනි. එහෙත් ලංකාවේ පවතින්නේ අතිශය දුර්වල සේවා අංශයකි. ලංකාවේ සේවා අංශය යැයි කියද්දී සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තයේ ඇතැම් අංශ, විදෙස්ගත ශ්‍රමිකයන් පෙන්වා දිය හැකිය. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක දී මේ අංශවලට එල්ල වන්නේ මරු පහරකි. එසේ බලද්දී කොවිඩ් වැනි වසංගතයක දී සංවර්ධන රවලට ඇත්තේ ධනය නොලැබීම ගැන ප්‍රශ්නයක් නොවේ. ධනය ලැබීමේ වේගය ගැන ප්‍රශ්නයකි. 

ලංකාවට කිසියම් ප්‍රමාණයකට හෝ විදේශීය මුදල් ගලා ඒමක් තිබුණේ නම් දැන් එය අපට අහිමිව තිබේ. එහෙත් අපේ ජනයා භාවිත කරන්නේ නතර කළ හැකි භාණ්ඩ නොවේ. අපට ඉන්ධන ආනයනය නතර කරන්නට බැරිය. ගෑස් ද එසේය. හාල්, පිටි සහ ලූනු වුව එසේය. ගෝලීය ආර්ථික ලෝකයෙහි අන්තර්ජාලය නොමැතිව ජීවත්වීමට ද නොහැකිය. කාරණය නම් අප මෙම සියලු දෑ සපයා ගන්නේ ලෝක වෙළෙඳපොළෙන් වන බැවින් ඒ සඳහා ජාත්‍යන්තර මිලක් ගෙවීමට සිදුවීමය. එසේ වුවද දැන් කොවිඩ් නිසා පෙර පරිදි එම නිෂ්පාදන සිදුවන්නේ ද නැත. නිදසුනකට නවසීලන්තයේ බැටළුවන්ගේ ලොම් මිලදී ගැනීමට චීනය සූදානම් නැත. එසේය කියා බැටළුවන් මරා දමන්නට නොහැකිය. තවද ගල් අඟුරු ආකරවල සේවය කිරීම් නතර කර ඇත.

මේ ක්‍රියා සෘජුවම නිෂ්පාදනයට බලපායි. නිෂ්පාදනය සිදුවුවත් සැපයීම්, ප්‍රවාහන, රක්ෂණ වැනි අනෙක් ක්‍රියාවලිවල මිල ඉහළ ගොස් ඇත. යූරියාවල ලෝක වෙළෙඳපළේ මිල සීයට තුන්සීයකින් පමණ වැඩි වී ඇත. ගෑස් මිල වැඩි වී ඇති අතර ඉන්ධන මිල වැඩිවෙමින් පවතී. මේ එළඹෙන්නේ බොහෝ රටවලට සීත කාලයයි. සීතලෙන් බේරෙන්නට මින් පෙර ගෑස් භාවිත කළ පිරිස් ගෑස් මිල ඉහළ නිසා ඩීසල්, පෙට්‍රල්, ලාම්පුතෙල් යන විකල්පවලට යොමුවී සිටිති. ලෝක නිෂ්පාදන නොමැතිව ජීවත්වීමට බැරි තත්ත්වයට අප පත්ව ඇතත් ලෝකයට එසේ නැත.

එවිට අපනයන කර ලාභ උපයන තත්ත්වයක ලංකාව නැත. අවුරුදු පනහක් හැටක් තිස්සේ ආර්ථිකයේ දියුණුවක් නොමැතිව ගිය ගමන නිසා මෙවැනි වාතාවරණයකට මුහුණ දෙන්නේ කෙසේද? යන්නත් අපට ආගන්තුකය. මෙවැනි තත්ත්වයක දී ඩොලර් වත්කම් වර්ධනය කරගන්නේ කෙසේදැයි අප තවමත් සිතා නැත. එක්කෝ අපට සිදුවන්නේ අපේ දේපළ විකුණා දමන්නටය. එසේ නැත්නම් තවදුරටත් ණය වීමටය. 

මේ ආර්ථික අර්බුදයේ දී ඇතැමුන් විවේචනය කරන්නේ දේශපාලකයන්වය. එහෙත් මේ අවුලේ මුල ඇත්තේ සමස්තයේය. පළමු ශ්‍රේණියට ඇතුළත් කළ දරුවන්ගෙන් උසස් පෙළ සමත් වන්නේ දක්ෂතමයෝය. එයින් ද විශ්ව විද්‍යාලවලට බඳවා ගැනෙන්නේ විශිෂ්ටයෝය. එවිට විශ්වවිද්‍යාල උපාධි ලබන්නේ මේ රටේ ප්‍රශස්තම මට්ටමේ පිරිස යැයි අපට පිළි ගැනීමට සිදුවේ. මේ විශිෂ්ට යැයි කියන පිරිසෙන් අතිබහුතරයක් දැන් සේවය කරන්නේ රාජ්‍ය අංශයේය. එහෙත් අපේ රටේ වඩා අකාර්යක්ෂම අංශය ද රාජ්‍ය අංශයයි.

එවිට රාජ්‍ය අංශය නියෝජනය කරන්නේ මේ රටේ බුද්ධිමත් යැයි කියන පිරිසය. මෙය විරුද්ධාභාසයකි. සැබැවින්ම ලංකාවේ රාජ්‍ය අංශය ශක්තිමත්ව තිබුණේ නම් මීට වඩා ආදායමක් ලබා ගැනීමට ඉඩ තිබුණි. ඇතැමුන් කියන පරිදි ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රශ්නයට හේතුව දේශපාලනයම පමණක් නොවේ. ලංකාවේ බොහෝ අය කරන්නේ රැකියාවක් ලැබීම සමග ණයක් ගෙන නිවෙසක් ඉදිකිරීමය.

ඉන්පසු කරන්නේ කුමන හෝ අයුරකින් සිය දරුවන් ලොකුම පාසලකට ඇතුළත් කිරීමය. ඉන්පසු ඔවුහු තවදුරටත් දුෂ්කරතාවට පත් වෙති. නිවෙස ඉදිකර අවසන් නැති නිසා කුලී නිවෙසකට වියදම් කිරීමට ද නොහැකිය. පදිංචි ස්ථානය වෙනස් කළත් දරුවන් අධ්‍යාපනය ලබන පාසල වෙනස් කිරීම කිසිසේත් පහසු නැත. මෙසේ බලද්දී ලංකාව යනු සමාජ ආර්ථික දේශපාලනික යන අංශවලින් උගුලකට ලක් වූ රටකි. 

මිනිසුන්ගේ ආදායම් ඉහළ නොදමා බඩු මිල පමණක් ඉහළ ගියහොත් ඒ රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්නට විදියක් නැත. එහෙත් මේ එහෙම කියන වකවානුවක් නොවේ. බංගලාදේශයට ඇති ආර්ථික වත්කම අපට නැත. ලෝකය විසින් අපට සපයනු ලබන භාණ්ඩ මිල ඉහළ යද්දී ලංකාව තුළ ද නිෂ්පාදන මිල වැඩි විය. මේ අතරේ ගුරුවරුත් වැඩි වැටුප් ඉල්ලා බල කරද්දී ආණ්ඩුවට සිදුවන්නේ මුදල් අච්චු ගැසීමටය. එසේ අති විශාල මුදල් ප්‍රමාණයක් පසුගිය කාලයේ දී අච්චු ගැසීය. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සඳහා දැන් වැය කරන මුදල මීට පෙර අපේක්ෂා කළ කරුණක් නොවේ. මේ මුදල යනු ඔවුන් පරිභෝජනය කරන භාණ්ඩවල මිලයි.

කොවිඩ් වසංගතය සඳහා ආණ්ඩුව වෙන් කරන සමස්ත වියදම ජනගහනයෙන් බෙදූවිට එන අගයට වැඩි මුදලක් ඔවුහු බදු ලෙස ගෙවා ඇත. එහෙත් ජනතාවට මේ කතාව තේරෙන්නේ නැත. කොවිඩ් සම්බන්ධයෙන් වුව අපරීක්ෂාකාරී වීම සමස්ත සමාජය අනතුරේ හෙළන බව ඔවුන්ට දැන් මතක නැත. බොහෝ දෙනෙක් මේ වනවිට විනෝද සවාරි යන්නට පටන්ගෙන තිබේ. මෙසේ අනතුරේ වැටීමෙන් අවසන දඬුවම් ලබන්නේ සියලු දෙනාය. 

ආර්ථික අර්බුදය ගැන මගේ කියවීමේ දී නම් ඊට ජනතාවගේ ද සංයුක්ත මැදිහත්වීමක් අත්‍යවශ්‍යය. එය හුදෙක් දේශපාලකයන්ට පමණක් බාර කළ කාලය දැන් අවසානය. පොදු ජනයා මින් ඉදිරියට දේශපාලකයා පමණක් නොව රාජ්‍ය සේවය මෙන්ම තමන් ගැන ද මීට වඩා සිතිය යුතුය. පොහොර ප්‍රශ්නය යැයි කියමින් ගොවීහු මේ දිනවල වීදි බසිති. එහෙත් කොවිඩ් වයිරසය නැවත හිස එසෙව්වහොත් ඊට ආණ්ඩුව වෙන්කරන්නේ මහජන බදු මුදල්ය. මහජන බදු මුදල් යනු මහජනයාගේම සල්ලිය. එවිට කිසියම් ආකාරයකට මේ ගොවීන්ගේම සල්ලි නැවතත් වැය කෙරෙන්නේ වසංගතය මඩින්නටය. ඒ අර්ථයෙන් ගත්කළ තමා පරෙස්සම් වීම යනු හුදෙක් සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමම නොව සිය ධනය ද ආරක්ෂා කරගැනීමය.

අනෙක් අතට ලෝකය තිබෙන තත්ත්වය අනුව ලංකාව සිටින්නේ ද ආයෝජන ළඟා කර ගත හැකි තැනක නොවේ. මේ වේලාවට යම් ආයෝජනයක් පැමිණියත් ඒවා අපට වාසිදායක ඒවා නොවේ. එනිසා අප බැලිය යුත්තේ අඩුම තරමින් රටක වියදම අඩු කරගැනීම ගැනය. නිදසුනකට පෙට්‍රල් රුපියල් 10කින් අඩු කර ඇතැයි පුවතක් ඇසූ පුද්ගලයෝ වහාම ඉන්ධන හල් කරා යති. වැඩි වේලාවක් යන්නට පෙර අප දකින්නේ දිගු පෝලිම්ය. ලීටර් 50ක් ලබා ගත්තත් ලාබය රුපියල් 500කි. එහෙත් මිනිසුන් පෝලිම්වලට වී පිච්චූ ඉන්ධන හා මිනිස් පැය ප්‍රමාණය හා සසඳද්දී ලැබූ ලාභයක් නැත. ප්‍රශ්නය නම් මිනිසුන් මෙවැනි දේ ගැන තාර්කිකව නොසිතීමය. 

ඇත්ත වශයෙන්ම මෙවැනි කාල පරිච්ඡේදයක දී මිනිසුන් කළ යුත්තේ වියදම් ඇතිවීමට ඇති අවකාශයක් වේ නම් එය හැකි සෑම අයුරින්ම අවම වන පරිදි කටයුතු කිරීමටය. නිදසුනකට ඇතැමුන් කියන්නේ කිරි පිටි නොබී බැරි බවය. මොහොතකට එය සැබෑම යැයි සිතමු. අඩුම තරමින් කිරි පිටි බොන වේල් ගණන අඩු කළ නොහැකිද? මගේ යෝජනාව නම් ආනයනික භාණ්ඩ පරිභෝජනය වැඩි වන තරමට රට උගුලට හසුවීමේ වේගය වැඩි වන බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ අරපරෙස්සමින් භාවිත කළ යුතුය.

ගෑස් හා විදුලිය යනු එසේ අරපරෙස්සමින් භාවිත කළ යුතු ඉන්ධනය. එහෙත් අපට පෙට්‍රල් නැතිව ජීවත්වීමට හැකියාවක් ඇත. වෙනදා පෙට්‍රල් ලීටර් 100ක් භාවිත කළ අයකුට අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් වාහනය භාවිත කර ලීටර් ගණන 25 දක්වා අඩු කළ හැකිය. විදුලිය වුව දල්වන විදුලි පහන් සංඛ්‍යාව අඩු කළ හැකිය. මේ අයුරින් අප රටක් හැටියට සිතා සකසුරුවම් ජීවන ශෛලියකට සක්‍රීය ලෙස මැදිහත් වන්නේ නම් පවතින අර්බුදයෙන් යම් දුරකට ගොඩ ආ හැකිය. නොඑසේව අර්බුදයට විසඳුම ආණ්ඩු හෝ පුද්ගල මාරුවක් ලෙස දකින්නේ නම් එයින් විසඳුමක් නැත. මේ අවස්ථාවේ ඇතැම් සාකච්ඡා දියත් වන බව පෙනෙන්නේ එවැනි පුද්ගලවාදී දෘෂ්ටිකෝණයෙන් බව පෙනේ. එය කනගාටුදායක තත්ත්වයකි. සැබැවින්ම කොවිඩ් අවුල යනු දේශපාලනික කාරණයක් නොවේ. ස්වාභාවික උපද්‍රව්‍යයකි. එය ප්‍රශ්නයක් හැටියට සලකා කළමනාකරණය කිරීම දේශපාලනික කාරණයකි. එහිදී වැදගත්ම කරුණ ලෙස මා දකින්නේ රටේ ජනතාව සමග ප්‍රශ්නය ගැන සාකච්ඡාවකට යෑමය.

නිදසුනකට ගුරු ප්‍රශ්නයේ දී මතු වූ කරුණ වූයේ නිසි සාකච්ඡාවක් නොතිබුණේය යන්නයි. ගොවි ප්‍රශ්නයේදී ද එසේය. යුගදනවි බලාගාර ප්‍රශ්නය වුව එසේය. මහජනයාගේ ස්වභාවය නම් තොරතුරු මත කලබල වීමය. සාකච්ඡා විරහිත ක්‍රියාමාර්ග විසින් සිදුකරනු ලබන්නේ එකී මහජනයා කලබලයට පත්කිරීමය. ආණ්ඩුකරණයේ දී අත්‍යවශ්‍ය පියවරක් වන්නේ තොරතුරු සහිත සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් මහජනයා දැනුවත් කරමින් වැඩ කිරීමය. කරන වැඩ නිරවුල්ව නිරවද්‍යභාවයෙන් කරද්දී මහජනයා කලබල වන්නේ නැත. එය ආණ්ඩුකරණයට ද පහසුවකි.

නිදසුනකට ගිවිසුමක් රෑ දොළහට අස්සන් කිරීම නොකොට දවල් දොළහට අස්සන් කළ නොහැකි ද? අස්සන් ගැසීමට පෙර සතියක් දෙකක් ජනතාව සමග සාකච්ඡා කළ නොහැකි ද? රසායනික පොහොර වෙනුවට කාබනික කෘෂිකර්මයට විතැන්වීම ලංකාවේ සියලු ජීවීන්ගේ අයිතින් සුරක්ෂිත කරන මුළු ලෝකයක් පිළිගන්නා අගනා වැඩපිළිවෙළකි. එහෙත් එය කළ යුත්තේ මහජනයා සමග වූ සක්‍රීය සාකච්ඡාවකින් පසුය. එවැනි සාකච්ඡාවකට විශාල කාලයක් වැය වන්නේ ද නැත. ධනවාදී ලෝකයෙහි මිනිසකු පරයා තවත් මිනිසකු ලාභ උපරිම කරගැනීමට වෑයම් කරන්නේ යම් සේද එක රටක් සෙසු ලෝකය සමග ගැටෙන්නේ ද එපරිද්දෙන්මය. එවිට මේ කොවිඩ් සමයේදී ලංකාව වැනි පරිධියේ රටවලට සිදුවන්නේ ගෝලීය හා ජාතික යන තල දෙකේදීම ඉතාම පරීක්ෂාකාරී ලෙස ආර්ථික තීන්දු ගැනීමටය. එහිදී ප්‍රධාන සාධකයක් වන්නේ රටේ මහජනයාය.

සැබැවින්ම දැන් මහජනයා සිටින්නේ විපිළිසරවය. දේශපාලනික වශයෙන් කලබෑගැනිවලට ඔවුන් පැටලෙන්නේ ද එහෙයිනි. එහෙත් මේ ආරාවුල විසඳාගත හැක්කේ ඔවුන් සමග පරතරය වැඩිකර ගැනීමෙන් නොව සක්‍රීය සංවාදයක් මගින් නිසි තොරතුරු සන්නිවේදනයෙනි. යහපත් තීරණ විනිවිදභාවයෙන් යුක්තව සාකච්ඡාවෙන් සම්මුතියෙන් ක්‍රියාවට නැගීමෙනි.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය මාලක රණතිලක

සංවාද සටහන -බිඟුන් මේනක ගමගේ   



අදහස් (8)

දේශපාලන ඇසින් සියල්ල දැකීමේ වරද

Nuwan Monday, 08 November 2021 11:00 AM

දේශපාලන ඇසින් නොව අපි ආර්ථික ඇසින් මේවා දැකගත යුතුය .විද්‍යාව ,ගණිතය ,සමාජ අධ්‍යනය අනිවාර්ය උනත් ප්‍රාථමික ආර්ථික විද්‍යාව වත් අපි 10 පන්තියට එනකොට ඉගෙනගෙන නැත .මුදල් ගැන ,කොටස් වෙළඳපොල .ආයෝජනය ,මහා බැංකුව ගැන ඉගෙන ගත යුත්තේ 6 වසරදීය .ඔබ තුමාලවත් මේක වෙනස් කරන්න වැඩ කල යුතුය

:       3       10

Nalin s Jayathilake Monday, 08 November 2021 12:46 PM

ලස්සන පැහැදිලි කිරීමක් මේක තමයි ඇත්ත...

:       2       7

klal Monday, 08 November 2021 01:18 PM

විශිෂ්ට ලිපියක් - මහාචාර්යවරයෙකුගේ දුර්ලභ ලිපියක්. මහාචාර්යවරයා උපාධිධාරීන් ගැන ලිව්වා, නමුත් උපාධි අපේක්ෂකයින්ගේ සහ උපාධිධාරීන්ගේ අනිවාර්ය රාජකාරි ගැන ඔහුට අවධාරණය කළ හැකි නම්, එය ලිපියට තවත් ආලෝකයක් ලබා දෙනු ඇත. බොහෝ ආදර්ශවත් සිසුන් උපාධිය අවසන් වූ වහාම රට හැර යයි. පන්ති ඇති උපාධිධාරීන් රජයේ රැකියාවලට සම්බන්ධ වේ. විද්‍යා, ඉංජිනේරු සහ වාණිජ උපාධිධාරීන්ගෙන් බහුතරයක් ඉහළ වැටුප් සඳහා පෞද්ගලික අංශයට සම්බන්ධ වෙති. වැඩිපුරම කළ කලා උපාධිධාරීන් ...

:       2       9

RaveendraMonday, 08 November 2021 02:27 PM

ඇත්තෙන්ම ඔබගේ වටිනා අදහස් මහාචාර්යතුමාට කියවීමට හැකිවේවා යන්න අප තරයේ විස්වාස කරන්නෙමු.

:       3       6

NM Tuesday, 09 November 2021 07:06 AM

දේශපාලන ඇසින් සියල්ල දැකීමේ වරද කරගෙන තිබෙනුයේ දේශපාලකයන් සහ ඔවුනට ඡන්දය ලබාදෙන පුරවැසියන් විසින්ම වේ. එමනිසා රටේ පුරවැසියන් සිතා සිටිනුයේ දේශපාලකයන් නොමැතිව කිසිවක් කල නොහැකි බවකි. දරුවා පාසලට ඇතුලත් කර ගැනීමේ සිට පුද්ගලයකුගේ මරණය දක්වා දේශපාලකයන් ජනතවට සමීපවී තිබෙන වෙනත් රටක් ලෝකයේ නොමැත. නමුත් රටේ වර්තමාන ආර්ථික සහ සමාජ ගැටළු නිසා ජනතාවගේ ජන මනස වෙනස් වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. බහුතර ජනතාවක් මේ වන විට සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලකයන් ප්‍රතික්ෂේප කරමින් තිබීම සහ නව දේශපාලන විකල්පයක් ඉල්ලා හෝ ඒ වෙනුවෙන් ජනතව විසින්ම අදහස් ප්‍රකාශ කිරීම වැඩිවීමක් දක්නට ලැබේ. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය පොරොන්දු දේශපාලනයෙන් තොර ප්‍රතිපත්ති දේශපාලනයක් කරා ගෙන යාමට නම් වර්තමාන දේශපාලන ක්‍රමවේදය වෙනස් විය යුතුම වේ. ලෝකයේ කිසිදු රටක නොමැති පක්ෂ විපක්ෂ දේශපාලකයන් සහබාගිවන මහජන මුදල් වැයකරමින් පැය ගණනක් විකාශනය කරන්නාවූ පලක් නොමැති වාද විවාද ජනතව විසින් ප්‍රතික්ෂේප කලයුතුවේ.

:       1       3

sujeewa Tuesday, 09 November 2021 12:46 PM

බොහෝ කලකින් දුටු ඉතාමත් හරවත් විවරණයකි. මෙය පළමුව කියවිය යුත්තේ සියල්ල දේශපාලන ප්‍රතිවිරෝදයකින් ම දකින්නවුන් සහ රට පසුවට තබා තම වගකීම් පසෙක ලා වැටුප පිළිබදව සිතන්නවුන්ය. දෙවනුව පිටිකිරි නැතුව දරුවන් හාමත් වනවා යැයි කියන දුප්පතුන් හා වත්තේ පිටියේ දර කෝටු ඔ්නෑ තරමි තිබියදීත් ගෑස් වලට කෑ මොර දෙන්නන්ය. තුන්වනුව මහජන මුදල් වැය කර ගොවීන්ට නොමිලේ දුන් පොහොර ගෙන ඒහි පළදාව පුද්ගලික අංශයට විකුණන ගොවි ජනතාවය, හතරවනුව මහජන මුදලින්ම ඉගෙන ගෙන මහජනතාවගෙන්ම වැටුප් ලබන රජයේ සේවාවන් සඳහා පොදු ප්‍රතිපත්ති පසෙකලා තෝරා බේරා ගත් කණ්ඩායම් වලට පමණක් වැටුප් වැඩිකිරීමට මුල් වන්නන්ය. පස්වනුව මහජන මුදලින් වැටුප් ගන්නා කණ්ඩායම් ඒම රැකියාවලම යාවජීව සාමාජිකයන් කරවන රාජ්‍ය සේවයේ දුර්වල නීතිරීතිය. තවත් ඇත. කිසිවකු ඒ්වා ඔවුන්ගේ අයිතිවාසිකම් යැයි කියනු ඇත. මාගේ අදහස නම් සමාජ සංවර්ධනය නැතහොත් මහජන මුදල් හමුවේ පුද්ගල අයිතිවාසිකම් යන්න නොවටිනා දෙයක් වී වගකීම් වලට උපරිම වටිනාකම් දිය යුතු බවයි. මේ සඳහා දේශපාලකයන් ඇතුලත් නොකලේ ඒ්ම තීරණ මැතිවරණයකදී මහජනතාවට ගතහැකි බැවිනි. අනෙක් කිසිවක් සඳහා මහජනතාවට තීරණ ගැනීමේ අයිතියක් නැත

:       1       4

hesa Tuesday, 09 November 2021 03:13 PM

මේ දුෂ්කර කාලය, අපේරට වැනි 3 නි ලෝකයේ රට වලටයි විශේෂයෙන්ම - මුළුමනින්ම මුහුන දෙන්න වෙන්නෙ යන අදහස, 2 වරක් 3 වරක් මෙම ලිපිය කියවීමෙන්,සෑහෙන්න තේරුම් ගැනීමට පිලිවන්..( මට හිතෙන සේ ) ඇත්තටම, ධනවාදි රටවලට මේ දුෂ්කරතා, (කෑම බීම, ඉන්ධන, ගෑස් වැනි දේ ) හිඟවීම් ගැන කට කතා පැතිරුනද, තවම එවැන්නක් පේන දුරකවත් නැහැ තමා.. අපි පෟ! පැහැදලි කිරීම සරලයි..බොහොම ස්තුතියි!

:       0       4

Prabath Friday, 12 November 2021 12:27 PM

පේරාදෙණියේ ඉන්නේ මෝඩයින් ටිකක්... මේ අය ජීවිතේට හදන්න බැහැ.. ලංකාවේ අංක 1ලු... එතකොට අනිත් ඒවා කොහොමද?

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site