IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


නිදහසේ ජන විඥානය කොයිබටද ?

යටත් විජිතභාවයෙන් නිදහස්වීමෙන් පසු ජාතිය ගොඩනැගීම ගැන විටින් විට කැලැන්ඩරයකට අනුව අපි කතා කරමින් සිටිමු. එහෙත් ඒ ගැන සංයුක්ත තලයේ සාකච්ඡා සිදු වූ ඉතිහාසයක් අපට හමු නොවන තරම්ය. 1947 දී එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වෙද්දී තාවකාලිකව තිබූ කතාබහක් ද 1994 දී පොදුජන එක්සත් පෙරමුණ නිර්මාණ වෙද්දී පැවැති සාකච්ඡාවක් ද හැරුණුවිට ඒ සඳහා ලොකු සාකච්ඡාවක් තිබුණේ නැත.

නිදහස සැමරීම යනුවෙන් අප සිදුකරන්නේ යටත්විජිතභාවයෙන් මිදීම ගැන වාර්ෂිකව කෙරෙන වාගාලංකාරමය කතාබහකි. ජාතික ස්වාධීනත්වය, ස්වෛරීභාවය යනුවෙන් මේ ගැන කතා කෙරෙන මුත් එහි වැඩිපුරම තිබෙන්නේ සාහිත්‍යමය කතිකාවකි. ඒ කතිකාවෙන් සිදුවෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්න ද්විතීයික තත්ත්වයට පත්වීමය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වැනි කාරණා ගැන එහි වැඩි උනන්දුවක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේ ඕනෑවට වැඩිය තිබීමෙන් රටට සතුරු බලවේගවලට රටේ අභ්‍යන්තර කාරණාවලට මැදිහත්වීමට අවකාශය සැලැසීමක් හැටියටය. එවැනි දේ නිසා ජාතික ඒකාබද්ධතාවයේ ශක්තිය අඩු වේ යැයි විශ්වාස කෙරේ. මෙම තත්ත්වයෙහි සුළු ජන කොටස් වැනි පිරිස් වෙනම දේශපාලන ඉල්ලීම් කිරීම සැලකෙන්නේ නිශේධාත්මක දෙයක් හැටියටය. ආර්ථික වශයෙන් සිදුවන සංවර්ධනයේදී මෙවැනි දේශපාලන ප්‍රශ්න නිරාකරණය වේ යැයි කියන්නේ ඒ අනුවය. මෙය රටේ දේශපාලන අනාගතය ගැන ඇති එක් අදහසකි. පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත්තේ ද එම අදහසයි. සිංහල සමාජයෙන් ඊට විශාල අනුමැතියක් ඇතත් දෙමළ හා මුස්ලිම් සමාජයෙන් එවැනි අනුමැතියක් නැති බව දැන් අපට පෙනේ. ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමේ ප්‍රශ්නයක් එන්නේ ද මේ පසුබිමේය. දෙමළ බසින් ජාතික ගීය ගායනා නොකිරීමේ ප්‍රශ්නය තිබෙන්නේ කාටදැයි ඇතැම්මු ප්‍රශ්න කරති. ගෙවිඳු කුමාරතුංග මේ ප්‍රශ්නය අසන එවැන්නෙකි. මෙය මුරලිදරන්ටත් ප්‍රශ්නයක් නොවේ නම් කදිර්ගාමර්ටත් ප්‍රශ්නයක් නොවේ නම් ප්‍රශ්නයක් වන්නේ කාටදැයි ඔහු අසයි. ගෙවිඳුගේ මේ තර්කාභාසයට අනුව එහිම ප්‍රතිපක්ෂය වූ දෙමළෙන් ජාතික ගීය ගායනා කරද්දී ප්‍රශ්නයක් ඇත්තේ කාටදැයි පෙරලා ද ප්‍රශ්න කළහැකිය. එසේත් නැතිනම් දෙමළෙන් ගායනා කිරීම වාසුදේව නානායක්කාරට ප්‍රශ්නයක් නොවේ නම් ගෙවිඳු කුමාරතුංගට ප්‍රශ්නයක් වන්නේ කෙසේදැයි කියා ද ප්‍රශ්න කළ හැකිය. දේශපාලන කතිකා හැදෙන්නේ එහෙමය. මේ ආකාරයට අපට ඕනෑ තරම් පෙරලා ප්‍රශ්න ඇසිය හැකිය.

කෙසේ වෙතත් සිංහල දේශපාලනය නොදන්නා දෙය වන්නේ බැහැර කිරීම යනු කුමක්ද යන්නය. මේ ගැන කතා කරන ඇතැමුන් කියන කතාවක් වන්නේ ඕවා දෙමළ ජාතික සන්ධානයට මිස දෙමළ මිනිස්සුන්ට ඇති ප්‍රශ්න නොවන්නේය යන්නයි. එහෙත් මෙය ඉතාම පටු කියවීමකි. මන්දයත් දෙමළ මිනිසුන්ගේ ඡන්ද සංයුක්ත වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නිසාය. එනිසා ඔවුන් කියන දෙයට අප සාවධාන විය යුත්තේ දෙමළ ජනයාගේ ආකල්පවල නියෝජනයක් හැටියටය. ජාතික ගීය සිංහලෙන් ගායනා කිරීම දෙමළ ජනතාවට පහසු දෙයක් නොවන බව මගේ විශ්වාසයයි. ජාතික ගීය පමණක් නොවේ. සංවිධානාත්මකව කරන ඇතැම් ක්‍රියා නිසා සිංහල ආධිපත්‍ය උතුරේ පැතිරවීමක් ඇතැයි දෙමළ ජනයාට විශ්වාසයක් ඇතිවේ.

දකුණේ සිංහල දේශපාලනය ශක්තිමත් වනවිට උතුරේ දෙමළ දේශපාලනය ද ශක්තිමත් වීම අමුතු දෙයක් නොවේ. එය ස්වාභාවිකය. නව රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන අභිලාශ ගැන එහි නියෝජිතයන් වන ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු විවිධ ප්‍රකාශ කරති. ඡන්දය දුන් ජනතාව ජාතික අවශ්‍යතා ඉටුකිරීම මිස හාල පොල් මිල ගැන වද නොවෙන බව ද කියති. මේවා හුදු දේශපාලන ප්‍රකාශය. ප්‍රශ්නය වෙන්නේ දේශපාලකයන්ගේ ප්‍රකාශ අප බැරෑරුම්ව සැලකුවොත්ය. එම්.සී.සී ගිවිසුම ගැන ගම්මන්පිල වැනි දේශපාලකයන් ඒ කාලයේ කියූ දේ හා දැන් කියන දේ යනුවෙන් කරන සැසඳීම් වුවද එසේය. දේශපාලනික වශයෙන් එම කතිකයන් අපහසුතාවයට පත්කිරීම සඳහා ප්‍රශ්න ඇසීම වැනි දේට එවැනි දේ ප්‍රයෝජනවත් වුවද එවැනි දේ ගැන සැලකිලිමත්වීමේ තේරුමක් නැත. මන්දයත් මේ දේශපාලන කතා අපේ දේශපාලනයේ කොටසක් වන බැවිනි. එනිසා අප කළයුත්තේ මහජනතාවගේ සංවේදී කාරණා පැත්තට ඔවුන් යොමුකිරීමය.

රට ජාතිය රැකගැනීම නමැති කාරණය සංකීර්ණය. එවැනි දේ මගින් මිනිසුන් විශ්වාස කරන සිතුවිලි පද්ධතිය නිරවුල් නැත. උදාහරණයකින් මෙසේ පැහැදිලි කළ හැකිය. ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේ මින්නේරිය ප්‍රදේශයට ගිය ගමනකදී එක්තරා තේ කඩහිමියකු කතාබහේදී කී දෙයක් වූයේ තමා රට වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන බවය. එමගින් ඔහු අදහස් කරන්නේ කුමක්දැයි මා විමසුවේ නම් එය පැහැදිලි කිරීමට බොහෝදුරට ඔහු අසමත්වන්නට ඉඩ තිබිණ. එහෙත් කලින් පැවැති ආණ්ඩුව රටට විරුද්ධය යන ප්‍රවාදය පෙන්නුම්කිරීමට විවිධ දේ තිබේ. ජිනීවා මානව හිමිකම් යෝජනාව, ජාත්‍යන්තරයෙන් හා දෙමළ සමාජයෙන් එන ඉල්ලීම්වලට සංවේදී වීම වැනි කාරණා මගින් එය පහසුවෙන් ඒත්තුගන්වන්නට ද පුළුවන. ඒ අනුව ජනතාව රට ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව වැනි සංකල්ප තේරුම්ගන්නේ රටට විරුද්ධ වැඩ මොනවාදැයි තේරුම්ගැනීමෙනි. එහෙත් ජනතාව ඡන්දය දෙද්දී හුදෙක්ම රට ජාතිය වෙනුවෙන්ම ඡන්දය ප්‍රකාශ කරන්නේය යන්න ද පූර්ණ සත්‍යක් නොවේ. 2015 ජනාධිපතිවරණය ඊට උදාහරණයක් හැටියට දැක්විය හැකිය. 2015 දී ද මෙම රට රැකගැනීමේ ප්‍රවාදය ඉදිරියට පැමිණියේය. එහෙත් සිංහල සමාජයේ සැලකිය යුතු පිරිසක් ඊට සංවේදී වුණේ නැත. එනිසා රට ජාතිය වැනි දෘෂ්ටිවාදී වියුක්ත අදහස් වුවද දීර්ඝකාලීනව පරීක්ෂා කිරීමට ලක් නොවී සිටින්නට අවස්ථාවක් නැතිය. මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා විසින් එම කාර්ය කරනු ලැබේ.  

මිනිසුන් දේශපාලන නිදහසට වඩා ආර්ථික නිදහස ගැන සිතන බව ඇතැම් ආණ්ඩුවාදීන්ගේ අදහසක් වී ඇති බව පෙනේ. එහෙත් සමස්තය ගැන එසේ කියන්නට නොහැකිය. ඡන්දය දෙන නොයෙක් පිරිස්වල නොයෙක් පෙදෙස්වල දේශපාලන හැසිරීම් විවිධය. උදාහරණයකට ගත්තොත් හෝමාගම, කැස්බෑව, කඩුවෙල වැනි පෙදෙස්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ වුවද එම පක්ෂයටම රටේ වෙනත් පෙදෙස්වලදී ප්‍රකාශ වන ඡන්ද රටා වෙනස්ය. කොළඹ නගරයේ දී පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරන පිරිස් ගත්තොත් සැලකිය හැක්කේ මධ්‍යම පංතිය නියෝජනය කරන රට රැකීම වැනි කාරණා ගැන සංවේදී උදවිය හැටියටය. මේ උදවියට ලොකු ආර්ථික ප්‍රශ්න නැත. එහෙත් මේ කඳවුරටම ඡන්දය දෙන මේ පිරිස්වලට වෙනස්ව සිතන පිරිස් ද වෙති. එනිසා මිනිසුන් දේශපාලන නිදහසට වඩා ආර්ථික නිදහසට සංවේදී යැයි කියා සාමාන්‍යකරණයකට අපට ඉඩක් නැත.

දේශපාලන බලය සම්බන්ධ කාරණාවලට අදාළව සිවිල් සමාජය නමැති කණ්ඩායමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට යම් මැදිහත්වීමක් තිබුණේ නම් අද වනවිට එය ද තිබෙන්නේ අහෝසි වී ගිය තැනකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නමැති සාකච්ඡාවට මුවා වී එක්සත් ජාතික පක්ෂය ආර්ථික ප්‍රතිසංස්කරණවලට යත්න දරද්දී මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා උත්සාහ කළේ තමන්ගේම පිරිසක් හදාගන්නටය. මේ නිසා අපහසුතවයට පත්වුණෝ 2015 පක්ෂ න්‍යායපත්‍රවලට පිටින් සිටි පිරිස්ය. දේශපාලන බලය ලබාගැනීමට තිබූ ඒකාබද්ධතාවය බිඳවැටෙද්දී එම පිරිස්වලට මහජන අපකීර්තියට ලක්වන්නට ද අවසන සිදුවිය. එනිසා දකුණේ සිංහල සමාජයේදී දෙමළ ජන ඉල්ලීම්, දේශපාලන ප්‍රතිසංස්කරණ වැනි දේ ගැන තවත් සැලකිය යුතු කාලයකට කතාකිරීමටවත් ඉඩක් නොමැති වනු ඇත. ඒවාට ඉල්ලීම අඩුය. දැන් ඉල්ලීම ඇත්තේ සීඝ්‍ර ආර්ථික වර්ධනය වැනි දේටය. ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණා සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුවේ වූ නරක අත්දැකීම් නිසා ඒවා ගැන කතාකිරීම පවා දුෂ්කර වනු ඇත. මා සිතන ආකාරයට මේ ආණ්ඩුවට දැන් අභියෝගයක් තිබෙන්නේ නම් ඒ බාහිරින් නොවේ. අභ්‍යන්තරයෙන්මය. එක්සත් ජාතික පක්ෂය හොඳටම දුර්වල වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ තිබෙන්නේ ශක්තිමත් තැනක නොවේ. දෙමළ හා මුස්ලිම් පක්ෂවලට උතුරු නැගෙනහිර බලය තිබුණ ද ආණ්ඩුව සිටින්නේ එම කලාප අත්හැර දැමූ තැනකය. උතුරෙන් සහායක් ගැනීමට උත්සාහ කිරීමට වඩා ආණ්ඩුව උත්සාහ කරනු ඇත්තේ දකුණේ තිබෙන සහයෝගය තවත් වර්ධනය කරගැනීමටය. එනිසා ආර්ථික නිදහස උදෙසා ජනාධිපතිවරයා යන්නට හදන ගමනේදී ඔහුට තිබෙන්නේ අභ්‍යන්තරිකව ශක්තිමත් විය යුතු අභියෝගයකි. තමාගේ අත පය බැඳලා යැයි ද එනිසා 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කියයි. සැබැවින්ම ඔහුගේ අත පය බැඳ තිබෙන්නේ අගමැතිවරයාගෙන් මිස අන් මගකින් නොවේ. මේ කාරණා නුදුරේම දේශපාලනික වශයෙන් පරීක්ෂාවට ලක්වනු ඇත. එක්සත් ජාතික පක්ෂය අද වනවිට සිතන්නේ සිංහල ඡන්ද උපයාගන්නා ආකාරයක් ගැනය. එහෙත් දකුණේ සිංහල ජනයා ආකර්ශනය කරගැනීම එ.ජා.පයට ඒ සා පහසු දෙයක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි විශාල කලකිරීමක් ඇති නොවූ පසුබිමක සජිත් ප්‍රේමදාසගේ පැත්තට හැරෙන්නට දකුණට ලොකු හේතුවක් නැති බැවිනි.

යටත්විජිතභාවයෙන් නිදහස්වීමෙන් පසු ජාතිය ගොඩනැගීම ගැන විටින් විට කැලැන්ඩරයකට අනුව අපි කතා කරමින් සිටිමු. එහෙත් ඒ ගැන සංයුක්ත තලයේ සාකච්ඡා සිදු වූ ඉතිහාසයක් අපට හමු නොවන තරම්ය. 1947 දී එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වෙද්දී තාවකාලිකව තිබූ කතාබහක් ද 1994 දී පොදුජන එක්සත් පෙරමුණ නිර්මාණ වෙද්දී පැවැති සාකච්ඡාවක් ද හැරුණුවිට ඒ සඳහා ලොකු සාකච්ඡාවක් තිබුණේ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන විඥ්ඥානය සැකැසී තිබෙන්නේ ජන වාර්ගිකත්වය මුල් කරගෙනය. වාර්ගික සීමා පරයන ජාතිකත්වයක් ගැන තාවකාලිකව හෝ සාකච්ඡාවක් නිර්මාණය වුවද වැඩි කල් නොගොස්ම ඊට විරුද්ධ කතිකාව ශක්තිමත් වේ. 1947 දී එක්සත් ජාතික පක්ෂය යටතේ ජාතිකත්ව සන්ධානයක් හැදෙද්දී 1956 වනවිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇසුරෙහි ඊට ප්‍රතිචාරයක් දැක්වීම එක් උදාහරණයකි. 1990 දශකය වනවිට සිංහල ජාතිකවාදී නැඹුරුව තීව්‍ර වන්නට වූ අතර 2005 දී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට හේතු වූයේ එයයි.

ජාතිය ගොඩනැගීම වැනි කාරණයකදී එකී සිංහල බෞද්ධ ජාතිකවාදී නැඹුරුවෙන්ම ජනිත වූ මහින්ද රාජපක්ෂගේ අනුහස්මය ගුණය පාවිච්චි කිරීමට යුද්ධයෙන් පසුව අවස්ථාව තිබුණා නේදැයි ඇතැම්මු අසති. එහෙත් මේවා කියන තරම් සරල නැත. බලය බෙදීම වැනි දේශපාලන ක්‍රියාවලියකට විමල් වීරවංශ, නලින්ද සිල්වා වැන්නන්ගේ අනුමැතිය ලැබෙන්නේ නැත. එවිට සිදුවන්නේ එකී දේශපාලන කඳවුර කැඩීයාමය. ඒ දේශපාලන කඳවුර නොකඩා එවැනි පියවරකට සංයුක්තව යන්නට ද බැරිය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ පවා කියන්නේ සිංහල බෞද්ධයන්ට එරෙහිව තිබූ කුමන්ත්‍රණය මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පෙනුණු කතාවකි. ඒ අනුව ඔවුන් කුමන්ත්‍රණ න්‍යායෙන් මිදී දේශපාලනය දකින්නට සූදානම් නැති බව පැහැදිලිය. දෙමළ දේශපාලන පක්ෂ ඒකාබද්ධවීම පැහැදිලිව සිදුවුණේ 1977 දී පමණය. 1980 ගණන්වල සිට මුස්ලිම් දේශපාලනය ද වෙනම ගමනක් ගිය අතර සිංහල දේශපාලනය සංවිධානය වුණේ ද මෙම ධාරාවලට සමාන්තරව වෙන වෙනමය.     

ඇත්තම කතාව නම් ලංකා දේශපාලනයේ ප්‍රධාන නැඹුරුව තිබෙන්නේ බෙදීමේ පැත්තටය. ඒ මිස ඒකාබද්ධවීමේ පැත්තට නොවේ. අනාගතයේදී කවර පරිවර්තනයක් වේදැයි නිශ්චිතව කිව නොහැකි මුත් මෙම බෙදීමේ දේශපාලනය තව සැලකිය යුතු කාලයක් පවතිනු ඇත. මේ ආණ්ඩුවට වුව ජනප්‍රියත්වය බේරා ගැනීමට කළයුත්තේ ජාතික ඒකාබද්ධතා වැඩවලට අතගැසීම නොව ආර්ථික ප්‍රතිසංස්කරණවලට යාමය. ආණ්ඩුවත් එය හොඳට දනී. රාජපක්ෂ ඉහළ ස්ථරය වුව ස්වාභාවික ලෝකයේදී වෘද්ධභාවයට පත්වීම නොවැලැක්විය හැකිය. එවිට එහි ඊළඟ උරුමකරුවන්ට දේශපාලන බලය හුවමාරු වීම මේ මොහොතේ තරම් පහසු නොවේ. බලය ලබා ගැනීම සඳහා මේ තරම් පහසුවෙන් මහජනතාව ආමන්ත්‍රණය කරගැනීම ද පහසු නොවේ. මහින්ද නැති තැනක එකිනෙකට වෙනස් දේශපාලන බලවේග එක තැනකට ගෙනඑන්නට හැකි අය ද එහි නැත. එවැනි පරිසරයකදී වාර්ගික සමගිය ගැන ඉල්ලීම් නැවත ඉස්මතුවීමට ඉඩ තිබේ. එහෙත් ඒවා පවා ලංකා දේශපාලනයෙහි හිතාමතා කරන දේශපාලන පරිවර්තන හැටියට ඉදිරියට යනු ඇතිදැයි කිව නොහැකිය. මන්දයත් ජාතිකත්ව තලයෙහි සිදුව ඇති යම් දේශපාලන සංවර්ධන වේ නම් ඒ සියල්ලම පාහේ අහඹු ලෙස පැනනැගුණු සිදුවීම් පදනම් කරගෙන වූ දේ බැවිනි. එනිසා වාර්ගික ඉල්ලීම් ඉවසනසුළු ජාතිකත්ව ගොඩනැගීමකට නම් ඒ සඳහා වූ අවංක දේශපාලන සාකච්ඡාවක් ගොඩනැගීම කළ යුතුවේ. එහෙත් එය පහසු නැත.

බිඟුන් මේනක ගමගේ

ඡායාරූපය - ළහිරු හර්ෂණ



අදහස් (1)

නිදහසේ ජන විඥානය කොයිබටද ?

pathum Rathnayaka Wednesday, 05 February 2020 03:18 PM

නිර්මාල් මහතා කියන ලෙසින්ම දෙමළෙන් ජාතික ගීය ගැයීම ප්‍රශ්නයක් නැත. නොගැයීමද ප්‍රශ්නයක් නැතැයි පිරිසක් පිළිබඳ සාකච්ඡා කරයි. නමුත් ඔහු එහිදී අමතක කරන දෙය නම් ලෝක ප්‍රවණතාවයයි. අපගේ පාර්ලිමේන්තුව වෙස්මිනිස්ටර් අභාෂය ඇත. අපගේ ව්‍යවස්ථාවට අභාෂයක් ඇත. අධ්‍යාපන ක්‍රමයට ඇත. එනම් ලෝකයේ අපට වඩා මිශ්‍ර ජාතීන් සිටින සියළු රට වලට ඇත්තේ එක් ජාතික ගීයකි. එසේම නිර්මාල් මහතා බෞද්ධ ජාතිකවාදය ගැන කථා කරයි දෙමළ ජනයා පිළිබඳ ගැඹුරින් කතා කරයි. දෙමළ සංධානය පිළිබඳ ඔවුන්ගේ හඬ පිළිබඳව කථාකරයි. නමුත් ඔහු 83 කළු ජුලියෙන් බැට කෑ සිංහල ඇතුළු යාපනයේ පදිංචිව සිටි අනෙක් ජනයා අමතක කරයි. තිස් වසර තිස්සේ මියගිය සිවිල් වැසියන් ගැන නිරායුධ ජනයා ගැන අමතක කරයි. හාමුදුරුවරු එපා. සිංහල මිනිස්සු යාපනයට එපා. කියනා දෙමළ දේශපාලකයින් පිළිබඳ අමතක කරයි. අවසන් වශයෙන් පන්සලේ අදාහනය කිරීමට විරුද්ධ වුවන් ගැන අමතක කරයි. නමුත් ලංකාවේ සෙසු සියළු ප්‍රදේශවල සිංහල දෙමළ මුස්ලිම් සියළු ජාතීන් තමන්ගේ පාඩුවේ ජීවත් වෙයි. කිසිවෙකුත් දෙමළ ජාතිකයන් දකුණට එපා හෝ කෝවිල් එපා යැයි නොකියයි...

:       0       31

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1209 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site