IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙන් ඡන්දදායකයාට පෙර දැක්මක්

“කිසිදු අර්බුදයකට විසඳුම් නොමැති හැමෝම, තම නොහැකියාව හංග ගන්න ජනප්‍රිය සටන් පාඨය කරගෙන තියෙන්නේ “දූෂණය” තුරන් කිරීමට, දූෂිතයන්ට දඬුවම් කිරීමට ආණ්ඩු බලය ඉල්ලීමයි. විසඳුම් නැතිව එහෙම ආණ්ඩු බලය ඉල්ලන උගත් අවංක යැයි කියා ගන්නා අයට බලය දෙන්න ඉන්නේ ඡන්දය භාවිත කිරීම ගැන කිසිදු දැනුවත්කමක් නැති, වගකීමක් නැති ඡන්දදායකයන් මිලියන 15ක්. දූෂණයෙන් තොර රටක් හදන්න එහෙම බැහැ. දූෂණයෙන් තොර රටක් හදන්න නම්, ජාතික සංවර්ධන සැලසුමක් ඇති දේශපාලනයක් තෝරා ගැනීමට හැකි සමාජ වගකීමක් ඇති දැනුවත් ඡන්දදායකයන් සිටිය යුතුයි.”

මීට වසරකට පමණ ඉහතින් සාකච්ඡාවකදී මා කියූවකි. 

මේ පුංචි මැතිවරණයකි. ජාතික වශයෙන් පැවැත්වුවත් මෙය ආණ්ඩු මාරු කරන මැතිවරණයක් නොවේ. මෙය තමන්ගේ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට ඡන්දයකින් නියෝජිත සභාවක් පත්කරගැනීමට පළාත් පාලන ආයතන 341ට පැවැත්වෙන මැතිවරණයක් පමණි. එයට දින තීන්දු කර ඇත්තේ, 2023 මාර්තු 9 ලෙසින්ය.

පවතින ආණ්ඩුවේ නොනිල ස්වභාවයත්, ජනාධිපති පත්වීමේ ඇති ව්‍යාජ දේශපාලන ස්වරූපයත් හේතුවෙන් විවිධ නාගරික කණ්ඩායම් හා විපක්ෂ දේශපාලන පක්ෂ මහ මැතිවරණයක් ඉල්ලා සිටියත්, ඒ සඳහා අධිශ්ඨානසහගත ජනතා ව්‍යාපාරයක් නොතිබුණි. එබැවින්, පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලූ කොළඹ මැද පන්තිකයන් හා සමාජ ක්‍රියාකාරීහු මේ පුංචි මැතිවරණයට වහා ගාල් වූහ.

ඔවුන් දැන් සාකච්ඡා කරන්නේ, මහ මැතිවරණයක මෙන් මේ මැතිවරණයෙන් දිනන්නේ කවුරුන්දැයි කියාය. තවත් අය පොහොට්ටුවේ ජනප්‍රියත්වය සහ රනිල්ගේ එ.ජා.ප.ය සමග සජිත්ගේ ස.ජ.බ. සැසඳීමට ද ගණන් හදති. තරග කරන්නේ ජා.ජ.බ.ය වුවත්, ගණන් හැදෙන්නේ ජ.වි.පෙ. ගන්නා ඡන්ද ප්‍රතිශතය ගැනය. 

උතුරේ දෙමළ ජාතික සන්ධානය ඉන්නේ ද අර්බුදයකය. ඔවුන්ට ද සන්ධානය අතහැර වෙන් වෙන්ව තරග කරන්නට සිදුව ඇත්තේ, ඔවුන්ගේ දේශපාලනයේ බංකොළොත්කම හේතුවෙනි. ඒ කිසිවක් ගැන අවධානයක් නැති දකුණේ දේශපාලන පක්ෂ හා විශ්ලේෂකයන් ඊළඟ ආණ්ඩුව ගැන අනාවැකි කියති.

ජනතාව හමුවේ ප්‍රකාශයට පත් නොකළ ඔවුන්ගේ “ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව” ජා.ජ.බ. නමින් ඉකුත් ජනවාරි 25 වැනි දින ජ.වි.පෙ. ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට යැයි ජාවාරම්කාරයන්ට ඉදිරිපත් කෙරුවේ ද මහ මැතිවරණයකට සූදානම් වන්නාක් මෙනි. ඒ උත්සවයේදී ඔවුන්ගේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගැන අනුර කුමාර සහතික වූයේ, ඔවුන් සැවොම උගත් අවංක සහ සමාජීය කැප කිරීමක් ඇති අපේක්ෂකයන් යැයි කියාය. මේ පාර්ලිමේන්තුවේ ද බහුතරයකට වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලනයට පිවිසෙන්නට පෙර අවංකයෝ වූහ. ඒ කිසිවක් ඔවුන්ට ද දැන් අදාළ නැත. 

ප්‍රශ්නය ඇත්තේ ඒ උගත්කමේ හා අවංකත්වයේ නොවේ. ප්‍රශ්නය ඇත්තේ මහජන නියෝජිතයන් ලෙස ඡන්දයකින් තෝරා පත් කෙරෙන පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ද පළාත් පාලන සභිකයන් ද එසේ පත් කෙරෙන්නේ කවර වගකීමක් වෙනුවෙන් දැයි සමාජ අවබෝධයක් ඡන්දදායකයාට නොවීමෙහිය. සර්වජන ඡන්දය ලැබුණු 1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ දෙකකදී සහ කොළඹ, මහනුවර හා ගාල්ල මහ නගර සභා මෙන්ම බදුල්ල, දෙහිවල-ගල්කිස්ස වැනි ටවුන් කවුන්සිල කිහිපයක් සඳහා ඡන්දදායකයා ඡන්දය දෙනු ලැබූයේ තම ප්‍රදේශයේ ප්‍රභූන්ගේ තේරීම් අනුව සහ කුල, ආගම්, ජාති අනුවය. ඒ, ඒ නියෝජන ආයතන සතු වගකීම් පිළිබඳ අවබෝධයක් ඇතිව නොවේ. 

එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් පැරැණි වැඩවසම් කුල ධූරාවලිය සමග ඉඩම් සම්බන්ධතා පවත්වා ගැනීමෙහිය. වැඩවසම් කුල ධූරාවලි සමග එලෙසින් නඩත්තු කෙරෙන ගම හා නගරය යැයි විශේෂ වෙනසක් නොවුණු සංඝ සමාජයේ නිකාය බෙදීම් කුල පදනම්ව වර්ධනය කෙරුණක් හෙයින්, සිංහල-බෞද්ධ ප්‍රජාවගේ සමාජ පෙළ ගැසීම් ද කුල අනුව සිදු වීම අනිවාර්ය විය.

උතුරේ දෙමළ සමාජයේ ද හින්දු කෝවිල සමග ඉතා විවෘත කුල බෙදීම් තහවුරුව නඩත්තු කෙරෙන්නේය. සමාජය එලෙසින් උඩ සිට පහළට ආගම්වාදී සහාය ද ඇතිව කුට්ටි කර තබා ගැනීම ඡන්ද කටයුතුවලට ද බලපෑවේය. නිදහස් ලංකාවේ ආණ්ඩු පාලනය බාර ගැනීම සඳහා 1947 අගෝස්තු අග සිට සැප්තැම්බර් අග දක්වා පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණය ද පළමු වරට දේශපාලන පක්ෂ වශයෙන් නාම යෝජනා ලබා දුන් මැතිවරණයක් වුව ද කුල, ආගම්, ජාති අනුව අති බහුතරයක් ඡන්දය භාවිත කළ මැතිවරණයක් විය.

සියවස් එක හමාරකට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය යටත විජිත පාලනයක් යටතේ වෙළෙඳ හා වාණිජ ආර්ථිකයක් සමග ව්‍යාපාරිකයන් හැදුණේ ද මේ වැඩවසම් කුලවාදී සමාජ තේරීම් සමගය. නගර ආශ්‍රිත වෙළෙඳ සංගම් දැනට ඇත්තේ ද කුල ආධිපත්‍යයක් සහිතවය. ඔවුන්ගේ තරගකාරී වුවමනා දේශපාලනයට පරිවර්තනය වීමේදී දේශපාලන පක්ෂවලට ද කුල, ජාති, ආගම්වලින් තොර දේශපාලනයකින් ආණ්ඩු බලය සඳහා තරග කළ නොහැකි විය. එබැවින් නාම යෝජනා සැකසීම ද කුල, ජාති, ආගම් තේරීම අනුව තීන්දු වන්නකි. අනුපාත ඡන්ද ක්‍රමය විසින් මැතිවරණ දිස්ත්‍රික් නිර්මාණය කෙරුණු පසු, කුල හැසිරීම් සඳහා තවත් ඉඩ ලැබුණි. 

එවැනි ප්‍රාථමික, පසුගාමී ඡන්ද භාවිතයට එරෙහි නිදහස් ඡන්දදායකයන් නිර්මාණය වීමේ සමාජ ක්‍රියාවලියක් එදා සිට අද දක්වාම නැත. සාධාරණ, පිරිසුදු මැතිවරණ ගැන කතා කරන අය ද මෙවැනි ඡන්ද කටයුතු හෙළාදකින සමාජ කතිකාවකට අත තියන්නේ නැත. ඒ වගේම පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීමේ වගකීම මහ මැතිවරණයකට වඩා වෙනස් යැයි ඔවුන් ඡන්දදායකයන් දැනුවත් කරන්නේ ද නැත. එනිසා මේ පළාත් පාලන මැතිවරණය සමග ඒ කතාව මෙලෙසින් ආරම්භ කළ යුතු යැයි සිතමි. 

වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් අපේ රටේ ද තල දෙකක ආයතනික ආණ්ඩු පාලන පිහිටුවීම ආරම්භ වූයේ, මීට අවුරුදු 158කට පෙර 1865 දී කොළඹ මහ නගර සභාව ස්ථාපිත කිරීමත් සමගය. මේ අතර, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග 1988 සිට පළාත් සභා 9ක් දෙවැනි පාලන ව්‍යුහය ලෙස ස්ථාපිත කෙරුණු පසු, කොළඹ මධ්‍යම ආණ්ඩුවට බාරව තිබූ පළාත්බද සංවර්ධන හා පරිපාලන කාර්යයන් ඒ පළාත් සභා වෙත පවරනු ලැබුණි. එතැන් සිට පළාත් පාලන ආයතන රටේ තෙවැනි ආණ්ඩු පාලන ව්‍යුහය වශයෙන් බිම් මට්ටමේ ප්‍රාදේශීය සේවා ගණනාවකට වග කියති. තම බලප්‍රදේශයේ ජනතාවගේ “සුවපහසුව, යහජීවනය සහ සේවා පහසුව” සැපැයීම පළාත් පාලන ආයතන විසින් ඉටු කරනු ඇතැයි අපේක්ෂිතය. 

එනිසා, මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ (1) මාර්ග හා (2) ප්‍රදේශයේ කානු පද්ධති නඩත්තුව, (3) උද්‍යාන හා (4) ක්‍රීඩා පිටි, (5) වෙළෙඳ සංකීර්ණ, (6) නිවාස, (7) පුස්තකාල, (8) පොදු පහසුකම් හා (9) කසළ ඉවත් කිරීම සහ එවැනි වගකීම් ඉටු කිරීම සඳහා මහ නගර, නගර හා ප්‍රාදේශීය සභා පත්කරගැනීමටය. මෙම වගකීම් ඉටු කිරීමේ නෛතික බලය 1947 මහ නගර සභා ආඥා පනත් අංක 29, 1939 නගර සභා ආඥා පනත් අංක 61 සහ 1987 ප්‍රාදේශීය සභා පනත් අංක 15 යන පනත් 3කින් ලබා දෙන්නේය. පළාත් පාලන ආයතන සතු මේ නෛතික බලය සහ වගකීම් පිළිබඳ ඡන්දදායකයා දැනුවත් කිරීම, මැතිවරණ කොමිසම ද බාර නොගන්නා වගකීමකි. 

නිදහසින් පසු අවුරුදු 75ක් පුරා මේ රට වැඩිහිටියන් විනාශ කළේ යැයි චෝදනා කරන තරුණ කණ්ඩායම් ද මේ මැතිවරණයේදී ජනතාව ඡන්දය භාවිත කළ යුත්තේ කවර සමාජ වගකීමක් වෙනුවෙන් දැයි ඡන්දදායකයා දැනුවත් කිරීමේ වගකීම ඉටුකරන්නේ නැත. මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන තරුණයන් ද දූෂණයට විරුද්ධ යැයි ද පිරිසුදු පාලනයක් වෙනුවෙන් තරුණයන්ට අවස්ථාවක් දෙන්න යැයි ද ඡන්දය ඉල්ලන්නේ පළාත් පාලන ආයතන සතු වගකීම් ගැන අවබෝධයක් ඔවුන් සතු නොවන බව ප්‍රදර්ශනය කරමින්ය. ඔවුන් ඉදිරිපත් වන පළාත් පාලන බලප්‍රදේශයේ මෙතෙක් නොවිසඳුණු ගැටලු වෙනුවෙන් ඔවුන්ට උත්තර නැත. එනිසා මේ පළාත් පාලන මැතිවරණයේ ඔවුන්ට ද “වරක් බලය ලබා දෙන” ඡන්දදායකයාට සිදුවන්නේ තිස්සමහාරාමයේ ජනතාවට අත්වූ ඉරණම පමණි. 

රටක ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක දියුණුව සඳහා වන වගකීම් තල 3ක ජනතා නියෝජන ආයතන කාණ්ඩ 3කට පවරා තිබෙන විට, අනෙක්වායේ වගකීම් නොතකා හැමවිට හැම මැතිවරණයකදීම ජාතික සටන් පාඨ, ජාතික ගැටලු ගැන කතා කිරීමෙන් සිදුවන්නේ කුමක් ද? එයට සරළව උත්තර දුනහොත්, ඉන් සිදුවන්නේ, කොළඹ මධ්‍යම ආණ්ඩුවට අනිසි බලයක් පැවැරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතන නොතකා ජනතාවට වගකීමක් නැති තීන්දු තීරණ ගැනීමත්, ඡන්දෙන් පත් කෙරෙන පළාත් පාලන සභිකයන් ද ජනතාවට වග නොකියන ප්‍රාදේශීය දේශපාලකයන් ලෙස දූෂිත සංස්කෘතියක් වැළඳ ගැනීමත්ය.

පළාත් පාලන මැතිවරණවලදී දේශපාලන පක්ෂ හැසිරෙන ආකාරය මගින් ද කොළඹ ආණ්ඩු සඳහා ලබා දෙන අනිසි හා ව්‍යාජ අවධාරණයෙන් පළාත් පාලන ආයතන සතු වැදගත්කම හා ඒවායේ බලය දිගින් දිගටම හෑල්ලු කෙරෙන්නේය. එවැනි හෑල්ලු කිරීම් සමගින් ජනතාව පළාත් පාලන ආයතන දකින්නේ අවැදගත් අනවශ්‍ය ආයතන ලෙසය. 

මේ පළාත් පාලන මැතිවරණයේදී ඉදිරි ආණ්ඩු ගැන කතා අත හැර, පළාත් පාලන වගකීම් ගැන පක්ෂවලින් හා අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කිරීමේ නව ප්‍රවණතාවකට ඡන්දදායකයන් උනන්දු කරලීමේ අලුත් වගකීමකට මුලපිරිය යුතුව ඇත. එය ආරම්භ විය යුත්තේ, ගත වූ අවුරුදු 75ක කාලයේ කුලය, ආගම, ජාතිය සලකමින් ඡන්දය දීමෙන් මේ රටේ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට උත්තර ලැබී නොමැති බව මතක් කර දෙමින්ය. “ඒකීය රාජ්‍ය” ශක්තිමත් කරමින් කොළඹ මධ්‍යම ආණ්ඩු මාරු කිරීමේ පාර්ලිමේන්තු මැතිවරණ මගින් රටේ ජනතාව ලැබූ කිසිදු සහනයක් නොමැති බව අවධාරණය කරමින්ය. 

එබැවින් මේ පළාත් පාලන මැතිවරණයට ඡන්දය ඉල්ලා ඉදිරිපත් වන සියල්ලන්ගෙන් පළමුව ඇසිය යුත්තේ, ඔවුන් තරග කරන පළාත් පාලන බලප්‍රදේශයේ ඔහු හෝ ඇය නිත්‍ය පදිංචිකරුවකු ද නැති ද යන්නය. අනතුරුව ඇසිය යුත්තේ,

01. අදාළ පළාත් පාලන බලප්‍රදේශයේ ඉදිරි සිව් වසරක දියුණුව වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කුමක් ද? 

02. ඒ වෙනුවෙන් දියුණු කළ යුතු යැයි හඳුනාගත් සේවා සහ පහසුකම් තිබේ නම්, ඒවායෙන් ප්‍රමුඛතාගත කරන්නේ මොනවා ද?

03. සමස්ත බලප්‍රදේශයේ දියුණුව සඳහා ඉදිරි සිව් වසර වෙනුවෙන් ඔවුන්ට විසඳුම් ඇතොත්, ඒවා පිළිගත් නගර සැලසුම් සංකල්පයක් වන නිවාස, වාණිජ, කාර්මික සහ රජයේ කාර්යාල යැයි වන කලාපකරණය සමග පාරිසරික සංරක්ෂණය හා යටිතල පහසුකම් සැලසුම්කරණය ඇතුළත් විසඳුම් ද?

04. ඔවුන්ගේ එවැනි විසඳුම් ඇස්තමේන්තුගත වියදම් සමග මැතිවරණයට පෙර පළාත් පාලන බලප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාසවල ඡන්දදායක සභා වෙත ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට සූදානම් ද? යන්නය.

උගත්කම්, තරුණකම්, කැප කිරීම් වැනි සියලු ජනප්‍රිය “යූ-ටියුබ්” කතා පැත්තකින් තබා අපේක්ෂකයන් සමග පළාත් පාලන ඡන්ද බලප්‍රදේශයට අදාළ එවන් ප්‍රායෝගික සංවාදයකට වහා මුල පිරුවහොත් මැතිවරණය අවසන් වන විට අලුත් ඡන්දදායකයකු හැදීමේ ගමනාරම්භයකට එය හේතුවනු ඇත.

ඉන් කාරණා දෙක තුනක් ඉටු කරගැනීමට ද මග පාදාගත හැකි වනු ඇත. පළමුව, ඡන්දයෙන් පත් වන සභිකයන් ඡන්දදායකයාට වග විය යුතු පාලනයක් සහතික කළ යුතු යැයි ඉල්ලා සිටින්නට තරම් දැනුවත් ඡන්දදායකයකු බිහි වීමය. තවෙකක් නම්, පළාත් පාලන බලප්‍රදේශවල ප්‍රජා මූලික දියුණුවකට වග කියන්නා වූ මහජන නියෝජන සභා බවට පළාත් පාලන ආයතන පත්කරගැනීමට හැකි වීමය. ඡන්දදායකයන් විසින් තෝරා පත්කරගනු ලබන සභිකයන් ප්‍රශ්න කිරීමේ අයිතිය ඡන්දදායකයන්ට ඇති අයිතියක් ලෙස පිළිගන්නා වූ දේශපාලන සංස්කෘතියකට එලෙසින් අවකාශයක් හැදෙන්නේය.

ප්‍රශ්න සඳහා විසඳුම් සොයා යන, දූෂණයෙන් තොර පාලන හැදෙන්නේ එලෙසින්ය. ඒ වගේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආධිපත්‍යය මත ගමේ පාරේ ලයිට් කණුව සිටුවීමේ සිට ගමේ ගුරු පාරට සිමෙන්ති ගල් අතුරා කානු හැදීම පසු කර සුසාන භූමියෙහි ආදාහනාගාරය ඉදිකිරීම දක්වා වන තීන්දු ගැනීමේ දූෂිත බලය ගමෙන් ඉවත් කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම “ජාතික” වගකීමක් යැයි කිව හැකි වන්නේය.

කෙටියෙන් කිවහොත්, එවැනි මැදිහත් වීමකින් ප්‍රදේශයේ දියුණුව තීන්දු කිරීමේ අයිතිය ප්‍රදේශවාසීන් විසින් සියතට ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී පළාත් පාලනයක් ඉදිරියේදී සහතික කරගැනීමට හැකි වනු ඇත. ඒ වගේම ජාතික දේශපාලනයට එය ඉතා වැදගත් සාධනීය බලපෑමක් කරනු ඇත.

කුසල් පෙරේරා විසිනි



අදහස් (3)

පුංචි ඡන්දෙන් ඡන්දදායකයාට පෙර දැක්මක්

ajith Tuesday, 07 February 2023 08:46 AM

ප්‍රදේශය දේශපාලකයින් හට පමණක් වාසිවන පළාත් පාලන පුංචි ඡන්දෙන් ඡන්ද දායකයාට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?

:       0       0

Nevil Tuesday, 07 February 2023 03:12 PM

ඕවා මුකුත් වැඩක් නැහැ. ක්‍රියාත්මක කරන නිලධාරීන් පරණ විදිහටමයි යන්නේ...!

:       0       0

lalith Friday, 10 February 2023 01:45 PM

මෙහි ඇති කරුණු වැදගත් නමුත් ලියන්නා පැහැදිලිවම ජාතික ජන බලවේගය ඉලක්ක කර එයට පමණක් විරුද්ධ ලෙස ලියා ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site