IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පැන්ඩෝරා පත්‍රිකාවලින් එළියට පැන්න පාස්කරලිංගම්ලාගේ රහස් ගනුදෙනු

නාගරීකරණයට ලක්වූ මාලබේ ප්‍රදේශයේ වී වගාවේ යෙදෙන ගම්මානයකින් මතු වන ජනප්‍රිය අධ්‍යාපන ආයතනයකි. ඉතා චාම් අයුරින් එය ආරම්භ වූයේ වෘත්තීය පුහුණු පාසලක් ලෙසයි. හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි (HCBT) ආයතනය 2008 ජනවාරියේ ලියාපදිංචි වූයේ සීමාසහිත පෞද්ගලික සමාගමක් වශයෙනි. එය පාලනය කරනු ලැබුවේ සභාපතිවරයකු හා ප්‍රාචාර්යවරයකු විසිනි.

එහෙත් එම සංවිධානයට බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි (BVI) භාරකාර මණ්ඩලයකට අයත් සිංගප්පූරුවේ ඇති සමාගමක් හරහා අරමුදල් සැපයෙමින් පසුබිම් සහාය දෙනු ලබන බව එහි වෙබ් අඩවියේ කිසිම තැනක සඳහන් නොවේ. එකී භාරකාර මණ්ඩලය ලියාපදිංචි කොට ඇත්තේ රාමලිංගම් පාස්කරලිංගම් නමිනි. රාමලිංගම් පාස්කරලිංගම් යනු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ප්‍රබල භාණ්ඩාගාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ සුප්‍රසිද්ධ රාජ්‍ය නිලධාරියෙකි.

එච්.සී.බී.ටී. (HCBT) ආයතනය සම්බන්ධයෙන් පාස්කරලිංගම් මහතා ඉටුකරන කාර්යභාරය හෝ ඔහු එයට කෙතරම් මුදලක් යොදවන්නේ ද යන්න කිසිදු ප්‍රසිද්ධ අන්තර්ජාල සටහනක නැත. එච්.සී.බී.ටී. (HCBT) ආයතනයේ කොටස්වලින් සියයට 80ක හිමිකාරිත්වය දරන සෙන්ට් ජෝන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් නම් සිංගප්පූරු සමාගම හරහා දැනට එම ව්‍යාපාරයේ සම හිමිකාරිත්වය උසුලන පවුලේ සාමාජිකයකුගේ නම ද එම වෙබ් අඩවියෙන් හෙළි කරන්නේ නැත.

මෙම කාරණය පළමු වරට හෙළිදරව් වූයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදයේ (ICIJ) මූලිකත්වයෙන් සිදු කළ ගෝලීය ගවේෂණය හරහා එළිදුටු පැන්ඩෝරා පත්‍රිකා තුළිනි. අක්වෙරළ සේවා සම්පාදකයන් 14 දෙනකු වෙතින් ලැබුණු ලක්ෂ 119ක් තරම් රහස්‍ය වාර්තා මාධ්‍ය ආයතන සියයකට ආසන්න ගණනක මාධ්‍යවේදීන්ගේ පරීක්ෂාවට ලක්වීමෙන් අනතුරුව මෙකී පැන්ඩෝරා පත්‍රිකා ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය.

පාස්කරලිංගම් මහතා සම්බන්ධ ලේඛන ට්‍රයිඩන්ට් ට්‍රස්ට් වෙතින් ලැබුණු ඒවාය. එය බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි ඇති පැරැණිම හා විශාලතම භාරකාර සමාගම්වලින් එකකි. ඔහු බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හිදී ආරාන් ට්‍රස්ට් නම් සංවිධානය 2012 දී අනුප්‍රාප්තික සැලසුමක් උදෙසා පිහිටවූ බව ද පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය වේ. ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එහි අර්ථලාභීන් ලෙස එම පත්‍රිකාවල නම් කර තිබේ.

පාස්කරලිංගම් මහතා අවසාන වශයෙන් රජයේ තනතුරක් හෙබවූයේ යහපාලන රජයේ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකවරයා ලෙසයි. ඔහු රනිල් වික්‍රමසිංහ මූලිකත්වය දැරූ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ කටයුතු මෙහෙයවනු ලැබූ අයෙකි. ව්‍යාපෘති සහ කොන්ත්‍රාත් කටයුතු පිළිබඳව තීරණ ගත් එම කැබිනට් කමිටුව 2018 මාර්තු මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අහෝසි කරනු ලැබීය.

ලංකා සිවිල් සේවාවේ අවසාන පිරිස් කාණ්ඩයේ සාමාජිකයකු වූ පාස්කරලිංගම් මහතා හඳුන්වනු ලැබුවේ ප්‍රේමදාසගේ අග්‍රගන්‍ය නිලධාරියා ලෙසයි. ඔහු දැරූ පරිපාලනමය තනතුරු අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්, මහාමාර්ග අමාත්‍යාංශයේ, නිවාස හා ඉදිකිරීම් පිළිබඳ ලේකම් සහ එයාර් ලංකා සභාපති යන ධුරයන් විය.

1980 ගණන්වලදී පාස්කරලිංගම් හෙවත් පාස්කි පුදුමාකාර ලෙස කාර්යක්ෂමතාවකින් යුතුව වෙහෙසී කටයුතු කරන ප්‍රේමදාස රජයේ ඕනෑම අමාත්‍යවරයකුට වඩා ප්‍රබල නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. වඩාත් දැවැන්ත ව්‍යාපෘති අනුමත විය යුතු වූයේ ඔහුගේ පරීක්ෂාවෙනි. අරාන් ට්‍රස්ට් යනු අර්ත් හෝල්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්කෝපරේටඩ් නම් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි සමාගමේ කොටස්වලින් සියයට සියයක්ම හිමි භාරකාර මණ්ඩලයයි.

ඒ හේතුකොට ගෙන සෙන්ට් ජෝන්ස් සමාගමේ කොටස්වලින් සියයට සියයක් හිමි වන්නේ ද එයටමය. එහි භාරකාර ඔප්පුවේ ‘ශ්‍රී ලංකාවේ පිහිටි හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලජි (ප්‍රයිවට්) ලිමිටඩ් නම් ආයතනය භාරයේ අත්‍යන්ත වත්කමක් වේ’ යනුවෙන් සඳහන් වේ. එම භාරයේ යෝජිත ශුද්ධ වටිනාකම ඇ.ඩො. මිලියන 3.5 හා බැංකු ගිණුම්වල ඇති මුදල්වල එකතුවයි.

2013 වසරේ පටන් පාස්කරලිංගම් මහතාගේ උපදෙස් සහිත ලේඛනවල, අරාන් ට්‍රස්ට් හි යම් ආදායමක් හෝ ප්‍රාග්ධනයක් ඒවායේ භාරකාරත්ව කාලය ඉක්මවා අවස්ථාවක පවතී නම් ඒවා මුළුමනින් HCBT වෙත පුරවාලිය යුතු බව සඳහන් වේ.

එසේම 2013 දී පාස්කරලිංගම් මහතා අරාන් ට්‍රස්ට් ආයතනය විසුරුවා හැර අරාන් II ට්‍රස්ට් ආයතනය පිහිටුවන්නට තීරණය කළේය. එහිදී අර්ත් හෝල්ඩ් ආයතනයේ වත්කම් නව භාරයට පවරා එම කොටස් HCBT වෙත මාරු  කිරීම කළේ ඔහුගේ ලේලියට පැවැරෙන ආකාරයෙනි. ‘ඇය සමාගමේ මුදල් ආයෝජනය කරන බැවින් ද ඇයගේ ආයෝජන සමාගමේ වටිනාකම ඉක්මවා යන බැවින් ද සමාගම ඇයගේ නමට පැවැරේ’ යනුවෙන් එම කොටස් පැවැරීමේ සඳහන් වේ.

ඒ වනවිට පාස්කරලිංගම් මහතාගේ ගිණුම සම්බන්ධ කටයුතු කළේ (සිංගප්පූරුවේ) ට්‍රයිඩන්ට් කෝපරේට් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි. එවිට ට්‍රයිඩන්ට් ට්‍රස්ට් BVI ඒ වෙතින්, ලේලියගේ ආයෝජනය කෙසේ වාර්තා කොට ඇත්තේ දැයි විමසීමක් කර ඇත. ඒවා දී ඇත්තේ ප්‍රදානයන් ලෙස ද දායකත්වයක් ලෙස ද නැතහොත් භාරය වෙත ණය දීමක් ලෙස ද යන්න එහිදී විමසා තිබේ.

 ට්‍රයිඩන්ට් කෝර්පරේෂන් සර්විස් - (සිංගප්පූරුව) (TCSS) එහිදී මෙසේ පිළිතුරු දෙයි. ‘ඈ සමාගම වෙත යම් ආයෝජනයක් කළ බව අපි දනිමු. අපගේ අදහස වන්නේ ඈ එම ආයෝජනය ප්‍රදානය කරන්නකු දරන දායක මුදලක් ලෙස හෝ කොටස්වල හෝ සමාගමේ යම් නිශ්චිත අවශ්‍යතාවක් උදෙසා කළ යෙදවීමක් නොවන බවයි.’

පාස්කරලිංගම් මහතා සතුව වෙනත් භාරයන් ද තිබෙන බව එම ලේඛනයේ සඳහන් වේ. ඒවායින් සමහරක් TSNG හෝ සිංගප්පූරුවේ ට්‍රයිඩන්ට් සර්විස් හරහා පිහිටුවා තිබෙන අතර ඔහු ඒවා 2012–2013 අවධියේ ඈවර කිරීමට පටන් ගෙන ඇත්තේ අනුප්‍රාප්තික සැලසුම්වල කොටසක් ලෙස ක්‍රියාත්මක කරන ආකාරය පිටතට දිස්වෙන අයුරින්ය.

ට්‍රයිඩන්ට් කෝපරේෂන් සර්විස් (TCSS) වෙතින් 2013 අගෝස්තු මාසයේ දාතමින් පාස්කරලිංගම් යොමුකර ඇති ඊමේල් පණිවුඩයකින්, තම ලේලිය අර්ථලාභියකු බවට පත්කිරීම යුක්ති යුක්ත කිරීම ප්‍රකාශයට පත්කර ඇත්තේ පහත ආකාරයටයි.

‘සංවිධානයේ වෙනස්කම් ඇති කොට විසුරුවා හරින්නට හේතු වූ ප්‍රධාන කාරණය ලෙස සේවාදායකයා කියා සිටින්නේ තමාගේ සියලුම විදේශ සංවිධානවලින් ඉවත් වී ශ්‍රී ලාංකීය බලධාරීන් ඉදිරියේ විනිවිද පෙනෙන සුළු භාවයෙන් පසු වීම සඳහා වත්කම් තම ලේලියට පවරන බවයි. ඈ විද්‍යායතනය වෙත ආයෝජනය කර තිබෙන නිසා වාණිජමය තීරණය ගනු උදෙසා විද්‍යායතනය ඇයට ලැබීමේ අයිතියක් ඇතැයි ඔහු සිතයි.’

‘පවුලේ සමීප සාමාජිකයන්ගේ අර්ථලාභය උදෙසා (ව්‍යාපාරයට ඇතුළත් නොවන නිසා) ඒවා තබා ගැනීමෙන් පලක් නොවන බව කියා සිටින ඔහු තමාගේ පවුලේ වඩා සමීප සාමාජිකයන් උදෙසා වෙනත් සංවිධාන හරහා වෙනත් දේ සපයා දෙන බව ද තවදුරටත් පවසයි. වෙනත් ඊමේල් පණිවුඩයක මෙසේ සඳහන් වේ. ‘සේවාදායක (පාස්කරලිංගම්) හට BVI සංවිධානවලින් අනාගතයේ පලක් නොවන්නේ ශ්‍රී ලංකාව BVI සංවිධාන පිළිබඳව පක්ෂපාතී බවක් පළ නොකරන බැවිනි.’

කෙසේ වුව ද පාස්කරලිංගම් මහතා මෙම තීරණය ගෙන තිබෙන්නේ වඩාත් පරිණත වියේදී තමාගේ උරුමකරුවන්ට නීතිමය ගැටලුවක් ඇති නොවන බව තහවුරු කරගැනීමේ දක්වන උනන්දුව මුවාවෙනි. එම ඊමේල් පණිවුඩයෙන් සංවිධානයේ සමස්ත විසුරුවා හැරීමේ කාර්යය පිළිබඳ පැහැදිලි ලිඛිත සාක්ෂි තබාගනු උදෙසා කටයුතු කළ යුතු බව දන්වා තිබේ.

2013 ඔක්තෝබර් මාසයේ ට්‍රයිඩන්ට් කෝපරේෂන් සර්විස් (TCSS) සහ ට්‍රයිඩන්ට් ට්‍රස්ට් BVI අතර සිදු වූ සන්නිවේදනවලින් පාස්කරලිංගම් මහතා තමාගේ ව්‍යාපාරවල සංවිධාන කටයුතු නැවත සකස් කරන්නට උනන්දු වූයේ ඇයි ද යන්න ගැන තවදුරටත් කරුණු හෙළි වේ. පළමුවැන්න, සිංගප්පූරුවේ ඇති ඔහුගේ සමාගම් කළමනාකරණය කිරීම වඩාත් වියදම්කාරී බවට පත්වෙමින් පැවැතීමයි. දෙවැන්න, මෑතකදී බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල (BVI) ගනුදෙනු විස්තර පෝර්ට්කලීස් තුළින් පිටතට හෙළිදරව් වීමයි. ඒ මගින් සේවාදායකයාට තමාගේ සියලු විදේශ ගිණුම් වසා දැමිය යුතු බවට ඉඟි කෙරිණි. පෝර්ට්කලීස් තොරතුරු කාන්දු වීම් යනු 2013 දී ජාත්‍යන්තර ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ සංගමයේ (ICIT) ගවේෂණවල කොටසකි.

ඒවා නම් කරන ලද්දේ ‘සීක්‍රසි ෆොර් සේල්’ යනුවෙනි. ඒවා මගින් සිංගප්පූරුවේ මූලස්ථානය පවතින ව්‍යාපාරයක් වන අක්වෙරළ සේවා සම්පාදක පෝර්ට්කලීස් ට්‍රස්ට් නෙට් ආයතනයේ තොරතුරු හෙළිදරව් කරන ලදී. තම සේවාදායකයන්ගේ සැබෑ ධනය, පාලනය කිරීමේදී විවිධ ක්‍රම ඔස්සේ එම ආයතනය ඔවුන්ගේ නම්, මූල්‍ය යෙදවීම්, ව්‍යාපාර හිමිකම් සහ දේශපාලන සම්බන්ධතා සඟවා තබා ගනු ලැබුවේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පාස්කරලිංගම්ගේ ලේලිය තමාගේම සංවිධානයක් ‘ද බැරන් ට්‍රස්ට්’ යනුවෙන් පිහිටුවූවාය. එහි අභිප්‍රාය වූයේ අනුක්‍රමික අරමුණු සහ වර්ජින් දූපත්වල ඇති සමාගමේ කොටස් හිමිකම් දැරීමය. හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ටෙක්නොලොජි (HCBT) ආයතනයේ බහුතර හිමිකාරීත්වය දරන සෙන්ට් ජෝන් ඉන්වෙස්ට්මන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් හි අයිතිය ඇත්තේ එම ආයතනයටයි. මෙම භාරයේ යෝජිත ශුද්ද වටිනාකම මුදලින් ඇ.ඩො. මි. 3.5ක් සහ බැංකු ගිණුම්ය.

සෙන්ට් ජෝන්ස් ඉන්වෙස්ට්මන්ට් හි ලේඛනවලින් සමාගමේ කොටස්වල සියයට 80ක පරම අයිතිය ඊට පවතින බවත් ඉතිරි සියයට 20ක ව්‍යාපාර හවුල්කරුවකුට අයත් බවත් තහවුරු වේ. නම් කර නැති මෙම පුද්ගලයා ආයතන හිමිකරුවාගේ ලේලිය නොවන බවත් ලේලිය වෙනුවෙන් හිමිකාරීත්වය දරන අයකු නොවන බවත් එහි සඳහන් වේ.

ඒ අතර, අරාන් II ට්‍රස්ට් භාරයේ අත්‍යන්ත අර්ථලාභීන් වන්නේ පාස්කරලිංගම් මහතාගේ පුතු සහ බෑනාය. අර්ත් හෝල්ඩ් ආයතනයේ කොටස් අරාන් II ට්‍රස්ට් වෙත මාරු කරන ලදී.

ඔහුගේ සියලුම භාරයන් වසා නොදැමීමට හේතුව එය නිසි අනුප්‍රාප්තිකයකින් තොරව අත් හැර දැමීම හොඳ අදහසක් නොවන බවට ඔහු උපදෙස් ලැබීමයි. පැන්ඩෝරා පත්‍රිකා හා අක්වෙරළ සම්පාදකයන් වෙතින් ලේඛන පිටතට කාන්දු වීම, භාරයන්, හිමිකම් සහිත සමාගම්, අනෙකුත් ආයතන හා බැංකු ගිණුම් ආදියේ කටයුතු සංකීර්ණ වන්නට හේතු වූයේය.

මේ සියල්ලේ නීතිමය සුජාත නාමය පවත්වාගෙන යන අතරතුරම මෙම ධනය නීත්‍යනුකූල නොවන අයුරින් ඉපයූ බව කියන්නට සාක්ෂියක් ද ඉතුරු නොවේ. විවිධ උපක්‍රම භාවිතයෙන් විවිධ පුද්ගලයන්ට අයිතිය පැවැරෙමින් රහස්‍යභාවය දැඩි ලෙස පවත්වා ගැනීම තුළත් බදුවලින් වසන් වීම ද කළ හැකිය.

මේ අතර අර්ත් හෝලිඩින් ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්කෝපරේටඩ්, සිංගප්පූරු ඩොලර් 3,64,284.75ක (රු. මි. 54.56ක) ද ඇ.ඩො. 11,00,495.65ක (රු.මි. 222.35ක) සහ පවුම් 94,000ක (රු.මි. 26ක) එහි එකම කොටස් හිමියාට ගෙවන බව 2014 දී ප්‍රකාශයට පත් කළේය. 2015 දී එකම කොටස් හිමියාට පවුම් 17,41,791.72ක් (රු.මි. 481.62ක්) ගෙවන බව ද එය ප්‍රකාශයට පත් කරනු ලැබීය. සියලු මුදල් අගය පරිවර්තනය කිරීම් එවකට පැවැති විනිමය මිල ගණන්වලට අනුව ගණන් බලා තිබිණි. එකම කොටස් හිමියා පාස්කරලිංගම් මහතාය.

2015 දී අමතර ගෙවීම් දෙකක් කර ඇති බව ඊමේල් පණිවුඩ මගින් ඉඟි කෙරේ. ජනවාරියේ පවුම් 8,000ක් (රු.මි. 22) සහ මාර්තුවේ තවත් පවුම් 8,000ක් ගෙවා ඇති බව ඒවායින් ඇඟවේ. ඒවා පසු කලෙක අතුරු කාල ලාභාංශ ලෙස හඳුන්වනු ලැබීය. සෑම ලේඛනයකින්ම අනාවරණය වන්නේ පවුම් මිලියන 1.74ක් බ්‍රිතාන්‍යයේ දේපළ ආයෝජන උදෙසා බවත් එය ලාභාංශයකට වඩා ‘කොටස් හිමියාගේ ණයක් යැයි’ කියැවේ.


HCBT ආයතනයේ සම සමාරම්භක
දරණගමගේ කතාව

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාතික ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයට අදාළ ප්‍රශ්න පාස්කරලිංගම් මහතා සහ දරණගම මහතා යන දෙදෙනාගෙන්ම විමසා තිබේ.
දරණගම මහතා ICIJ ආයතනය සමග දුරකතනයෙන් කතා කළේය. ඔහු වඩාත් විමතියට පත්වූයේ පාස්කරලිංගම් මහතා වසර 13කට වඩා HCBT ආයතනය වෙත ආයෝජන සිදු කළ ද ඔහු කිසිදු ප්‍රතිලාභයක් එයින් ලබා නොගත්තේය යන්න ඇසූ විටය.
කළමනාකරණය, ව්‍යවසායකත්වය පිළිබඳ මනා දැනුමක් ලබා මානව සම්පත් කළමනාකරණය උදෙසා විද්‍යාපති උපාධිය ලැබූ දරණගම මහතා කියා සිටියේ ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයේ දශක දෙකකට වඩා කාලයක් රැඳී සිටි බවයි. HCBT ආයතනයේ සම ප්‍රාරම්භකයකු වූ ඔහු එය පිහිටුවන ලද්දේ සෙන්ට් ජෝන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සීමාසහිත පෞද්ගලික සමාගම හරහා පාස්කරලිංගම් මහතාගෙන් ලැබුණු සහයෝගයෙනි. එහි කොටස්වලින් සියයට 20කට අයිතිය ඇත්තේ දරණගම මහතාටය. 2008 දී එම විද්‍යායතනය ආරම්භ කරන විට හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා රාජ්‍ය තනතුරක හෝ දේශපාලන කාර්යයන් හි නියැළී සිටියේ නැත. ඔහු එම කාලයේ බොහෝ විට සිටියේ විදේශ රටවලයි.
‘ඔහු ආයෝජනය කළේ ඔහුගේම ධනයයි’ දරණගම මහතා කීවේය. එය අයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියකි. සියලු මුදල් එවන ලද්දේ බැංකු පද්ධතිය හරහාය. එම ආයතනයේ සියලු කටයුතු පාස්කරලිංගම් මහතාගේ මැදිහත් වීමකින් තොරව මේ වනවිට සිදු කරන බව දරණගම මහතා කියා සිටී.
‘ඔහුගේ ව්‍යාපාර කිසිම අයුරකින් අර්ත් හෝල්ඩ් හෝ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි හෝ වෙනත් කිසිම ආයතනයක් හා සම්බන්ධ වූවක් නොවේ’ යයි දරණගම මහතා කීවේය. එහෙත් සෙන්ට් ජෝන්ස් ආයතනය සියයට 80ක කොටස් හිමිකමක් දරන බව ඔහු කීවේය. පාස්කරලිංගම් මහතා වෙනුවෙන් භාරකාර සමාගම පිහිටුවූ බව ඔහු කියයි. ‘සිංගප්පූරුවේ කටයුතු අතිශය වියදම්කාරී වීම ඊට හේතුව’ බව ද ඔහු කියා සිටී. 
‘දෙවැනි කාරණය, මා විශ්වාස කරන පරිදි ඔහුගේ දෙවැනි පරම්පරාව සඳහා කටයුතු පිළියෙළ කරන්නට ඔහුට සැබැවින්ම අවශ්‍ය වුණා. එහිදී වඩා පහසු, වියදම් පිරිමැසෙන ආකාරයෙන් එය කරන්නට ඔහුට අවශ්‍ය වුණා. එහෙත් ඔවුන් සමග කිසිදු වෙනත් ගනුදෙනුවක් තිබුණේ නැහැ’ යි ඔහු කියා සිටී.
සෙන්ට් ජෝන්ස් සමාගම මෙම කටයුතුවලින් කිසිදු ආදායම් උපදවා නොගත් බවත්, පාස්කරලිංගම් උනන්දු වූයේ තම දරුවන් යම් දිනක ව්‍යාපාර කෙරේ හවුල්වනු දැකීමට බවත් දරණගම මහතා පුන පුනා කියයි.
‘මා එම සංවිධානය නිරන්තරයෙන් දියුණුව කරා ගෙන යනු දකින්නට ඔවුන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව තුළ දැවැන්ත විභවතාවක් පැවැති නිසායි’ ඔහු කීවේය. ‘අප රටින් පිටට මුදල් යවන්නට ගතහොත් එය නැවත ගොඩනැගීමට නැවත වර්ධනය කිරීමට හෝ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදවන්නට මට ප්‍රමාණවත් සම්පත් ඉතිරි වන්නේ නැහැ. හේතුව ඔහුට කිසිම විටෙක මුදල් යැවීමට අවශ්‍ය වුණේ නෑ.’ යයි ඔහු කීවේය. තමා සියයට 80ක කොටස් හිමියා සමග සන්නිවේදනයේ යෙදෙන්නේ වසරකට වරක් ඔහු තොරතුරු විමසූ විට පමණක් යයි ඔහු කීවේය. සෙන්ට් ජෝන්ස් ආයතනය ලාභ නොලබන සංවිධානයක් ලෙස සත්කාර සමාගමක් වශයෙන් පවත්වාගෙන යන බව ද ඔහු තවදුරටත් පැවැසීය.

 

තවත් විශාල මුදල් ප්‍රමාණයක් ගැන ද එහි සඳහන් වේ. 2015 පෙබරවාරියේදී භාරයේ අර්ථලාභියකුගේ ඉල්ලීම සලකා බලා අර්ත් හෝල්ඩ් ඉන්වෙස්ට්මන්ට් හි අධ්‍යක්ෂවරයාගෙන් පාලන බලය පවරා ඇති තැනැත්තා එකී අර්ථලාභියාගේ නමින් ඇති ගිණුමට සෑම මසකම 24 වැනිදා සහ සෑම කාර්තුවකම පළමු දිනයේ පිළිවෙළින් පවුම් 8,000 සහ පවුම් 10,000ක් (රු.මි. 2.76) ඍජුවම ගෙවන ලෙස 2016 ජුනි 4 දාතමින් ට්‍රයිඩන් ට්‍රස්ට් (TBVI) විසින් ට්‍රයිඩන්ට් කෝපරේෂන් (TCSS) වෙත එවූ ඊමේල් පණිවුඩයක සඳහන් වේ.

ට්‍රයිඩන්ට් ට්‍රස්ට් (TBVI) 2014 දී ඇ.ඩො. 100,000ක් (රු.මි. 20.2) පමණ, අරාන් II ට්‍රස්ට් විසින් හොරයිසන් කොලෙජ් බිස්නස් ටෙක්නොලොජි (HCBT) වෙත ආයෝජනය කරන ලෙස ඉල්ලීමක් සලකා බලා යවා ඇතිමුත් පසුව එම ගෙවීම ‘පෞද්ගලික වියදම් උදෙසා’ යනුවෙන් නම් කර තිබේ.

එහි මෙසේ සඳහන් වේ. ‘ඔබ කළ ඉල්ලීම පරිදි මුලින්ම ඇ.ඩො. 100,000ක් හොරයිසන් කොලීජියේ ආයෝජන උදෙසා එවන ලෙස අපට උපදෙස් ලැබිණි. මෙම ඩොලර් 100,000 මුදල එවන ලද මාසික පවුම් 8,000 සහ සෑම කාර්තුවකම එවිය යුතු පවුම් 10,000ට අමතර පෞද්ගලික වියදම් සඳහා බව දැන් කියා සිටින නිසා තවදුරටත් විමසීම් කර ඇත.

පාස්කරලිංගම් මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිසා නිතරම පාහේ ශ්‍රී ලංකාවේ ඔහු වාසය කරන බව ට්‍රයිඩන්ට් ට්‍රස්ට් BVI පිළිගෙන තිබේ. 
එහෙත් පාස්කරලිංගම් මතතාට (ලංකා බැංකුවට) ඩොලර් 100,000ක් සහිත (බාර්ක්ලේස්) වෙත පවුම් 100,000ක් අවස්ථා දෙකකදී පාස්කරලිංගම් මහතාගේ ‘පෞද්ගලික වියදම්’ ලෙස යවා ඇත්තේ ඇයි ද යන්න එයින් විමසා තිබේ. එම මුදල් මාරුවේ අරමුණ විස්තරාත්මකව සඳහන් කරන ලෙස එයින් දන්වා ඇත්තේ ‘දී ඇති හේතු මේසා විශාල මුදලක් උදෙසා ප්‍රමාණවත් නොවේ’ යන්න ද එහි සඳහන් කරමිනි.

ට්‍රයිඩන්ට් කෝපරේෂන් සර්විසස් (TCSS) පිළිතුරු දී ඇත්තේ ‘ඩොලර් 100,000 ඔහුට සහ ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ පුතු ඇතුළු පවුලේ අය සඳහා’ යනුවෙනි. MRI, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් සහ වෛද්‍යවරුන් කිහිප දෙනකු සඳහා ‘අද ලෝකයේ ඇ.ඩො 30,000කට වඩා වැය වේ යන මතය එයින් ප්‍රකාශ වේ. අද ලෝකයේ විශ්‍රාමලත්, වයෝවෘද්ධ පුද්ගලයකුට ඇ.ඩො. ලක්ෂයක් වියදම් කිරීම සම්මතයට විරුද්ධ යයි අපි නොසිතමු’ යන්න එම පිළිතුරේ ස්ථාවරයයි.

ට්‍රයිඩන්ට් කෝපරේෂන් සර්විසස් (TCSS) පවසන පරිදි පවුම් 100,000ක දෙවැනි මුදල එ.රා.නි. දීර්ඝ කාලීන වෛද්‍ය අවධානය අවශ්‍ය පාස්කරලිංගම්ගේ බිරිඳ සහ දියණිය වෙනුවෙන්ය.

රහස්‍ය ඊමේල් පණිවුඩයෙන් පළමුවෙන් ඩොලර් 100,000 ඉල්ලා ඇත්තේ සැබැවින්ම හොරයිසන් විද්‍යායතනයේ ආයෝජන සඳහාය. එහෙත් පසුව එය පෞද්ගලික වියදම් ලෙස වෙනස් කෙරිණි.

2016 ජුනි මාසයේදී අර්ත් හෝල්ඩින්ට අයත්ව තිබූ අරාන් II ට්‍රස්ට් ආයතනය පාස්කරලිංගම් වසා දමයි. බැරන් ට්‍රස්ට් වසා දැමූ බවට සාක්ෂි ඉදිරිපත් වන ලේඛන නොමැත. එම විද්‍යායතනයේ පාස්කරලිංගම් කුමන කොටස් හිමිකමක් දරන්නේ ද යන්න නිශ්චිතව දැනගන්නට නැත.

2021 Oct. 31 Sunday Times හි පළවූ Cloud Over ‘Horizon’ as Pandora Papers reveal Pask's trust deals ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

පැන්ඩෝරා පත්‍රිකාවලින් එළියට පැන්න පාස්කරලිංගම්ලාගේ රහස් ගනුදෙනු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site