IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පාරිභෝගිකයා තලා පෙළා උලාකෑම

සියලු වර්ගවල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩ පාරිභෝගික ජනතාවට  විකිණීමේ හා බෙදාහැරීමේ සිදුකිරීම ලංකා සතොසේ මූලික අරමුණයි. ඊට අමතරව සතොස සතු වෙළෙඳසල් වලින් දැරිය හැකි මිලකට මිලදී ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩ පවතින බවට තහවුරු කිරීම ද ඔවුන්ට පැවැරුණු රාජකාරියකි. එහෙත් පසුගිය කාලය පුරාම ලංකා සතොස කටයුතු කර තිබෙන්නේ සිය අරමුණුවලට පටහැනිව අයාලේ යමින් පාරිභෝගිකයා මෙන්ම ගොවියා ද තලා පෙලමින් මහජන ධනය උලා කමින් බව දැන් තහවුරු වී තිබේ.

ඒ  ලංකා සතොස 2014 හා 2015 වසරවලදී සිදුකරන ලද සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ වාර්තාවක් සමඟිනි. නව ආණ්ඩුව යටතේ ද සතොස ගැන ගැයුණු උදාම් ගී ප්‍රශ්නකාරී වන්නේ මේ පසුබිමේය.

මීට පෙර ද සතොස කමිටු දෙකක් මේ සම්බන්ධයෙන් වාර්තා සකස් කර තිබුණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්කරන ලද පුද්ගල කමිටු වාර්තාව හා සතොස ආයනික සහල් සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාවයි. කෙසේ වෙතත් විගණකාධිපති වාර්තාවෙන් මේ වනවිට හෙළිදරව්වන්නේ මෙම කමිටු වාර්තාවල සඳහන් දත්ත හා විගණකාධිපති පරීක්ෂණයෙන් හෙළි වූ දත්ත අතර විශාල වෙනස්කම් තිබෙන බවයි. අවාසනාවට සතොස සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි සෘජු විගණනයක් කිරීමට විගණකාධිපතිවරයාට අවස්ථාවක් හිමි නොවිය. ඊට හේතුව වූයේ 19 වැනි සංශෝධනය සම්මත වනතෙක් රාජ්‍ය සමාගම් විගණනයට ඔහුට බලතල නොලැබීමය.

ශ්‍රී ලංකා රේගුවට අනුව 2015 වසරේදී ලංකා සතොස සහල් මෙට්‍රික් ටොන් 1,67,265 ක් ද 2014 දී සහල් මෙට්‍රික් ටෝන 90,214 ක් ද ආනයනය කර තිබුණි. එනම් වසර දෙකේදී මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් හත්දාහකි. කෙසේ වෙතත් විගණන පරීක්ෂාව කරන සමය වනවිට සහල් ගෙන් වූ කාලයේ සතොස ඉහළ කළමනාකරණයේ සිටි වැඩි දෙනෙකු ආයතනයෙන් ඉවත්ව ගොස් තිබීමත් මූල්‍ය අපරාධ පරීක්ෂා කිරීම් සඳහා පත්කර ඇති ආයතන විසින් අවශ්‍ය තොරතුරුවල මුල් පිටපත් රැගෙන යනු ලැබ තිබීමත් නිසා පරීක්ෂකයන් වැටී තිබුණේ අලි අමාරුවකය. මීතොටමුල්ල, වේයන්ගොඩ, මැකලම් හා ඒකල ගබඩා පරීක්ෂා කරද්දී එම සහල් තොගවලින් බොහොමයක් පරීක්ෂා කළ නොහැකි ලෙස හානි වී තිබී ඇත.

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව රුපියල් ලක්ෂ පහ ඉක්මවන භාණ්ඩ හෝ සේවා සැපයුම්වලදී විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹිය යුතුය. එහෙත් 2014 අප්‍රේල් 22 සිට දෙසැම්බර් කාලයේදී රුපියල් කෝටි එකසිය දහනවයක මුදලක් වැය කරමින් දේශීය වෙළෙඳපොළින් ආනයනික සහල් මිලදී ගැනීමේදී මේ කිසිදු සංග්‍රහයක් පයිසයකට මායිම් කර නැත. එහි ප්‍රතිපලය වී ඇත්තේ සැපයුම්කරුවන් 14 දෙනෙකු විවිධ මිල ගණන් ඉදිරිපත් කිරීමය. තවද පසු ගෙවුම් ක්‍රමය යටතේ සහල් මිලදී ගැනීම් සිදුව ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරවය. මෙම මිලදී ගැනීම් ගැන යාන්තම් හෝ සාක්කියකට පවතින්නේ ''සභාපතිවරයා විසින් සහල් ආනයනය කිරීමට උපදෙස් දුන් බවට'' නාමමාත්‍ර ඉන්වොයිසිවල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු තැබූ සටහනකි.

පෙට්ටිකඩයකවත් සිදු නොකරන අන්දමේ සැහැල්ලුවට සිදු කළ ද මේ ගනුදෙනුවේ වටිනාකම රුපියල් කෝටි 185කි. ඉන්දියානු සැපයුම්කරුවන් හත් දෙනෙකු අතරේ මේ මුදල බෙදී තිබුණේ ද කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරවමය. මහා පරිමාණයෙන් සිදුවන මෙවැනි ගසාකෑම්වල අනිටු පලවිපාක මහජනයා මත පතිතවන්නේ වට දෙකකිනි. එකක් නම් මහජන ධනය නාස්තිය හා හොරකමයි. අනෙක් නම් හාල්වල මිල අස්වාභාවික ලෙස ඉහළ පහළ යාමයි. උදාහරණයකට 2014 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා කාලයේදී පොන්නි සම්බා කිලෝවක මිල රුපියල් 58 සිට 70 දක්වා ද නාඩු කිලෝවක මිල රුපියල් 50 සිට 60 දක්වා ද ඉහළ ගිය ආකාරය දැන් ඔබට මතක නැතිවාට සැක නැත. එහෙත් ඒ මිල ඉහළ යාම් පසුපස තිබුණු කාලකන්නි කතාව මේ ගනුදෙනුවයි.

තවත් මෙබඳු ගනුදෙනුවකට පාර කපාතිබුණේ එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැතිවරයාව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් 2014 ජූලි 9 ඉදිරිපත් කර තිබූ අංක 14/0940/540/005 දරණ කැබිනට් සංදේශයෙනි. එම සංදේශයට කැබිනට් අනුමැතිය හිමිව තිබුණේ ද විකාර සහගත ආකාරයටය. විශේෂත්වය නම් එකී විකාර සහගත අනුමැතිවලටවත් අවනත නොවී සහල් මිලදී ගැනීම් කරතිබීමය. උදාහරණයකට මෙට්‍රික් ටොන් 50,000ක් වූ අවශ්‍ය සහල් තොග මිලදී ගැනීම් සිදුකිරීමට අනුමැතිය හිමිව තිබුණේ පන්දහස බැගින් කොටස් වශයෙනි. එහෙත් එය එකවර ඇණවුම් කර තිබීම නිසා එය ගබඩා කිරීමට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු ගබඩාවලට අමතරව පෞද්ගලික අංශයේ සරණ පැහැදීමට ද සිදුව තිබිණ. මෙහිදී ද කිසිදු ගිවිසුමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර නොතිබූ අතර සියල්ල සිදුව තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ කැමැත්ත අනුවය. අනෙක් අතට ඔහු මෙම මිලදී ගැනීම් සිදුකර තිබුණේ ඇමැතිවරු දෙදෙනකු එම මිලදී ගැනීම් අධෛර්යමත් කිරීමට නිර්දේශ නිකුත් කර තිබියදීය. ඒ මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති වශයෙන් විමල් වීරවංශ මහතාය. ගබඩා පහසුකම් නොමැතිකම නිසා ඒ වනවිටත් සහල් තොග සත්ව ආහාර ලෙස විකිණීමට සිදුව ඇති බව විමල් වීරවංශ මහතා එහිදී  පෙන්වා දී තිබූ අතර යල කන්නයේ ගොයම් කැපීම ආරම්භ කර ඇති අවස්ථාවක මෙම මිලදී ගැනීම් නිසා වී මිල පහත වැටී ගොවීන් අසහනයට පත්වනු ඇති බව ද අවධාරණය කර තිබේ. එහෙත් වීරවංශ හිටපු ඇමැතිවරයාගේත් හිටපු ජනාධිපතිවරයාගේත් නිර්දේශ මෙම මිලදීගැනීම් නතර කිරීමට තරම් බලවත් වී නැත.

තවත් ගනුදෙනුවක් සිදුව තිබෙන්නේ 2015 ආණ්ඩු වෙනසට ඔන්න මෙන්න කියා තිබියදී 2014 ඔක්තෝබරයේය. ඒ සහල් මෙට්‍රික් ටොන් අනූ දහසක් ණයවර ලිපි මඟින් ආනයනය කිරීමෙනි. ප්‍රසම්පාදනයක අයනු ආයනු වත් නොමැතිව ACP Industrial Ltd නමැති ඉන්දීය සමාගමක් එවකට ආර්ථික සංවර්ධන ඇමැතිවරයාව සිටි බැසිල් රාජපක්ෂට එවූ එකඟතා ලිපියක් මත පදනම්ව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ලංකා සතොසට කළ නියෝගයක් මත මෙම අස්වාභාවික ගනුදෙනුව සිදුව ඇත. විහිළු සහගත තත්ත්වය වන්නේ අදාළ මිලදී ගැනීම කරන්නැයි ඔක්තෝබර් 19 වැනිදා සතොස අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග කළ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා විසින්ම ඔක්තොබර් 17 හෙවත් ඊට දින දෙකකට පෙර අදාළ සහල් තොගය ඇණවුම් කරනු ලැබ තිබීමයි. එහෙත් යහපාලන රජයට ද මෙම මිලදී ගැනීමෙන් ඇඟ බේරාගත නොහැකිය. ‍

අලුත් ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මේ ගනුදෙනුවට අදාළව කල් ඉකුත් වීමට තිබූ ණයවර ලිපි සංශෝධනය කර ඉතිරි වටිනාකම්වලට සරිලන සේ පොන්නි සම්බා ආනයනයට තීන්දු කළේ 2015 පෙබරවාරියේය. එහෙත් මහ කන්නයේ වී අස්වනු ඒ වනවිටත් වෙළෙඳපොළට ලැබෙමින් පැවතුණු අතර සතොසේ හා පෞද්ගලික අංශයේ ගබඩාවල ද තවත් සහල් තොග තිබුණේය. රිෂාඩ් ඇමැතිවරයා ද පැරැණි පාරේ ගියේ මේ කරුණු කිසිවක් නොසලකමිනි.  අනෙක් අතට ඉවක් බවක් නොමැතිව මෙසේ හාල් ආනයනය කිරීමෙන් දේශීය කෘෂි ආර්ථිකයට එල්ල වන්නේ ද සුළුපටු තර්ජනයක් නොවේ. එහෙත් තීන්දු ගත් පිරිස් ඒ සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් දක්වා නැති වග විගණකාධිපති වාර්තාවේ පැහැදිලිව සඳහන් වේ. මෙවැනි කූට ගනුදෙනුවලදී බොහෝවිට සිදුවන්නේ ප්‍රසම්පාදනයේදී තීරණ ගැනීම සඳහා අදාළ වැදගත් තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශවලට ඇතුළත් නොකිරීමයි. මෙම නාස්තිකාර සහල් ගනුදෙනුවලදී ද සිදුව ඇත්තේ ඒ සන්තෑසියමය.

යහපාලන රජය යටතේ ද සහල් වෙළෙඳාමේ ගඳ ගසන කටයුතු දේ සිදුව තිබේ. ඒ ණයවර ලිපි මඟින් ආනයනය කළ සහල් අඩංගු බහාලුම් 809 ක් වසරකට ආසන්න කාලයක් වරායේ රඳවා තබාගෙන සිට ඉන් පසුවත් (2016 ජනවාරි සිට)තාවකාලික පෞද්ගලික බහාළුම්වල රඳවා තැබීමයි. මේ සඳහා එක් බහාළුමකට දෛනිකව රුපියල් 150ක බිම් කුලියක් ගෙවිය යුතුවේ. මාස 19ක් තිස්සේ අවිධිමත් ලෙස ගබඩා කිරීම නිසා මෙම සහල් තොග පරිභෝජනයට සුදුසු නොවන තත්ත්වයට පත්ව තිබූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. ඉතාම අවාසනාවන්ත කරුණ නම් එසේ කාටත් වැඩක් නැති හාල් තොගයකට 2016 සැප්තැම්බර් වනවිට රුපියල් කෝටි එකහමාරක බිම් කුලියක් ද ගෙවීමට සිදුවීමයි. ආරංචි මාර්ගවලට අනුව දෙසැම්බරය වනවිටත් එම පව ගෙවා අවසන් කර නොතිබිණ. 

සහල් තොගවලට අදාළ ලේඛන නඩත්තු කිරීමේ දී සතොසේ ක්‍රියාකාරීත්වය අතිශය නරකය. එමෙන්ම ඇතැම් අවස්ථාවල සිනහ උපදවන ද සුළුය. එහෙත් මේවා ඇස් රතු වන විහිළුය. ඊට එක් උදාහරණයක් නම් මාසයක් අවසානයේදී පවතින හාල් තොග ප්‍රමාණය ගණන් හිලව් බැලීමේදීය. ඊට අනුව ලක් සතොස සතුව 2015 මුල් මාස අට පුරා මෙට්‍රික් ටොන් දස දහක ඉක්මවන නාඩු හාල් තොග තිබී ඇති අතර සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාසවලදී ද පිළිවෙලින් මෙට්‍රික් ටොන් 9 352ක් හා 7 830 ක් තිබී ඇත. එහෙත් නොවැම්බර් මාසයේදී නාඩු සහල් මෙට්‍රික් ටොන් 29 000 කට අධික අඩුවක් වාර්තා වී තිබේ. එනම් පළමු මාස දහයේදීම මෙට්‍රික් ටොන් දහස් ගණනින් තොග ඉතිරිව පැවැති නාඩු සහල්වලට කිසිදු විශේෂයක් නැති නොවැම්බරයේදී හිතාගත නොහැකි ඉල්ලුමක් පැමිණ ඇති බවයි. වඩාත් ප්‍රහසනාත්මක කරුණ නම් නත්තල යෙදෙන දෙසැම්බරයේදී මෙට්‍රික් ටොන් තුන් දහසක ඉතිරියක් නැවත වාර්තාවීමයි. මෙසේ බලද්දී සතොසේ සංඛ්‍යාලේඛන ගැන පවා සැක පහළ වීම පුදුමයට කරුණක් නොවේ.

මෙම මිලදී ගැනීම් සිදුකර තිබූ ඉන්දීය සමාගම් වන්නේ omwishkar exports, ACP Industrial Ltd, United Foods (pvt) Ltd හා Trident Chempar Ltd යන ඒවාය. ACP Industrial Ltd සමාගම තමන්ට අයත් වගාබිම්වලින් නිෂ්පාදිත සහල් සපයන බව ප්‍රකාශ කර තිබුණ ද පැවැරිය හැකි ණයවර ලිපිවලට මුවා වී දිගින් දිගටම රඟදක්වා තිබුණේ අතරමැදි වෙළෙන්ඳෙකුගේ භූමිකාවයි. ප්‍රසම්පාදන ක්‍රියාවලියක මූලික අරමුණ වන්නේ උසස් ගුණාත්මක භාවයක් සහිතව අවම පිරිවැයක් දැරීමයි. එහි ප්‍රතිපලය නම් උපරිම ආර්ථික වාසි සලසා ගැනීමයි. ඒ සඳහා නියමිත ප්‍රමිතීන්ට නීතිරීතිවලට සහ රෙගුලාසිවලට අනුව කටයුතු කළ යුතුය.  එමෙන්ම සුදුසුකම් ඇති පාර්ශ්වයන් අතර සාධාරණ තරඟය ඉතාම වැදගත්ය. එසේ වුවද සියල්ල සම්පූර්ණවන්නේ ඇගයීමේ හා තේරීමේදී විනිවිදභාවයෙන් යුතුව කටයුතු සිදුවීමෙනි.

එහෙත් විගණකාධිපතිවරයාට අනුව 2014 හා 2015 වසරවල ලංකා සතොස සහල් ආනයන ක්‍රියාවලිය සිදුව ඇත්තේ එසේ නම් නොවේ. සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් ආනයනය කිරීමට වැය කර ඇති මහජන මුදල රුපියල් කෝටි 1569 කි. විගණකාධිපති වාර්තාවෙන් හෙළි වන හද පාරවන කතාව නම් එයින් රුපියල් කෝටි 1515 කට අධික අලාබයක් සිදුව ඇති බවයි. මේවා කජු ඇට කොස් ඇට නොවේ. හාල් ගෙන්වන ආණ්ඩුම හාල් ඇටයේ සිට ගෙදර දොර අත්‍යවශ්‍ය සියල්ලට ගසන බදු මුදලින්ම මහජනයාගෙන් සූරාගන්නා බදු මුදල්ය. ඉතින් මේ තරම් අලාබයක් සිදුවන තෙක් ප්‍රතිපත්ති සම්පාදකයෝ ඇස් කන් පියාගෙන සිටියෝ ද? දෙවියන්ගේ හාල් කෑ වුන් මෙන් තීන්දු ගත් ලැයිස්තුවේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුරේ සිට ඇමැතිවරු දක්වා වූවෝ වෙති. මහ බැංකු බැඳුම්කර සිදුවීමේදී මෙන්ම මේ අතයට ගනුදෙනුවේදී ද විගණකාධිපතිවරයා තම රාජකාරිය ඉටු කර තිබේ. ජනතාව වික්ෂිප්තව බලා සිටින්නේ මෙවැනි කොල්ලකාරී හා නාස්තිකාර ආර්ථික තීන්දු ගත්තවුන්ට සිදුවන්නේ කුමක්ද කියාය.

වංචා හා දූෂණ සම්බන්ධයෙන් ගත්කළ මේ ගතවෙන්නේ දෙපිල ඛෙදී එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගන්නා සමයකි. උත්ප්‍රාසජනක කරුණ වන්නේ මෙකී දූෂිත ගනුදෙනුවට පිල් මාරුවක් නැතිවම දෙපැත්තේම ඇමැති පුටු හෙබවූවන් තිදෙනකුම සම්බන්ධ වී සිටීමයි. සහල් හිඟයක් පැවැති සමයේ බඩසයින් මෙන් මේ ගැන කතා කළ සියලු දේශපාලකයෝ දැන් මුව පියාගෙන සිටිති. ඉතින් දැන් කළ යුත්තේ කාලයේ වැල්ලෙන් වැසී ගිය මේ දූෂිත ගනුදෙනුව ගැන නීතිය මඟින් කටයුතු කිරීමය. යහපාලනයකට හිතැති සියල්ලෝ ඒ දෙස පක්ෂ විපක්ෂ බේදයක් නැතිව බලා සිටිති.

 

(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

([email protected],[email protected]

 


 

ප‍්‍රසම්පාදනය වැරැදි බව තහවුරු වුණොත් ටෙන්ඩරය අවලංගු කරනවා ඇමැති කියයි

 

‘ගෑස් ටෙන්ඩරය ෂෙල් එකට ගියේ හරි පාරෙන්ද’ මැයෙන් සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කර තිබූ ලිපියකට ප‍්‍රතිචාර ලෙස ලිට්‍රෝ සමාගම වෙළෙඳ දැන්වීමක් පළ කර මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබිණි. එම දැන්වීමෙන් ලිට්‍රෝ සමාගම කියා තිබුණේ ගෑස් ටෙන්ඩරය ෂෙල් සමාගමට ගියේ හරිම පාරෙන් බවයි.

ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් නිසි ආකාරයට සිදු වූ බවත්, අසත්‍ය චෝදනාවලින් සමාගමේ ජාතික කාර්ය භාරයට විශාල හානියක් සිදුවන බවත් එය මෙරට පාරිභෝගික ජනතාවට ද විශාල කැළලක් බවත් සමාගම ප‍්‍රකාශ කර තිබිණි.

‘ගෑස් ටෙන්ඩරය ෂෙල් එකට ගියේ හරි පාරෙන්ද’ මැයෙන් එම ලිපිය සම්පාදනය කළේ සමාගමට පහර ගැසීමේ අදහසින් හෝ බොරු තොරතුරු ඉදිරිපත් කිරීමේ අදහසින් නොවේ.

ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුව තාක්ෂණ ඇගැයීම් කමිටුව සහ කැබිනට් ප‍්‍රසම්පාදන කමිටුව එක්ව නිර්දේශ කරනු ලබන සමාග මට ටෙන්ඩරය පිරිනැමීම සිදුවේ. තාක්ෂණ කමිටුව පත් කරනුයේ මහා භාණ්ඩාගාරයේ සහ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙනි. එහෙත් අගෝස්තු මාසයේ 17 වැනිදා රැස්වූ ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ටෙන්ඩර් ක‍්‍රියාවලිය ගැන පැහැදිලි කරද්දී ලිට්‍රෝ සමාගමේ මූල්‍ය කළමනාකාරිනිය ප‍්‍රකාශ කරන්නේ ඇමතිවරයා විසින් පත් කරන ලද තාක්ෂණ කමිටුව ලෙසය.

එම රැස්වීම අතරතුර ඇමැතිවරයා විසින් පත් කරන ලද තාක්ෂණ කමිටුව’ ලෙස අවස්ථා කිහිපයකදීම සාකච්ඡා වී තිබිණි. ‘ඇමැතිවරයා විසින් පත් කරන ලද තාක්ෂණ කමිටුව’ ලෙස ලිපියේ සඳහන් කර තිබුණේ ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පදනම් කර ගනිමිනි.

ෂෙල් සමාගමට දඩයක් ගැසූ බවට පළ වූ වාර්තා අසත්‍ය බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි. මුහුදේ චණ්ඩ ස්වභාවය හේතුවෙන් සුපුරුදු පරිදි නැව් දෙකෙහි ගෑස් ගොඩ බෑමට නොහැකි වූ නිසා වෙනත් රටකට යමින් සිටි නැවක් ගෙන්වා ගැනීම වෙනුවෙන් ෂෙල් සමාගම ඩොලර් 20 ක අතිරේක වට්ටම ලබාදුන් බව ලිට්‍රෝ දැන්වීමේ සහ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

එනම් මුහුදේ ප‍්‍රචණ්ඩත්වය හමුවේ නිසි පරිදි සැපයුම් කිරීමට ෂෙල් සමාගම අපොහොසත් වී ඇති බව ලිට්‍රෝ සමාගම පිළිගනියි. සමාගමේ නිවේදනයේ සඳහන් පරිදිම මෝසම් කාලය වැනි පාලනය කළ නොහැකි තත්ත්වවලදී අඛණ්ඩව සැපයුම පවත්වා ගැනීම සඳහා අදාළ සැපයුම්කරුට ඇති හැකියාව ටෙන්ඩරය පිරිනමද්දී බලයි.

2016 මැයි සිට අගෝස්තු දක්වා කාලයේ අවස්ථා කිහිපයකදීම ෂෙල් සමාගමේ ප‍්‍රමාද වීම් සිදුවී ඇත. එහෙත් තාක්ෂණ කමිටුවේදී ඒ ගැන අවධානය යොමුකර නැත.

ටෙන්ඩරයේදී අඩුම ලන්සුව ඉදිරිපත් කළ  ඕමාන් රජයේ ඕටීඅයි සමාගමට එය නොලැබීමට හේතුව ඔවුන් අර්ධ රාජ්‍ය සමාගමක් ලෙස කටයුතු කරද්දී ලංකාවට ගෑස් එවීමේදී සිදු වූ ප‍්‍රමාදවීම්ය.

2015 වසරේ සිට  ඕටීඅයි සමාගම පූර්ණ රාජ්‍ය සමාගමකි.  ඕටීඅයි සමාගම අර්ධ රාජ්‍ය සමාගමක් ලෙස කටයුතු කරද්දී සිදු වූ ප‍්‍රමාදයන් ගැන තාක්ෂණ කමිටුවේදී අවධානය යොමුකර තිබුණ ද ෂෙල් සමාගමේ ප‍්‍රමාදය ගැන සලකා බලා නොතිබිණි. ටෙන්ඩරයට ලන්සු තැබීමේදී ෂෙල් සමාගම තැබූ ලන්සුව ලිට්‍රෝ සමාගම පිළිගන්නා ක‍්‍රමවේදයට නොවූවද ඒ ගැන සැලකීමක් කර නොතිබිණි.

එසේම ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස මෙම ටෙන්ඩරයෙන් පසු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ද ලිට්‍රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේදී ඉහත කරුණු සැලකිල්ලට නොගැනීම ගැන පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා ප‍්‍රකාශ කළේ මේ ගැන ලිඛිත පැමිණිල්ලක් ලද හොත් මුල සිට යළි සොයා බලන බවයි.

ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට තමා මැදිහත් නොවූ බවත් එනිසා තාක්ෂණ කමිටුව ක‍්‍රියා කළ ආකාරය ගැන තමා නොදන්නා බවත්, ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේදී යම් වරදක් වී ඇතැයි තහවුරු වුවහොත් ටෙන්ඩරය අවලංගු කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

පාරිභෝගිකයා තලා පෙළා උලාකෑම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 139 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site