IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ප්‍රශ්නවලට උත්තරය ජනප්‍රිය තීන්දුද?

දේශපාලනය විජ්ජාවකි. තුරුම්පු නැතත් කාඩ් සෙල්ලම් කරන්නට බැරි නැත. ආර්ථිකය විද්‍යාවකි. මූලධර්ම සහ න්‍යාය තිබේ. ඒවා වෙනස් කරන්නට පුළුවන්කමක් නැත. අන්තිම කඩදාසිය දක්වා සෙල්ලම් කරන්නට උත්සාහ කළොත් සෙල්ලමෙන් පරාජය වෙන්නට ඉඩ කඩ වැඩිය. ප්‍රතිවාදියා වැරදි කොළ විසි කළහොත් දිනන්නට ද අවස්ථාවක් ඇත. ආර්ථිකය සමග සෙල්ලම විජ්ජාවක් නොවේ. තරගයෙන් දිනන්නට ඉඩ තිබෙන නමුත් ගෙවිය යුතු වන්දියක් ඇත. එය බරපතළය. වන්දිය ගෙවන්නෝ පොදු ජනතාව මිස පාලකයෝ නොවෙති. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය අත දිගහැර කරන ආර්ථික සෙල්ලමක තීරණාත්මක මොහොත උදා වී තිබේ. 

දැනට පවතින රාමුව අනුව තවදුරටත් පවතින්නට බැරිකමක් නැත. ජනී ජනයා දොස් තබන බව ඇත්තකි. බඩු මිල අහස උසට නැග තිබේ. මිල පමණක් නොවේ. අත්‍යවශ්‍ය භාණ්ඩ පවා විශාල වශයෙන් හිඟ බව වෙ​ෙළඳ පොළ වාර්තා දක්වයි. මෙතැනින් ගැලවෙන්නට අලුත් ජවයක් අවශ්‍ය කෙරේ. තීන්දු ගැනීම දේශපාලන නායකයන්ගේ වගකීමකි. ප්‍රතිපත්ති සකස් කරන නිලධාරීන් නිවැරදි උපදෙස් දේශපාලනඥයන්ට ලබා දිය යුතුය.

පීඩනය පුපුරා යාම අහම්බයක් නොවේ

අත මිට සරු සැනසිලිදායක රටක් ජනතාව අපේක්ෂා කළේය. අද ආර්ථිකය එක්තරා ආකාරයක කඩා වැටීමකය. කොවිඩ් වසංගතය දෙසට ඇඟිල්ල දිගු කරන බව පෙනේ. කොවිඩ් වසංගතයෙන් එල්ල වූ බලපෑම, ආර්ථික ප්‍රශ්න පැන නැගෙන එක සාධකයක් පමණකි. පසුගිය දශක දෙක තුනක කාලය ගමන් කළේ හැලහැප්පීම් මැදින්ය. කොතැනක දී හෝ ආර්ථිකය අඩපණ වන අවදානම තිබුණි. වසංගතය සමග පැන නැගුණ ලෝක ආර්ථික වාතාවරණය එය ඉක්මන් කළේය. වේගවත් ගමනක අතරතුර කඩාවැටීමක දී රටට විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබුණි. ආසියානු මුල්‍ය අර්බුදය හෝ ඇමරිකාවේ බැංකු පද්ධතියේ සිදුවූ කඩා වැටීම හෝ යනාදියෙන් ලෝකයේ ප්‍රබල ආර්ථික තිබුණ රටවල් මුහුණ පෑ ඉරණම එයට දැක්විය හැකි උදාහරණ අතර තිබේ.

අද පැන නැග ඇති ප්‍රශ්න සියල්ල ආර්ථිකය තරමක් නතර වී ඇති අවස්ථාවකය. පසුගිය වසර දෙක තුළ ලෝක ආර්ථිකයේ වේගය අඩාල විය. එය ශ්‍රී ලංකාවට ද එල්ල වූ බලපෑමකි. වර්ධන වේගය අඩුවිය. එවැනි අඩු වේගයක තිබිය දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අර්බුදය එල්ල වී ඇත. එක්තරා ආකාරයක සන්සුන් බිඳ වැටීමක් සේ දැක්විය හැකි මෙම අවස්ථාව නිසි පිළියම් මගින් රටට පාලනය කරගත හැකිය. ධෛර්යය හා ආත්ම ශක්තිය අවශ්‍යය. නිවැරැදි සහ ඉක්මන් තීන්දු ගැනීම ඉතාම වැදගත්ය.

රටට තිබුණ මූලික ආර්ථික ගැටලුව මුල් කාලයේ සිට හඳුනාගෙන තිබුණි. එකක් උපයනවිට දෙකක් වියදම් කළේය. විදේශ විනිමය ඉපැයීම් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දහයක් වන විට ආනයනය සඳහා බිලියන විස්සක් වැය කරමින් සිටියේය. ගත හැකිව තිබුණ ක්‍රියාමාර්ග දෙකකි. එක්කෝ විදේශ මිල දී ගැනීම් අඩු කළ යුතුවිය. නැත්තම් මොනවා හෝ අපනයනය කර විනිමය උත්පාදනය කරන්නට සිදුවී තිබුණි. මෙම පැති දෙකම අනුගමනය නොකරන ලද ආණ්ඩු තාවකාලික පිළියම් වශයෙන් ආයතනික හා ආයතනික නොවන ණය ගැනීමට පෙළඹී සිටියේය. එක ආණ්ඩුවක් කළ වරදක් නොවේ.

කලින් ආණ්ඩුවේ කෙටිකාලීන ණය ගෙවන්නට පසුව බලයට පත්වන ආණ්ඩු නැවතත් ණය ගත් අතර ඉපැයීමක් රහිතව ගන්නා ණය හා එයින් ප්‍රසාරණය වන පොලිය අනතුරක සේයා මතු කරන ලද්දේය. කවර අවස්ථාවක හෝ විදේශ ණය ලබා ගත නොහැකි හෝ ආදායම තවත් පිරිහෙන අවස්ථාවක් ඇති විය හැකි බව ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවමින් සිටි බව මතක් කළ යුතුය. දැනට උද්ගතව ඇති වාතාවරණය එකී පූර්ව ලක්ෂණ පෙන්නුම් කරන ලද රෝගයක උත්සන්න අවධියයි. පෙති හෝ කරල් ප්‍රතිකාරයකින් වලින් ගලවා ගත නොහැකිය. ගොඩ වෙදකම් උත්තරයක් නොවේ. ආර්ථිකයට කරන ව්‍යුහාත්මක වෙනස්කම්වලින් යුතු සැත්කමකින් මෙහා විසඳුමක් නැත.

නැති ගැටලු ඇති කරන විදේශ විනිමය හිඟය

කොවිඩ් වසංගත තත්ත්වය සමග ආර්ථික වේගය ඍණ අගයකට පත්විය. කර්මාන්ත හා ව්‍යාපාර අඩපණ වන විට රජයට ඒවායින් ලැබෙන බදු ආදායම පහත වැටේ. රට තුළ ආදායම අඩුවන විට දේශීය වශයෙන් ණය ලබාගත හැකිය. බදු නංවන අලුත් යෝජනා ක්‍රියාත්මක කළ හැක. දේශීය වශයෙන් කරන කටයුතුවල දී රුපියල් ප්‍රයෝජනවත් නමුත් විදේශීය වෙළඳාමේ දී විනිමය අවශ්‍යය. ඇමරිකානු ඩොලරය වැඩිම පිළිගැනීමක් ඇති ජාත්‍යන්තර මුදල බව දැක්විය හැකිය. 

පසුගිය කාලයේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම පහත වැටිණ. විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආදායම හීන වී තිබේ. ඇඟලුම් අපනයනය සීමා වූ අතර තේ, රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද සීමා සහිත විය. අපනයන වර්ධනය වූ බව රජයේ වාර්තා කියයි. එහෙත් අපනයනකරුවන්ගෙන් එම මුදල් නිසි පරිදි රටට ලැබී නැත. වාර්තාවලට අනුව පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට සමස්ත විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 1.6 කි.

මෙම සංචිතයට ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ ඇති ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පමණ රන් තොගය ද ඇතුළත්ය. ඇත්ත වශයෙන්ම සංචිත ප්‍රමාණය බිලියනයක් දක්වා අඩු වී තිබේ. සාමාන්‍යයෙන් එක මාසයක ඉන්ධන ආනයනය සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් අවශ්‍ය කෙරේ. ඖෂධ, ආහාර ද්‍රව්‍ය, පොහොර, ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන කටයුතු සඳහා විශාල විනිමය ප්‍රමාණයක් අවශ්‍යය. ආනයන දැඩි සේ පාලනය කර ඇති නමුත් දැන් පවතින ව්‍යුහය අනුව එය ඉතාම අරපරෙස්සමකින් කටයුතු කළ යුතුව ඇත.

මෙම හිඟ විනිමය ප්‍රමාණය තිබිය දී පවා ලබන වසරේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතකි. එක බිලියනයක් අත ඇති රටක් හතක් ගෙවන්නේ කෙසේද? මෙම ඇතුළාන්තය දකින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව ණය ගෙවීම අවදානම් රටක් වශයෙන් නම් කරමින් සිටී. ණය ගෙවාගත නොහැකි රටකට අලුතින් ණයක් ගැනීම පහසු නැත. විදේශ ණය හෝ මිත්‍ර රටවලින් හදිසි ආධාර රහිත ජීවිතයකට ගමන් කිරීමට නොහැකියාවක් නැත.

එහෙත් මෙරට ජන සමාජය එයට සූදානම් ද? ඉහළ හා මධ්‍යම පැලැන්තියේ පවුල්වල දරුවන් ඉගෙනගන්නේ විදේශ රටවලය. නිවෙස්වල පරිහරණය කරන්නේ ආනයනික ද්‍රව්‍ය බව නොරහසකි. පිටරටවලින් රථ වාහන ගෙන්වීම පැත්තකින් තබමු. ඉන්ධන, කිරිපිටි, සීනි, වැනි දෑ පවා ආනයනයට බාධා ඇති විය හැකිය. හදිසි ණයක් ගැනීම හෝ ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීම ජන සමාජයට බලපාන තීන්දුවකි. ආණ්ඩුව ණය නොගෙන තද පාලනයකට සූදානම් වන බවට ඉඟියක සිටී. ජනතාව පමණක් නොව පාලකයන් ද කැපකිරීමක් කළ යුතුය. දුප්පත් ජනතාවට මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකි පසුබිමක මැති ඇමැතිවරු විදේශ සංචාරවල නිරතවීම කිසිසේත් සුදුසු පියවරක් නොවේ.

ගිලෙන නැවකින් ගැලවීමකට පැනීම

ගිලෙන නැවකින් පැන යන මීයන් ගැන කතාවක් ඉතිහාසයේ තිබේ. අදට එය වලංගු නැත. අනතුර හුවා දක්වා සාගරයට පැනීමෙන් පොදු ජනතාවට ලබෙන සහනය කුමක්ද? මුහුදුබත් වන අනතුර අවම කරගනු සඳහා බර අඩු කරගත යුතුය. නැවක ඇති බර ගැන දන්නේ කපිතාන්ය. කපිතාන්ගේ සහායට සිටින පිරිවර අවම අලාභහානි වන පරිදි මුහුදට විසි කළ යුතු දේ ගැන හොඳ අවබෝධයක සිටිය යුතුය. අනෙක නැව වටා ආරක්ෂිත මෙවලම් සවි කරගත යුතුය. මේවා ගැන අවධානයට නොගෙන කපිතාන්ට දොස් තැබීමෙන් අනතුර ඉවත් වෙන්නේ නැත.  

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති බර ගැන නොදන්නෝ නොවෙති. 2022 අය වැය ඉදිරිපත් කරන අතරතුර පවා රාජ්‍ය ව්‍යවසාය ගැන සඳහන් කර තිබේ. රාජ්‍ය ආදායම සම්පූර්ණයෙන්ම පාහේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැය වන බව අඟවා ඇත. අය වැය හිඟය බරපතළය. හිඟය පියැවීමට ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් උද්ධමනය වර්ධනය වෙමින් තිබේ. ව්‍යවසායකත්වය එනම් අලුත් කර්මාන්ත හෝ ව්‍යාපාර ඇති කරන්නට පහසු පසුබිම සීමා වී ඇත. වාණිජ බැංකුවලට ලැබෙන ඉතිරි කිරීම් රාජ්‍ය ව්‍යවසාය සඳහා ණය නිකුත් කරන අතර එය සංවර්ධනය නංවන්නට හේතුවක් වී නැත. ඉදිරි ඡන්දයෙන් ලැබෙන මනාප ගැන කල්පනා කරන ආණ්ඩු ජනප්‍රිය තීරණ ගන්නා අතර එයින් අත්පත්ව ඇති අවසාන ඉරණම කනගාටුදායක එකකි.

අද මුහුණ පා ඇති ඉරණම අනුව රටට අවශ්‍ය ජනප්‍රිය තීන්දු නොවේ. බෙහෙත තිත්තය. ගත යුතු තීරණ මිහිරි නැත. එම තීරණවලින් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නැත. එහෙත් අනාගත පරපුර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග අගය කරනු නිසැකය. ආර්ථිකය නිසි මගට ගත් ජන නායකයන් වශයෙන් ජනතාවගේ ගෞරවය දිනා ගත හැකිය.

එකී ගෞරවය සඳහා මහජන නියෝජිතයන් අතර අභ්‍යන්තර කතිකාවතක් අවශ්‍යය. අමාත්‍ය මණ්ඩලයේ එකට සිටින අතලොස්සක් දෙනා මාධ්‍ය ඉදිරියට පැමිණ කියන, ඔවුන්ගෙ පෞද්ගලික අදහස්වලින් ආර්ථිකයක් හැදෙන්නේ නැත. තවදුරටත් අවිශ්වාසය ගොඩනැගේ. ව්‍යවසායකයෝ තවත් සැක පහළ කරති. ආර්ථික අස්ථාවරත්වය පමණක් නොව දේශපාලන අස්ථාවරත්වය ද ඇති රටක් ආයෝජනයට තෝරා ගත යුතු ඇයි? මෙම සරල පණිවුඩය හෝ නොදන්නා, අවබෝධ කරගැනීමට අසමත් රටක අනාගතය අවිනිශ්චිතය.

පහසු දේ වෙනුවට අපහසු තීරණයකට

මෙම තීරණාත්මක අවස්ථාවේ අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් තිබේ. එකක් ආත්ම ශක්තියක් සහිත ප්‍රබල නායකයන් වශයෙන් ජනතාව ඉදිරියට පැමිණීමය. ජනතාවට ඇත්ත කීම අවශ්‍යය. රට ගමන් කරමින් සිටින දිශාව හුවා දක්වා එයින් ගැලවෙන පියවර සහිත සැලැස්මක් වහා ප්‍රකාශයට පත් කළ යුතුය. ණය නොගෙන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවල සහායක් රහිතව ඉදිරියට යා හැකි බවට ආත්ම විශ්වාසයක් තිබෙන බව පෙනේ. එය නරක නැත. එහෙත් ජනතාවට කරුණු දැක්වීම වැදගත්ය. 

ඉදිරි වසර දෙක හෝ පහක කාලය තුළ පැරණි සුපුරුදු ජීවිතයෙන් ඉවත්ව දුෂ්කර කාලයක් ගත කරන්නට සිදුවන බව පැහැදිලි කළ යුතුව තිබේ. අත්‍යාවශ්‍ය දේ පමණක් ගෙන්වා සියලුම විනිමය වියදම් අවුරා දැමිය හැකිය. ඇඳුම් පැළඳුම්, ආහාරපාන, බලශක්තිය සහ බෙහෙත් වර්ග පවා හිඟ වනු ඇති අතර එය සමාජයේ සෑම දෙනකුටම මුහුණ දෙන්නට සිදුවන පොදු ඉරණමක් බව පෙන්වා දිය හැක. එමගින් ජනතාව මෙම අපහසු, කර්කශ තීරණයට එකඟ කරගත හැකිය. එවැනි පියවරකට ගමන් කිරීමේ දී අනෙක් දේශපාලන නායකයන්ට, දේශපාලන පක්ෂවලට ද විශාල වගකීමක් තිබේ. විශේෂයෙන් කැබිනට් මණ්ඩලය ආදර්ශවත් විය යුතුය.

දෙවැනි ක්‍රමය ජාත්‍යන්තරය ඉදිරියට ගමන් කිරීමයි. ජනතාව ඉදිරියට යා නොහැකි බව උපකල්පනය කරන්නේ නම් ජාත්‍යන්තරය හමුවට යෑම හැර විකල්පයක් නැත. එහි දී ද මාර්ග දෙකකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැදගත්ය. එය අඩුම පොලියක් සහිතව ප්‍රතිසංස්කරණ සඳහා විකල්ප අදහස් ඉදිරිපත් කරයි. එම අදහස් ගැන ආණ්ඩුවට තර්ක කළ හැකිය. හුදෙක් බලහත්කාරයක් නොවේ. රටට ගැළපෙන අපට අනන්‍ය ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කළහොත් ඒවා පිළිගන්නට මුල්‍ය අරමුදල සූදානම්ය. අනෙක් මාර්ගය වාණිජ ණය ගැනීමය. මුල්‍ය අරමුදලෙන් සියයට දශම ගණනකට ගන්නා ණය වාණිජ මට්ටමින් සියයට 6 - 7 අතර වාර්ෂික පොලියකට ගැනීමට හැකියාව තිබේ.

ශ්‍රේණිගත කිරීමේ ආයතන අනතුරු අඟවීමෙන් පසු මෙම පොලිය තවත් වැඩිවන අවදානමක් ඇත. අවුරුදු දහයකට පසු ලබාගත් මුදල මෙන් දෙගුණයක් පමණ ගෙවන්නට අපගේ දරුවන්ට සිදුවන බව මතක තබාගත යුතු කරුණකි. කිසිම තැනකින් තෑගි ලැබෙන්නේ නැත. ලැබෙන දෙය තුළ අනෙක් පැත්තක් ද තිබේ. නොකියැවෙන කතාවක් ද ඇත. මෙම පැති ගැන සූක්ෂමව අධ්‍යයනය කිරීම විද්වතුන්ගේ වගකීමකි. අභාග්‍යයකට විද්වත් පිරිස පවා මේවා ගැන තකා කරන්නේ විද්‍යාත්මකව නොවේ. තාවකාලික පටු අරමුණු සහිතවය. 

ණය නොගැනීම හෝ ණය ගැනීම යන කවර මාර්ගයකින් විදේශ විනිමය සංචිත උපයා ගන්නා නමුත් අවසානයේ දී රටට කළ හැකි උපරිමය කරා ගමන් කිරීමට සිදුවෙයි. වහාම අලුත් ආයෝජනවලට ඉඩ දිය යුතුය. අපනයනය අරමුණු කරගෙන කර්මාන්ත හා කෘෂිකර්මාන්ත අංශ දියුණු කරන්නට සිදුවෙයි. තොරතුරු තාක්ෂණය අනාගතයේ විශාල අවස්ථාවකි.

දේශීය හා විදේශීය ආයෝජන අලුතින් ඇති කරන්නට ඉඩ දෙන නීති රීති වහාම අලුතින් සකස් කරන්නට අවශ්‍යය. මෙරට මානව සම්පත, ඉඩම් හා දැනට සංවර්ධනය කර ඇති යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගන්නා සේ ආයෝජකයන්ට අලුත් වටයකින් ආරාධනා කිරීම කාලෝචිතය. දේශපාලනඥයන් මෙරට අනාගත පැවැත්ම පරිවර්තනය කරන දිසාව ගැන තීරණය කරනු ඇත. එහි හොඳ නරක ගැන මතයක් අප සියලු දෙනාටම තිබේ. අපට අවශ්‍ය යහපත් අනාගතයකි. දේශපාලන අරගල, විවේචන, දොස් හා මුෂ්ටි ප්‍රහාරවලින් රට දියුණු කළ හැකි නම් ශ්‍රී ලංකාව අද සුරපුරයකි.


 සාරා කන්දේගොඩ විසිනි



අදහස් (1)

ප්‍රශ්නවලට උත්තරය ජනප්‍රිය තීන්දුද?

vinivida Thursday, 23 December 2021 07:46 AM

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ තීරණාත්මක මොහොත උදා වෙමින් තිබේ. රටක ආර්ථික අර්බුද ඇතිවීමට පෙර අර්බුදය කලින් හදුනාගෙන පිළියම් නොසේවිම, අර්බුදය මගහැර යාමට උත්සහ කිරීම හෝ නොදැනුවත්කම, නිසි අවස්ථවේ නිසි විසදුම් නොගැනීම, වගකිව යුතු ආයතන වගවීමෙන් බැහැරවීම, දේශපාලන මැදිහත්වීම් නිසා හෝ මේ සියල්ලම නිසා රටේ ආර්ථිකය නිසි පිළියම් නොදීමේ ප්‍රතිපල නිසා සමස්ත රටවසියටම බලපාතිබේ. රටේ සියලු තින්දු තීරණ ගනු ලබන්නේ දේශපාලකයන් නිසා සමස්ත රාජ්‍ය ආයතන සියල්ල අඩපනව ඇත. රටේ පාර්ලිමේන්තුව මේවනවිට එකී නෙකට චෝදනා කර ගන්නා වේදිකාවක් බවට මිස රටේ ජනතවගේ ප්‍රසන පිළිබවද කතා නොකරති. රටේ අර්බුද සදහා ඔවුනට පිළියම් නොමැත. එසේ විසදුම් තිබේනම් ඔවුන් මේවන විට ලබා දී තිබේ. ශ්‍රී ලංකාව පුර්ණ වශයෙන් අලුත් මගකට ගැනීමට සිදුවනු ඇත. ඒ සදහා වාර්තා මන පාර්ලිමේන්තුවේ සිටින ඉතාම සීමිත පිරිසක් හැර අන් සියලු දෙනාම ඉවත් කල යුතුව ඇත.අලුත්ම අවංක ක්‍රියාශීලි, නිර්මාණශීලි විශ්වාසනීය කණ්ඩායමකට රටේ පාලනය බාර දිය යුතුව ඇත. රටේ මහජන දේපල විනාශ කල, මහජන මුදල් සොරාගත් සහ සැලසුමක් දැක්මක් නොමැති සියලු දෙනාම දේශපාලනයෙන් ඉවත් කල යුතුම වේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site