දිගු කලක සිට රට මුහුණ දෙමින් සිටින සමාජ-ආර්ථික-දේශපාලන අර්බුදය විසඳෙන බවක් නොපෙනේ. බඩගින්න, රෝ බිය, අගහිගකම්, නැතිබැරිකම් සහ සකලවිධ පීඩාවලින් දුක් විඳින ජනයා සුළුතරයක් නොව බහුතරයකි. නිදුක් නිරෝගී සුවපත් ආත්ම ඇත්තේ ඉතා ටික දෙනකු ය. එහෙත් ඔවුන් තවම නිවන් දැක නැත.
අයකු තම වැටුප් ආදායම වැඩිකර ගැනීම සඳහා වැඩ වර්ජනය කරන විට ජීවිතය නොව ප්‍රාණය යදිමින් හඬා වැළපෙන දෙස් දෙවොල් දෙන අන්ත අසරණ ජනයාගෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ කොරිඩෝ, ඕපීඩීඩි, ඩිස්පැන්සරි පිරී ඉතිරී ගොස් ය. ප්‍රාණ රැකීමේ වගකිව යුත්තන් ඒ ප්‍රාණ ඇපයට තබා ගෙන ය.
ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට බය ය. ගොවීන් කුඹුරට බය ය. ළමයි ඉස්කෝලෙට බය ය. මගීහු පාරට බය ය. දුගියෝ වෙළඳපොළට බය ය. සාගිනි ඇත්තෝ අහරට බය ය. පිපාසිතයෝ වතුරට බය ය.
හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන ලෙස හිස් ලූ ලූ අත දිව යනවා සේ එහෙ මෙහෙ දුවනවා මිසක කවරකු අතවත් මේ අර්බුදයට විසඳුමක් ඇති බවක් පෙනෙන්නට නැත. රටක් ලෙස මුහුණ පාමින් සිටින අර්බුදයේ තැන් තැන් සිය බල ව්‍යාපෘති ශක්තිමත් කිරීම සඳහා පාවිච්චි කරන්නන් හිඟ නැත. එහෙත් ඒ කිසිවකු රටේ ජනයා මේ දුකින් සහ සා දුකින් ගලවා ගැනීම පිළිබඳව හැඟීමකින් වැඩ කරන බවක් පෙනෙන්නට නැත.
රට සහ සමාජය ඔවුන්ගේ වගකීමක් නොව හුදු බලය ලබා ගැනීම සහ ආත්මාර්ථකාමී ව්‍යාපාර සඳහා ඒ දෙක ම දඩ බිම් ය. එවැනි පසුබිමක වැදගත් සමාජ වගකීමක් පිළිබඳ සිහි කැඳවීම මෙවර කිවි දා දැක්මේ’ අරමුණ ය. පැහැදිලි කිරීම් මිසක යෝජනා ඉදිරිපත් කිරීම එතරම් පලක් නැතැයි යන සිතීමක් පසුගිය කාලය තුළ ම සිතේ වැඩි දියුණු වූවත් එය නොතකා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද උත්සාහයක් ගනිමි.
බොහෝ දෙනා ජීවත් වන්නේ පවත්නා ක්‍රමය ගැන තෘප්තියකින් නො වේ. අතෘප්තියකින් ය. ඒ අතෘප්තිය සාධක කීපයක බලපෑම නිසා සිදුවන්නක් වුණත් නොරිස්සුම එන්නේ රටේ දේශපාලනය කෙරෙහිය. එහි ඇති වැරැද්දක් නැත. මේ බොහෝ දේට දේශපාලනය වගකිව යුතු ය. එහෙත් මේ අතෘප්තිකර දේශපාලන ක්‍රමය නඩත්තු කරන්නේත් එය රුස්සන්නේ නැති ජනයා ම ය. ගැටලුව ඇත්තේ තමන්ගේ ඒ දායකත්වය ගැන සවිඥානිකත්වයක් සහ ඒ ගැන දැන ගැනීමට උනන්දුවක් වුවමනාවක් මේ ජනයාට නැතිකමය.
මේ සවිඥානික බව නැති ප්‍රමුඛම තැන අන් කිසිදු තැනකට ආයතනයකට වඩා පවුල ය. ඊට හේතුව නම්, බොහෝ දෙනකුට දේශපාලනය ඇත්තේ හෝ දැනෙන්නේ පවුලෙන් පිට දෙයක් ලෙස වීම ය. පවුල අදේශපාලනික ය. ඉන් පිටත දේශපාලනිකය. එසේම පවුල පෞද්ගලික ය. ඉන් පිටත සමාජයීය ය. එ නිසා ම පවුල තුළ දේශපාලන වෙනස් වීම් හෝ සමාජයීය වෙනස් වීම් සිදු වන්නේ නැත. සිදුවන්නේ නම් ඒ කලාතුරකිනි. ඒ වෙනස් නොවන පවුලට එළියේ වෙනස්වීම් ගැන බලාපොරොත්තු නැත.
එළිය වෙනස් කිරීමට වුවමනාවකුත් නැත. ජනයා තමන්ගේ සත්‍ය ජීවිතය පවුල තුළ නොවෙනස්ව තබා ගනිමින් එළිය සමඟ ව්‍යාජ ජීවිතයක් නඩත්තු කරනු ලැබීම ඊට සම්බන්ධ ය. එළිය ට අදාලව දේශපාලන සහ සමාජ තීරණ ගැනීමට තරම් පවුල පරිණත නැත. ඒ නිසා සමාජය සහ දේශපාලනය සම්බන්ධයෙන් පවුල ගන්නේ සමාජ-දේශපාලන අවබෝධය මත පදනම් වූ සමාජයීය හෝ දේශපාලනික තීරණ නොව තනිකරම අදේශපාලනික සහ සමාජයීය නොවන අඥාන පෞද්ගලික තීරණ ය.
බොහෝ තරුණ තරුණියන් කියන ආකාරයට ඔවුන් නියෝජිතවරණවල දී ඡන්දය දී ඇත්තේ තම දෙමව්පියන් හෝ ලේ ඥාතීන්ගේ පුරුද්දට සහ බහට අනුව ය. එය එක උදාහරණයකි. එහෙත් සුලබ තත්ත්වයකි. එකම කල්ලි ලංකාවේ දේශපාලන බලය අත්පත්කර ගන්නේ මෙන්න මේ හේතුව නිසා ය. තම තමන්ගේ දේශපාලන ගමනේ සැමරුම් උත්සව ගන්නා ප්‍රාදේශීය පාලකයන්, තමන් ආ ගමනේ සැබෑ ගෞරවය සහ අයිතිය එතනට රැස්වී සිටින ඡන්ද හිමියන්ට හිමි විය යුතු යැයි කියන්නේ ඒ නිසා ය. හැබැයි මේ පාලකයන්ගේ සහ ඔවුන්ගේ සමීපතමයන්ගේ ජීවිත සකල සිරින් පිරී ගොස් ය. එහෙත් අර ප්‍රවෙනිදාස මානසිකත්වයක් සහිත ඡන්ද හිමියන්ගේ ජීවිත ඇත්තේ සකල දුකින් පිරී ඉතිරී ය. ඔවුන් එය සලකන්නේ වෙනස් කළ නොහැකි පව් පින් සහ දෙවියන් මත තීරණය වන වෙනස් කළ නොහැකි ඉරණමක් ලෙස ය.
එබැවින් මේ අසරණ ඡන්ද හිමි ප්‍රවේනිදාසයාගේ සත්‍ය ජීවිතය පටු ය, සරළ ය, කෙටි කාලසටහන් සහිත ය, කන බොන අඳින ලගින සහ රමණය මුල් කරගත් අර්බුදකාරී ඇවතුම් පැවතුම් පමණකි ය, සාමුහික එහෙත් හුදකලා එකක් ය, නිරන්තර සැකය සහ බිය ය, අසරණ ය, දුක්ඛිත ය. එහෙත් ඒ සියල්ල සඟවා සිටීමට ගන්නා වෙහෙස අති මහත් ය. මේ හුදකලා මනුසතා දඩයම් කිරීමට පැමිණෙන ප්‍රධාන බලවේග නැතහොත් දඩයම්කරුවෝ දෙදෙනෙකි. ඒ වෙළඳපොළ සහ නග්න බල-දේශපාලනය ය.
වෙළඳපොළ දෛනික ය, සැම මොහොතකම සෑම තැනකම ය. නග්න බල-දේශපාලනය දෛනිකව කුරුමානම් අල්ලමින් වෙලාව ආ විට ගොදුර ඩැහැ ගනී. ඩැහැගැනීම සිදුවන්නේ කලින් කලට ය. මේ දඩයම්කාර බලවේග දෙක අතර ඇත්තේ අන්‍යොන්‍ය සහචර සම්බන්ධයක් ය. මෙරට දශක ගණනාවක් තිස්සේ නඩත්තු වන්නේ ඒ සම්බන්ධය සහිත වෙළඳපොළක් සහ දේශපාලනයක් ය. ගොදුරු හුදකලා නිසා සහ දඩයක් කරුවන් හඳුනා ගැනීමේ දේශපාලන සහ සමාජයීය අවබෝධයක් නැති නිසා ඉන් ගැලවීමක් බේරීමක් ඒවාට නැත.
පවුලේ හුදකලා බව ආකාර තුනකි. පවුල බාහිර සමාජයෙන් සමාජ දේශපාලන සංවාදයෙන් හුදකලා වීම, පවුල අනෙකුත් පවුල් වලින් හුදකලා වීම සහ පවුලේ සාමාජිකයන් සිය පවුල තුළම හුදකලා වීම ඒ ආකාර තුන ය. මේ හුදකලා බැවින් මිදීමට සමකාලීන පවුල් ගන්නා උත්සාහය එක්කෝ අල්පය; නැතහොත් අසාර්ථකය. ඒ සඳහා පාසල් නමින් ඇති විභාග දෙපාර්තමේන්තුවේ විභාග ශාලාවලට කළ හැකි දෙයක් නැත. ඔවුන් කරනුයේ විභාග සඳහා ළමයින් පුරුදු පුහුණු කිරීම පමණක් ය.
ඒ නිසා ම පාසල ද සමාජයීය නැත. එනම් සමාජයීය සංවාද නැත. පවුලෙන් සමාජයීය නොවන කෙනාට පාසලෙන් ද පිහිටක් නැත. ඇතැම් විට පාසල පවුලට වඩා ප්‍රතිගාමීය. ආගමික ස්ථාන ඊට දෙවෙනි නැත. ජනයා ශිෂ්ට කිරීම සහ සමාජයීය කිරීම හැර අනිත් හැම දෙයක් ම කිරීමට ඒවා දක්ෂය, පක්ෂය. අනෙකුත් සියලුම රාජ්‍ය සහ ඉන් බාහිර ආයතනවල පුද්ගලවාදී බව, පටුබව සහ ප්‍රතිගාමීත්වය ඉහත කී පවුල පාසල පන්සල පල්ලිය කෝවිල ආදී ආයතනවල හැසිරීම් රටාවේ දිගුවක් ය.
මෙවැනි පසුබිමක නඩත්තු වෙන්නේ පැරණි වැඩවසම් දේශපාලන සම්ප්‍රදාය ම මිස ජනයා පීඩා ගැන දැනුවත්, ඊට එරෙහිව වැඩ කිරීමට සූදානම්, පීඩාවෙන් තොර, ප්‍රීතියෙන් සහ ගෞරවයෙන් යුත් නිදහස් ජීවිතයක් සඳහා වූ ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් නොවේ ය. දේශපාලනයේ ප්‍රබල වී ඇත්තේ රදළ - අතවැසි සම්බන්ධතා ය. රදලයන්ගෙන් කුමන පීඩා නින්දා පැමිණිය ද ගැත්තන්ට යමක් ලැබේවි යන පරම්පරාගත දාසයන්ගේ මානසිකත්වයෙන් සහ බැඳීමෙන් බහුතරයක් ඡන්ද අයිතිකරුවන් ගැලවී නැත. ගැතිව සිටීමේ ඉඩකඩ මිස ඉන් මිදීමේ නිදහස තවම ඔවුන්ට ලැබී නැත.
වර්තමාන සේවාදායක-අනුග්‍රාහක දේශපාලනය යනු තවමත් සක්‍රීය රදල - ප්‍රවේනිදාස, එනම් පරම්පරාවෙන් ම දාස, අවිඥානයේ සමකාලීන රූප කාය බව අප වටහා ගත යුතුම ය. අන්ත ප්‍රතිගාමී කල්ලි වෙන්ව සහ කලවම්ව මාරුවෙන් මාරුවට ආණ්ඩු බලය පැහැර ගන්නේ එවැනි වැඩවසම් රදල-ප්‍රවේනිදාස සම්බන්ධතා ප්‍රබල ලෙස නඩත්තු වන නිසා ය. පෙනුමෙන් ම කවුරුන් දැයි කිව හැකි ජන ගංගා පාලකයන් දෑලේ ගලා යමින් වසර හැත්තෑ හතරක් තිස්සේ රටට කියා දෙන්නේ ඒ පාඩම ය. මේ ජන ගංගා මේ ආකාරයෙන් දශක කීපයක් තිස්සේ ගැලීමට පවුල, පාසල, පන්සල, පල්ලිය, කෝවිල ලබාදෙන දායකත්වය අති මහත් ය.
එවැනි යථාර්ථයක රටට අවශ්‍ය වන්නේ පාලකයන්ගේ ප්‍රර්ශනාත්මක බලය සහ ශක්තිය බවට පත් වී ඇති ප්‍රවේනිදාසයන් ජනතාව බවට පරිවර්තනය කිරීමේ ව්‍යායාමයකි. එසේම පවුල, පාසල, පන්සල, පල්ලිය, කෝවිල, සමාජයීය කිරීමේ ව්‍යායාමයකි. රට සමාජයීය කළ හැක්කේ එවිට ය. විශේෂයෙන්ම සමාජ දේශපාලන සංවාදවලින් තොර, හුදු පරිභෝජනය ගැන පමණක් දොඩමලුවන, වෙළඳපොළේ සහ කල්ලි දේශපාලනයේ දඩයම් සහ ගොදුරු බවට පත් වී ඇති පවුල දියුණු සහ පරිණත සමාජ දේශපාලන සංවාද මණ්ඩපයක් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණයකි. රට වෙනස් කිරීමට නම් පවුල වෙනස් කළ යුතුම ය. සමාජයීය කළ යුතුම ය. දේශපාලනික කළ යුතුම ය.
තැරව්කාර කොම්පැනි නාලිකාවලින් ගලවා ගත යුතු ම ය. එය පදනම වෙනස් කිරීමකි. එවිට පන්සලත්, පල්ලියත්, කෝවිලත් ධර්මය අවබෝධ කරගනු ඇත. අලුත් බණ අලුත් යාඥා අලුත් ස්ත්‍රෝත්‍ර ඇසෙනු ඇත. රොටී තැටියේ කැවුම් බැදීම කළ නොහැක. දින කීපයක් ඉක්ම ගිය ද මවුන්ට් බැටන් ආණ්ඩුකාරයාගේ බිරියට සුබ උපන් දිනයක් පතමි. ඒ ඇය ඉන්දියාවේ දී අසරණයන් වෙනුවෙන් කළ දෑ වෙනුවෙනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ධම්ම දිසානායක
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පවුලේ අවුල ලිහා බැලීම