IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පෝසතාට සහන: දුප්පතාට බදු පිට බදු

බදු සම්බන්ධයෙන් සමාජ ආන්දෝලනයක් ඇතිවෙමින් තිබෙන ආකාරයක් දැකගත හැකිය. ඒ සමාගම් ලාබය මත සියයට 25ක අධිභාර බද්දක් අය කිරීමට අදාළ කටයුතු සම්පාදනය වීමත් සමගය. මේ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට රටේ පවත්නා බදු ක්‍රමය කුමක්දැයි අවබෝධ කරගත යුතුය. රජයක් තම ආර්ථික, සමාජ අරමුණු ඉටුකර ගැනීමට අරමුදල් ලබා ගන්නා ප්‍රධාන ක්‍රමවේදය වශයෙන් බදු හඳුන්වා දිය හැකිය.

ලෝකයේ විවිධ රටවල විවිධාකාරයේ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබයි. ඇතැම් රටවල් පුළුල් බදු පදනමක් සහිතව තම රටෙහි ආර්ථික හා සමාජ අවශ්‍යතා ඉතාමත් සාර්ථකව මෙහෙයවීමට බදු ක්‍රමය හැඩ ගස්වාගෙන තිබේ. එහෙත් තවත් රටවල් ඉතාමත් දුර්වල ආකාරයේ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

මෙවන් පසුබිමක ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වූ බදු ව්‍යුහය රටට කෙතරම් යෝග්‍ය ද බදු ක්‍රමයෙහි කරනු ලබන වෙනස්කම් ලාංකික සමාජ හා ආර්ථික ක්‍රමයට කවරාකාරයෙන් බලපා ඇත්ද, වර්තමානයේ වරින් වර කරනු ලබන බදු සංශෝධන හේතුවෙන් ඇති කරනු ලබන සමාජ හා ආර්ථික ගැටලු කවරේද, රටට වඩාත් හිතකර ආකාරයට බදු ව්‍යුහයක් ගොඩනැගීමට නම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යනාදිය විමසා බැලීම මේ මොහොතේ වැදගත්ය.

ලෝකයේ ඕනෑම රටක රාජ්‍ය අය බදු පැනවීමේ මූලික පරමාර්ථය ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීමය. බොහෝ රටවල් මින් ඔබ්බට ගිය අභිමාතාර්ථ රාශියක් ඉටුකර ගැනීමට බදු ක්‍රමය උපයෝගී කරගන්නා බව පැහැදිලිය. රට තුළ ආදායම සහ ධනය බෙදී යාමේ විෂමතා අවමකර ගැනීමට, ආර්ථික සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කිරීමට අවශ්‍ය සානු බලය ඇති කිරීමට, ආර්ථිකයේ පමුඛ අංශවල ආයෝජන ධෛර්යවත් කිරීමටද, ඉහළ සමාජ පිරිවැයක් ගෙනදෙන භාණ්ඩ හා සේවා වන සිගරට් මත්පැන් පරිභෝජනය අධෛර්යවත් කිරීමටද, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම හා සැපයුම කළමනාකරණය සඳහාත් රටක බදු ප්‍රතිපත්තිය යොදාගත හැකිය. රටකට සිතෙන සිතෙන ආකාරයට බදු පැනවීමට හෝ බදු වර්ග තීරණය කිරීමට හෝ අවකාශ නැත. එසේ කරන්නේ නම් එහි ආර්ථික හා සමාජ ප්‍රතිවිපාක අසතුටුදායක වන්නට පුළුවන.

සාමාන්‍යයෙන් රටක ක්‍රියාත්මක කළ යුතු බදු වර්ග සහ ඒවායේ අනුපාත තීරණය කිරීමේ දී පොදුවේ පිළිගත් බදු අය කිරීමේ මූලධර්ම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කිසියම් ආර්ථිකයක රජයේ බදු ප්‍රතිපත්තියෙන් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිවිපාක හැකිතාක් අවමකර ගැනීමට රට තුළ ක්‍රියාත්මක බදු ක්‍රමය කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා බලධාරීන් විසින් ගොඩනගනු ලබන බදු ප්‍රතිපත්තිය තුළ මෙකී මූලධර්මවලට ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතුය. මෙම මූලධර්ම අතර සාධාරණත්වය, නිශ්චිත බව, පිරිමැසුම් බව, පහසුව, කාර්යක්ෂමතාව, නම්‍යශීලී බව වැදගත්ය. කෙසේ වුවත් ලංකාව තුළ මේ දක්වා ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිපත්තියේ මේ ආකාරයේ න්‍යායාත්මකව වැදගත්වන කරුණු කිසිවක් සැලකිල්ලට ගෙන ඇති ආකාරයක් පෙනෙන්නට නැත. රට තුළ ඉතාමත් සංකීර්ණ බදු ව්‍යුහයක් නිර්මාණයවී ඇත්තේ මේ නිසාය. බදු ක්‍රමයෙන් සාධාරණත්වය හා සමානාත්මතාව කෙරෙහි අවධානය යොමු කිරීමක් ද දක්නට නැත.

ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් කාර්යක්ෂමව උපයෝජනයට යොදා නොගන්නා ආකාරයක් ජනතාවට පෙනෙන්නට තිබේ. බදු ගෙවීම් පැහැර හැරීමට ජනතාව පෙළඹවීමට මෙය හේතුවකි. ඒ වගේම රටේ බදු ක්‍රමය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට ජනතාව පෙළඹවීමක් ද දක්නට නැත. මධ්‍යම රජයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සිටින්නේ නිලධාරීන් 2600 කට ආසන්න සංඛ්‍යාවකි. බදු ක්‍රමය සංකීර්ණවීමත් එය ක්‍රියාවට නැංවීමට මානව හා භෞතික සම්පත් නොමැතිවීමත් නිසා බදු පරිපාලන ක්ෂේත්‍රයේ ඇත්තේ අකාර්යක්ෂමතා රාශියකි.

ලෝකයේ දියුණු බොහෝ රටවල බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය.. ප්‍රංශය, බෙල්ජියම, ස්වීඩ්න්, ෆින්ලන්ඩ්, ඩෙන්මාර්කය, ඉතාලිය, ඔස්ට්‍රියා වැනි යුරෝපීය රටවල සාමාන්‍යයෙන් රජයේ බදු ආදායම එම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 40 ඉක්මවන බව දැකගත හැකිය. එහෙත් චීනය, ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, ලංකාව ආදී රටවල එම අගය සියයට 15 කට වඩා අඩු අගයක පවතින බව පෙනෙන්නට තිබේ. ඒ වගේම ලංකාව ආදී දියුණු වෙමින් පවතින රටවල බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට පසුගිය කාලය පුරා ක්‍රමයෙන් පහළ යාමක් ද දැකගත හැකිය.

ලංකාවේ බදු ඉතිහාසය දෙස බලන විට ඉහළ බදු අනුපාතයක් පවතින්නේ 1978 දීය. එදා රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 24 කි. වසර 2000 දී එම අගය සියයට 14 දක්වා අඩුවී තිබේ. 2010 දී මේ අගය සියයට 11කි. 2020 වන විට මේ අගය සියයට 8 දක්වා අඩුවීමක් දැකගත හැකිය. මේ රටේ එක් පුද්ගලයකු ගෙවනු ලබන නාමික බදු ප්‍රමාණය හෙවත් ඒක පුද්ගල වාර්ෂික නාමික බදු ප්‍රමාණය ද ගණනය කළ හැකිය.

1978 ඒක පුද්ගල වාර්ෂික නාමික බදු ප්‍රමාණය රුපියල් 727 කි. වසර 2000 දී එම අගය රුපියල් 9548 කි. 2010 දී එම අගය රුපියල් 35054 කි. 2019 වන විට මේ අගය රුපියල් 79,572 ක් වී තිබුණි. 2020 දී එම අගය රුපියල් 55,501 කි. 2019 වනවිට ලංකාවේ එක් පුද්ගලයකු සාමාන්‍යයෙන් දිනකට රුපියල් 218 ක මුදලක් බදු වශයෙන් ගෙවූ බවය. 2020 කොවිඩ් වසංගතය සමග එම අගය රුපියල් 152 ක් දක්වා පහළ යාමක් දැකගත හැකිය.

සාමාන්‍යයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලක් 2020 දී කොවිඩ් වසංගත කාලයේ දී දිනකට රුපියල් 600 ක පමණ මුදලක් බදු වශයෙන් ගෙවා තිබේ. මෙය විශේෂිත කරුණකි. මෙහි බැරෑරුම්කම් පෙන්වනු ලබන්නේ ලංකාවේ වක්‍රබදු ප්‍රතිශතය ඉතා ඉහළ අගයක පැවතීම හේතුවෙනි. 2020 මහ බැංකු වාර්තාව අනුව සමස්ත ආදායම තුළ වක්‍ර බදු ප්‍රතිපත්තිය සියයට 78 කි.

මේ අනුව රටේ සෑම පවුල් ඒකකයක්ම 2020 දී දිනකට රුපියල් 474 ක් රජයට බදු වශයෙන් ගෙවා තිබේ. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණු රාශියක් පැවතියත් ප්‍රධාන කරුණු දෙකක් පමණක් ගෙනහැර දැක්විය හැකිය. හතර දෙනෙක් සිටින ග්‍රාමීය දිළිඳු පවුල් ඒකකයක දිනක ආදායම රුපියල් දහසක් වන්නේ නම් (මාසික ආදායම් දින 30න් බෙදා ලැබෙන ගණන) එම ආදායමෙන් අඩක් පමණ සෑම දිනකම රජයට බදු වශයෙන් ගෙවන බව එක් කරුණකි. මේ බදු ගෙවීම වෙනුවෙන් ඔවුන් බුක්තිවිඳින සේවාවක් ද නොමැතිවීම දෙවැන්නය.

ජනතාවගෙන් බදු හරහා මෙලෙස අයකර ගන්නා මුදල් ජනතාවට සේවා සැපයීමට වියදම් කරන බව රජය පැත්තෙන් ගොඩනැගෙන තර්කයයි. එහෙත් ලබාගන්නා බදු මුදල්වලින් සියයට 75 ක පමණ ප්‍රතිශතයක් යෙදවෙන්නේ රාජ්‍ය ණය මත පොලී ගෙවීමටය. ඒ වගේම ශ්‍රීලංකන් ගුවන් සේවාව, ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්‍ඩලය ඇතුළු අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය නඩත්තුවට යොදවන්නේ ද දුප්පත් ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල්ය.

මෙම ආයතන සත්‍ය මිල ගණන් අය නොකර සහන මිල ගණන් අයකිරීමෙන් එම සහනයෙන් වැඩි ප්‍රතිලාභ ලබන්නේ ඉහළ ආදායම් ලබන සුළු පිරිසකි. ඛනිජ තෙල් සංස්ථාව ලීටරයකින් රුපියල් 30 ක පාඩුවක් ලබමින් සහන මිලට ඛනිජ තෙල් අලෙවි කරන්නේ යැයි සිතමු. ඒ අනුව දිනකට ඉන්ධන ලීටර 10 ක් භාවිතා කරනු ලබන දේශපාලනඥයකුට හෝ ව්‍යාපාරිකයකුට ලැබෙන සහනයේ වටිනාකම රුපියල් 300කි. දිනකට ඉන්ධන ලීටර 2ක් භාවිතා කරනු ලබන ත්‍රීරෝද රථ හිමියකුට මෙයින් ලැබෙන සහනය රුපියල් 60 ක් පමණි. පොදු ප්‍රවාහන සේවාව භාවිත කරනු ලබන විශාල පිරිසක් මේ රටේ සිටිති.

ඔවුන්ට දිනකට හිමිවනුයේ රුපියල් පහක හෝ දහයක සහනාධාරයක් පමණි. පාපැදියෙන් හෝ පයින් ගොස් තම දෛනික ආර්ථික කටයුතුවල නියැලෙන අයකුට හෝ එදිනෙදා කුලී වැඩක නිරතවන අති බහුතරයකට මේ ඉන්ධන සහනයේ වාසියක් ලැබෙන්නේ නැත. එහෙත් ඔවුන් ද දිනකට තම පවුල වෙනුවෙන් අවම වශයෙන් රුපියල් 500 ක මුදලක් බදු වශයෙන් ගෙවන බව අමතක නොකළ යුතුය. මෙරට ක්‍රියාත්මක බදු ක්‍රමය කොතරම් බියකරු සහ වැරැදි සහගත ද යන්න මේ කාරණාවලින් ඕනෑම කෙනකුට අවබෝධ කරගත හැකිය.

ලෝකයේ පවත්නා රටවල් අතර දිළින්දන්ගෙන් බදු අයකර ධනවතුන්ට සහනාධාර ලෙස බෙදාහරින රටක් ලෙස ලංකාව ඉදිරියෙන් සිටී. 1978 න් පසු 1987දී ආචාර්ය එච්.එස්. වනසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව සහ 2009 මහාචර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් බදු කරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා දෙකක් පත්කර තිබුණි.

බදු ක්‍රමය සංශෝධනයට අවශ්‍ය නිර්දේශ රාශියක් මේවායෙන් ලබාගෙන තිබේ. එහෙත් එම නිර්දේශ ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීම කිසි විටෙක සිදුව නැත. බදු ක්‍රමය සරල කිරීම, ඍජු බදු වැඩිකිරීමේ අවශ්‍යතාව, වක්‍රබදු ක්‍රමයෙන් අඩු කිරීමේ වුවමනාව බදු ක්‍රමය කාර්යක්ෂම කිරීම යනාදී නිර්දේශ එදා වගේම අදට ද වලංගුය. 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක ණය සැපයීමේ දී පැනවූ එක කොන්දේසියක් වූයේ බදු ක්‍රමය සංශෝධනය වියයුතු බවය. ඒ අනුව එවක පැවැති ආණ්‍ඩුව බදු ක්‍රමයේ යම් යම් වෙනස්කම් කළේය. 2012 වනවිට රජයේ බදු ආදායම රුපියල් බිලියන 908 ක් වූ අතර එය 2019 වනවිට රුපියල් බිලියන 1735 දක්වා වැඩිකර ගැනීමට හැකිවී තිබුණි.

මේ හේතුව නිසා 2019 වනවිට ඒක පුද්ගල බදු ගෙවීම වසරකට රුපියල් 79600 කට ආසන්න වුණි. එයින් සියයට 76 ක් වූයේ වක්‍රබදුය. 2019 දී දිනකට එක් පුද්ගලයකු ගෙවූ බදුවල අගය රුපියල් 218 දක්වා ඉහළ ගියේය. ඒ අනුව හතර දෙනකුගෙන් යුත් පවුලක් දිනකට රුපියල් 872 ක් බදු වශයෙන් ගෙවන තත්ත්වයක් නිර්මාණය වූයේය. වක්‍ර බදුවලට මෙය ගැළපූ විට දිනකට රුපියල් 662 ක් පමණය. මෙය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි බදු බරකි.

කෙසේ වුවත් 2019 බලයට පත්වූ නව පාලනය තම දේශපාලන වාසි තකා බදු ක්‍රමය යම් ආකාරයක සංශෝධනයකට ලක් කළේය. ඒ අනුව වැට් බදු අනුපාතිකය විශාල ලෙස පහළ දැමීම, ආර්ථික සේවා ගාස්තු ඉවත් කිරීම, ආදායම් බදු ගෙවිය යුතු සීමා (ස්ථර) ඉහළ දැමීම, තෝරාගත් ව්‍යාපාරික අංශවලට සහන සැලසීම යනාදිය ඒ අතර ප්‍රමුඛය. මේ බදු සංශෝධන සහ කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 500 කට වඩා වැඩි ගණනකින් පහළ යාමක් ද දැකගත හැකිය.

මෙම පසුබිම තුළ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයේ දී බදු සම්බන්ධ යම් යම් ගැළපීම් කිරීමට උත්සාහ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස යෝජනා කළ අධිභාර බද්ද ක්‍රියාත්මක කිරීමට ආණ්‍ඩුව කටයුතු සම්පාදනය කරමින් සිටී. 2020/ 2021 තක්සේරු වර්ෂයේ දී බදු ගෙවිය හැකි ආදායම රුපියල් බිලියන දෙකට වඩා වැඩි වන විට ඒ මත සියයට 25 ක අධිභාර බද්දක් පැනවීම අයවැයේ යෝජනාවය.

මේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශයේ වෙනම ආයතනයක් යටතට පත්කිරීමට ද කටයුතු කරමින් සිටී. සේවක අර්ථ සාධක අරමුදල මෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ද මෙම බද්දට යටත් කොට තිබේ. ඒ අනුව මෙය රටේ සාමාන්‍ය ජනතාව මත පනවනු ලබන අධිභාර බද්දක් බව පෙනෙන්නට තිබේ. ඒ වගේම මෙරට ඇති අතලොස්සක් වූ මහා පරිමාණ ව්‍යාපාරවලට ද මෙම අධිභාර බද්ද අහිතකරව බලපාන්නට පුළුවන. විවිධ අංශවලින් විරෝධතා මතුවෙමින් පවතින්නේ එකී කාරණා මුල්කරගෙනය.

ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් අනෙකුත් ආර්ථික ගැටලුවලට විසඳුම් සොයන ආකාරයටම බදු ව්‍යුහය ද ගොඩනගා තිබේ. බදු අයකිරීමේ දී සැලකිලිමත් වියයුතු ප්‍රධාන මූලධර්ම පසෙකලා ඔවුන්ට හිතෙන හිතෙන ආකාරයට විවිධ බදු පැනවීමටත් පවත්නා බදු ඉවත් කිරීමටත් එහිදී කටයුතු කර තිබේ.

මේ නිසා බදු ක්‍රමය පිළිබඳ ජනතාවගේ විශ්වාසනීයත්වය පහළ ගොස් දේශීය නිෂ්පාදකයන් සහ දෙස් විදෙස් ආයෝජකයන් අධෛර්යවත් වීමක්ද දැකගත හැකිය. මෙවන් සංකීර්ණ බදු ක්‍රමයක් නඩත්තු කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන් සහ රාජ්‍ය බදු නිලධාරීන් කැමැත්තෙන් සිටින්නේ ඇයි? ඒ පවත්නා බදු ක්‍රමය ඔවුන්ගේ වාසියට අවශ්‍ය සානුබලය සපයන නිසා විය හැකිය.

සටහන – චමින්ද මුණසිංහ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජෙයෂ්ඨ කථිකාචර්ය මහාචාර්ය වසන්ත අතුකෝරල



අදහස් (2)

පෝසතාට සහන: දුප්පතාට බදු පිට බදු

කමල් ගමගේ Monday, 14 February 2022 04:28 PM

අද ඇතිවී ඇති ආර්ථික පරිහානියට හේතුව අනිවාර්යයෙන්ම මේ දුප්පතුන් මරාගෙන කන බදු ප්‍රතිපත්තියයි. මේක වෙනස් කරන්න කොන්ද පණ තියන කණ්ඩායමක් හොයමු...

:       1       8

kumaara Monday, 14 February 2022 07:23 PM

මහාචාර්යවරු ඇතුලු විද්වත් පිරිස මෙම කටුක යථාර්ථය ජනතාවට පෙන්වා දීම වැදගත්... මෙයට පෙර මහාචාර්ය ගුණරුවන් ද මේ ගැන සාකච්ඡා කර තිබුණි. ණය ගෙන තැනු අධිවේගී මාර්ග, රංගන ශාලා, ක්‍රීඩාංගණ, සාමාන්‍ය මහජනතාවට කිසිඳු ප්‍රයෝජනයක් නැත. සහන මත දුවන ගුවන් යානයක් අඩුගානේ බිම තිබියදීවත් දැක නැති අය කොතෙක්ද ..? විදුලිය යන්තම් පහනක් දල්වා ගෙන දුප්පතුන් සිටියදී වායු සමීකරණ සඳහා ගෙවති. ජලයද එසේමයි. ඉන්ධනද එසේමයි. මේ නිසා අනිවාර්යයෙන් ඒවායේ සත්‍ය මුදල අයකර අවශ්‍යම නම් දුප්පතුන්ට සහණයක් දිය හැකියි. ඉන්ධන සහනය දිය යුත්තේ බස්රථ සඳහා පමණි. ත්‍රීරෝද රථ යනාදියට සහන දියයුතු නොවේ. (ඒවායේ යන්නේ පුලුවන් කමක් තියෙන නිසයි). විදුලිය යුනිට් 30 ක් ජලය යුනිට් 10 ක් භූමිතෙල් ලීටර 05 ක් පමණ දුප්පත් පවුලකට ලබාදීම ප්‍රමාණවත් වේ. ඉතිරි සියල්ල වාණිජ කුලී අයකළ යුතුයි. රෝහල්වලින් යම් ආදායම් මට්ටමකට එහා අනිවාර්යයෙන් ගාස්තු අයකළ යුතුයි. ලොකු පාසල්වලට නොමිලේ පොත් ඇඳුම් නොදිය යුතුයි. එසේම වාහන සඳහා අධික තීරු බදු අය නොකර පාවිචිචි කිරීම වියදමක් බවට පත්කළ යුතුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site