සන්ඬේ ටයිම්ස් දේශපාලක විශ්ලේෂක විසිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
ලබන වසරේ ජනවාරි මස පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට රජය, සෙමෙන් වුව ද, සහතිකවම සූදානම් වෙමින් සිටී. එසේ වුවත් නොයෙක් නීතිමය ගැටලු හමුවේ, පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් හටගෙන ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.
පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය, ලබන වසරේ ජනවාරි මස තුන්වැනි සතිය වන විට පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම සඳහා වන සැලසුම් දැනටමත් සකස් කොට අවසන්ය. දිවයින පුරා පළාත් පාලන ආයතන 325 ක් පවතින අතර, එයින් 271ක් ප්‍රාදේශීය සභා ද, 41ක් නගර සභා ද, 23ක් මහනගර සභා ද, වේ. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ජනතාව දැනුම්වත් කැරෙන ගැසට් ප්‍රකාශයක්, පළාත් පාලන සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ නියමය යටතේ සකස් කැරෙමින් පවතී. අමාත්‍යංශයේ සැලසුමට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මස 20 හෝ 27 වන දාය.
කෙසේවුව ද, අමාත්‍යංශයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ අද (9) දිනයේ රජයට, පාර්ලිමෙන්තුව හමුවේ සංශෝධන රාශියක් සම්මත කරගැනීමට හැකිවුවහොත් පමණි. මහනගර සභා සංශෝධන කෙටුම්පත, නගරසභා සංශෝධන කෙටුම්පත, සහ ප්‍රාදේශීය සභා සංශෝධන කෙටුම්පත, යන මෙම සංශෝධන දැනට පවතින්නේ දෙවන කියැවුම් අදියරේය. මෙම සංශෝධන සම්මත වීම හරහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාව, නව ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම සඳහා බලගැන්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ය.
“උදාහරණයක් හැටියට, කොළඹ මහනගර සභාවට නියෝජිතයන් පත්කරගත යුත්තේ, 66 දෙනෙක් කේවල ක්‍රමය යටතේත්, 44 දෙනෙක් සමානුපාතික ක්‍රමය යටතේත් බව, අමාත්‍යවරයාට ප්‍රකාශ කරන්නට සිදුවෙනවා. මේ හරහා කොළඹ මහනගර සභාවේ සාමාජික සංඛ්‍යාව 113ක සිට 110ක් දක්වා පහත වැටෙනවා.“ සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කීවේ ය.
එසේවුව ද, දැනට විසිරුවා හැර තිබෙන කොළඹ මහනගර සභාවේ එතෙක් සිටි සාමාජික සංඛ්‍යාව 53ක් බව ඔහු පෙන්වා දුන්නේ ය. අම්බලන්ගොඩ නගර සභාව තවත් උදාහරණයක් ලෙස ගත් ඔහු, එයට සාමාජිකයන් 12 දෙනෙක් කේවල ක්‍රමය යටතේත්, 8 දෙනෙක් සමානුපාතික ක්‍රමය යටතේත් පත්කර ගත යුතුව තිබෙන බව පැහැදිලි කළේ ය. මින් පෙර පැවැති ක්‍රමයට අනුව විෂය භාර අමාත්‍යවරයාට කළ යුතුව තිබුනේ ගැසට් නිවේදනයක් හරහා පළාත් පාලන ආයතනවලට සීමා පැනවීමත්, එම එක් එක් ආයතනය සදහා වන නියෝජිත සංඛ්‍යාව ප්‍රකාශයට පත්කිරීමත්, පමණක් බව පැහැදිලි කළ ඔහු, ආයතනයෙන් ආයතනයට සාමාජික සංඛ්‍යාව වෙනස් වන බව ද පෙන්වා දුන්නේ ය.
“මෙම සංශෝධන ත්‍රිත්වයට පාර්ලිමෙන්තුවේ අනුමැතියත්, කතානායකයාගේ අත්සනින් සහතිකයත් හිමිවේය කියා මා සිතනවා. 2017 මැතිවරණ ලේඛණය යටතේ මෙම පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන්නේ ද යන්න අප පැහැදිලි කරගත යුතුව තිබෙනවා. ඒ සම්බන්ධ කටයුතු මෙම මස 12 වැනිදා සිට කොට්ඨාස පදනමින් ආරම්භ වනු ඇති. මෙවැනි කොට්ඨාස 4000ක් තිබෙනවා. මේ සියල්ල අධ්‍යනය කර නිවේදනයක් නිකුත් කිරීම සදහා අපට සතියක් - දින දහයක් අතර කාලයක් අවශ්‍යයි. ඔක්තෝබර් 20 වැනිදා පමණ වන විට එම නිවේදනය නිකුත් කිරීමට අපට පිළිවන් වේවි.“
ධූර කාලය අවසන් වූ, සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා සදහා පළාත් සභාවලට නව නියෝජිතයන් පත් කරගැනීම සදහා මැතිවරණය කැදවෙන බව, මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව තිබුනේ පසුගිය 2 වැනිදාය. නමුත් පාර්ලිමෙන්තුවේ අනුමැතිය හිමි වූ පළාත් සභා පණත් කෙටුම්පත හමුවේ මැතිවරණ කොමිසමේ සැලසුම් සියල්ල ගඟට කැපූ ඉණි මෙන් වී ඇත.
’‘අලුත් නීතිය යටතේ සම්පූර්ණ පද්ධතියම වෙනස් වෙලා තිබෙනවා. කේවල සහ සමානුපාතික ක්‍රම අතර තිබූ 70ට30 අනුපාතය දැන් 60ට40 බවට පත්වෙලා තිබෙනවා. කාන්තා නියෝජනය සියයට 25ක් බවට පත්කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සදහන් කිරීමේ දී, මුල් කෙටුම්පතෙහි කාන්තා නියෝජනය වෙනම ලැයිස්තුවකින් තෝරාගත යුතු බව සදහන්ව තිබුණත්, මෙම නව සංශෝධන යටතේ කාන්තා නියෝජනයත් සමානුපාතික ක්‍රමය යටතට ගෙනවිත් තිබෙනවා.නව නීති අනුව මෙම මැතිවරණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සියයට සියයක්ම සමානුපාතික මැතිවරණ ක්‍රමයක් යටතේ. කොට්ඨාස මට්ටමින් ජය ලබන පුද්ගලයන් ජනතා නියෝජිතයන් ලෙස තෝරාගැනුනත්, ඉතිරිය සමන්විත වන්නේ ලැයිස්තුවෙන් තෝරාගන්නා පුද්ගලයින්ගෙන්.
මෙහිදී සියයට 25ක කාන්තා නියෝජනයක් පවතින බව කොමිසම සහතික කළ යුතුව තිබෙනවා.අතීතයේ පළාත් පාලන මැතිවරණයකින් ජයග්‍රාහකයින් තෝරාගැනුනේ මනාප ක්‍රමය යටතේ.දැන් එවැනි ක්‍රමයක් නැහැ. පරාජිතයන් නැහැ. සමානුපාතික ක්‍රමය යටතේ ආසන බෙදා දෙන්නට අප කටයුතු කරනවා.“ දේශප්‍රිය කීවේ ය.
ලබන ජනවාරි මස පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ මන්දැයි බොහෝ දෙනා නගන පැනයට පිළිතුරු දුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, මෙම වසරේ අවසානය දක්වා ගෙවීමට තිබෙන කාලයේ මැතිවරණ පැවැත්වීම සදහා සුදුසු දින ඇත්තේ තුනක් පමණක් බවත්, එම දින සියල්ලම සෙනසුරාදා දින බවත් පැවසුවේ ය. දෙසැම්බර් 2, 9 සහ 16 එම දිනයන්ය.
’‘දෙසැම්බර් මස 2 වැනිදා මහමුද් තුමාගේ උපන්දිනය යෙදී තිබෙන නිසා එදින අපට මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැ. දෙසැම්බර් මස 3 වැනිදා කියන්නේ පොහොය දිනයක්. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගය, දෙසැම්බර් මස 16 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි. මේ නිසා ඡන්ද මධ්‍යස්ථාන ලෙස පාසල් භාවිතා කිරීමට අපට හැකියාවක් නැහැ. මේ අනුව ඉතිරිවන එකම දිනය තමයි දෙසැම්බර් මස 9 වැනිදා. ඔක්තෝබර් මස අවසානයේ සිට ගෙවෙන දින 70 - 75 ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අප තීරණයකට එළැඹිය යුතුව තිබෙනවා. එහෙම බැලුවහම, සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ එන්නේ නත්තල් නිවාඩුව. ඒ විතරක් නොවෙයි, රජය පාර්ශවයෙනුත් මේ සම්බන්ධයෙන් යම් සූදානම් වීමක් සිදුකළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව රාජ්‍ය නිළධාරීන් මැතිවරණ රාජකාරි සදහා යෙදවීමට අපට හැකියාවක් නැහැ. මේ කරුණු සියල්ල සැලකීමේ දී මැතිවරණය පැවැත්වීමට වඩාත් සුදුසු වන්නේ ලබන වසරේ ජනවාරි මාසය.“ දේශප්‍රිය පෙන්වා දුන්නේ ය.
ආන්දෝලනාත්මක අයුරින් පාර්ලිමෙන්තුවේ සම්මත වූ පළාත් සභා සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් මතුව තිබෙන අතර, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට ද කටයුතු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමේ දී එහි සදහන් වන අයිතිවාසිකම් කඩවීම සිදුව ඇත්තේ විධායක හෝ පරිපාලනමය ක්‍රියාමාර්ගයක් නිසාද යන්න විමසා බලන අතර, එය සැලකිල්ලට ගෙන තමා චෝදනා ගොනු කර තිබෙන බව සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් හිටපු අගවිනිසුරුවරයා පැවසුවේ ය. පණත සම්මත වීම නීතිමය ක්‍රියාවලියක් යටතේ සිදුවූවක් වුව ද, එසේ යැයි අධිකරණය වැරදිකරුවෙක් කිරීමට තමා කටයුතු කර නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය. පාර්ලිමෙන්තුවේ පූර්ණ අනුමැතිය හිමිව ඇතැයි, එම පණත සහතික කිරීමට කටයුතු කළ කතානායක කරූ ජයසූරිය මහතාට ද, එන් සිල්වා චෝදනා කළේ ය.
උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ කතානායකවරයා පවසා සිටියේ මෙවැන්නකි.
“නැගී තිබෙන චෝදනා විනිශ්චය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දෙයක්. ඒ ගැන මම පැහැදිලි කිරීම් සිදුකළ යුතු නැහැ.“
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකළේ ය.
“අපගේ ව්‍යවස්ථාවට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවට හිමිව තිබෙන්නේ ගෞරවනීය ස්ථානයක්. කිසිම කෙනෙකුට ඊට විරුද්ධව කටයුතු කිරීම සඳහා අවසරයක් නැහැ. ස්වෛරීභාවය යනු රටේ ජනතාවට අයත් දෙයක්. 1947 ජගත් මානව හිමිකම් ප්‍රඥප්තියේ ඇති වගන්ති 30 අතුරින් 20කින්ම, ඕනෑම රටක පදනම විය
යුත්තේ ජනතාවගේ කැමැත්ත බව පැහැදිලි කර දී තිබෙනවා. මෙය මා නිතරම ජනතාව හමුවේ පවසන දෙයක්. මේ ජනතා කැමැත්ත නිදහස්ව හා සාධාරණව, ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලින් නිරූපණය විය යුතුමයි.“
1955 වසරේ දී මෙම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ද අත්සන් කළ බව ඔහු පැවසුවේ ය.
“නමුත් මම කියන්න ඕනේ මැතිවරණ කොමිසමට බැහැ රටේ නීතියට එරෙහි වෙන්න. අපට බැහැ ඒ සම්බන්ධයෙන් විරෝධතා පවත්වන්න, එහෙමත් නැති නම් වීදි ගානේ ටයර් ගිනි තියෙන්න. අපට කරන්න පුලුවන් එකම දෙය තමයි ජනතාව දැනුවත් කරන එක. මැතිවරණ කල් දැමෙන්න හේතුව මැතිවරණ කොමිසම නොවෙයි කියන එක ඔවුන්ට අවබෝධ කරවන එක.“
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග මා මෙම සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ රාජගිරියේ පිහිටි ඔහුගේ කාර්යාලයේදීය. එදින පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසාදෝ ඔහු පැළද සිටියේ කොලරය රහිත ටී ෂර්ටයකි. දේශපාලනය හා ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ සිය වියත් දැනුම විදහා දැක්වූ ඔහු විවිධ උදාහරණ ගෙන හැර දක්වමින්, මෙරට මැතිවරණ විකාශනයෙහි විවිධ අවස්ථා පැහැදිලි කළේ ය. වරක් උදාහරණයක් ලෙස සිය මිතුරකු මුහුණදුන් අවස්ථාවක් ගත් ඔහු, එම මිතුරා තම කුකුලු ගොවිපල ආරක්ෂා කරන්නටැයි කියා නිවසේ සිටි සුනඛයා එම ගොවිපල අසල බැද දැමීමට කටයුතු කළ ආකාරයත්, අවසානයේ ගොවිපල ආරක්ෂිතව, නිවස සොරුන් බිදිනු ලැබීමට හේතු වූ ආකාරයත් විස්තර කළේ ය.
වර්තමානයේ කිසිවෙකුටත් කිසිදු මැතිවරණයක් සුලු කොට තැකීමේ හැකියාවක් නොමැති බව දේශප්‍රිය අවධාරණය කළේ ය. එය 1946 පළාත් පාලන ආයතන මැතිවරණ ආඥාපණත ප්‍රකාරව කටයුතු කිරීමේ දී මතුවූ ප්‍රතිඵලයකි. 1991, 1997, 2001 සහ 2011 යන වසරවල දී, පළාත් පාලන ආයතන මැතිවරණය නිසි පරිදි පැවැත්වින. එහෙත් 1969 වසරේ දී, සැළසුම් කරගෙන සිටි අයුරින් මැතිවරණ පැවැත්වීමට බාධා එල්ල විය.එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ හදිසි නීතිය නිසා මෙම තත්ත්වය උද්ගත වූ අතර, විසදුමක් ලෙස එම රජය සිදුකළේ දිස්ත්‍රික් සංවර්ධන සභා හදුන්වාදීම හරහා එවක පැවැති නගර සභා, නාගරික සභා සහ ග්‍රාමීය සභා, ඒ යටතට පැවරීමය. උප මැතිවරණද මෙම සමයේ පැවැති අතර, 1971 මාර්තු මාසයේ කොළඹ මහනගර සභාවේ සුදුවැල්ල ආසනයේ පැවැති මැතිවරණය, ඒ අයුරින් පැවැත්වුනු අවසන් මැතිවරණ විය. සිරිසේන කුරේ මහතාගේ දේශපාලන ආගමනය සිදුවූයේ මෙම මැතිවරණයෙන් වීම විශේෂය. අනතුරුව රජය මුලු දිවයිනටම සමානුපාතික ඡන්ද ක්‍රමය හදුන්වාදුන්නේ ය. මෙය සිදුවූයේ මනාප ක්‍රමය හදුන්වාදීමට පෙරය.
1981 වසරේ දී, සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වින. උතුරු ප්‍රදේශයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වීමේ දී ඉතා අවාසනාවන්ත සිදුවීම් රැසක් සනිටුහන් වූ අතර, යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය ඒ අතරින් බරපතලම විය. 1987 වසරේ දී එවක බලයේ සිටි රජය මනාප ක්‍රමය හදුන්වාදුන්නේ ය. එම ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටිය ද, එම සමයේදීම අත්සන් තැබුනු ඉන්දු - ලංකා ගිවිසුම හමුවේ රටේ පැන නැගුනු කලබලකාරී තත්ත්වය ඊට බාධා පැමිණවීය. මේ තත්ත්වය යටතේ මැතිවරණය කල් දැමින.
කේවල සහ සමානුපාතික ඡන්ද ක්‍රමවල සුසංයෝගයෙන් යුතු මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කළේ කරූ ජයසූරිය - දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ පාර්ලිමෙන්තු තේරීම්කාරක සභාවය. පරාජිතයන්ට ද ජනතා නියෝජිතයන් ලෙස පත්වීම සදහා තම වාසනාව උරගා බැලීමට අවස්ථාව ලබාදීම සමානුපාතික ඡන්ද ක්‍රමය ද, මෙම මැතිවරණ ක්‍රමය යටතට නිර්දේශ කිරීමේ අරමුණ විය. 2012 අංක 12 දරන පණතින් මෙම මැතිවරණ ක්‍රමය බලාත්මක කැරින. මේ යටතේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට පුලුල් බලතල හිමිවිය. එම බලතල භාවිතා කරමින් විෂය භාර අමාත්‍යවරයා පළාත් පාලන ආයතනයන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ගත්තේ ය. පණත ප්‍රකාරව, කිසියම් පළාත් පාලන ආයතනයක සීමා සහ එයට තෝරාගත යුතු ජනතා නියෝජිතයන්ගේ සංඛ්‍යාව ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍යවරයා කටයුතු කළ යුතු විය. මෙම කරුණු පණතෙහි වූ දුර්වලතා වූ අතර, එම දේවල් පෙන්වා දීම මැතිවරණ කොමිසමේ වගකීම විය.
නීති වෙනස් කිරීමේ දී නීති සම්පාදකයන්ට ඇතැම් අවස්ථාවල දී යම් යම් කරුණු කාරණා අතපසු වේ. වෙනස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නීතියක ඇති යම් යම් අවසරයන් ඉවත් කරන ඔවුන්, එම අවසරයන්, සංශෝධනය කරන ලද නීතිය යටතේම ලබාදෙන පරිදි කරුණු ඇතුළත් කිරීමට හෝ, වෙනත් අදාළ නීතියක් යටතේ එම කරුණු ඇතුළත් කිරීමට හෝ කටයුතු නොකරන්නේ ය. එවන් බොහෝ වැරදීම් අදටත් එසේමය. 2012 - 2013 කාලයේ දී එවක පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියැවූ මැතිවරණ කොමිසම, ඔහුට දැනුම්දුන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් හෝ මැතිවරණ කොමිසම යටතේ නිකුත් කැරෙන ගැසට් නිවේදනයකින් හෝ, පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්විය හැකිවන පරිදි අදාළ නීතිවල ඇති තාක්ෂණික වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය බවය.
“එහෙම වෙලා තිබුණු එක වරදක් වුණේ අවසරලත් නියෝජිතයාට ලබා දී තිබූ නෛතික අර්ථදැක්වීම නීති සම්පාදකයින් අතින් ඉවත්වෙලා තිබීම. මේ නිසා අන්තිමට සිදුවුනේ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ මහලේකම්වරයාට ඔහු වෙනුවෙන් පෙනී සිටීමට පුද්ගලයකු නම් කළ නොහැකි වීම. ඒ නිසාම ඔහුට සිදුවුනා, නාමයෝජනා භාරගැනීමේ අවස්ථාවේ දී එකවර සියලුම මධ්‍යස්ථානවල පෙනී සිටින්නට. මේ සදහා ඔහුට තිබුණේ දින දෙහමාරක, එනම් නාමයෝජනා භාරදීමට අවසරය ලබා දී තිබූ, කාලයක් පමණයි. මිනිසෙකුට මෙය කිසිසේත්ම කළ නොහැකි දෙයක්.“
“ඇතැම් අය සිතනවා මෙවැනි දේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිකුත් කරන ගැසට් නිවේදනයකින් නිවැරදි කළ නොහැකි දේය කියා.“ දේශප්‍රිය කිවේ ය.
මෙම පණත් සාකච්ඡාවට ගැනීම සදහා අද (09) පාර්ලිමෙන්තුව රැස්වීම යනු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ අරමුණක් රජයට තිබෙන බවට ඇති ප්‍රබල සාක්කියකි. පාර්ලිමෙන්තු අනුමැතිය හිමිවීමෙන් පසු කතානායකවරයා එම පණත් සහතික කඅරනු ඇති අතර, පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇමැතිවරයාට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා අවසරය හිමිවන්නේ ඉන් පසුවය. අමාත්‍යවරයා එම නිවේදනය මෙම මස අග භාගය වන විට නිකුත් කරනු ඇතැයි අපේක්ෂිතය. එතැන් සිට දින 75ක් ඇතුළත මැතිවරණ පවත්වා අවසන් කිරීම, මැතිවරණ කොමිසම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. බොහෝ විට ලබන ජනවාරි මස 20 වැනිදා මැතිවරණ පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග බොහෝමයක් සදහන් කරන අතර, ඒ අනුව සැලකුවහොත් ලබන නොවැම්බර් මස අග භාගය පමණ වන විට නාමයෝජනා කැදවෙනු ඇත. මැතිවරණ කොමිසම පෙර අවස්ථාවල දී පවසා සිටියේ ලබන ජනවාරි මස 13 වැනිදා, පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම සදහා සුදුසුම දිනය බවය. එහෙත් එදිනට හින්දු භක්තිකයන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් උත්සවය යෙදී තිබෙන නිසා මැතිවරණ පැවැත්වීම සදහා දින වෙනස් කරගැනීමට සිදුව ඇත.
“ලංකාවේ මොන මැතිවරණය, මොන කාලයේ පවත්වයිද කියා මේ විශ්වයේ කාටවත් කියන්න බැහැ. පළාත් පාලන ආයතන මැතිවරණ නම් සාමාන්‍යයෙන් පහුවෙලා පැවැත්වෙන බව තමයි අපේ නම් අදහස.“ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේ ය.
මැතිවරණ ප්‍රමාදය සදහා හේතු ද ඔහු සිහිපත් කළේ ය. 2012 පළාත් පාලන ආයතන මැතිවරණ නීතිය යටතේ, සීමා නීර්ණක කමිටුවේ වාර්තාව ලැබුනු පසු එම වාර්තාව විවරණය කිරීම සදහා විවරණ කමිටුවක් පත්කිරීමේ අවසරය විෂය භාර අමාත්‍යවරයාට ඇත. ඒ අනුව 2015 නොවැම්බර් මස, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය මුස්තාපා, අශෝක පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් සිව්පුද්ගල කමිටුවක් (එක්සත් ජාතික පක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඉලංකෙටි තමිල් අරසු කච්චි, යන පක්ෂවල නියෝජිතයකු බැගින්), සීමා නීර්ණක කමිටුවේ වාර්තාව විවරණය කිරීම සදහා පත් කළේ ය.
“මේ කමිටුව සහ විෂය භාර අමාත්‍යවරයා පසුගිය දෙසැම්බර් මාසයේ දී සියලුම පක්ෂවල නියෝජනයෙන් සැදුම්ලත් සමුලුවක් අමතමින් කියා සිටියා කමිටු වාර්තාව මාස තුනක් ඇතුළත නිකුත් කරන බව. ඔවුන් පැවසුවා 2016 අප්‍රේල් මාසයේ දී මැතිවරණ පැවැත්වීමට හැකි බව. අප්‍රෙල් මාසයේ දී මැතිවරණ කොමිසම ඇති කෙරුනා. එහි සභාපතිවරයා ලෙස මට සැක තිබුනා මැතිවරණ ඒ අයුරින් පැවැත්වීමට හැකි ද යන්න සම්බන්ධයෙන්. ඒ නිසාම කටයුතු අවසන් කිරීම සදහා තවත් කල්ගත වනු ඇති බව මා කීවා. එම කටයුතු අවසන් වූ වහා දින 75ක් ඇතුළත මැතිවරණ පවත්වා අවසන් කළ හැකි බවද මා පැවසුවා. අශෝක පීරිස් කමිටු වාර්තාව නිකුත් වෙන්න 2017 පෙබරවාරි මාසය දක්වාම කල්ගතවුනා. එම මාසයේම 17 වැනිදා අමාත්‍යවරයා එය ගැසට් කළා.විවරණය අවසන් වුණත් මැතිවරණ පවත්වන සේයාවක්වත් පෙනෙන්නට නොතිබුණු නිසා ජනතාව ඇසුවා ඇයි මැතිවරණ පැවැත්වීමට නොහැක්කේ කියා. නමුත් අපට අවශ්‍ය වුණා සීමා, තාක්ෂණික දුර්වලතා, සහ පත්කළ යුතු සාමාජික ගණන සම්බන්ධයෙන් තිබුණු විවිධ මතිමතාන්තර ඉවත්කර ගන්නට. ගැටලු නිරාකරණය කරගන්නට.“
“2016 වසරේ මෙම කටයුතු සිදුවෙමින් පැවතිය දී, රජය නව පණතක් ඉදිරිපත් කළා කාන්තා නියෝජනය ඉහළ දැමීම අරමුණු කරගෙන. මෙම පණත අනුව, පළාත් සභාවක සියයට 25කට නොඅඩු කාන්තා නියෝජනයක් පැවැතිය යුතුමයි. ඔවුන් ඉදිරිපත් කළ යුතුව තිබුණේ වෙනම ලැයිස්තුවකින්.පැවැති පද්දතියට අනුව සිදුවුනේ, එක් කොට්ඨාසකින් තරග කිරීමට පුද්ගලයින්ට අවස්ථාව ලබා දී, ඔවුන් අතුරින් ජයග්‍රාහකයින් තෝරාගැනීමත්, පරාජිතයන්ගේ ලැයිස්තුවෙන්, තවත් පිරිසක් තෝරාගැනීමත්.“
“ඒ කියන්නේ නාමයෝජනා ලැයිස්තු තුනක් ඉදිරිපත් වෙනවා. එකක් කොට්ටාස පදනමින් තරගවැදීම සදහා. අනෙක පරාජිතයන් අතුරින් පිරිසක් තෝරාගැනීම සදහා. අවසාන එක කාන්තා පාර්ශවය සදහා. කොළඹ මහනගර සභාව සැළකුවොත්, එහි නියෝජිත පිරිස සමන්විත වනු ඇත්තේ 66 දෙනෙක් ඡන්දයෙන්, 19 දෙනෙක් පරාජිත ලැයිස්තුවෙන් සහ 28 දෙනෙක් කාන්තා ලැයිස්තුවෙන් ලෙස නියෝජිතයන් 113 දෙනෙකුගෙන්. මෙයට පෙර කොළඹ මහ නගර සභාවේ මුලු සාමාජික පිරිස 53ක් පමණයි. මා පෙර සදහන් කළ කාන්තා නියෝජනය අනිවාර්යය දෙයක්. 28 දෙනෙක් කාන්තා ලැයිස්තුවෙන් තෝරාගත යුතුමයි. එනිසා, මා සිතනවා ඔබට තේරුම්යනවා ඇති ඇයි මැතිවරණ කොමිසමට මැතිවරණ කැඳවිය නොහැක්කේ කියා. මොකද අපි මේ ගණන දන්නේ නැහැ. එය අමාත්‍යවරයා ගැසට් කර ප්‍රකාශයට පත්කළ යුතුමයි.“
“මේ සම්බන්ධයෙන් අප අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දීම් සිදුකළා. ඔවුන් වැඩ ආරම්භ කළේ 2015 වර්ෂයේ දී. 2017 අප්‍රේල් මාසයේ දී එක් එක් පළාත පාලන ආයතනකට නියම වන නියෝජිත ප්‍රමාණය විෂය භාර අමාත්‍යවරයා ගැසට් කළා. එය ජූලි මස පළමුවැනිදා සිට බලාත්මක වන බව ඔහු එහි සදහන් කර තිබුනා.“
“නමුත් ජූලි මාසයේ දී ඔහු පාර්ලිමෙන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කළා, තාක්ෂණික ගැටලුවලට විසදුම් අන්තර්ගත කර. නමුත් ඒ වන විට අපට එක් එක් කොට්ටාසයට පත්කර ගත යුතු නියෝජිත සංඛ්‍යාව ගැන තොරතුරු ලැබී තිබුනු නිසා, අපේ සැළසුම වුනේ ජූලි මාසයේ පළමුවැනි සතිය වන විට මැතිවරණ සදහා දිනයන් ප්‍රකාශයට පත් කරන්නට. ඒත් අමාත්‍යවරයා 2017 ජූනි මස 30 වැනිදා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කළා. මැතිවරණ කැදවීම සදහා යොදා තිබුනු දිනය 2017 ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා කල්දමා තිබෙන බව ඔහු එහි සදහන් කර තිබුනා. මෙයත් සමග පෙර සකස් කර තිබූ සැළැස්ම අනුව අපට කටයුතු කළ නොහැකි වුනා.“
මැතිවරණ උණුසුම හමුවේ රටේ දේශපාලන පක්ෂ කාර්යබහුලව සිටින ආකාරය පසුගිය දින කිහිපයේදී ද දැකගත හැකිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය, සැළසුම් කරගෙන සිටි අයුරින්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදිනු ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ද, ජනපතිවරයා, මෛත්‍රී පාර්ශවයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් හා මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූ අතර, පසුගිය අවස්ථාවේ මෙන් මෙම අවස්ථාවේදී ද ඔහු වැඩි අවධානයක් යොමු කළේ මැතිවරණ ගැටලු සහ ඉදිරියේ එන මැතිවරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසීමටය. සන්ධානයේ ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂය, නියෝජිතයන් තෝරාගැනීමෙහි ලා කාර්යබහුලව සිටියේ ය. තෙවැනි පාර්ශවයක් ලෙස මැතිවරණ තරගයට එළැඹ සිටින ඒකාබද්ධ විපක්ෂය පසුගිය සතියේ ද, පොදු සන්ධානයක් ගොඩනගාගැනීම සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණියේ නැත. මෙහිදී, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නියෝජනය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, එම නව සන්ධානය යටතේ තරගවැදීම සදහා අපේක්ෂකයින් තෝරාගැනීමේ කටයුතුවල දී සැළකිය යුතු වගකීමක් දරනු ඇත.එක් එක් පාර්ශවයේ බලවත්භාවය ශ්‍රී ලංකා ජනතාවට මැනගත හැකිවනු ඇත්තේ ලබන වසරේ ජනවාරි මාසයේදීය. විශාල ජනප්‍රසාදයක් දිනාගත් වත්මන් පාලන තන්ත්‍රයට, එදා හිමිවූ ජනප්‍රියත්වය අදටත් හිමි ද යන්න විමසිය හැකි වනු ඇත්තේ ද එවිටය. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් එය මනාව නිරූපණය වනු ඇත.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් පාලන ඡන්දය කවදාද?