IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පළාත් සභා තුනක් ආණ්ඩුකාරවරු අතේ

 

(කස්තුරි)

පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ඡන්දය කල් යෑම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අවසාන වශයෙන් පැටලී සිටින්නේ මැතිවරණ කොමිසමත් සමඟය. ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමැතිවරුන් මෙන්ම එම සංවිධානයට සහාය දක්වන සංවිධාන හා ව්‍යාපාර ද දිගට හරහට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියට දෝෂාරෝපණය කරන තත්ත්වයකට පත්ව තිබේ.

 ”මහින්ද දේශප‍්‍රිය ඊනියා යහපාලන ආණ්ඩුව බිහිකරන්න වක‍්‍රව උදව් උපකාර කළා. එතුමා ඉතාම හදිසියෙන් 2014 ඡන්ද හිමි නාම ලේඛණය ප‍්‍රකාශයට පත් කළා. තරුණ ඡන්ද ගණන වැඩි කිරීමට යැයි කියමින් එතුමා එහෙම කළා. ඒකට යහපාලන ආණ්ඩුව මහින්ද දේශප‍්‍රියට තෑග්ගක් දුන්නා. විශ‍්‍රාම ගිය පසුව නැවතත් එතුමාට සභාපතිකම හම්බවුණා.” ආදී නොයෙකුත් දේ කියමින් ඒකාබද්ධ කල්ලිය දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන නමුත් තවමත් මහින්ද දේශප‍්‍රිය ඊට ප‍්‍රතිචාර දක්වන්නට ගියේ නැත.

 

”මම ප‍්‍රතිපත්තියක් ලෙස දේශපාලනඥයන්ගේ චෝදනාවලට උත්තර දෙන්නේ නැහැ.” මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිතර කියන්නේ ඒ කතාවකි.

එහෙත් ඒකාබද්ධයෙන් වටකර සැළසුම් කර ප‍්‍රහාර පිට ප‍්‍රහාර එල්ල කරන තත්ත්වයක් උද්ගතව තිබෙන නිසා මහින්ද දේශප‍්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පිළිතුරු නොදී සිටිය නොහැකි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අදහස් දක්වති.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත මහින්ද දේශප‍්‍රියට කර කියාගත හැකි තත්ත්වයක් නැත. පාර්ලිමේන්තුව විසින් සකස්කර දෙන නීති අනුව මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු අතර ඉන් පිටත කටයුතු කිරීමේ බලයක් එම කොමිසමට නැත. ආණ්ඩුව උපක‍්‍රමශීලීව ඡන්ද කල් දැමීමට කටයුතු කිරීම හා මැතිවරණ කොමිසමේ කාර්යභාරය අතර සම්බන්ධතාවයක් නැති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඒකාබද්ධ විපක්ෂයේ මුල් පෙළේ නායකයන්ද ඒ බව නොදන්නවාම නොවේ. එහෙත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුවට ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මැතිවරණ කොමිසම බිල්ලට ලබා දීම බවට තවත් පිරිසක් වෙනත් අදහසක් දක්වති.

කෙසේ වෙතත් කුමකින් කුමක් වේදැයි කියන්නට තවමත් කල් මදිය. මැතිවරණ කල්යනු ඇති බව නම් ඉතා පැහැදිලිවම ප‍්‍රකාශ කළ හැකිය.

සබරගමුව පළාත් සභාවේ නිල කාලය ඉකුත් බදාදා රාත‍්‍රියෙන් නිමාවට පත්විය. ඉකුත් අඟහරුවාදා එම සභාවේ අවසන් සැසිවාරය පැවැත්විණි. අවසන් රැස්වීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරු පැමිණ සිටියහ. සැසිවාරය නිමා වූ පසුව සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් සහ මන්ත‍්‍රීවරු එකිනෙකාට සුබපැතුම් එක් කළහ.

සභා ගර්භය තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට ද මන්ත‍්‍රීවරු අමතක නොකළහ. මේ අතර උතුරු මැද පළාත් සභාවේ නිල කාලය හෙට නිමාවට පත්වන අතර නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අනිද්දායින් නිමවේ. එවිට පළාත් සභා තුනේම කටයුතු පරිපාලනය හා බලතල ආණ්ඩුකාරවරුන් යටතට පැවරෙනු ඇත.

කොළඹ දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප සංවිධානයේ විශේෂ රැස්වීමක් ඉකුත් දා කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැත්විණි. ඇමැති සුසිල් පේ‍්‍රමජයන්තගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට කොළඹ දිස්ත‍්‍රික්කයේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් සහභාගි වී සිටියහ. විශේෂයෙන් ඉදිරි පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ අතර පළාත් පාලන ඡන්දය දිනාගැනීම සඳහා සංවිධායකයන් උනන්දුවෙන් කටයුතු කළ යුතු බවත් එහිදී කියැවිණි.

සාකච්ඡාව ආරම්භ වී යහමින් පැවැත්වෙද්දී කැස්බෑව ශ‍්‍රිලනිප ආසන සංවිධායක චන්දන කති‍්‍රආරච්චි සභාව මැදට බෝම්බයක් දමා ගැසීය. ඔහු ආවේගයෙන් කතා කළේය. ”තමුන්නාන්සේලා ශ‍්‍රිලනිපය දිනවන්නැයි කියනවා. හැබැයි දිනවන්න අපි මොනවද කරලා තියෙන්නේ. සංවිධායකයින් ලෙස අපට සූදානම් වෙන්න කියනවා.

ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දයක් දිනන්න සූදානම්ද? රටේ ගමේ මිනිස්සු අහනවා ඔබතුමාලා මොනවද කළේ කියලා.” යැයි චන්දන කත‍්‍රිආරච්චි ආවේගාත්මකව කතා කරද්දී අනෙකුත් සංවිධායකයෝද ඒවාට විවිධ ප‍්‍රතිචාර දක්වමින් පිළිතුරු බඳින්නට වූහ. චන්දන සටන අතහැරියේ නැත. ”අපි අලියට එකතුවෙලා පොහොට්ටුව පරද්දනවාද එහෙම නැත්නම් පොහොට්ටුවට එකතුවෙලා අලියා පරද්දනවාදැයි චන්දන ප‍්‍රශ්න කරන්නට විය. රටේ ජනතාව බලන් ඉන්නවා අපේ පක්ෂය අපේ නායකයා කොහේද යන්නෙ කියලා.” චන්දන ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න වැලක් සුසිල් පේ‍්‍රමජයන්තටත් සෙසු පිරිසටත් ඉදිරිපත් කළේය.

”පොහොට්ටුව දිනවන්න දැනටමත් මහින්ද රාජපක්ෂ මහත්තයා පොරොන්දු වෙලා’’ කැස්බෑව මගේ ආසනයේ විතරක් ස්ථාන තිහකට විතර එතුමාඇවිත් තියෙනවා. හැබැයි මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා කීපාරක් ඇවිත් තියෙනවාද? හිටපු ජනාධිපතිට වගේ නෙමෙයි ජනාධිපතිතුමාට විවේකය අඩුයි. මම දන්නවා ඒත් දහයෙන් එකේ අනුපාතයට වත් යන්න  ඕනේ නැද්ද” මම මේ කියන්නේ කැස්බෑවේ ප‍්‍රශ්නයක් නොවෙයි.

මුළු රටේම ප‍්‍රශ්නයක් ගැන’’ යැයි චන්දන කී විට රැස්වීමේ සාකච්ඡාව තවත් උත්සන්න වී ගියේය.” මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො ළඟට ගෙනෙ යන්න මම ඔක්කොම කටයුතු කළා. දිනය වෙලාව සූදානම් කර ගත්තා. ඒත් කොළඹ එක්තරා දේශපාලනඥයකු ජනාධිපතිතුමාට අසත්‍ය කියා ඒ ගමන නැවැත්වූවා. එදා ජනාධිපතිතුමා මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො හම්බවෙන්න ගියා නම් අද පොහොට්ටුවක් කියලා එකක් හැදෙන්නේ නැහැ. අපි ජනාධිපතිතුමා පිළිගන්න ලොකු උත්සවයක් පවා එදා සූදානම් කරලයි තිබ්බේ ඒ ස්වර්ණමය අවස්ථාව ගිලිහුණා.” යැයි චන්දන කත‍්‍රිආරච්චි ලොකු විස්තරයක් කියද්දී අනෙක් ආසන සංවිධායකවරු ද ඒ කතාව අනුමත කළෝය.

මිනිස් ජාවාරම හා දේශසීමා ඉක්මවනඅනෙකුත් අපරාධ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර දැනට පවත්නා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමටත් ප‍්‍රවර්ධනය කිරීමටත් දෙරට එකඟතාවයකට පැමිණ තිබේ. විශේෂයෙන් මිනිස් ජාවාරම වැළැක්වීම, නීති විරෝධී භාණ්ඩ සංසරණය වැළැක්වීම, දේශසීමා කළමනාකරණය, දේශසීමා හරහා සිදුවන අපරාද වැළැක්වීම සම්බන්ධව කලාපීය හා බහුපාර්ශ්වීය කැපවීම වර්ධනය කිරීම එම ද්විපාර්ශ්වික එකඟතාවයට ඇතුළත් කිරීමට දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ එකඟතාවයකට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ  ඕස්ටේ‍්‍රලියානු රජයේ ආගමික හා දේශ සීමා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයදී පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභාවන් සඳහාද නාමයෝජනා කැඳවා තිබුණි. පළාත් පාලන ඡුන්දය පැවැති 2011 වසරේ නාමයෝජනා කැඳවුම් වසර හයක් ගතවනතුරුත් මේ දක්වා එම පළාත් පාලන ආයතන දෙකේ ඡන්ද විමසීම පැවැත්වුණේ නැත.

පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩ පත්තු ප‍්‍රදේශවල එකල පැවැති අනාරක්‍ෂිතභාවයත් බිම්බෝම්බ වළලා තිබීමත් නිසා ඡන්ද විමසීම පැවැත්වීමට බාධා එල්ල වී තිබිණ. 2011 වසරේ කැඳවා තිබූ නාම යෝජනා අවලංගු කළේද නැත.

එම නාමයෝජනා අවලංගු කිරීමටත් නැවත අලූත් මැතිරණයක් සඳහා ඒවාට නාමයෝජනා කැඳවීමටත් පාර්ලිමේන්තුවේ අවසරය හිමිවිය යුතුය. පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයා විසින් ඊට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමටත් ඉන් පසුව සම්මත කර ගැනීමටත් නියමිතය.පළාත් පාලන ආයතනවල කොට්ඨාසවල සීමා නිර්ණය කිරීමේ කමිටුව මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙන ඇතැම් පළාත් පාලන මැතිවරණ කොට්ඨාසවලට අයත් ග‍්‍රාම නිලධාරී වසම්වල නම් හා අංක සභික සංඛ්‍යාව, මායිම් ආදිය සම්බන්ධ ගැටලූ, මුද්‍රණ දෝෂ, අක්ෂර වින්‍යාස දෝෂ ආදී අඩුපාඩු පවතින බව මැතිවරණ කොමිෂන් සභාව මගින් පෙන්වා දී තිබේ.

එම නිසා පළාත් පාලන ඡන්දය කඩිනමින් පැවැත්වීමට හැකිවන පරිදි එම දෝෂ නිරාකරණය කර සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් පැන නැගී තිබේ. මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදුකිරීමටතවත් නිලධාරී කමිටුවක්දපත්කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේ ඔහුට හිතවත් මාධ්‍ය ප‍්‍රධානීන් කිහිප දෙනෙකු ඉකුත් දා ගොස් ඔහුව මුණගැසුණහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් අවශ්‍ය ජනමාධ්‍ය වැඩ සටහන සඳහා ආයතනයක් අලූතින් ස්ථාපිතකිරීමය. ‘‘ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය’’ නමින් නව ආයතන ස්ථාපිත වූයේ ඒ අනුවය. කුල ශ්‍රී කාරියවසම් කැඳවුම්කරු ලෙස කටයුතු කරන ඊට විජයානන්ද හේරත්, චන්ද්‍රපාල ලියනගේසහ රොහාන් වැලිවිට ආදී කිහිපදෙනෙක්ද එක්ව සිටිති.

ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය මගින් ඉකුත් දා ප‍්‍රථම ජනමාධ්‍ය නිවේදනය නිකුත් කළේය. එහි සඳහන් කර තිබුණේ ඡන්දයක් නොපවත්වන ඡුන්දය කල්දැමීම සඳහා ආණ්ඩුව සමඟ යටිකූට්ටු වැඩ පිළිවෙළක් දියත් කරන මැතිවරණ කොමිසමේ සභාපති ගෙදරයා යුතු බවය. කාලීන දේශපාලන සංසිද්ධීන් සම්බන්ධකර ගනිමින් ජනමාධ්‍ය වෙත කරුණු කාරණා ඉදිරිපත් කිරීම ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ අරමුණ වී තිබේ. කොළඹ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි ස්ථානයක් ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යාලය ලෙස භාවිතයට ගෙන තිබේ.

පළාත් සභා ඡන්ද විමසීම් පනත පාර්ලිමේන්තුවේ සම්මත වූවායින් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිතවත් දේශපාලනඥයන්, විනිසුරුවන් හා නීතිඥවරු පිරිසක් එක්වී ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ පිළිබඳව සාකච්ඡාවක් කළහ. හිටපු අභියානාධිකරණ විනිසුරුවරයකු එහිදී සරත් නන්ද සිල්වාගෙන් විමසුවේ මේ සම්බන්ධයෙන් අපට කුමක් කළ හැකිද කියාය. තවත් නීතිඥයින්ද පිරිසක් ද හිටපු අගවිනිසුරුවරයාගෙන් එම ඉල්ලීමම කළහ.

”අද හැම තැනම විකෘතියක් තමයි තියෙන්නේ. නීති හදන පාර්ලිමේන්තුවේ තියෙන්නෙත් ඒ ටිකමයි. බුද්ධිමතුන් නිහඬව ඉන්න තරමටම ආණ්ඩුව යකා නටනවා.” යැයි එම සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කීවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේ ”නිතිය දන්න අය මොකද වුණේ කියලා දන්නවා. ඒ හින්දා අපට නිකන් ඉන්න බැහැ.” කියාය.

එම සාකච්ඡාවෙන් පසුව නීතිය හමුවට යෑමට සරත් නන්ද සිල්වා කල්පනා කළේය. ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරයට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඊයේ කටයුතු කළේය.

”මම මේ පෙත්සම ඉදිරිපත් කරන්නේ හිටපු අගවිනිසුරුවරයා ලෙස නොවෙයි රටේ පුරවැසියෙක් ලෙස. රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න මට අවශ්‍යතාවයක් තියෙනවා.මට නිකන් ඉන්න බැහැ.” යැයි සරත් නන්ද සිල්වා කියයි. මෙහි විශේෂත්වය හිටපු අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයටඉදිරිපත් කරන පෙත්සම විභාගයට ගනිද්දී ඒ වෙනුවෙන් වන නීතිඥ කාර්ය භාරය ද හිටපු අගවිනිසුරුවරයා විසින්ම සිදුකිරීම විශේෂත්වයකි.

දිවයිනේ ප‍්‍රධාන නගරයක පිහිටි සමාජ රෝග සායනයකට එක්තරා සුරූපිනියක් පැමිණියාය. ඉතාම ලාබාල වයසේ යුවතියක වූ ඇය වෛද්‍යවරයා වෙත ගොස් සියලූ කරුණු කාරණා නොවලහා කීවාය. මම එක්කගෙන යන්නේ සමාජයේ ඉහළම අය. දේශපාලනඥයනුත් ඉන්නවා තරුපහේ හෝටල්වලට තමයි යන්නේ.” ආදී ලෙස සියලූ විස්තර නොවලහා කී ඇය එක්තරාදේශපාලනඥයකුගේ නමක් ද විශේෂයක් කරපැවසුවාය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ප‍්‍රධානදේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වනබවක් පෙනේ. එක්සත් ජාතික පක්ෂය සහතවත් සුළු පක්ෂ කිහිපයක් එකතුවීඑක්සත් ජාතික පෙරමුණවශයෙන් පුංචි ඡන්දයට මුහුණ දීමටතීන්දුකර සිටිනඅතර ශ්‍රී ලංකානිදහස් පක්ෂයසහ ඒකාබද්ධ විපක්ෂය පැහැදිලි තීන්දු තීරණයකට නිශ්චිත ලෙසමතවමත් එළැඹී නැතැයි පැවසේ.

මේ අතරපුංචි ඡන්දයට මුහුණ දීම සඳහා නැවත පුටුව සහ පොදුජන එක්සත් පෙරමුණ කරළියට ගෙන ආ යුතු බවට කතාබහක් මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවෙමින් තිබෙන බව ද වාර්තා වේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වූයේ පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින්ෙ තරග කිරීමෙන්. ඉන් පසුව මැතිවරණ කිහිපයකටම පුටුව ජයග‍්‍රාහී සලකුණක් වූයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසකගේ වුවමනාව වී ඇත්තේ පුංචි ඡන්දයට නැවතත් පුටුව ලකුණින් තරග කිරීමටය.

පොදුජන එක්සත් පෙරමුණේ සභාපතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ ව‍ෙඅතර ලේකම් හිටපු අගමැති දි.මු. ජයරත්නය. දැනට යෝජනාවී ඇත්තේ මහින්ද රාජපක්ෂ සභාපතිධුරයෙන් ඉවත්වී එම තනතුරට දි.මු. ජයරත්න පත් කිරීමටය. පක්ෂයේ ලේකම්ධුරය චමල් රාජපක්ෂට පැවරීමටද නියමිතය. ඒඅනුව මහින්ද හා මෛත‍්‍රී පිල් වශයෙන් බෙදීවෙන්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වතරගකොට එජාපය පරාජය කිරීම ශ්‍රීලනිපඇමැතිවරුන්ගේ අදහස්ය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තවමත් අලූත් යෝජනාවට එකඟතාව පළකර නැත. සාකච්ඡා සාර්ථක වුවහොත් අවසානයේ තමා ද ඊට අනුමැතිය ලබාදෙන බවට ඉඟියක් ජනාධිපතිවරයා කර ඇතැයි පැවසේ. කෙසේ වෙතත් හිටපුජනාධිපතිනි චන්ද්‍රිකා ඊට කිස්සේත්එකඟ නැත.

රාජපක්ෂවරුන් හවුල්කරනැවත පක්ෂය විනාශ කිරීමට ඉඩදිය නොහැකියැයි කියමින් චන්ද්‍රිකා පුටුවට විරෝධය දක්වා තිබේ. හිටපු ජනාධිපතිනිය අවධාරණය කරඇත්තේ ශ්‍රීලනිපය ආරක්ෂා කර ගැනීමට අත ලකුණින්ම මැතිවරණයට ඉදිරිපත් විය යුතුබවය. එහෙත් තවත් අදහසකින් කියැවුණේ චන්ද්‍රිකාගේ පුටුව විරෝධය යට ඇත්තේ රාජපක්ෂ විරෝධය බවය. එම මතවාදයෙන් කවරක් ජයග‍්‍රහණය කරනු අත්දැයි තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකිය.

බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප‍්‍රියට එරෙහිව කොළඹ ශ්‍රීලනිප දේශපාලනඥයන් පිරිසක් විරෝධය දක්වමින් සිටින බවට

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ”මහ ඇමැතිවරයා වැඩ කරන්නේ හරියට ශ්‍රීලනිප අයිතිකාරයා වගෙයි. ජනාධිපතිතුමාගේඅදහස් තමයි එතුමා ප‍්‍රකාශ කරන්නේ කියලා මතයක් සමාජ ගත කරලා. ඇතැම්විට ජනාධිපති කාර්යාලයෙන් ලියලා එවන දේ එතුමා ජනමාධ්‍ය හමුවලදී කියවනවා. පක්ෂය එතුමාට කරන හානිය එතුමාට තේරෙන්නේ නැහැ.” යැයි ශ්‍රීලනිප ප‍්‍රබලයන් පිරිසක් ඉකුත්දා හමුවී සාකච්ඡා කර තිබෙන බව ද වාර්තා වේ. ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ඡන්දය ඉලක්ක කර ගනිමින් ගම්මට්ටමින් කරන සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කරන්නැයි ආණ්ඩුව උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව මේ වසර සඳහාවෙන්කරදී ඇති මුදල් නැවත භාණ්ඩාගාරයට හරවා නොයවන ලෙස ද ආරම්භ කර තිබෙන ව්‍යාපෘති හැකි ඉක්මනින් නිමකරන ලෙස ද ආණ්ඩුව දිසාපතිවරුන්ට දැනුම් දී තිබේ.



අදහස් (1)

පළාත් සභා තුනක් ආණ්ඩුකාරවරු අතේ

Ananda Tuesday, 03 October 2017 03:16 AM

කවදාහරි ඡන්දේ තියයි නේ එදාට බලමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 141 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site