IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බදු මොකටද කා වෙනුවෙන්ද කා හටද?

රට බංකොළොත්වීමේ ඉතිහාසය පටන් ගත්තේ සුද්දන්ගේ කාලයේ නොව ඔවුන් ගියාට පසුව ය. ඒ නිසා 1948 පෙබරවාරි 4 වැනි දායින් පසු ලංකාව යනු නිදහසින් පසු නොව සුද්දන්ගෙන් පසු එනම් ඉංග්‍රීසින්ගෙන් පසු ලංකාව ය. සුද්දන්ගෙන් පසු ලංකාව යනු අර්බුදයක් ම ය. එය දේශපාලන අර්බුදයක් පමණක් නොවේ. ආර්ථික දේශපාලන පරිපාලන සමාජ යන සියලු‍ අංශ ආවරණය කරමින් ඒ සියලු‍ අංශවල සහායෙන් නිර්මාණය කරගත් අර්බුදයක් ය.ඒ නිසා අපි මේ අර්බුදයට ‘ආණ්ඩුකරණයේ අර්බුදයක්’ කියා කියමු.

ඒ අනුව ඉංග්‍රීසින්ගෙන් පසු ලංකාව යනු දැවැන්ත ආණ්ඩුකරණ අර්බුදයක් නිර්මාණය කරගනිමින් එය වඩවඩාත් වැඩිදියුණු කර ගනිමින් ඉදිරියට ආ පරාධීන රටකි. නිෂ්පාදන ආර්ථිකයක් නොව ණය ආර්ථිකයක් වසර 75ක් තිස්සේ නඩත්තු කරන රටකි. අපනයනවලට වඩා ආනයන දිරිගන්වන රටකි.

ඉතිරි කිරීමට සහ ආයෝජනයට නොව පරිභෝජනයට සහ නාස්තියට මඟ පෙන්වන රටකි. විනිවිදභාවයෙන් යුතුව රාජ්‍ය දේපළ සහ සම්පත් රටේ දියුණුවට පරිහරණය කරන රටක් නොව ඒවා සොරකම් කරන අවභාවිත කරන නාස්ති කරන රටකි.

රාජ්‍ය ආයතන සමස්ත ජන සමාජයේ අයිතියට නොව ඒවායේ රස්සා කරන අයගේ වැයික්කි බවට පත් වී ඇති රටකි. රාජ්‍ය අධ්‍යාපන ආයතන නොවැදගත් වී ටියුෂන් ආයතන බලවත් වූ රටකි. බදු අයකරන නොව බදුවලින් දමා ගසන රටකි. දේශපාලන ආයතන පොදුජනයාගෙන් ඈත් වී පවුල් හවුල් කල්ලි රංචු කීපයක් විසින් තමතමන්ගේ සුඛ විහරණය සඳහා අත්පත් කරගෙන ඇති රටකි. ජනතාවාදී සමාජ දේශපාලන සංස්කෘතියක් නැති කල්ලි සහ වැයික්කි සංස්කෘතියක් ඇති රටකි.

ඉතින් මෙන්න මේ ඉංග්‍රීසින්ගෙන් පසු ලංකාව දැන් වන විට ණය ගැනීමටවත් සුදුසුකම් නැති බංකොළොත් රටකි, රාජ්‍යයකි. මේ අර්බුදයේ කාලය වසර හැත්තෑ පහකි. රටක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය වන ජාතික හෘදසාක්ෂියක් නැති, ක්‍රමෝපායික දැක්මක් සහ වැඩපිළිවෙළක් නැති පුද්ගලවාදී කණ්ඩායම් මේ අර්බුදයේ වග උත්තර කරුවන් බව නැවත නැවත කිවයුතු නැත. එහෙත් ඔවුනට චෝදනා කිරීමෙන් අර්බුදය විසඳා ගත නොහැක.

කළ යුත්තේ ඔවුන් කළ විනාශයෙන් පාඩම් ඉගෙන ගැනීම ය. කළ යුතු අනෙක් කරුණ වනුයේ විනාශය වැඩි දියුණු කිරීමට ඔවුනට යළි ඉඩක් ලැබේ නම් එය වළකාලීම ය. එය හුදු දේශපාලන වළකාලීමක් පමණක් නොවේ. සමස්ත ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ ඇති අර්බුදය මහ කුඩා අනුකුඩා වශයෙන් තේරුම් ගෙන එය වර්ධනය වීම සඳහා හේතුවන ආණ්ඩුකරණ සාධකවල මුල් උදුරා දැමීම ද අනිවාර්ය කටයුත්තකි. ඒ සියල්ල කළ යුත්තේ ඉංග්‍රීසින්ගෙන් පසු ලංකාවේ හැත්තෑ පස් වසරක සමාජ දේශපාලන අර්බුදය විසඳීම සඳහා ය. එහි කාලය කෙටි කිරීම සඳහා ය.

ආණ්ඩුව සහ පරිපාලකයන්ගේ පැත්තෙන් ඒ සඳහා ගන්නා උත්සාහයක් පෙනෙන්ට නැත. ඔවුන්ට ඇත්තේ “ණය වී හෝ ගිතෙල් කමු” ජාතියේ චාර්වකවාදී ප්‍රතිපත්තියකි (මේ අදහස සරසවි ගුරුන් අරබයා මතු කර තිබුණේ මහින්ද පතිරණ සිය පළමු “කිවිදා දැක්ම” ලිපියේ ය).

මේ උගුලේ සමාජය ද වැටී ඇත්තේ පාලක පරිපාලක සිහින සැබෑ කරමින් සහ ජන සමාජයේ සිහින සුන් කරමින් ය. ඒ නිසා උත්සාහ ගත යුත්තේ සමාජය විසිනි. එහෙත් එදිනෙදා පණනල රැක ගැනීමට දඟලන ජනයාට ඒ පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබා ගැනීමට ඉඩක් කඩක් නැත. එවැන්නක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වීම සාධාරණ ද නැත. එහෙත් මෙරටේ සමාජයීය බුද්ධිමතුන් ඒ වගකීම භාරගත යුතු ය.

කළ යුත්තේ පොදුජන සමාජයට හුදු සටන්පාඨ සහ හැෂ් ටැග් ලබා දීම නොව විධිමත් දැනුම සහ අවබෝධය අවිධිමත්ව විධිමත්ව සහ සරලව ලබා දීමට උත්සාහ ගැනීම ය. න්‍යායික සහ සංකල්පීය උජාරුකම් වෙනුවට න්‍යාය සහ සංකල්ප පවා ඉතා සරලව තේරුම් කරදීම ය. එය කළ නොහැක්කක් නොවේ. කළ හැකි දෙයකි, කළ යුතු දෙයකි.

මේ මොහොත ඊට සුදුසුම මොහොතක් ය. එක පැත්තකින් බංකොළොත් රටකි, තව පැත්තකින් අර්බුදයට ගිය ආර්ථිකයකි සමාජයකි, තවත් පැත්තකින් පණනල වත් රැකගනිම් කියා වෙහෙසෙන ජනතාවකි, තවත් පැත්තකින් ණය දෙම් දෝ නො දෙම් දෝ කියා ළතැවෙන ණය හිමියන් ගොන්නකි, තවත් පැත්තකින් රටේ ස්වෛරීත්වය ඒ මේ අතට අදින භූ දේශපාලන ක්‍රීඩාවේ යෙදෙන කලාපීය සහ ගෝලීය බලවතුන් නම් වූ හයිනාවන් රැලකි. ඒ සියල්ල මැද ප්‍රාදේශීය ආණ්ඩු නියෝජිතවරණ රණ්ඩුවකි.

එය පැවැත්වීම සහ නොපැවැත්වීම පිළිබද අරියාදුවකි. 13 වැනි සංශෝධනය නම් උත්තේජක කදිමට පානය කරන සහ පොවන මොහොතකි. කතාවක් නැත්තේ ජනතාව ගැන පමණි,ජනතාවගේ දුක ගැන පමණි. මෙවැනි මොහොතක මේ රටේ සමාජයීය බුද්ධිමතුන් කළ යුත්තේ ජනසමාජයේ දුක ඇසීම සහ ඒවා නිවීම සඳහා මං පෙත් සෙවීම ය. ඔවුන් ප්‍රාදේශීය ආණ්ඩු ප්‍රචාරක ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටී නම් ඒ ඉඩ පවා ඉහත කී කටයුත්ත සඳහා යොදා ගැනීම ය.

ආණ්ඩුව දිගට හරහට බදු ගැසීම ආරම්භ කර තිබෙන නිසා ඒ ගැනත් අපගේ අවධානය යොමු කරමු. රටකට බදු ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය ය. හැබැයි, බදු ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ හිතුමතේට බදු ගසමින් ඒ බදු අදායම හිතුමතේ බෙදාගැනීමට හෝ වියදම් කිරීමට නොවේ. එසේම බදු අය කළයුතු ඉහළ ධන උපයන්නන් ට බදු සහන ලබා දීම හෝ නොගෙවූ බදුවලින් නිදහස් කිරීමට නොවේ. එසේම බදු සිදුරුවලින් පැනීමට ඔවුන්ට සහය දීමට නොවේ. එසේම බදු අඩුවෙන් ගෙවීම සඳහා අදායම් බදු උපදේශක සේවා සැපයීමට නොවේ. බදු ප්‍රතිපත්තියක පදනම විය යුත්තේ යුක්ති සහගතබවේ සහ සාධාරණත්වයේ මුලධර්මය මත ය.

රාජ්‍යය බදු අය කළ යුත්තේ ජනතාවට ලබාදෙන නිදහස, ප්‍රීතිය, පීඩාවන්ගෙන් ආරක්ෂා කිරීම, සේවා සහ භාණ්ඩ  සැපයීම, මෙන්ම පොදුජන යහපැවැත්ම සඳහා සමාජ පිළිවෙළ පවත්වාගෙන යාම වැනි ඒවාට ජනයාගේ සහාය ලබා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙනි.

යුරෝපයේ බදු අනුපාතික ගැන සමාජ මාධ්‍යවල තොරතුරු වපුරන නොරටුන් සහ මෙරටුන් දැනගත යුතු කරුණක් වන්නේ ඒ රටවල් බදු අයකරන්නේ අර අප මුලින් කී පදනමේ සිට බව ය. ඒ රටවල මගී ප්‍රවාහනයේ සිට රාජ්‍ය විසින් ලබා දෙන සමාජ සේවා ගැන අවධානය යොමු කරන්න. ඒවා සමඟ අපේ රටේ ඒ සේවාවල තත්ත්වය සංසන්දනය කරන්න.

එවිට ඒ රටවල බදු අනුපාතිකය සහ අපේ රටේ අනුපාතිකය අතර ඇති අසාධාරණය ඔබට වැටහෙනු ඇත. අපට ලබා දී ඇති මගී ප්‍රවාහන සේවාවෙන් පටන්ගෙන මේ සැසඳීම ඔබට කළ හැකි ය. ඉපයීමේ දීත් ඉතිරි කිරීමේදීත් වියදම් කිරීමේදීත් මේ තරම් බදු ප්‍රමාණයක් අය කරන්නේ රාජ්‍යය විසින් කවර නම් සතුටක් නිදහසක් ජනයාට ලබාදීලද යන්න ගැන සිතන්න. පීඩාව අසරණකම මිස ජනයාට ලබා දෙන වෙන දෙයක් ගැන නම් තවම අසන්නට නැත.

සාකච්ඡාවට ගත යුතු තවත් කරුණක් වන්නේ මේ අර්බුදයෙන් මිදෙන මඟක් පාලකයන්ගේ සහ පරිපාලකයන්ගේ පැත්තෙන් තවම ඉදිරිපත් වී නො තිබීම ය. ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත්වන අදහස වන්නේ ණය ගැනීමට සුදුසුකම් සපුරා ගැනීම සහ ණය ගැනීම මගින් මේ අර්බුදයෙන් ගැලවීම කළ හැකිය යන්නය.

වසර හැත්තෑ පහක් තිස්සේ ගත් ණය නිසි ලෙස ආයෝජනය නොකළ පාලකයින් සහ පරිපාලකයන් ඉස්සරහට ණය ගැනීමට යන්නේ රට සංවර්ධනය කිරීමට ද? ඒ ගත් ණය නිසිලෙස ආයෝජනය සහ පරිහරණය කළා නම් මෙවැනි අර්බුදයක් ඇති වේද? ගත් ණයෙන් සියයට තිහකට පමණ සිදු වුණු දෙයක් නැතැයි කියන්නේ ඇයි? එසේ ම ණය මතම රටක් පවත්වාගෙන යාම යනු පිපිරීමට ආසන්න ගිනි කඳු මත ශීත මාළිගා සෑදීමක් බඳු අනුවණ ක්‍රියාවක් නොවේ ද?

මේවා පාලකයන්ගෙන් සහ පරිපාලකයින්ගෙන් අසා පලක් නැත. ඒ නිසා මේ ගැන සාකච්ඡා කළ යුත්තේ අපි අපි ම ය. එනම් සමාජය ය. නව ආර්ථික රටාවක් ගැන, නිෂ්පාදන ආර්ථිකයක් ගැන, අපනයන වර්ධනය ගැන, ගෝලීය ශ්‍රම වෙළඳපොළේ සාධාරණ ඉඩක් ලබාගැනීම සඳහා දේශීය ශ්‍රම සේවා සැකසීම ගැන, රටක ස්වෛරීයත්වය සහ ඒ රටේ ජනයාගේ සුබසෙත අභිමානය රැඳී තිබෙන ආකාරය ගැන, මෙන් ම ජාතික අභිලාශ සාධනය සඳහා වසම් 14022 ත් අනෙකුත් ලොකු කුඩා ආයතනත් ඒවායේ සේවක පිරිසත් පොදුජන සමාජයත් සංවිධාන කිරීම සහ දැනුවත් කිරීම ගැන අප සංවාද කළ යුතුය.

ඒ සංවාද මත පිහිටා අර්බුදයෙන් මිදීමේ වැඩසටහන් සකසා ගත යුතු ය. එවිට අර්බුදය කල් දැමීම හෝ සඟවා තැබීම නොව එහි ජීවන කාලය කෙටිකර දමා ප්‍රමුදිත සමාජයක් ගොඩනගා ගැනීමේ පළමු පියවර තැබීමට අපට හැකි වන්නේ ය යන්න මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය.

(***)

කොළඹ විශ්වවිද්‍යාලයේ  දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ, ධම්ම දිසානායක



අදහස් (1)

බදු මොකටද කා වෙනුවෙන්ද කා හටද?

NM Saturday, 11 February 2023 07:46 AM

ඉංග්‍රීසීන්ගෙන් පසු ලංකාව දැන් වන විට ණය ගැනීමටවත් සුදුසුකම් නැති බංකොළොත් රටකි, රාජ්‍යයකි. මේ අර්බුදයේ කාලය වසර හැත්තෑ පහකි. රටක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය වන ජාතික හෘදසාක්ෂියක් නැති, ක්‍රමෝපායික දැක්මක් සහ වැඩපිළිවෙළක් නැති පුද්ගලවාදී කණ්ඩායම් මේ අර්බුදයේ වග උත්තර කරුවන් බව නැවත නැවත කිවයුතු නැත. එහෙත් ඔවුනට චෝදනා කිරීමෙන් අර්බුදය විසඳා ගත නොහැක. වර්තමාන ආර්ථික අර්බුදයට නිදහසින් පසු පත්වූ සියලු මුදල් ඇමතිවරුන් වගකිව යුතුද? ඔවුන් වර්තමානයේ පවතින ආර්ථික දේශපාලන සහ සමාජීය අර්බුදයට වගකිව යුතුනම් අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ නව දේශපාලන සම්ප්‍රදායක් රටට හදුන්වාදී පුරවැසියන්ගේත් ජාත්‍යන්තර ප්‍රජාවගේත් විශ්වාසය දිනාගැනීම වේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site