IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බලාගෙනයි ! ලොතරැයියකින් ’වින්’ කරලා

රට ටුවර් එකකට කෝල් එයි......

බිඟුන් මේනක ගමගේ  ([email protected])

තරිඳු ජයවර්ධන ([email protected])

 

 

”හලව්.. මිස්ට ........ කරුණාරත්න” 

”ආ..මේ..ඔව්වොව්..”

”මිස්ට අයිම් ෆ්‍රොම් .......... කම්පනි...” 

”මොකද්ද මිස්?”

”ආ...හ් මිස්ට අමිත් මම .......... කම්පනි එකෙන්. ඔයා ගත්ත ෆෝන් එකට කරපු රැෆල් ඩ්‍රෝ එකෙන් ඔයා වින් කරලා තියෙනවා. සිංගපෝ යන ටුවර් එකට තමයි ඔයා සිලෙක්ට් වෙලා තියෙන්නේ..”

”මොකද්ද මැඩම්..”

”ඉතින් ඔයා වින් කරලා තියෙනවා. ඔයා ලකී.. ඔයාට පාස්පෝට් එකක් තියෙනවාද?”

ඇතැම් විට මේ දුරකථන සංවාදය ඔබට ආගන්තුක විය හැකිය. නැතිනම් දැනටමත් මෙවැනි දුරකථන ඇමතුමක්  ඔබේ ජංගම දුරකථනයට කොයි මොහොතක හෝ ලැබී ඇතිවාට සැක නැත. ඒ කෙසේ වුවත් වාසනාවත් වෙළෙඳපොල මාෆියාවත් එකට බැඳුණු මේ කතාව කියෙව්වාට පාඩු නැත. ඒ, එක්කෝ දැනටමත් ඔබට සිදුවුණේ කුමක්දැයි දැනගැනීමටය. නැතිනම් සිදුවන්නට නියමිත පීඩාවකින් කල්තියා ගැලවෙන්නටය.

වෙළෙඳපොල යනු දිනෙන් දිනම තරගය උග‍්‍ර වන තැනකි. සිය නිෂ්පාදන විකුණා ගැනීමට ඇතැම් වෙළෙන්ඳන් නිරතවන්නේ මාරාන්තික යුද්ධයකය. සිය නිෂ්පාදන හෝ සේවාවලට උපරිම වෙළෙඳ ප‍්‍රචාරණයක් ලබාගැනීම එහි එක් පියවරකි. රැෆල් ඩ්‍රෝ (කුසපත් ඇදීම) යනු එසේ නිෂ්පාදන හා සේවා ප‍්‍රවර්ධනය කරන එක් මගකි.

එයින් සිදුවන්නේ පාරිභෝගිකයා වෙළෙඳපොලෙන් යම් භාණ්ඩයක් මිලට ගැනීමේදී අදාළ භාණ්ඩ නිෂ්පාදන සමාගම විසින් අහඹු ලෙස තෝරාගනු ලබන සිය සේවාදායකයන් අතලොස්සකට කිසියම් වටිනා ත්‍යාග පිරිනැමීමය. කඩපිලෙන් බඩු මිලට ගන්නා ඇතැම් විට එම ඇසුරුමෙහි නම ගම ලියා තැපැල් කිරීමට හෝ එම වෙළෙඳසැලේම තබා ඇති බහාලූමකට දමන්නට කියා හෝ ඇති විස්තර පත‍්‍ර ඔබ කොකෙතුත් දැක ඇතිවාට සැක නැත.

ඉහත දුරකථන සංවාදයේදී ඇමතුම ලැබෙන තරුණයා ද එසේ භාණ්ඩයක් මිලදී ගත් කෙනෙකි. ඔහු මිලට ගෙනතිබුණේ ජංගම දුරකථනයකි. ඔහුට ඇමතුම ලැබෙන්නේ අදාළ මිලදී ගැනීමෙන් ඔහු වාසනාවන්ත ජයග‍්‍රාහකයකු වී ඇති බව කියන්නට නිෂ්පාදන සමාගමේ ප‍්‍රවර්ධන කටයුතු බාර අතරමැදි ඒජන්සියකිනි. කතාවේ පහසුව තකා අපි මේ තරුණයාට අමිත් යැයි ද ඒජන්සියේ නිලධාරිනියට ප‍්‍රබෝධා යැයි ද කියමු.

”මම වැඩ කරන්නේ ආමි එකේ  ........ කෑම්ප් එකේ. මටත් හරියටම මතක තිබුණේ නෑ. මොකද මම ෆෝන් එක ගත්ත වෙලාවේ ෆෝන් පෙට්ටිය ඇතුලෙ තිබුණු ෆෝම් එකක් මගෙ යාළුවා තමයි පිරෙව්වෙ. අනිත් එක ඒ මිස් මුලින් කතා කරේ තනිකරම ඉංග‍්‍රීසියෙන්. මට කියන දේ තේරෙන්නේ නෑ කියලා කෙලින්ම කිව්වාම තමයි එයා හරියට විස්තරේ කිව්වේ. මම දැන් අවුරුද්දකට විතර උඩදි ගත්ත ෆෝන් එකේ කොම්පැනියෙන් දිනුම් ඇදීමක් කරලා තියෙනවා. ඒකෙදි මගේ නම ගම සඳහන් කරලා දාපු ෆෝම් එකත් කුසපත් අදිද්දී තේරිලා. දවස් හතරකට බැංකොක් යන්න තමයි මාව තේරිලා තියෙන්නෙ. ඒ කියන්නේ තුන් වැනි වර්ගයේ දිනුමක්. එකට තේරුණු කෙනාට දවස් 10 ක් යුරෝපෙටලූ. දෙකට ආපු කට්ටියට ඩුබායිලූ...” 

තමාට සිදු වූ අකරතැබ්බය ඔහු විස්තර කරන්නට පටන්ගත්තේ ඒ ආකාරයටය. ඔහු කතා කරන අතර මුහුණු පොතේ වූ ගිණුමක වෝලය මතුකරගනී. ”මේ ඉන්නෙ මට කතා කරපු මිස්... ” අමිත් තමා පත් වූ විපතේ සම්බන්ධීකාරකයන් ද අදාළ සමාගමේ නවීන නිෂ්පාදනයට පිං සිදුවන්නටම තම නැණ පමණින් හෙළිදරව් කරගෙන අපට පෙන්වයි. ”ඉතින් ඊට පස්සේ..” මම ඔහු දිරිගන්වමි.

”කොම්පැනියෙ ෆෝන් ගත්ත අයගෙන් 36 දෙනෙක් රට සවාරියක් ජයග‍්‍රහණය කරලා තියෙනවා කියලා එයා කිව්වා. පාස්පෝට් හදාගෙන ඉක්මනට එයාලට එවන්න  ඕනෑ කියලත් කිව්වා. මාව තේරිලා තිබුණේ බැංකොක් යන්නනෙ. හැබැයි ඒ වෙද්දි කවදාවත් මම කිසිම රටකට ගිහින් තිබුණේ නෑ. මම ඒක ඒ මිස්ට කිව්වාම එයා කිව්වා බය වෙන්න එපා, එක දවසින් හදාගන්න පුළුවන් කියලා. පස්සෙ අපේ ගමේ යාළුවෙකුට කියලා කොළඹ ගිහින් එක දවසින් හදාගත්තා. ඒකටත් ලොකු ගාණක් ගියා. ඒත් ප‍්‍රශ්නෙ වුණේ නිවාඩු. රට යන්න එතකොට වැඩි දවසක් නෑ.

ඒත් ඒ වෙද්දි ළඟදී මට නිවාඩු ලැබිලා තිබුණා. ඒ නිසා ආයෙ නිවාඩු ගන්න විදියක් තිබුණේ නෑ. වෙන රස්සා කරන අයට වගේ නෙවෙයිනෙ. මේ වගේ වැඩකදි අපි කලින් නිවාඩු අනුමත කරගන්න  ඕනැනෙ. ඉතින් අන්තිමේදී ගමන යන්න තිබුණු ආසාව නිසාම මම බොරුවකුත් කියලා නිවාඩු ඉල්ලූම් පත‍්‍රයක් දැම්මා. මම ඒකෙ සඳහන් කළේ විවාහ මංගල්‍යයේ වැඩට නිවාඩු ගන්නවා කියලයි. හැබැයි මම කරන වැඩේ භයානකකමත් මට තේරුණා.. ”

අදටත් අමිත් එදා කළ භයානක වැඩය නිසා පීඩා විඳියි. අදටත් ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රය ඔහු සතුව නැත. බොරු කියා නිවාඩු අනුමත කරගත් මේ තරුණයාට ඉන්පසුව අදාළ ඒජන්සියේ මැඩම් පවසන්නේ හැකි ඉක්මණින් තමා පවසන ලිපියනයට විදෙස් ගමන් බලපත‍්‍රය එවන්න කියාය.

”පාස්පෝට් එකක නීතිමය වටිනාකම ගැන මට තේරුමක් තිබුණේ නෑ මහත්තයා. මම ජීවීතේට රට ගිහින් නෑ. ප‍්‍රබෝධා මැඩම් කිව්ව ලිපිනයට මම ඒක කුරියර් කළා. ඊට කලින් මම කිසි දෙයක් කුරියර් කරලත් නෑ...”

කරදිය වළල්ලෙන් එපිට නව ලොව බැලීමේ සිහිනයත් සමඟ මේ තරුණ සොල්දාදුවා තවත් බොහෝ දේ උගෙන ගනිමින් තිබුණේය. දේවල් සිදුවන ආකාරය ගැන ඔහුට කිසිදු සැකයක් නොවන්නට බලපෑවේත් අධික සතුටයි.

”ගමන යන්න තිබුණේ තව දවස් කීපයක් විතරයි. මමත් පපුවෙ බිත්තර තම්බ තම්බ හිටියෙ කෑම්ප් එකෙන් දැනගත්තොත් කියලා. කොහොම හරි එක දවසක් කෝල් එකක් ආවා ප‍්‍රබෝධා මැඩම්ගෙන්. එයා කිව්වෙ ගමන කැන්සල් කරන්න වුණා කියලා. මගෙ පපුව හෝස් ගාලා ගියා. මොකද ආයෙ නම් මට නිවාඩු ගන්න බැරි බව මම දන්නවා. ඇයි මැඩම් එහෙම කළේ කියලා මට කියවුණේ දුකටමයි. එතකොට එයා කිව්වෙ ගමන යන්න හිටපු අය හරියට පාස්පෝට් හදාගෙන නෑ, ඒ නිසා කට්ටිය හලලා යන්න බෑ කියලයි..”

”ඉතින් ඔයා තියෙන ප‍්‍රශ්නෙ ප‍්‍රබෝධා මැඩම්ට කිව්වේ නැද්ද?” 

”මොකද කිව්වෙ නැත්තෙ. කිව්වා. කිව්වා. ඒක එයාගෙ ප‍්‍රශ්නයක් නෙවෙයි කිව්වා. කට්ටිය හලලා ගියොත් එයාට ප‍්‍රශ්නයක් කියලා කොහොමහරි නිවාඩු අනුමත කරගන්න බලන්න කිව්වා. එච්චරයි. ”

ඉන්පසු අමිත්ට නැවතත් ප‍්‍රබෝධා මැඩම් කතාකර තිබුණේ ගමන යන බවට නියම කරගත් දිනය පසු වී මාස දෙකකටත් පසුය. එය ද කඩිමුඩියේ කලබලයේය.

”අමිත්... අපිට ෆ්ලයිට් එක තියෙන්නෙ හෙට ?.. අපි යන්නෙ සිංගප්පූරු.  ඔයා හවස තුන වෙද්දි කටුනායකට එන්න ඕනෑ..” ප‍්‍රබෝධා මැඩම් පොල්ලෙන් ගහන්න වගේ දුන් ඇමතුමට අමිත් කලබල වුණේ නැත. තමා දැනටමත් රවටා ඇති වග ඔහු දැනසිටියේය. ඔහුට කේන්තිය නිරපරාදේ නිවාඩු දින අහිමි කරගැනීම ගැනය. කතාවේ හොඳම පරිච්ඡේද එන්නේ ඉන්පසුය.

”මට පොලිසි යන්නත් බෑ මහත්තයෝ. මම මගේ ඉහළ නිලධාරින්ව රැවැට්ටුවා කියලා අහුවෙනවා එහෙම ගියොත්. ඇත්තටම මගේ වෙඩින් එකට දින ළඟයි. ඉතින් මම හිතාගෙන හිටියෙ බැංකොක් ගිහින් එද්දි මොනවා හරි අරගෙන එන්න. මම යාළුවන්ගෙන් අතමාරුවකුත් කරගත්තා. පාස්පෝට් එක හදන්නයි කුරියර් කරන්නයිත් දොළොස්දාහක් විතර ගියා. තාම ඒ අය මට පාස්පෝට් එක එව්වෙ නෑ. කෝල් කළාම පස්සෙ ගන්න කියනවා. මග අරිනවා. මොන කරුමෙකට මේ ෆෝන් එක ගත්තද කියලයි මට දැන් හිතෙන්නේ..”

අමිත් විස්තරය කියද්දීම මේ සවාරිය සංවිධානයේ ඇති අවුල ඕනෑම කෙනෙකුට පැහැදිලිය. බැලූ බැල්මටම සැක උපදවන සුළුය. ගමන සංවිධානය කිරීම බාරව සිටි ප‍්‍රබෝධා මැඩම්ව දුරකථනයට සම්බන්ධ කරගත්තේ ඒ අනුවය.

”අපි ඒ කම්පනි එකේ නෙවෙයි. අපිට තියෙන්නේ වින් කළ අයගෙ ගමන ඇරේන්ජ් කරන එක විතරයි. පාස්පෝට් ඒ කතන්දර අපිට අදාළ නෑ..”

”ඒත් ගමනේ දින වකවානු, ගමනාන්ත හදිසියේ වෙනස් කළාම ජයග‍්‍රාහකයන් අමාරුවෙ වැටෙන බව ඔයාලා දන්නැද්ද?”

”ඒක  ඒ අයගෙ වැරැද්ද. අපිට ඒ අයගෙ වැරැදිවලට කරන්න දෙයක් නෑනෙ. කොහොම වුණත් අපි කළේ අතරමැදි ඩියුටි එකක් විතරයි. අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිකරන්න එපා..”

ප‍්‍රබෝධා මැඩම්ගේ කුකුල් කේන්තිය විසින්ම අප හමුවේ මතුකරනු ලැබුවේ ප‍්‍රශ්න වැලකි. මෙය හුදු අතරමැදි රාජකාරියක් නොවන වංචාවක් බව හෙළිවූයේ ඉන් ඔබ්බට ජයග‍්‍රාහක ලැයිස්තුව සෙවීමේදීය. 2015 නොවැම්බර් හා දෙසැම්බර් කාලයේ කළ මෙම දිනුම් ඇදීමෙන් ජයගත් වාසනාවන්තයන් හා විදේශ සංචාරයට සහභාගී වූවන් අතර තිබුණේ නොපෑහෙන වෙනසකි. සවාරිය සංවිධානයට වඩා සිදුව තිබුණේ කල්යල් මැන බලා කළ සංවිධානාත්මක වංචාවකි. සැබැවින්ම මේ වංචාවට අදාළ දුරකථන සමාගමේ කිසිදු සම්බන්ධයක් නැත. එහි මහමොළකරුවන් වී තිබුණේ ගමන සංවිධානය බාර දුන් අතරමැදි කණ්ඩායමයි.

මෙවැනි දිනුම් ඇදීම්වලදී ජයග‍්‍රාහකයාට අදාළ සවාරියට සම්බන්ධ වීමට නොහැකි අවස්ථාවලදී ඊට වෙනත් අයකු ආදේශ කිරීම ආදී විකල්ප තිබේ. එමෙන්ම මෙවැනි ජයග‍්‍රහණයක පසුබිම හා ජයග‍්‍රාහකයන්ට ලැබෙන පහසුකම් ගැන මනාව දැනුම්වත් කිරීමේ වගකීම තිබෙන්නේ ද මෙම අතරමැදි සංවිධායකයන්ටය. එහෙත් ඔවුන් නොකරන්නේම එයයි. ඔවුන් මුලින්ම කරන්නේ ජයග‍්‍රාහකයන් අමතා දුරකථන ඇමතුමක් දී ඔවුන්ගේ සාමාන්‍ය දැනීම පරීක්ෂා කිරීමය.

මේ පළමු වටයෙන් ඔවුන් කරන්නේ ජයග‍්‍රාහකයන් අතර සිටින අහිංසකයන් ගණනය කිරීමය. දෙවැනි වටය වන්නේ ඔවුන්ට කරකියා ගත හැකි නොහැකි මට්ටමට සවාරිය සංවිධානය කිරීමයි. මූලික සංවිධාන කටයුතු යැයි පමණක් කීව ද ගුවන් ටිකට් පත් වෙන්කිරීම, විදෙස් සංචාරයට අදාළ හෝටල වෙන්කිරීම ද සිදුකරනු ලබන්නේ මේ අතරමැදියන් විසිනි. කිසිදු දිනෙක විදෙස් සංචාරයකට සම්බන්ධ වී නැති අහිංසක මිනිසුන් ඉතාම ප‍්‍රයෝගකාරී ලෙස රැවටීමට මේ පිරිස දක්ෂය.   

මේ ප‍්‍රබෝධා මැඩම් මේ පරිදිම ඩුබායි සංචාරයකට රැගෙන ගොස් නන්නත්තාර කළ තවත් පාරිභෝගිකයකු අපට කී කතාවයි.

‘‘දිනුම් ඇදීමෙන් අපිව තෝරාගෙන තිබුණේ ඩුබායි ටුවර් එකකට. අපේ ටීම් එකේ දහ දෙනෙක් හිටියත් ගියේ පස් දෙනයි. ඉතිරි පස් දෙනාට පාස්පෝට් ප‍්‍රශ්න කියලා තමයි ගමන සංවිධානය කළ කාන්තාව කිව්වෙ. ගමන පටන්ගත්ත තැන පටන්ම ප‍්‍රශ්න ගොඩයි. අපිව කටාර් ගුවන් සේවයෙන් සෘජු ගමනාන්තයක් හැටියට ඩුබායි වලට එක්කගෙන යන බව කිව්වත් අපිව ගෙනිච්චෙ  ඕමාන් ගුවන් සේවයෙනුයි. ඒ අය සංචාරයට තෝරාගෙන තිබුණෙ රාමසාන් කාලයමයි. ඒ කාලෙට  ඕෆ් සීසන් නිසා ගුවන් ප‍්‍රවේශපත් මිලත් අඩුයි.

ලොකුම අවුල ආවේ ඩුබායි වලට ගියාට පසුවයි. මරණයක් වෙලා කියලා ගමන සංවිධානය කළ කාන්තාව පහුවදා ආයෙම ලංකාවට ආවා. ගමනට අදාළව කිසිම සැලසුමක් ඇය සකස් කළේ නෑ. ඒ නිසා පහුවැනිදා මොනවා කරන්නද කියලා අපිට කිසිම අදහසක් නෑ. ඒ මදිවාට කෑමට, ප‍්‍රවාහනයට සියලූ මුදල් දරනවා කිව්වාට ඒ කාන්තාව ලංකාවට ගිහින් තිබුණේ කෑම වේලකට ඩිරාම් දහයක් වැනි සුළු මුදලක් අපට තියලයි. ඒ මුදලට අපි නැවතිලා හිටපු හෝටලේවත් ගන්න කෑමක් නෑ. රාමසාන් නිසා එලියේ කඩත් දවල්ට වහලා. අන්තිමේදී අපි අතේ සල්ලි වියදම් කරගෙන සිටි ටුවර් එකක් ගියා. මේක තනිකර පාරිභෝගිකයන් රැවටීමක්...’’

ඔහු සැළකිය යුතු සමාජ අවබෝධයක් ඇති වැදගත් මහතෙකි. මේ නිසා සිදුවන ප්‍රෝඩාව ගැන ඔහුට ඉවෙන් මෙන් දැනුණේය. ලංකාවට පැමිණි විගස ඔහු කළේ තමා ඇතුලූ කණ්ඩායම මුහුණ පෑ අලකලංචිය ගැන අදාළ ආයතනයට දැනුම් දීමය. කොළඹ පිහිටි අදාළ ආයතනයේ මූලස්ථානයට කිහිප වරක්ම ගොස් මානව සම්පත් අංශයටම පැමිණිලි කළ ද ප‍්‍රතිපලයක් නැති ගානය. ඔහු ඉන්පසු කළේ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ ඊමේල් ලිපිනය සොයාගෙන සමස්ත ක‍්‍රියාවලිය ගැන පැමිණිල්ලක් කිරීමය. පැය බාගයක් ගියේ නැත. හැරෙන තැපෑලෙන් අදාළ ප‍්‍රධානියා (විදේශ ජාතිකයෙකි) පිළිතුරු දී තිබූ අතර සිදුවීම ගැන යම් අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදුවිය.

ඒ අනුව තුන් වැනි පාර්ශ්වයක් ලෙස සමස්ත සංචාරක වැඩපිළිවෙල මෙහෙයවා තිබූ ප‍්‍රබෝධා මැඩම් පාරිභෝගිකයන් රවට්ටමින් මහා පරිමාණ මුදල් ගැරීමක නිරතව සිටි බව හෙළි විය. ප‍්‍රබෝධා මැඩම්ගේ අංගපුලාවක් නැති තවත් වැඩ ගැන වටින් පිටින් තොරතුරු ගලා ආවත් පාරිභෝගිකයෝ පිරිස නීතියේ පිහිට පැතීමට නොසිතූහ.

ඊට හේතුව වුණේ ජාත්‍යන්තර මට්ටමේ සමාගමක් වූ අදාළ ආයතනයේ කීර්තිනාමයට තුන් වැනි පාර්ශ්වයක් නිසා හානිවිය යුතු නැතැයි යන සාධාරණ සිතුවිල්ල නිසාය. අනෙක් කරුණ වූයේ දේශීය මහත්වරුන් කර අරිද්දී ප‍්‍රධාන විධායක තනතුර දැරූ විදේශික මහතා පෙන් වූ මහත්මා ගුණයයි. අසාධාරණයට ලක් වූ පිරිසට අදාළ සමාගමෙන් වන්දි මුදලක් ගෙවා තිබුණ ද එය තමන්ට වූ පාඩුවට සරිලන තරම් එකක් නොවන්නේ යැයි ඔවුහු ලංකාදීපයට පැවැසූහ.

කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුවත් අනෙකුත් මූලාශ‍්‍රත් පවසන ආකාරයට මෙවැනි ප‍්‍රචාරක වැඩපිළිවෙලට මුවා වී බොරදියේ මාළු බානා ප‍්‍රබෝධා මැඩම්ලා තව කොතෙකුත් සිටිති. පොලිසියට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය වී තිබෙන්නේ මෙවැනි සිදුවීම් ගැන පැමිණිලි බොහෝමයක් ලැබෙන්නේ සිදුවීම වී සැළකිය යුතු කාලයක් ගතවීමෙන් පසුව වීමයි. එනිසා වංචාකරුවන් නීතියේ දැලට හසුකරගැනීම දුෂ්කරව පවතී.

”හලව්.. මිස්ට ........ ” 

”ආ..මේ..ඔව්වොව්..”

”මිස්ට අයිම් ෆ්‍රොම් .......... කම්පනි...” 

හෙට දිනයේ මේ ඇමතුම ඔබට වියහැකිය.

ඉදං

නීතිඥ ජගත් ලියනආරච්චි

‘‘බලධාරියකු නොවන කිසි කෙනෙකුට තව කෙනෙකුගේ ආගමන විගමන බලපත‍්‍රයක් තමා භාරයේ තබාගන්න බැහැ. ඒක නිතීයෙන් වරදක්. රඳවාගැනීමේ නියෝගයක් මගින් අධිකරණයට ඒ හැකියාව තිබුණත් පොලීසියටවත් එවැනි අයිතියක් නෑ. කිසියම් වරදකට සම්බන්ධ අයකුගේ ආගමන විගමන බලපතක් පොලිසියට ලැබුණත් එය සන්තකයේ තබාගන්න බෑ. නඩු භාණ්ඩයක් හැටියට අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. දීර්ඝ කාලයක් තිස්සේ තවත් පාර්ශ්වයක ආගමන විගමන බලපතක් ළඟ තබාගැනීම බරපතල වරදක් හැටියට සැළකිය හැකියි. ’’

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි

‘‘ලංකාව තුළ මෙවැනි දිනුම් ඇදීම් නීත්‍යනුකූලවන්නේ ලොතරැයි මණ්ඩල පනතින් පිහිට වූ ආයතන තුනක් හරහා කරන්නේ නම් විතරයි.  ඉතිරි සියලූ දිනුම් ඇදීම් හැඳින්වියහැක්කේ මිතුරන් අතරේ පමණයි වර්ගයේ වැඩවලටයි. හැබැයි මිනිස්සු මේ බව දන්නේ නෑ. මිනිස්සු මේවාට ගොඩක් වෙලාවට රැුවටෙන්නෙ ඒ නිසයි. මිනිස්සු මීට වඩා තාර්කික වෙන්න  ඕනෑ.

එක අවස්ථාවක ලෝකයේ ප‍්‍රසිද්ධ සමාගමක භාණ්ඩයක් මැව්වේ තමන් යැයි සායි බාබා කිව්වා. ඒක ගොඩක් මිනිස්සු පිළිගත්තත් ඒබ‍්‍රහම් ටී කොවුර් ඒ සමාගමෙන් මේ ගැන විමසුවා. ඒක දුර්මතයක් බව එයින් හෙළිවුණා. මෙවැනි සිද්ධි ගැන පොලිස් ස්ථානවලට නිරන්තරයෙන් පැමිණිලි එනවා. ඇතැමුන් ලැජ්ජාවට පැමිණිලි කරන්න යන්නේත් නෑ. ඒකෙ වාසියත් මෙවැනි කපටින්ටයි. හැබැයි මෙවැනි දේ කරන්නෙ බොහොම සංවිධානාත්මකවයි. ඒ නිසා පමා වෙලා පැමිණිලි කරද්දි ජාවාරමුන් පැන ගිහිල්ලා. කිසිදු සාක්ෂියක් නෑ. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව හැටියට අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මෙවැනි දෙයක් වුවහොත් වහාම පොලිසියට පැමිණිලි කරන්න කියලයි. ඒ වගේම දේවල් ගැන මීට වඩා ටිකක් තාර්කික වෙන්න කියලයි.’’

 

 

 



අදහස් (0)

බලාගෙනයි ! ලොතරැයියකින් ’වින්’ කරලා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 143 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site