IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මුස්ලිම් කාන්තා කට වැසීම

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහිව මුස්ලිම් කාන්තා සංවිධානවලින් අවුරුදු 40 ක පමණ සිට සෙමෙන් සෙමෙන් නැඟුණු හඬ දැන් උච්ච වී තිබේ. ඒ හඬ යටපත් කිරීමට විවිධ මෙහෙයුම් දියත් වන බව මුස්ලිම් කතුන්ගේ විවේචනයයි. කළ යුත්තේ කුමක්ද විශේෂාංගයෙන් අද සාකච්ඡා කෙරෙන්නේ මුස්ලිම් කතුන්ගේ ඒ ඉල්ලීම් පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් අද රටට කරුණු කියන්නේ නීතිඥ අර්මිසා ටීගල් ය. මුස්ලිම් පුද්ගල නීති සංශෝධනය කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමේ (MPLRAG) ප්‍රබල ක්‍රියාකාරිනියක වන අර්මිසා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියකි.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය 1951 දී සම්මත වූ පනතකි. ඊට පෙර තිබුණේ 1929 දී සම්මත කළ මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතයි. මෙය යටත් විජිත සමයේ පැනවූ නීතියකි. එයට පසුබිම සැලසුණේ මොහොමඩියන් කෝඞ් නමින් ලන්දේසි සමයේ ඇති කළ නීතියෙනි. එය ලංකාවට පැමිණියේ එකල බටාවියා නමින් හැඳින්වූ වර්තමාන ඉන්දුනිසියාවෙනි. වර්තමානයේ ක්‍රියාත්මක 1951 සම්මත කළ නීතියට මූලික අඩිතාලම වැටී තිබෙන්නේ ඒ මොහොමඩියන් කෝඞ් එකෙනි.

දැනට ක්‍රියාත්මක නීතිය ධනාත්මක නීතියක් නොවන බවට මේ නීතිය සම්මත වූ යුගයේ සිටම විවේචන එල්ලවී තිබිණ. එහෙත් මේ නීති සංශෝධනය විය යුතුය යන හඬ නැඟෙන්නේ දැනට අවුරුදු 40 ක පමණ සිටය. මේ නීති සංශෝධනය සඳහා 1973 දී එවකට පැවැති ආණ්ඩුවෙන් ෆාරුක් කොමිසම පත් කළත් නීතිය සංශෝධනය නොකෙරිණි. අනතුරුව 2009 දී මිලින්ද මොරගොඩ අධිකරණ අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේය. ඒ කමිටුව එදා සිට 2018 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබේ. එහෙත් 2017 තෙක් ඒ කමිටුවෙන් වාර්තාවක් ඉදිරිපත් කළේ නැත. මුස්ලිම් කාන්තාවන්ගේ හා ඔවුන්ගේ සංවිධානවලින් නැඟුණු හඬ හමුවේ ඒ කමිටුව තම වාර්තාව ඉදිරිපත් කළේ 2018 ජනවාරි මාසයේ දී ය. එහෙත් එහි සඳහන් නිර්දේශ සියල්ල කමිටු සාමාජිකයන් සියලු දෙනාගේ ඒකමතික තීන්දුවකින් කළ නිර්දේශ නොවේ. සරලව කිවහොත් ඒ කමිටුව දී තිබෙන්නේ බෙදුණු තීන්දුවකි.

දැනට තිබෙන මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහය සඳහා අදාළ කාන්තාවගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට ක්‍රමවේදයක් නැත. විවාහ සහතිකයේ ඇයගේ අත්සන තැබීමටද තැනක් නැත. රටේ සාමාන්‍ය නීතිය යටතේ විවාහ වන දෙදෙනාම විවාහ සහතිකයෙහි අත්සන් කළ යුතුය. ඉන් කියැවෙන්නේ ඒ දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් විවාහ වන බවය. ඒ නීතිය යටතේ දෙපැත්තේ සාක්ෂිකරුවන් දෙදෙනෙක්ද අත්සන් කරති. එහෙත් මුස්ලිම් විවාහ නීතිය යටතේ මනාලියගේ කැමැත්ත අකැමැත්ත නොවිමසයි. ඇයට එය කීමටද ඉඩක් නැත. ඇයගේ විවාහය වන්නේ ඇයගේ කැමැත්ත මත නොව අන් අයගේ කැමැත්ත මතය. ඇය අකැමැති වුවත් ඒ විවාහය සිදුවෙයි. රටේ සාමාන්‍ය නීතිය යටතේ විවාහ විය හැක්කේ අවුරුදු 18 පිරුණු අයටය. එහෙත් මුස්ලිම් විවාහ නීතිය යටතේ අවුරුදු 18 ට අඩු දැරියන් පවා ඒ දැරියන්ගේ කැමැත්තකින් තොරව විවාහ කරවීමට වැඩිහිටියන්ට හැකියාව ලැබී තිබේ.

අවුරුදු 35-40 කාන්තාවන්ගේ විවාහ වුවද සිදුවන්නේ එලෙසිනි. තීරකයා වන්නේ තමා නොව තාත්තා, මාමා හෝ වැඩිහිටි පිරිමියෙකි. මුස්ලිම් විවාහ නීතියෙහි තිබෙන අනෙක් බරපතළ කාරණය වන්නේ පුරුෂයාට බහුවිවාහ කර ගැනීමට නිදහස හා අයිතිය ලබාදීමය. එක් පුරුෂයකුට කාන්තාවන් හතර දෙනකු විවාහ කරගත හැකිය. එක් විවාහයක් කරගෙන සිටින පුද්ගලයකු තවත් විවාහ එකක් දෙකක් හෝ තුනක් කරගන්නේ නම් ඒ සඳහා ඒ වන විට ඔහු සමග විවාහ වී සිටින අනෙක් බිරියන්ගෙන් කැමැත්ත ගතයුතු නොවේ. ඔවුනගේ අකැමැත්ත මත වුවද ඔහුට බහුවිවාහ කරගත හැකිය. දැනුම් දීමක් කළ යුතු බව නීතියෙහි සඳහන් වුවද එවැන්නක්ද සිදු නොවේ. තම සැමියා තමන්ට අමතරව තවත් දෙතුන් දෙනකු සමග විවාහ වී සිටින බව බිරිය දැනගන්නේ සැමියාගෙන් නොව සමාජයෙනි. ඇතැම් විට අනෙක් විවාහයේ බිරිය හා දරුවන් නඩත්තු නොකරන විට ඔවුහු තම සැමියා හා පියා සොයා ගෙන එති. සැමියා බහු විවාහකයකු බව තවත් බිරියක් දැනගන්නේ එවිටය. තම සැමියා අසල්වැසි කාන්තාව විවාහ කරගතහොත් ඇය ඒ බව දැනගන්නේ පෙරදා නින්දට ගොස් පසුදා උදේ අවදි වී අසල්වැසි කාන්තාව සමග කතා කරන විටදීය.

අනෙක් බරපතළ කාරණය වන්නේ විවාහය ලියාපදිංචි කරද්දී සැමියා මීට පෙර විවාහවී සිටීද ඒ කී දෙනෙකු සමග දැයි නොවිමසීමය. මෙය ඔබගේ පළමු විවාහයද නැතිනම් දෙවැනි තුන්වැනි හෝ සිව්වැනි විවාහය දැයි නොවිමසයි. ඒනිසා බහු විවාහ කරගත් මුස්ලිම් පිරිමින් කී දෙනෙක් රටේ සිටිත්දැයි කිසිවෙක් නොදනිති. පිරිමියාට තිබෙන අයිතිය හා නිදහස මුස්ලිම් කතුන්ට නැත.

විවාහය සම්බන්ධ අනෙක් බරපතළ කාරණය වන්නේ අවුරුදු 12 ට අඩු දැරියන්ද විවාහ කරවීමය. ඒ සඳහා කාති (Quazi) උසාවියේ අවසරය ගත යුතුය. එය මහේස්ත්‍රාත් අධිකරණයක් සතු බලය තිබෙන ආයතනයක් නොවේ. එය ඇත්තෙන්ම සමථ මණ්ඩල ක්‍රමයකි. එහි නියෝජිතයන් එනම් කාතිවරුන් පත්කරන්නේ අධිකරණ සේවා කොමිසමෙනි. හොඳ ගතිගුණ තිබෙන මුස්ලිම් පිරිමින් පමණක් පත්කළ යුතු බව නීතියේ සඳහන් වෙයි. එසේ පත්කරන පුද්ගලයන්ගේ අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් සොයා නොබලයි. ඇත්තෙන්ම ඒ පත් කිරීම් සම්බන්ධයෙන්ද දැන උගත් මුස්ලිම් ගැහැනු පිරිමි දෙපිරිසටම බරපතළ ප්‍රශ්න තිබේ. ඒ කෙසේ වුවත් අවුරුදු 12 ට අඩු දැරියන් විවාහ කරවීමට කාතිගේ අවසරය ගත යුතුය කීමෙන් අදහස් වන්නේ අවුරුදු 12 ට අඩු දැරියන්ටත් විවාහ විය හැකි බවය. නොඑසේ නම් එතරම් ළාබාල දැරියනුත් විවාහ කරවිය හැකි බවය. එයද බරපතළ ප්‍රශ්නයකි. ඒ වයසේ දැරියක් ළදරුවකු පෝෂණය කරන්නේ කෙසේද යන්නට පෙර අප සිතිය යුත්තේ ඒ වයසේ දැරියකට දරු ගැබක් දරාගත හැකිද යන්නය. මේ තොරතුරුවලින් අනාවරණය වන්නේ මුස්ලිම් විවාහ නීතියෙන් වැඩිහිටි මානව අයිතීන් පමණක් නොව ළමා අයිතිවාසිකම්ද උල්ලංඝනය වී තිබෙන බවය. ඒ නීතිය මුස්ලිම් කාන්තාවන්ට හා දැරියන්ට මානුෂිකව නොසලකන බවය. සරලව කිවහොත් එය අන්ත අමානුෂික නීතියක් බවය.

දික්කසාදය සම්බන්ධයෙන් පිරිමින්ට අදාළ වන්නේ තලාක් (Thalaq) ක්‍රමයයි.  මාස තුනක් පිට පිට කාති උසාවියට පැමිණ තමාට දික්කසාදය අවශ්‍ය බව කාති හමුවේ ප්‍රකාශ කළ යුතුය. ඒ ප්‍රකාශය කළ යුත්තේ බිරිය ඉදිරියේදීය. දික්කසාද වන්නේ ඇයි දැයි හේතු දැක්විය යුතු නැත. එහිදී සැමියාගේ අදහසට හෝ කැමැත්තට විරුද්ධ වීමේ අයිතියක් හෝ නිදහසක් බිරියට නැත. ඇය කළ යුත්තේ බලාගෙන සිටීම පමණකි. මාස තුනක් කල් දෙන්නේ සැමියාගේ තීරණය වෙනස් වෙනවාදැයි බැලීමටය. නැතිනම් සැමියාගේ තීරණය වෙනස් කර ගැනීමටය. දික්කසාදයක් අපේක්ෂා කරන බිරියට තිබෙන්නේ වෙනත් ක්‍රමයකි. එය(Fasah) නමින් හැඳින්වෙයි. සැමියා දික්කසාදය අවශ්‍ය ඇයි දැයි හේතු දැක්විය යුතු නැති වුවත් බිරිය එයට හේතු දැක්විය යුතුය. එසේම ඇය කියන හේතු සත්‍ය බව ඔප්පු කිරීමට සාක්ෂිකරුවන් දෙදෙනකුවත් කැටුව යා යුතුය. ඒ ක්‍රම දෙක එනම් තලාක් හා ෆෂා නීතියේ සඳහන් දික්කසාද ක්‍රම දෙකයි. ඊට අමතරව නීතියේ නැති ක්‍රම ද පවතී.(Khula) හා මුබාරත්  (Mubarath) ඉන් ක්‍රම දෙකකි. කුලා ක්‍රමය යටතේ හේතු නොදක්වා දික්කසාදයක් ඉල්ලීමේ හැකියාව බිරියට තිබේ. එහිදී බිරිය සැමියාට ගෙවීමක් කළ යුතුය. ඉන් අදහස් වන්නේ දික්කසාදය අවශ්‍ය නම් බිරිය එය මිලදී ගත යුතු බවය. මුබාරක් ක්‍රමය යටතේ දෙපාර්ශ්වයේම වුවමනාව මත කාති උසාවියට ගොස් දික්කසාදය ලබාගත හැකිය.

එහෙත් මුස්ලිම් දිස්කසාද වැඩි ගණනක් වන්නේ ඒ ක්‍රමය මත නොව තලාක් ක්‍රමය යටතේය. තලාක් ක්‍රමය යටතේ සැමියා බිරියට වන්දියක් ගෙවිය යුතුය. ෆෂා ක්‍රමය යටතේ සැමියා බිරියට වන්දි ගෙවිය යුතු නොවේ. ඒ නිසා ඒ ගෙවීමෙන් ගැලවීම සඳහා ඇතැම් පිරිමි බිරියට ෆෂා දික්කසාදයකට යන්නැයි බල කරති. තර්ජනය කරති. පවතින විවාහ හා දික්කසාද නීතිය යටතේ කාති උසාවියේ හෝ වෙනත් කිසිම තනතුරක් කාන්තාවන්ට දැරිය නොහැකිය. ඒ සෑම ආයතනයකම සෑම තනතුරක්ම දැරිය හැක්කේ පිරිමින්ට පමණකි. මුස්ලිම් කාන්තාවන්ට මේ තත්ත්වය උදා කර තිබෙන්නේ රටේ පවතින නීතියෙනි.

එහෙයින් මේ අතිඅමානුෂික හා අප ජීවත් වන මේ දියුණු යුගයට නොගැළපෙන මේ නීති වෙනස් කළ යුතු බව අපේ ස්ථාවරයයි, ඉල්ලීමයි, වුවමනාවයි. එහෙයින් මතු දැක්වෙන ලෙස මුස්ලිම් විවාහ හා දික්කසාද නීති වෙනස් කරන්නැයි අපි රජයට යෝජනා කරමු, බල කරමු. රටේ අනෙක් පුරවැසියන්ට මෙන්ම මුස්ලිම් අයටද විවාහයට ඉඩ දිය යුත්තේ වයස අවුරුදු 18 න් පසුවය. අවුරුදු 18 ට පෙර විවාහ වීම මුස්ලිම් අයටද තහනම් කළ යුතුය. අවුරුදු 18 න් පහළ අයට කිසිම හේතුවක් මත විවාහ වීමට ඉඩ නොදිය යුතුය. එසේම මුස්ලිම් පිරිමින් සේම මුස්ලිම් කාන්තාවන්ටද ක්වාසි (Quazis) වරියන්, ක්වාසි මණ්ඩල සාමාජිකාවන් ලෙස පත්කළ යුතුය. එසේම විවාහ රෙජිස්ට්‍රාර්වරියන් ලෙස මුස්ලිම් කාන්තාවෝද පත්කළ යුත්තාහ. එසේම ජුරි සභිකවරියන් සහ රෙජිස්ට්‍රාර්වරියන් ලෙස පත්වීමට මුස්ලිම් කාන්තාවන්ටද ඉඩ දිය යුතුය. ඒ සඳහා අවශ්‍ය පරිදි පවතින නීති සශෝධනය කළ යුතුය. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය ස්ත්‍රී-පුරුෂ බේදයකින් තොරව සැමට එකාකාරිව ක්‍රියාත්මක කළ යුතුය. ස්ත්‍රී-පුරුෂ හෝ නිකාය මත පදනම්ව පිරිසකට වාසිවන ලෙසත් තවත් පිරිසකට අවාසිවන ලෙසත් නීති ක්‍රියාත්මක නොකළ යුතුය.

මුස්ලිම් විවාහවලදී මනාලයා සේම මනාලියද විවාහ සහතිකයේ අත්සන් කළ යුතුය. විවාහයට අදාළ සියලු ලියකියවිලිවලට මනාලයාගේ සේම මනාලියගේ අත්සන ද ගත යුතුය. අවුරුදු 18 ට වැඩි සෑම මුස්ලිම් කාන්තාවකටම ස්වාධීනත්වය හා ස්වාධීනව තීන්දු ගැනීමේ අයිතිය දිය යුතුය. එසේම විවාහයකට එළඹීමේ දී පියා හෝ මාමා වැනි කිසිදු පිරිමි ඥාතියකුගේ හෝ ක්වාසිවරයකුගේ අවසරය අවශ්‍ය බවට දැනට තිබෙන නීති අහෝසි කළ යුතුය. බලෙන් විවාහ කරවීම බරපතළ දඬුවම් ලැබෙන වරදක් කළ යුතුය. එසේම විවාහය නීත්‍යනුකූලව වලංගුවීම සඳහා ලියාපදිංචිය අනිවාර්ය කිරීම ද කාලීන අවශ්‍යතාවකි. බහුවිවාහ සඳහා අවසර දිය යුත්තේ සුවිශේෂී තත්ත්වයන් මත සාධාරණ හේතු යටතේය. එසේම සියලු පාර්ශ්වවල අවසරය අනුමැතිය හා කැමැත්ත ලබා ගැනීම එහිදී අනිවාර්ය කොන්දේසියක් කළ යුතුය. එසේම බහු විවාහය සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීම අනිවාර්ය කිරීමද යුගයේ අවශ්‍යතාවකි. තලාක් සහ ෆෂා ක්‍රම යටතේ දික්කසාදය ලබාගැනීම සඳහා කොන්දේසි පැනවිය යුතුය. දික්කසාදයක් ලබාගැනීමට සැමියාට මෙන්ම බිරියටද තිබිය යුත්තේ එක ක්‍රමයකි. එහි ක්‍රියාපටිපාටි සේම අභියාචනා ක්‍රියාවලියද දෙපාර්ශ්වයටම සමාන විය යුත්තේය. විකල්ප ලෙස මුබාරක්  (Mubarath) සහ කුලා (Khula) ආකාරයේ දික්කසාද ක්‍රම ද නීතියෙන් පිළිගත යුතුය. අවසාන වශයෙන් දෑවැදි ඉල්ලීම හා ගැනීමද නීතියෙන් තහනම් කළ යුතුය. ත්‍යාග හා තිළිණ දෑවැදි ලෙස නොසැලකිය යුතුය. මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය විය යුත්තේ එලෙසිනි. මුස්ලිම් කාන්තාවන්ට හා දැරියන්ට මානව අයිතිවාසිකම් භුක්ති විඳීමට ලැබෙන්නේ නීති එලෙසින් සංශෝධනය කිරීමෙන් පමණකි.

අපේ මේ ඉල්ලීම් හා යෝජනා සම්බන්ධයෙන් ඇතැම් මුස්ලිම් පිරිමින් කියන්නේ ඒ තරම් නිදහසක් හා අයිතිවාසිකම් භුක්ති විඳීමට  සුදුසු මට්ටමකට ලංකාවේ මුස්ලිම් කාන්තාවන් දියුණු වී නැති බවය. එය පුරුෂාධිපත්‍යය මත පිහිටා කරන බොළඳ, මෝඩ හා හිස් තර්කයකි. කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නවලට සවන් දීමට කවුරුත් වැඩි කැමැත්තක් නොදැක්වීම මුස්ලිම් සමාජයේ පමණක් නොව සිංහල හා දෙමළ සමාජයේද පවතින තත්ත්වයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ පවතින්නේ බරපතළ තත්ත්වයකි. තීරණ ගන්නා තැන්වල සිටින පුද්ගලයන් කාන්තා ප්‍රශ්නවලට මූලිකත්වයක් නොදීම මේ රටේ හැමතැනකම තිබෙන රෝගයකි. අප කියන්නේ කාන්තා ප්‍රශ්නවලට කාන්තා කටයුතු අමාත්‍යාංශය ද ප්‍රමුඛත්වයක් නොදෙන බව ය. එයින් පැහැදිලි වන්නේ ඔවුනට වෙනත් ප්‍රමුඛතා තිබෙන බව සහ කාන්තා ප්‍රශ්න විසඳීමට දක්වන උදාසීන ස්වභාවයයි. කාන්තා ප්‍රශ්න නොසලකා හරින ස්වභාවයයි. මුස්ලිම් කාන්තා හා ළමා ප්‍රශ්න සම්බන්ධයෙන් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට ළමා හා වනිතා කටයුතු අමාත්‍යාංශය සේම රජය ද මෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අපට සිදුවෙයි.

මුස්ලිම් දැරියන්ට හා කාන්තාවන්ට ගෙදරිනුත් සමාජයෙනුත් රජයෙනුත් සහනයක් නැති විට ඔවුන් වැටී සිටින්නේ දෙවැනි නොව තෙවැනි පන්තියේ පුරවැසියන් ගණනට ය. හාස්‍යජනක කාරණය වන්නේ 18 වැනි සියවසේවත් නොතිබුණු මේ ඇතැම් ලක්ෂණ පවත්වාගෙන යන්නට 21 වැනි සියවසේදීත් මාරාන්තිකව සටන් කිරීම ය. ප්‍රධාන ප්‍රවාහයේ සිටින දේශපාලන නායකයන් මුස්ලිම් කාන්තාවන්ගේ හඬට සවන් නොදෙන්නේ තම ඡන්ද පදනම් රැක ගැනීමට බව දැන් සමස්ත රටම දන්නා කරුණකි. මුස්ලිම් කාන්තා ප්‍රශ්නවලට විසඳුම් දුන්නොත් බලය ලබාගැනීම හා බලය රැක ගැනීම ප්‍රශ්නයක් වනු ඇතැයි ප්‍රධාන දේශපාලන පක්ෂ කල්පනා කරයි. ඡන්ද බලය තිබෙන්නේ මුස්ලිම් පිරිමින්ට පමණකැයි ඒ දේශපාලන නායකයන් සිතනවා විය හැකිය. මුස්ලිම් කාන්තාවන් වෙතින් මෙතරම් ප්‍රබල හඬක් නැඟෙමින් පැවතිය දී නැති ප්‍රශ්න ඇති කිරීමට හේතුවන සහ තිබෙන ප්‍රශ්නවලට සැබෑ විසඳුම් නොලැබෙන නීති සංශෝධන කීපයකට ඇමැති මණ්ඩල අනුමැතිය දී තිබෙන්නේ ඒ වැරැදි අවබෝධය මත පිහිටා විය යුතුය. ඇස් බැන්දුම් හා බටර් ගෑමෙන් ප්‍රශ්න නොවිසඳෙන බව ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන නායකයන් සේම මුස්ලිම් ජනතා නියෝජිතයෝද තේරුම් ගත යුත්තෝය.

ගුණසිංහ හේරත්



අදහස් (21)

මුස්ලිම් කාන්තා කට වැසීම

Maheel Wednesday, 04 September 2019 07:33 AM

මේ තරමටම අමානුෂික නීති ගොඩක්ද මේ මහා ලොකු මුස්ලිම් සමාජය පවත්වාගෙන ‍යන්නේ? හොඳ වෙලාවට මේක මුස්ලිම් ලෝයර් කෙනෙක්ගෙන්ම එළියට ආවේ... බොහොම ස්තුතියි අක්කේ..

:       4       299

ajith Wednesday, 04 September 2019 09:36 AM

මේ අය ලාබාල දැරියන් විවාහ කරගන්න මැරෙන්න හදන්නේ. මේවා බලධාරීන්ට පේන්නේ නෑ.

:       1       34

rim Wednesday, 04 September 2019 10:36 AM

මේ උගත් නීති නෝනා මුස්ලිම් ආගම හරියට දෙනාගෙන නොවෙයි ඔහොම පිරිමින්ට දොස් කියන්නේ බඳින්න පුළුවන් වෙන්නේ පළමු විවාහයේ බිරිඳගේ අනුමැතිය ඇතුවයි. එහෙම නැතුව තමන්ට ඕනෑ විදියට බඳින්න පුළුවන්කමක් නෑ. ඒ හින්දා ආගමේ මිනිස්සු හදාගෙන තියෙන ඒවා පටලවාගන්න එපා.

:       368       47

PradeepWednesday, 04 September 2019 05:05 PM

අයියෝ රිම්... ඔයාලට රිම් එකෙන් යන්නම මේ නෝනා දීලා තියෙද්දීවත් කට වහගෙන ඉන්න බලන්න.

:       4       301

maheelThursday, 05 September 2019 03:20 AM

රිම් ඔබට බොහොම කේන්ති කසාද ගොඩක් කරගැනීමට ගැටලු මතුවීම හින්දනෙ. පව් අනේ ඔයා. ඕක මාත් අහල තියෙනව අපේ ගේ ඉස්සරහ ගෙදර මුස්ලිම් හින්ද. හොඳයි මේ ලෝයර් කිව්ව අනිත් දේවල් ගැන මොකෝ කියන්නෙ. අවුරුදු 12 අඩු කිරිසප්පයින් කසාදෙ නමින් දූෂණය කිරීම ගැන එහෙම. ඒව මොන ආගමික නීතියෙ තිබ්බත් තිරිසනෙක් වත් නොකරන හිරිකිත වැඩ හලෝ

:       4       230

abaran Wednesday, 04 September 2019 12:02 PM

අපිව සහ සමාජය දැනුවත් කරාට බොහොම ස්තුතියි.. ඒත් පරෙස්සම් වුණා නම් හොඳයි.

:       2       189

Deepal Nirosh Wednesday, 04 September 2019 02:33 PM

විවාහයට වේවා... වෙනත් ඕනෑම කරුණකට හෝ වේවා... රටකට තිබිය යුත්තේ එක පොදු නීතියකි.

:       0       229

harimagaThursday, 05 September 2019 06:03 AM

දීපාල් මහත්මයාගේ අදහසට මමත් එකඟයි. හැබැයි මේ මුස්ලිම් ජාතික නීතිඥ මහත්මිය ඉල්ලන්නේ පොදු නීතියක් නෙවෙයි. තියන මුස්ලිම් නීති වලට සංශෝධනයක්. රටක් වශයෙන් ඒක සාර්ථක විසඳුමක් වෙන්නේ නෑ. රටේ කාටත් ඒක පොදු නීතියක් පිහිටවූ දාට මුස්ලිම් කාන්තාවට ඉබේම සාධාරණය ඉෂ්ඨ වෙයි.

:       0       179

elpee Thursday, 05 September 2019 04:18 AM

මෙහෙම බලනකොට සිංහල කාන්තාවන් කොයි තරම් නිදහසක් අත් විඳිනවද කියලා තේරෙනවා. ඒත් අවාසනාවකට ඒ තරම් නිදහසක් තියෙන රටේ ඉපදිලත් මේ අසරණ කාන්තාවන්ට වහලියන් වගේ ජීවත් වෙන්න ඔවුන්ගේ ආගමික නීතිම හේතු වෙලා තියනවා. සියළුම කාන්තාවන් උතුම් තත්වයේලා සලකන්න යයි පළමුවෙන්ම උපදෙස් දුන්නේ බුදුන්වහන්සේයි.

:       0       186

ArisFriday, 06 September 2019 04:18 PM

මුස්ලිම් බහුතරය වූ ගමන් සිංහල ගැහැණුන්ටත් ඔය නීතිය තමයි. ඔන්න එතකොට ඒ ගොල්ලෝ කියයි එක රටේ එක එක නීති දෙන්න බැහැ. ඒ නිසා සිංහල කාන්තාවනුත් දැන්ම මේ ගැන කතා කරන එක හොඳයි.

:       0       111

කල්පනාSaturday, 07 September 2019 01:03 AM

මුස්ලිම් බහුතරය වීමට වැඩි කලක් නෑ.සිංහල කාන්තාවන් බොහෝවිට කැමති එක් ළමයෙක් හදාගෙන එයත් අරගෙන ක්ලාස් (පංති) යන්න තමයි.මුස්ලිම් කාන්තාවො අවුරුදු 16 දී විවාහ වෙලා ඇතිතරම් කොල්ලො හදනවා.මුස්ලිම් පිරිමි සමග හෝ දෙමළ පිරිමි සමග යන සිංහල ගැහැනු ලමයි හතරක් පහක් හදනවා.බොහෝවිටම සංහල කාන්තාවන්ට ලැබෙන්නෙත් ගැහැනු ළමයින්ම වීම ප්‍රශ්ණයක් වෙනවා.

:       54       79

RIHAN Thursday, 05 September 2019 07:21 AM

නෝනට ඔක්කම තේරී දවසකට. එදාට පරක්කු වෙඩි.

:       119       0

Rihan Thursday, 05 September 2019 09:43 AM

තමන් මවපු දෙවියන් වහ්සේගේ නීති වලට ඇඟිලි ගසන තරමට ඉගන ගත් මැය ගැන ඉතා දුකයි..

:       210       1

rim Thursday, 05 September 2019 09:59 AM

අනේ මහීල් , බඳින වයස ආගමේ කොහෙවත් කියල නැහැ . සේරම මිනිස්සු හදාගත්ත දේවල් . ඒවා අනිවාර්යෙන්ම නැති කරන්න ඔ්න. අපි කියන්නෙත් ඒක තමයි . ගොඩ දෙනෙක් කතා කරන්නේ කොහෙන්දෝ කොටසක් අල්ලගෙන . මේක තමයි ප්‍රශ්නය. හරි හැටි දැනගෙන කතාකරන්න. හතරක් නෙවෙයි පහක් උනත් පුළුවන් .ඔක්කොම එකවිදියට බලාගන්න පුලුවන්නම්

:       143       12

liyanage Friday, 06 September 2019 07:52 AM

හොඳ පැහැදිලිකිරීමක්. පොදු නීතියක් හදන්න.

:       1       52

liyanage Friday, 06 September 2019 11:19 AM

හොඳ පැහැදිලි කිරීමක්... පුද්ගලික නීතියක් සම්බන්ධයෙන් නෛතික ගැටළුවක් විසඳීමට දෙපාර්ශවයම එකඟ වන්නේ නම් එය පුද්ගලික නීතිය යටතේ විසඳා ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න. අවම වශයෙන් එක් පාර්ශ්වයක් පොදු නීතිය යටතේ කාරණය විසඳීමට කැමති නම්, එය පොදු නීතිය යටතේ විසඳිය යුත්තේ එය ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන බැවිනි.

:       2       83

udaya Friday, 06 September 2019 12:32 PM

බලාගෙන යනකොට ගෝත්‍රික නීති නේද මෙයාලට තියෙන්නේ..? අඩු ගණනේ දැන් ඔක්කොම තත්වය දන්නවා. මේ නීතිඥ නෝනට අපේ උපහාරය...

:       2       130

rimSaturday, 07 September 2019 07:10 AM

නීතිගන නෝනා කිව්වත්, නැතත් අපි දන්නවා අපට කියලා තියෙන්නේ මොකද්ද කියලා... එක නීති නෝනා දැනගෙන තියෙන්නේ පස්සෙයි. ඉස්ලාම් ආගමේ කොහෙවත් නැහැ ගෝත්‍රික අදහස්.. ඒ වගේම ආගම කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වන දෙයක් නෙවෙයි.. ඒ වගේම මේක දර්ශනයකුත් නෙවෙයි. ශුද්ධ වූ ආගමක්. මිනිසුන් කරන වැරදි දේවල් ගැන බලල ආගම විවේචනය කිරීමට ඔබට කොහෙත්ම අයිතියක් නැහැ.

:       415       12

rim Sunday, 08 September 2019 05:58 AM

අනේ කල්පනා හැමෝටම ප්‍රශ්නේ මුස්ලිම් අය ළමයි වැඩිපුර හදනවා කියලද? තමන්ගේ අයත් නිසිකාලෙට බැන්දොත් අවශ්‍ය ගානට හදාගන්න පුළුවන්... කොයි සිංහලයද නිසි වයසේ බඳින්නේ? සේරම ප්‍රශ්න ඉවරකරලා බඳින්න යනකොට නිකම්ම නාකිවෙලා මේක සමාජෙට කියලා වටහලා දෙන්න. එහෙම නැතුව අනිත් ආගමේ අයට බැනලා ඊර්ෂ්‍යා කරලා වැඩක් වෙන්නේ නැහැ.

:       120       95

රොහාන්Monday, 09 September 2019 01:44 PM

අද ලෝකෙට දරාගන්න බැරිතරමට මිනිස්සු ඉන්නවා. ලෝකෙම තියෙන ස්වභාවික සම්පත් ඉවර වීගෙන යනවා. එහෙව් වෙලාවේ තවත් කෝටි ගණන් ළමයි හදලා හරියනවද? ඔය වැඩිවෙන ගාණට ඉඩම් දෙන්න තමා අපේ ස්වාභාවික වනාන්තර ටිකට වැඩේ දෙන්නේ...

:       1       271

ලාල් මලවිආරච්චි Friday, 03 March 2023 10:06 PM

මුස්ලිම් සමාජය කියන්නේ, මුස්ලිම් සමාජය! ආගම, සංස්කෘතියත් එහෙමයි. ඒක, ඒ විදියටම ලෝකෙ තියෙන්න ඕනෑ. අන්තවාදී, විනාශකාරී විතරක් නොවී. ඒක, ඕන ඕන විදියට වෙනස් කරන්න කාටවත් අයිතියක් නෑ. එහෙම කළොත්, ඒ වටිනා සංස්කෘතියේ අනන්‍යතාවය, විශේෂත්වය, ලස්සන, අගය එන්න එන්න අඩුවෙලා, නැතිවෙලා යනවා. එතකොට තමයි, කාටකාටත් තේරෙන්න පටන් ගන්නේ. එතකොට වැරැද්ද වෙලා ඉවරයි. මුස්ලිම් සමාජය් තුළ 'නමට' මුස්ලිම් පිරිමි, ගෑණු නෑ. ඔවුන් ප්‍රායෝගිකවම මුස්ලිම්. හදවතින්ම මුස්ලිම්. ගෑණුන්ගේ, ළමයින්ගේ ඔලු වලට ඔයි ප්‍රශ්න දැම්මොත් විතරයි, ඒවා 'ප්‍රශ්න' වෙන්නේ. මම අභියෝග කරනවා..! තීරණ ගන්න කලින්, කරන්න හරි Research එකක්. මුස්ලිම් ගැහැණු වැඩි දෙනෙක් පවතින කිසිම නීතියක්, සම්ප්‍රදායක් වෙනස් කරනවාට කැමැති නෑ. සිංහල-බෞද්ධ මහ ජාතියයි කියාගෙන, ඒ මහ ජාතියෙ ගෑණුන් ගෙ 'ඉරණමට' ඔවුන් ඇදල දානවට, ඔවුන් කිසිසේත්ම කැමති නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 279 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1209 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1797 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1337 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site