නොදන්නා ඇතැමෙකු කියන්නේ බුදු දහම ආගමක් යැයි කියාය. එහෙත් එය දර්ශනයකි. ජීවන දර්ශනයකි. ඇතැම් උගතුන් බුදු දහම වනාහි ජීවත්වීමේ කලාවක් යැයි කියන්නේ එහෙයිනි. ආධ්‍යාත්මික දියුණුව මගින් නිවන් දැකීම නම් වූ පරමාර්ථ සාධනය මෙන්ම ඊට පෙර ගත කරන කාලය ගැන ද බුදු දහමින් කියැවේ. එයින් උගැන්වෙන්නේ සමාජයීය ශික්ෂණයකි.
මන්දයත් නිවන් දැකීම යනු ක්‍රියාවලියක් වන බැවිනි. සරලව කිවහොත් කෙනෙකු හිත අවුල් කරගෙන සිටිද්දී එක්වරම නිවන් මග සාක්ෂාත් කරගැනීමට නොහැකිය. ඒ සඳහා පළමුව සිත සංවර කරගත යුතුය. බුදු දහමින් උගන්වන්නේ එකී මාර්ගයයි. එහිදී අල්පේච්ඡභාවයෙන් යුතුව පහසු දිවි පෙවෙතක් ගත කිරීමට යමෙකුට හැකි නම් එය ඉතා හොඳ ප්‍රවේශයකි. කරණීයමෙත්ත සූත්‍රයේ ‘සුභර’ යනුවෙන් හඳුන්වන්නේ මේ ජීවන ලක්ෂණයයි. එහිම ‘සල්ලහුකවුත්ති’ යනුවෙන් කියන්නේ සැහැල්ලු ගති පැවැතුම් ගැනය. එහෙත් පරිභෝජන ක්ෂුධාවෙන් දැවෙන මේ ලෝකය පහුගිය කාලය පුරාවටම කළේ මෙම ජීවන සම්ප්‍රදායට එදිරිව මිනිස් හැඟීම් ඇවිස්සීමය.
වෙළෙඳපොළක් වූ ලෝකයට අවශ්‍ය වූයේ සිය ව්‍යාපාරික අරමුණු දිනාගැනීම විනා මිනිස් සිත සංවර කිරීම නොවේ. සමාජයක් කොට්ටඋරයක් මෙන් නොපිට හැර වූ වෙළෙඳ ප්‍රචාරණ මෙම වෙළෙඳපොළකරණයෙහි ප්‍රමුඛයෙකි. මිනිසුන් ඒ සා නොසිතුවත් ඇතැම් සරල වෙළෙඳ ප්‍රචාරණ සමාජයක චින්තනයට කරන බලපෑම සුළුපටු නොවේ. මේ ප්‍රචාරණ ව්‍යාපෘතිවල යටි පෙළෙහි වූයේ පරිභෝජන ක්ෂුධාවෙන් පෙළෙන මිනිසුන් මග නොමග නොදැන යන ගමනකට ඇදවැට්ටවීමය. කුසට අහරක් නැති දිළිඳු මිනිසුන් දහස් ගණනින් මියැදෙන ලෝකයේම ඇතැම් ධනවත් රාජ්‍යවල මිනිසුන් අධිපෝෂණයෙන් මියයෑම් වාර්තා විය. තවත් දියුණු යැයි කියන රටවල ආහාර ටොන් ගණනින් අපතේ හැරියේය. එය ඒ පරිමාණයෙන්ම සිදු නොවුණ ද විවෘත ආර්ථිකයත් සමඟ ලංකාවේ සමාජය ද අධිපරිභෝජනයට බර සුඛෝපභෝගී ජීවන දර්ශනයකට මග විවර කරගත්තේය. දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී වශයෙන් බොහෝ තිළිණ අපට ලැබෙන්නට ගත්තේ මේ සමඟය. මෙවැනි දේ වෛද්‍ය විද්‍යාත්මකව විග්‍රහ කිරීම එක් තලයකි. එමෙන්ම එහි අනෙක් පාඩම වන්නේ අධිපරිභෝජනවාදී මිනිසුන්ට ස්වභාව ධර්මයෙන් දෙන අනතුරු ඇඟවීමය.
මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ දර්ශනය සමග මේ රටේ මිනිස්සු බොහෝ කලක් ජීවත් වූහ. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය එහි මූලික විය. කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ජනයා සිය විවේක බුද්ධිය කලා නිර්මාණවලටත් ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණයටත් යොදාගත්හ. ජීවන මග දෙස සෞන්දර්ය නෙතින් බලන ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මිනිසකු තැනුණේ එමගිනි. එහෙත් අවාසනාවකට ඒ ජීවන දර්ශනයෙන් අපි පිට පැන්නෙමු. කොවිඩ් 19 වයිරසය විසින් සිදුකරනු ලැබුවේ එසේ නොමග ගිය සමාජයකට විවේක බුද්ධියෙන් කල්පනා කරන්නැයි ඇරියුම් කිරීමය. සැබැවින්ම යුරෝපාකරය ඇතුළු බටහිර ලෝකයම නතර වී කල්පනා කළත් අලුත් ආරම්භයකට මඟ කියන්නට දායාද වූ ජීවන දර්ශනයක් නැත. එහෙත් ශ්‍රී ලාංකික අපට එසේ නොවේ. සරල දිවි පැවැත්මකට මඟ ගැන අමුතුවෙන් පර් යේෂණ කළ යුතු නැත.
ශිෂ්ටාචාරයකට මඟ කියූ මේ උතුම් පෝ දිනය යනුම අප අත්හළ ඒ ජීවන දර්ශනය ගැන යළි මෙනෙහි කිරීමට පිවිසුමකි.
ගෝලීයකරණය සමඟ රටක් හැටියට අපට සෙසු රටවල් සමග වූ අන්තර්සම්බන්ධය දෘඪ එකක් විය. ආනයන අපනයන ආර්ථික කටයුතු මෙන්ම විදේශගත ශ්‍රමිකත්වය හා සංචරණය සමග එය අපේ රටට විසල් බලපෑමක් කළේය. එය අපේ චින්තනයට ද බලපෑවේය. විදේශයකින් ගෙනෙන දෙයක් ලැබෙන දෙයක් අමුතු වටිනාකමක් ඇති දෙයක් හැටියට සිතන ක්‍රමයක් ද බිහි විය.
රට නම් වූ විශේෂණය සමඟ ආනයනික දේ රට කෑම, රට බීම, රට බඩු, රට රස්සා පමණක් නොව රට අඹ, රට දෙල් වශයෙන් අමුතු වටිනාකමකින් කරන ආමන්ත්‍රණයක් දක්වා එය වර්ධනය විය. එය කොතරම් වීද යත් ඇඳුම් පැළඳුම්, ආහාර, නිවාස හා ඖෂධ වශයෙන් වූ මිනිසාගේ මූලික අවශ්‍යතා හතරටම මේ චින්තනය මහත් බලපෑමක් කළේය. රෙදිපිළි ගැන කතා කළහොත් කපු කටිමින් සිටි කුවේණිය දක්වා දීර්ඝ ඉතිහාසයක් අපට හිමිය. ස්වාධීනව තමන්ම සකස් කරගත් අපේ ඇඳුම කය සංවරයට හේතුවක් ද විය. සිරුරට ද අපහසුවක් නොවීය. විළි වසාගැනීමත් මැසි මදුරු උවදුරුවලින් මිදීමත් යන මූලික අවශ්‍යතා එමගින් සපිරුණි. එහෙත් පෙර කී ගෝලීයකරණය සමග සෙසු ලෝකයා අනුකරණය කරන්නට ගිය අපි ෆැෂන් ෂෝ සංස්කෘතියකටම තල්ලු වීමු. මේ නිසා ඇඳුමේ මූලික අවශ්‍යතාව අනෙකා ආකර්ෂණය කරගැනීම දක්වා ඌණනය විය. මේ වටිනාකම් කිසිවක් අපේ නොවේ. ඒවා බටහිර උරුම බව සැබෑ ලෙස අප වටහාගත යුතුය. මේ මානසිකත්වයෙන් මිදෙන තුරු අපට අපේකම නිර්මාණය කරගත හැකි නොවේ. මෙහි අතුරු ඵලය වන්නේ ජාතිකත්වය අපෙන් ගිලිහී යෑමය. නිදසුනක කොවිඩ් වයිරසයේදී අඩු හානියක් වූ බුරුමය ගනිමු. බෞද්ධ රටක් වන බුරුමයේ තවමත් කාන්තාවන් අඳින්නේ රෙද්ද හා හැට්ටයයි. පිරිමි අඳින්නේ සරමයි. එරට මහා ධනවතුන් රාජ්‍ය නායකයන් පවා ගරු කරන්නේ ඒ ඇඳුමටය. තමන්ගේ රෙදි පිළි තමන් විසින්ම සකස් කරගනු ලබන්නට බුරුමයට හැකිව තිබේ. සිය සාම්ප්‍රදායික ආහාර හා ජීවන රටාවට කරන ගරුත්වය විසින් පෙරළා බුරුමවැසියන් ආරක්ෂා කරනු ලැබ තිබේ.
පසුගිය කාලයේදී ලක්වැසි ආහාර රටාවට වූ විපර්යාසය සුළුපටු නැත. ලක්වැසියන් හුරු වී සිටියේ ප්‍රධාන ආහාරය වූ බත් සමග වත්තේ පිටියේ වැවෙන අල, කොළ සමග සරල ආහාරයක් ගැනීමටය. එහෙත් ගෝලීයකරණ වටිනාකම් සමග මේ ආහාර වෙනුවට හැම්, බර්ගර්, සැන්ඩ්විච් ආදී ක්ෂණික කෑමවලටත් ශීතකරණවල දින ගණනක් කුණුවෙමින් තිබෙන මස්වලටත් ලාංකිකයා තල්ලු විය. අතීතයේ අපට කෙටි කෑම නොතිබුණේ යැයි මෙයින් කියැවේද? නැත. කෙටි ආහාර වේල් අපටත් තිබුණි. හාල් ටිකක් කබලේ බැද කොටා පොල් සීනි දමා අග්ගලා සකස් කරගත්තේ ඒ අනුවය. කොකිස්, ආස්මි වැනි විචිත්‍ර ආහාර සකස්කරගැනීමේ පරිචය අපේ මව්වරුන්ට නොතිබුණා නොවේ. මේවා ගැන නැවත සොයාබැලුවොත් අපේම යැයි කිවහැකි ආහාර වට්ටෝරු කැවිලි පෙවිලි ගැන සොයාගන්නට බැරිකමක් නැත. ඇත්තටම වුණේ සංස්කෘතියක වටිනාකමක් නොදන්නා පිරිස් විසින් විදෙස් වටිනාකම් අපේ ජන සිත් සතන්වලට කවනු ලැබීමය. මේ නිසා අවසන සිදුවුණේ මහා සංස්කෘතික සෝදාපාළුවකි. නව පරපුරේ තරුණියන් පැරැණි ආහාර වට්ටෝරු නොදන්නා තරම්ය. සියල්ල තිබෙන්නේ අවුලකය. ඕනෑම සංස්කෘතියක තමන්ට ආවේණික ආහාර වට්ටෝරු තිබෙන අතර ලොව බොහෝ සමාජ ඒවා ඒ අයුරින්ම නඩත්තු කරගෙන යයි. එහෙත් වෙළෙඳපොළ වටිනාකම්වලට බෙල්ල තැබූ අපේ ජන සමාජය අපේ අනන්‍යතාවේ රුව ගුණ සුවඳ සියල්ල විනාශ කරගත්තේය.
නිවාස හා වාසස්ථානවලට වුණේ ද ඒ සන්තෑසියමය. කටු මැටියෙන් සකස් වූ වරිච්චි බිත්තියෙන් යුතු පොල් අතු සෙවිලි කළ නිවෙසේ තිබුණේ සිසිලස පමණක්ම නොවේ. විසල් සෞන්දර්යකි. ආර්ථිකයට ද මහා බරක් නොවූ ඒ ගෘහ කර්මාන්තයෙහි සැබැවින්ම මිනිසුන්ට තිබුණේ සහනයකි. අප මෙයින් කියන්නේ සියලු නිවාස යළි මැටියෙන් ගොඩනැගීමක් ගැන නොවේ. විදෙස් සංස්කෘතික ආක්‍රමණයේ තරමය. අනන්‍ය වූ සංස්කෘතියට ආභාසය ලබනු වෙනුවට අප කළේ ඇමෙරිකානු හා රුසියානු මාදිලියේ ගෘහ නිර්මාණ ගෙඩි පිටින් පැළ කිරීමය. උත්ප්‍රාසජනක ලෙස මේ සංස්කෘතික හෝදාපාළුව පෙරළා අපේ සංචාරක කර්මාන්තයටත් වින කටින තැනට වර්ධනය වී තිබේ. විදෙස් සංචාරකයන් ඇත්තටම කැමැති අපේ අනන්‍ය සංස්කෘතිය දැක බලාගැනීමටය. සංචරණයේ එක් අරමුණක් වන්නේම එයයි. සංචාරකයන් මෙරටට එන්නේ වායුසමීකරණවල හෝ විදුලි පංකාවල සිසිලස ලැබීමට නොවේ. එහෙත් පසුගිය කාලයේදී අප විසින් කරනු ලැබුවේ කුමක් ද? අපේ හරිත පරිසරය විනාශ කර සංචාරකයන්ට නවාතැන් දෙනු වස් කොන්ක්‍රීට් මාලිගා තැනීමය. මේ වනවිට සිදු වූ අබග්ගය යම් පමණෙකින් හෝ ඇතැම් මිනිසුන් තේරුම් ගනිමින් සිටීම වටී.
සිව්වැනිව ඖෂධ භාවිතයේදී සිදුවුණේ ද එයමය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පරම ලාභය ආරෝග්‍යාවයි. එහෙත් පසුගිය දශකයේදී හතු පිපෙන්නාක් මෙන් ඉදි වූ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් ඒවා මිනිසුන්ගෙන් පිරී තිබූ ආකාරයත් අපට දුන්නේ කවර පණිවිඩයක් ද? උණක් හෙම්බිරිස්සාවක් හැදුණු විට කොත්තමල්ලි ටිකක් පත්පාඩගම් ටිකක් තම්බා බොන්නට දෙන මවුවරුන් සීනි ටිකක් කටට දැමුවේ මගේ පුතාට බුදු සරණයි ඔයින්ම සනීප යැයි කියාය. ඇත්තෙන්ම උණ හෙම්බිරිස්සාව ද අපේ ශරීරවලට අල්ලාගෙන හිටියේ නැත. ඒත් දැන් එහෙම බැරිය. උණක් හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් ඩෙංගු හෝ වෙනත් උණක් යැයි කියාගෙන සියල්ලට ප්‍රථමයෙන් බියට පත්වන සමාජය දුවන්නේ වෛද්‍ය මධ්‍යස්ථාන කරාය. මිනිසුන්ගේ රෝ බිය යැපුම් මාධ්‍යක් කරගෙන සිටින එතැනින් රටේ නැති පරීක්ෂණවලට රෝගියාගේ පවුලේ උදවිය යොමු කරයි. පහුගිය කාලයේදී දේශීය වෛද්‍ය විද්‍යාවත් පාරම්පරික වෙදකමත් තනිකරම ප්‍රතික්ෂේප වූයෙන් පරණ බෙහෙත් කඩ වැසී ගියේය. එහෙත් කොවිඩ් වයිරසයත් සමඟ සිදුවුණේ කුමක් ද? විපර්යාසයක් නොවේද? වෙනදා මෙන් වෛද්‍ය මධ්‍යස්ථාන පසුපස දිව නොගිය මිනිස්සු කොත්තමල්ලි ටිකක් බොන්නට හුරු වූහ. පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමයේ මුල් සොයන්නට පටන්ගත්හ. සෞඛ්‍යමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද මේ විපර්යාසය මිනිසුන්ට කෙතරම් බලපෑමක් කරන්නට ඇතිද?
මේ විනාශකාරී ජීවන මගින් සිය රටවැසියා යළි මඟ වෙත ගැනීමේ විසල් කාරියක් පැවැරෙන්නේ ජනමාධ්‍යටය. කොවිඩ් වයිරසය සමඟ වෙනස් වූ සමාජ ක්‍රමය විසින් මේ වනවිට අපේ මිනිසුන්ගේ ඇස් යම් පමණකට විවර කරනු ලැබ තිබේ. දේශීයත්වයේ වටිනාකම හා අපේ උරුම ගැන සොයාබලන්නට විමසන්නට ලාංකිකයන්ට හටගෙන ඇති මේ උනන්දුව නොනසා වර්ධනය කිරීමට ජනමාධ්‍යයට හැකිය. සිංහලයා ශිෂ්ටසම්පන්න ජීවන මඟකට යොමු කළ මේ උතුම් දිනය ද එම නව මඟෙහි පියමනින්නට වටිනා කියන ආරම්භයකි. ඉතින් ඒ අල්පේච්ඡ පරහිතකාමී සරල මිනිසා යළි නිර්මාණය කරගැනීමට අපි කටයුතු කරමු. අනුබුදු මිහිඳු හිමියන් දුන් දායාදය ඔස්සේ ඒ ගමන යමු. ශිෂ්ටාචාරයකට මඟ කියූ මේ උතුම් පෝ දිනය යනුම අප අත්හළ ඒ ජීවන දර්ශනය ගැන යළි මෙනෙහි කිරීමට පිවිසුමකි.
(*** සටහන - බිඟුන් මේනක ගමගේ)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිහිඳු සංස්කෘතියේ ලාංකීය උරුමය
Buddhika P Friday, 05 June 2020 08:45 AM
මම කල්පනා කරන විදියට නිවැරදි බුද්ධ දර්ශනය සමාජ ගත කරන්න මුල් උණු එක් අයෙක්, අචාර්ය ඊ ඩබ්ලිව් අධිකාරම් තුමා. මහාචාර්ය සුචරිත ගම්ලත් උත්සාහයක් ගත්තා පිරිත්වල වයස ගණනය කරල එහි ඇති සංස්කෘතික වටිනාකම ගැන කතා කරන්න. ඉතිහාසේ බැලුවොත් බටහිර ග්‍රීසිය දක්වා බුද්ධ දර්ශණය පැතිරුනා. පරිනිර්වාණයෙන් අවු 100 - 200 විතර පසු කාලේ, සාම්ප්‍රදායික පැවතුම් නිසා ප්‍රශ්ණ කිරීම් වලට ලක් කල, සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් බිහි වීම, එහි පලයක් විය හැකියි. බටහිර චින්තනයට විචාර බුද්ධිය එක් කලේ ඔහුයි. සියුම්ව බැලුවොත් බුදුන් කලේද මේ දෙයමයි. සිත මිනිස් කය අහිබවා ඇති බව සොක්‍රටීස් විශ්වාශ කළා. ඔහුගේ ලඟම ගෝලයා වූ, ප්ලේටෝ සංවේදන ලෝකය (පංචෙන්ද්‍රිය) හා සිතුවිලි ලෝකය ලෙස පෙන්වුයේ මෙයයි. සතුට ලඟා කර ගැනීමේ ආශාව අප ජීවිත බැඳ තබන බව ඔහු කියා සිටියා. අනන්ත ඥානය පහළ වන්නේ තමන් අවබෝධ කිරීමන් බව දේශනා කරා. මෙය බුදු දහම නොවේද?. පන්සල අප සංස්කෘතික ජීවිතයේ සදාතනික බැඳීමක්. පවුල පන්සල ලෙස වහරට පැමිණ ඇත්තේ, මෙම සදාතනික බැඳීමයි. ඇතැම්විට සොක්‍රටීස් පෙරදිග ඉපදුනා නම්, ඔහු දෙවෙනි බුදු කෙනෙකු වන මහා ප්‍රාඥයකු වන්නට තිබුණා.
viku Friday, 05 June 2020 10:40 AM
නිවන වගේ ලොකු ලොකු දාර්ශනික දේ දේශනාකළාට, වැඩක් නැහැ. බුදු දහම නැති රටවල් ඔනි තරම් විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. බෞද්ධ සංස්කෘතිය කිවට වැඩිපුරම ඒකෙන් බිහි වෙන්නේ කුහක මිනිස්සුයි, කපටියොයි, වංචනිකයොයි. අපේ රටෙ හැමදේටම බුදු දහම සම්බන්ධ වුනාට, මිනිස්සුන්ගේ ජීවිතවලට සම්බන්ධයක් නැහැ. නිදසුනක් ලෙස බෞද්ධ භක්තිකයට වඩා ඉස්ලාමීය භක්තිකයා ලංකාවේදී ප්‍රායෝගිකයි.. බුදුදහම පිළිබඳ ගැටලුවක් නොමැත.. එහෙත් ලාංකීය ව්‍යවහාරික බුදු සමය සැබවින්ම බුදුදහමමද?
ChampaFriday, 05 June 2020 02:15 PM
viku - "නිදසුනක් ලෙස බෞද්ධ භක්තිකයට වඩා ඉස්ලාමීය භක්තිකයා ලංකාවේදී ප්‍රායෝගිකයි" කියල ඔබ කියනව. ඔබ කියන ප්‍රායෝගිකත්වය මොකක්ද කියල මම දන්නේ නැහැ, බුදුදහමේ ආභාෂයෙන් බෞද්ධයන් ප්‍රගුණ කල ඉවසීම, කරුණාව, දයාව උපේක්ෂාව, සමානාත්මතාවය සහ පරිත්‍යාගශීලි බව නොවෙන්නට සිංහලයන් හැර වෙනත් ජාතින් මේ පොළොවේ පවතින්නේ නැහැ. බෞද්ධ සංස්කෘතියෙන් බිහිවෙන්නේ කුහකයන්, වංචනිකයන් කපටින් කියල ඔබ වර්ගීකරණයක් කරලා තියෙනවා. මුස්ලිම් කුහකයන්, වංචනිකයන්, කපටින් ඔබ දැකලම නැත්ද? කුහකයන්, වංචනිකයන්, කපටින් මේ පොළොවේ බිහි වුනේ බෞද්ධ සංස්කෘතිය නිසා නෙමෙයි, මේ රටේ මුල් බැහැ ගත්ත කලවම් සංස්කෘතිය නිසා. පිරිසිදු සිංහල බෞද්ධයන් කවදාවත් කුහකයන්, වංචනිකයන්, කපටින් වෙන්නේ නැහැ. රටේ ඉන්න 0.0001% ක් අල්ලාගෙන බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම දුර්වලකමක්.
samanFriday, 05 June 2020 04:38 PM
ඉස්ලාම් වල තියෙන ප්‍රයෝගිකත්වය මොකක්ද..? හැම දේකටම මෙහෙම කරන අරහෙම කරන්න කියල ආකෘති හදල තියෙන එකද?...
Champa Friday, 05 June 2020 12:39 PM
පාසල් වල උගන්නපු සහ මේ ලිපියෙත් අවධාරණය කරලා තියෙන මේ කොටස වැරදියි. එනම්: "මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ දර්ශනය සමග මේ රටේ මිනිස්සු බොහෝ කලක් ජීවත් වූහ. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය එහි මූලික විය. කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ජනයා සිය විවේක බුද්ධිය කලා නිර්මාණවලටත් ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණයටත් යොදාගත්හ." මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදු දහම ගෙනාවැයි කියන්න බොහෝ කලකට පෙර බුදුරජාණන් වහන්සේම ලංකාවේ හිටි යක්ෂ, නාග, දේව ජනවර්ගයාට ධර්මය දේශනා කල බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා විතරක් නෙමෙයි ඒ හා සම්බන්ධ සිද්ධස්ථාන, ගම්දනව් අදටත් පවතිනවා. ගරුතර හාමුදුරුවෝ කියලා තියෙන විදිහට සහ බොහෝ පොතපතේ තියෙන විදිහට "වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය" මිහිඳු හාමුදුරුවෝ වැඩම කලාට පස්සේ ලංකාවේ ඇතිවුණු දෙයක් නෙමෙයි. මහියංගන වෙහෙර, දීඝවාපි වෙහෙර, ශ්‍රී පාද කන්ද, කිරි වෙහෙර වැනි සිද්ධස්ථාන සහ නාගදීප වැව කියල අද කියන වැව හා සම්බන්ධ ඉතිහාසය බුදුවරුන් ජීවමානව හිටි දවස දක්වා දිවෙනවා.
Champa Friday, 05 June 2020 01:13 PM
ලෝකයේ පළමුවෙනි විද්‍යාඥයන් විදිහට සලකන බුදුවරු හා සම්බන්ධ එකම රට, ලංකාව, අතීතයේ මහාද්වීපයක්. අදට ඉතුරු වෙලා තියෙන්නේ මුතු ඇටයක් වන කුඩා භූමියක්. මේ කුඩා රාමුවේ ඉඳන් විජය නම් හොරාට දීල තියෙන වැදගත්කම මේ බිමේ සැබෑ අයිතිකරුවන්ටවත්, අතීත බුදුවරුන්ටවත් දීලා නැති එක ගැන කණගාටුයි. ඉන්දියාවේ අනුග්‍රහයෙන් අපේ ඉතිහාසය වළලලා තියෙනවා. අපි ඉන්දියානු ආභාෂය ගත්තලු. නමුත් ඇත්ත කතාව නම් අපේ ආභාෂය අපිටම ආවේනික එකක්. ඉන්දියාවේ හිටියා කියන බුදුවරු හා සම්බන්ධ සියලු ශිලා ලිපි සහ ස්ථම්භ අශෝක අධිරාජයා ජන වහරේ කියපු දේ අනුව පසුකාලීනව ඉඳි කරපුවා. දැනට පාවිච්චි කරන මහාවංශය අපේ ඇත්ත ඉතිහාසය යටපත් කරපු අවස්ථා බොහොමයක් තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුදු දහම ගෙනාවද නැත්නම් ලංකාවේ එවකටත් පැවති බුදු දහම ගැන ඉගෙන ගන්න අශෝක අධිරාජයා මිහිඳු හාමුදුරුවන්ව ලංකාවට එව්වද කියන එක සොයා බැලියයුතු දෙයක්... දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මිහින්තලේ ලංකාවේ මුල්ම අභය භූමිය කියලා නම් කළා කියනවා. නමුත් අපේ රජවරු මස් මාළු අනුභව කළා කියල ඉතිහාසයේ කොහෙවත් නැහැ. පන්සිල් පද 5 වත් නොරකින තැනට අපේ බෞද්ධයන් පත් වුනේ කවද ඉඳලද?
hasan Friday, 05 June 2020 01:38 PM
ඔබතුමා හරි කියලා මම හිතනවා හුඟක් නගරවල ඉන්න හමුදුරුවරුන්ට බුදුදහම දන්නේ නැහැ. ඒ ගොල්ලන් යන්නේ දේශපාලනය පිටි පස්සේ ප්‍රාඩෝ ජීප්වලට ඒ හාමුදුරුලට බුදුදහම උගන්නල දෙන්න ඕනෑ..
vidya Friday, 05 June 2020 06:52 PM
හසන් ඔබ කියන දේහි ශක්තියක්ඇත. ඊට හේතුව විද්‍යාලංකාර සහ විද්‍යෝදය පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල කල නිසා....ධර්මධර විනය ධර භික්ෂුන් බිහිවෙන්නේ නැති කම . අතීතයේදී භික්ෂුන් වහන්සේ කෙනෙක් එම පිරිවෙන් වලට ඉගෙන ගන්නට පැමිණිලා අවුරුදු 10 කට පමන කාලයක් ධර්මය ඉගෙන ගෙන සමාජයට නැවත පැමිණෙන විට කොය් තරම් උගතෙක්ද? අද සිදුවන්නේ හාත් පසින්ම වෙනස් සිද්දියක්.... එමනිසා යම් කිසි පරිහානියක් ඇතිවී තිබෙනවා. මෙම ක්‍රමය නිසා තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් විශ්ව විද්‍යාලයකින් පිටවූ පසුව කඳුළු ගෑස් කකා රැකියාවක් කිරීමට දරන ප්‍රයත්නය ඉතාම ඛෙදවාචයකි . එමෙන්ම නිවන් මග පාදාගැනීමට තියන දොරටුව උන්වහන්සේලාට වැසී ඇත. පොඩි දරුවෙක් මව් උකුලෙන් සහ පිය සෙනෙහසින් ගලවාගෙන අනාගතයේ කිසිම වැඩ පිළිවෙලක් නැතිව කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ දෙසු ධර්මයේ කියාදුන් පිළිවෙත් පිලි පදින්නද? මෙම අදහස් වලින් කිසිම සංඝයාවහන්සේ කෙනෙකුට මා අගරු නොකරමි. ඇත්තෙන්ම රජයෙන් හෝ විද්වත් භික්ෂුන් වහන්සේලා එකතුවී මේ පිළිබදව කතිකාවතක් කලයුතුය. දැනට වෙන්නේ කිසිම සංවිධානාත්මක භාවයක් නැතිව තමතමන් තනිවම හරි කීපදෙනෙක් එකතුවී හරි කෙරෙන සේවයක් පමණකි.