IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මුළු ලොවම සලිත කරවන පුටින්

පසුගිය පෙබරවාරි 24 වැනි බ්‍රහස්පතින්දා අලුයම, රුසියානු හමුදා යුක්රේනයේ දොන්බාස් ප්‍රදේශයට ඇතුළුවීමෙන් ඇරඹුණු යුද්ධය, මෙම ලිපිය ලියන මොහොත වන විටත් නිමවී නැත්තේය. මේ වන විට දෙපාර්ශ්වයට ම බරපතළ හානි සිදුව තිබෙන අතර, කුඩා ළමයින් ද ඇතුළුව අහිංසක සිවිල් වැසියන් විශාල පිරිසක් මිය යාම අතිශය කනගාටුදායකය. 

යුද්ධයේ මුල් දින දෙක තුන තුළ රුසියානු හමුදා පහසුවෙන් ඉදිරියට ඇදුන ද, කීව් අගනුවර දී දැඩි ප්‍රතිරෝධයක් එල්ල කිරීමට යුක්රේනියානුවන් සමත්ව ඇති බවක් දැනගන්නට ඇත්තේය. මේ වන විට දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා වට කිහිපයක් ම පැවැත්වුණ ද, සටන් විරාමයක් සඳහා රුසියාව පැත්තෙන් කිසිදු නම්‍යශීලී බවක් දක්නට නොලැබෙන්නේය. අනෙක් පැත්තෙන්, රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් අඩු, දේශපාලනයේ නවකයකු වන යුක්රේන ජනාධිපතිවරයා මෙම අර්බුදය කළමනාකරණය කරන ආකාරය කොතෙක් දුරට නිවැරැදි ද යන ප්‍රශ්නය ද  මතුව ඇත්තේය.

කෙසේ වුවද, මොනම හේතුවක් නිසා හෝ යුද්ධයකට එළැඹීම අනුමත කළ නොහැකිය. මොනම හේතුවක් නිසා හෝ මිනිසුන් මරා දැමීම අනුමත කළ නොහැකිය. ඒ අනුව බලනා විට, රුසියාව විසින් අරඹන ලද මෙම යුද්ධය කිසිසේත් අනුමත කළ නොහැකිය. යුක්රේන-රුසියානු දෙපාර්ශ්වය වහා ම සාකච්ඡා මේසය මත වාඩි වී මෙම අර්බුදය තව තවත් ඔඩු දුවන්නට ඉඩ නොදී විසඳා ගත යුතුය. 

මේ අතර, මේ දිනවල මුළු ලෝකයේ ම අවධානය දිනාගත් එක් පුද්ගලයෙක් සිටින්නේය. බටහිර රටවලට, ඔහු කුරිරු, ඒකාධිපති පාලකයකු වන අතර, රුසියානු ජනතා බහුතරය ඔහු දකින්නේ රුසියාවේ ආරක්‍ෂාව වෙනුවෙන් නිර්භයව පෙනී සිටින ශක්තිමත් නායකයකු හැටියටය. බහුතර රුසියානු ජනතාවට පමණක් නොව ලෝකයේ තවත් සමහර රටවලට ද මෙම පුද්ගලයා පෙනෙන්නේ, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල නව යටත්විජිතවාදයට එරෙහිව නිර්භයව පෙනී සිටින සහ ලෝක බල තුලනයට නව මුහුණුවරක් එක් කළ හැකි ජවසම්පන්න නායකයකු හැටියටය. ඒ අන් කිසිවෙක් නොව, වත්මන් රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් ව්ලැදිමීරොවිච් පුටින්ය.

1952 ඔක්තෝබර් 7 වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් (එවකට ලෙනින්ග්‍රාඩ්) නගරයේ උපත ලැබූ ව්ලැදිමීර් පුටින් පිරිමි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූයේය. එහෙත්, පුටින් උපත ලබන විට ඔහුගේ වැඩිමහල් සොහොයුරෝ දෙදෙනා ම මිය ගොස් සිටියහ. පුටින්ගේ සීයා, ස්පිරිදොන් පුටින්, සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලැදිමීර් ලෙනින්ගේ සහ දෙවැනි සෝවියට් නායක ජෝෂප් ස්ටාලින්ගේ අරක්කැමියා ලෙස සේවය කර තිබීම විශේෂත්වයක් වන්නේය.

එමෙන්ම, පුටින්ගේ පියා, ව්ලැදිමීර් ස්පිරිදොනෝවිච් පුටින් දෙවැනි ලෝක යුද්ධය ආරම්භයේ දී, සෝවියට් රහස් ඔත්තු සේවය ලෙස කටයුතු කළ “එන්.කේ.වී.ඩී.” ආයතනයේ (Narodnii Komissariath Vnuthrennih Del – NKVD – People's Commissariat for Internal Affairs) සේවය කර තිබීම ද විශේෂත්වයක් වන්නේය. මන්ද යත්, පසුකලෙක, ව්ලැදිමීර් පුටින් සේවය කළ කේ.ජී.බී. ආයතනය බවට පත්වූයේ මෙම “එන්.කේ.වී.ඩී.” ආයතනය වීමය. 

වත්මන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මල්ලවපොර, ජූඩෝ වැනි සටන් ක්‍රීඩා පුහුණුවීම ආරම්භ කළේ 12වැනි වියේ සිට ම ය. ඔහු කුඩා කාලයේ සිට ම පාපන්දු සහ අයිස් හොකී යන ක්‍රීඩා පිළිබඳව ද විශේෂ උනන්දුවක් දැක්වූයේය. තවද, ව්ලැදිමීර් පුටින් පාසල් කාලයේ සිට ම, කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස්, ව්ලැදිමීර් ලෙනින් යන අයගේ කෘති කියවූ බව වාර්තා වන්නේය.

පාසල් සමයේ දී දෙවැනි බස ලෙස ජර්මානු භාෂාව ඉගෙනගත් පුටින්ට ජර්මානු භාෂාව හොඳින් කතා කළ හැකි බව ද කියැවෙයි. 1970 දී ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පුටින්, 1975දී නීති උපාධිය ලබා ගත්තේය. ව්ලැදිමීර් පුටින්ගේ දේශපාලන ගුරුවරයා වූ මහාචාර්ය අනතෝලි සබ්චාක් පුටින්ට හමුවන්නේ මේ අවධියේය. එනම්, පුටින් ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයකුව සිටිය දීය. 

1985 දී, මිහායිල් ගොර්බාචොව් සෝවියට් රාජ්‍ය නායකයා හැටියට පත්වීමෙන් පසුව, පෙරෙස්ත්‍රොයිකා නමින් හැඳින්වෙන ප්‍රතිසංවිධාන ක්‍රියාදාමයක් දියත් කරනු ලැබුවේය. 1982 - 1993 කාලය තුළ (වසර එකොළහක්), මොස්කව් නුවර ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අපි, ගොර්බාචොව් පාලන සමයේ සෝවියට් දේශයේ සිදුවූ පරිවර්තන සියැසින් දුටුවෙමු. නව ප්‍රතිසංස්කරණ හමුවේ උද්දාමයට පත් සෝවියට් විද්‍යාඥයෝ විශාල පිරිසක් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණහ.

1991 - 1996 කාලය තුළ ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය අනතෝලි සබ්චාක් එවැන්නෙකි. 1991 - 1992 අතර කාලයේ මොස්කව් නුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ආර්ථික විද්‍යා මහාචාර්ය ගව්රීල් පපොව් ද තවත් එවැනිම අයෙකි. නවසිය හැත්තෑ ගණන්වල ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දී ඇතිවූ අනතෝලි සබ්චාක් - ව්ලැදිමීර් පුටින් හිතවත්කම, 2000දී සබ්චාක් මිය යන තෙක්ම පැවතියේය. මහාචාර්ය අනතෝලි සබ්චාක් පුටින්ගේ පමණක් නොව, 2008 - 2012 කාලය තුළ රුසියානු ජනාධිපතිවරයාව සිටි දිමිත්‍රී මෙද්වියෙදියෙව්ගේ ද දේශපාලන ගුරුවරයා වන්නේය. 

නීති උපාධිය අවසන් කළ ව්ලැදිමීර් පුටින් 1975 දී සෝවියට් දේශයේ ප්‍රධාන ඔත්තු සේවය වූ කේ.ජී.බී. ආයතනයේ සේවයට එක්වූයේය. 1954 මාර්තු මසයේ පිහිටවනු ලැබූ කේ.ජී.බී. ආයතනය (Komitet Gosudarstvennoy Bezopasnosti – KGB – Committee for State Security), පසුකාලීනව ලෝකයේ ප්‍රබලත ම රහස් ඔත්තු සේවාවක් දක්වා දියුණු වූ බව අතිශයෝක්තියක් නොවේ. 1975 සිට 1991 දක්වා, වසර 16ක් තුළ කේ.ජී.බී. ආයතනයෙන් ලැබුණු පන්නරය පුටින්ගේ දේශපාලන ජීවිතයට මහත් පිටිවහලක් වූ බවට සැකයක් නැත.

පුටින්ගේ දේශපාලන දිවිය ඇරඹෙන්නේ, 1990දී, එවකට ශාන්ත පීටර්ස්බර්ග් නගරාධිපති මහාචාර්ය අනතෝලි සබ්චාක්ගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයා හැටියටය. 1994 මාර්තු මාසයේ දී ශාන්ත පීටර්ස්බර්ග් උප නගරාධිපති ධුරයට පත්වන ව්ලැදිමීර් පුටින් 1996 දක්වා එම තනතුරේ කටයුතු කළේය. 1996 පැවති නගර සභා මැතිවරණයෙන් අනතෝලි සබ්චාක් පරාදවීමෙන් පසුව පුටින් මොස්කව්හි පදිංචියට ගියේය. 1997 මාර්තු මාසයේ දී, එවකට රුසියානු ජනාධිපති බොරිස් යෙල්ත්සින් විසින් පුටින් ජනාධිපති කාර්යය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස පත්කළේය.

1998 ජූලි මාසයේ දී, යෙල්ත්සින් විසින් පුටින් ෆෙඩරල් ආරක්‍ෂක සේවයේ ප්‍රධානියා ලෙස පත්කළේය. ව්ලැදිමීර් පුටින්, 1999 අගෝස්තු 16 වැනිදා රුසියානු පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් (පක්‍ෂව 233; විරුද්ධව 84) අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේය. මාස 18ක් තරම් වූ කෙටි කාලයක් තුළ පත්වූ පස්වැනි අගමැතිවරයා වූ පුටින් ද වැඩි කලක් එම තනතුරේ රැඳී නොසිටිනු ඇතැයි බොහෝ දෙනෙක් සිතූහ. එහෙත්, 1999 දෙසැම්බර් 31 වැනිදා, බොරිස් යෙල්ත්සින් හදිසියේම සිය තනතුරින් ඉල්ලා අස්වූ හෙයින්, ව්ලැදිමීර් පුටින් වැඩබලන ජනාධිපති ධුරයට පත්වූයේය. 

2000 මාර්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් සියයට 53 ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් පුටින් රුසියානු ජනාධිපති ධුරයට පත්වූයේය. බලයට පත්වූ විගස, ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ රැසක් දියත් කිරීමට පුටින් ඉදිරිපත් වූයේය. මෙම කාලය තුළ, රුසියාවේ දළ ජාතික නිෂ්පාදනය සියයට 72 කින් ඉහළ ගිය අතර, පොදුවේ රුසියානුවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංගේය.

1991 දෙසැම්බරයේ සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටීමෙන් පසුව අවපාතයකට ලක්වූ රුසියාවේ ආර්ථිකය යළි නගා සිටුවීමට, සිය පළමු ධුර කාලය තුළ ජනාධිපති පුටින් සමත් වූ බව අතිශයෝක්තියක් නොවන්නේය. 2004 මාර්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින් දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වන්නේ සියයට 71 ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි. රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයකුට පිට පිට දෙවතාවකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකි බැවින්, 2008දී, පුටින්ගේ දේශපාලන සගයකු වන දිමිත්‍රී මෙද්වියෙදියෙව් ජනාධිපති ධුරයට පත්වූයේය. දිමිත්‍රී මෙද්වියෙදියෙව්ගේ පාලන කාලය තුළ (2008-2012), ව්ලැදිමීර් පුටින් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, නිල නොවන රාජ්‍ය නායකයා වූයේ පුටින් මය. 

2012 මාර්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් සියයට 63.6 ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමීර් පුටින් තුන්වැනි වරටත් රුසියානු ජනාධිපති ධුරයට පත්වූයේය. අනතුරුව, 2018 ජනාධිපතිවරණයේ දී සියයට 76ක විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමීර් පුටින් සිව්වැනි වතාවටත් රුසියානු ජනාධිපති ධුරයට පත්වූයේය. මෙම අවස්ථා දෙකෙහිදීම බරපතළ ලෙස මැතිවරණ දූෂණ හා වංචා සිදුවූ බවට විරුද්ධ පක්‍ෂයෙන් චෝදනා එල්ල වූයේය. 

1991 දෙසැම්බරයේ සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටීම පිළිබඳව ව්ලැදිමීර් පුටින් තුළ ඇත්තේ කලකිරීමක් සහ කනගාටුවක් බව පැහැදිලිය. “සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටීම යනු, විසිඑක්වැනි සියවසේ සිදුවූ විශාලතම ඛේදවාචකය” යැයි, 2005 ක්‍රෙම්ලිනයේ පැවති දේශනයක දී පුටින් පවසා තිබුණේය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව, ලෝක බලතුලනය වෙනස් වූ අතර, ඇමෙරිකාව ලෝකයේ එකම සුපිරි බලවතා බවට පත්වූයේය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව, රුසියානු ආර්ථිකය මෙන්ම ලෝකය තුළ හිමිව තිබුණු තත්ත්වය ද දැවැන්ත පිරිහීමකට ලක්වූයේය. 

එහෙත්, සිය පාලන කාලය තුළ එම තත්ත්වය වෙනස් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමත්ව ඇත්තේය. යට කී පරිදි, පුටින්ගේ පාලන කාලය තුළ රුසියාව දැවැන්ත ආර්ථික සංවර්ධනයක් අත්කරගත් අතර, රුසියාව ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් පස්දෙනා අතරට පත්කිරීම ඔහුගේ ඉලක්කය බව කියැවෙන්නේය. පුටින්ගේ පාලන කාලය තුළ රුසියාවේ මිලිටරි බලය ද වර්ධනය වූ අතර, මේ වන විට, රුසියාව යළිත්, සෝවියට් සංගමය පරිදි ම, දැවැන්ත යුද බලවතෙකු වී හමාරය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග කරට කර සිටිය හැකි යුද බලවතෙකු වී හමාරය. මෙවන් පසුබිමක් තුළ, රුසියානු නායකයා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට හිසරදයක් වී තිබීම පුදුමයට කරුණක් නොවන්නේය. 

යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙරාතුව සිටම, ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයා මුළු ලෝකයේ ම අවධානය දිනාගත් සුවිශේෂී චරිතයක් බවට පත්ව සිටියේය. පුටින් ගැන ලියැවුණු ගීත ගණනාවක් ම තිබෙන අතර, “පුටින්කා වොඩ්කා” නමින් වොඩ්කා විශේෂයක් ද රුසියාවේ නිෂ්පාදනය කෙරෙන්නේය. විවිධ ක්‍රීඩාවල නිරතවීම, වන සතුන් සමග කටයුතු කිරීම වැනි ක්‍රියාකාරකම් හරහා පුටින් යනු ජවසම්පන්න, ශක්තිමත් පුද්ගලයකු යැයි ප්‍රතිරූපයක් ගොඩනගා ඇත්තේය.

ඇමෙරිකානු ටයිම් සඟරාව, 2005 දී, වසරේ පුද්ගලයා ලෙස ව්ලැදිමීර් පුටින්ව නම් කරන ලද අතර, 2015දී, ලෝකයේ බලවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ අංක එකට නම් කරනු ලැබුවේය. රුසියාවේ ගැලවුම්කාරයා ලෙස ඇතමුන් පුටින්ව සලකන අතර, තවත් කොටසකට අනුව පුටින් යනු හිට්ලර්ටත් වඩා දරුණු ඒකාධිපති පාලකයෙකි. කෙසේ වුවද, මෙම බලවත් පුද්ගලයාගේ අනාගත ඉරණම යුක්රේන - රුසියානු යුද්ධය මත තීරණය වීමට ඉඩ ඇත්තේය.


ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය  ජයන්ත ලාල් රත්නසේකර



අදහස් (4)

මුළු ලොවම සලිත කරවන පුටින්

Kumar (Gulf) Friday, 25 March 2022 02:44 AM

පුටින් කියන්නේ උන්මන්තකයෙක්...

:       183       9

d.upulFriday, 25 March 2022 05:18 PM

අන්ත අඩියකට වැටුණු රටක්, ඇමෙරිකාවටත් අභියෝග කළහැකි රටක් බවට පත්කළ පුද්ගලයා උන්මත්තකයකු නම්, තම බලය රැකගැනීමට තම රට ලෝකෙටම විකුණන කෙනාට කියන නම මොකක්ද?

:       5       102

bayagullaFriday, 25 March 2022 07:35 PM

රස්පුටින්...

:       47       9

HARAMANIFriday, 25 March 2022 09:10 PM

පුටින් ඇත්තටම ලීඩර් කෙනෙක්. USA, ලිබියාවට, ඉරාකයට නෙලන කොට අපේ අයියලා කොහේද හිටියේ? මානව හිමිකම් සංවිධාන කොහේද තිබුණේ? හරියට අපේ මායිම්ගම් වලට LTTE එක ගහනකොට පෙළපාලි නොගිය අපේ සිංහල NGO නඩය ගැනයි.

:       2       35

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site