IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රාජ්‍ය සේවය බරක්වීම

රාජ්‍ය සේවය පිළිබඳ අලු‍ත් සංවාදයක් ඇති වී තිබේ. රාජ්‍ය සේවය රට ට බරක් වී ඇතයි යනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යට පැවසී යැයි කියන ප්‍රකාශයක් මුල් කරගෙන මතු වී ඇති එම සංවාදයට මැදිහත් වීම මෙවර මගේ ‘කිවිදා දැක්මේ’ අරමුණ ය.  

මා සිතන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා කියන්නට ඇත්තේ රාජ්‍ය සේවය නොව රාජ්‍ය සේවයට යැයි කියා බඳවාගෙන සිටින මහා සෙනඟ රටට බරක් වී ඇත කියා  ය. මගේ මතකය 2013 වැනි කාලයක දියතලාවේ හමුදා කඳවුරු භුමියේ පැවත් වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් සඳහා වූ වැඩමුළුවක් වෙත දිව යයි. 

මම  එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්මි. එසේම මෙම වැඩමුළුවේ දේශකයෙකි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති  දෙදින වැඩමුළුවේ අවසන් දෙසුම මට පැවරිණි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සියලු‍ම හෝ අති බහුතරයක්  සහභාගි වූ මෙම වැඩමුළුවේ දී  මගේ කතාවේ සඳහන් කළ කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා අංශයේ සෙනග බඳවා ගැනීමට බලපා  ඇත්තේ ආර්ථික-නිෂ්පාදන-වෙළඳ අංශවලට අදාළ ජාතික හේතු හෝ ජාතික අවශ්‍යතා නොව බල දේශපාලන හේතු බවය.

එනම් නියෝජිතවරණවල දී තම ඡන්ද පදනම වැඩිකර ගැනීමේ සහ ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මිස ජාතික ආර්ථික සංවර්ධනය හෝ පරිපාලන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ අරමුණින් පිරිස් බඳවා ගැනීම සිදු නොවේ. 

ඒ සඳහා පිටුබලයක් වූයේ රාජ්‍ය සේවය සඳහා පිරිස් බඳවා ගැනීමේ, උසස්වීම් ලබා දීමේ, මාරු කිරීමේ, විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ සහ සේවයෙන් පහ කිරීමේ බලය දේශපාලනයට යටත් කිරීමය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒ සඳහා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන සැපයී ය. ලංකාවේ පාලක සංස්කෘතිය සහ පාලක හැසිරීම නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ එවැනි ව්‍යවස්ථා ප්‍රතිපාදන නොමැති වුවත් රාජ්‍ය සේවයට අනිසි ලෙස මැදිහත් වීමට මෙරට පාලකයෝ අති දක්ෂයෝ බව ය. 

එදා මා ඉදිරිපත් කළ එම අදහස ප්‍රකාශිතව අනුමත කරමින් පෞද්ගලිකව මා පැසසූ දෙදෙනෙක් වූහ. ඒ වාසුදේව නානායක්කාර සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුය.

ඒ වනවිට ලංකාවේ රාජ්‍ය අංශයේ සෙනඟ ලක්ෂ දාහතරක් පමණ විය. දැන් ලක්ෂ දාහතක් පමණ ඇත. මගේ නොපැසුණු තර්කය වූයේ ලක්ෂ හතරකින් ඒ වනවිට පැවති රාජ්‍ය සේවයේ කටයුතු සිදුකරගත හැකි බව ය. එනම් රාජ්‍ය අංශයේ කටයුතු නිසිලෙස විධිමත් කළොත් ඉන් ලැබෙන කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිවන බවත් බොහෝ දෙනකු අනිවාර්ය හෝ සිය කැමැත්තෙන් හෝ නිවාඩු යවා ඒ වනවිට ගෙවූ වැටුප් ඔවුන් ගෙදර සිටිය දී ලබා දුන්නද පාඩුවක් නැති බවය. ඒ තුළින් පුනරාවර්තන වියදම් අඩු කරගෙන ඒවා ද රටේ සංවර්ධනයට යොදා ගත හැකි බවය. 

දියුණු රටවල රාජ්‍ය සේවයේ පිරිස් අනුපාතය රටේ ජනගහනයෙන් දෙසිය පනහකට එකෙකි. එහෙත් ලංකාවේ දාහතකට එකෙකි. 

ඒ තරම් සෙනගක් සිටියද අසන්නට සහ දකින්නට ලැබෙන්නේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතා, අක්‍රමිකතා සහ පීඩාව ගැන මැසිවිලි ය, තොරතුරු ය. 

ආර්ථිකය වර්ධනය නොවන විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකය වර්ධනය නොවන විදේශ ණය මත යැපෙන සහ ණය උගුල්වල පැටලී සිටින රටක් ඉදිරි වර්ධනයක් ගැන සිතන්නේ නම් එරට ආණ්ඩු රාජ්‍ය සේවය සිය බල දේශපාලනයේ කෙළිමඬලක් කර නොගත යුතුම ය. එහෙත් බලයට පත් හැම ආණ්ඩුවක් ම තම බල ව්‍යාපෘති ශක්තිමත් කර ගැනීම සඳහාත්, වැඩි කර ගැනීම සඳහාත්, තමන්ලා ජනතාව ගැන සිතනවා යයි පෙන්නුම් කිරීම සඳහාත් ජනප්‍රිය වීම සඳහාත් ගනු ලබන ලෙහෙසිම ක්‍රියාමාර්ගය වී ඇත්තේ කිසිදු ආර්ථික හෝ පරිපාලන සැලැස්මකින් තොරව රාජ්‍ය අංශයේ ආයතනවලට පිරිස් බඳවා ගැනීම ය. එය අතිශයින් ම ජනප්‍රිය තීරණයකි. එහෙත් රටට මහත් අනතුරකි. සමහර පාලකයන්ගේ අමතර ආදායම් මාර්ගයකි. මේ නිසා දැන් වන විට රාජ්‍ය සේවය නොව රාජ්‍ය අංශයේ වැඩි සෙනග රටට බරකි, රටේ ආර්ථිකයට බරකි, කරදරයකි.

පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා වැනි ප්‍රාදේශීය ආණ්ඩුවල නියෝජිතයන්ගේ ගණන වැඩි වූවාට රටේ නියෝජන සංස්කෘතිය, නියෝජිතයාගේ කාර්ය භාරය,  වගකීම සහ වගවීම වැඩි දියුණු වී නැත. 

එසේ වන විට පාර්ලිමේන්තුවත්, පළාත් සභාත් ප්‍රාදේශීය ආණ්ඩුත් රටට බරක් මිස සැහැල්ලු‍වක් සහනයක් නොවේ ය. රටක රාජ්‍ය අංශය සකස් විය යුත්තේ උපයෝගීතා න්‍යායයට අනුව ය. එනම් ආයතන තිබිය යුත්තේ වැඩි දෙනකුගේ වැඩිම සතුට යහපත සලසන්නේ නම් පමණය. ජනයා සතුටින් සහ ගෞරවයෙන් තැබිය හැක්කේ එවැනි ප්‍රතිපත්තියක් අනුව යන රාජ්‍යයකට ය. එසේම රටක් දියුණු කළ හැක්කේ එවැනි පිළිවෙත් මත ක්‍රියාකරන රාජ්‍යයකටය. 

එහෙත් මෙරට ආණ්ඩු කටයුතු කරන්නේ ඒ රාජ්‍ය න්‍යායන්ට පටහැනිවය. රටට ගොඩ ඒමක් දියුණුවක් නැත්තේ ඒ නිසා ය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු බොහෝ තැන්වල කිරීමට වැඩක් නැති සහ අනවශ්‍ය රැකියා නාම සහිත ලක්ෂ ගණනක් මෙරට රාජ්‍ය අංශයේ හිඳින්නට පුටුවක් මේසයක් වත් නැතිව අවමන් ලබමින් පොදිකන්නේ ආණ්ඩුවල ආර්ථික සමාජ දැක්මක් නැති තීරණ නිසා ය. විධිමත් වැඩපිළිවෙළක් නැති නිසා ය.

ඒ සියල්ල මැද අපි මෙපමණ රැකියා දුන්නා යැයි උදම් අනන අය වෙනත් දෙයක් ගැන සිතිය යුතු ය. එනම් රැකියා දුන්නා නොව අප මෙපමණ ප්‍රමාණයක්, එනම් දහස් ගණනින්  රැකියා නිෂ්පාදනය වන ආර්ථිකයක් ගොඩ නැගුවා කියා කියන්නට හැකි, උදම් ඇනිය හැකි, විධිමත් සහ පරිනත, රට ගැන හිතන, වැඩපිළිවෙළකට යාමක් ගැන ඔවුන් සිතිය යුතු ය. 

ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14021 කි. මා වැරදි නම් නිවැරදි කරත්වා. ඍජුවම මේ එක වසමක් භාරව සිටින නිලධාරීන්ගේ සංඛ්‍යාව හයකි. වක්‍රව පනහකට ආසන්නය, හෝ වැඩිය. 

ප්‍රාදේශීය ආණ්ඩු කොට්ඨාස සඳහා වූ නියෝජිතයනුත් ගත් විට තවත් වැඩිය. එහෙත් වසම තවමත් දිළිඳු ය. සමෘද්ධිමත් නැත. අසරණය. ප්‍රජාතන්ත්‍රවාදය ළඟපාතකවත් නැත. අවිධිමත් ය. එකම වසමේ නිලධාරීන් අතරවත් සම්බන්ධීකරණයක් නැත. සෙනග වැඩිකළාට ගමක්, රටක් දියුණු කළ නොහැකි බවට මෙය කදිම නිදසුනක් ය. අනුපාතිකව ගත්විට මෙරට තරම් විශාල මහජන නියෝජිතයන් පිරිසක්, මේ තරම් විශාල ඇමති පිරිසක්, මේ තරම් විශාල රාජ්‍ය නිලධාරීන් පිරිසක් දියුණු යැයි සම්මත කිසිම රටක නැත. එහෙත් මේ රට දියුණු නැත. වැරදුණේ කොතැනකද යන්න පිළිබඳ දැන්වත් සිතා බැලිය යුතු ය.

රාජ්‍යය යන්න නොපෙනෙන දෙයකි. එය පුරවැසියාට දෘශ්‍යමාන වන්නේ රාජ්‍ය සේවය නිසා ය. රාජ්‍ය සේවාවන් රාජ්‍යවල ජාතික අභිලාෂ සහ සාරධර්ම වර්ධනය සහ ආරක්ෂා කරමින් පවත්වාගෙන යන අතර රාජ්‍යය සහ පුරවැසියන් අතර බැඳීම වර්ධනය කිරීම සඳහා දායක වේ. මෙම බැඳීම වර්ධනය කිරීමට රටක ආර්ථික, පරිපාලන, සංවර්ධන, සමාජ ක්ෂේත්‍රවල යහ ආණ්ඩුකරණය පවත්වාගෙන යාම රාජ්‍ය සේවයේ වගකීමකි. ඒ සඳහා රාජ්‍ය සේවය ආණ්ඩුවලින් ස්වාධීන විය යුතු ය. එහෙත් රාජ්‍යයෙන් ස්වාධීන වීමට කිසිදු අයිතියක් රාජ්‍ය සේවයට නැත. මන්ද රාජ්‍ය සේවය ක්‍රියාත්මක කරන්නේ ජාතික රාජ්‍යයේ අභිලාෂ නිසා ය. ඒ අභිලාෂ වනාහි රටේ ජනතාවගේ සම්මුති වන නිසා ය. ඒ ජාතික අභිලාෂ සහ ඒ මත සම්පාදනය කරන ලද රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව තීන්දුතීරණ ගන්නා ආණ්ඩු සමඟ අනන්‍යව ක්‍රියාත්මක වීම රාජ්‍ය සේවයේ වගකීමකි. රාජ්‍ය සේවය බරක් නොවී රටට වැඩදායක වන්නේ එවිට ය.

ඒ සඳහා රටක රාජ්‍ය අංශයේ පිරිස් බලයේ ප්‍රමාණාත්මක භාවය ප්‍රශස්ත මට්ටමක තබා ගත යුතු ය. එසේම රාජ්‍ය අංශය බල දේශපාලනයේ අතකොළුවක් නොවිය යුතු ය. වඩාත් වැදගත්ම කාරණය වන්නේ රාජ්‍ය සේවය ජනතා සුබසිද්ධිය සඳහා මිස ඔවුන් පෙළන, පීඩාවට සහ අසරණ භාවයට පත්කරන පීඩක යාන්ත්‍රණයක් නොවිය යුතුය යන්න ය. දේශපාලන වාසි වෙනුවෙන් රාජ්‍ය සේවයේ පිරිස් බලය වැඩි කිරීම ට ගන්නා තීරණ එක්තරා ආකාරයකට ඥානාන්විත නැත.

දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීම සඳහා වැඩියෙන් ම රැකියා දුන් ආණ්ඩු වැඩිම පරතරයකින් පරාජයට පත් වූ අවස්ථා ලංකාවේ දුලබ නැත. එහෙත් පිරිස් බලය අනවශ්‍ය ප්‍රමාණයකට වැඩි කිරීම නිසා රාජ්‍ය සේවයට වූ හානිය සුළු පටු නැත. හානි පූරණය ලෙහෙසි නැත. 

මෑත දශකවල බලයට පත් කිසිදු ආණ්ඩුවක් මේ විනාශය නිසි ලෙස සැලකිල්ලට ගෙන කටයුතු කොට නැත. එවැනි පසුබිමක දැවැන්ත ආර්ථික අර්බුදයක රට ගිලී ඇති නිසා හෝ මුදල් ඇමතිවරයා කළ ප්‍රකාශය වැදගත් වන්නේ මෙරට රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ පොදු ජන ජාතික කථිකාවකට එය නිමිත්තක් කරගතහොත් පමණක් ය. පළමුව එවැනි කථිකාවකට ඇති කැමැත්ත සහ අවංක සූදානම ආණ්ඩුව වෙතින් ප්‍රදර්ශනය විය යුතු ය. අනෙක් දේශපාලන කල්ලි කණ්ඩායම් සහ පක්ෂ කළ යුත්තේ රාජ්‍ය කේන්ද්‍රීය විධිමත් රාජ්‍ය සේවයක් සඳහා වූ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹ එම කථිකාව ජාතික කථිකාවක් කර ගැනීමට අවංකව මැදිහත් වීමය, ආණ්ඩුව පෙළඹවීමය.


කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාවසහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ මහාචාර්ය ධම්ම දිසානායක



අදහස් (2)

රාජ්‍ය සේවය බරක්වීම

අප්පුහාමි Sunday, 21 November 2021 05:02 PM

ඔබේ අදහස ඉතා වටිනවා. රාජ්‍ය සේවකයින් මෙහෙම වැඩිවීමට 1987 ඇතිකළ පළාත් සභා ප්‍රධාන හේතුවක් වුණා. පළාත් සභා කාර්ය මණ්ඩල අතිවිශාලයි. පළාත් සභාවලින් කරන කටයුතු ඉන්පෙර දිසාපතිවරුන් ඉතා සාර්ථකව කළබව අත්දැකීම් අනුව කිවහැකිය. පළාත් සභා කටයුතු ගැන කියනවිට 1999 -2000 අතර කාලයේ පළාත් සභාවක කටයුතු කළ මම සිටි ස්ථානයේ එකල 08 දෙනෙක් සිටි අතර දැනට 60කට වැඩි පිරිසක් සිටී. නමුත් කාර්යක්ෂමතාවය බිංදුවකි. දැනට ප්‍රාදේශීය ලේකම් ලෙස සලකන එකල උප දිසාපතිට නිල රථයක් නොවූ කාලයේ බසයෙන් ගොස් අතරමගදී ප්‍රශ්න විසඳූ අය අවශ්‍ය ලිපිය අතින් ලියා මුද්‍රා තබා දුන් අවස්ථා අනන්තයි. ක්ෂේත්‍ර නිලධාරින් රාජකාරි කළ පසුව නැවත කාර්‍යාලයට පැමිණ කටයුතු කළ දිනයම ඒ සඳහා නිවාඩු නොලබාය... දැනට උදාහරණයක් ලෙස කොස් ගස් කැපීමට බලපත්‍ර දීමට එක් අයෙකුත් එයට ප්‍රවාහන බලපත්‍ර දීමට තවත් කෙනකුත් යොදාගෙන ඇත්තේ රැකියා දීමට බව කිවහැකියි.. මුදල් ඇමතිවරයා හරි... නමුත් මෙයට පෙර මෙය දුටුවේ රනිල් මහතාය. ඔහු රැකියා දීම ප්‍රශ්නයක් නොවීමට දායක විශ්‍රාම වැටුප් යෝජනාවක් කළේ එ් නිසායි.

:       2       4

nimal Monday, 22 November 2021 05:10 AM

රටේ ජනතවට මේවනවිට ඔවුන්ගේ දෛනික අවශ්‍ය තාවයන් සපුරා ගැනීම පිණිස දවසේ වැඩිකාලයක් පෝලිම්වල ගතකිරීමට සිදුව ඇත. රටේ ආර්ථිකය පෙර නොවූ විරු ආකාරයට කඩා වැටි ඇත. මේ ආකාරයට බලන විට ලක්ෂ 17ක් පමණ වූ රජයේ සේවකයන් හට වර්තමානයේ ඔවුන් ලබන වැටුපෙන් අඩක් ලබාගැනීමට හෝ සහ ඔවුනට වැටුප් ගෙවීමට අනාගතයේදී නිසැකවම නොහැකි වාතාවරණයක් රජයට මතුවනු ඇත

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site