ඇඳිරි නීතිය ලිහිල්වීම, දිස්ත්‍රික් අතර ගමනා ගමනය, අවදානම් නැතිද?, ‘නාවික පොකුර’ හඳුනාගන්න බැරිවුණේ ඇයි?, අවශ්‍ය වෙලාවට රට වැසුවාද?, මැතිවරණ හදිසිය, බඩුමිල වැඩි කිරීම. බෙහෙත් හිඟය යනාදී කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් කළ විමසුමකි මේ.
ප්‍රශ්නය:- ඇඳිරි නීතිය ලිහිල් කර දිස්ත්‍රික් අතර ගමනා ගමනයට ද ඉඩ දෙමින් අද රට සැලකිය යුතු ලෙස විවෘත වෙනවා. දැන් රටේ කොරෝනා අවදානමක් නැතිද?
පිළිතුර:- මාසයකට ආසන්න කාලයක් තිස්සේ සමාජයෙන්, ප්‍රජාව අතරින් කොරෝනා රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. අපට සෑහෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණේ නාවික රණවිරුවන්ගේ ප්‍රශ්නය නිසයි. නාවික රණවිරුවන් දහසකට අධික පිරිසක් නිවාඩුවට අප්‍රේල් 18 සහ 22 නිවෙස්වලට ගියා. මේ අයගෙන් යම් අය ආසාදිත බවට වාර්තා වුණා.
ඒ නිසා මේ අය හරහා ඒ ගම්වලට රෝගය පැතුරුණාද කියන ගැටලුව තිබුණා. එහෙත් පළමු කොරෝනා ආසාදිත නාවික රණවිරුවා වාර්තා වීමත් සමඟ අවශ්‍ය සියලු පියවර ගත්තා. ඒ පවුල්වල අය පවා නිරෝධායනය කිරීමට කටයුතු කළා. ආශ්‍රිතයන් හඳුනාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කළා. නාවික සොයුරන් දහසකට අධික සංඛ්‍යාවක් ගම්වලට ගියත් ඔවුන්ගේ ළඟ ආශ්‍රිතයන් හැරුණු කොට ප්‍රජාවට රෝගය ව්‍යාප්ත වුණේ නැහැ. රෝග ලක්ෂණ ඇති බව කියමින් රෝගීන් රෝහල්වලට ආවෙ නැහැ. අවශ්‍ය පියවර නිසි පරිදි ගත් නිසා මේ මට්ටමෙන් බේරා ගන්න ලැබුණා. දැනට ප්‍රජාව අතරින් රෝගීන් මතු නොවන නිසා කෙරෝනා පාලනයට ලංකාව සමත්වී සිටිනවා.
ප්‍රශ්නය:- තවමත් දිනකට රෝගීන් දහයක් පහළොවක් වාර්තා වෙනවා. මෙවන් තත්ත්වයකදී යම් අවදානමක් නැතිද?
පිළිතුර:- පිටරට සිට පැමිණි රෝගීන් ලංකාවේ සිටින රෝගීන් ගණනට එකතු කිරීමත් වැරැදියි වගේ මට දැනෙනවා. මැද පෙරදිග සිට පැමිණි ඇතැම් අය මේ වනවිට රෝගීන් ලෙස වාර්තා වෙනවා. මේ අය ඒ රටවලදී රෝගය හදාගෙන පැමිණි අය.
ලංකාවේදී රෝගය බෝවූ අය නෙමෙයි. නාවික කඳවුරෙත් රෝගය ශීඝ්‍රව පැතිරුණා. සුදුවැල්ලේ රෝගියාගෙන් කී සියයකට කොරෝනා පැතිරුණාද කියා තේරුම් ගන්න ඕන. නාවික කඳවුරේ සිද්ධියේදී අවශ්‍ය තීන්දු සෞඛ්‍ය අංශ හැටියට ගන්න කියා ජනාධිපතිතුමා අපට උපදෙස් දුන්නා. තිබූ තත්ත්වය සැලකිල්ලට ගෙන නාවික කඳවුරේ අය ඉවත් කර වෙනත් කඳවුරුවලට යවන්න පියවර ගත්තා. මේ පැතිරීම යම් මට්ටමකට අඩු කරගෙන යන්නේ එවන් පියවර රැසක ප්‍රතිඵලයක් වශයෙනුයි.
දැන් වාර්තා වන්නේ පිටරට සිට පැමිණෙන රෝගීන්. අපි ඔවුන් සමාජයට මුදා හරින්නේ නැහැ. මේ අය සිටින්නේ නිරෝධායන කඳවුරුවල හෝ රෝහල්වලයි. මේ අය සමාජයට මුදා හරින්නේ ඔවුන් රෝගය සම්පූර්ණයෙන්ම නැති බව ස්ථිරවම තහවුරු වූ පසුවයි. පිටරට සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. ඔවුන් රෝගීන් ලෙස ආවත් දැඩි අධීක්ෂණයකින් වැඩි කාලයක් නිරෝධායන කඳවුරු සහ රෝහල්වල තබාගෙන රෝගය නැති බව සියයට දෙසීයක්ම තහවුරු වූ පසුව මුදාහරිනවා.
ප්‍රශ්නය:- නාවික පොකුර මෙරට කොරෝනා රෝගීන්ගෙන් අඩක් පමණ වෙනවා. මේ තරම් වර්ධනය වෙනතෙක් එය හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ අපොහොසත් වුණේ ඇයි?
පිළිතුර:- මේ රෝගයේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. රෝගය වැළඳිලත් මාසයක් පමණ මේ අය ඒ කඳවුරේම සිට තිබෙනවා. මේ අයගෙන් සියයට හැටකට රෝග ලක්ෂණ නැහැ. රෝග ලක්ෂණ තිබුණත් ඒ අයට ලොකු අමාරුකම්, අපහසුතා පෙන්නුම් කර නැහැ. කොරෝනාවෙන් වැඩි අවදානමක් තිබෙන්නේ වයස්ගත අයටයි. හැබැයි ලංකාවේ වයසක අයට රෝගය පැතිරෙන්න තිබූ ඉඩකඩ අසුරා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. අපේ රටේ මරණ ගණන අඩු වුණේ ඒ නිසයි. කොහොම වුණත් සාමාන්‍ය උගුර කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යාව නිසා නාවික සහෝදරයන් මේක ගණන් ගත්තේ නැහැ. ඇත්තටම කොරෝනා කියා ඔවුන් සිතන්නත් නැතුව ඇති. මේනිසා මාසයකට පමණ කාලයක් ඔවුන් රෝගය පතුරමින් සිට තිබෙනවා. දැනගත් වහා අවශ්‍ය පියවර අපි ගත්තා.
මිලියන ගණනකට කොරෝනා වැළඳුණේ ලක්ෂ ගණනක් මිය ගියේ චීනයේ වූහාන් වැසියන් හතර දෙනකුට මුලින්ම රෝගය වැළඳීමෙන්. හතර දෙනකුගෙන් මුළු ලෝකයටම කොරෝනා පැතිරුණා. කඳවුරක මේ රෝගය පැතිරීමේ ඉඩකඩ වැඩියි. එහෙත් එතැනින් එහාට රෝගය පැතිරීම වළක්වන්න අවශ්‍ය පියවර අපි ගෙන තිබෙනවා.
ප්‍රශ්නය:- කොරෝනා පාලනයට ආරක්ෂක අංශ දායක කර ගත්තත් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සෞඛ්‍ය අංශ උනන්දු වුණේ නැද්ද?
පිළිතුර:- කොරෝනාවෙන් ආරක්ෂාවන උපදෙස් ආරක්ෂක අංශයට පමණක් නෙමෙයි සෑම අංශයකටම අපි ලබා දුන්නා. සමහර වෙලාවට යම් අතපසුවීමක් වෙන්න ඇති. ඒක සෞඛ්‍ය අංශයේ අතපසුවීමක් හැටියට ගන්නත් බැහැ. ආරක්ෂක අංශවල අතපසුවීමක් හැටියට ගන්නත් බැහැ. මොන තරම් ආරක්ෂිත ක්‍රම භාවිත කළත් පුංචි කාරණයකින් රෝගය බෝ වෙන්න පුළුවන්.
මාස්ක් එක තදට හරියට පැළඳගෙන සිටියෙ නැත්නම් රෝගය ඇති අයකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝවෙන්න හැකියාව තිබෙනවා. එවැනි ප්‍රශ්න තිබෙනවා. අපි මේ සටන කරන්නේ ඇසට නොපෙනෙන බිඳිතිත් සමඟ. මේවා නිවැරදිව වටහා ගන්න ඕන. එනිසා කොතරම් ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළත් මාස හතරක් වැනි කෙටි කාලයකදී ලෝකයේ රටවල් 200කට පමණ කොරෝනා පැතිරුණා. මේ රෝගයේ ස්වභාවය එයයි. අපට වඩා දියුණු සන්නිවේදන ක්‍රම තිබෙන බලවත් රටවල් පවා කොරෝනාවේ ගොදුරු වුණා. ලෝක බලවතුන් අසරණවී සිටිනවා. හැබැයි අපි සාර්ථකව කොරෝනා පාලනය කර තිබෙනවා.
ප්‍රශ්නය:- හැබැයි නියම වෙලාවට රට වැසුවා නම් තත්ත්වය මෙතරම් බරපතළ නොවන බවට නැඟෙන චෝදනාව ගැන කියන්නේ මොකක්ද?
පිළිතුර:- අපි නියම වෙලාවටත් කලින් රට වැසුවා. කොරෝනාව මේවගේ පාලනයකට නතුකර ගන්න අපට හැකි වුණේ ඒ නිසයි. කොරෝනාව සමාජයට ව්‍යාප්තවීම ලෝකයේ අනෙක් රටවලට තිබෙන ප්‍රශ්නයයි. කොරෝනා ආසාදිත පළමු ලාංකික රෝගියා හමුවුණේ මාර්තු 11 වැනිදා. මාර්තු 10 වැනිදා අපේ පළමු නිරෝධායන කඳවුරු ඇරියා. පළමු ලාංකික රෝගියා හමුවීමටත් පෙර අපි නිරෝධායන කඳවුරු ඇරියා. ලෝකයේ මොන රටේද මෙහෙම නිරෝධායන කඳවුරු හැදුවේ.
සියලු පහසුකම් මේවායේ හදන්න ඕන. සති දෙකකින් චීනයේ රෝහල් ඉදිකළා. හැබැයි රෝගීන් නොවන අය රෝහල්වල තියන්න බැහැ. ඒ නිසා පළමු ලාංකික රෝගියා වාර්තාවීමට පෙර පිටරට සිට පැමිණි අය නිරෝධායන කඳවුරුවලට යොමු කළා. අවශ්‍ය පරීක්ෂණ කිරීමට, ප්‍රතිකාර කිරීමට රෝහල් සූදානම් කිරීම ආදිය අපි මුල සිටම කරගෙන ගියා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අංශවල දායකත්වයෙන් නිරෝධායන කඳවුරු ඉතා ඉක්මනින් ඉදිකළා. මාර්තු 19 වනවිට ගුවන් තොටුපොළ වැසුවා. අනෙක් රටවලට කලින් අපි සැම විටම තීන්දු ගත්තා. ගතයුතු තීන්දු නිවැරැදි වෙලාවට නිවැරැදි ආකාරයෙන් ගත් නිසා අද පවතින ආකාරයට කොරෝනා පාලනය කිරිමට හැකිවී තිබෙනවා. ඉන්දියාවෙත් මරණ තුන් දහස් ගණනක් වාර්තා වෙනවා. මෙහෙම බැලුවාම අනෙක් රටවලට සාපේක්ෂව ලංකාව විශාල සාර්ථකත්වයක් කරා ගමන් කරමින් සිටිනවා.
ප්‍රශ්නය:- අවශ්‍ය පමණට පරීක්ෂණ නොකළ බවටත් චෝදනා එල්ල වුණා. කොරෝනා මෙතරම් දුරදිග යාමට එයත් බලපෑවාද?
පිළිතුර:- සෞඛ්‍ය අංශ පරීක්ෂණ කළේ සහ කරන්නේ අවශ්‍ය ඉලක්ක ගත කණ්ඩායම්වලටයි. මොණරාගල දිස්ත්‍රික්කයේ එක රෝගියකුවත් නැති නම් ඒ දිස්ත්‍රික්කයේ සියලු දෙනාටම පරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ. කොරෝනා වැළඳීමේ අවදානමක් ඉඩකඩක් තිබෙන පිරිසට තමයි පරීක්ෂණ කරන්න ඕන. යම් යම් දිස්ත්‍රික්කවල එක රෝගියකුවත් නැති නම් සංචරණය සීමාකර රටපුරාම ඇඳිරි නීතිය පනවා ඇතිවෙලාවක සියලු දෙනාටම පරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ. එක් පරීක්ෂණයකට අවශ්‍ය ද්‍රව්‍ය, භාණ්ඩ, උපකරණ ආදී ලැයිස්තුව විස්සක් පමණ වෙනවා. පූර්ණ පරීක්ෂණ විසඳුමකට ඒ සියල්ල අවශ්‍යයි. මේ එකක් හෝ නැතිව පරීක්ෂණය සම්පූර්ණ කරන්න බැහැ. මේ ද්‍රව්‍ය නිපදවීමට ලෝකයේ තිබුණේ කම්හල් තුන හතරක් පමණයි. මුළු ලෝකයෙන්ම මේ පරීක්ෂණ කරන කට්ටලවලට ඉහළ ඉල්ලුමක් ආවා. මේවා නිපදවන රටවල පවා කොරෝනා තදින් පැතිරෙන්න ගත්තා. ඒ වගේම වරාය, ගුවන් තොටුපොළ වසා තිබීම නිසා මේවා ගෙන්වා ගැනීමේ ප්‍රශ්න මතු වුණා. එනිසා අනිසි විධියට පරීක්ෂණ කර නාස්ති කර ගන්න අපට හැකියාවක් තිබුණේ නැහැ. මේ රට ලෝකයේ දියුණුම ආර්ථික ශක්තිය තිබෙන රට නෙමෙයි. කොහොම වුවත් මේ පරීක්ෂණ කට්ටල ලෝකයේ හිඟවුණා. මේවා සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ කළේ ලෙඩේ හැදෙන්න ඉඩකඩ තිබූ අයට පමණයි. අද වනවිට ස්ථාන 15ක මේ පරීක්ෂණ කරනවා. මුලින් අපි වැඩ කරගෙන ගියේ තිබෙන සම්පත් ගැනත් බොහොම කල්පනාවෙන්. දැන් දවසකට පරීක්ෂණ තුන් දහසක් පමණ කරන්න පුළුවන්.
ප්‍රශ්නය:- කොළඹ-ගම්පහ හැරුණු කොට දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයටත් අද සිට ඉඩ ලැබෙනවා. මෙවන් අවදානමක් දැන්මම ගන්න පුළුවන්ද?
පිළිතුර:- රටක ආර්ථිකය නැගිටින්න ඕන. රජයේ සේවකයන් ගෙවල්වල තියාගෙන වැටුප් ගෙවීම හැමදාම කරන්න බැහැ. පවුල් ලක්ෂ 53කට රුපියල් 5000 බැගින් ජීවනාධාරය දීමට රු. බිලියන 25ක් වැයකර තිබෙනවා. ඒ අප්‍රේල් මාසයට පමණයි. ගොවි නිෂ්පාදන මිලදී ගෙන බෙදා හැරීමට ආණ්ඩුව කටයුතු කළා. හැම දෙයක්ම ආණ්ඩුවට කරන්නත් බැහැ. ආර්ථිකය වසා දමා රටක් දුවන්න බැහැ. කොරෝනා යම් පාලනයකට ලක්කළ පසු රට අරින්න ඕන. කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු, ලොකු කුඩා ව්‍යවසායවල වැඩ කෙරෙන්න ඕන. ජනතාවට අවශ්‍ය දේ මිලදී ගැනීමේ අවස්ථාව දිය යුතුයි. සංවර්ධන වැඩ සිදුවෙන්න අවශ්‍යයි. ආයෝජන එන්න ඕන. ආර්ථික ක්‍රියාවලිය සිදුනොවී රට දිගටම වසා දමා ඉදිරියට යන්න බැහැ. දැන් කොරෝනාව පාලනයකට ලක්කර තිබෙනවා. රට අරින්න තීන්දු කළේ ඒ නිසයි.
ප්‍රශ්නය:- කොරෝනා අස්සේ ආණ්ඩුවට මැතිවරණ හදිස්සියකුත් අැති වෙලාද?
පිළිතුර:- මැතිවරණය කවද පැවත්වුවත් අපට ඒක ගැටලුවක් නෙමෙයි. අපට තිබෙන්නේ රටේ ආර්ථිකය සම්බන්ධ ගැටලුවක්. රටේ ආර්ථිකය පණ ගන්වන්න අවශ්‍යයි. ප්‍රජාව අතරින් රෝගීන් මතුවෙන්නේ නැති නම් තවත් වසරක් දෙකක් ගතවන තෙක් ලෝකයෙන් කොරෝනා තුරන් කරන්නත් බැරි නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවද නැද්ද කියන එක මැතිවරණ කොමිසම තීන්දු කළ යුතු කාරණයක්. පාර්ලිමේන්තුවක් නැතිව රටකට ඉදිරියට යාමට ඉඩදීම හොඳද කියා මැතිවරණ කොමිසම කල්පනා කළ යුතුයි. නාම යෝජනා දී තිබෙනවා. අපි මැතිවරණ ප්‍රචාරණයකුත් කළා. මැතිවරණය පැවැත්විය යුතුව තිබූ දිනයත් ඉක්මවී මාසයක් ගතවී තිබෙනවා. දැන් තිබෙන්නේ මැතිවරණය පවත්වන්න. තිබෙන තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රජාව අතරින් රෝගීන් වාර්තා වෙන්නෙත් නැතිනම් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මැතිවරණ කටයුතු කිරීමට බාධාවක් ඇති කියා මම නම් සිතන්නේ නැහැ. අලුත් විධියට සිතා අලුත් ක්‍රම භාවිත කරන්න මැතිවරණ කොමිසමට සිදුවෙයි. ඒ ආකාරයට මැතිවරණය පවත්වන්න පුළුවන්.
ප්‍රශ්නය:- කොරෝනාවට මුවාවී ගැසට් ගසා බඩු මිල වැඩි කළ බවට චෝදනා නැගෙනවා. සහන දෙනවා වෙනුවට ජනතාවට තවත් බර පටවන්නේ ඇයි?
පිළිතුර:- දේශීය ආර්ථිකය නැගිටුවන්නත් අවශ්‍යයි. යම් බදු වැඩි කිරීමක් කළේ ආනයනය කරන ද්‍රව්‍යවලට බව මතක තබා ගන්නත් ඕන. ඒ අපේ නිෂ්පාදකයා රැක ගන්නයි. බඩුමිල යම් පමණකින් හෝ වැඩිවුණා නම් ජනතාවට යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ආණ්ඩුවක් හැටියට අපට කළ හැකි උපරිමය ජනතාව වෙනුවෙන් අපි කරනවා. ඇතැම් අවස්ථාවලදී ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති තීරණ ගන්න වෙනවා. දිගුකාලීනව අපි බලන්නේ දේශීය නිෂ්පාදන ශක්තිමත් කර ආනයන අපනයන පරතරය අඩුකර ආර්ථික ස්ථාවරත්වයක් මේ රටේ ඇති කරන්න. ආනයන අපනයන පරතරය ඇ. ඩොලර් බිලියන අටක්වී තිබෙනවා. රට ණය වෙනවා. මේ නිසා අපට අවශ්‍ය ශක්තිමත් ආර්ථිකයක් මේ රටේ හදන්න. මේ රට ලෝකයේ දියුණු රටක් බවට පත් කරන්න. රට තවත් අගාධයට ඇද දමන්න අපි සුදානම් නැහැ. මේ ඉලක්කවලට කටයුතු කිරීමේදී රට වෙනුවෙන් යම් යම් තීන්දු ගන්න වෙනවා.
ප්‍රශ්නය:- අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ගැන කියැවෙනවා. සෞඛ්‍ය ඇමැතිනිය හැටියට දෙන පිළිතුර මොකක්ද?
පිළිතුර:- මම සෞඛ්‍ය ඇමැතිධුරය බාර ගන්න විටත් ඖෂධ වර්ග 400ක් රටේ තිබුණේ නැහැ. ඒ හිඟය නැති කිරීමට අපට සිදුවුණා. සෑම වසරකම ජනවාරි පෙබරවාරි වනවිට ඒ වසරට අවශ්‍ය ඖෂධවලට ටෙන්ඩර් කැඳවා ඒවා රටට ලැබී තිබෙන්න ඕන. මේ ටෙන්ඩර් ක්‍රියාවලියට වසරක පමණ කාලයක් ගත වෙනවා. මේ වසරට අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවිය යුතුව තිබුණේ පසුගිය වසර මුලදියි. ලබන වසරට අවශ්‍ය බෙහෙත්වල ඇනවුම් මේ වසරේදී අවසන් කරන්න ඕනෑ. ලබන වසරේ ජනවාරි සිට අවශ්‍ය බෙහෙත් ලැබෙන්නේ ඒ අනුවයි. අපි කරන්නේ සෑහෙන පමණ බෙහෙත් ආනයනය කිරීමක්. මේ වසරේ ජනවාරි පෙබරවාරි වනවිට මේ වසරට අවශ්‍ය බෙහෙත් තොග සඳහා ටෙන්ඩර් කැඳවා ඇනවුම් කළ යුතුව තිබුණේ ගිය වසරේ. මේ වසර මුලවන විට ඒ ඇනවුම් අවසන් කර මාස්පතා අවශ්‍ය ඖෂධ ලැබෙන ක්‍රමය සැකසී තිබෙන්න ඕන. එහෙත් ඒ ක්‍රියාවලිය ගිය වසරේ සිදුව නැහැ. එසේ වුවත් ජනතාවට රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමට අපි කටයුතු කරනවා. හිටපු අය මේවා නිසි ලෙස කළේ නැහැ කියා අපි මේවා අත්හැර නැහැ.
ප්‍රශ්නය:- කොරෝනා දෙවැනි රැල්ලක් සම්බන්ධයෙනුත් බොහෝ විට කියැවෙනවා. එවැන්නකට ඇති සූදානම මොකක්ද?
පිළිතුර:- පළමු රැල්ලටත් අපි සූදානම් වුණානේ. දෙවැනි රැල්ලක් ඒවි කියා මම සිතන්නේ නැහැ. බැරි වෙලාවත් දෙවැනි රැල්ලක් ආවොත් පළමු රැල්ලට වගේම අපි සූදානම්.
***සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට අරින්න තීන්දු කළේ ඇයි?
karu Tuesday, 26 May 2020 06:43 AM
අපිත් තීන්දු කරලා ඉවරයි ඔබලාව ගෙදරම යවන්න.
rocky Tuesday, 26 May 2020 07:11 AM
රට අරින්න තීන්දු කෙරුවේ .. ජනතාවට දෙන්නම තමයි!
sena Tuesday, 26 May 2020 08:29 AM
සිද්දවෙලා තියෙන ප්‍රමාදයට හේතුව හොඳටම පැහැදිලියි.. හැම දෙයක්ම අර විදිහට කරන්න, මේ විදිහට කරන්න කියලා තියෙන්නේ ජනාධිපතිතුමා... මොකට ආණ්ඩුවෙන් පඩි ගන්නවාද මන්දා?
Sanka Tuesday, 26 May 2020 09:44 AM
මේ ඇමති තනතුර සෞඛ්‍ය අංශයේ අදාල කෙනෙක් දැරුවා නම් කොරෝනා උවදුරේ මුලින්ම ඉවර කරන්න තිබුණා. මෙයාගේ නොදැනීමෙන් අවශ්‍යම තීරණ ගත්තේ ගොඩක් ප්‍රමාද වෙලා. නැත්නම් අපේ රට ලෝකෙන් කොච්චර පොඩි රටක්ද? සජිත් මුලින්ම පාර්ලිමේන්තුවේ කිව්වා.. ඉන්දියාවෙන් මුඛ ආවරණ ඉන්දියාවෙන් වහාම ගෙනැල්ලා මහජනතාව අතර බෙදන්න කියලා. එහෙම වුණා නම් මාස දෙකෙන් රට විවෘත්ත කරන්න තිබුණා... අපරාදේ... ජන ජීවිතය නැත්තටම නැතිවුණා.
ජෝන් Wednesday, 27 May 2020 06:57 AM
කට කපාගන්න ඔනෑ වෙලාද...?
ravi Tuesday, 26 May 2020 11:31 AM
දැන් හැමදාම සැලුන් යනවා වගේ ..
බණ්ඩා Tuesday, 26 May 2020 02:12 PM
ඔව්... ඒ වගේමයි.. දතුත් මදිනවාද කොහෙද..?
karuWednesday, 27 May 2020 06:56 AM
දතුත් මදිනවා වගේ පෙනෙනවා.
Chathuri Tuesday, 26 May 2020 02:54 PM
කොහෙවත් යන චීන ගැහැණියෙක් බදාගෙන ඉඹින්න විතරයි දන්නේ... ලොකු හපන් කමක් කෙරුවා වගේ. රටේ ජනතාවට එක වචනයක් කරුණාවෙන් කියනවද? පුදුම වැඩේ හොරුන්ට මේ ලෙඩේ හැදුනේ නැතිකමයි. දැන්ම මේ ලෙඩේ සම්පූර්ණ සුව කරන්න ලංකාවේ බෙහෙතක් හදනවද විදේශයටත් දෙන්න. මෙය කියන්නේ එහෙමනේ අත්හදා බැලුවෙත් නැත්ද?
ධම්ම Wednesday, 27 May 2020 02:43 AM
ඇමැතිනිය දිනෙන් දින ලස්සන වෙනවා. මොන දේ නැතත් අපට ඒ ගැන හරි සතුටුයි....
අපවිත්රා Wednesday, 27 May 2020 06:55 AM
සතුටුයි කියලා හරියන්නේ නැහැ. මාව සතුටු කරන්න නම් මේ රජය මොන තරම් හොරකම් කළත් ඒවා ගණන් නොගෙන මට ඡන්දය දෙන්න.
current man Wednesday, 27 May 2020 05:34 AM
මැඩම්, අපි ඉන්දියාවටත් කාලයක් විදුලිය විකුණන්න ලැහැස්ති වුන මිනිස්සු ..නැද්ද ?
Prasad Thursday, 28 May 2020 02:27 AM
අනේ මෙයා ඕවාටමයි කතා කරන්නේ...