ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ මණ්‍ඩලය සමග ලංකා ආණ්‍ඩුව නිල වශයෙන් සාකච්ඡා කර තිබෙන්නේ 2021 දෙසැම්බර් මාසයේ 7 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය ඇතුළතදීය. ඒ සාකච්ඡාවලට මුදල් ඇමැති, භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති ද සහභාගි වී තිබේ. මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ මණ්‍ඩලය මේ වාර්තාව එළිදක්වා තිබෙන්නේ ඒ සාකච්ඡාවලින් අනතුරුවය.
එනම්, 2022 පෙබරවාරි 25 වැනිදාය. ඒ තොරතුරුවලින් තහවුරු වන්නේ, ආණ්‍ඩුව රටට එකක් කියමින් වෙනත් දෙයක් කර තිබෙන බවය. ආණ්‍ඩුව රටට කිව්වේ මූල්‍ය අරමුදලට නොයන බවය. එහි යාමේ වුවමනාවක් තමන්ට නැති බවය. එහි නොගොස් ආර්ථිකය ගොඩ ගන්නා හැටි තමන් දන්නා බවය. එසේ කියමින් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර තිබෙන බව දැන් අනාවරණය වෙයි.
මුල්‍ය අරමුදල ලංකා ආර්ථිකයේ පවතින අභියෝග රැසක් හඳුනාගෙන තිබේ. රාජ්‍ය ණය ඉහළ ගොස් ඒ ණය ගෙවා ගැනීමට පුළුවන් තත්ත්වයක ලංකාව නොමැති බව ඔවුන් හඳුනාගෙන තිබෙන පළමු අභියෝගයයි.
රටේ නිර්මාණය වී තිබෙන අර්බුද රැසකි. ඩොලර් හිඟය ඉන් එකකි. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කරගැනීමට නොහැකිව පවතී. ඒ නිසා රටේ අස්ථාවරභාවයක් උද්ගතව තිබෙන බව මූල්‍ය අරමුදල කියයි. ඉන් ගැලවීමට ජාත්‍යන්තර මැදිහත් වීමක් සහිත වැඩපිළිවෙළක් අවශ්‍යයයි. ඩොලර් අර්බුදය විසඳා ගැනීම, විදේශ ණය හා පොලිය ගෙවීම, රජයේ අය වැය හිඟය පියවා ගැනීම සහ ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද මූල්‍ය අරමුදල කියයි. සරලව කිවහොත් ලංකාවේ මුළු ආර්ථිකය පිළිබඳව විශ්ලේෂණයක් මූල්‍ය අරමුදලෙන් කර තිබේ. වඩාත් විශ්වසනීය හා එකිනෙක ගැළපෙන, බැඳුණු ප්‍රතිපත්ති මාලාවක් ක්‍ෂණිකව ක්‍රියාත්මක කළ යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශයයි.
මූල්‍ය අරමුදල එසේ කියන්නේ, ආණ්‍ඩුව කියන දේවල් ජනතාව නොපිළිගන්නා තත්ත්වයක් රටෙහි නිර්මාණය වී තිබෙන හෙයිනි. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වූ දා සිටම චක්‍රලේඛ හා ගැසට් ගසා ඒවා යළි අහෝසි කිරීමෙන් වාර්තා පිහිටුවා තිබේ. ජනපති පමණක් නොව අගමැති, මුදල් ඇමැති, මහ බැංකු අධිපති යනාදී කිසිවකු ගැන කිසිදු විශ්වාසයක් ජනතාව අතර නොපවතී.
වඩාත් විශ්වසනීය හා එකිනෙක බැඳුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නැයි මූල්‍ය අරමුදල කියන්නේ දැන් රටෙහි ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අවිශ්වාසනීය බවය. එසේම ඒවා එකිනෙක බැඳී නැති බවය. සාර්ව ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කිරීමටත්, ණය තිරසරභාවය ඇති කිරීමටත් විශ්‍වසනීය හා එකිනෙක බැඳුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශයයි.
ආදායම් රැස් කරගැනීමේ මූලාශ්‍ර තහවුරු කරමින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කළ යුතු බව මූල්‍ය අරමුදලේ තවත් නිර්දේශයකි. එමගින් කියන්නේ, ආදායම් රැස් කරගැනීමේ මූලාශ්‍ර හරහා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කළ යුතු බවය. ඒ නිර්දේශය කිරීමට පෙර මූල්‍ය අරමුදල තම විශ්ලේෂණයේ සඳහන් කරන්නේ, 2019 දී වර්තමාන රජය බලයට පත්වූ වහාම ආදායම් බදු හා වැට් බදු අඩු කර, අවුරුද්දකට රුපියල් බිලියන 500ක පමණ බදු ආදායමක් අහිමි කරගත් බවය. අහිමි කරගත් ඒ ආදායම යළි හිමි කරගැනීම සඳහා මූල්‍ය අරමුදල මේ නිර්දේශය කරයි.
2021 දී ලංකාවේ රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8.9%ක් බව මූල්‍ය අරමුදල කියයි. ලංකා ඉතිහාසයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම අඩුම වර්ෂය 2021ය. 1980 දශකයේ මුල් භාගයේ එය තිබුණේ 21%ක් තරම් ඉහළ අගයකය. රජයේ බදු ආදායම 21% සිට 8.9% දක්වා අඩු කරගැනීමේ වගකීම වර්තමාන ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට හිමි වෙයි.
බදු ආදායම 8.9%ක් වුවත් රජයේ වියදම 27%ක් තරම් ඉහළය. ඒ අය වැය හිඟය පියවීමට විශාල වශයෙන් ණය ගැනීමෙන් මේ ණය අර්බුදය නිර්මාණය වී තිබේ. ඒ නිසා ආණ්‍ඩුව තම ආදායම වැඩි කරගත යුතු බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඒ සඳහා යෝජනා කිහිපයක් කරයි. ඉන් පළමුවැන්න, ආදායම් බදු වැඩි කිරීමය. සියයට 14 සිට 8%කට අඩු කළ වැට් බදු අනුපාතය ද වැඩි කළ යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශයයි.
ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් මේ අර්බුදය දිගටම පවතී. එසේම, ආණ්ඩුව තම හිතවතුන්ට විශාල වශයෙන් දී තිබෙන බදු සහන අවම කළ යුතු බව ද මූල්‍ය අරමුදල කියයි.
සීනි ආනයනකරුවන්ට දී තිබූ බදු සහන එක උදාහරණයකි. මෙතරම් බරපතළ අර්බුදයක එරී සිටියදීත් ආණ්‍ඩුව රටඉඳි ආනයන බද්ද රුපියල් 200 සිට රුපියල දක්වා අඩු කළේ මේ සඳුදාය. එනම්, මාර්තු 28 වැනිදාය.
එතෙක් ආනයනය කළ රටඉඳි කිලෝවකින් රුපියල් 200ක බද්දක් අය කළත්, ආණ්‍ඩුව හදිසියේම එය රුපියල් 199කින් අඩු කළේය. දේශපාලන න්‍යායපත්‍ර හා අරමුණු මත ආණ්ඩුව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන බව ඉන් සුපැහැදිලිය.
ආදායම් රැස් කරගැනීමේදී පවතින දුර්වලතා නැති කරගන්නැයි ද මූල්‍ය අරමුදල කියයි. ඒ නිර්දේශය ඉතා සාධාරණය. 2017 දී අලුත් බදු පනතක් ගෙනා බව අප මතක් කරගත යුතුය. එය හොඳ පනතක් බව මූල්‍ය අරමුදලේ මතයයි. එහෙත්, ඒ සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා දැමුවේ වර්තමාන ආණ්‍ඩුවය. එය ආපස්සට ගමන් කිරීමක් ලෙස මූල්‍ය අරමුදල දකියි.
මූල්‍ය අරමුදල 2016 දී ලංකාවට වැඩපිළිවෙළක් සකසා බාර දී තිබේ. එය දී තිබෙන්නේ විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේය. එතැනදීත් මූල්‍ය අරමුදල කියා තිබෙන්නේ, රටට යෝග්‍ය මුදල් ප්‍රතිපත්තියක් සකසා ගන්නා ලෙසය. රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කරගත යුතු බව මූල්‍ය අරමුදල 2016දීත් කියා තිබේ. බදු ක්‍රමය සංශෝධනය කර නව බදු නීති හඳුන්වා දෙන්නැයි ද නිර්දේශ කර තිබේ.
මිල සූත්‍ර ක්‍රියාත්මක කරන්නැයි ද කියයි. 2020ජුනි දක්වා මූල්‍ය අරමුදලේ ඒ වැඩසටහන ක්‍රියාත්මක වී තිබෙන බව පෙනී යයි. ඉන් අනාවරණය වන්නේ, නව රජය බලයට පත්වී කලක් ගත වූ පසු ඒ වැඩසටහන නිම වූ බවය. ඒ ගමන ආපසු හැරැවූයේ වර්තමාන ආණ්‍ඩුව විසිනි.
මූල්‍ය අරමුදල අද කියන්නේ ඒ වැඩසටහන යළි ක්‍රියාත්මක කරන ලෙසය. මූල්‍ය අරමුදලේ ඒ නිර්දේශයෙන් අනාවරණය වන්නේ, වර්තමාන රජය සියල්ල වරදවාගෙන තිබෙන බවය.
නාස්තිය, දූෂණය පිටුදැක රජයේ වියදම් යථායෝග්‍ය පරිදි කළ යුතු බව මූල්‍ය අරමුදලේ තවත් නිර්දේශයකි. ඉන් කියන්නේ අනවශ්‍ය, සෝබන, ප්‍රදර්ශනකාමය පෙරටු කරගත් වියදම් නොකළ යුතු බවය.
ප්‍රතිඵලදායක හා තර්කානුකූල වියදම් පමණක් කළ යුතු බව එමගින් කියයි. මූල්‍ය අරමුදල විවිධ සම්භාව්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික වචන පාවිච්චි කරමින් ආණ්‍ඩුවට කියන්නේ, නාස්තිකාර හා සෙල්ලක්කාර වියදම් නවතා දැමිය යුතු බවය. එය අවධාරණය කිරීමෙන් අනාවරණය වන්නේ රාජපක්‍ෂවරුන්ගේ ආණ්‍ඩු නාස්තිකාර වියදම්වලට ප්‍රමුඛතාව පිරිනමන බව මූල්‍ය අරමුදලත් මැනවින් දන්නා බවය.
දැනට පාඩු ලබන රටට හා ජනතාවට බරක්ව පවතින විදුලිබල මණ්‍ඩලය, තෙල් සංස්ථාව, එයාර් ලංකා ගුවන් සමාගම, දුම්රිය දෙපාර්තමේන්තුව, ජලාපවහන මණ්ඩලය වැනි රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මූල්‍ය අරමුදලේ තවත් නිර්දේශයකි.
ඛනිජ තෙල්, විදුලිය, ගෑස් වැනි බලශක්තිවල මිල තීරණය කළ යුත්තේ ඒවායේ පිරිවැය ආවාරණය කරගත හැකි ක්‍රමවේදයකට බව මූල්‍ය අරමුදලේ තවත් නිර්දේශයකි.
ඒවා කාලීන යෝජනාය. ඒ සමගම කිව යුත්තේ, රටට බරක්ව තිබෙන ඒ රාජ්‍ය ව්‍යාපාරවල කළමනාකරණයේ හා පරිපාලනයේ පවතින අකාර්යක්‍ෂමතා නිසා ද ජනතාව පීඩාවට පත්ව සිටින බවය. ඒ ආයතන සියල්ල පාඩු ලබන්නේ ඒවායේ පවතින දූෂණ වංචා හා අකාර්යක්‍ෂමතා නිසාය. මූල්‍ය අරමුදලේ නිර්දේශ එලෙසින්ම ක්‍රියාත්මක කළහොත් ඒ භාණ්‍ඩ හා සේවාවල මිල තවත් ඉහළ යාමේ අවදානමක් ද පවතියි. මූල්‍ය අරමුදල මේ නිර්දේශ කර තිබෙන්නේ ආණ්‍ඩුව ඩොලරයේ රුපියල් වටිනාකම පා කිරීමට පෙරය. එනම්, ඩොලරයකට රුපියල් 202කට වඩා නොගෙවිය යුතුය යන දැඩි තීරණයේ ආණ්‍ඩුව සිටි සමයේය
මූල්‍ය අරමුදලේ ඊළඟ නිර්දේශයේ සඳහන් වන්නේ, වඩාත් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය බවය. එමගින් කියන්නේ, මුදල් සැපැයුම ඔන්න ඔහේ ක්‍රමයට වැඩි නොකර සීමා කළ යුතු බවය.
අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම නවතා දැමිය යුතු බව ඉන් කියැවෙයි. දැනට රජයේ වියදම් සඳහා ණය දෙන්නේ මහ බැංකුවය. මහ බැංකුව එය කරන්නේ භාණ්‍ඩාගාර බිල්පත් හරහාය. අනෙක් පැත්තෙන් සල්ලි අච්චු ගසා ආණ්‍ඩුවට දෙයි. මූල්‍ය අරමුදල කියන්නේ මහ බැංකුවේ ඒ පිළිවෙත සම්පූර්ණයෙන්ම වැරැදි බවය. ඒ නිසා රජයත් ඒ ප්‍රතිපත්තියෙන් ක්‍රමානුකූලව ඉවත් විය යුතු බව මූල්‍ය අරමුදල කියයි.
මහ බැංකුව අනවශ්‍ය ලෙස සල්ලි අච්චු ගැසීම නිසා උද්ධමනය 18%ක් ඉක්මවා තිබේ. ඒ නිසා ද මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශයයි.
එය ඉතා හොඳ නිර්දේශයකි. ආණ්‍ඩුව හිතුවක්කාර ලෙස සල්ලි අච්චු ගැසීම වර්තමාන අර්බුදවලට එක හේතුවකි. රටේ මුදල් සැපැයුම් ඉහළය. එහෙත් වෙළෙඳපොළේ මිලදී ගැනීමට භාණ්‍ඩ නැත. ඒ හිඟය නිසා ඒ භාණ්‍ඩ හා සේවාවල මිල ඉහළ යයි.
මූල්‍ය අරමුදලේ තවත් වැදගත් නිර්දේශයක් වන්නේ, වෙළෙඳපොළ සාධක මත තීරණය වන නම්‍යශීලී විදේශ විනිමය අනුපාත ක්‍රමයක් ක්‍රමානුකූලව ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවට කරන යෝජනාවය.
ඒ යෝජනාව ඉවහල් වන්නේ, ආණ්‍ඩුවට ඩොලර් රැස් කරගැනීම සඳහාය. ඒ යෝජනාව මගින් අනාවරණය වන්නේ, ඩොලරයේ වටිනාකම තීරණය කිරීම එකවර අතහරින්නැයි හෝ එකවර ඉවත්වන්නැයි මූල්‍ය අරමුදලවත් නොකියන බවය. නිර්දේශ නොකරන බවය. මූල්‍ය අරමුදල කියන්නෙත් ඩොලරයේ රුපියල් වටිනාකම පා කිරීම ක්‍රමානුකූලව කළ යුතු බවය. එහෙත්, මේ ඔලමොට්ටල ආණ්‍ඩුව එය කළේ එකවරය. ඒ නිසා දැන් ඩොලරයේ වටිනාකම දිනපතා ඉහළ යයි. ආණ්‍ඩුවටවත් මහ බැංකුවටවත් දැන් එය පාලනය කළ නොහැකිය. රුපියල් 202ක හිර කරගෙන සිටි ඩොලරයේ වටිනාකම දැන් රුපියල් 300ට ඉතා ආසන්නය. ඒ නිසා භාණ්‍ඩ හා සේවා මිල පිම්මේ ඉහළ යයි.
මූල්‍ය අරමුදල නව වාර්තාව නිකුත් කළ 2022 පෙබරවාරි 25 වැනිදාට පෙර හෝ ඒ ආසන්න දිනයක ආණ්‍ඩුව මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළැඹුණේ නම්, මූල්‍ය අරමුදල අපට ඩොලර්වලින් ණයක් දෙයි.
ඉන් පසුව ඩොලරයේ වටිනාකම ක්‍රමානුකූලව තීරණය කරන හැටි කියා දෙයි.
අවශ්‍ය වුවහොත් ඒ සඳහා මූල්‍ය අරමුදලෙන් දුන් ඩොලර් ද පාවිච්චි කිරීමේ හැකියාව තිබිණි. එහෙත් අප අතේ ඩොලර් නැති අවස්ථාවක එහි අගය හා වටිනාකම තීරණය කිරීමෙන් ඉවත් වීමෙන් දැන් පස්ස බිම ඇනගෙන සිටියි. ඒ දුක පීඩනය වේදනාව දරා ගැනීමට සිදු වී තිබෙන්නේ පොදු ජනතාවටය. ඩොලර් සංචිත නැති නිසා ඩොලරයක වටිනාකම රුපියල් 300න්වත් නවතාගත නොහැකි තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබේ. දවසින් දවස විනිමය අනුපාතය වෙනස් වීම නිසා ඩොලරයේ වටිනාකම තවත් ඉහළ යයි කියන විශ්වාසය නිසා රටට මෙතෙක් පැමිණි විදේශ විනිමය ද ඇනහිට තිබේ. ඒ අනුව, මේ අර්බුදය ආණ්‍ඩුව විසින් නිර්මාණය කරනු ලැබූවක් බව සුපැහැදිලිය.
බැංකු ක්‍රමය වඩාත් විධිමත් ලෙස සුපරීක්‍ෂණය කළ යුතු බව මූල්‍ය අරමුදලේ තවත් නිර්දේශයකි. එය මහ බැංකුවේ වගකීමකි. බැංකු ක්‍රමය ගැන දැනට ජනතාව අතර තිබෙන විශ්වාසයත් නැති වුණොත් ජනතාව තම ඉතුරුම් ඉවත් කරගන්නවා නිසැකය. එදාට බැංකු පද්ධතියම කඩා වැටෙයි. ආර්ථික වර්ධනය වැඩි කරන ව්‍යුහාත්මක ගැළපීම් කළ යුතු බව මූල්‍ය අරමුදලේ තවත් යෝජනාවකි. එමගින් කියන්නේ, තරුණ සේවා වියුක්තිය අඩු කිරීම, ආර්ථික කටයුතු විවිධාංගීකරණය, ආනයන සීමා ඉවත් කිරීම, ව්‍යාපාර හා ආයෝජන කිරීමට තිබෙන ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම යනාදිය ගැනය. ඒවා කළ යුතු දේවල්ය. දෙවරක් සිතිය යුත්තේ ආනයන සීමා ඉවත් කිරීම ගැන පමණකි.
කොළඹ වරාය නගරය ආයෝජන ලබා ගැනීමට යෝග්‍ය ලෙස කළමනාකරණය කළ යුතු බව තවත් යෝජනාවකි. එය ද නරක දෙයක් නොවේ. රාජ්‍ය පරිපාලනය වඩාත් ශක්තිමත් කළ යුතු බව තවත් නිර්දේශයකි. දූෂණය හා වංචාව පිටුදැකිය යුතු බව ද මූල්‍ය අරමුදල කියයි. ඒවා කළ යුත්තේ මූල්‍ය අරමුදල කියන නිසාම නොවේ. ආණ්‍ඩුව රටේ හා ජනතාවගේ අභිවෘද්ධිය හා සංවර්ධනය ගැන සිතන්නේ නම් ඒවා කළ යුතුමය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම
සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටට වැරදුණේ ඇයි?