IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රුසියා යුක්රේන යුද්ධයෙන් අපේ ආර්ථිකය වැටෙයිද?

දැනටමත් දුර්වල වී තිබෙන මෙරට විදේශ මූල්‍ය තත්ත්වයට රුසියානු - යුක්රේන අර්බුදය හේතුවෙන් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇත. 

අපගේ ආනයන වියදම් වැඩිවනු ඇති අතර, තේ අපනයන ආදායම් පහත යනු ඇත. අපනයන නිෂ්පාදකයන්ට අමුද්‍රව්‍ය හිඟයකට මුහුණදීමට සිදුවනු ඇති අතර මේ වසරේදී සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂා කළ පුබුදුව සිදු නොවීමට වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ. 

වෙළෙඳ හිඟය

ඒවායේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ හිඟය ඉහළ යනු ඇති අතර ගෙවුම් ශේෂයේ හිඟයද ඉහළ යනු ඇත. විදේශ විනිමය සංචිත ඉතා අවම මට්ටමක පැවැතීමත් යන කරුණ සැලකීමේදී මෙරට ආර්ථිකයට එල්ල විය හැකි දරුණුම තර්ජන ඉහතින් දක්වන ලදී. 

අකරතැබ්බය

ඉහළ ඉන්ධන මිල ගණන්, ඉහළ ධාන්‍ය මිල ගණන්, අමුද්‍රව්‍ය සැපයුම්වලට එල්ලවන බාධා, තේ අපනයනයේ අඩුවීම සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් අඩුවීම යන කරුණු හේතුවෙන් වෙළෙඳ හිඟය සහ ගෙවුම් ශේෂ හිඟය තවදුරටත් පුළුල්වනු ඇත. එමෙන්ම විදේශ විනිමය සංචිතද තවදුරටත් පහත වැටෙනු ඇත. මෙම අහිතකර ප්‍රවර්ධන හේතුවෙන් වත්මන් ආර්ථික සහ මූල්‍ය අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇත. 

ජනතාවගේ අවාසනාවන්ත තත්ත්වය

දැනට පවතින විදේශ මුදල් ප්‍රමාණය තවදුරටත් අඩු වූ විට ජනතාව මේ වනවිට මුහුණදෙන ආහාර, ගෑස්, ඩීසල් සහ පෙට්‍රල් හිඟය තවදුරටත් නරක අතට හැරෙනු ඇත. වත්මන් රුසියානු-යුක්රේන අර්බුදයේ ප්‍රතිවිපාකයක් ලෙස ආර්ථිකය තවදුරටත් දුර්වල වනු ඇත. එමෙන්ම එම අර්බුදය නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම, මිල ගණන් ඉහළයෑම සහ විරැකියාව ඇතිවීම නොවැළැක්විය හැකිය. 

ආර්ථික ප්‍රතිවිපාක

යුද්ධයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත වන අහිතකර ප්‍රතිවිපාකවලින් බලපෑම් එල්ල වන්නේ විදේශ මූල්‍යයටයි. රටේ විදේශ මූල්‍ය තත්ත්වය මේ වනවිට ඉතාම නරක තත්ත්වයක පවතින අතර ගෙවුම් ශේෂයේ පිරිහීම හේතුවෙන් එය තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇත. ආනයන වියදම් වැඩිවීමත් අපනයන අඩුවීමත් නිසා වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල්වනු ඇත. වැඩිවනු ඇතැයි අපේක්ෂා කළ අපනයන ආදායම්වලටද බාධා එල්ලවනු ඇත. 

විනිමය අනුපාත

දැනට පවත්නා යථාරූපී නොවන (සත්‍ය තත්ත්වයට නොගැළපෙන) විනිමය අනුපාතික ප්‍රතිපත්ති හේතුවෙන් ගෙවුම් ශේෂයට ප්‍රධාන සහයෝගයක් වූ ප්‍රේෂණ අඩුවනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ සංචිත තවදුරටත් අඩුවනු ඇති අතර එම නිසා රටේ ආනයන  හැකියාවද අඩු වේ. 

වෙළෙඳ හිඟය

ගෝලීය වෙළෙඳ තත්ත්ව හේතුවෙන් අපගේ වෙළෙඳ හිඟයද වැඩිවනු ඇත. වැඩිම බලපෑමක් වනු ඇත්තේ ආනයන වියදමටය. අත්‍යවශ්‍ය ආනයනිකවල ඉහළ මිල ගණන් නිසා ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. ඉන්ධන, ධාන්‍ය වර්ග සහ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යමින් තිබේ. 

වෙළෙඳ භාණ්ඩ ආනයන පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 20.6ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එය මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක් දක්වා ඉහළ යා හැකිය. අනෙක් අතට පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5ක් වූ වෙළෙඳ භාණ්ඩ අපනයන‌ මේ වසරේදී අඩුවිය හැකිය. 

ඉන්ධන මිල ගණන්

රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වූ සැණින්, බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සිට ඇමෙරිකානු ඩොලර් 90 දක්වා පෙට්‍රල්වල ජාත්‍යන්තර මිල ගණන් ඉහළ ගියේය. එම මිල ගණන් වැඩිවෙමින් තිබෙන අතර ඉකුත් සතියේ මැද වනවිට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 113ක් ලෙස දැක්විණි. 


තෙල් නිෂ්පාදනය කරන රටවල් ඔවුන්ගේ නිමැවුම් වැඩි නොකළහොත් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි පැවසේ. වත්මන් තත්ත්වයෙන් තවදුරටත් මිල ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව පෙට්‍රෝලියම් අපනයන කරන රටවල සංවිධානය (ඔපෙක් - OPEC) නිෂ්පාදනය සීමා කිරීමේ හැකියාවක් ද තිබේ. කෙසේ නමුත් තෙල් නිෂ්පාදනය කරන අනෙක් රටවල් ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය ඉහළ දමනු ඇතැයි බලාපොරොත්තුවක් තිබේ. 

ඉන්ධන ආනයන 

ඉකුත් වසරේ දී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයන මත වියදම් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7කි. එම කාලයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 80ක් පමණ විය. බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල සියයට 25කින් වැඩි වීමත් සමඟ ඉන්ධන ආනයන සඳහා කෙරෙන වියදම ද ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ යනු ඇත. මෙය විදෙස් සංචිත මත දැඩි පීඩනයක් එල්ල කරනු ඇත. 

අනෙකුත් ආනයන 

අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ යනු ඇත. ධාන්‍ය වර්ග සහ අමුද්‍රව්‍යවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි පැවසේ. වර්තමානයේ දී ශ්‍රී ලංකාව මියන්මාරයෙන් ඉහළ මිලකට සහල් ඉතා විශාල තොගයක් ආනයනය කරමින් සිටියි. ඊට අමතරව භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද ඉහළ යා හැකි අතර එය ආනයන සහ අපනයන වෙත බලපෑම් එල්ල කරනු ඇත. 

අපනයන 

අපගේ තේ සඳහා රුසියාව සහ යුක්රේනය යනු ඉතා වැදගත් වෙළෙඳපොළකි. රුසියාව සහ යුක්රේනය අතර දැනට පවතින ගැටුම හේතුවෙන් මෙම අපනයනවලට බාධා එල්ල විය හැකි ය. අපගේ කාර්මික නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනෙන සැපයුම් දාමවලට බාධා එල්ල වුවහොත් අපගේ නිෂ්පාදිත අපනයන ද අඩුවනු ඇත. මුහුදු සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට බාධා එල්ල වුවහොත් එමගින් රටේ නිෂ්පාදිත අපනයනවලට බාධා එල්ල විය හැකි ය. 

නිෂ්පාදනය 

යුද්ධයෙන් විය හැකි මෙම ප්‍රතිවිපාකවලට අමතරව ඩීසල්, විදුලි  බලය සහ සේවකයන් මුහුණ දෙන ප්‍රවාහන ගැටලු‍ හේතුවෙන් ද නිෂ්පාදන අපනයන කර්මාන්තයට බාධා එල්ල වී තිබේ. ඉකුත් වසරේ නිෂ්පාදිත අපනයනවලින් තුනෙන් එකක් මේ වසරේ දී අඩු වනු ඇතැයි අපනයන නිෂ්පාදකයන් අනතුරු අඟවා ඇත. මෙය ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක අගයකට සමාන වේ. 

සංචාරක කර්මාන්තය 

මේ වසර මුලදී සංචාරක ආදායම් ඉහළ යෑමේ යහපත් ඉඟියක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම ඉකුත් වසරේ දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි මාසයේ දී සැලකිය යුතු සංචාරකයෝ පිරිසක් මෙරටට පැමිණියහ. මෑතකදී මෙරට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් මෙරටට පැමිණියේ රුසියාවෙන් සහ යුක්රේනයෙනි. ඉදිරියටත් ඔවුන් ගැන බලාපොරොත්තු තැබීම පසෙක තැබීමට සිදුවෙයි. 

මේ වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ත් 3ත් අතර ආදායමක් බලාපොරොත්තු වූ අතර මේ වසර අග වනවිට හෝ ජාත්‍යන්තර තත්ත්වවල වෙනසක් සිදු නොවුවහොත් එම ඉලක්කම්වලට ළඟා වීමට නොහැකි වනු ඇත. 

වත්මන් තත්ත්ව

වර්තමානයේ තිබෙන තත්ත්ව සංචාරක කර්මාන්තය කිසිසේත් හිතකර නොවේ. වත්මන් තත්ත්ව නිසා යුරෝපීය රටවල් වැඩි වශයෙන් වියදම් කරන සංචාරකයන්ට කොහෙත්ම හිතකර නොවේ. පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව නිසාත් ‘කොවිඩ්-19’ වසංගතය නිසාත් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය. දැන් යුරෝපයේ යුද්ධය නිසා සංචාරක කර්මාන්තය නැවත වරක් පසුබෑමට ලක්වෙමින් තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය 

මෙම ඉතා සංකීර්ණ ජාත්‍යන්තර සිදුවීම් දාමයේ දී ශ්‍රී ලංකාව දැඩි මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. කිසිවකු මඟින් අපගේ වෙළෙඳ තත්ත්වයට අන්තරායක් එල්ල වීම වැළැක්වීම සුරක්ෂිත කිරීම සඳහා එසේ කළ යුතු වේ. 

මෙම ගැටුමේ දී ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව ආණ්ඩුව/ රජය පැහැදිලිව ප්‍රකාශ කළේ ය. ජාත්‍යන්තර සම්බන්ධතාවල තීරණාත්මක මොහොතකට අප පැමිණ ඇත. එබැවින් මේ අවස්ථාවේදී අපගේ ආර්ථික ලැදියාවන් උවදුරේ නොදැමීමට අපි දැඩිව කටයුතු කළ යුතු වෙමු. 

සාරාංශය සහ නිගමනය 

ඉහතින් පෙන්වා දුන් අයුරින් අපගේ දුර්වල ආර්ථිකය, යුද්ධයේ ප්‍රතිවිපාක හේතුවෙන් බාහිරින් එල්ල වන දැඩි පීඩනවලට මුහුණ දෙමින් සිටියි. එමඟින් දරුණුම පහර එල්ල වන්නේ රටේ විදේශ මූල්‍යවලට ය. 

ඉන්ධන, ආහාර සහ අමුද්‍රව්‍ය මත කෙරෙන ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වනු ඇත. රුසියාවට සහ යුක්රේනයට අපනයනය කිරීමට නොහැකි වීම නිසා තේ අපනයන අඩු විය හැකි ය. සැපයුම් දාමවලට එල්ල වන බාධා හේතුවෙන් අපනයන සඳහා නිෂ්පාදන කිරීම් අඩුවිය හැකි ය. රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණෙන සංචාරකයන් ද නැවතිය හැකි ය. ඒ සම්බන්ධයෙන් විවාදයක් නොමැත. ගැටුම පවතින තාක්කල් අනෙකුත් සංචාරකයන් පැමිණීමේ අඩුවක් ද තිබිය හැකි ය. 

යුද්ධයෙන් ගෙවුම් ශේෂයට සිදුවන බලපෑම නිසා ඉතාම දුර්වල තත්ත්වයක තිබෙන රටේ විදේශ සංචිත තවදුරටත් තර්ජනයට ලක්වනු ඇත. ඇත්ත වශයෙන්ම රටේ අනාගතය සතුට නූපදවයි. 

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ  පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා 

ආචාර්ය නිමල් සඳරත්න විසිනි



අදහස් (3)

රුසියා යුක්රේන යුද්ධයෙන් අපේ ආර්ථිකය වැටෙයිද?

jayanthi Tuesday, 08 March 2022 04:58 PM

යුද්ධයට විරුද්ධව ජාත්‍යන්තරව යුද්ධ විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම කම්කරුවන් නායකත්වය ගත යුතුයි..!

:       12       3

chandima Wednesday, 09 March 2022 01:58 AM

පිස්සු කතා කරනවද? මේ ගොල්ලෝ තව ණය අරන් රට ගොඩගන්නවා කියනවනේ...!

:       4       1

Deshan Thursday, 10 March 2022 10:02 PM

ආචාර්යතුමා, පැදුරේ ඉන්න කෙනාට තව මොනවා වැටෙන්නද?

:       0       16

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site