IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලෝක ආයෝජන දර්ශකයේ වැටිල්ල

මේ වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ වූ ඉන්ධන අර්බුදය සමග විදුලිය කැපිල්ල නිසා රටේ ප්‍රශ්න ඔඩුදුවා තිබේ. එය කොතරම් ද කියතොත් ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය එකිනෙකින් වෙනම හඳුනා ගැනීමට නොහැකි තරමට බැඳී පවතී. මේ අර්බුදවල නිර්මාපකයෝ පැවැති ආණ්ඩුවල නායකයෝ සහ රාජ්‍ය නිලධරයෝය.

රට මෙවැනි තත්ත්වයකට ගමන් කරමින් පවතින බව ව්‍යාපාරික ප්‍රජාව ලෙස අප දුටුවේ මීට අවුරුදු එකහමාරකට පමණ පෙරය. එදා සිට අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ලංකාව තම විදේශ ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කරගෙන පවතින විදේශ මුදල් සංචිතවලින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් සහ ඉන්ධන සැපයිය යුතු බවය. එහෙත් බලධාරීන්ගෙන් අප කළ ඒ ඉල්ලීම බීරි අලින්ට වීණා වාදනය කිරීමක් පමණක් බවට පත්විය.

බලධාරීන් අනුගමනය කළ ඒ පිළිවෙත නිසා හිටපු මුදල් ඇමැතිට, අගමැතිට සහ ජනාධිපතිට ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වන්නට සිදුවිය. ඒ ඉරණම අත්කර ගනු ලැබුවේ ඔවුන් විසින්ම බව අපේ තක්සේරුවයි. අවුරුදු එකහමාරකට පමණ පෙර සිට ව්‍යාපාරික ප්‍රජාව ලෙස අප කී දේවල් කළා නම් ඔවුන්ට ඒ ඉරණම අත්වන්නේ නැත. එසේ වී තිබියදීත් අදටත් අප දකින්නේ පවතින අර්බුද නිසි ලෙස කළමනාකරණය නොකර අඳුරේ අතපතගාන බවය.

ජනතාව අරගල කරන්නේ වැඩක් නැති නිසා හෝ ගෙදරට වී සිටිය නොහැකි නිසා නොවේ. තමන්ටත් රටටත් අනර්ථයක් වන බව පෙනෙන නිසා ඔවුහු පාරට බසිති. හිටපු ජනාධිපති ඉල්ලා අස්වූ පසුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයකු  පත්වී සිටින බව සත්‍යයකි. එහෙත් ඒ අර්බුද මැනවින් කළමනාකරණය කරන බවක් අපට දැනටත් නොපෙනෙයි.

ව්‍යාපාරික ප්‍රජාව ලෙස රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය සඳහා අප කරන යෝජනා තුනකි. ඉන් පළමුවැන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එය ක්ෂණිකව කළ නොහැකි නිසා ජනාධිපතිවරයා සතු බලතල අඩු කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුය. අපේ දෙවැනි ඉල්ලීම. ජනතාව කැමැති ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පැවැත්වීමය. මහා මැතිවරණයක් පවත්වනතුරු සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රට පාලනය කළ යුතු බව අපේ තෙවැනි ඉල්ලීමයි. ඒ ඉල්ලීම් ඉටුකළහොත් දේශපාලන අතින් රට යම් තරමකින් ස්ථාවර වන බව අපේ තක්සේරුවයි.

වර්තමාන ජනාධිපතිවරයා බුද්ධිමතකු බව පොදු පිළිගැනීමයි. එසේම එතුමා සාර්ථක කළමනාකරුවකු බවට ද පිළිගැනීමක් පවතියි. ඒ නිසා එතුමා ගත යුත්තේ නිවැරැදි තීන්දුය. ඒ තීන්දු ගැනීමේ අරමුණ විය යුත්තේ රටේ සහ ජනතාවගේ යහපතය. ඒ තීන්දු ඇතැම් විට ජනප්‍රිය විය නොහැකිය.

රට පවතින්නේ 1948 න් පසු ඉතිහාසයේ මෙතෙක් නොපැවැති ගිනි ගොඩකය. ඒ ගිනි නිවීමට ජනප්‍රිය විය නොහැකි එහෙත් නිවැරැදි තීන්දු ගත යුතුය. එවැනි තීන්දු මගින් රට ගොඩ ගියොත් එහි ගෞරවය හිමිවන්නේ වර්තමාන ජනාධිපතිවරයාටය.

එමගින් එතුමා ද ඉතිහාසගතවෙයි. එසේම ජනතා ගෞරවයට හා ප්‍රසාදයට ලක්වෙයි. ව්‍යාපාරික ප්‍රජාවගේ ඒ ඉල්ලීම් තුන ඉටු කළහොත් අරගලකරුවන් ද සංසිඳෙනු නියතය. හේතුව අරගලකරුවන්ගේ ඉල්ලීම් සමග අපේ ඉල්ලීම් ද සමපාත වන හෙයිනි.

වර්තමාන ආණ්ඩුවට ජනවරමක් නොපවතී. එසේම වර්තමාන පාර්ලිමේන්තුවෙන් රටේ සැබෑ ජනමතය පිළිබිඹු නොවෙයි. ඒ නිසා ඉහත කී ඉල්ලීම් ක්‍රියාත්මක කළහොත් පවතින ඒ තත්ත්වය යම් තරමකට සමනය කරගත හැකිවෙයි. ආර්ථික වශයෙන් ලොව ප්‍රබල රටවල් හතේ සංවිධානය වන ජී-7 ඉල්ලා සිටින්නේ ද ජනමතය පිළිබිඹු වන ආණ්ඩුවක් ගොඩ නගාගන්නා ලෙසය.

එදාට තමන් ද ලංකාවට උදව් කරන බව ඒ රටවල් කියයි. රට අද පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ඩොලර් අත්‍යවශ්‍යමය. ඒ සඳහා විදෙස් සංවිධානවල සහ රටවල සහාය ගැනීමට සිදුවෙයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් කිරීමට අපට සිදුවෙයි. ඔවුන් කියන ඇතැම් දේවල් අප කළ යුත්තේ ඔවුන් කියන නිසාම නොවේ.

උදාහරණයකට දැනට රටට හා ජනතාවට බරක්ව පවතින එයාර් ලංකා, තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහයගත කිරීම හෝ පෞද්ගලීකරණය කළ යුත්තේ මූල්‍ය අරමුදල කියන නිසා නොවේ. ඒ රාජ්‍ය ව්‍යාපාර මගින් රටේ ආර්ථිකය වැනසී ජනතාව දහදුක් විඳින නිසාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඇති තරම් ඩොලර් දෙන්නේ නැත. එහෙත් ඔවුන් අපේ ප්‍රතිසංස්කරණ පිළිගෙන අපට උදව් කළහොත් ලොව අනෙක් සංවිධාන සහ රටවල් ද අපට උදව් කිරීමට ඉදිරිපත් වනු නිසැකය. අල්ලස්, දූෂණ සහ නාස්ති අවම කළ යුත්තේ ද අනවශ්‍ය හා නාස්තිකාර රාජ්‍ය වියදම් නවතා දැමිය යුත්තේ ද මූල්‍ය අරමුදල කියන නිසා නොවේ. එමගින් රටත් රටේ  ආර්ථිකයත් වැනසෙන නිසාය.

ගන්නා ණය පෞද්ගලික බැංකු ගිණුම්වලට නොව රාජ්‍ය භාණ්ගාරයට ලැබිය යුත්තේ මූල්‍ය අරමුදල කියන නිසා නොවේ. එසේ කිරීමෙන් රටට, රටේ ආර්ථිකයට සහ ජනතාවට සෙත සැලසෙන නිසාය. ජාත්‍යන්තර ප්‍රජාව, මූල්‍ය සංවිධාන සහ රටවල් අපේක්ෂා කරන විනිවිදභාවය සහ ප්‍රතිසංස්කරණ මේ වෙලාවේ ඇතිකළ හැක්කේ වර්තමාන ජනාධිපතිවරයාට පමණක් බව අපේ විශ්වාසයයි.

මක්නිසාද යත් එතුමා විධායක ජනාධිපතිවරයා වන නිසාය. පටු දේශපාලන න්‍යාය පත්‍ර පැත්තක දමා රට ගැන සිතා නිවැරැදි තීන්දු ගතහොත් රට ගොඩ දමා එතුමාට ද වැජඹිය හැකිය. වර්තමාන ජනාධිපතිතුමාගේ මාමා වන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළේ ජනප්‍රිය නොවුණත් නිවැරැදි තීන්දු තීරණ ගෙන රට සංවර්ධනය කිරීමටය.

එහෙත් ඒ ජනාධිපති තනතුරට පත්වූ ඇතැමුන් කළේ කළ යුතු දෙය නොව තමන්ගේ හා පක්ෂයේ බලය වර්ධනය කර ගැනීමයි. ඒ අපකීර්තිමත් ඉතිහාසය වෙනස් කිරීමට අවශ්‍ය දැනුම, බුද්ධිය හා හැකියාව වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ඒ දැනුම බුද්ධිය සහ හැකියාව මත  වර්තමාන ජනාධිපතිවරයාට නම්‍යශීලීව කටයුතු කිරීමට අවශ්‍ය නිහතමානීකම තිබෙන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ රටේ පවතින විවිධ අංශ හා බලපෑම් කණ්ඩායම් සමග සාකච්ඡා සම්මන්ත්‍රණ කරමින් ඔවුනගේ හඬට සවන් දෙමින් ඔවුන් කියන පිළිගත හැකි හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දේවල් ක්‍රියාත්මක කරමින් කටයුතු කළහොත් වර්තමාන ජනාධිපතිවරයාට රටේ බහුතරයකගේ සහයෝගය ලැබෙනු නිසැකය. එසේ කටයුතු කරමින් දේශපාලන වශයෙන් ස්ථාවර නොවුණොත් කිසිවක් කිරීමට බැරිවෙයි. ජාතික හා ජාත්‍යන්තර සහයෝගය නොලැබෙයි.

දේශපාලන ස්ථාවරභාවය ඇතිකර ගත් පසු ආර්ථික ස්ථාවරභාවය ගොඩනගා ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතුය. එහිදී ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් සහ ඛනිජ තෙල් සැපයීමටය. දැනට ඒ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වී තිබෙන්නේ ඇඟපත සහ සල්ලිබාගේ තිබෙන අයටය. ඒ නිසා නැති බැරි සහ නොහැකි ජනතාව බරපතළ පීඩනයකට ගොදුරු වී සිටිති.

ජනතාව පාරට බසින්නේ ගැටුම් ඇතිකර ගන්නෙත් ආත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් සහ ඛනිජ තෙල් ඔවුනට අවශ්‍ය තරමට ලබා ගත නොහැකි නිසාය. ඒ නිසා ඒ අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය විධිමත් නිරවුල් සහ සැලසුම්සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එය පහසුවෙන් කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන් සමග පමණක් සාකච්ඡා කිරීමෙන් නොව පෞද්ගලික අංශය සමගද සාකච්ඡා කිරීමෙනි. ඒ සාකච්ඡාවලින් අනතුරුව ගන්නා තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි.

ආර්ථික ප්‍රතිපත්තිවල විශාල වෙනස් කිරීම් කිරීමද අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය කොන්දේසියකි. ලංකාවට ණය සහ ආධාර දෙන රටවල් ආයතන සහ පුද්ගලයන් අතර යළි විශ්වාසය ගොඩ නැගිය යුතුය. ඒ පුද්ගලයන් රටවල් සහ ආයතන ලංකාවට දෙන ආධාර හා ණය යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ගිණුම්වලට කාන්දු වන හිල් තිබෙන බව අද ජාත්‍යන්තරයේ පවතින විශ්වාසයයි. රටේ යහපතට ගන්නා ණය හා ආධාර බලවතුන් පිරිසකගේ යහපතට යොදා ගන්නා බව අද ජාත්‍යන්තර පිළිගැනීමයි. ජාත්‍යන්තරයේ රට ගැන පවතින ඒ නරක සහ රටට අවාසිසහගත ප්‍රතිරූපය නැතිකර ගත හැක්කේ විනිවිදභාවයෙන් කටයුතු කිරීමෙනි. ඒ සඳහා අලුත් ප්‍රතිපත්ති සකස් කළ යුතුය. පවතින ප්‍රතිපත්ති වෙනස් කළ යුතුය. එසේම නීතිය සැමට සමානව සද්භාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතුය.

බදු ප්‍රතිපත්ති සංශෝධනය ද අත්‍යවශ්‍ය පියවරකි. 2019 දී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම සමාගම් බදු අඩු කළේය. ව්‍යාපාරික ප්‍රජාව අතර කිසිවෙක් ඒ වෙලාවේ එවැනි බදු අඩු කිරීමක් නොඉල්ලූහ. බලාපොරොත්තු නොවූහ. සමාගම් බදු පමණක් නොව වැට් බද්දද 15% සිට 8% ක් දක්වා අඩු කළේය. එසේම උපයනවිට ගෙවීමේ බදුවලින් අතිවිශාල පිරිසක් නිදහස් කළහ. ඒ සියල්ල වැරැදි ප්‍රතිපත්තිය. ඒ වැරැදි බදු ප්‍රතිපත්තිය නිසා රජයට අවුරුද්දකට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 500 ක් බව කියති. අහිමි කරගත් ඒ බදු යළි අය කර ගැනීමට අවශ්‍ය සංශෝධන කළ යුතුය. රජයේ ආදායම අඩු කරගෙන ආණ්ඩු කළ නොහැකිය. ඒ නිසා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පරිදි බදු ප්‍රතිපත්ති සහ බදු අනුපාත සංශෝධනය කළ යුතුය.

ලංකා ආර්ථිකයේ ලොකු පිබිදීමක් ඇති වූයේ විදේශ ආයෝජන මගිනි. අතීතයේදී ඒ සඳහා අායෝජන මණ්ඩලය ප්‍රබලව ක්‍රියාත්මක විය. එහෙත් දැන් එහි කොඳුනාරටිය කඩා දමා තිබේ. ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබුණත් දැන් වෙන වෙන තැන්වලින් අනුමැතිය ලබා ගැනීමට මාස සහ අවුරුදු ගණන් බලා සිටීමට සිදුවෙයි. බදු සහන තවදුරටත් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයයි. එහෙත් දැන් බොහෝ රාජ්‍ය ආයතනවලින් ලැබිය යුතු අනුමැති නොලැබෙයි. හිතා මතා ඒවා පමා කරයි. ලෝක බැංකුවේ තක්සේරුව මත ලංකාව දැන් ව්‍යාපාර කිරීමට පහසු රටක් නොවේ.

ලෝක බැංකුවෙන් සකසන ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකයෙහි. (Ease of Doing business index) ලංකාව දැනට සිටින්නේ 99 වැනි ස්ථානයේය. ඒ රටවල් 190 ක් අතරිනි. 2012 දී අප සිටියේ 83 වැනි තැනය. ඉන් අනාවරණය වන්නේ ලංකාවේ ව්‍යාපාර කිරීම එන්න එන්නම අමාරු වන බවය. ජාත්‍යන්තරයේ ලංකාව සම්බන්ධයෙන් එවැනි මතයක් පවතින විට ලංකාවෙහි ආයෝජනයට විදේශිකයෝ නොපැමිණෙති. ඒ නිසා දැනට පවතින රේගු හා කම්කරු නීති යනාදී ආයෝජනයට අවහිර කරන නීති සංශෝධනය කළ යුතුය.

විදේශ ආයෝජන ලබා ගැනීම අතින් වියට්නාමය ද දැන් ලංකාවට ඉදිරියෙන් සිටියි. වියට් නාමය ආසියානු නිදහස් වෙළෙඳ කලාපයට පිවිසියේ 1995 දීය. 2000 දී ඇමෙරිකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගත් වියට්නාමය ලෝක වෙළෙඳ සංගමයට සම්බන්ධව වූයේ 2007 දීය. ලංකාව ලෝක වෙළෙඳ සංවිධානයෙහි සාමාජිකත්වය ගත්තේ 1995 ජනවාරි 01 දාය. එහෙත් 1948 ජූලි 29 වැනිදා සිටම ලංකා ගැට් (Gatt) සංවිධානයෙහි සමාජිකයෙකි.

වියට් නාමය දැන් චීනය, ජපානය සහ කොරියාව සමග ද වෙළෙඳ ගිවිසුම් අතිකර ගෙන සිටියි. 1991 දී වියට්නාමයේ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 0.5 කි. එහෙත් 2021 දී එය ඇමෙරිකන් ඩොලර් බිලියන 20 ක් දක්වා වර්ධනය විය. 1991 දී ලංකාවට ලැබුණු ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 0.05 කි. 2021 දී එය ඇමෙරිකන් ඩොලර් බිලියන 0.6 කි. විදේශ ආයෝජන ලබාගැනීම අතින් ලංකාව කොමියුනිස්ට් රාජ්‍යයක්ව පැවැති වියට්නාමයට කෙතරම් පසුපසින් සිටින්නේදැයි ඒ දත්තවලින් අනාවරණය වෙයි.

අපනයන ආදායම අතින්ද ලංකාව සිටින්නේ වියට්නාමයට ගව් ගණනක් දුරිනි. 1991 දී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 2.6 කි. 2021 දී එය ඩොලර් බිලියන 15 ක් විය. 1991 දී වියට්නාමයේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 2 කි. එහෙත් 2021 දී එය ඩොලර් බිලියන 332 ක් දක්වා වර්ධනය කරගැනීමට වියට්නාමය සමත් වෙයි.

ඒ අනුව දකුණු කොරියාවෙන්, සිංගප්පූරුවෙන්, තායිලන්තයෙන්, මැලේසියාවෙන් හා ඉන්දුනීසියාවෙන් නොව වියට්නාමයෙන් අපට උගත හැකි පාඩම් බොහෝය. ඒ පාඩම් මත ආයෝජන මණ්ඩලය ද ප්‍රතිව්‍යුහගත කිරීම කාලීන අවශ්‍යතාවයකි. බොහෝ විට අප සමග සාකච්ඡා කර අපෙන් යෝජනා ලබාගන්නේ ඒවා ක්‍රියාත්මක කරන්නේත් ඉතා අඩුවෙනි. අපේ යෝජනා ක්‍රියාත්මක කිරීමට මුදල් වැය නොවෙයි. ප්‍රතිපත්ති තීරණයකින් චක්‍රලේඛ හා නීති සංශෝධනයකින් ඒවා කළ හැකිය.

පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම තවත් කාලීන අවශ්‍යතාවකි. අද පොදු ප්‍රවාහන සේවා ගැන විශ්වාසයක් නැති නිසා බොහෝ දෙනා පෞද්ගලික වාහන පාවිච්චියට යොමු වී සිටිති. ඒ නිසා රටට ඉන්ධන ආනයනය කිරීමටද ඩොලර් විශාල වශයෙන් අවශ්‍ය වෙයි. රටින් පිටට යන ඒ ඩොලර් ප්‍රමාණය අවම කරගත හැකි එක් ක්‍රමයක් වන්නේ පොදු ප්‍රවාහනය දියුණු කිරීමය. එහිදී වඩාත් දියුණු කළ යුත්තේ දුම්රිය සේවයයි. එහෙත් අප කරන්නේ නොකළ යුතු දේවල්ය.

ජපන් ණය මත ඇති කිරීමට ගිය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කළේ වැරැදි උපදෙස් මතය. ඒ නිසා අපට ආධාර කළ අපේ දිගු කාලීන මිතුරකු වූ ජපානයද තරහ කරගත්තේය. වැඩ්ඩන් හැටියට පෙනී සිටින බොහෝ දෙනා ළිං මැඩියන් බව ආණ්ඩු කරන අයට අවබෝධ වන විට රටට බොහෝ හානි සිදුවී හමාරය. සමාජ මාධ්‍යවල ප්‍රබලතාව හේතුවෙන් අපේ තරුණ තරුණියෝ බොහෝ දෙනා ලංකාවට ලෝකයෙහි හිමිතැන මැනවින් දනිති. ඒ නිසා ඒ තරුණ තරුණියන් සමග ඉතා පරිස්සමින් සහ නිවැරැදි තක්සේරුවකින් යුතුව කටයුතු කළ යුතු බව අප අමතක නොකළ යුතුය.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්



අදහස් (0)

ලෝක ආයෝජන දර්ශකයේ වැටිල්ල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1205 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site