IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලෝකය ඉස්සරහට අපි පස්සට

වසර දෙදහස් පන්සියයක් පුරා ගොඩ නගාගත් සියලු යහගුණ දැඩි සෝදා පාළුවකට ලක්වෙමින් පවතින වගක් ඇහෙන, පෙනෙන හා දැනෙන සිදුවීම් වලින් පැහැදිලි වේ. මත්කුඩු භාවිතය, චරිත හා පුද්ගල ඝාතන, ආගමික හා සාධු සාමාජික හරයන් හෑල්ලු‍වට ලක් කිරීම, මහ දවල් සොරකම් හා  මූල්‍ය  වංචා හා දූෂණ වලින් ධර්මද්වීපයම වසාගෙන ඇත. සංවර්ධනයට මුවා වී නිසි සැලසුමකින් තොරව සමස්ත පරිසරයම විනාශ මුඛයට ඇදගෙන යමින් ශ්‍රී ලාංකිකයන්හට සිය මවුබිමේ උරුමය අහිමි කරමින් සිටින වග ද නොරහසකි.

 “කොරෝනා” වසංගතයෙන්  වගේම  “සුනාමි”  විපතින්  බැට කෑමට හේතුව පෙර කරුමයක්  පලදීමකැ යි පවසමින් යථාර්ථය අවුරාලමින් ආගමික ආශිර්වාදය ද එම මතයට කාන්දු කිරීමට බලධාරීහූ සමත්ව සිටිති. මහජන මතයක් ගොඩනගමින් යථාර්ථය නිසි ලෙස වටහා නොගත් වැඩි දෙනකුගේ අදහස වුණේත් එයමයි.  එහෙත් අප මිනිසාට, සතා සිව්පාවන්ට වගේම පරිසරයට ආදරය හා කරුණාව දක්වන තාක් ස්වභාව ධර්මය විසින්  මිනිසාට හිරහැර කරන්නේ ද නැත. වැරැද්දට සමාව දීම දේව ගතියකි. “දේව සමාව” හිසින් ගෙන  යළි යළිත් එම වැරදි ගොඬේම  ඇලී ගැලී  සිටී නම් සමාව දීම පසෙකලා හිතට ගතට තදින්ම දැනෙන දඬුවමක්  දීමට  දෙවියන් වහන්සේ වුව ද පසුබට නොවේ. සුනාමි විපත හා කොරෝනා වසංගතය ඊට  දිය හැකි ආසන්නතම උදාහරණයි. 

අප මවුබිමට සාපේක්ෂකව ශතවර්ෂ දෙකහමාරක් පමණ ලාබාල වයසක පසුවන, භෞතික සංවර්ධනයේ හිනිපෙත්තේ වැජඹෙන බොහෝමයක් බටහිර හා ආසියානු රාජ්‍ය දැන හෝ නොදැන ආධ්‍යාත්මික වශයෙන් හා බාහිර වශයෙන්  ගුණගරුක හා යහපත් හැසිරීම් සහිත  පුරවැසියන් ලෙස නිර්මාණය කරගනු ලැබුවේ  “වරදට  සමාව” වෙනුවට  “වරදට දඩය” යන  න්‍යාය,  ජාතික ප්‍රතිපත්තියක් සේ පිළිගැනීමෙනැයි යන්න ලියුම්කරුගේ පෞද්ගලික අත්දැකීමයි. මොවුහු බුද්ධාගම්කාරයන් නොවන බෞද්ධයෝ වෙති.

 එවන් විනයක් සහිත දියුණු පවුණු කොටගත් නිසි කළමනාකරණයක් සමග බෞද්ධ ප්‍රතිපත්ති හා හැඳියාව යහපත් සෞඛ්‍ය සම්පන්න  ප්‍රීතිමත්  මිනිසුන්ගෙන් පිරි රටක් ජාතියක්  බිහිකරගත් ක්‍රමවේදය පැහැදිලි කෙරෙන ආනයනික උදාහරණ කිහිපයක් සංක්ෂිප්තව අකුරු කරමින් ඊට  ඔබගේ අවධානය යොමු  කිරීම මෙම ලිපියේ අරමුණයි.  

ඈත අතීතයේ සිට  විනයක් හා නීතිරීති දාමයක් ඔස්සේ හැදුනු වැඩුණු  “බුදුන්ගේ දේශය” අද වනවිට ඒ කිසිවක් නොසලකා ලොකු පොඩි සැම අයාලේ යන ජාතියක් බවට පත් වී නොමැත්තේ ද? අදටත් සංවරකම හැදිච්චිකම ගැන තුන්තිස් පැයේම කියාදෙන එකම රටත් අපගේ ශ්‍රී ලංකා ද්වීපයයි. එහෙත් ශ්‍රී ලංකා වාසි අප ධනය හා බලය හමුවේ  දීන ජාතියක් වී ඇති අයුරු ලජ්ජා සහගත නොවේ ද?   

මේ සඳහා ඇස්පනාපිටම දැකිය හැකි උදාහරණය ලෙස මේ දිනවල ලෝක ප්‍රජාවම තැති ගන්වමින් සමස්ත විශ්වයම වෙළා ගනිමින් පැතිරී යන “කොරෝනා” හෙවත් “කොවිඩ් 19” තුට්ටුවකට මායිම් නොකොට බල ලෝභී ඇතැම් ජාතික නායකයන්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම  සිවිල් සාමාජිකයන් හැසුරුණු ආකාරය පොදුවේ රටවැසියා අනුමත කළේ ද නැත. 

මෙම භයානක වසංගතය හමුවේ ස්වාර්ථයෙන් මිදුණු ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල ක්‍රියාත්මක නීතිමය ප්‍රතිපාදන ආදර්ශයට ගත යුතුව තිබුණි. ඕස්ට්‍රේලියාවේ “කොවිඩ් 19 වසංගතය” මැඩපැවැත්වීමේ ක්‍රියාවලියේ දී මිනිසුන් ඒකරාශිවීම් , නියමිත දුරස්ථ බව රැකගැනීම් වැනි ආසන්නම නීතියට අවනත නොවූවන් හට ක්‍ෂණිකවම ඩොලර් 1800/= ක දඩයක් නියම කරනු ලැබීම එක් උදාහරණයක් ලෙස පෙන්වාදිය හැක. ඇන්ටිජන් පරීක්ෂණයෙන් අසමත් වූ බැව් සඟවා  සිටීමෙන් ගෙවිය යුතු දඩය ඕස්ට්‍රේලියානු ඩොලර් 10.000/= ක් දක්වා වැඩි කෙරිණි. පොදු ස්ථානවල දී මුව ආවරණ නොපැළඳු උප අගමැති දඩ කෑවේය.

දැඩි නීතිරීති මාලාවක් හමුවේ සමෘධිමත් දේශයක්, පුද්ගල ආත්මාභිමානයෙන් යුත්  විනයගරුක රටක් ජාතියක් බිහිකරගත් ආකාරය මෑත භාගයේ අප දුටු සජීවී උදාහරණ කිහිපයක් මෙසේයි. සිංගප්පුරුවේ “ලී ක්වාන් යූ ”, මැලේසියාවේ “මහතීර් මොහොමඩ්” සහ ඕස්ට්‍රේලියාවේ “ඇල්ෆ්‍රඩ්  ඩේකින්”  ඇමෙරිකාවේ “ඒබ්‍රහම් ලින්කන්” හා “ජෝන් එෆ් කෙනඩි”  වැනි  නීතිගරුක හා යහපත් පුරවැසියන් බිහිකරගැනීමේහිලා පුරෝගාමී වූ  සුපහන් දැක්මක් සහිත නීතිගරුක දේශප්‍රේමී නායකයෝ වූහ. ඔවුහූ ඡන්ද පෙට්ටිය වඩා ඔවුන්ට වැදගත් වූයේ රට ජාතියේ ප්‍රගමනයයි. තුන්කල් බලා තීන්දු තීරණ ගැනීමට පසුබට වුයේ නැත.

රටේ මුල් පුටුවේ හිඳගන්නාට මෙන්ම පදික වේදිකාවේ වැතිරෙන්නාට ද නීතිය එක ලෙස ක්‍රියාත්මක කරමින් නීතියේ පරමාධිප්‍යය හා අභිමානය රැකගත්තෝ වූහ.  ඉහත කී සමෘද්ධිමත් රාජ්‍යයන් යහපත් මානයක් ඔස්සේ මෙහෙයවීමේ රහස  “විනය” යි. අප වසර දෙතුන් දාහක් පුරුදු පුහුණු කළේත් වැඩියෙන්ම දොඩමළු වූයේත්  “විනය”  පිළිබඳවයි. ශ්‍රී  ලාංකික අපගෙන් ගිලිහි ගොස් ඇත්තේ ද එයමයි.

නීතියට අගරු කිරීමට දෙවරක් සිතන්නට කිසිදු අවකාශයක් නොමැති තරමටම එම රාජ්‍යවල  නීතිරීති ප්‍රබලය. දඬුවම හා දඩය ශක්තිමත්ය. වරක් වියට්නාමයේ සිට සිංගප්පුරුවට පැමිණි මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකු  හට මරණ දඬුවම් පැනවීමෙන් ලී ක්වාන් යූ අගමැතිවරයා ප්‍රායෝගික ආදර්ශයක් රටවැසියාට ලබාදෙන ලදී. 

2021 ජුනි මස 28  වන දින සිඩ්නි ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හලක දී ඉන්ධන ගාස්තු ගෙවීමේ දී මුව ආවරණ නොපැළඳ සිටීමේ වරදට ඔස්ට්‍රේලියාවේ “උප අගමැති බානර්බි ජොයිස්” මහතාට ඔස්ට්‍රේලියානු ඩොලර් 200/= ක  දඩයක් නියම විය.  2017 කාල වකවානුවේ දී ඔස්ට්‍රේලියාවේ අගමැතිව සිටි “මැල්කම් ටර්න්බුල්” විසින්  “ජීවිත ආරක්ෂක කබාය”  නොපැළඳ  “සිඩ්නි”  වරායේ  “ඩිංගි”  බෝට්ටුවක්  පැදයාමේ වරදට ඩොලර් 250/= ක දඩයක් ගෙවා ජාතියෙන් ද සමාව අයැ ද සිටියේය. විපක්ෂ නයක “බිල් ෂෝර්ටන්” සිය පෞද්ගලික වාහනය පදවාගෙන යන අතරේ  දී ජංගම දුරකතනය පාවිච්චි කිරීමේ වරදට ගෙවූ දඩය ඩොලර් 443/= කි. 

ඔස්ට්‍රේලියාවේම පොලිස්  ඇමතිව සිටි “ටෝනි  ග්‍රාන්ට්”  වාහනය පැදවීමේ දී ජංගම දුරකතනයෙන් ඡායාරූප ගැනීමේ වරදට  ඩොලර් 325/= ක දඩයක් ගෙවීය. මොවුන් සියල්ලම දඩය ගෙවා ජාතියෙන් ද සමාව අයැද සිටීමට නිහතමානි වූවාසේම වරද හසුකොටගත්  ආරක්ෂක නිලධාරියාට උසස් වීමක් ලබාදීමෙන් නොනැවතී  ස්තුතියක් කිරීමට නිහතමානී වූයේය.  පුරවැසියෝ ද  නීතිගරුක වූහ.  වරදට බිය වූහ. 

ඇමෙරිකාවේ “ලොගාන් පනත” ට අනුව කිසිදු රාජ්‍ය නිලධාරියකුට රටේ ජාතියේ අයහපතට තුඩු දෙන තීන්දු  තීරණ ගැනීම සිපිරිගෙයි තැපීමට සිදුවන බරපතළ කාරණයක්  ලෙසට  ව්‍යවස්ථා ගතකොට ඇත. 2015 දී “බැරක් ඔබාමා” ජනාධිපතිවරයා වැනි ජනප්‍රිය නායකයකු ඉරානය ඇතුළු බලවත් රටවල් හයක් සමග ඇමෙරිකානු රජය  එළඹ තිබු  න්‍යෂ්ඨික අවි විරෝධී ගිවිසුම හිතුමතේ අවලංගු කිරීමට ගොස් ඇමෙරිකානුවන්ගේ දැඩි විවේචනයට හා  අප්‍රසාදයට ලක්වන්නට ගතවූයේ නිමේෂයකි. 

සමස්ත රටේ සහ ජාතියේ යහපත වෙනුවෙන් නීතිරීති  කඩ කරන්නන් හට මුල්ම දඬුවම වන්නේ සිදුකළ වැරැද්දේ පරිමාව අනුව දඩයක් ගෙවීමට හෝ ජනමාධ්‍ය ඔස්සේ සමස්ත යාන්ත්‍රණය තුළ ගොඩනගාගත් ප්‍රතිරූපය බිඳ වැට්ටවීමයි. ඒ සඳහා ජනමාධ්‍යයේ  අපක්ෂපාති හැසිරීම ද බෙහෙවින් උපකාරී වේ. “කෙන්ටකී” ප්‍රාන්තයේ  “ෆ්‍රෑන්සිස් ඵල්නොයි”  නම් ගොවියකු විසින් “ ෆ්‍රෑන්කට් ගාර්ඩියන්”  පුවත්පතෙහි ප්‍රංශ රජයට හිතවත් කම් පාමින් ලිපියක් පළකිරීමේ වරදට ලියුම්කරුට හා පුවත්පතට රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගසා ලියුම්කරුගේ ප්‍රජා අයිතිය පවා අහිමි කිරීමට පියවර ගත්  බැව්  අනාවරණය වේ.

ශිෂ්ට සම්පන්න හා  ශීලාචාර රටාවකට ශ්‍රී ලාංකික අප හැඩගැස්වීමට තවත් වසර දෙදහස් පන්සියයක කාල පරාසයක් අවශ්‍ය වනු ඇත, යන්න අපගේ හැඟීමයි. දේශන  පැවැත්වීමෙන් පමණක් පුරවැසියන් නීතිගරුක කළ නොහැකිවන අතර ඉන්න හිතෙන රටක්  බිහි නොවන බැව් දිනෙන් දින තහවුරු වෙමින් පවතී. 

දෛනිකව අත්විඳින ප්‍රවාහන අලකලංචිය ඉහත කී රාජ්‍යවල විසඳා ඇති අයුරු විමතියක් නොවන්නේ පොදු මහජනතාව “වරදට දඬුවම”  යන නීතියට අනුගත වී සිටීම හේතුවෙනි. නියමිත මාවතෙන් හෝ රථගාලෙන්  බැහැර වෙනත් ස්ථානයක වාහනය නවතා තැබුවහොත් ඩොලර් 300/= ක්  හෝ ඊට වැඩි දඩයක් හෝ ගෙවිය යුතුය. අදාළ දඩය නොගෙවා කළහ කිරීමට හෝ මම “අහවලා”  කියමින් අවිනීතව හැසිරෙන්නේ නම් දඩය දෙගුණ, තෙගුණ  විය හැක. වාහනයේ  රියදුරු නොසිටින්නේ නම් අදාළ වරද පැහැදිලි කෙරෙන ඡායාරූපයක් සමග දඩ කොළයක් වාහන හිමිකරුගේ නිවසට තැපෑලෙන් ලැබෙනු ඇත.

අනතුරක් වළක්වා ගැනීම වැනි අත්‍යාවශ්‍ය  මොහොතක හැර වාහන නළා  හැඬවීම ශබ්ද දූෂණයකටත් එහා ගිය “රිය පැදවීමේ හැදිච්චකම” පෙන්නුම් කරන්නක් සේ සලකා නළා හඩවීමේ ස්වයං වාරණයක යෙදී සිටිති. විදුලි සංඥා නීති කඩකොට අසුවුවහොත් සවිකොට ඇති කැමරා පද්ධති ඔස්සේ දඩයක් ගෙවීම අනිවාර්ය වේ. එම දඩය ඩොලර් දෙතුන් සියයේ සිට හත් අටසියය  දක්වා වැඩිවනු ඇත. මුදලේ අගය අනුව එම දඩ මුදල අතිශයින්ම බරපතළ වියදමකි. දැනුවත් රියැදුරෝ මහමග නීතියට නිරායාසයෙන්ම ගරු කිරීමට පෙළඹී සිටිති.  

ස්වාභාවික පරිසරයේ පාරිශුද්ධත්වය හා මහජන සෞඛ්‍ය පිළිබඳ වගකීම  පූජනීයත්වයෙන් රැක බලාගැනීම දේව කාරියක් ලෙස සැලකීම දෙවන පියවරයි. නිවෙස් වලින් බැහැර කෙරෙන  අපද්‍රව්‍ය  සිලි සිලි බෑග්වල අසුරා ගේට්ටු  කණුවේ, වැට  ඉන්නේ , තාප්පයේ,  ලයිට් කණුවේ  ගැට ගසා එල්ලා දැමීමක් හෝ ඉවක් බවක් නොමැතිව අගුපිල්වල අතහැර දමා යෑමේ සිරිතක් එම රටවල ඈත පිටිසර ගම්මානයක දී හෝ අප නෙත ගැටුණේ නැත. මුළුතැන්ගෙයි  අපද්‍රව්‍ය මෙන්ම ප්ලාස්ටික් විදුරු බෝතල් වැනි ප්‍රතිචක්‍රීයකරන ද්‍රව්‍ය හා ගෙවතුවල ඉවතලන දෑ වෙන් වෙන් වශයෙන් බහාලිය හැකි කසළ බඳුන් තුනක් ප්‍රාදේශීය සභාවෙන් සෑම නිවසකටම සැපයේ.  

කසළ බඳුන් අව්වට වැස්සට නිරාවරණය වෙමින් මැස්සන් මදුරුවන් වැනි පලිබෝධකයන් බෝ නොවන අයුරින් පියන් පත් හොඳින් වසා තැබීම ද අනිවාර්ය වේ. සතියේ නියමිත දිනට එම කසළ බඳුන් නිවාස ඉදිරිපස තැබීම අනිවාර්ය වන අතර ඒ ඒ අපද්‍රව්‍ය සඳහා වෙන වෙනම ලොරි තුනකින් කසළ බඳුන් රැගෙන යති. මෙම ක්‍රියාදාමයට අනුගත නොවන්නන් හට. ඩොලර් දෙතුන් සියයක හෝ ඒ ඒ පළාත් පාලන ආයතනය මගින් තීරණය කෙරෙන බරපතළ දඩයකට යටත් වීමට සිදුවීම අනිවාර්යය.

මහමග කෙල ගැසීම, සෙම් සොටු සිරීම වැනි විෂබීජ වාතයට මුදා හැරීම මත ගෙවීමට සිදුවන දඩය ඉහත කී දඩය මෙන් දෙතුන් ගුණයකි. අවම වශයෙන් සිගරැට් කොටයක්, කොළ කැබැල්ලක්, ටොපි, චොකලට් ඔතනයක් හෝ මහමග හෙළීම අත්වැරැද්දක් සේ නොසැලකෙන   අතර ඊට අදාළව ද අනිවාර්ය දඩයක් ඇත. එවන් දෑ ළඟම ඇති කසළ බඳුනට හෙළීම හෝ සිය අත් බෑගයේ හෝ කලිසම් සාක්කුවේ බහාගෙන ගොස්  නිවසේ ඇති කසළ බඳුනට දැමීමට මහජනයා විනයානුකූල පරිසරවේදීන් ලෙස හසුරුවා ගැනීමට “දඩය” බෙහෙවින් උපකාරි වී ඇත. 

පොදු හා පෞද්ගලික අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක  නීතිරීති උල්ලංඝනය කරන්නන් නිවැරදි කරනු ලබන්නේ අදාළ වරදට නියමිත දඩය ද සමගින්ය. කිසිදු දඩ ගැසීමකට  එරෙහිව මහමග පෙළපාලි යන්නේ ද නැත. 

මෙම නීතිරීති වසර හතරෙන් හතරට සිදුවන ආණ්ඩු මාරුවෙන ඇමතිවරයාගේ බුද්ධි බලමහිමය අනුව වෙනස් නොවී ජාතික ප්‍රතිපත්තියක් ලෙස 1901 සිට පිළිගෙන වඩාත් දියුණු ක්‍රමවේදයන් කරා යමින්  රටට සමෘද්ධිය ළඟා කරගෙන ඇත. 

කසළ කළමනාකරණයේ විශිෂ්ට ප්‍රතිඵල නෙළාගනු ලැබුවේ පරිසර අලංකාරය හා පාරිශුද්ධත්වය  පිළිබඳ දැන උගත්කමින් යුත්  හික්මුණු මනසක් සහිත විනයගරුක පරිසර වේදී  පුරවැසියන්  බිහිකර ගැනීමෙනි. එනිසාම  කසළ  අපහරණය පිළිබඳ  නීතිරීති  උල්ලංඝනය කරන්නන් හට තරාතිරම නොබලා අනිවාර්ය දඩයකට හා  දඬුවමකට යටත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවීම යහපත් රාජ්‍යයක මූලික පදනම වී ඇත.  

වරදට පැනවෙන ක්ෂණික දඩය කාලයත් මුදලත් ඉතිරි කරන්නා සේම මහජනයාට ගෙවන මානසික අල්ලසක් සේ සැලකිය හැකිය. එමගින්  කිසිදු පුරවැසියකු විනය විරෝධී ක්‍රියාවක නිරත නොවන්නා සේම පොදුවේ සෑම මිනිසෙක්ම ගැහැනියක්ම අනෙකාට ගරු කරණ සුහදශීලි විනයගරුක ජනතාවක් ලෙස වෙසෙමින් සිය මවුබිම ඉසුරුමත් කිරීමට ඒමට සමත් වී ඇත්තේ කරුමයට වඩා හේතුපල වාදය ප්‍රායෝගිකව අත්විඳීමෙනි.

සරත් අමරකෝන් විසිනි



අදහස් (3)

ලෝකය ඉස්සරහට අපි පස්සට

බද්රානි Tuesday, 01 February 2022 08:23 PM

ලිපියේ සියලු කරුණු කාරණාවලට එකඟ වෙමි. සුනාමිය මෙන්ම කොරෝනාවත් ගරානාවක් කරගත් අමන පාලකයින් මේ රටේ සිටින බව අප නොදන්නවා නොවේ. ඒ වගේම ඉහත සඳහන් රටවල දඬුවම් හා දඩ මුදල් දුප්පත් පොඩි මිනිහාට පමණක් නොවන බවත් අපි නොදන්නවා නොවේ. මේ මහලොකු ධර්මද්වීපයේ පාලකයින් සහ පූජකයින් හිටගෙන වැරදි කරමින් රටේ ජනතාවට ආදර්ශයක් දෙන කලෙක, බාල හා තරුණ පරම්පරාව ඇතුළු රටේ සමස්ත ජනතාව ගැන කවර කතාද? ඇයි ඒ වැරැදි අපට ඔට්ටු නැද්ද? යනුවෙන් ජනතාව ප්‍රශ්න කිරීම අසාධාරණයිද? ඒ දියුණු රටවල කසල සතියක් පමණ ගෙවල් වල තබා ගැනීමට සිදුවෙනවද? වෙන්කළ අපද්‍රව්‍ය සඳහා වෙනම පැහැයෙන් යුත් බින්වර්ග ජනතාවට ලබාදෙමින් අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය බෑග් පවා ලබාදෙන බව ඔබ දන්නවා ඇති... ඒ සියල්ල ජනතාවගේ බදු මුදලින් ඉටුකරන සාමාන්‍ය ක්‍රියාවලියයි. ඒත්, ලංකාවේ නියමිත ලෙස නගර සභා මගින් එකතු කරනවද? ඔබගේ නගරය තුල ක්ෂණිකව යමක් ඉවත දැමීමට තරම් කුණු බක්කි ප්‍රමාණයක් තියනවද? හැම වරදම ජනතාව පිට පටවා මේ අමන පාලකයින්ව සුද්ද කිරීමට මට නම් කොහෙත්ම වුවමනාවක් නැත. අප බදු ගෙවන්නේ පාලකයින් හා ජනතාව යන දෙකොට්ඨාශයටම එක සමාන නීතියක් ක්‍රියාත්මක කිරීමටයි...

:       2       12

Amila Friday, 04 February 2022 07:53 AM

සුද්දා ලංකාවට ඇවිත් අපේ නීතිරීති ටික අරන් ගිහින් වල්බූරු නිදහසක් අපට හුරු කරලා ගියා. කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව වෙනකන් තනියම යන්න පුළුවන් වටපිටාවක් තිබුණා. රටක් එහෙම වුණේ වරදට දඬුවම් ක්‍රියාත්මක වුණු නිසා. දැන් අපි නිතියක් හදාගන්න හැදුවාම කොහේවත් නැති මානව හිමිකම් කාරයින් ටිකක් කෑ මොර දෙනවා. අරක්කු ටික නිකන් දීලා බලෙන් හුරුකරලා අවුරුදු 2500ක් නැති කළේ එහෙමයි.

:       3       0

wasanthi rodrigo Sunday, 06 February 2022 04:36 PM

රාජ්‍ය අනුග්‍රහය ඇතිව රජයේම මැති ඇමැතිවරු මහබැංකුවත් කොල්ලකාලා එම නඩුවලින් නිදොස් කොට නිදහස් වන රටේ විනය ගැන කථා කරන්නේ මොනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site