ශ්රී ලංකාවේ උපන් ශ්‍රේෂ්ඨ පුරුෂයකු වූ දොන් රිචඩ් විජයවර්ධන මහතා අපේ නිදහස් සටනේ පතාක යෝධයකු බව අපි දනිමු. කැලණි විහාරයේ දියුණුවට අත හිත දුන් ඒ මහතා භාෂා තුනකින් පළවන ප්‍රවෘත්ති පත්‍ර නිකුත් කිරීමට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම බිහිකිරීමට පුරෝගාමී විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දිනමිණ, සිළුමිණ, ඩේලිනිවුස්, ඔබ්සර්වර් දිනකරන් පත්‍ර බිහි විය. විජයවර්ධන මහතා ගැන අපි කොතෙකුත් දේ අසා ඇත්තෙමු.
මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා උපන්නේ මීට වසර 136කට පෙර, එනම් 1886 වසරේ පෙබරවාරි 23 වැනිදාය. ඒ මහතා අභාවප්‍රාප්ත වූයේ මීට වසර 72කට පෙර එනම් 1950 වසරේ ජුනි මස 13 වැනිදාය.
විජයවර්ධන මහතා මියගිය අවස්ථාවේ ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාරයාව සිටි සෝල්බරි සාමි පැවසූ මේ වදන් පෙළ තුළින් එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය මෙසේ කැටි වී ඇත.
‘‘ස්වකීය රට වැසියන්ගේ ජීවිතය කෙරෙහි කෙතරම් විශාල වූත් වැඩදායක වූත් බලයක් පා ක්‍රියාකරන්නවුන් කවර රටක වුවද ඇතිවන්නේ කලාතුරකිනි. ඔහුගේ අභාවයෙන් අතිශ්‍රේෂ්ඨ පුරවැසියන්ගෙන් කෙනෙක් රටට නැතිව ගියේය’’.
විජයවර්ධන මහතා යටතේ ‘සිළුමිණ’ පුවත්පතේ කතුවරයකු ලෙස සේවය කළ මාර්ටින් වික්‍රමසිංහ මහතා කියා ඇති පරිදි කාර්ය ශූරයකු වූ ඒ මහතා උපායෙන් ජය ගතු තැන උපාය වහල් කොට ගත් බවය. සෘජු ගති වහල් කොට ගත යුතු තැන ඒ ගති වහල් කොටගත් බවත්, දයාව කරුණාව දැක්විය යුතු තැන ඒ දෙකම වහල් කොට ගත් බවය. ඒ සියල්ල වහල් කොට ගත්තේ පෞද්ගලික කිත් යසස් පතා නොවන බවය. තමාගේ නම් ගම් පළ කරවා ගනු පිණිස නොවන බවය. ඒ සියල්ලම නොතකා ජීවත් වූවකු වශයෙන් විජයවර්ධන මහතා ලක්දිව අනික් සුප්‍රකට මිනිසුන් ඉක්ම වූවකු බවය. විජයවර්ධන මහතා දයාව, කරුණාව, අනුකම්පාව යන ආදි ගුණ බෙහෙවින් ඇති බව මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියූ ලිපි එකතුවක් වූ ‘අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිනාමය’ කෘතියේ සඳහන් වී ඇත්තේ ‘හැඟීමෙන් තොර වූ බුද්ධියෙන් මැනිය යුතු ශ්‍රේෂ්ඨ චරිතයක්’ යන ලිපියෙනි.
විජයවර්ධන මහතා තමන් යටතේ සේවය කළ පත්‍ර කලාවේදීන්ට දැක් වූ බව පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, පීටර් විජේසිංහ, ජී.බී. සේනානායක, ඩී. ඩබ්ලිව්. සේනාධීර, මීමන ප්‍රේමතිලක ආදීන්ගේ අත්දැකීම් ආශ්‍රිත තොරතුරුවලින් පැහැදිලි වෙයි.
1914දී කල්කටාවේ බැල්හේෂියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව වෙදකම ඉගෙන ගත් පියසේන නිශ්ශංක මහතා ‘සිංහල ජාතිය’ පත්‍රයට ලිපි ලියමින් ලේඛක කලාව ආරම්භ කළ අතර ලේක්හවුස් ආයතයට ‘භාෂා පරිවර්තකයින් ඕනෑ’ බවට තිබූ දැන්වීමකට ඉල්ලුම් කොට ඇත. 1918 දෙසැම්බර් 11 වැනිදා ඩී.ආර්. විජයවර්ධන මහතාගෙන් කැඳවීමක් ලැබිණි. පරීක්ෂණයෙන් සමත් නිශ්ශංකයන්ගෙන් විජයවර්ධන මහතා මෙසේ අසා තිබුණි.
‘තමා පඩිය කීයක් බලාපෙරොත්තු වෙනවාද?’
‘පඩියක් නැතත් කමක් නැහැ. රස්සාවක් ඕනෑ. පඩිය ගෙදරින් වුණත් පුළුවන්.’
විජයවර්ධන මහතා ඔහුගේ පඩිය ලෙස රුපියල් 50ක් නියම කර රස්සාව දුන්නේය.
භාෂා පරිවර්තක කමෙන් වාර්තාකාරයකු වූ නිශ්ශංක මහතා ටික කලකින් උපකතුවරයකු විය. වරක් ඔහුට විජයවර්ධන මහතාගෙන් කැඳවීමක් ලැබිණ.
‘නිශ්ශංකට ආරංචි ද? ‘දිනමිණ’ කර්තෘ වික්‍රමාරච්චි අපෙන් අස් වී ගිහින් ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට ගිහින් මට දොස් නගලා තියෙනවා. අපි අලුත් පත්තරයක් පටන් ගනිමු. පත්තරයේ නම ‘සිළුමිණ’. නිශ්ශංක කර්තෘකම භාර ගන්න.
පියසේන මහතාගේ කර්තෘත්වයෙන් 1930 මාර්තු 30 වෙනිදා ‘සිළුමිණ’ ඇරඹිණ.
මේ තොරතුරු එන්නේ මු. අරුක්ගොඩ නිශ්ශංක මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් 1963 වසරේ ‘සරසවිය’ පත්‍රය පළ වූ ලිපියකය. මේ ලිපිය ඔහු විසින් ලියූ ‘මට හමු වූ ලේඛකයෝ’ කෘතියේ ද පළ වී ඇත.
1962 වසරේ එච්.ඒ.ජේ. හුළුගල්ල හා පියසේන නිශ්ශංක විසින් ලියූ ‘ඩී.ආර්. විජයවර්ධන චරිතය’ කෘතියේ දැක්වෙන අන්දමට නිශ්ශංක මහතා ‘සිළුමිණ’ කර්තෘ හැටියට කටයුතු කරන කාලයේ ඔහුගේ කර්තෘ මණ්ඩලයේ ඔහු සමග සිටියේ උපකතුවරයන් හතර දෙනෙකි. අනික් තිදෙනා අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල, ඇන්.ඇෆ්.ඇම්.ඇස්. ගුණසේකර, චාල්ස් අබයගුණරත්න (පසුව මෙත්තෙය්‍ය හිමි) ය. ‘ශත දහයේ විශ්‍වවිද්‍යාලය’ නමින් ‘සිළුමිණ’ හඳුන්වා තිබුණි.
ඩී.ආර්. විජයවර්ධන මහතාගේ නිවසේ ලංකාවේ ඉතාම දුර්ලභ පොත්පත්වලින් පිරි පුස්තකාලයක් තිබුණි. පෙර අපරදිග පළ වූ ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි කෘතිවල මුල් මුද්‍රණ මේ අතර විය. විජයවර්ධන මහතා තමන් ළඟ තිබුණු ‘නොක්ස්ගේ ලංකා ඉතිහාසය’ (An Historical Relation of the Island of Ceylon' by Robert Nnox' – Published by Richard Chiswell at London 1681) මුල් පිටපත දී එය පරිවර්තනය කරවා ‘සිළුමිණ’හි පළ කරවීය. මෙම පරිවර්තනය කළේ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ලය. පසුව එය පොතක් හැටියට ‘දිනමිණ’ මුද්‍රණාලයේ මුද්‍රණය කොට විජයවර්ධන මහතා ප්‍රසිද්ධ කර ඇත. මේ තොරතුරු ඩී.ආර්. විජයවර්ධන චරිතය කෘතියේ 87 වැනි පිටුවේ සඳහන් වෙයි.
ඩී.ආර්. විජයවර්ධන මහතා සතු පුස්තකාලය ගැන ඒ මහතාගේ වැඩිමහල් දියණිය නාලිනී විජයවර්ධන (වික්‍රමසිංහ) මහත්මිය මෙසේ පවසා තිබිණ.
‘මපියාණෝ දුර්ලභ පොතපත ද ලංකාව පිළිබඳ වූ පැරණි සිතුවම් ද එතුමා ප්‍රිය කළ දේ අතර විය. මා උපදින්නටත් පෙර බොහෝ දෙනා තුළ ලොකු කුතුහලයක් ඇති කළ කරුණක් නම් ඊ.ඩබ්ලියු. පෙරේරා මහතා ලන්ඩන් නුවර චෙල්සි ආරෝග්‍ය ශාලාවේ තිබී ලංකාවේ සිංහ කොඩිය සොයා ගැනීමය.
මපියාණන් ලන්ඩනයෙන්ම එහි වර්ණ මුද්‍රණ අච්චුවක් සාදවා ගෙන්වා ගෙන එය ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වූ සියවස පිරෙන දවස සිහිවීම පිණිස මුද්‍රණය කර වූ ‘දිනමිණ’ ජාතික අතිරේකයේ මහනුවර අන්තිම රජතුමාගේ සහ බිසොවුන් වහන්සේගේ ද ඡායාරූප සහිතව පළ කරන ලදී. ලංකාවේ පුවත්පතක වර්ණ චිත්‍ර රූපයක් පළවූ පළමු අවස්ථාව එය විය. මේ සමග කොඩියේ පැරණි මුද්‍රිත පින්තුරයක් විජයවර්ධන මහතාගේ පුස්තකාලයේ එල්ලා තිබුණේය’ ඇය කියා තිබිණ.
විජයවර්ධන මහතා කලාවට ආදරය කර ඇත. 1933දී රවීන්ද්‍රනාත් තාගෝර්ට ආගන්තුක සාත්කාර ලබා දුන්නේ ඔහුගේ නිවසේ බව පැවසේ. ඔහු සතුව තිබූ ෆර්ගියුසන් පොත් රැසක් ඕලන්ද හා පෘතුගීසි කාලය පිළිබඳ සියලුම පැරණි පොත් හා සියලුම පැරණි භූමි සිතියම් ද එවකට තිබූ එකම විශ්වවිද්‍යාලයට ත්‍යාග කර ඇත. ඩබ්ලිව්.ඒ. ද සිල්වා මහතාගේ පුස්තකාලයෙන් මිලට ගත් වටිනා මුද්‍රිත හා පුස්තකාල පොත් රැසක් එහි සංඝාරාමයට උරුම කර පවරා දී ඇත. විජයවර්ධන මහතාට අයත් දියතලාවේ ‘ආර්කේඩියා’ මහා නිවසය ඓතිහාසික වටිනාකමක් ඇති කේන්ද්‍රස්ථානයකි. සෝල්බරි සාමි, ශ්‍රීමත් ප්‍රෙඩ්රික් රිස්, ශ්‍රීමත් ෆෙඩ්රික් බරෝස් මේ ‘ආර්කේඩියා’ මන්දිරයේ දී සෝල්බරි වාර්තාවට අත්තිවාරම දමා ඇත.
විජයවර්ධන මහතා පුවත්පත් කලාවේදීන්ට කරුණාව දැක්වූ අවස්ථා තිබේ. මාර්ටින් වික්‍රමසිංහ මහතා විජයවර්ධන මහතා හදවත මෘදු අවස්ථාද අපට තොරතුරු හමු වෙයි.
‘ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි දිනමිණ කතුකම කළ කාලයේ මා ගමට ගොස් පමා වී කන්තෝරුවට ආ දවසක විජයවර්ධනට නොදැන්වූයේය. ඇලැක්සැඩර් වැලිවිට කතුකම කරද්දී එක ඉරිදාවක මම දෙපැයක් පමා වී කන්තෝරුවට ආවෙමි. වැලිවිට තරහයෙන් දිවගොස් විජයවර්ධනට පැමිණිලි කළේය.
‘වික්‍රමසිංහ ඉරිදාට පැයක් දෙකක් ප්‍රමාද වෙලා වැඩට එන්නේ ඇයි’ දැයි විජයවර්ධන තරහයෙන් ප්‍රශ්න කළේය. ඔහු මිනිසුන්ගෙන් වැඩ ගැනීමට උපන් ශුරයෙකි.
‘මාසෙකට හමාරකට සැරයක් මම ගමට යනවා. සමහර දවසක විතරයි මම දෙපැයක් ප්‍රමාද වෙන්නේ. ඉරිදාට කොළඹට එන පළමු වන කෝච්චියෙන් මම කොළඹට එනවා. ඒ කෝච්චිය කොළඹට එන්නේ ප්‍රමාද වෙලාය.’
‘මාස දෙකකින් තුනකින් සැරයක් ගමට ගියාම වරදක් නෑ. වික්‍රමසිංහ නෑයන්ගේ මගුල්වලටත් මරණවලටත් මේ අවුරුද්දේ නිවාඩු අරගෙන තියෙනවා පස් වරක්. මේ තරම් ගමේ නෑයන් ඇති මිනිහෙක් ගැන මම අහල නෑ......’
මා විවාහ ජීවිතයට ඇතුළත්වන්ඩ යන බව දැනගත් විජයවර්ධන දවසක හවස් වරුවේ මට හඬ ගෑවේය. ඔහු මා හා කතා කළේ ඉතා සන්තෝෂ මුහුණක් ඇතිවය.
‘වික්‍රමසිංහ කසාද බඳින්න යනවද?’
‘ඔව්’
‘කසාද බැඳලා කොළඹ පදිංචි වෙනවද ගම පදිංචි වෙනවද?’
මේ ප්‍රශ්නය ගැන මම නොසිතුවෙමි. අන්දමන්ද වූ මම කිසිවක් නොකියා කරබා ගත්තෙමි’
‘දෙහිවල හෝ ගල්කිස්සේ හෝ ගෙයක් කීයකට කුලියට ගන්න පුළුවන්ද’
‘රුපියල් විස්සකට පුළුවන් යයි මම හිතනවා’
‘ගල්කිස්සේ සිට කොළඹට දෙවන පන්තියේ සීසන් ටිකට් එකකට කීයක් ගෙවන්න ඕනැ ද?’
‘මම හරියට ගණන දන්නේ නෑ. තුන්වන පන්තියේ ගමන් කරන්ඩ මට පුළුවනි.’
මා කසාද බැන්ද පසු විජයවර්ධන මගේ පඩිය දෙගුණයකින් වැඩි කළේය. ඔහුගේ දුර දක්නා නුවණත්, ශූරකමත් මට වැටහුණේ එයින් පසුය.
වික්‍රමසිංහයන් ලියූ ‘උපන් දා සිට’ කෘතියේ 1961 මුද්‍රණයේ 251 පිටුවේ මෙසේ සඳහන් වෙයි.
මාර්ටින් වික්‍රමසිංහයන් පවසා ඇත්තේ තමා විසින් ලියනු ලැබූ ‘යුගාන්තය’ නවකතාවේ චරිතයක් වූ සයිමන් කබලානගේ චරිතය නිර්මාණය කරනු සඳහා ආභාසය ලැබුවේ. ඩී.ආර්. විජයවර්ධන බවය.
කබලානගේ චරිතය නිර්මාණය කරනු සඳහා මා ගුරුකොට ගත්තේ දිනමිණ, ඩේලිනිවුස් පත්‍ර ශ්‍රේෂ්ඨ ස්ථානයට කැප වූ ඩී.ආර්. විජයවර්ධනය. මම අවුරුදු විස්සක් පමණ සිළුමිණ, දිනමිණ පත්‍රවල වැඩ කෙළෙමි. ඒ කාලය තුළ මම මගේ ස්වාමියා වූ විජයවර්ධන ආශ්‍රය කෙළෙමි. උදේ සිට හවස් වන තුරු වෙහෙස නොබලා වැඩ කරමින් සුදු මිනිසුන් ඇතුළු සියලුම සේවකයන් ස්වාධීනව හා නිර්දය ලෙස සංවිධානය කළ ඔහු වෙහෙස නොබලා වැඩ කළාක් මෙන් තම සේවකයන්ගෙන් ද වැඩ ගත්තේය. ‘වෙහෙස මහන්සිවීමට පරම ශක්තිය ඇත්තා වීරයෙකි.’ යන කියුම ඉංග්‍රීසීන් අතර ජනප්‍රවාදයක් වූවකි.
වික්‍රමසිංහයන් ලියූ මේ ඡේදය උපුටා ගත්තේ 1966 ඔක්තෝබර් ප්‍රකාශයට පත් ‘ග්‍රන්ථ විඥාන’ සඟරාවට වික්‍රමසිංහයන් විසින්ම ලියනු ලැබූ ‘යුගාන්තය රචනයට පෙර මා ලැබූ පරිචය හා ආවේෂය’ ලිපියෙනි. (පිටුව 23)
කෘතහස්ත කෙටිකතා රචකයකු හා නවකතාකරුවකු වූ ජී.බී. සේනානායක මහතා ද ඩී.ආර්. විජයවර්ධන මහතාගේ අවස්ථාවක් ගැන ලියා තිබුණි. ජී.බී. සේනානායක ලේක්හවුසියට මුලින්ම යන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කැඳවීමකිනි. ඒ හමුවීමෙන් පසු සේනානායකයන් ලිපියක් දෙකක් ලියාගෙන යන පුරුද්දක් තිබී ඇත. දිනක් එසේ යන ජී.බී.ට වික්‍රමසිංහයන්ගෙන් යෝජනාවක් ලැබී ඇත. එය ජී.බී. විස්තර කර තිබුණේ මෙසේය.
‘කර්තෘ මණ්ඩලයේ ඇබෑර්තුවක් තියෙනවා. මෙහි වැඩට එන්ට කැමති ද?’යි (වික්‍රමසිංහයන් මගෙන්) ඇසීය. මීට ඉස්සර හම්බ වුණ වෙලාවේ මේ ගැන කතා නොකළේ තවත් කෙනෙක් හිටි නිසයි.
මම කැමති වීමි.
ඊට දවස් කිහිපයකට පසු මට එන්නැයි ලේක්හවුසියෙන් නිල ලියුමක් ලැබිණ.
එදින එහි ගිය විට වික්‍රමසිංහ මට කන්තෝරුවේ ප්‍රධානියා වූ ඩී.ආර්. විජයවර්ධන මහතා හමුවන්ට යයි මට කීවේය. මම ඔහුගේ කාමරයට ගියෙමි.
‘වික්‍රමසිංහ කියනවා මා ගැන ඉහළින් කතා කොට ඇති බව මට හැඟුණේය. එසේ කී ඔහු,
‘ඔබ මොන ගුරුවරයකුගේ පාමුල ද සිංහල ඉගෙන ගත්තේ’ යයි ඇසීය.
‘මම ආනන්ද කොලීජියේ දී ටිකක් සිංහල ඉගෙන ගත්තා’යි පිළිතුරු දුනිමි. මම සිංහල ලියන්ට ඉගෙන ගත්තේ තනියමයි’
‘ඇයි ගුරුවරයකුගෙන් ඉගෙන ගත්තේ නැත්තේ’
‘ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීම ගැන මගේ වැඩි විශ්‍වාසයක් නැහැ. තනියම ඉගෙන ගන්ට පුළුවන් දෙයක් ඉගෙන ගන්ඩ ගුරුවරයකු ළඟට යන්න ඕනෑ නැහැ.’
පසුදින සිට දිනමිණ කර්තෘ මණ්ඩලයේ වැඩට ගියෙමි.
‘සාමාන්‍යයෙන් පටන් ගන්න පඩියට වඩා රුපියල් දහයක් වැඩියෙන් ගෙවන්ට යයි විජයවර්ධන මහත්තයා කීවා’යි වික්‍රමසිංහ මට දැන්විය.
ජී.බී. සේනානායකයන්ට පැවරී ඇත්තේ දිනපතා දිනමිණේ දෙවැනි කර්තෘ වාක්‍ය ලිවීමටය. ජී.බී. මෙසේ කියා තිබුණේ 1975 වසරේ වික්‍රමසිංහයන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළ වූ ‘කොග්ගල මහා ප්‍රඥායා’ නම් සංග්‍රහයට ලියූ ‘වික්‍රමසිංහ සමග පත්තර කන්තෝරුවෙහි’ ලිපියේය. (251 පිටුව)
ඩී.ආර්. විජයවර්ධන මහතා පත්‍ර කලාවේදීන් සමග කටයුතු කර ඇත්තේ කාරුණිකවය. පරිපාලනයේ දී දැඩි නීතිකාරයකු වුවද ඔහුගේ හදවත මෘදු වූ තැන් ද තිබූ බව පෙනේ.
පසු කලෙක සිළුමිණ කර්තෘ වූ මීමන ප්‍රේමතිලකගේ රසබර අවස්ථාවකි මේ. දිනමිණ කර්තෘ මණ්ඩලයට භාෂා පරිවර්තකයකු උවමනා බව දැන්වීමකින් දුටු කරුණාරත්න ප්‍රේමතිලක ඉල්ලුම් පත්‍රයක් සමග මීමන ප්‍රේමතිලක නමින් සිළුමිණට ලියූ කවි පන්ති කිහිපයක් කපා අමුණා යැවීමට අමතක නොකළේය. 1936 ජුනි 15 වෙනිදා ඔහුට කැඳවීමක් ලැබුණි. සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයේ ඩී.ආර්. විජයවර්ධන මහතාමය. මේ අවස්ථාව ගැන මීමන ලියා ඇත්තේ මේ ආකාරයටය.
‘විජයවර්ධන මහතා බැලූ බැල්මටම ඉතා ප්‍රතාපවත් පුද්ගලයෙකි. ඔහුගේ කටහඬ අණසක පතුරුවන මෙන්ම ගැඹුරුය. ඔහුගේ මුහුණෙහි වූ තේජවන්ත භාවයට මා වැනි ළපටියකු බියවීම පුදුමයක් නොවේ.
‘යුෂ්මතා මේ රක්ෂාවට කැමති මොකද?’
‘පත්‍රවලට ලිවීමට ඉතා ආශා හෙයින්’
ඉන්පසු විජයවර්ධන මහතා මගේ හිස සිට දෙපතුල දක්වා බලමින් ‘හොඳයි, යූෂ්මතාට මේ රක්ෂාව දෙන්නට පුළුවන්. හැබැයි තවම වයස දහ අටවත් පිරී නැති හෙයින් මාසයකට රුපියල් තිහකට වඩා දෙන්න බැහැ. කැමති නම් අද පටන්ම වැඩ කළ හැකියි. හැබැයි හොඳට වැඩ කළහොත් හය මාසයක දී පඩිය වැඩි කරනවා.
ඩී.ආර්. විජයවර්ධන මහතා ඔහුගේ පොරොන්දුව ඉටු කළේය. රක්ෂාවට බැඳී හය මසකට පසු මගේ පඩිය රුපියල් 25කින් වැඩි කළේය. දැන් මගේ පඩිය රුපියල් 55 කි. ඒ කාලයේ හැටියට එය සෑහෙන වැටුපක් වුවද මට රක්ෂාව එපා විය. කර්තෘ මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙන් නිවාඩු ගෙන මගේ ලොකු නංගී ඉගෙනීම ලබමින් සිටි මදුරාසියට ගියේ එහේ රස්සාවක් සොයා ගැනීමටය. ටික කලකින් ලංකාවට පැමිණි මම හෑගල්ලේ සිංහල මිශ්‍ර පාඨශාලාවේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස උගන්වද්දී ලේක්හවුසියෙන් හදිසි විදුලි පණිවුඩයක් ලැබිණ.
‘පාලක අධ්‍යක්ෂ තැන ඔබ හමුවීමට කැමතිය.’
මම යළිත් ඩී.ආර්. විජයවර්ධන මහතා හමුවිය.
‘යුෂ්මතාගේ තරුණ වයස ගැන කල්පනාකර මම තව අවස්ථාවක් දෙන්න සූදානම්. මෙහි වැඩට එන්නට කැමති ද’යි ගැඹුරු ස්වරයෙන් ප්‍රශ්න කළේය.
‘සර්..... පඩි.....’යි මා කීවා පමණකි.
‘පඩි ගැන කතාවක් නෙවෙයි මා කීවේ. වැඩට එන්න කැමතිද? නැද්ද? මේ ගොඩනැගිල්ලෙන් පිටවූවෙක් යළිත් මෙහි සේවයට ඇතුල් නොවූ බව යූෂ්මතා දන්නවාද?
විජයවර්ධන මහතා අසල සිටි පුද්ගලික ලේකම් ඊ.ඊ.ඒ. අබේසේකර මහතා මට අතින් සංඥාවක් කළේය.
‘හොඳයි සර් මා වැඩට එන්නම්’යි කීවෙමි.
ඊළඟ පළමු වැනිදා පටන් මම දිනමිණ කන්තේරුවේ වැඩට ආයෙමි. මාසය අගදී පඩිය ගන්නා විට මගේ පඩිය රුපියල් 125ක් කර තිබුණි.
මේ තොරතුරු එන්නේ මීමන ප්‍රේමතිලකයන් මියයාමට ටික කලකට ඉහත 1965 වසරේ ලියූ ‘මගේ ප්‍රේමය කලාව හා ජීවිතය’ නම් සිය ජීවිත කතාවේය.
1925 වසරේ ඩී.ආර්. විජයවර්ධන මහතා අධිපතිත්වය දරන කාලයේ ‘දිනමිණ’, ‘සිළුමිණ’ පත්‍රවල කර්තෘ මණ්ඩලවල මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක, ජී.බී. සේනානායක, ඩී.ඩබ්ලිව්. සේනාධීර, මීමන ප්‍රේමතිලක ආදීන් සමග සේවය කළ පීටර් විජේසිංහ 1948 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන කාලයේ පියසේන නිශ්ශංක මහතා 1965.01.02 දින දිනමිණ පත්‍රයට ලියූ ලිපියේ විජයවර්ධන මහතා පීටර් විජේසිංහ මහතා සමග තිබූ සමීප සම්බන්ධතාව ලියා තිබුණි.
මේ කාලයේ විජේසිංහ මහතා මී මැසි පාලනය විනෝදාංශයක් වශයෙන් මුල සිටම කරගෙන යමින් සිට ඇත. නිශ්ශංක මහතාගේ ලිපියේ විජයවර්ධන හා විජේසිංහ ගැන සඳහන් වී ඇත්තේ මේ ලෙසිනි.
‘සති අන්තයෙහි බොහෝ වාරවල විජයවර්ධන මහතා එකල දිනමිණේ සිටි පීටර් විජේසිංහ සමග මේ සඳහා ගල්පොකුණ වත්තට ගියේය. විජේසිංහත්, එකල ගුණතිලක මහතාගෙන් මී මැසි පාලනය ගැන ගුරුහරුකම් ගෙන මී මැසි පොදි සැදීම, මී පොදිවලින් රජ මැස්සී අල්ලා ගෙන මී බැන්දවීම් ආදිය ගැන මී මැසි පාලන කර්මාන්තයෙහි ශූරතා ඇති තරුණයෙකි. විජයවර්ධන මහතා විජේසිංහ ගැන දැනගත්තේ ගුණතිලක මහතාගෙන් විය හැකිය. ගල්පොකුණ වත්තට ගොස් පැමිණි සෑම විටම ඔහු, විජයවර්ධන මහතා මී මැසි පාලනය ගැන දක්වන ඕනෑකම ගැනත්, ඒ වත්තේ එම කර්මාන්තය දියුණු වන අන්දම ගැනත් විජයවර්ධන මහතා එයින් ලබන ප්‍රීතිය ගැනත් අප සමග කීමද, පුරුද්දක් කරගෙන සිටියේය. එසේ නැති දවස්වල අප සමග කීමට ඔහු වෙන මොකක් නමුත් රසවත් සිද්ධියක් මතක තබාගෙන ආවේය.’
පීටර් විජේසිංහ මහතාගේ දියණිය වූ ප්‍රවීණ ලේඛිකා භද්‍රා ඉන්ද්‍රානි අමරකෝන් (ඇගේ සැමියා වූ ඒ.එම්.ආර්.බී. අමරකෝන් මහතා විභාග කොමසාරිස් ධුරය ලබා විශ්‍රාම ගෙන සිටී) අපට කීවේ තම තාත්තා, තමා පිළිබඳ තොරතුරු අන්‍යන්ට හෙළි නොකරන කෙනෙක් බවය. නිශ්‍ශංක මහතාට වඩා හොඳින් විජයවර්ධන මහතා තමා ගැන දැන සිටි බව දිනමිණේ පළ වූ ලිපිය දුටු තාත්තා කිවූ බව මතක තිබේ.
විජයවර්ධන මහතා ලේක්හවුස් අධිපතිව සිටි කාලයේ ‘දිනමිණ’ පත්‍රයේ කර්තෘ මාණ්ඩලිකයකුව සිටි ඩී.ඩබ්ලිව්. සේනාධීර මහතා කා අතරත් ‘සිනා රජා’ ලෙස හඳුන්වා තිබුණි. කර්තෘ මාණ්ඩලියකුව සිටි ආර්නෝල්ඩ් එස්. රත්නයක (පසුව කොළඹ නගර සභාවේ සුදුවැල්ල කොට්ඨාසය නියෝජනය කළ එජාප නාගරික මන්ත්‍රී) දුන් ප්‍රවෘත්තියක් නිසා සේනාධීර මහතාට විජයවර්ධන මහතා විසින් රුපියල් 7.50ක දඩයක් නියම කරන ලදී. සේනාධීර සටන්කාමියෙකි.
ඔහු විජයවර්ධන මහතා සමග වාද කළේය. බැරිම තැන සේනාධීර ආයතනයෙන් අස්වීමට විජයවර්ධන මහතා හමුවීමට ගොස් ඇත. ඔහුගේ තර්ක වූයේ තමාගෙන් වරදක් වූවා නම් මුළු පඩියම කපා ගත්තත් කමක් නැති බවත්, දඩ ගැසීමට තරම් තමා අතින් වරදක් නොසිදූ බවය. විජයවර්ධන මහතා ද තම තීරණය වෙනස් නොකළේය. මේ ගැන සේනාධීරයෝ මෙසේ සටහන් කර තිබුණාහ.
‘මා ආවේ ඔබතුමාට ආයුබෝවන් කීමටය’
‘ඔබ යනවාද?’
’ඔව් මහත්මයාණෙනි’
‘යන්නෙ නැවත ගුරුකමේ යෙදෙන්ටද?’
‘එවැන්නක් ගැන මම හිතුවේ නැහැ’
‘නැත්නම් අපට විරුද්ධව පත්‍රයක් පටන් ගන්නටද?’
‘එවැන්නක් ගැනත් තවම මම හිතුවේ නැහැ.’
‘මෙලහකට හිතලා තියෙන්ට එපායැ’
ඉක්බිති විජයවර්ධන මහතා හුනස්නෙන් නැගිට, එතුමාගේ අත දිගුකොට, මගේ සුරත තදින් අල්ලාගෙන ආයු බල, ප්‍රඥා හා සියලු සැප සම්පත් ඔබට ලැබේවා!යි හෘදයාංගම ආශිර්වාදයක් කළේය.
මා යන මඟට නැඹුරු කළා වූද මගේ මාර්ග දේශකයාණන් වූද, මේ නර ශ්‍රේෂ්ඨයා මට නැවත දක්නට ලැබුණේ එකම එක් වතාවක් පමණිය. එනම් අවසන් ගමන යාමට සූදානම්ව ටොරිංටන් මන්දිරයේ මැද සාලේ උඩුකුරුව සැතපී සිටි අවස්ථාවෙහිය. මම එතුමාගේ දේහය නරඹා දෑත් ඔසවා නමක්කාර කළෙමි. ඉක්බිති මම මෘත ශරීරය පසුපස බොරැල්ල කනත්ත දක්වා ගමන් කොට පෙරලා ආවේ හද පැලෙන තරම් බලවත් සංවේගයකිනි.’
සේනාධීර මහතා විසින් ‘කල්පනා’ (1986 ජුනි) සඟරාවට ලියූ ‘පැරණි රසාංග’ ලිපි පෙළට ‘ගල් ඔළුව මහගලක හැපෙයි’ නමින් ලියූ ලිපියක එසේ සඳහන් විය.
විජයවර්ධන මහතා පත්‍ර කලාවේදීන්ට දැක්වූ යහපත් ආකල්ප මෙසේ නිමාවට පත්වෙයි.
ඒ.ඩී. රන්ජිත් කුමාර
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාංකේය පත්‍ර කලාවේ ලකුණ
NM Friday, 25 February 2022 06:36 AM
ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ නිර්මාතෘවරයකුවූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයකු පමණක් නොව ස්වාධීන මාධ්‍ය කලාවක් බිහිකරලීම සහ එය පවත්වාගෙන යාම වෙනුවෙන් කැපවූ දොන් රිචඩ් විජයවර්ධන මහතාගේ උත්තරීතර මාධ්‍ය කලාව ඉදිරියටත් ස්වාධීනව සහ මධ්‍යස්ථව පවත්වා ගෙන යාම එතුමාට කරන ගෞරවයකි. ලිවීමේ කලාව බුද්ධිමත්ව නිවැරදිව යෙදවුවහොත් රටක් ලෝකයක් වෙනස්කර යහපත් දිශාවක් කරා ගෙනයාමේ ප්‍රබල හැකියාවක් ඇත.