IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලංකාවේ ස්ථාවරය නිවැරැදිද?

යුක්රේන-රුසියා ගැටුමේ මූලාරම්භය තේරුම් ගැනීමේදී අපට යුරෝපා සංගමය හා උතුරු අත්ලන්තික් යුද ගිවිසුම් සංවිධානය (නේටෝ) ප්‍රකාශ කරන දේවල් විශ්වාස කළ නොහැකිය. එසේම ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් රුසියාව ප්‍රකාශ කරන දේවල් ද පිළිගත නොහැකිය. එම පාර්ශව මේ අරබයා එළිදක්වන ප්‍රකාශ පදනම් කරගෙන මෙහි නිමිත්ත අවබෝධ කර ගත නොහැකිය. එහෙයින් දේශපාලන විද්‍යාඥයකු හා හිටපු තානාපතිවරයකු වශයෙන් මා සෑමවිටම උත්සාහ කරන්නේ නිර්පාක්ෂික දත්ත වෙත ප්‍රවිෂ්ට වීමටය. 

20 වැනි සියවසේ ලෝක සම්භාවනාවට පාත්‍ර වූ රාජ්‍යතාන්ත්‍රිකයෝ දෙදෙනෙක් සිටිති. එක් අයෙක් වන්නේ හෙන්රි කිසින්ජර්ය. එහෙත් ඔහුටත් වඩා කීර්තියට බඳුන් වූ තවත් රාජ්‍යතාන්ත්‍රිකයෙක් සිටියේය. එනම් ජෝර්ජ් කෙනන්ය. ඔහු මේ වන විට ජීවතුන් අතර නැත. කෙනන් තුෂ්ණි යුද්ධය (1947-1989 අතර කාලයේ) ආරම්භ වීමට පෙර එනම් 1945 වන විට මොස්කව්හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති වශයෙන් කටයුතු කරමින් සිටියේය.

ඇමෙරිකාව සෝවියට් රුසියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ මහා මූලෝපායික සංකල්පයේ නිර්මාතෘවරයා වූයේ කෙනන්ය. එම සංකල්පය හැඳින්වූයේ සීමා කිරීම හෝ කොටු කිරීම (Containment) හෝ ලෙසය. එයින් ප්‍රකාශ වූයේ සෝවියට් රුසියාව කොටු කර එරටෙහි සිදු වූ විප්ලවයේ ආස්වාදය වෙනත් රටවලට ව්‍යාප්ත කිරීමට ඉඩ නොදිය යුතු බවය. එහෙත් සෝවියට් දේශය සමග සෘජුව ගැටුමකට නොයා යුතු බවද අදාළ සංකල්පය ක්‍රියාවට නංවා කලක් යන විට එහි අභ්‍යන්තරයෙන්ම සෝවියට් දේශය වෙනස් වනු ඇතැයිද කෙනන් සිය සංකල්පයෙන් කියා සිටියේය.

සිදු වූයේද ඔහු අනාවැකි පළ කළ දේමය. එය සිදු වී 1991 වසරේදී ඇමෙරිකාව තුෂ්ණි යුද්ධය ජයග්‍රහණය කළ පසු කෙනන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කරමින් ලිපියක් ලීවේය. එය 1997 පෙබරවාරි මස 5 වැනි දින නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ විය. තුෂ්ණි යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු නේටෝ සංවිධානය රුසියාව දෙසට ව්‍යාප්ත කිරීමට පියවර ගතහොත් එය පශ්චාත් තුෂ්ණි යුද අවධියේ අප විසින් සිදු කරනු ලබන විශාලතම මෝඩකම විය හැකි බව ඔහු එම ලිපියෙන් අවධාරණය කළේය. ඇමෙරිකාව ඒ මහා ප්‍රාඥයාගේ අනතුරු ඇඟවීම නොසලකා හරිමින් වට පහකින් නේටෝ සංවිධානය රුසියාවේ දොරකඩ දක්වාම පුළුල් කළේය.

ෆරීඩ් සකාරියා යනු සීඑන්එන් නාළිකාවේ සුප්‍රකට රූපවහිනී නිවේදකයෙකි. දින කීපයකට පෙර ඔහු ජෝර්ජ්.ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේ පාලන කාලයේ රාජ්‍ය ලේකම්වරිය වශයෙන් කටයුතු කළ කොන්ඩලීසා රයිස් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් විකාශය විය.

එම සාකච්ඡාව අතරතුර සකාරියා ප්‍රකාශ කළේ රයිස් රාජ්‍ය ලේකම්වරිය වශයෙන් සිටියදී එවකට රුසියාවේ හිටපු ඇමෙරිකානු තානාපතිවරයා ඇයට එවූ කේබල් පණිවුඩ කීපයක් තමන් ප්‍රදර්ශනය කරන බවය. එවකට රුසියාවේ ඇමෙරිකානු තානාපතිවරයා වූත් වර්තමානයේදී සීඅයිඒ සංවිධානයේ සභාපතිවරයාත් වන විලියම් බර්න්ස් හිටපු රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස්ට එවූ කේබල් පණිවුඩ ගණනාවක් වැඩසටහන අතරතුර ප්‍රදර්ශනය කෙරිණි.

තමන් රුසියාවේ දකුණේ සිට වම දක්වාත් ලිබරල්වාදීන්ගේ සිට කොන්සවේටිව්වාදීන් දක්වාත් සියලු පාර්ශව සමග සාකච්ඡා කරන බවත් යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලැබීම ගැන මානසිකව විශාල කම්පනයක් හා තැතිගැන්මක් ඔවුන් සියලු දෙනාටම තිබෙන බවත් එය සියලු රුසියානුවන්ට තිබෙන පොදු මානසිකත්වයක් බවත් බර්න්ස් එම පණිවුඩ මගින් රාජ්‍ය ලේකම්වරිය දැනුම්වත් කර තිබිණි.

ඉන්පසු ෆරීඩ් සකාරියා කොන්ඩලීසා රයිස්ගෙන් විමසා සිටියේ එම තොරතුරු ලැබුණු පසුත් නේටෝ සංවිධානය ව්‍යාප්ත කිරීමට පියවර ගත්තේ ඇයි ද කියාය. තමා අදාළ කේබල් පණිවුඩ ගැන දැන සිටි බවත් රාජ්‍ය ලේකම්වරිය වශයෙන් තෝරා ගැනීම් කිරීමට සිදු වන බැවින් අවස්ථානුකූලව නේටෝව ව්‍යාප්ත කිරීමට තීරණය කළ බවත් ඇය ප්‍රකාශ කළාය. එනම් රුසියානු ජනතාවගේ අනාරක්ෂිතභාවය පිළිබඳ තිබෙන පොදු මානසිකත්වය නොතකා හරිමින් නේටෝ සංවිධානය ප්‍රසාරණය කිරීමය. යුක්රේනයට වුව එහි සාමාජිකත්වය ගත හැකිය යන ආකල්පයෙන් ක්‍රියා කිරීමය. මේ ගැටුමේ ඓතිහාසික පසුතලය එයයි.

නේටෝ යනු ලොව වඩාත්ම බලවත් යුදමය සන්ධානයකි. එය බිහි වූයේ තුෂ්ණි යුද අවධියේය. තුෂ්ණි යුද්ධයෙන් ඇමෙරිකාව ජය ගත්තේය. සෝවියට් රුසියාව බිඳ වැටුණි. නැගෙනහිර යුරෝපා රටවල් ඇතුළත් කරගනිමින් සෝවියට් රුසියාව නිර්මාණය කළ වෝර්සෝ සංවිධානය ද බිඳ වැටිණි. එවැනි පසුබිමක නේටෝ සංවිධානයට තවදුරටත් ක්‍රියාකාරීවීමට හේතුවක් නොතිබිණි.

එහෙත් නේටෝ සංවිධානය පෙර ලෙසම ක්‍රියාකාරී වුවා පමණක් නොව සෝවියට් දේශයට අයත්ව තිබූ නැගෙනහිර යුරෝපා රාජ්‍ය ගණනාවක් දක්වා එහි සාමාජිකත්වය පුළුල් කළේය. එයින්ද නොනැවතී සෝවියට් දේශයේ සාමාජිකයන්ව සිට ඉන් ඉවත් වූ යුක්රේනය හා ජෝර්ජියාව යන රටවල්වලටද එහි සාමාජිකත්වය ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එසේ නොකරන ලෙස රුසියානු ජනාධිපති පුටින් පැහැදිලිවම ඇමෙරිකාවට කීවේය. සෝවියට් දේශයට විරුද්ධව බිහි වූ යුදමය සංවිධානයක් මේ වෙන විට රුසියාවේ දොරකඩටම පැමිණ තිබේ. එය රුසියාව දෙසට එල්ල කර තිබෙන බයිනෙත්තුවක් හා සමානය. පැහැදිලිව එරටේ ආරක්ෂාව සම්බන්ධ මූලික තර්ජනයකි.

ඉතිහාසයේදී මේ කලාපය හරහා සතුරු හමුදා තෙවතාවකදී රුසියාවට ඇතුළු වී තිබේ. ප්‍රංශයේ නැපෝලියන්ගේ හමුදා එක් අවස්ථාවකදී එරටට පැමිණියේය. පළමු ලෝක සංග්‍රාමයේදී ජර්මන් හමුදාවද දෙවැනි ලෝක යුද්ධයේදී සතුරු පාර්ශවයේ හමුදා ද රුසියාවට කඩා වැදුණහ. දෙවැනි ලෝක සංග්‍රාමයේදී සෝවියට් රුසියානු ජාතිකයන් දස ලක්ෂ විස්සක් දෙනාට ජීවිත අහිමි විය.

1990 ගණන්වල ඇමෙරිකාව රුසියාවට ප්‍රතිඥාවක් ලබා දී තිබේ. එවක ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජේම්ස් බේකර් මිහායිල් ගෝර්බචෝෆ් හට ප්‍රකාශ කළේ නේටෝ සංවිධානය එක් අඟලකින් තරම්වත් නැගෙනහිර යුරෝපය දෙසට ව්‍යාප්ත නොකරන බවය. එහෙත් එය ව්‍යාජ ප්‍රතිඥාවක් විය. නැගෙනහිර යුරෝපා රාජ්‍ය ගණනාවක් නේටෝ සංවිධානයට ඈඳා ගනු ලැබිණි. 2008 දී එම සංවිධානය ජෝර්ජියාව දෙසට ව්‍යාප්ත වූ අවස්ථාවේ පුටින් කළේ එරටෙහි සිටි රුසියානු භාෂාව කතා කරන ජෝර්ජියානුවන් ගෙන ගිය කැරලිවලට සහාය දීමත් එම ප්‍රදේශ ස්වාධීන පාලන ඒකක හැටියට නම් කරමින් රුසියාවට එක් කර ගැනීමත්ය. 

2014 දී යුක්රේන ජනාධිපති යනුකෝවිච් රුසියාව සමග ආර්ථික ගිවිසුමක් ඇති කර ගත්තේය. ඊට එරෙහිව නේටෝවාදී අන්ත දක්ෂිණාංශිකයෝ විශාල කලබැගෑනියක් අති කළහ. වෘත්තීය සමිති කාර්යාලයකදී පුද්ගලයන් හතළිස් දෙනකු සිර කර පුළුස්සා මරා දැමීමද එහිදී සිදු විය. අවසානයේ ඔවුහු යුක්රේනයේ බලය ද අත්පත් කර ගත්තෝය. ඒ වෙන විට එරටෙහි සිටි රුසියානු භාෂාව කතා කරන සුළුතරය එම බල පෙරළියෙන් සිය පැවැත්මට විශාල අභියෝගයක් එල්ල වන බව තේරුම් ගත්තේය.

ඒ අනුව ඔවුන් ද කැරලි ගැසූ අතර ඊට රුසියාවේ සහාය ද හිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව ක්‍රයිමියාව නමැති ප්‍රදේශය අල්ලා ගත්තේය. 2014 දී යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේද මෙවැනි කැරලිකාරී තත්ත්වයක් පැන නැගිණි. එහෙත් එහි මුල් අවස්ථාවේ රුසියාව ඊට මැදිහත් වූයේ නැත. කෙසේවෙතත් මෑතකදී එම ප්‍රදේශය ස්වයං-තීරණ පාලන ප්‍රදේශ වශයෙන් පිළිගත්තේය. 

නේටෝ යනු ආක්‍රමණශීලී සංවිධානයකි. එය යුගෝස්ලාවියාවට එරෙහිව කළ යුදමය මැදිහත්වීම ඊට සාක්ෂි සපයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට එම රට කොටස්වලට බෙදී ගොස් ඇත. මේ පසුබිමේ නේටෝ සංවිධානය රුසියාවේ අසල්වැසි රටවල් දක්වා ව්‍යාප්ත වීම තම රටට තර්ජනයක් හැටියට රුසියාව සලකයි. මියුනිච් ආරක්ෂක සම්මේලනයේදී වත්මන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ සිය රට න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන්ද සලකා බලන බවය. එවැනි සන්දර්භයක රුසියාවේ ස්ථාවරය වී තිබෙන්නේ එරටේ දොරකඩ න්‍යෂ්ටික අවි ස්ථානගත වීම ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවය.

දින කීපයකට ඉහතදී රුසියානු ජනාධිපතිවරයා එරට න්‍යෂ්ටික බළඇණිවලට සීරුවෙන් සිටින්නැයි නියෝග කළේය. න්‍යෂ්ටික අවි ආයුධ භාවිත වන තෙවන ලෝක සංග්‍රාමයක් දක්වා මේ ගැටුම දුර දිග යන බවට වන නිමිත්තක් හැටියට මම එම නියෝගය නොදකිමි. බටහිර රටවල් මේ ගැටුමට යුදමය වශයෙන් සම්බන්ධ නොවුණහොත් එවැනි තත්ත්වයක් ඇති නොවන නිසාය.

යුක්රේනය ගුවන්හරණ කලාපයක් ලෙස නම් කරන්නැයි යුක්රේන නායකයෝ නේටෝ සංවිධානයෙන් ඉල්ලා සිටියහ. ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එවැනි තීරණයක් ගතහොත් රුසියාව සමග තමන්ට සෘජුවම ගැටීමට සිදු වන බව එම දෙරට පවසා තිබේ. ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් ඒ සම්බන්ධයෙන් වන සිය ස්ථාවරයන් ප්‍රසිද්ධ කළේ පුටින් ජනාධිපතිවරයා රුසියානු න්‍යෂ්ටික බළඇණිවලට සීරුවෙන් සිටින්නැයි නියෝග කළ පසුය.

මෙහිදී අප තේරුම් ගත යුතු කාරණයක් තිබේ. එනම් කියුබන් මිසයිල අර්බුදයේදීද මීට සමාන තත්ත්වයක් උද්ගත වූ බවය. රුසියානු මිසයිල පද්ධතියක් කියුබාවේ ස්ථානගත කළ අවස්ථාවේ ඇමෙරිකාව ඊට ප්‍රබල විරෝධයක් පෑවේය. එයින් නොනැවතී මිසයිල පද්ධතිය ඉවත් නොකළ හොත් පහර දෙන බවටද ගුගුළේය. සිය රටේ දොරකඩ අබියස මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමට ඉඩ දිය නොහැකි බවත් එමගින් රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වන බවත් ඇමෙරිකාව කීවේය.

බටහිර රටවල් කීපයක් පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියානු ආර්ථිකයට තාවකාලික බලපෑමක් එල්ල විය හැකිය. එහෙත් කිසිවිටෙක අමතක නොකළ යුතු අලුත් සාධකයක් මතුව තිබේ. එනම් චීන-රුසියා සම්බන්ධතාය. ව්ලැදිමීර් පුටින් ශීත ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වීමට චීනයට ගිය අවස්ථාවේ පෙබරවාරි මස 4 වැනි දින දෙරටේ නායකයෝ ඒකාබද්ධ ප්‍රකාශනයකට අස්සන් තැබූහ. දීර්ඝ ප්‍රකාශනයක් වූ එහි චීන-රුසියා මිත්‍රත්වයට සීමා නැති බවත් ඉතිහාසයේ මෙවැනි සන්ධානයක් ගොඩනැගී නැති බවත් සඳහන් වී තිබිණි. එවැනි පසුබිමක බටහිර රාජ්‍ය සම්බාධක පැනවුවද රුසියාවට හැරෙන්නට තැනක් තිබේ. ඔවුන්ට චීන විකල්පය ඇත.

චීනය ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන අතර එය වේගයෙන් වර්ධනය වන ආර්ථිකය ද වේ. මේ ගැටලුව සම්බන්ධ චීන ස්ථාවරය ගැන ද විවිධ මත පළ වෙයි. ශීත ඔලිම්පික් තරගාවලිය අවසන් වීමට පෙර යුක්රේනයට පහර නොදෙන්නැයි චීනය රුසියාවෙන් ඉල්ලීමක් කරන ලදැයි ඇතැම් මාධ්‍ය පළ කර තිබූ වාර්තා මම දුටිමි. එහි සත්‍යාසත්‍යතාව පිළිබඳ මම නොදනිමි. යුක්රේන ආක්‍රමණය නිවැරදි තීරණයකැයි චීනය ප්‍රකාශ කර නැත. එහෙත් ඒකපාර්ශවීය සම්බාධක පැනවීම ජාත්‍යන්තර නීතියට පටහැණි ක්‍රියාවක් බව චීනය පවසා තිබේ.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේදී හා මහා මණ්ඩලයේදී රුසියාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවලදී චීනය ඒවාට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඉන්දියාවද ඡන්දය නොදී සිටියේය. එය ඇමෙරිකාවට එල්ල කරන ලද අතුල් පහරකට සමානය. මහා මණ්ඩලයේ රුසියානු විරෝධී ඡන්ද විමසීමේදී ඉන්දියාව පමණක් නොව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශයද ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එහිදී රාජ්‍ය 35 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. බහුතරය ආසියානු හා අප්‍රිකානු රටවල්ය.

අන්තර්ජාතික තලයේදී ශ්‍රී ලංකාව අපහසුතාවට පත් වූ සෑම අවස්ථාවකදීම රුසියාව අප වෙනුවෙන් පෙනී සිටියේය. එය යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමයේදීද දැක ගත හැකි විය. රුසියාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන එන යෝජනාවලදී ශ්‍රී ලංකාව ද අවම වශයෙන් ඒවාට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතුය. ඉකුත්දාක ගෙනා රුසියානු විරෝධී යෝජනාවට ඡන්දය නොදී වැළකී සිටීමට අප ගත් තීරණය නිවැරදිය. ලංකාවට වඩා යුරෝපා වෙළෙඳපොළට අපනයන සිදු කරන වියට්නාමය ද එහිදී රුසියාවට විරුද්ධව ඡන්දය දුන්නේ නැත.

වියට්නාමයේ එම ස්ථාවරය හේතුවෙන් ආසියාන් සංවිධානයට සංවිධානයක් වශයෙන් රුසියාව විවේචනය කරමින් නිවේදනයක් හෝ නිකුත් කිරීමට නොහැකි විය. මේ ප්‍රශ්නයේදී ලංකාව අඟලකින් තරම්වත් නොබැඳි ප්‍රතිපත්තියෙන් පිට නොපැනිය යුතුය. ඒ අප එසේ කළහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කිරීමට කිසිදු රටක් ඉතිරි නොවන නිසාය.

සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ

රුසියානු සමූහාණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක



අදහස් (0)

ලංකාවේ ස්ථාවරය නිවැරැදිද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site