IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


විද්‍යාව සමාජගත කිරීමේ විපාකය

 

යුරෝපයේ පුරාතන අවධියට පසුව එළඹෙන මධ්‍යතන අවධිය සියලු බුද්ධිමතුන්ගේ හැකියා යටපත් කළ කාල වකවානුව යි. පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පූජක පක්ෂය ගෙන ගිය ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරණයේ දී ඔවුන් උත්සුක වූයේ බුද්ධිය නිහීන කරමින් භක්තිය ඉස්මතු කරවීමටයි. මේ නිසා ම මෙය අඳුරු යුගය වශයෙන් ද නම් කෙරිණි. 

මධ්‍යතන අවධියෙන් පසු පුනරුද සමය ඇරඹීමත් සමඟ ම ශාන්ත තෝමස්, ඇක්වයිනාස් වැනි පූජකයන් එකාබද්ධ කළ සංස්කෘතිය දෙදරිණි. දේව ධර්මයෙන් ඈත්ව විද්‍යාවත් දර්ශනයත් ස්වකීය බුද්ධිවාදය අත්පත් කරගන්නට විය. දාහතරවන ශතවර්ෂයේ අග භාගයේ දී උතුරු ඉතාලියෙන් ආරම්භ වූ පුනරුද සමය ක්‍රමයෙන් යුරෝපයේ සෙසු රටවල් කරා ද ව්‍යාප්ත වූයේ ය. 

නව සොයාගැනීම් හේතුවෙන් විවිධ උපකරණ නිර්මාණය කිරීමට සමත් විද්‍යාඥයන් පිරිසක් බිහිවූ අතර චිත්‍ර, මූර්ති ආදි කලා කටයුතු ද සමෘද්ධිමත් විණි. ගැලීලියෝ ගැලීලි උපත ලබන්නේ මෙවන් වකවානුවකය.

දිළිඳු ගායකයකුගේ පුතකු ලෙසින් උපන් ගැලීලියෝ කුඩා කල පටන් ඉගෙනීමෙහි සමතෙක් විය. දර්ශනය සහ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඉතාලියේ පීසා නුවර සරසවියට ඇතුළත් වූ මොහු වඩාත් ප්‍රිය කළේ ගණිත මිණිත ශාස්ත්‍ර කෙරෙහිය. 

සාම්ප්‍රදායික සිසුවෙකු නොවූ හෙතෙම නිතර එහි සිටි ගුරුවරුන් සමඟ තර්ක කරමින් නව දැනුමක් සොයා යෑමට උත්සුක වූයේය. ඔවුන් සමඟ කළ සංවාද මතභේද දක්වා දුරදිග යෑම නිසාත් අධ්‍යාපන ගාස්තු පියවීමට අපහසු වූ නිසාත් ගැලීලියෝට උපාධිය නොලබා ම සරසවි කටයුතු අත්හිටුවීමට සිදුවිය. 

ඉගෙනීමෙහි වූ බලවත් ආසාව ඔහුව එතෙකින් නොනැවැත්වීය. ඔස්රියෝ නමැති ගුරුවරයකු වෙත යමින් ගණිතය උගත් ඔහු ඒ අතරතුර කාලයේ දී ‘චලන රීතිය’ නමින් ග්‍රන්ථයක් ද රචනා කිරීමට සමත් විය. ගැලීලියෝගේ සබුද්ධිකත්වය අවබෝධ කොටගත්  පීසා විශ්වවිද්‍යාලය ඔහුට කථිකාචාර්ය තනතුරක් පිරිනමන ලදී. ඒ වනවිට බහුතර වියතුන් පිළිගත් ඇරිස්ටෝටල් විසින් පළ කළ මත වැරදි බව සිය දේශන වලදී ප්‍රකාශ කිරීම හේතුවෙන් ඉන් වසර තුනකට පමණ පසු ඔහුව සරසවියෙන් ඉවත් කෙරිණි.

ගැලීලියෝ 16 වන වියේ පසුවෙද්දී පල්ලියේ වහලේ දම්වැලක එල්ලා තිබුණු පහනක් පැද්දෙනු දැක ඒ දෙස තරමක් අවධානයෙන් බලා සිටින්නට වූයේය. එහි එක් පැද්දීම් වරායක් සඳහා ගතවන කාලය තම නාඩි වැටීමට සමාන බව ඔහු සොයාගත්තේ ය. 

‘අවලම්භක දෝලන වාර ගණන හා කාලය අතර සම්බන්ධය පිළිබඳ නියමය’ ඔහු හඳුන්වාදෙන ලද්දේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනුයි. ගැලීලියෝගේ මෙම නියමය බට්ටා සහිත ඔරලෝසුව තැනීම සඳහා ද උපකාරී විය. එනිසා බට්ටා සහිත පළමුවන ඔරලෝසුව තැනීමේ ගෞරවය ද ඔහුට හිමි විය. එපමණක් නොව රෝගීන්ගේ නාඩි පරීක්ෂාව සඳහා සුදුසු උපකරණයක් නිපදවා ගැනීමට ද මේ සොයාගැනීම වැදගත් විය. 

මීට අමතරව කොම්පස් නමින් හැඳින් වූ ගණක යන්ත්‍රය, වාත උෂ්ණත්වමානය, ප්‍රථම විද්‍යාත්මක දුරේක්ෂය යන නිපැයුම් කළ ගැලීලියෝ සිය පරීක්ෂණවල කූඨ ප්‍රාප්තිය තාරකා ශාස්ත්‍රයෙන් මුදා හැරියේ ය. විශාල උත්තල කාචයක් ගෙන එය දිග් හැඩැති බටයක කෙළවරට සවි කළ ඔහු අනෙක් කෙළවරෙහි අවතල කාචයක් රඳවා දුර බැලීය. ඔහුට පෙර පවා දුරදක්න තැනීමට සමතුන් සිටියද ඒවා මෙතරම් බලවත් සහ විද්‍යාත්මක නොවීය. ගැලීලියෝ  සිය දුරේක්ෂයේ ආධාරයෙන් චන්ද්‍රයා මතුපිට කඳු හා ආවාට පවතින බවත්, ක්ෂීරපථය සෑදී ඇත්තේ තාරකා සමූහයකින් බවත්, බ්‍රහස්පති ග්‍රහයාට චන්ද්‍රයන් සතරක් සිටින බවත්, සෙනසුරු වටා වර්ණවත් වළලු පිහිටා ඇති බවත්, සූර්යයා ලප සහිත බවත් සොයාගත්තේ ය. 

අඟහරු ග්‍රහයා පිළිබඳ විවාදාත්මක කරුණු රාශියක් හෙළි කිරීමට ද ඔහු සමත් විය. අඟහරු රවුම් ග්‍රහයකු නොවන බව මුල්වරට කියා සිටියේ ද ගැලීලියෝ යි. එයට බොහෝ කලකට පසු එය නිවැරදි මතයක් බව විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලදී. 

සූර්යයා ඇතුළු ග්‍රහලෝක පෘථිවිය වටා භ්‍රමණය වන බව කී ඇරිස්ටෝටල්ගේ මතය නිශේධනය කරමින් සූර්යයා වටා පෘථිවිය ගමන්ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. මෙය එකල පැවති ආගමික මතවාද වලට ප්‍රබල පහරක් විය. සඳ පෘථිවිය වටා ගමන් කරන බවත් එසේ වනවිට සඳත් භ්‍රමණය වන බවත් කී ඔහු ඒ වනවිට පැවති මත අභියෝගයට ලක් කළේය. 

ගැලීලියෝ ජන්මලාභය ලබන විට විද්‍යාත්මක න්‍යායන් සම්බන්ධයෙනුත් ග්‍රහලෝක සහ තරු රටා සම්බන්ධයෙනුත් විද්‍යාඥයින් කිහිපදෙනෙකු මත පළ කර තිබිණි. ඒ අතර නිකොලස් කොපර්නිකස් ද විය. ඔහුගේ සමකාලීනයකු වූ ජොහැනස් කෙප්ලර්ගේ සොයාගැනීම්  විවේචනය කළ ගැලීලියෝ වඩදිය බාදිය ඇතිවන්නේ සඳේ බලපෑමෙන් යැයි ඔහු කළ නියමය විහිලුවට ලක්කරමින් කියා සිටියේ සඳට ජලය පාලනය කිරීමට කෙප්ලර් අනුමැතිය දුන් බවයි. ගුරුත්වාකර්ෂණයත් පොළවට වස්තු පතිත වීමත් පිළිබඳව ගැලීලියෝ උනන්දුවක් දැක්වුවත් ඒ පිළිබඳව නිමයක් ගොඩනැගීමට ඔහු සමත් වූයේ නැත. 

ගැලීලියෝ විසින් නිරන්තරයෙන් අනෙක් මතවලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් නව මත ඉදිරිපත් කිරීමත් නිසා බොහෝ විද්‍යාඥයෝ ඔහුට විරෝධය පෑහ. එවන් මත නැවත පළ නොකරන්නැයි ඔහුට උපදෙස් ලැබිණි. ඒ පිළිබඳව නොතැකූ ඔහු මුහුදේ දේශාංශ නිශ්චිත කරගැනීමේ කෘතියක් ලිවීමෙහි නිරත විය. එය පෘථිවිය, සූර්යයා සහ අනෙකුත් ග්‍රහලෝක සම්බන්ධයෙන් ඇරිස්ටෝටල්, කොපර්නිකස් සහ ඔහුගේ ම මත ඇතුළත් වූවකි. එය ‘ප්‍රධාන ලෝ පද්ධති දෙක පිළිබඳ වෙනස’ ලෙසින් නම් කෙරිණි. මේ කෘතිය හේතුවෙන් ගැලීලියෝට සිර අඩස්සියේ සිටීමට සිදුවිය.

නක්ෂත්‍රය පිළිබඳව ඔහු කෘතියක් රචනා කළ අතර එහි වූ කරුණු සනාථ කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි. තම මත ඔප්පු කළ නොහැකි බව ප්‍රකාශ කරන මෙන් පූජක පක්ෂය ඔහුගෙන් ඉල්ලා සිටි අතර ඊට විරුද්ධ වූ බැවින් ගැලීලියෝව රටින් පිටුවහල් කෙරිණි. 

නව විද්‍යාවන් දෙකක් සම්බන්ධ දේශනා රැගත් ඔහුගේ අවසන් පොත ලීඩන් නුවරදී පළ කරන ලදී. ඉන් ආභාසය ලද අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ෂණ නියමය සොයාගත්තේ ය. කෙප්ලර්ගේ නියමයත් නිවුටන්ගේ නියමයත් ගැලීලියෝගේ ගණිතමය නියමයත් අතර සම්බන්ධයක් ඉන් ගොඩනැගුණ නමුත් එම සිද්ධාන්තය පළ කිරීමට පෙර ගැලීලියෝගේ දෑස් අන්ධ විය.

කතෝලික සභාව විසින් විශ්වය පිළිබඳ දැරූ සංකල්පයට විරුද්ධව නැගී සිටි ගැලීලියෝ වැරදිකරු බව නඩු විභාගයකින් ඔප්පු කළ එහි නිලධාරී මණ්ඩලය ඔහුට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම නියම කළළේය. ධර්මවිරෝධී අදහස් පැතිරවීමත් එම අදහස් අනුගමනය කිරීමත් යන චෝදනා යටතේ වතිකානුවට කැඳවනු ලැබූ ගැලීලියෝ ඔවුන්ගේ බලකිරීම මත තමා මෙතෙක් ඉදිරිපත් කළ මත අසත්‍ය ව ප්‍රකාශ කළේ ය. 

සිර අඩස්සියෙන් නිදහස් ව පැමිණි හෙතෙම ‘පල්ලිය මොනවා කිව්වත් සූර්යයා වටා පොළොව ගමන් කරනවා’ යි කීවේලු.

- සැකසුම : ඩිල්ෂානි චතුරිකා දාබරේ



අදහස් (1)

විද්‍යාව සමාජගත කිරීමේ විපාකය

vidya Saturday, 24 April 2021 03:27 AM

ඉතාම වැදගත් ලිපියක්.. ඉතිහාසයේ කරුණු විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කොට ලියූ මෙම ලිපියට ඔබතුමියට මගේ ස්තුතිය... එමෙන්ම ඊට පසුව පැමිණි චාල්ස් ඩාවින් විද්‍යාඥවරයා ඉදිරිපත් කළ පරිණාම වාදය තුළින් ලෝකයේ ජීවීන් පිළිබඳ සත්‍යතාවය තව දුරටත් තහවුරු වුණා. මැවුම්වාදය කිසිසේත් පිළිගැනීමට නොහැකි බවද ඔප්පු වුණා.

:       1       14

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 278 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1796 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1335 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2122 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site