IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථාවට එරෙහිව නන් දෙඩවීම

 

අද රට තොට කතා වන්නේ රට බෙදීමක් ගැන. රට බෙදෙතැයි, රට කැඩෙතැයි කියන්නෝ බොහෝ. අහස කඩා වැටෙතැයි බියෙන් අවිච්ජියා දිව ගොස් වැල්ලේ හිස හංගා ගත් බවක් ජන කතාවක කියැවෙයි. ඇතැමුන් එවන් බියකින් වෙළී ඇති සැටියෙක් ද පෙනේ.

පිරිසක් දෙපිල බෙදී රට බෙදෙනු ඇත - රට බෙදෙනු නැත යැයි ජප කරමින් ද්වන්දව සටනක නියැලෙත්. එහෙත්, කෙසේ බෙදෙන්නේ ද නැත් ද යනු නො කියත්. එහෙයින් ඇත්ත නැත්ත දැන ගනු වස් එය මඳක් විමසා බැලිය යුතුය.

රට භූමිය වශයෙන් දෙකඩ වන්නේ නැත. එසේ වෙතොත් අතිප‍්‍රබල භූ චලනයකින් පමණක් වන්නට පිළිවනි. එහෙත් එය කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලන තරමටත් වඩා විය නොහැකි අවස්ථාවෙකි. දුලබ අවස්ථාවෙකි.

කතාබහ වන්නේ එබන්දක් ගැන නොව දේශපාලන බෙදීමක් ගැන ය. වඩාත් පැහැදිලිව කිවහොත් රජය දෙකක් බිහි වීම ගැන ය. එහෙත් රජයක් ඉබේ බෙදෙන්නේ නැත. ඉබේ කැඩෙන්නේ නැත. නිකම්ම පුපුරා යන්නේ නැත. හදිසියෙහි සිදු වන්නේ ද නැත. ඒ සඳහා කාලයක් පවත්නා මානව ක‍්‍රියාකාරීත්වයක් තිබිය යුතු ය. කඩන්නවුන් සිටිය යුතු ය.

රට බෙදෙතැ යි කියන්නවුන් දරන මතය ජාත්‍යන්තර බලවතුන්, විශේෂයෙන්ම බටහිර බලවතුන්, එක්ව අප රට කඩන බව ය. එය ඇත්තක් ද? ලෝකයේ සියලූ ජාතීහු ශ‍්‍රී ලංකාවෙහි භෞමික අඛණ්ඩතාව පිළිගෙන ඇත්තා හ. ඒ බව අනේක වාරයක් ගනුදෙනුවල දී සහතික කැරැ ඇත්තාහ. රට බෙදන්නට ඔවුන්ට වුවමනා විණි නම් බෙදුම්වාදී යුද්ධය සමයෙහි එයට කදිම අවස්ථාවෙක් පැවැතිණි. එහෙත් ඔවුහු එම යුද්ධයෙහි දී ශ‍්‍රී ලංකා රජයට සහාය දුන්හ.

 ඒ බව අප රටෙහි නායකයෝ ප‍්‍රසිද්ධියේ පිළිගත්හ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඉන්දියාව ආදී රටවල් ගණනාවක්ම විමුක්ති කොටි සංවිධානය තහනම් කළහ. බොහෝ තන්හි එම තහනම තවමත් බලාත්මකය. අපට යුද අවි ප‍්‍රහාරක යානා ආදිය චීනය සහ රුසියාවෙන් පමණක් නොව බටහිර රටවලින් ද ලැබිණි. සිහින ලෝකයේ නොව ඇත්ත ලෝකයෙහි තත්ත්වය එයයි. එහෙයින් බටහිර කුමන්ත‍්‍රණ කතාව ජනතාව බිය වද්දා බලයට පත්වීමට කෑදර දේශපාලනඥයන් ගෙතූවකි. ඊට බොහෝ දෙනා ගොදුරු වීම කනගාටුදායක ය.

නැති හතුරෙකු මවන්නේ ඇති හතුරෙකු වසන් කරන්නට යැයි කතාවක් තිබේ. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතාව ද බලයට ඒමට පහසු මඟක් ලෙස ජාතික සමගිය හා සංහිඳියාව බිඳ, වාර්ගික කෝලාහලයකට සහ යුද්ධයකට පවා යළි රට පත් කරන්නට මාන බලන ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ සැබෑ කුමන්ත‍්‍රණය වසන් කැරීමෙහි උත්සාහයෙකි.

දේශප්‍රේමිත්වයෙහි තනි උරුමක්කාරයන් සේ පෙනී සිටිමින් අන් සියල්ලන්ම ද්‍රෝහීන් සේ හංවඩු ගසන මෙම පිරිස් පෙනී සිටින්නේ තනි සිංහල බෞද්ධයන්ගේ ආධිපත්‍යයක් මෙරට ස්ථාපිත කරන්නට ය. එවන් පිළිවෙතක ප‍්‍රතිඵලය වනු ඇත්තේ ඉතිහාසය පුරා මෙරට රජ කළ සාමකාමී සහජීවන සංස්කෘතිය සහ සමානාත්මතාව පදනම් වන බෞද්ධ ඉගැන්වීම් වෙනුවට සුපිරි ජාතියක් පිළිබඳ නාසිවාදී මිනීමරු දැක්මක් තහවුරු වීමකි.

තවත් ජාතියක් පාගන කවර ජාතියකට වුවද නිදහසක් නැත. බටහිර හෝ පෙරදිග හෝ කවර විදේශ බලවේගයකට වුව මෙරට ආක‍්‍රමණයකට හෝ වෙනත් ඇඟිලි ගැසීමකට හෝ මඟ පෑදෙන්නේ මෙරට අසමගිය පැතිර ගියහොත් පමණකි. ජාතිවාදීන් තැත් කරන්නේ එවන් පසුබිමක් තැනීමට ය.

ජාතික අසමගිය, ජන වාර්ගික වෛරය සහ කලහ පැතිර ගියහොත් මෙරට සංර්ධනයක් ගැන සිතන්නට පවා බැරිය. එහි ප‍්‍රතිඵලය බහුතර ජනතාව දුකෙන් දුකට පත් වීමය. දුප්පත්කම, සාගත, මන්ද පෝෂණය, විරැකියාව ආදී දහසක් ව්‍යාධි පැමිණීමය.

ජනවාරි 8 මැතිවරණ සමයෙහි වන් ජාතික සංහිඳියාව අද පිරිහී ඇත. එහි වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු ය. ඒ එක් අතකින්, ජාතිවාදයට එරෙහි අධිෂ්ඨානශීලී සටනකින් බැහැරව ජාතිවාදීන්ගේම සටන් පාඨ උසුරුවන්නට ආණ්ඩුවෙහි බොහෝ මැති ඇමැතීන් පටන්ගත් හෙයිනි. අනෙක් අතින්, ජාතික සංහිඳියාව සවිමත් කරන සංක‍්‍රාන්ති යුක්ති පියවර ගැනීමට ආණ්ඩුව අදිමදි කිරීම හේතුවෙනි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය සිය දුෂ්ට අරමුණු මුදුන්පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයත්, එයට නායකත්වය සපයන හිටපු ජනාධිපතිවරයාත් ක‍්‍රියා කරනු පෙනේ. මෙහි දී ඇත්තටම එක්සත් ජාතික පක්ෂය තනිව ඇති සැටියෙකි. ගරු ජනාධිපතිතුමන් හැරෙන්නට නිල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි බහුතරයක් නායකයෝ නව ව්‍යවස්ථාවකට විරුද්ධව පෙළ ගැසී සිටිත්.

මෙතෙක් කල් දැරූ මතය වෙනස් කරමින් නිල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්නට අකැමැතිය. එපරිද්දෙන්ම බලය බෙදීමට ද අකැමැති ය. ඔවුහු ද මුව හමට තලන්නාක් මෙන් ෆෙඩරල් ක‍්‍රමයක් ගැන නන් දොඩවමින් යෝජිත ව්‍යවස්ථාව ගැන අනිසි බිය ගැන්වීම් කරති.

ඔවුන්ගේ පසුබෑම ඉදිරියේ වඩාත් සවිමත්ව ඇති ජාතිවාදී, ආගම්වාදී සංවිධාන අද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා ඉවත් කරන සේ ඉල්ලති. එදා 13+ දෙන්නට පොරොන්දු වූ මහින්ද රාජපක්ෂ මහතා අද 13ටත් එරෙහිව එය කප්පාදු කරන්නට වලි කයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි බොහෝ නායකයන් පොහොට්ටු පක්ෂය තැනීම නොසලකා මෛත‍්‍රී - මහින්ද සමගි කරන්නට තැත් කරන්නේ රටෙහි අභිවෘද්ධියට වඩා පක්ෂය ගැන සිතමින් බලයට පත්ව වැජැඹෙන්නට වැඩි ඉඩකඩක් පතමිනි. මෙසේ බලන කල දෙපිලක් සේ බෙදී සිටිය ද ජාතිවාදයෙහි ප‍්‍රධානතම බලවේගය නියෝජනය කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි බහුතර නායකත්වය බව කිව යුතුය.

(සෙසු ජාතිවාදී බලවේග ඇති බව රුපියල් අස්සේ අලූක්කාල් ගැසීමක් වැන්න) ගරු ජනාධිපති තුමන් කමා වන සේක්ව! ජාතිවාදීන් සමග ගනුදෙනු බේරාගන්නා තෙක්, එම පිළි, ඉවත් කරන තෙක් නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ගොඩනැඟීමෙහි ජනාධිපතිතුමන්ගේ සිහිනය ඵල නො දරනු ඇත.

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය නොලැබෙතැයි ද, බුද්ධාගම විනාශ වෙතැ යි ද කියනු ලැබේ. යෝජිත ව්‍යවස්ථාවෙහි බුද්ධාගමට හිමි තැන වෙනස් නොකෙරන බව රජය පුනපුනා කියත්දීත් ඔවුන් එසේ කියන්නේ ජනතාව මුළා කිරීමටය. එහි දී ඔවුන් පෙන්වන්නේ ඉංග‍්‍රීසි යටත්විජිත පාලකයන් පවා එසේ බුද්ධාගම සුරකින්නට පොරොන්දු වූ වගකි.

උඩරට ගිවිසුමට එවන් වගන්තියක් ඇතුළත් කරන ලද්දේ උඩරට රදළ ප‍්‍රභූන්ගේ සහාය ලබා ගැනුමට මිස බුද්ධාගම සුරැකීමෙහි අවංක චේතනාවකින් නොවන බව ඊනියා දේශපේ‍්‍රමීන් නොදන්නවාට මෙරට ජනතාව දනිත්. බුද්ධාගම රැකුණේ යටත් විජිත පාලකයන්ට එරෙහිව බුද්ධාගම රැක ගැනීමට බෞද්ධ ජනතාව ගෙන ගිය ප‍්‍රබල ජන අරගලය නිසා ය. අද වුව, හෙට වුව එය රැකෙනු ඇත්තේ බෞද්ධ ජනතාවගේ සහයෝගයෙනි. සියවස් ගණනාවක කෲර යටත්විජිත පාලකයනට පවා විනාශ කළ නොහැකි වූ බෞද්ධාගම ව්‍යවස්ථාවක් තුළින් විනාශ වෙතැයි සිතීම බොළඳ අදහසකි.

රට බෙදෙන්නේ යැයි ජාතිවාදීන් කියන්නේ සහේතුකව නොවේ. ඔවුන්ගේ ප‍්‍රබලම තර්කය විදේශ කුමන්ත‍්‍රණ චෝදනාව ය. එය අහේතුක බව මෙම ලිපියෙහි ආරම්භයෙහිදීම අපි සහේතුකව පෙන්වීමු.

සෙසු තර්ක ද සැබෑ තර්ජනවලට වඩා අනිසි නැතහොත් හුඹස් බිය පාදකව නඟා ඇති බව මෙරට මෑතකාලීන ඉතිහාසයෙන්ම පෙනේ. නිදසුනක් වශයෙන්, සිංහල හා දෙමළ භාෂාවන්ට සම තැන ලබා දීමෙන් සිංහල ජාතිය විනාශ වෙතැයි ජාතිවාදීහු මුර දුන්න ද අද භාෂා දෙකම රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන තිබේ. එයින් ඒ එක ද භාෂාවකට වත් අයහපතක් වී නැත. එබඳුම අනිසි බියක් උඩරට වැවිලිකරයෙහි දෙමළ ජනයාට පුරවැසිකම ප‍්‍රදානයෙන් සිදු වෙතැයි කීව ද, අද ඔවුන් පුරවැසියන් සේ පිළිගැනුන ද බිය වන්නට කිසිවක් වූයේ නැත.

පළාත් සභා පිහිටුවීමෙහි දී ද එවැනිම බියක් පළ කැරිණි. එහෙත් පළාත් සභා ක‍්‍රමයෙහි කොතෙක් අඩුපාඩු ඇතත්, දශක තුනක පළාත් සභා අත්දැකීමෙන් පෙනෙන්නේ එම බිය ද අනිසි වූ බවෙකි.

බලය බෙදීමෙන් රට තුළ බෙදුම්වාදය සවිමත් වෙතැයි කියනු ලැබේ. එහෙත් මෙරට බෙදුම්වාදය පැන නැඟ සවිමත් වූයේ බලය නොබෙදු මධ්‍යගත බලය පැවැති තත්ත්වයක් තුළ ය. එයින්ම පෙනෙන්නේ බෙදුම්වාදයට හේතුව බලය බෙදීම නොව යම් ජන රාශියක් මත යෙදෙන පීඩනය සහ මානව හිමිකම් උල්ලංඝනය බව ය. මෙය අප රටට පමණක් සීමා නොවූ හැම රටකටම සාධාරණ සත්‍යයකි.

අනෙක් අතට, ජාතිවාදීහු බලය බෙදීමට පමණක් නොව එයින් ස්වායත්ත ප‍්‍රදේශ වෙන්වීමට වන පෙළැඹීම් වළක්වන්නට යොදන ප‍්‍රතිකර්මයන්ට ද විරුද්ධ වෙත්. නිදසුනක් වශයෙන්, බහුතරය නොවන ජන රාශිවලට මධ්‍යම ආණ්ඩුවෙහි වගකීම් පැවැරීමට ද ඔවුහු විරුද්ධ වෙත්. මෙරට අසිංහල, අබෞද්ධ පුරවැසියන්ට රටෙහි උසස්තම නිලයන්ට පත්වීමෙහි හැකියාව වළක්වන අදිසි පිළිගැනීමක් බහුතර ජන විඥානයෙහි පැලපදියම්ව ඇත. නිදසුනක් වශයෙන් එවන් තනතුරකට දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු සුදුසුකම් අනුව පත් වුවත් ජාතිවාදීන්ගේ ඇස් උඩ යන අතර ජාතිවාදී කටකතා පැතිරෙන්නේ විදුලි වේගයෙනි. ඒ අනුව ඇතැම් විට පාලකයන්ට ද තමන් වරදක් කළැ යි මානසිකත්වයක් පහළ වන බවක් පෙනේ.

නව ව්‍යවස්ථාවෙන් දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලයක් පත් කැරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ ද මධ්‍යම රජයට සියලූ ජන රාශිවල සහභාගිත්වය ලබා ගැනීමට සහ ඒ තුළින්් මධ්‍ය රජය රැකගැනීමට ඔවුන් තුළ බැඳීමක් ඇති කැරු ගැනීමට. එයට ද ජාතිවාදීහු විරුද්ධ වෙත්. ඒ ඔවුන්ගේ අරමුණ රට අවුල් කැරීම නිසා ම ය. දෙවැනි මන්ත‍්‍රී මණ්ඩල බොහෝ රටවල පවතී. ඒ අතර ලෝකයේ ප‍්‍රබලම රාජ්‍ය ද වෙයි.

එවන් මණ්ඩලයක් සකස් විය යුතු වන්නේ අන් අයුරින් සහභාගි කරවා ගන්නට නොහැකි සුළු ජාතික කොටස්වලට මෙන්ම විද්වතුන්ට, වෘත්තිකයන්ට සහ ආගමික පිරිස්වලට නිසි නියෝජනයක් ලබා දී ඔවුන් හැමගේම සහාය පාලනයට ලබා ගැනීමට ය.

දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලයක් තනිකරම ඡන්දයෙන් තෝරා පත් කරන නියෝජිතයන්ගෙන්ම පත්කැරීම අනර්ථකාරී වන්නේ එහෙයිනි. මෙරට ජාතිවාදීන් බොහෝ විට පුළුල් නියෝජනයකට එරෙහි වෙත්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ වන ස්වාධීන කොමිෂන් සභාවන්හි පාර්ලිමේන්තු නියෝජනය වැඩි කළ අයුරු නිදසුනකි.

ඉහත සඳහන් කරුණුවලින් පෙනෙන්නේ ඇත්ත රට නොබෙදෙනු ඇති බව ය. රට බෙදෙනු ඇත යනු ජාතිවාදීන්ගේ හුඹස් බියක් පමණකි.

 

(ජයතිලක ද සිල්වා)



අදහස් (16)

ව්‍යවස්ථාවට එරෙහිව නන් දෙඩවීම

ජයරත්න Thursday, 02 November 2017 04:26 PM

"තවත් ජාතියක් පාගන කවර ජාතියකට වුවද නිදහසක් නැත". සහතික ඇත්ත. බියෙන් සැකෙන් වෛරයෙන් ජිවත් වුනා ඇති. බලය බෙදාගෙන එකට ජීවත් වෙන්න ඕන.

:       204       190

bamunuarachchi Friday, 03 November 2017 02:33 AM

මෙන්න අපූරු කතාව "බලය බෙදීමෙන් රට තුළ බෙදුම්වාදය සවිමත් වෙතැයි කියනු ලැබේ. එහෙත් මෙරට බෙදුම්වාදය පැන නැඟ සවිමත් වූයේ බලය නොබෙදු මධ්‍යගත බලය පැවැති තත්ත්වයක් තුළ ය." ලියුම්කරු පිලිගන්නවා බලය නොබෙදු මධ්‍යගත බලය පැවැති තත්ත්වයක් තුළත් මෙරට බෙදුම්වාදය පැන නැඟ සවිමත් උනා කියල. එහෙමනම් බලය බෙදීමක් ඇති උනොත් කොහොම හිටීද කියා මම ලියුම් කරුගෙන් අසමි. "උඩරට ගිවිසුමට එවන් වගන්තියක් ඇතුළත් කරන ලද්දේ උඩරට රදළ ප‍්‍රභූන්ගේ සහාය ලබා ගැනුමට මිස බුද්ධාගම සුරැකීමෙහි අවංක චේතනාවකින් නොවන බව ඊනියා දේශපේ‍්‍රමීන් නොදන්නවාට මෙරට ජනතාව දනිත්" ඔබ ඔය කියන ජනතාව දන්නේ ඔබ දන්නා දේම තමා මොකද දැන් පාසල්වල ඉතිහාසය උගන්වන්නේ නැතිනිසා. අපි ඉගෙන ගන්නා කාලයේ ඉතිහාසය සවිස්තරව එම ගුරුවරුන් කියා දුන් නිසා අපට රට ගැන සිංහලයා ගැන ආගම ගැන ඔබට නැති කැකුමක් තවමත් අපට ඇත.

:       465       707

bamunuarachchi Friday, 03 November 2017 03:23 AM

"ජාතිවාදීහු බලය බෙදීමට පමණක් නොව එයින් ස්වායත්ත ප‍්‍රදේශ වෙන්වීමට වන පෙළැඹීම් වළක්වන්නට යොදන ප‍්‍රතිකර්මයන්ට ද විරුද්ධ වෙත්" ඉඩම් බලතල දීල පොලිස් බලතල දීල විදේශයන් සමග කෙලින්ම කටයුතු කිරීමට බලය දුන්නයින් පසු ස්වායත්ත වීමට පෙරුම්පුරන ජාතියකට වෙන මොනවාද අවශ්‍ය?

:       1       207

bamunuarachchi Friday, 03 November 2017 03:50 AM

"මෙරට අසිංහල, අබෞද්ධ පුරවැසියන්ට රටෙහි උසස්තම නිලයන්ට පත්වීමෙහි හැකියාව වළක්වන අදිසි පිළිගැනීමක් බහුතර ජන විඥානයෙහි පැලපදියම්ව ඇත." සත්තකින්ම එය එසේ විය යුතුය. මේ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ කම රැක ගැනීමට නම් සිංහල බෞද්ධයෙක්ම රටේ නායකයා විය යුතුය. දැන් මෙරටට වෙලා තිබෙන දේ පෙනෙනවා නේද. රට ගැන ආදර කකුමකින් සිටි නායකයින් එම වගන්ති අපේ ව්‍යවස්ථාවට ඇතුලත් කරතිබුණි.

:       2       259

bamunuarachchi Friday, 03 November 2017 04:00 AM

"බුද්ධාගම රැකුණේ යටත් විජිත පාලකයන්ට එරෙහිව බුද්ධාගම රැක ගැනීමට බෞද්ධ ජනතාව ගෙන ගිය ප‍්‍රබල ජන අරගලය නිසා ය. අද වුවත්, හෙට වුවත් එය රැකෙනු ඇත්තේ බෞද්ධ ජනතාවගේ සහයෝගයෙනි." මොනවාද මේ කියන්නේ? දැන් කරන්න හදන්නෙත් එයම තමා. අපි දේශපාලුවන්ගේ කීමට නැමෙන්නේ නැත. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, මගේ ගුරු දවමොට්ටාවේ අමරවංස හිමි කල සේවය අමතකකරන ගුණමකුවෝ නොවෙයි අපි. අද වෙන්නේ කුමක්ද බුදුදහමට හිමි තැන එසේම තියාගෙන අනික් ආගම්වලට බුදුදහමට හිමිතැනම දෙනවා කියා රටේ නායකයෙක් කියනවා.මේ ලියුම් කරු වගේ අය හැරෙන්නට මෙයා මේ ගොනාට අන්දන්න යන්නේ කාවද ?

:       0       204

bamunuarachchi Friday, 03 November 2017 04:20 AM

"එහෙත් රජයක් ඉබේ බෙදෙන්නේ නැත. ඉබේ කැඩෙන්නේ නැත. නිකම්ම පුපුරා යන්නේ නැත. හදිසියෙහි සිදු වන්නේ ද නැත. ඒ සඳහා කාලයක් පවත්නා මානව ක‍්‍රියාකාරීත්වයක් තිබිය යුතු ය." එය අපි ඔබට වඩා හොඳින් දන්නේය. එමනිසයි අපි කියන්නේ තව අවුරුදු 100 හෝ එවැනි තත්වයකට රට යාමට තිබෙන අවස්ථා දැන්මම වසා දැමිය යුතුයි කියා.

:       0       275

රුවන් Saturday, 04 November 2017 03:36 AM

"එයින්ම පෙනෙන්නේ බෙදුම්වාදයට හේතුව බලය බෙදීම නොව යම් ජන රාශියක් මත යෙදෙන පීඩනය සහ මානව හිමිකම් උල්ලංඝනය බව ය. " මොන ජන රාශියටද පීඩනයක් ඇති කරලා තිබෙන්නේ? මොකක්ද ඒ විශේෂ පීඩනය අනෙකුත් "ජන රාශීන්" ට නැති? මොන ජන රාශියේද මානව හිමිකම් උල්ලංඝනය වුනේ විශේෂයෙන්? එහෙනම් මොනවද ඒ මානව හිමිකම්? , එහම උල්ලංඝනය වුනා නම් ඒ මානව හිමිකම් එම ජන රාශියට පමණක්ද අහිමිව ගියේ? මේ රටේ සියලු ජන-වර්ග වලට අද නිදහසේ ජිවත් වෙන්න පුළුවන්, කවුරුත් ඔබව මරන්න එන්නේ නැහැ ඔබ යම් ජන-වර්ගයක උපත ලැබුවා කියා. ජනවර්ග අනුව බලය බෙදුවොත්, බලාගන්න පුළුවන් වෙයි, බලය තිබෙන ජාතිය බහුතරය වුනු ප්‍රදේශ වල වෙසෙන සුළු ජනවර්ග වලට වෙන දේ. මේ ලියුම්කරු කොහේදෝ යන වචන ටිකක් අරගෙන මිනිසුන් මුලා කරන්න හදනවා වගේ. අනාගතයේ ගලන ලේ වලට මොවුන් වගකියන්න ඕන.

:       0       160

bamunuarachchi Saturday, 04 November 2017 04:35 AM

අන් ජාතිකයින් නාට්ටාමි ගේ සිට විදෙශීය ඇමති දුරය දක්වා ඇති සියලුම තානාන්තරවල අපහසුවකි තොරව සේවයේ යෙදී සිටි හා අපහසුවකි තොරව සේවයේ යෙදී සිටින බව පෙනී පෙනී තිබියදී මෙම ලියුම් කරු කියන්නේ "තවත් ජාතියක් පාගන කවර ජාතියකට වුවද නිදහසක් නැත" කියාය. මෙම ලියුම් කරු කාගේ හෝ මුදලට යටවී තම ජාතිය පවා දෙන අසින්හලයෙක් බව පෙනේ. අදහස් දැක වීමක් නිසා වහෙන්ඔරෝ නැතිව කිලින්ම කියන්න සිංහලයා මොනජාතියද පාගාගෙන් ඉන්නේ කියලා. අපි ඉතිරිහරිය ඔබට කියන්නම්

:       1       110

bamunuarachchi Saturday, 04 November 2017 04:37 AM

රුවන් මේ ලිපිකරු එක්කෝ සිංහලයෙක් නොවෙයි නැතිනම් මෙයා කාගේදෝ කුලියකට කහිනවා.

:       119       379

bamunuarachchi Saturday, 04 November 2017 04:42 AM

"ඉහත සඳහන් කරුණුවලින් පෙනෙන්නේ ඇත්ත රට නොබෙදෙනු ඇති බව ය. රට බෙදෙනු ඇත යනු ජාතිවාදීන්ගේ හුඹස් බියක් පමණකි." නිකන් පිස්සු කෙලින්න එපා හලෝ. මොනවාද මේ කතා? මේ ලියුම්කරු මෙහෙමත් කියනවා "බලය බෙදීමෙන් රට තුළ බෙදුම්වාදය සවිමත් වෙතැයි කියනු ලැබේ. එහෙත් මෙරට බෙදුම්වාදය පැන නැඟ සවිමත් වූයේ බලය නොබෙදු මධ්‍යගත බලය පැවැති තත්ත්වයක් තුළ ය."

:       32       60

රුවන් Saturday, 04 November 2017 05:43 AM

බමුණුආරච්චි : මේ ව්‍යවස්ථාවට සහය දෙන්නේ මුදලට හෝ තම වර්ගයා කෙරෙහි ඇතිවුණු ස්වයන් වෛරයක් නිසා. බොහෝ විට තමන් ගැන ඇති නොසෑහිම නිසා තමයි මෙහෙම වෙන්නේ. වර්ග කිලෝමීටර හැටපන්දාහක් ඇතුලේ, විවිධ ජනවර්ග වලට, ජාතිය අනුව නීති සම්පාදන සහ නීති බලාත්මක කිරීමේ බලය ලබා දුන්නොත් නියම නරි නාඩගමක් බලාගන්න පුළුවන්. මේ ගමේ නීතිය නෙමේ, අල්ලපු ගමේ නීතිය, නියමෙට තියෙයි. අනාගතේ හැලෙන ලේ වලට මේ ව්‍යවස්ථාවට සහාය දෙන සියල්ලෝම වග කිව යුතු අතර, ඔවුන්ගේ මතු පරම්පරාවල් පවා ප්‍රසිද්ධියේ නම් කොට ලජ්ජා කල යුතුයි. අවාසනාව නම් මෙයට සහය දෙන්නවුන්ට තමන්ගේ මතු පරම්පරාවක් ඇත්තේ නැත.

:       47       185

ගිහාන් Saturday, 04 November 2017 06:46 AM

බමුණුආරච්චි මහත්තයෝ, ඔබතුමා රටට ආදරේ නියම සිංහ පුත්‍රයෙක්. ඒකට මේ මගේ උත්තමාචාරය.

:       91       138

bamunuarachchi Saturday, 04 November 2017 11:37 AM

ගිහාන් ස්තූති! තමන්ගේ රට දෙකඩ වෙද්දී පාලකයින් සිංහලයාට ද්‍රෝහිවෙද්දී සුළු ජාතිකයින් සිංහලයාට එරෙහි වෙද්දී රටේ සම්පත් පිටරැටියන්ට විකුණද්දී සිංහල බෞද්ධ උරුමයන් නැතිවෙද්දී රට බේරාදුන් රණ විරුවන් පෝරකයට යවා ත්‍රස්තයන් නිදහස ලබද්දී සිංහලයන් ගම බිම් වලින් එලවද්දී ජාතිවාදී නොවන සිංහලයා නිවටයෙකි.

:       172       536

lanka Monday, 06 November 2017 04:51 AM

බමුණා කියන විදිහට රට දෙකඩ වෙලා නැත. පාලකයන් ගැන කතා කලයුතු නැත මන්ද පාලකයා තමන්ගේ වාසියට ඕනෑම ජාතියක් පාවාදීමට පසුබට නොවනු ඇත, සුළු ජාතීන් සිංහලයාට ද්‍රෝහී වීම යනු මවාපාමකි. නමුත් සිංහලත්වය මුලට තබා අනන්තවත් සුළු ජාතී විරෝධී සංවිධාන අද බිහි වී ඇත. ඔවුන් එළිපිට තමන්ගේ වෛරය වපුරති මරනවා කොටනවා යන වදන් පවා ප්‍රසිද්ධ මාධ්‍යයේ කියති. ජාතික කොඩිය විකෘති කරති. රටේ සම්පත් පිටරැටියන්ට විකිණීම පිලිබඳ ආර්ථික විද්‍යා කෝණයකින් නොබලා හුදෙක් මඩ ගැසීමට පමණක් කල ප්‍රකාශයක් බව පෙනී යයි. රණ විරුවන් හෝ රටේ කුමන පුරවැසියකු වුවත් රටේ පොදු නීතියට යටත් විය යුතුයි. එය රටේ ජනාධිපතිටත් පොදු විය යුතුයි. සිංහලයන් ගම් බිම් වලින් එලවා ඇත්තේ කොහෙද? කවදාද? මේ සියලු දේ බමුණාගේ දේශපාලන දෘෂ්ට්යෙන් දොඩනා වදන් මිස බහුතර සිංහලයාගේ මතය නොවන බව මෙය කියවන සියලු මාධ්‍ය මතධාරීන්ට කියනු කැමැත්තෙමි

:       0       1

nimmi Sunday, 05 November 2017 01:57 PM

බමුණුආරච්චි ඔබට බෙහෙවින්ම තුති.

:       2       58

bamunuarachchi Friday, 10 November 2017 12:12 PM

ඔබලා වගේ සිතන අය තව මේ සිරිලකට ඇති වුනොත් ලක්මැණීට තිස්තුන් කෝටියක්‌ දෙවිවරුන්ගේ පිහිටය.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 139 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site