එම්.එස්.එම්. අයුබ්
පසුගිය 11 වැනිදා දුම්රිය රියැදුරන් ඇතුළු එම දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක් හදිසියේ කිසිවකුටත් නොදන්වා ආරම්භ කරන ලද වැඩ වර්ජනය නිසා කොටුව දුම්රිය පළේ විශාල කලබගෑනියක් ඇතිවිය. තම නිවෙස්වලට යාමට නොහැකිව අතරමං වූ දුම්රිය මගීහු කෑ කෝ ගසමින් කලබලයක් කිරීම නිසා තත්ත්වය සංසිඳුවීම සඳහා පොලීසියට ද මැදිහත්වීමට සිදුවිය.
එම අවස්ථාවේ දී ගන්නා ලද විශේෂ ඡායාරූපයක් ඇතැම් පුවත්පත්වල පළවිය. ඉන් දැක් වුණේ ප්‍රකෝප වූ මගීන්ගෙන් දුම්රිය රියැදුරකු ආරක්‍ෂා කර ගැනීම සඳහා තමන්ට සිදුවිය හැකි අනතුර ද නොතකා පොලිස් නිලධාරියකු කටයුතු කරන ආකාරයයි.
මේ ඡායාරූපය පළවූයේ උද්ඝෝෂණය හා පොලිසිය ඒවාට දක්වන ප්‍රතිචාරය පිළිබඳව සංවාදයක් පැවැති අවස්ථාවකය. මත්තල ගුවන් තොටුපළ විදේශීය සමාගමකට බදු දීමේ යෝජනාවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ඔක්තෝබර් 6 වැනිදා හම්බන්තොට දී පැවැත් වූ උද්ඝෝෂණයේදී සහකාර පොලිස් අධිකාරිවරයකු ප්‍රසිද්ධියේ මහ පාරක දී පොලිස් නිලධාරීන් විසින් අල්ලාගෙන සිටි පුද්ගලයකුට පහරදීම නිසා මෙම සංවාදය ඇතිවී තිබිණි
එක් තැනෙක පොලීසිය අරගල කරන්නන්ට ප්‍රසිද්ධියේ පහර දෙද්දී මෙම ඡායාරූපයේ සිටින පොලිස් නිලධාරියා තමනට සිදුවිය හැකි අනතුරද නොතකා අරගල කරන්නකු ආරක්‍ෂා කරන්නට මැදිහත් වීම නිසා එම ඡායාරූපයට ද විශේෂත්වයක් ලැබී තිබිණි.
මෙම ඡායාරූපයෙන් කියැවුණු අනෙක් වැදගත් කරුණ නම් වෘත්තීය අරගල සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දක්වන ආකල්පයයි. වෘත්තීය අරගලවලින් සාමාන්‍ය ජනතාවට ඇතිවන බලපෑම් කොතෙකුත් තිබුණ ද ඔවුන් ඒවා සෑමවිටම ඉවසා නොසිටින බවට මෙම සිද්ධිය හොඳම උදාහරණයකි.
මෙම සිද්ධිය වෘත්තිය අරගල සම්බන්ධයෙන් එම අරගලවලට සම්බන්ධ නැති සාමාන්‍ය ජනතාව තුළ ගොඩනැඟෙන අලුත් ප්‍රවණතාවක් පෙන්වන්නේද කියා ද සැක සිතේ. එසේ සැක සිතෙන්නේ මෑතක දී ඒ හා සමාන ලෙස සාමාන්‍ය ජනතාව විවිධ වෘත්තීය සමිතිවල වෘත්තිය අරගල සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති නිසාය.
දුම්රිය මගීන් දුම්රිය රියැදුරන් සමඟ ගැටුණේ ඔවුන් එම රියැදුරන්ගේ වෘත්තිය අරගලයට හේතු වූ ඉල්ලීම්වලට විරුද්ධ වූ නිසා නොවේ. එම මඟීන්ගෙන් සමහර විට දෙතුන් දෙනකු හැර අනෙක් පිරිස දුම්රිය රියැදුරන්ගේ ඉල්ලීම් මොනවා ද කියාවත් නොදන්නවා විය හැකිය. එසේ තිබිය දී ඔවුන් එම ඉල්ලීම්වලට විරුද්ධවූවා යැයි කියා හෝ ඔවුන් ආණ්ඩුවට හෝ දුම්රිය බලධාරීන්ට පක්‍ෂපාතීව දුම්රිය රියැදුරන් සමඟ ගැටුම් ඇති කරගන්නට පෙළඹුණ බව හෝ කිව නොහැකිය.
ඔවුන්ගේ ප්‍රශ්නය සරලය. රැකියාව හෝ වෙනත් රාජකාරිවලට කොළඹට පැමිණි ඔවුන් රෑ බෝවන්නට පෙර නිවසට යා යුතුය. සමහරුනට දුම්රිය බැස එතැනින් එහාට ද බස් රථ අල්ලා ගත යුතුව ඇත. සමහරු දුම්රියෙන් බැස සැතපුම් ගණනක් පයින් යාතුව ඇත. එසේ තිබිය දී කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හිටි අඩියේ රියැදුරන් වර්ජනය කළ විට මගීන් අතරමං වීම ඉතා පැහැදිලි කරුණකි. සවස් වනවිට බස් ධාවනයද ක්‍රමයෙන් අඩුවී නැති වී යයි. ඔවුන් කෝප වූයේ ඒ නිසාය.
මාස කිහිපයකට පෙර වයඹ පළාතේ රෝහලක ද මෙවැනි සිද්ධියක් ඇතිවිය. එකිනෙකට ආසන්න දින කිහිපයක් දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය ආයතනය හෙවත් සයිටම් ආයතනය වසා දමන ලෙස බලකරමින් වෛද්‍යවරුන් වැඩ වර්ජනය කර තිබූ තත්ත්වයක් යටතේ ඉහත කී රෝහලේ ද වෛද්‍යවරු එම කරුණ පදනම් කර ගෙනම වැඩ වර්ජනයක් කළහ. එම රෝහලට පැමිණි රෝගීන් හා ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් පිරිසක් කලබලයක් කළේ ඒ නිසාය.
එසේම පසුගිය දිනෙක මාර්ග අවහිර කරමින් කොළඹ මහාමාර්ගයක උද්ඝෝෂණය කළ පිරිසක් සමඟ ද එම මාර්ග අවහිරතාව නිසා පීඩාවට පත් පිරිසක් බහින් බස් වූහ. එතැනදී ද උද්ඝෝෂකයන්ට අභියෝග කළ පිරිස උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම්වලට විරුද්ධ වූයේ නැත.
පසුගිය අගෝස්තු මාසයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයෝ අඛණ්ඩව වර්ජනයක් ආරම්භ කළහ. ඊට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ මර්දනයයි. ආණ්ඩුව හමුදාව යොදවා කොලොන්නාවේ තෙල් සංස්ථා පරිශ්‍රය හමුදා භාරයට පත් කළේය. පොලීසිය යොදවා වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගත්තේය. මෙය පැහැදිලිවම දරදඬු ක්‍රියා මාර්ගයකි. වෘත්තීය සටන් අරගල හමුදා පොලිස් භටයන් යොදවා මර්දනය කිරීමකි.
එහෙත් මේ දරදඬු ක්‍රියාමාර්ගයට සාමාන්‍ය ජනතාව විරුද්ධ වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇත්ත වශයෙන්ම රටේ ජනතාවට අවශ්‍ය වූයේ කෙසේ හෝ තෙල් බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත් විය යුතුය, යන්නයි. වර්ජනය පැවැති දින දෙක තුළදීම ඔවුන් හෙම්බත් වී තිබිණි. ඒ නිසා ආණ්ඩුවේ දරදඬු ක්‍රියා මාර්ගයට විරුද්ධවීමට වඩා සිදුවූයේ කෙසේ හෝ තෙල් සැපයීම යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන් සතුටු වීමය.
එම වර්ජකයන්ට කොලොන්නාවේ ප්‍රදේශවාසීන් යැයි කියා ගන්නා පිරිසක් පහර දුන්හ. ඒ සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාට එරෙහිව චෝදනා එල්ල විය. කෙසේ වෙතත් එම පහරදීමට එරෙහිව එකදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක ලිපියක් හෝ කතුවැකියක් පළවූ බවක් අපට මතක නැත. ඒ වර්ජනය කෙසේ හෝ අවසන් විය යුතුය යන ජනතා මතය ජනමාධ්‍ය තුළට කාන්දු වූ ආකාරයයි.
මෙසේ පසුගිය මාස ගණනාවක සිදුවීම් දෙස බලන විට වෘත්තීය අරගලකරුවන්ට සාමාන්‍ය ජනතාව අභියෝග කිරීමේ ප්‍රවණතාවක් ක්‍රමයෙන් ගොඩ නැඟීගෙන එන්නේ දැයි සැක සිතේ. එය එසේ නම් ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දිනපතාම පාහේ මෙම අරගල කෙරෙමින් පැවතීමය.
හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කරනු ලැබීමෙන් පසු ඒ මහතාගේ කාලයේ පැවැති වෘත්තිය අරගල සම්බන්ධයෙන් වරක් ප්‍රකාශයක් කළ ඒ මහතාගේ බිරිඳ හා පසුව අගමැති ධුරයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මගේ සැමියා නොමරා මැරුවේ එන්.එම්. යැයි කී බව පැවසේ. ඒ බණ්ඩාරනායක මහතාගේ පාලන කාලයේදී ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ නායකත්වයෙන් පැවැති ලංකා සමසමාජ පක්‍ෂයේ මෙහෙයවීමෙන් වැඩ වර්ජන විශාල සංඛ්‍යාවක් කෙරී ඇති නිසාය. ඒ කාලයේදී වසරක් තුළ වසරක දින සංඛ්‍යාවට වඩා වැඩි වැඩ වර්ජන සංඛ්‍යාවක් පැවැති බව ද කියැවේ.
එවැනි තත්ත්වයකදී ආණ්ඩුව පමණක් නොව ජනතාවද නොමරා මැරීමක් සිදුවීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතු දෙයකි. දැන් ජීවිතවලට හානි ගෙනදෙන වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන හැර අනෙක් ක්‍ෂේත්‍රවල වැඩ වර්ජන එතරම් සිදු නොවුවද ජනතාව හෙම්බත් කරන තත්ත්වයට උද්ඝෝෂණ හා පෙළපාළි පත්වී තිබේ.
එසේ වුවද වර්ජකයන්ගේ හෝ උද්ඝෝෂකයන්ගේ අයිතිවාසිකම්වලට ජනතාව විරුද්ධ බවක් මින් අදහස් නොකෙරේ. වෙනෙකක් තබා බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය ජනතාවට මහාමාර්ග අවහිර කරමින් මිනිසුන් උද්ඝෝෂණය කරන්නේත් ජනතාව පෙළමින් වැඩ වර්ජනය කරන්නේත් කුමන ඉල්ලීම් ඉදිරිපත් කරමින්දැයි දන්නේ නැත. උල්ලංඝණය වී ඇත්තේ අරගලකරුවන්ගේ කුමන අයිතිවාසිකම්දැයි බොහෝ දෙනා දන්නේ නැත.
අනෙක් අතට බොහෝ අරගල දේශපාලනීකරණය වී ඇති තත්ත්වය යටතේ එම අරගල සැබැවින්ම කුමන අරමුණෙන් කෙරෙන්නේ දැයි ජනතාවට තේරුම් ගැනීම ද දුෂ්කරවී ඇත.
උදාහරණයක් වශයෙන් සයිටම් විරෝධී අරගලය ගත හැකිය. මෙම ආයතනය ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදීය. ඊට අවශ්‍ය කරන නීතිමය අවසරය එම ආණ්ඩුව යටතේ දී තිබිණි. එම ආණ්ඩුව යටතේ මෙම ආයතනයට රුපියල් මිලියන 600ක බැංකු ණය මුදලක් ලබාගැනීමට ද හැකිවිය. එම ආණ්ඩුවෙන් මෙම ආයතනයේ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ද ප්‍රදානය කෙරිණි.
දැන් වසරකට වැඩි කාලයක් තිස්සේ සයිටම් ආයතනය වසා දමන ලෙසට බල කරමින් වැඩ වර්ජනය කරන වෛද්‍යවරුන් හෝ උද්ඝෝෂණය කරන වෛද්‍ය සිසුන් හෝ ඔවුනට නායකත්වය දෙන දේශපාලන පක්‍ෂ හෝ අද මෙන් එදා එම ආයතනයට විරුද්ධ වූයේ නැත. දැන් මෙම ආයතනයට එරෙහිව සිටින ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් එදා මෙම ආයතනය අනුමත කරමින් කරන ලද කතා ආණ්ඩුවේ විද්‍යුත් ජනමාධ්‍ය මේ දිනවල විකාශය කරයි.
අනෙක් අතට එදා එක්සත් ජාතික පක්‍ෂය මෙම ආයතනයට විරුද්ධ විය. මේ නිසා මේ උද්ඝෝෂණය වැඩ වර්ජනවලට සැබැවින්ම හේතුව ජනතාවට තේරුම් ගත නොහැකිවී තිබේ. ඒ තත්ත්වය යටතේ අරමුණු අපැහැදිලි මෙම උද්ඝෝෂණ හා වැඩ වර්ජන නිසා තවදුරටත් පීඩාවට පත්වන්නට ජනතාව කැමැති වනු ඇත්ද?
අනෙක් අතට කොළඹ මහාමාර්ග අවහිරවන ආකාරයේ උද්ඝෝෂණයක් නැති දිනයක් නැති තරම්ය. ඒවාට පාදක වන ඉල්ලීම් එතරම් සාධාරණ වුවද ජනතාව සැමදාම මේ හිරිහැරය විඳීමට කැමැති වන්නේ නැත.
මෙම උද්ඝෝෂණ හා වැඩවර්ජන යම් පිරිසකගේ පමණක් නොව විටෙක සමස්ත ජනතාවගේම අයිතීන් වෙනුවෙන් කෙරෙන ඒවා වන හෙයින් තාවකාලිකව ඒවා නිසා ඇතිවන දුෂ්කරතාව ඉවසා සිටිය යුතුයැයි ජවිපෙ නායකයෙක් පසුගියදා කීවේය. තනි වර්ජනයක් උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් එය සැබෑ විය හැකිය. එහෙත් මේ තරම් “තාවකාලික” පීඩාවන් සංඛ්‍යාවක් කැමැත්තෙන් ඉවසා සිටීමට ජනතාව පොළඹවා ගැනීමට අසමානා්‍ය දක්‍ෂතාවක් අවශ්‍ය වනු ඇත. මෙරට ඇති කිසිදු පෂක්‍යකට හෝ වෘත්තීය සමිතියකට එම දක්‍ෂතාවය ඇති බවක් නොපෙනේ.
පසුගිය වසරේ දිනෙක සවස් යාමයක කොළඹ තොටළඟ පැල්පත්වාසීන් පිරිසක් තමන්ගේ නිවාස ප්‍රශ්නයට විසදුම් ඉල්ලා ජපන් මිත්‍රත්ව පාලම මත වාඩිවි උද්ඝෝෂණයක් කළහ. පාසල් ගොස් නිවෙස් බලා යන දරුවන් රෝහල්වලට ගොස් එන රෝගීන්, ගුවන්තොටුපළට යන මඟීන්, රැකියාවට ගොස් නිවෙස්බලා යන කාන්තාවන් වැනි අයද ඇතුළුව දස දහස් ගණන් ජනතාවට ඒ නිසා වාහනවලම සිරවී පැය හතරක් හෝ පහක් සිටින්නට සිදුවිය.
පැල්පත්වාසීන්ගේ ප්‍රශ්නය සාධාරණ විය හැකිය. එහෙත් දස දහස් ගණන් මිනිසුන් පිරිසක් ප්‍රාණ ඇපයට ගන්නට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද?
ඒ දිනවලටම රටේ විවිධ පළාත්වලින් දස දහස් ගණන් ගොවින් කොළඹට ගෙන්වා කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග හයම අවහිර කරන බවට ජවිපෙ වෘත්තීය සමිති නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා කියා සිටියේය. ඒ ජනාධිපතිවරණයේදී පොරොන්දුවූ පරිදි ගොවීන්ට පොහොර සහනාධාරය දෙන ලෙසත් වී අස්වැන්න විකුණා ගැනීමට සාර්ථක යාන්ත්‍රණයක් ඇති කරන ලෙසත් රජයට බල කරමිනි.
මේ ඉල්ලීම් අසාධාරණ යැයි කිව හැක්කේ කාටද? එසේම ඉල්ලීම් ඉටු කරවා ගැනීම සඳහා කොළඹ නගරයට එන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමේ සටන් උපක්‍රමය සාධාරණීයකරණය කළ හැක්කේ කාටද?
වෘත්තීය සමිති අරගල හා ඒවායේ ක්ෂණික ප්‍රතිඵල අතර ඇති ප්‍රතිවිරෝධය නම් ඒවා සාර්ථක වන්නට නම් ජනතාව හැකි තරම් පෙළන්නට අවශ්‍ය වීමයි. වෛද්‍ය වර්ජනයක් සාර්ථක වන්නට නම් රෝගීන් උපරිම සංඛ්‍යාවක් පීඩාවට පත්වී හැකි උපරිම සංඛ්‍යාවක් මිය යා යුතුය. මෙය එළිපිට කිසිවකුනොකීවද ආණ්ඩුවට බලපෑමක් ඇතිවන්නේත් එමඟින් ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න විසඳන්නට පෙළඹෙන්නේත් එවැනි තත්ත්වයක් ඇතිවුහොත්ය.
විදුලි සේවක වර්ජනයක් සාර්ථක යැයි සැලකෙන්නේ ඉන් රටේ ආර්ථිකයට උපරිම බලපෑමක් ඇති වී උපරිම පිරිසක් පීඩාවට පත්වී එමගින් ආණ්ඩුවට බලපෑමක් ඇතිවුවහොත්ය.
මෙය අවසාන කාලයේදී කොටි සංවිධානය කටයුතු කළ ආකාරයට සමානය. ඔවුහු අවසාන කාලයේදී තමන් සමඟ මුල්ලිවයික්කාල්හි කොටු වූ ජනතාව උපරිම වශයෙන් පීඩාවට පත්වී ඝාතන සිය ගණනින් සිදුවී එමඟින් විදේශ මැදිහත්වීමක් අපේක්‍ෂා කළහ. ඒ සඳහා යුද මුක්ත කලාපය ලෙස ආණ්ඩුව ප්‍රකාශයට පත්කළ ප්‍රදේශයේ පවා සාමාන්‍ය ජනතාව අතර සිට හමුදාවලට ප්‍රහාර එල්ල කළහ. එය එම යුද මුක්ත කලාපයට හමුදා ප්‍රතිප්‍රහාර ගෙන්වා ගැනීමක් විය.
වෘත්තීය සමිති බොහෝ විට තම අරගවලට ජනතා සහාය අපේක්‍ෂා කරයි. ඒ සඳහා පත්‍රිකා බෙදයි. සටන් පාඨ ලෙස ඉල්ලීම් ලියූ සටන් පුවරු ප්‍රදර්ශනය කරයි. ඇතැම් දේශපාලන පක්‍ෂ තම වෘත්තිය සමිති මගින් විවිධ වෘත්තීය අරගල කරන්නේ ධනපති පන්තිය කම්කරුවන්ගේ නිර්ධනීන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැති බව ඔප්පු කොට පෙන්වා එම කම්කරුවන් විප්ලවීය රාජ්‍ය පාලන වෙනසක් සඳහා යොමු කරවා ගැනීමටය.
එහෙත් ඒ අතරම ඔවුහු එම අරගල මඟින් වෘත්තිය සමිතිවලට සම්බන්ධ හා සම්බන්ධ නැති ලක්‍ෂ සංඛ්‍යාත නොවේනම් දස දහස් සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවට හිරිහැර පමුණුවා ඔවුන් අමනාප කර ගනිති.
දැන් මේ ප්‍රශ්නය ගැන අලුතින් සිතන්නට වෘත්තීය සමිතිවලට කාලය පැමිණ තිබේ. කම්කරුවන්ගේ හා වෘත්තීයවේදින්ගේ අයිතිවාසිකම් හා පොදු ජනතාවගේ අයිතිවාසිකම් තුලනය කරන ක්‍රමවේදයන් සොයන්නට කාලය පැමිණ තිබේ.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වර්ජන - තර්ජන