ජනාධිපතිවරයා ධුරයට පත්ව මේ වනවිට මාස තුනහමාරක් පමණ වේ. එම කාලයේදී ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු පෙනෙන්නට තිබුණ ද සමස්තයක් සේ ගත්කල ජනාධිපතිවරයා සාධනීය ගමනක් යන්නට උත්සාහ කරනු පෙනේ. කෙසේ වෙතත් මේ දේශපාලන චිත්‍රය ගැන මට මූලික ගැටලු තුනක් මතුවේ. පළමු ගැටලුව ඇතැම්විට මගේ සිතෙහි වූ හුඹස් බියක් වීමට පුළුවන. මා මතුකරන අසාධාරණ පැනයක් වීමට ද පුළුවන.
එය නම් මේ හොඳ පැත්තට යන ආණ්ඩු ගමන සිදුවන්නේ මහමැතිවරණය අවසන් වනතුරු පමණක් ද යන්නයි. දෙවැනි පැනය නම් මහමැතිවරණයෙන් පසුව මේ ගමන යන්නට ජනාධිපතිවරයාගේ වටේ සිටින පිරිස ඉඩදේ ද යන්නයි. තුන්වැන්න නම් මේ යන ගමන කිසියම් හමුදාකරණයක් දෙසට වූ පාලනයකට පාර කපන්නේ ද යන්නයි. මෙවැනි පැනයක් ඉදිරිපත් කිරීමට මා හට කිසියම් තර්කයක් මතුවන්නේ රටේ දේශපාලන ගමනේ ඇසට පෙනෙන යම් යම් ඡායා මාත්‍ර හේතුවෙනි.
රටට විනයක් නැතැයි ද විනයක් හැදීමට තදබල පාලකයකු අවශ්‍ය යැයිද යම් මතයක් මේ රටේ නිර්මාණය වී තිබේ. මේ ප්‍රවාදය සමඟ වෙනදාට වඩා වැඩිපුර මාර්ග බාධක සංඛ්‍යාවක් දිවයිනේ විවිධ පෙදෙස්වල ඉදිවෙමින් තිබෙන අයුරු ද දැකිය හැකිය. කොළඹින් දුර බැහැර නිරන්තරයෙන් ගමනෙහි නිරත වන අයකු හැටියට මෙසේ සංඛ්‍යාත්මකව වර්ධනය වන මාර්ග බාධකත් ගිනිඅවි අතැතිව පරීක්ෂා කිරීම්වල නිරත හමුදා සෙබළුත් මම දකිමි. මෙම නිරීක්ෂණ හුදු දර්ශන පථයෙන් එහා ගිය උපකල්පනවලට මා යොමු කරන්නේ මහමැතිවරණයෙන් පසුව ආණ්ඩුව ආර්ථික හා දේශපාලන තලයෙහි මුහුණ දීමට සිදුවන අභියෝග සමඟ මේ පෙර ලකුණු අන්තර්සම්බන්ධ වන බැවිනි. නිදසුනකට ගතහොත් ඉදිරියේදී ආණ්ඩුවට මුහුණදීමට සිදුවන්නේ දැඩි ආර්ථික අර්බුදයකටය. එවිට අත්‍යවශ්‍යයෙන්ම සිදුවන ඊළඟ දෙය වන්නේ පාලනය දැඩි වීමය. මේ සඳහා පාලන තන්ත්‍රයක් හැටියට හමුදාවට සාමාන්‍ය ජනයා මේච්චල් කිරීමේ බලය වැඩිපුර ලබාදීමට අවස්ථාවක් තිබේ. එහි භයානකත්වය නම් හමුදාව එවැනි තැනකට තල්ලු කරගතහොත් මේ රටේ මහජන ධනය සීමිත පිරිසක් කොල්ල කෑව ද නිර්මාණය වනු ඇත්තේ කිසි කෙනකුට කටක් ඇරීමට නොහැකි තත්ත්වයක් වන බැවිනි. පැවැති සෑම ආණ්ඩුවක්ම පාහේ මහජන ධනය හොරා කෑ බව සක්සුදක් සේ අපට පැහැදිලි පරිසරයක වුවද මේ කියන තත්ත්වය ඊට තරමක් වෙනස්ය. ඊට හේතුව කුමක් ද? පැවැති ආණ්ඩු යටතේ හොරකම් සිදුවුණත් ඒවායෙන් අවම තරමින් මහා පරිමාණ යැයි සැලකිය හැකි සිදුවීම් කිහිපයක් හෝ ඉලක්ක කරගෙන අධිකරණ ක්‍රියාවලි දියත් විය. එහෙත් හමුදාකරණයක් ඇති වුවහොත් එය අවස්ථාව නැත්තටම නැති විය හැකිය. එය කෙසේද යත් ඇතැම්විට හොරකමක් සිදුවුණ බවක්වත් මහජනතාවට දැනගැනීමට ඉඩක් නැති වනු ඇත. මා ප්‍රාර්ථනා කරන්නේ මගේ මේ උපකල්පනය වැරැදි සිතුවිල්ලක් වේවා කියාය.
ආණ්ඩුකරණයේ දිශාව සම්බන්ධයෙන් මා මතුකරන තත්ත්වය නිර්මාණය කිරීමට මූලිකවූවන් ගැන මෙහිදී කතා කළ යුතුමය. ඒ නම් අනෙකු නොව 2015 දී මේ රටේ පාලන බලය ලබාගත් යහපාලන දේශපාලන කණ්ඩායමයි. ජනතාවට පොරොන්දු දුන් පරිදි මහජන ධනය කොල්ලකෑමට ඉඩ නොදී සිය පාලන කාලයේදී කළ යුතු දේ නිසියාකාරව සිදුකළේ නම් රට මෙවන් දිශාවකට යන්නට තිබූ ගමන වැළැකෙන්නට ඉඩ තිබිණි. එනිසා මේ රට කිසියම් ආකාරයකට අගාධයකට වැටුණ හොත් එහි පූර්ණ වගකීම 2015-2019 කාලයේ රාජ්‍ය පාලනය කළ පිරිස් ගත යුතු බව අවධාරණ කටයුතුය. එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකත්වයේ සිටින පිරිස් අද සිටින්නේ තම තමන්ගේ බල පරාක්‍රමය රැකගැනීමේ අරමුණෙන් රටත් රටේ ජනතාවගේ අවශ්‍යතාත් මුළුමනින්ම ඉවත දැමූ තැනකය.
මේ නිසා විපක්ෂයේ භූමිකාව අත්හළ වුන් ලෙස එ.ජා.ප නායකයෝ ක්‍රියා කරමින් සිටිති. මෙවැනි අවධියක විපක්ෂය දුර්වල වීම යනු රටේ අභාග්‍යයකි. විශේෂයෙන්ම තමන්ට බලය තිබූ කාලයේ වංචනික හා අනිසි පාලන රටාව නිසා රට විනාශමුඛයට තල්ලු කළේ ද ඊට එහා ගිය විනාශයක් කිරීමට මේ වගකීම් විරහිත විපක්ෂ භූමිකාව හේතු වනු ඇත. විපක්ෂයක මූලික කාරියක් වන්නේ ආණ්ඩුව වැරැදි තීන්දු ගන්නා විට ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටීමය. එහෙත් අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ ඇත්තේ තනිකරම කුළල් කාගැනීමේ දේශපාලනයකි. මම කලක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් ද වූවෙමි. එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ සාමාන්‍ය ජනයාට සුවහසක් බලාපොරොත්තු ඇති කළ දැවැන්ත පක්ෂයකි. එහෙත් අද වනවිට එය තමන්ගේ කාර්යභාරය හා භූමිකාව අත්හැර ඇති බවට අපේ කටවල්වලින්ම කියන්නට සිදුවීමම කනගාටුදායකය. රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවතින්නටත් එහි ඵල නෙලාගන්නට ජනතාවට හැකිවන්නටත් නිසියාකාරව සිය වගකීම ඉටුකරන විපක්ෂයක් ශක්තිමත්ව ගොඩනැගීම අත්‍යවශ්‍යය. එහෙත් අද එ.ජා.පයෙන් එය ඉටුවන්නේද? මේ ප්‍රශ්න අප කලක් තිස්සේම පක්ෂ නායකත්වයට යොමු කළ ඒවාය. එහෙත් නායකත්වය සමඟ සිටියේ අපට වඩා වෙනස් අරමුණු සහිත, අපේ හඬවලට වඩා විශාල හඬක් ඇති පිරිස්ය. ඉතින් අපේ හඬ යටපත්ව ගියේය. අප වැන්නන්ගේ හඬට සවන් නොදීමේ ඵල විපාක ගැන දැන් හෝ ආපසු හැරී සිතා බලන්නට පක්ෂ නායකත්වයට හැකි නම් එය වටී.
රටේ ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය ප්‍රධාන ආයතන දෙක නම් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුවයි. මේ ආයතන දෙකටම යම් යම් දේශපාලන බලපෑම් කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව අපට පෙනී යයි. රටවැසියකුට යම්කිසි අසාධාරණයක් සිදුවුවහොත් අවසාන වශයෙන් යන්නට තිබෙන්නේ මේ ආයතන දෙකටය. ඉතින් මේ ආයතන ද්විත්වයේ කඩාවැටීමක් වුවහොත් එය පොදුජනතාවගේ පැත්තෙන් විශාල අභාග්‍යයකි. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය අතර වත්මනෙහි මතුව ඇති විවාදයේ පසුබිම ද විමසීම වටී. මීට මාස හත අටකට පමණ පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සමඟ කතාබහක නිරතවීමට මට අවස්ථාව ලැබිණි. එහිදී අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පුරාජේරුවෙන් කියාසිටියේ “අපි සතියකට අධිචෝදනා පත්‍ර නවසිය පනහක් පමණ අධිකරණවලට දානවා” කියාය. නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු හැටියට මේ කතාව ඇසූ මට ඇතිවූයේ හාස්‍යකි. මන්දයත් අධිචෝදනා පත්‍රයක් සැකැසීම ඒ සා වගකිවයුතු කටයුත්තක් වන බැවිනි. එම අවධියේ රජයේ අධිනීතිඥයකු අධිචෝදනා පත්‍රයක් සැකැසීමට පෙර හොඳින් කියවා බලා නිරීක්ෂණය කර තම ජ්‍යෙෂ්ඨ නිලධාරියාට වාර්තාවක් යැවිය යුතුය. අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න තීරණය වූයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අදාළ වාර්තාවේ නිර්දේශවලට එකඟවීම හෝ නොවීම මතය. දෙදෙනාට එකඟතාවකට පැමිණිය නොහැකි නම් ඊළඟට කෙරුණේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා තමාට ඉහළින් සිටින අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට වාර්තාවක් යැවීමය. එවිට සියලු කරුණු සලකා බලා තීන්දුවක් ගන්නේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාය.
එහෙත් දැන් මේ කියන ආකාරයට නම් අධිචෝදනා පත්‍ර සැකැසීමේදී යථෝක්ත සියුම් ක්‍රමවේද අනුගමනය කරන්නේදැයි සැකයකි. මෙයින් අපට කියන්නේ අස්සනක් යොදා අධිචෝදනා පත්‍රයක් අධිකරණයට යොමුකිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති ගොනු ඉවත්කිරීමේ පහසුම ක්‍රියාව බවට පත්ව ඇති බවය. මෙහි දුර්භාග්‍ය නම් ඉන්පසුව අදාළ නඩුවේ අවසානයක් වනතුරු වසර පහ හයක් අධිකරණවල කාලයත් මුදලුත් නාස්ති කරමින් රස්තියාදුවන්නට විත්තිකරුට සිදුවීමය. මෙම කාලසීමාවේදී ඇතැම්විට ඔහුට හෝ ඇයට තම රැකියාව නැතිවීමට පුළුවන.
විදෙස්ගතවීමට ලැබුණු අවස්ථා අහිමිවීමට පුළුවන. ඇතැම්විට සිය පවුල් පිටින් කැඩී විසිරී ජීවිතයම කාලකණ්ණි අඩියකට වැටීමට ද පුළුවන. නීති ක්‍ෂේත්‍රයේ කටයුතු කරන්නකු හැටියට මා හොඳින්ම දන්නා දෙයක් නම් සුලබ ලෙස මෙසේ ඉදිරිපත් කරන අධිචෝදනාපත්‍ර අඩුපාඩුවලින් ගහණය. අධිචෝදනා පත්‍ර නොයැවිය යුතු අවස්ථාවල පවා යැවෙන මේ අධිචෝදනා පත්‍රවල එදා තිබූ ගුණාත්මකභාවය අද නැත. යම් ආකාරයකට දේශපාලන බලපෑම් නීතිපති දෙපාර්තමේන්තුවට ඇතැයි කියා සිතෙන තැනකට මේ ප්‍රවණතාව වර්ධනය වී තිබේ. ඇතැම් අපරාධ නඩු වසර දහය, පහළොව මෙන්ම විස්සක් වැනි දීර්ඝතර කාලපරිච්ඡේදයක් ගෙවා නිමාවට පත්වන අයුරු අපි දකිමු. ඊට විවිධ හේතු තිබිය හැකිය. එහෙත් මෙවැනි දැවෙන ප්‍රශ්නවලට පැලැස්තර විසඳුම් නොදී දීර්ඝකාලීන විසඳුම් දීම පාලකයන්ගේ යුතුකමකි. මනා අධ්‍යයනයකින් පසුව ඒ සඳහා විසඳුමක් නොදෙන්නේ නම් දසදහස් ගණනක් අහිංසක මිනිසුන්ට නිරපරාදේ අධිකරණවල රස්තියාදු වන්නටත් ඇතැම්විට නිරපරාදේ සිපිරි ගෙවල්වලට ගාල්වෙන්නටත් සිදුවනු ඇත.
ඇතැම් දේශපාලකයන්ට විරුද්ධව මහාධිකරණවල වසර ගණනක් තිස්සේ නඩු විභාග වන අයුරු පසුගිය කාලය වනවිට සාමාන්‍ය කරුණක් වී තිබිණ. මේ දේශපාලකයන්ගෙන් වැඩි පිරිසක් ආණ්ඩු මාරුවත් සමඟ ඇමැතිවරුන් බවට පත්වුණේ විශාල දේශපාලන බලයක් ද සමගිනි. උත්ප්‍රාසජනක ලෙස එම නඩු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කරගත්තේ ද ඉන්පසුවය. වසර පහක් පමණ තිස්සේ අධිකරණය හමුවේ තිබූ අධිචෝදනා පත්‍රයක් විත්තිකරුවා ඇමැතිවරයකු වීම සමඟ ඉල්ලා අස්කරගන්නා තැනට නීතිපතිවරයා පත්වන රහස අපට නම් කුකුසකි. එමෙන්ම දේශපාලන පසුබිමක් සහිත සිදුවීම් අළලා වේගවත් අධිකරණ ක්‍රියාවලි දියත්වීම ද එබඳුය. ඇතැම් නඩු අහන්නට පටන්ගන්නේ එක්ස්ප්‍රස් කෝච්චි වගේය. එහෙත් ඒ අතරේම අධිචෝදනා පත්‍ර ගොනු නොකළ, චෝදනා පත්‍ර අධිකරණවලට නොඑවූ සිදුවීම් දහස් ගණනකි. නිදසුනකට මා දන්නා සිදුවීම් දෙකක් දැක්විය හැකිය. දැන් වසර හත අටක් තිස්සේ පොලිසිය අධිකරණයට පැමිණ කියන්නේ විමර්ශනවලට අදාළව තවමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී නැති බවය.
මෙසේ එකම රටක එක් මනුෂ්‍ය කොට්ඨාසයක නඩු වසර ගණනක් පමාවෙද්දී තවත් නඩු වර්ගයක් උදෙසා නීතිපති දෙපාර්තමේන්තුව විදුලි වේගයෙන් ක්‍රියා කිරීම සැබැවින්ම ප්‍රශ්නකාරීය. මා දකින හැටියට මෙය යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සිටින සමාජයකට සුදුසු උරුමයක් නොවේ. නඩු ගොඩගැසීමේ අර්බුදයට කඩිනම් විසඳුමක් සෙවීම උදෙසා කොමිසමක් පත්කළ යුතු යැයි ඇතැම් අදහස් පළ වී තිබෙනු මම දුටුවෙමි. එහෙත් කොමිසමක් පත්කිරීමෙන්ම මීට විසඳුම් සෙවිය හැකිද යන්නත් අද ප්‍රශ්නයකි. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ අධිකරණ ක්‍රියාවලි සම්බන්ධ කාරණාවලට අත නොතියා තමන්ගේ දෙයක් කරගැනීම පහසු යැයි සිතන දේශපාලන චින්තනයයි.
වරක් ජපානයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් කිසියම් සාකච්ඡාවක් සඳහා ලංකාවට පැමිණියහ. එම අවස්ථාවේදී ජපානයේ අපරාධ නඩු ක්‍රියාවලිය ගැන කතාබහක් ඇති වූ අතර මගේ එක් පැනයක් වූයේ අපරාධ නඩුවක් පැවැරීමට කොතරම් කාලයක් ගතවන්නේ ද යන්නයි. පිළිතුර වූයේ මාස තුනක් හා හයක් අතර කාලයක් බවය. ඊළඟ පැනය වූයේ එම නඩුවලින් කොතරම් සංඛ්‍යාවක් සාර්ථක වන්නේ ද යන්නයි. පිළිතුර වූයේ 95% ක් යන්නය. එහි අර්ථය නම් ජපන් නීතිපති දෙපාර්තමේන්තුව පවරන නඩුවලින් 95%ක විත්තිකරුවන් වැරැදිකරුවන් වන බවය. මෙම පිළිතුර මට දැඩි විමතියක් ඇති කළ අතර පොලිසිය හෝ පැමිණිල්ල නඩු දැමූ පමණින් අධිකරණය සිටින්නේ වැරැදිකාර මුද්‍රාව තබන්නදැයි මම ඊළඟ ප්‍රශ්නය ද ඇසුවෙමි. එවිට මගේ කතාව ප්‍රතික්ෂේප කළ ජපන් නිලධාරීන් ඍජුව දුන් පිළිතුර වූයේ තමන් පුරවැසියකුට එරෙහිව නඩුවක් පවරන්නේ ඔහු හෝ ඇය වැරැදිකරු කිරීමට වැඩිම සම්භාවිතාවක් ඇති අවස්ථාවක පමණය යන්නයි. කොටින්ම කිව්වොත් ආවාට ගියාට නඩුවක් දමන්නේ නැත කියාය. ජපාන නීතිපති දෙපාර්තමේන්තුව එසේ කටයුතු කර තිබියදීත් නඩුවලින් 5%ක පිරිසක් නිදහස් වෙති. මගේ ප්‍රශ්න අවසන් වූ පසුව ඔවුන් පෙරළා මගෙන් ප්‍රශ්න කළේ අපරාධ නඩුවක් අවසන් කිරීමට ලංකාවේ කොතරම් කලක් ගතවන්නේ දැයි කියාය. වසර දහයක් විස්සක් අතර කාලයක් ඊට වැයවන්නේ යැයි මට පිළිතුර අවසන් කරන්නට ඉඩක් නොවිණි. ජපන් නීති නිලධාරින් සිව් දෙනාගේම සුදු මුහුණු රතු පැහැ විය. යුක්තිය පසිඳලීමේදී එවැනි ශිෂ්ටසම්පන්න ක්‍රියාවලියකට මගේ ජීවිත කාලයේදී මේ රට අවතීර්ණ වනු ඇතැයි කියා මම නම් නොසිතමි. අඩුම තරමින් තවත් පරම්පරා දෙකකට පසුවත් එවැනි තැනකට ලංකාව ගෙන එන්නට නම් මේ දුක්ඛදායක තත්ත්වය ගැන පාලකයන් ගැඹුරින් සොයන තැනකට තල්ලු විය යුතුය.
ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් විධායකයත් අතර වන අර්බුදවල අවසන් උරුමකරුවා වන්නේ පුරවැසියාය. පුරවැසියන්ට අද ජීවත්වීමට සිදුව තිබෙන්නේ දශක ගණනක් පුරාවට දේශපාලන පක්ෂ භේදයකින් තොරව තට්ටු මාරුවට සාමූහික වශයෙන් දූෂණය කෙරුණු අවාසනාවන්ත රාජ්‍යයකය. දේශපාලනයක් යනු මහජන ධනය පක්ෂ භේදයකින් තොරවත් සාමූහික එකඟතාවකින් තොරවත් කොල්ල කන පිරිසක් බව මේ වනවිට ඇස් පනාපිට සත්‍යයක් වී තිබේ. ඊට ආසන්නතම මෙන්ම පැහැදිලිම උදාහරණය වී තිබෙන්නේ සුප්‍රකට මහබැංකු බැඳුම්කර ගනුදෙනුවයි. අවාසනාවට මේ කොල්ලකෑම නතර කිරීම උදෙසා නැවතත් ඒ දූෂිතයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුව තිබෙන්නේ ද යථෝක්ත නීතිපති දෙපාර්තමේන්තු හරහාමය. ඒ නිසා රටේ ජනතාවගේ උස් නිදහසත් ගෞරවණීය ජීවිතත් වෙනුවෙන් ස්වාධීන අධිකරණයක් හා ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් පිණිස සටන් කිරීමට ජනතාවටම සිදුවන තැනට කටයුතු වර්ධනය වී තිබේ. එය පහසු සටනක් නොවේ. එහෙත් කළ යුතුම සටනකි.
සටහන - බිඟුන් මේනක ගමගේ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වර්තමානය සුබයි අනාගතය අවිනිශ්චිතයි
Rohan Monday, 16 March 2020 09:12 AM
ඔබගේ මේ ලිපිය සම්පූර්ණයෙන් නිවැරදියි. ඔබගේ අදහස් සමග අපටද එකඟ වන්නට පුළුවන්... දෙකට බෙදී වසර 72ක් මේ පක්ෂ දෙක රට මුළුමනින්ම අගාධයකට ඇද දමා ඇත්ත මාස තුනකට පෙර රටේ ජනතාව ප්‍රාර්ථනා කරපු නායකත්වය ගැන දැන්නම් ඔබට වගේම අපටද බියක් ඇත.. ඔබ කියන පරිදි රටේ ජනතාවගේ විනය නම් දැන් නැත. එනමුත් හමුදාව එ්කට පිළියම නොවන බව මගේද අදහස් අපි මොනවා කීවත් වහලුන් පක්ෂවලට බෙදී සිටින තුරු සහ යතාර්ථය තේරුම් ගන්න බැරි මෝඩ ජනතාවක් රටේ සිටිනතුරු අප මාතෘභූමිය ගොඩගැනීම අසීරු කරුණකි. නමුත් උත්සාහ කරනවා නම් සිටින උගතුන් සියලුදෙනා එකතුව බැරිකමකුත් නැහැ...