මීට වසර 17කට පෙර 2005 පෙබරවාරි 3 වැනිදා ජීවිතයෙන් සමුගත් සිළුමිණ, දිනමිණ, ලංකාදීප, නවයුගය, මිහිර පුවත්පත්වල කර්තෘ පදවි දැරූ එස්. සුබසිංහ මහතා වෙනුවෙන් පළවන ලිපියකි.
තමාට වඩා කොළඹ ආනන්ද විද්‍යාලයේ පන්ති දෙක තුනක් ඉහළ පන්තියක සිටි සුබසිංහ නම් ශිෂ්‍යයෙක් සිංහල භාෂාව විෂයයට වාර්ෂික ත්‍යාගය ලබාගත් ආකාරය මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ට මතකය. සුබසිංහ නම් මේ ශිෂ්‍යයාගේ නිර්මාණාත්මක හැකියාව මොනවට පිළිබිඹු කරමින් ආනන්දයේ ‘සිවගුරුනාදන් ත්‍යාගය’ ද ලබාගත් බව 1949 වසරේ වාර්ෂික සඟරාවක පළවී තිබුණි.
එදා සුබසිංහයන් සමග එකට ඉගෙනගත් මිතුරු රෑනට කලාව හා භාෂා සාහිත්‍යය ළැදි සිසුහු රැසක් සිටියෝය. ඒ අතර සුබසිංහයන් මෙන්ම අනාගතයේ පත්‍ර ලෝකයේ කතුවරයන් වූ දෙදෙනෙක් සිටියහ. ඔවුන් නම් ලංකාදීප කතුවරයන් වූ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ හා එල්මෝ ගුණරත්නයන්ය.
කලා විෂයයෙන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළටම ගිය සුබසිංහයන්ගේ පන්ති සගයන් වූයේ ධර්මසිරි සේනානායක, ආරිය රාජකරුණා, එච්.එම්. ගුණතිලක (මේ දෙදෙනා පසුව මහාචාර්යවරු වූහ), දයානන්ද ගුණවර්ධන, කුමාරදාස ජයසේකර, නිහාල් රත්නායක, විජේරත්න වරකාගොඩ, එස්.ආර්. හේමපාල (චිත්‍ර ශිල්පි) සිසුහුය. සිනමාවට කුඩා කල සිටම ඇලුම් කළ සුබසිංහයන්, වරකාගොඩ, ජෝර්ජ්, ලෙස්ලි හා එල්මෝගේ ප්‍රියතම හින්දි නළුවා වූයේ දිලිප් කුමාර්ලු. මේ සියල්ලෝම දිලිප් මෙන් අකීකරු කෙහෙරැලි සහිතව සිටි බව දන්නේ ඒ සියල්ලෝම මිස වෙන කවරහු ද?
තම ජීවන වෘත්තිය ලෙස 1953 වසරේ ලේක්හවුසියෙන් පුවත්පත් කලා ජීවිතය ඇරැඹූ එස්. සුබසිංහ සිනමාවට කොතරම් ඇලුම් කළා ද යත්, ‘ජනතා’ හා ‘සිළුමිණ’ පත්‍රවල චිත්‍රපට විචාර (සුරතලී, දෛවයෝගය) ලියුවේය. ඔහු ‘ජනතා’ පුවත්පතට ලියූ ‘සිනමාව හා මහජනයා’ නම් ලිපිය රාජ්‍ය ලේඛනාගාරයේ කියවීම් ශාලාවේදී අහම්බෙන් මට ඇස ගැසුණි. ලිපිය හඳුන්වා තිබුණේ මෙසේය.
නවීන යුගයේ ඉතාම ජනප්‍රිය කලාව නම් චිත්‍රපටි කලාවය. එය තියුණු මතභේදයට හේතු වූ කලාවකි. එයින් උසස් රසාස්වාදයක් ලැබිය හැක්කේ කෙසේ ද? මේ ලිපිය ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේය.
ලිපියේ පළවී තිබූ එකම චිත්‍රපට පින්තූරය වූයේ දිලිප් කුමාර් හා නර්ගීස් රඟපෑ ‘Jogan’ චිත්‍රපටයේ දර්ශනයකි. කලාතුරකින් වුව ද සිතෙහි හටගන්නා මිනිස් හැඟීම් හා දේව භක්තිය පිළිබිඹු වන මේ චිත්‍රපටය මේ ගණයට අයත් ඉන්දියාවේ 1950 දී නිපදවන ලද එකම චිත්‍රපටය ලෙස සුබසිංහයෝ පවසති. සුබසිංහයන් විසින් ‘සිළුමිණ’ පුවත්පතට ලියූ ‘රටට අතදුන් රුහුණු පවුල්’ නම් විශේෂාංගයෙන් එදා සමාජ විද්‍යාත්මක ලක්ෂණ මතුකර ඇත.
හේවාවිතාරණ පවුල ගැන ලියමින් ඔහු මෙසේ ලියා තිබුණි. “මුළු බෞද්ධ ලෝකය පුරා මේ ලක් පොළොවෙන් විහිදී ගිය ආලෝකය කොතැනකින් ගත්තේ ද? හේවාවිතාරණ පවුල සිහියට නැගෙත්ම අපේ සිත ලෝකයේ හැම රටකම ප්‍රසිද්ධ නගර කරා ඇදී යයි. ජාතික නිදහස, ආර්ථික නිදහස හා ශාසනික නවෝදය පතා එදා ඇරැඹි සටණේ පෙරමුණ ගෙන හේවාවිතාරණ පවුලේ හැම දෙනාම කළ සටන කිසි දිනෙක අමතක නොවේ.
‘සිළුමිණ’ පුවත්පත අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම විකුණන පත්‍රය කිරීමට සුබසිංහයන් පෙරමුණ ගත් බව පෙනේ. ඔහුත් ඔහුගේ සිත් බැඳි කැමරා ශිල්පී නිමල් පෙරේරා අභයවර්ධනත් එක්ව කළ ඡායාරූප කතාව අතිශයින්ම ජනප්‍රිය වූ බව පැවැසේ. විශ්ව සාහිත්‍යයේ එන කතා තේමාවන් කැටි කොට සුබසිංහ විසින් ලියූ ඒ කතා ඡායාරූප කතාවකින් ඉදිරිපත් කිරීමට නිමල්ගේ නිර්මාණාත්මක කැමරා රූප රාමු ඉවහල් විය. නිමල් එදා සුබසිංහයන්ට කතා කළේ ‘කර්නල්’ යන ආදර නාමයෙනි. ලංකාවේ ඔවුහු එදා සිටි ජනප්‍රියම නළු නිළියන් යොදා ගත්හ.
1965 වසරේ සුබසිංහයන් ‘සිළුමිණ’ පත්‍රයේ කතුවරයා කොට පත් කළ දා එදා ලේක්හවුස් සභාපති රංජිත් විජයවර්ධන මහතා මෙසේ උපදෙසක් දී ඇත. “මාව සතුටු කරන්න වුවමනාවක් නැහැ. ඔබේ පාඨකයන් සතුටු කරන්න. මට කියන්නට ඇත්තේ එපමණයි.” එදා ‘සිළුමිණ’ ඒ තත්ත්වය ඇති කිරීමට ඔහුගේ සහායට සිටියේ කර්තෘ මාණ්ඩලිකයන් පස් දෙනකුගෙන් යුත් පිරිසකි. බෙනඩික්ට් දොඩම්පෙගම, ලක්ෂ්මන් ජයවර්ධන, පර්සි ජයමාන්න, පී.බී. ඉලංගසිංහ, එස්.ආර්. හේමපාල, මේ පිරිසට පසුව ඩබ්ලිව්.පී.කේ. ගුණවර්ධන (කීර්ති ගුණවර්ධන), තලංගම ජයසිංහ, එල්මෝ ගුණරත්න, නිමල් පෙරේරා අබේවර්ධන, ජී.ඇල්. ගෞතමදාස ද එක් වූ බව ඔහු පවසා තිබුණි.
‘දිනමිණ’ පත්‍රයේ කතුවරයා වූ සුබසිංහ මහතා යටතේ පසු කලෙක පත්‍ර ලෝකයේ පෙරළි කළ පිරිසක් සිටියහ. එඩ්මන්ඩ් රණසිංහ, සිසිර කුමාර මානික්කආරච්චි, ජයවිලාල් විලේගොඩ, ජී.ඇස්. පෙරේරා, එඩ්වින් ආරියදාස, දයාසේන ගුණසිංහ, බන්දුල මෙත්තානන්ද, ඇන්.ජී. ධර්මවර්ධන, ඇල්බට් වැලිවිට, ඩී.සී. කරුණාරත්න, බන්දුල සරච්චන්ද්‍ර, හේමා වික්‍රමආරච්චි, ඊ.ඒ. අමරසේන, පරනදු ජිනදාස, කේ.එස්. පෙරේරා, යූ.ඩී.ඇල්. චන්ද්‍රතිලක, කපිල පියදාස, ධර්මදාස බොතේජු, සොලමන් රණසිංහ වැනි ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සිරි රණසිංහ, විමල් වීරසේකර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, අජන්තා රණසිංහ, බිනෝයි සුරෙන්ද්‍ර, ප්‍රභාත් මානවසිංහ, තිස්ස එදිරිසිංහ, උපාලි අයි. ද සිල්වා, උදය මානවසිංහ, සරත් ප්‍රේමතිලක, එම්.ඩී.එච්. සිරිසේන කනිෂ්ඨයෝ ද වූහ.
ඇස්. සුබසිංහ හෙවත් සිරිවර්ධන සුබසිංහ හෙවත් සුබසිංහ ආරච්චිගේ සිරිවර්ධන 1932 මාර්තු 5 වැනිදා වේවැල්දෙණියේදී උපත ලැබීය. පාස්යාලේ එල්ලක්කල මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී ඇත. රජයේ ලිපිකරුවකු වූ හේරත් සිංඤ්ඤෝ සුබසිංහ මහතාගේ හා ගෘහණියක් වූ එමලින් නෝනා මහත්මියට දාව පවුලේ බාලයා වූයේ සිරිවර්ධන සුබසිංහය. ඔහුට වැඩිමහල් සොහොයුරෝ දෙදෙනෙක් ද සොහොයුරෝ දෙදෙනෙක් ද වූහ.
සුබසිංහ මහතා ගැන ඔහු සමකාලීනයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ පවසන්නේ මේ කතාවය.
“මම සුබසිංහට කතා කළේ ‘සුබේ’ කියලා. සුබේ මට කතා කළේ ‘නොතාරිස් රාලහාමි’ කියලා. සුබේ හාස්‍යයට, විනෝදයට කැමැති මා මෙන්ම ගම්බද පළාත්වලින් පැමිණි දෙදෙනෙක්. පස්සේ සුබේ මට ’රාලහාමි’ නමින් කතා කළා. මම නිතරම ලියමින් ඉන්න නිසා මට ‘රාලහාමි’ කී බව මට පී.බී. ඉලංගසිංහයන්ගෙන් දැනගන්න ලැබුණා. අපි විහිළු බසින් විනෝද වෙමින් කටයුතු කළේ.”
පර්සි ජයමාන්න සුබසිංහ මහතාගේ අගසව් වූ බව ප්‍රකට කරුණකි. පර්සි වරක් සුබසිංහ මහතා ගැන අතීත සිද්ධියක් මතක් කළේය.
“ඉරිදා ලංකාදීපයෙහි දෙවැනි උපතට උරදුන් සුබසිංහ මහතා විජය ප්‍රකාශන කර්තෘ මණ්ඩලයේ ආරම්භක නියමුවා වුණා. 1979 ‘දිනමිණ’ කර්තෘ පදවිය අත්හැර ආවේ නිදහස් ජාතික පුවත්පතක් ඇරැඹීමට රංජිත් විජයවර්ධන මහතාට අවශ්‍ය වූ නිසා. සුබසිංහ මහත්තයාගේ සිහිනය වුණේ දිනපතා පුවත්පතක් ඇරැඹීමයි.
ඒ වෙනුවට සතුට, විජය, සිරිකත, සිසුමිණ, සුරතලා, ලිට්ල් ස්ටාර්, වනිතා විත්ති ආරම්භ කොට මෙහෙයවීමට ඔහුට සිදු වුණා. එවකට නවතා තිබූ ‘ලංකාදීප’යේ ප්‍රකාශන අයිතිය ලබා තිබුණු පසු මුලින්ම ‘ඉරිදා ලංකාදීප’ පත්‍රය මුද්‍රණය සූදානම් කරන්නට ඔහුට පැවැරුණා. එදා තරම් ඔහු සතුටින් සිටි දවසක් මම ඉන් පෙර දැක තිබුණේ නැහැ. චාලි චැප්ලින් කෙනකු නොවුණත් ඔහු හැම දෙයක් දෙසම අපහාසයෙන් නොව උපහාසයෙන් බලන්න සමත් වුණා.”
සුබසිංහ මහතා තීරු ලිපි රචකයකු ලෙස ද ‘ලංකාදීප’යේ ‘පලා මල්ල’ තුළින් ජනප්‍රසාදයට පාත්‍ර විය. ඔහු කියන කවිත්වය මතු කරමින් මේ තීරු ලිපි පෙළින් වරක් මහාචාර්ය සිරි ගුණසිංහ විසින් අයි.ටී.එන්. නාලිකාවෙන් විකාශය වූ ‘ගුත්තිල’ ටෙලිනාට්‍යය ගැන විචාරයට ලක් කළේ ගුත්තිලයේ කවි රිද්මය අනුවය.
ඉරිදා ලංකාදීපයේ වර්තමාන නියෝජ්‍ය කර්තෘ පී.බී. ඉලංගසිංහ අපට කීවේ ‘ජනතා’ පත්‍රයේ සිටි තමා සිළුමිණට ගෙන ගුරුහරුකම් දුන්නේ සුබසිංහ මහතා බව තමාගේ වැඩිමහල් සොහොයුරා ටිකිරි බණ්ඩා ඉලංගසිංහ ආනන්දයේ ඉගෙන ගත්තේ එක පන්තියේ බව ද ඔහු අපට කීය.
වේවැල්දෙණියේ තම ගමේදී සුබසිංහ මහතා නිර්ව්‍යාජ ගැමියෙකි. කෙතරම් උසස් නිලතල කර්තෘකම් කළත් ඔහු ගමේ මිනිසුන් සමග ගහට පොත්ත මෙන් සමීපව සිටියේය. වේවැල්දෙණියේ රබර් ස්ටෝරුව අයිති ජයසුමන රාලහාමි ද විශ්‍රාමික විදුහල්පති සෝමවර්ධන හා ගුණසේකර රාලහාමි සුබසිංහ මහතාගේ ගජයෝය.
“සුබසිංහ මහත්තයා මෙච්චර වටිනා කර්තෘ කෙනකු බව දැන ගත්තේ ඒ මහත්තයා මිය ගියාට පස්සේ පත්තරවල පළවූ ලිපි මගින්. අපි සමග විනෝද ගමන් ගියාමයි සුබසිංහ මහත්තයා දක්ෂ සූපවේදියෙක් කියලා දැන ගත්තේ.
“මහත්තයා උයන කෑම හරිම රසයි.”
“මම හොඳ කෝකියෙක්, රාලහාමිලා නොදන්නවට.”
සුබසිංහ මහත්තයා හිනාවෙමින් කියා ඇත.
ඔහු ගැමියන් සමග නියරේ ලන්දේ හරි හරියට වැඩ කර ඇත. දිනක් ඔහු හොඳින් දන්නා අඳුනන ගැමියකු හිතවත්කමට පුංචි අභියෝගයක් කළේය.
“හොඳයි මහත්තයාට පුළුවන් ද හරක් බඳින්න? ගහකට නැග ගන්න? පොල් අත්තක් බඳින්න? කුඹුරක හාන්න?”
“බෑ... ඇත්ත නේන්නං” සුබසිංහ මහතා කීවේය.
“මහත්තයා දන්නේ පෑනෙන් කරන වැඩ” ගැමියා හිනා වෙලා ගොස් ඇත.
සුබසිංහ මහත්තයා විහිළුවෙන් සතුටින් ගත කරන දවසක ජයසුමන රාළහාමිට මෙසේ කියා තිබුණි.
“මට ඉහෙන් බහින රෝගයක් නෑ. හැබැයි හෘද රෝගය හැර. ඒක වාසනාවන්ත රෝගයක්. මම ඔපරේෂන්වලට කැමැති නෑ. මට තියෙන්නේ ඉක්මනින් මැරෙන ලෙඩක්.”
ඒ අයුරින්ම සුබසිංහ මහතා 2005 වසරේ මාර්තු 3 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය.
සුබසිංහ මහතා 1987 දෙසැම්බර් 17 වැනිදා දිනමිණ 75 ස්වර්ණ ජයන්ති අතිරේකයට තම ජීවිතයේ අමතක නොවන දිනයක් ගැන සඳහන් කර තිබුණි.
“1973 ජුලි 18 වැනිදා මට පමණක් නොව එවකට ලේක්හවුසියේ සියලුම පත්‍රකලාවේදීන්ට කිසිදා අමතක නොවනු ඇත. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් වූයේ එදාය.
අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙදර යන්නට සිදු විය. සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සියලුම සේවකයන්ගෙන් සමුගෙන නික්ම යනු අපි උඩුමහලේ ජනේල තුළින් ශෝකීව බලා සිටියෙමු. මහාභාරකාරතුමාගෙන් කලින් ලබාගත් විශේෂ අවසරයක් පිට විජයවර්ධන මහතා තම කාර්යාලය සැරසූ පිත්තල කැටයම් සහිත කළුවර පෙට්ටගම පමණක් ගෙදර ගෙන ගියේය.”
සුබසිංහ මහතා ගැන හොඳට දැන ගැනීමට හැකි සිද්ධියක් ‘දිනමිණ සියවසක කතුවරු’ නමින් ‘නවයුගය’ හිටපු කර්තෘ ඉන්දික කුඩාහෙට්ටි විසින් ලියා ඇති කෘතියේ මෙසේ සඳහන් වෙයි.
ආර්. ප්‍රේමදාස මහතා අගමැති වූ පසු පක්ෂ භේද නොතකා කලාකරුවන්ට හා පත්‍රකලාවේදීන්ට ඉල්ලන පරක්කුවෙන් අගනුවරින් නිවාස ලබා දුන්නේය. ඒ අනුව ‘දිනමිණ’ නියෝජ්‍ය කර්තෘවරයෙක් ද නිවාසයක් ඉල්ලා ලිපියක් අගමැතිවරයාට යොමු කළේය. දින දෙක තුනක් ඇතුළත නිවාස කොමසාරිස්ගෙන් ඔහුට ලිපියක් ලැබුණි. ඒ නිවාසයක් තෝරා ගැනීම සඳහාය.
“ඔයාලගේ කර්තෘ මණ්‍ඩලයේ තවත් කෙනෙකුටත් ගෙයක් දෙන්න කියලා ලොක්කා දන්වලා තියෙනවා. දැන් හුඟාක් දවස්. මේ නිවාස යෝජනා ක්‍රමයේ මුල්ම නිවාසය දෙන්න කියලයි නියෝග කර තියෙන්නේ. ඇඩ්‍රස් එක සම්පූර්ණ නැති හින්දා ලියුම යැව්වේ නෑ.”
“කවුද කෙනා? මොකක් ද ලිපිනය?”
“ඇස්. සුබසිංහ, වේවැල්දෙණිය.”
“ඒ අපේ ප්‍රධාන කර්තෘතුමානේ. මම ගිහිං කියන්නම්.”
සතුටින් ඉපිල ගිය නියෝජ්‍ය කතුවරයා කාර්යාලයට ගිය වහාම ඒ බව ප්‍රධාන කතුවරයාට දැන්වීය. ඒ ආරංචිය ඇසූ ඔහුගේ මුහුණ වෙනස් විය.
“මට මොනවට ද ගෙවල්. මට ගමේ ගෙයක් තියෙනවා. අනික මං ගෙයක් ඉල්ලුවෙත් නැහැ.” කී ඔහු, එවෙලේම අගමැතිතුමාට දුරකතන ඇමතුමක් ගත්තේය.
“ඔබතුමා මට ගෙයක් දෙන්න කියලා තියෙනවා. ඒත් මට ගමේ ගෙයක් තියෙනවානේ.” ඔහු අගමැතිතුමාට කීවේය.
“ඒකට කමක් නෑ. සුබේට දූලා දෙන්නෙක් ඉන්නවනේ. ඔයා ගේ ගන්න. අනිත් එක කොළඹ ඉන්න එක රස්සාවටත් පහසුවක්නේ.”
“අමනාප වෙන්න එපා. මාව මතක් වුණු එක ගැන මං අනේක වාරයක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒත් මට වඩා ගෙවල් අවශ්‍ය අය කොච්චර ඉන්නවා ද? ඒ කෙනකුට දෙන්න.” ඔහු ගරුසරු ඇතුව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
“එහෙනම් සුබේ, කොමසාරිස්ට ලියුමක් දෙන්න, ඒක එපා කියලා.” අගමැති කීය.
“මුළු ලංකාවටම ඉන්නෙ ඔබතුමා විතරයි, අගමැතිතුමා දීපු ගෙයක් එපා කියපු එකම එක්කෙනා ඔබතුමායි.” කොමසාරිස්වරයා ලිපිය බාර ගනිමින් කීවේය.
ඒ සුබසිංහ මහතාගේ හැටිය.
සුබසිංහ මහතා විවාහ වූයේ ස්වර්ණතිලකා පින්තු මෙනවිය සමගය. ඇය ගුරු මාතාවකි. සුබසිංහ යුවළට දූවරු දෙදෙනෙක් සිටිති.
“මගේ තාත්තා ගමේ ගත කළේ චාම් සරළ ජීවිතයක්, සාමාන්‍ය ගැමියෙක් හැටියට. තාත්තා කාරුණික පියෙක්. විනෝදයට කැමැතියි. මම පවුලේ වැඩිමහල් දියණිය. මට ප්‍රියංගා කියලා නම දැම්මේ තාත්තාගේ ඥාතියකු වූ හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න කවියා. දවසක් සෙනෙවිරත්න මාමා ගෙදර ඇවිත් මෙහෙම කිව්වා.
‘සුබේ තරහ වෙන්න එපා. ලොකු දුවට දැම්ම නම මගේ අලුත්ම චිත්‍රපට කතාවේ නමට දැම්මා.’
තාත්තා හිනා වුණා මිස කිසිවක් කිව්වේ නැහැ. පසුව තිරගත වූ ‘ප්‍රියංගා’ චිත්‍රපටයට දාලා තිබුණේ මගේ නම. අම්මා වේවැල්දෙණියේ මහගෙදර ඉන්නේ. මම ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ සේවය කරන්නේ. ගම්පහ-මීරිගම අධිවේගී මාර්ගයේ උපදේශකයකු වූ පිලිප් ශාන්ත පතිරණ මගේ සැමියා. මගේ නංගි ප්‍රියදර්ශනී සුබසිංහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ නිලධාරිනියක්. ව්‍යාපාරිකයකු වූ සිරිමෙවන් රණසිංහ නංගිගේ සැමියායි.” ප්‍රියංගා කීවාය.
ඒ.ඩී. රන්ජිත් කුමාර
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිනමා විචාර ලියා පත්තර ලෝකයේ ඉහළටම ගිය ඇස්. සුබසිංහ