IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සෝමාරාමගෙන් පාපොච්චාරණයක්

(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය)

ඇසින් දුටු සාක්‍ෂි තුනට අමතරව, සෝමාරාම විසින් 1959 නොවැ. 14 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දුන් ප්‍රකාශයක් ඔහු ඝාතකයා බව ජූරියට ඒත්තු ගන්වන්නට පැමිණිල්ල විසින් භාවිතයට ගන්නා ලදී. සෝමාරාම එම ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය පටන් ගන්නට බොහෝ කලකට පෙර ඉල්ලා අස්කර ගත්තේය. සාක්ෂියක් ලෙස එම ප්‍රකාශයේ (පිළිගත හැකි බව ගැන) වලංගුතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වූයේය.

වෙඩි තැබීම් සිදුවී දින කිහිපයකින් සෝමාරාම බන්ධනාගාර රෝහල වෙත ගෙන යන ලදුව බන්ධනාගාරයේ දී පොලිස් කණ්ඩායම් විසින් කිහිප වාරයක් ප්‍රශ්න කිරීම්වලට ලක් වූයේය. එම කණ්ඩායමේ වඩාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වූයේ පොලිස් අධිකාරි බී.ඩබ්ලිව්. පෙරේරාය.
අවසානයේ නොවැම්බර් 7 වැනිදා සෝමාරාම පොලීසියට ප්‍රකාශයක් දුන්නේය. එය ඉතා කෙටි අපැහැදිලි ප්‍රකාශයක් වූ අතර එහි සඳහන් කරන ලද්දේ ජයවර්ධනගේ නම පමණකි. ඉන්පසු සතියක් ඉක්මගිය තැන ඔහු පහත සඳහන් ප්‍රකාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ලබා දුන්නේය.

‘‘1959 අගෝස්තු මාසයේ දිනක මා බොරැල්ලේ ආයුර්වේද රෝහලේ බෙහෙත් ශාලාවේ ඉන්නා විට කැලණි මහ විහාරයේ ප්‍රධාන සංඝනායක බුද්ධරක්ඛිත හිමි සහ එච්.පී. ජයවර්ධන මා හමුවන්නට ආවා. කාර් රථයට එන්නට මා හට කී බුද්ධරක්ඛිත රටේ සාමාන්‍ය තත්ත්වය ගැන අප්පිරියාවෙන් මැසිවිලි කියන්නට ගත්තා. විශාල මුදල් කන්දරාවක් වරායේ වැඩ වර්ජනවලින් හා කළමනාකාර දුර්වලතා නිසා අහිමිව යන බව ඔහු කියා සිටියා. දැන් යන විදිහ වෙනස් කර නොගතහොත් අපට මේ රටේ තැනක් නැතිව යන බවටත් සිංහල ජනයාගේ ආගමට හා භාෂාවටත් තැනක් නැතිව යන බවටත් ඔහු දැඩි භීතියක් පළ කළා. අගමැතිවරයා ඉවත් කරගන්නට අප පියවර ගතහොත් අපට නිදහසේ අපේ කටයුතු කරගෙන යා හැකි බව ඔහු කියා සිටියා.

අපි එහෙම දෙයක් කළහොත් අපට මොනවා වෙයි දැයි මා ඔහුගෙන් ඇහුවා. ‘‘අපට මුකුත් වෙන්නෙ නැහැ’’ කියා ඔහු පිළිතුරු දුන්නා. ‘‘අපට උදව් ඕන වෙන හැම දෙනාම මම සූදානම් කරගෙනයි ඉන්නෙ’’ ජයවර්ධන කිව්වා. ‘‘ඔහේට මේ වැඩේ කරන්න පුළුවන් නං, සති දෙක තුනෙන් අපි තමුංව රිමාන්ඩ් එකෙන් එළියට ගන්නවා කියල අපට සහතික කරතෑකි’’ හැම දේම නිසි ලෙස කරන බව බුද්ධරක්ඛිත එවර මට නැවත තහවුරු කළා. මට බය වෙන්න කිසි දෙයක් නැති බවත් ඔහු කීවා. එම ඉල්ලීමට මා එකඟ වෙමින්, මට කිසි වරදක් නොකළ කෙනකුට එවැනි දෙයක් කරන්නට කැමති වුණේ මගේ රට මගේ ජාතිය හා ආගම වෙනුවෙන් බව මා විස්තර කර කීවා.

මට ශිෂ්‍යයන් දෙදෙනකු සහ බලා කියා ගන්නට පන්සලක් තිබෙන බව මම ඔවුන්ට කීවත් ඒ සියල්ල ගැන බලා ගන්නට ඔවුන් පොරොන්දු වුණා. මට දිනයක් දෙකක් ඇතුළත රිවෝල්වරයක් ගෙනවිත් දෙන බව එවිට ඔවුන් කීවා. ඊට පසු සියලු දේ සාකච්ඡා කරගත හැකි බවත් ඔවුන් කීවා. දවස් දෙක තුනකට පසුව බුද්ධරක්ඛිත මා වෙත දිගින් අඩියක් පමණවන රිවෝල්වරයක් ගෙන ආවා. කුටීර හයේ එකක් වූ එහි ජීව උණ්ඩ පුරවා තිබුණා. ඉන්පසු අප රාගමට ගොස් ඩිකී ද සොයිසා හමුවී, ඔහු සමග මුතුරාජවෙලට ගියා. එහිදී මා කදුරු ගෙඩියකට වෙඩි කිහිපයක් තැබුවා. මා තැබූ වෙඩිල්ලකින් ගෙඩියක් බිම වැටුණු විට පිරිසේ සිටි එක් අයෙක් ‘‘නියම වැඩේ. අන්න හරි’’ කියා කෑ ගැසුවා. වෙඩි තැබීම හමාර වී ඩිකී ද සොයිසා රාගමින් බැස්ස වූ අපි මගේ පන්සලට පැමිණියා.’’

‘‘ඉන්පසු බුද්ධරක්ඛිත හිමි සහ ජයවර්ධන නිතර මා හමුවෙන්න ආවා. ඒත් දවසක්, කොළොන්නාව නගර සභාවෙ සභාපති අමරසිංහ ද බුද්ධරක්ඛිත සමග ආවා.’’

‘‘බුද්ධරක්ඛිතත්, ජයවර්ධනත්, මාත් යොදාගත් කාරිය සැප්තැම්බර් 25 වැනිදා කරන්න එකඟ වුණා. එදා උදේ හිතට ධෛර්යය ගන්නට මවිසින්ම තනිවම හදාගත් මිශ්‍රණයක් පානය කර රොස්මිඩ් පෙදෙසේ අගමැති පදිංචි නිවසට ගියා. අගමැතිවරයා වැරැන්ඩාවේ සිටි තවත් හිමිනමක් සමග කතා කරන වේලේ මම බයේ ගැහෙන්න ගත්තා. එහෙත් මා පානය කර සිටි මිශ්‍රණය නිසා මගේ හිත දිරිමත් වුණා. වැරැන්ඩාවේ දී මා අගමැතිවරයාට එක් වරක් වෙඩි තැබුවා. එය ඔහුට වැදුනා. ඔහු නිවස තුළට දිව යන විට මා ඔහු පසුපස දිව ගොස් තව වෙඩි තුනක් තැබුවා. ඉන්පසු මාව අල්ලා ගත්තා. කවුදෝ මට වෙඩි තැබුවාම මට සිහි නැති වුණා. ඊට පසු කුමක් වූයේ දැයි මා දන්නෙ නෑ. 
1960 ජූලි 15 වැනිදා මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසාන වූ විට සෝමාරාම මෙම පාපොච්චාරණය ඉවත් කරගත්තේය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය ආරම්භ වීමට මාස හතකට පෙරාතුවයි. එය ඉල්ලා අස්කර ගැනීමේ දී ඔහු මෙසේ කීවේය. 

‘‘පොලීසියෙන් ඉල්ලා සිටි පරිදි බොරු ප්‍රකාශයක් දීමට මා අකමැත්ත පළ කළ විට, මරණීය දණ්ඩනය නැවත හඳුන්වා දුන් බව කියන පුවත් පතක් මට පෙන්වා, දැන් සිදුවී ඇති දේ අනුව නිසැක වශයෙන්ම මට මරණ දඬුවම නියම වී මා එල්ලා දැමෙන බව කියා සිටියා.

කෙසේ වුවත් මම මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ ස්වේච්ඡාවෙන්ම පාපොච්චාරණය කළහොත් මා නිදහස් කර පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු බවට පත් කරන්නට පොලිසිය පොරොන්දු වුණා. දැන් මරණයේ හෙවණැල්ලේ ජීවත් වන මට එවැනි නිදහස පිරිනැමීමක් ප්‍රතික්ෂේප කරන්න බැහැ. එමනිසා පොලිසිය ඉල්ලා සිටි පරිදි මම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් කළේ මගේම වුවමනාවට නිදහසේ කරන දෙයක් සේ බොරුවට අඟවමින්. එම ප්‍රකාශයේ මා අපරාධයට පටලවා ගත්තේ පොලිසිය මට අපරාධයට පටලවා ගන්නට කියා කී අයවයි. දැන් මා එම ප්‍රකාශය තනිකර අසත්‍ය ප්‍රකාශයක් බව කියා සිටිමි.’’

පොලිස් කණ්ඩායමක් පළමුවෙන්ම සෝමාරාම හමුවීම සඳහා බන්ධනාගාරයට ගියේ ඔක්තෝබර් 2 වැනිදාය. රජය මරණ දඬුවම අත්හිටුවීම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවේත් හරියටම එදිනමයි. සෝමාරාම විත්ති කූඩුවේ සිට 1961 අප්‍රේල් 6 වැනිදා කළ ප්‍රකාශයකින් තවදුරටත් කියා සිටියේ, තමා හට පුවත්පතක මුල් පිටුවක් පෙන්වූ බී.ඩබ්ලිව්. පෙරේරා මරණ දඬුවම නැවත හඳුන්වා දී ඇති බව විස්තරකොට, තමා අනිවාර්යයෙන්ම එල්ලා දමන බවත් කියූ බවයි. ඉන්පසු තමා අගමැතිවරයාට බුද්ධරක්ඛිතගේත්, ජයවර්ධනගේත් උපදෙස් පිට වෙඩි තැබූ බවට ප්‍රකාශයක් දෙන ලෙස ඔහු කීවේය. එසේ කළහොත් තමා රජයේ (පැමිණිල්ලේ) සාක්ෂිකරුවකු බටව පත් කරන බව ද පෙරේරා කියාසිටි බව සෝමාරාම ප්‍රකාශ කළේය.

ටර්ෆ් ක්ලබ් කොල්ලයේ සහ මිනී මැරුමේ චූදිතයකු වූ රූපානන්ද හටද සමාව දුන් බව පෙරේරා උදාහරණයක් දක්වමින් කී බව ද සෝමාරාම කීවේය. පෙරේරා ඊට වසර දහයකට පෙර එම සුප්‍රසිද්ධ නඩුවට අදාළ කටයුතු මෙහෙය වූ පොලිස් කණ්ඩායමේ සාමාජිකයකු වූයේය. සෝමරාම සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නට මාස හයකට පෙර, අමරසිංහ රජයේ (පැමිණිල්ලේ) සාක්‍ෂිකරුවකු බවට පත් කර තිබූ බව මෙහිදී සඳහන් කරනු වටී. කලින් හර්නියා රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පසු තමා අබිංවලට ඇබ්බැහි වූ බව ද කියා සිටි සෝමාරාම, පෙරේරා ඔහුට අබිං වගයක් දුන් බව ද පැවසීය.

1960 වසරේ මුල දී බී.ඩබ්ලිව්. පෙරේරා සියදිවි නසා ගැනීම ද විශේෂ සිද්ධියකි. බුද්ධරක්ඛිත වෙනුවෙන් අතරමැදියකු සේ පෙනී සිටිමින් ඔහු ජීව උණ්ඩ කිහිපයක් දුන් බව අනාවරණය වීමෙන් පසු මෙසේ ඔහු සියදිවි නසා ගත්තේය. එම ජීව උණ්ඩ අගමැතිවරයා ඝාතනය කිරීමට භාවිතා කළේ ද යන්න සම්බන්ධයෙන් සාක්‍ෂි නොතිබුණි. 

රිමාන්ඩ් ගතවූ සිරකරුවන් ඔවුන් ඇතුළත් නඩු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මුණගැසීම සාමාන්‍යයෙන් නුසුදුසු ක්‍රියාවක් සේ සැලකුණි. ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව පවතින විට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාත්. ඇතැම් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීනුත් ඉන් පෙර තමන් දන්නා තරමින් එවැන්නක් සිදුවී නැති බව ප්‍රකාශ කළහ.

කෙසේ වුවද සෝමාරාමගේ නීතිඥවරයා ඊට පෑ විරෝධය නොතකා, සෝමාරාම සිරගත කරන ලද්දේ පොලිසියට ප්‍රමාණවත් ලෙස ඔහුගෙන් ප්‍රශ්න කරන්නට අවස්ථාවක් ලැබෙන්නට පෙර වීම යන කාරණය මත එසේ කිරීම නීත්‍යානුකූල බව තීරණය කළේය. ඉවත්කර ගන්නා ලද පාපෝච්චාරණයක්, සාක්‍ෂියක් ලෙස නීත්‍යානුකූලව පිළිගත නොහැකි බව සෝමාරාගේ නීතිඥ තැන තර්ක කළේ, පෙළඹවීමෙන්, තර්ජනය කිරීමෙන් හෝ පොරොන්දු දීමෙන්, එසේ කළ හැකි අවස්ථා පවතින්නේ යයි කියමිනි. පවතින සාක්‍ෂි ආඥා පනත අනුව බැලූ බැල්මට හෝ එවැනි සාක්‍ෂියක් පිළිගත නොහැකි බව ඔහු අවධාරණය කළ ද විනිසුරු ටී.එස්. ප්‍රනාන්දු එය ප්‍රබල සාක්‍ෂියක් බව තීරණය කළේය. 

අපරාධ අභියාචනාධිකරණ තීන්දුවේ පවා මෙම කාරණය සම්බන්ධයෙන් වඩාත් සැක සහිත නොපැහැදිලි තැන් අඩංගුවේ. 

‘‘හතර වැනි විත්තිකරු විසින් මහේස්ත්‍රාත්වරාය වෙත කරන ලද පාපෝච්චාරණය සාක්‍ෂියක් ලෙස පිළිගැනීමේ දී, එම පොපෝච්චාරණය ස්වේච්ඡාවෙන් කරන ලද්දක් නොවන සේ සලකා වුව, එය සාක්‍ෂි ආඥා පනතේ 24 වැනි වගන්තියට අනුකූල නොවන බව හෝ වෙනත් ආකාරයකින් පිළිගත නොහැක්කේ ද යන්න ඔස්සේ 4 වැනි විත්තිකරුගේ පාපොච්චාරණයේ අගය අඩු නොවේ. මන්දයත් 4 වැනි විත්තිකරු, මියගිය තැනැත්තාව මරා දැමුවේය යන කාරණය, කිසිදු ආකාරයක සැකයකින් තොරව, මරණකරුගේ නිවසේ ඔහුට වෙඩි තබන අවස්ථාවේ සිටි ඇතැම් අයගේ ඍජු සාක්‍ෂියෙන් සනාථ වූ බැවිනි.’’

පාපොච්චාරණයේ අගය පිළිබඳව අධිකරණයට වෙනත් මතයක් තිබීම ද විශේෂ කරුණකි. තීන්දුවේ තවත් කොටසක පහත ආකාරයෙන් කරුණු සඳහන් වේ.

‘‘ඉදිරිපත් කරන ලද මේ සියලු දෑ සාර්ථක වීමට හිමිකම් ඇතත්, මෙම නඩුව සම්බන්ධයෙන් ඒවායේ වෙනසක් සිදු නොවේ. 4 වැනි විත්තිකරු මියගිය තැනැත්තා මරා දැමූ බව කිසිදු ආකාරයක සැකයකින් තොරව ඔප්පුවී තිබීම ඊට හේතුවයි. සැබවින්ම, සාක්‍ෂි එසේ තිබිය දී පාපෝච්චාරණය ඔප්පු කරන්නට වෑයම් කරමින් මෙම නඩු කටයුතු දිගටම පවත්වාගෙන යාම අවශ්‍යයයි පැමිණිල්ල සිතීම පුදුමයට කරුණකි.’’
ඍජු සාක්‍ෂිවල ප්‍රමාණවත් බව සම්බන්ධයෙන් පැමිණිල්ලේ අභිමතය පරිදි ඔවුන්ට තිබුණේ වෙනස් ආකාරයක ඇගයුමකි. 

පිළිතුරුවලට වඩා තවත් ප්‍රශ්න

අගමැතිවරයා සෝමාරාමව හොඳින් හඳුනාගෙන සිටි අතර වෙඩි තැබීම සිදුවන්නට සති කිහිපයකට පෙර පවා දේශීය වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කර තිබිණි. සෝමාරාම මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ද හවුල් වූ අතර බණ්ඩාරනායක කතා කළ රැස්වීම්වල ද මුලසුන දැරුවේය. එසේ වුවද ගුවන් විදුලියෙන් ජාතිය අමතන විට ඔහු ඝාතකයා සෝමාරාම යයි නොකීවේය. ඒ සැබෑ භික්‍ෂුවක් කියා ද ඔහු කීවේ නැත. ඔහු කීවේ ‘‘සිවුරු හැඳගත් මෝඩ මිනිසකු’’ කියාය.

විශේෂයෙන් ඉංග්‍රීසියෙන් කතා කරන විට නිශ්චිතව වචන භාවිතා කරන ආකාරය ඔහු හොඳින් දැන සිටියේය. තුවාල සිදුවූ බව ද ගණනකට නොගෙන ඔහු රෝහලේ වෛද්‍යවරුන් සහ හෙදියන් සමග විහිලු කරමින් උන්නේ ජීවිතය බේරේවි යයි පූර්ණ බලාපොරොත්තු තබාගෙනය. ඒ ආකාරයට ඔහු සිටියේ හොඳ චිත්ත ස්වභාවයකින් යුක්තවයි. ඉතා සමීපව සිටිය දී අගමැතිවරයා සෝමාරාම හඳුනා ගත්තේ නැතැයි විශ්වාස කිරීම අපහසුය.

එම දෛවෝපගත උදයේ සෝමාරාමගේ හැසිරීම ද ඔහු වරදකාරයා දැයි සැක මතු කරන්නකි. ඔහු එදා උදෑසන ටැක්සි රථයේ නැගී එනවිට මගදී හමුවූ දෙදෙනකු ද මඳදුරක් එම ටැක්සියේ නංවාගෙන පැමිණ තිබිණි. එය ඔහු ගැන පහසුවෙන් සොයා ගැනීමට හෝඩුවාවක් සපයන ක්‍රියාවකි.

පැය දෙක තුනක් ඇතුළත ඝාතන ක්‍රියාවක් සිදුකරන අයකු එසේ හැසිරේවි යයි සිතීම අසීරුය. අගමැතිවරයාගේ නිවසේ වැරැන්ඩාවේ හිඳගෙන සිටිනා විට අනෙක් අය සමග ඔහු බොහෝදුරට සාමාන්‍ය අයුරින් සංවාදයේ යෙදී තිබිණි. ඒ ඔහු කළේ යැයි කියන මිනී මැරුම කරන්නට විනාඩි කිහිපයකට පෙරය. අක්‍ෂි රෝගයකින් පෙළෙන තම මිතුරකුට, ප්‍රතිකාර ගන්නට ආනන්ද, සෝමාරාමගෙන් හමුවීමේ වෙලාවක්ද විමසුවේය. එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ ඔහු එවන්න දැයි ඔහු විමසා තිබිණි.

වෙඩි තැබීමට පෙර දිනයේ (1959 සැප්. 24) සෝමාරාමගේ ආගිය ගමන් ද බොහෝදුරට සාමාන්‍ය ආකාරයෙන් සිදුවූයේය. (පැමිණිල්ලෙන් පවසන ආකාරයට අවසාන මොහොතේ උපදෙස් දීමට) බුද්ධරක්ඛිත සහ ජයවර්ධන එදින සවස සෝමාරාමගේ පන්සලට පැමිණි විට ඔහු එහි නොසිටි බව ඔවුහු දැනගත්හ. සෝමාරාම එවේලේ සිටියේ කොටහේනේ පන්සලක තම මිතුරු කොළඹ සරණංකර සමග සතුටු සාමීචියේ යෙදෙමිනි. දීර්ඝ කාලයක් තිස්සේ අගමැතිවරයා ඝාතනය කරන්නට සැලසුම් කළ මහ මොළකරුත්, මිනී මරන්නට තෝරාගත් තැනැත්තාත්, ඔවුන් යොදාගත් දිනයේ පවා, එකිනෙකා කොහේ සිටිතිදැයි නොදත්තා සේය. එය සිදුවිය හැක්කක්ද?

බෞද්ධ භික්ෂූන් අඳින පිටත සිවුරු තුනක් සහ අංශකඩයක්, වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව එම පරිශ්‍රයේ ඉවත දමා තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. සෝමාරාම සමග පොර බදන අවස්ථාවේ ඔහුගේ අංශකඩය සහ පිට සිවුර ගලවා දමන ලදින් එය එක් සිවුරක් ලෙස ගණන් ගැනේ. පැමිණිල්ල තර්ක කළ ආකාරයට සෝමාරම එදා සිවුරු 2 ක් හැඳ සිටියේ නම් එවිට එක් සිවුරක් ඉතිරි වේ. 

එම සිවුර කාගේද යන ප්‍රශ්නය ඉතිරි විය. එය අභිරහසක් විය. එය භික්‍ෂුවකට දන් දීම සඳහා නිවසේ තිබුණු එකක් විය හැකි යයි පැමිණිල්ල යෝජනා කළේය. එය පිළිතුරකට වඩා සරදමක් සේය. 

(තව කොටසක් මීළගට)

පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ

සංජීව සේනානායක විසිනි
[email protected]



අදහස් (0)

සෝමාරාමගෙන් පාපොච්චාරණයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 277 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 588 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1795 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1333 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site