ස් ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික කොන්දේසියක් වන්නේ රටක් දේශපාලන වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවතීමයි. කවර ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරනු ලැබූව ද ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා කවර ආකාරයේ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබූව ද දේශපාලන ස්ථාවරත්වයක් නොපවත්නා විට ඒවා සියල්ල බිඳ වැටී ආර්ථික පසුබැස්මකට මුහුණ දීමට සිදු වේ. ශ්‍රී ලංකාව සම්බන්ධව පසුගිය කාල පරිච්ඡේදවල ආර්ථික සංවර්ධනය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.
1977 පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීම හේතුවෙන් ආර්ථිකයේ සැලකිය යුතු මට්ටමක වර්ධනයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
1978 සිට 1982 දක්වා වූ කාලපරිච්ඡේදය ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉහළම වර්ධනයක් අත්කරගත් මුල්ම කාලපරිච්ඡේදය ලෙස හැඳින්විය හැකිය. එසේ වුවද 1983 ජුලි කලබලයෙන් පසු ආර්ථික වර්ධනය විශාල ලෙස පහළ වැටුණු අතර, ඉන්පසුව ඇති වූ වාර්ගික අර්බුදය සහ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල හේතුවෙන් ආර්ථික වර්ධනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටුණි.
ශ්‍රී ලංකාව තුළ එවැනි අභ්‍යන්තර යුද්ධ නිසා පමණක් නොව ආණ්ඩු බලය හිමි කර ගන්නා දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ දී එම බලය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි ද යන්න මත ද රටේ දේශපාලන ස්ථාවරභාවයට බලපෑම් ඇති වේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය හිමි දේශපාලන පක්ෂයේ පාලනය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නොහැකි අවස්ථාවල දී ආර්ථිකය පිළිබඳ ආයෝජකයන්ගේ මෙන්ම මහජනතාවගේ ද විශ්වාසය බිඳ වැටෙන අතර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඒ තුළින් අහිතකර තත්ත්වයක් ගොඩනැගේ.
2015 සිට 2019 දක්වා ක්‍රියාත්මක වූ යහපාලන රජය යටතේ බොහෝ ආර්ථික ප්‍රතිපත්ති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක නොවීම සඳහා දේශපාලන අස්ථාවරත්වය බලපෑ ආකාරය හඳුනාගත හැකිය. ජනාධිපතිවරයා එක දේශපාලන පක්ෂයකට අයත් වීම, අග්‍රාමාත්‍යවරයා තව දේශපාලන පක්ෂයකට අයත් වීම, කැබිනට් මණ්ඩලය දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත වීම, පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ බහුතරය පිළිබඳ ප්‍රශ්න ඇති වීම, වරක් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීම, යළිත් වරක් හිටපු අගමැතිවරයාට අගමැති තනතුර හිමිවීම ආදී සියල්ල පරීක්ෂා කරන විට දේශපාලන අස්ථාවරත්වය එම ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහි ඉතා අහිතකර අන්දමින් බලපෑ ආකාරය පැහැදිලි වේ.
එම තත්ත්වය තුළ රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සහ සංවර්ධන යෝජනා ක්‍රම බොහෝමයක් බිඳ වැටුණු අතර, එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වූයේ මහජනතාවටය. එකල ආණ්ඩුව විසින් පාසල් සිසුන් සඳහා පරිගණක ලබාදීමේ වැඩසටහනක් ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද ජනාධිපතිවරයා එම යෝජනා ක්‍රමයට අකැමැති වීම හේතුවෙන් අවසානයේ දී එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. කොවිඩ් සමයේ පාසල් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාමට සිදු වූ අවස්ථාවේ දී එම පරිගණක යෝජනාව ක්‍රියාත්මක කර තිබුණේ නම් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබූ බව බොහෝ දෙනාට වැටහී තිබුණි. ආණ්ඩු අස්ථාවරත්වය මහජනතාවගේ ජීවිතවලට බලපෑම් කරන්නේ ඒ ආකාරයටය.
අද වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක අවස්ථාවකටය. අද මුහුණ දෙන ආකාරයේ ආර්ථික අර්බුදයකට නිදහසින් පසු වසර 75ක කාලපරිච්ඡේදය තුළ මේ සා දරුණු වූ ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව කිසි විටෙකත් මුහුණ දුන්නේ නැත. ඒ තුළින් වැඩිම පීඩනයක් එල්ල වූයේ මහජනතාවටය. වසර දෙකකට ආසන්න කොවිඩ් යුගයේ අඳුරු අත්දැකීම් හේතුවෙන් මහජනතාවට වැඩි කාලයක් නිවෙස්වලට ගාල් වී සිටීමට සිදුවිය.
සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයකට තම එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වාතාවරණයක් උදා වූ අතර ජීවනෝපාය අහිමි වූ බොහෝ දෙනකුට ජීවත් වීම ගැටලුවක් බවට පත්විය. ව්‍යසනය ඉන් නැවතුණේ නැත. කොවිඩ් අවසන් වීමට පෙරම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වූ අතර ඊළඟ ගැටලුව බවට පත් වූයේ රටේ බහුතරයක් පිරිසට එදිනෙදා ජීවත් වීම පිළිබඳවය. ඉන්ධන, ගෑස්, කිරිපිටි, බෙහෙත්, පෝලිම් ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙද්දී රටට බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට සිදුවිය. ජනතාවගේ මෙන්ම රටේ පැවැත්ම දෛවයට භාර දී බලා සිටීමට සිදුවන තත්ත්වයකට මහජනතාව මුහුණ දුන්නේය.
මහජනතාවට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා පිළිබඳව යළි මතක් කර දීමේ අවශ්‍යතාවක් නැතැයි සිතමි. එහෙත් බොහෝ දෙනකුට ඒවා අමතකය. එසේත් නැත්නම් බලෙන් අමතක කර දමා සිටී. තවත් සමහරෙක්, විශේෂයෙන්ම දේශපාලන පක්ෂ එම තත්ත්වය මහජනතාවට බලෙන් අමතක කරවීමට උත්සාහ කරති. මේ රටේ බහුතරයකට ඒවා අමතක වී නැතැයි සිතමි.
කොවිඩ් අර්බුදය සහ බංකොලොත්භාවය හේතුවෙන් දැඩි පීඩාවකට මුහුණ දුන් මහජනතාවට ඊළඟට මුහුණ දීමට සිදු වූයේ ගෝල්ෆේස් අර්බුදයට ය. මුදල් ඇමැතිවරයා ඉල්ලා අස්විය. අගමැතිවරයා ඉල්ලා අස්විය. ජනාධිපතිවරයා රටින් බැහැරව ගියේය. හැටනව ලක්ෂයක ජනවරමෙන් බිහි වූ තුනෙන් දෙකක බලයක් සහිත පොහොට්ටු පක්ෂය කෑලි කෑලිවලට කැඩී ගියේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූයේ එවැනි අවස්ථාවකය. මුලින්ම ආණ්ඩුවේ මර්මස්ථානවල රැඳී සිටි අරගලකරුවන් පලවා හැර රාජ්‍ය යාන්ත්‍රණය යථා තත්ත්වයට ගෙන ඒමට ඔහුට සිදුවිය. ඒ අතරතුර පාර්ලිමේන්තුව අල්ලාගෙන එහි බලය පිහිටුවීමට ක්‍රියා කළ පුද්ගලයන් මර්දනය කර පාර්ලිමේන්තුව රැක ගැනීමට ද ඔහුට සිදුවිය. මේ ආකාරයට ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමෙන් පසු ඊළඟට ආර්ථිකය මුහුණ දෙමින් සිටි ගැටලුවලට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කළේය.
දැන් මහජනතාවට ඒ දක්වා මුහුණ දුන් ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වයෙන් අත්මිදී සැනසුම් සුසුම් හෙළීමට අවස්ථාවක් උදා වී ඇත. එසේ වුවද සියල්ල සර්වසම්පූර්ණ යැයි ද සියලු ප්‍රශ්න විසඳී ඇතැයි ද සතුටු වීමට හැකියාවක් නැත. 2023 වසරේ පළමු වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය පිළිබඳ තොරතුරු දැන් ප්‍රකාශයට පත් වී තිබේ. ඒ අනුව එම කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 11.5කින් අඩු වී තිබේ. මෙය මීට පෙර ඇස්තමේන්තු කර තිබූ අගයට වඩා සතුටුදායක තත්ත්වයක් වුවද අප තාමත් ජීවත් වන්නේ පසුබෑමකට ලක් වෙමින් තිබෙන ආර්ථිකයකය.
යළිත් ඉතා සුළු කැළඹීමකින් සියල්ල වෙනස් විය හැකි බව අප විසින් අමතක කළ යුතු නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ රැස්වීමකට පොදු ජන පෙරමුණේ සමහර දිස්ත්‍රික්ක නායකයන් සහභාගි නොවීමෙන් රට නැවත වරක් දේශපාලන අගාධයකට පත්වනු ඇතැයි සිතමින් බොහෝ දෙනකු කම්පාවට පත් වී ඇති බව පෙනී ගියේය. සමහර දේශපාලන නායකයන් ප්‍රකාශ කළේ ආණ්ඩුව සහ පොහොට්ටුව අතර පවත්නා දීගය කෙළවර වී ඇති බවත්, සුළු කලකින් දික්කසාදය අනිවාර්ය බවත්ය.
වත්මන් රජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය මත පවත්වාගෙන යන බව සැබෑවකි. අද වනවිට රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ ඒ තුළින් ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකිව තිබෙන්නේ ජනාධිපතිවරයා සහ පොදු ජන පෙරමුණ අතර ගොඩනැගී තිබෙන සන්ධානය සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය එයට ලැබී තිබීම නිසාත් බව සැබෑවකි. කෙසේ වුවත් දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටී දැනට ක්‍රියාත්මක කර ඇති ආර්ථික පිළිවෙත් කඩාකප්පල් වී ගියහොත් රටට මුහුණපාන්නට සිදු වන්නේ දැවැන්ත අර්බුදයකටය.
මෙම තත්ත්වය පක්ෂ විපක්ෂ සියලු දෙනා විසින් අවබෝධ කරගෙන සංයමයෙන් කටයුතු නොකරන්නේ නම් ප්‍රතිඵල බොහෝ භයානක වීමට ඉඩ තිබේ. ජනාධිපතිවරයා සහ පොදු ජන පෙරමුණ අතර විරසකයක් ගොඩ නැගීමට ගිය අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙන්ම පොදු ජන පෙරමුණ ද එය ක්ෂණිකව විසඳා ගැනීමට කටයුතු කිරීම හැඳින්විය හැක්කේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් අනුගමනය කළ ඉතා වැදගත් පියවරක් ලෙසය.
මහජනතාවට අවශ්‍ය වන්නේ දේශපාලන පක්ෂ තුළ හෝ පක්ෂ අතර ඇතිවන විරසකයන් හේතුවෙන් දැන් බිහිව ඇති ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටුණු තත්ත්වයක් ඇති කර ගැනීමට නොවේ. මහජනතාව මුහුණ දුන් අතිශය දුෂ්කර සහ පීඩාකාරී තත්ත්වයෙන් අත්මිඳී යම්තම් හිස එසවීමට හැකි වතාවරණයක් බිහි වී තිබේ. තවත් ඉතිරිව ඇති ගැටලු ද විසඳාගෙන අඩුම තරමින් ඉතා ළඟදීම පූර්ව කොවිඩ් යුගයේ ජීවන මට්ටමට හෝ ළඟා වීමට ඔවුන්ට අවශ්‍ය වී ඇත.
වත්මන් ආණ්ඩුව බිඳ වැටුණොත් පාර්ලිමේන්තුව තුළ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාට ගැනීමට ඇති එකම පියවර වනුයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමයි.
අද පවත්නා දේශපාලන තත්ත්වය තුළ එවැනි මැතිවරණයකින් පසු කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් රජයට එකතු වීම සඳහා දැනටමත් කැමැත්ත පළ කර ඇත. එසේ වුවද ජනාධිපතිවරයා එම පිරිසට විවිධ තනතුරු ලබා දී ආණ්ඩුවේ ඔළුගෙඩි ගණන වැඩි කර ගැනීමට බලාපොරොත්තු නොවන බව ද ප්‍රකාශ වේ.
ඔහුගේ ප්‍රමුඛතාව වී ඇත්තේ විවිධ අවස්ථාවලදී ඔහු විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි පළමුවත් දෙවනුවත් තෙවනුවත් ආර්ථික අර්බුදය විසඳා රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමය. පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටත ද දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීම විය යුත්තේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කර ආර්ථික ගමන් මග අවහිර කිරීම නොව සියලු දෙනාම එකතු වී ආර්ථික අර්බුදයෙන් රටත් මහජනතාවත් ගොඩගැනීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදිසි ඡන්දෙකින් රටේ ප්‍රශ්න විසඳේද?
NIMAL Wednesday, 21 June 2023 11:06 AM
හොරුත් එක්ක හදන ඡන්දයකින් ඔවුන් පන්නා දැමිය යුතුයි.
fairoos Wednesday, 21 June 2023 01:06 PM
මෙතුමා කියන්නේ මේ කාලකණ්ණි ආණ්ඩුවට කඩේ යන්න කියලා නේද? හදිසි ඡන්දයකින් දැන් ඉන්න අයම පත්වෙනවා නම් ඡන්දයක් අවශ්‍ය නැහැ තමයි.
Saman Wednesday, 21 June 2023 02:50 PM
හදිසි මැතිවරණ අවශ්‍ය නැත, තිබිය යුතු මැතිවරණ තියන්න, එපමණක් ඇති...