දශක හයකට ආසන්න කාලයක් එක දිගට පාලන බලය හිමි කරගෙන සිටි ජපානයේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂය පසුගියදා පැවති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා වසර තුනකට පසුව නැවත බලයට පත් විය. ආසන 480කින් යුත් ජපාන පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 294ක් ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්රටික් පක්ෂය දිනා ගත් අතර ඒ සමග සභාගයට එළැඹී සිටින නව කම්ටෝ පක්ෂය දිනාගත් ආසන 31ත් සමග ඔවුන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබෙනු ඇත. ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට බහුතරයක් නොමැති නිසා තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගන්නා පනත් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බලපෑමකින් තොරව නීතිගත කර ගැනීමට හැකි වේ. එම නිසා පසුගිය වසර හත ඇතුළත පත් වෙන හත් වැනි අගමැතිවරයා වන ෂින්සො අබේට දශකයකට අධික කාලයක් තිස්සේ පසුබෑමකට ලක්ව ඇති ජපන් ආර්ථිකය නැවත පන ගන්වා ගිලිහී ගිය ආර්ථික නායකත්වය නැවත ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනෙක් අතට 2009 පැවති මහා මැතිවරණයේ දී ලිබරල් ඩිමොක්රටික් පක්ෂය ප්‍රථම වරට පරාජය කොට බලය දිනා ගත් ජපානයේ ප්රජාතන්ත්රවාදී පක්ෂයට මෙවර දිනාගත හැකි වූයේ ආසන 57ක් පමණි. එනම් 2009 වසරේ දී දිනා ගත් ආසන සංඛ්‍යාවෙන් පහෙන් එකක් පමණි. පළමු වරට ඡුන්ද සටනට එක් වූ ජපාන පුනරුත්ථාපන පක්ෂයට ආසන 54ක් දිනා ගැනීමට හැකි වීම ද කැපී පෙනෙන සිද්ධියකි. ඔසාකා නගරාධිපති ටෝරා හෂිමොටෝ සහ ටෝකියෝ නගරාධිපතිගේ නායකත්වයෙන් යුත් මෙම පක්ෂය ප්‍රධාන පක්ෂ දෙක කෙරේම කලකිරී සිටින ජනතාවට එම පක්ෂ දෙකට වඩා ජාතිකවාදී සටන් පාඨ ඉදිරිපත් කළ මෙම පක්ෂය ආශ්වාදයක් වන්නට ඇත. චීනය සමග මතභේදයකට තුඩු දී ඇති සෙන්කකු නම් මනුෂ්‍ය වාසයක් නැති කුඩා දුපත පවරා ගැන්මට ක්‍රියා කළ ටෝකියෝ නගරාධිපතිවරයා ජපානයේ හමුදා බලය වඩාත් ශක්තිමත් කළ යුතු යැයි කියා සිටී. මීට අමතරව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිසා පරිසරයට හා මිනිස් ජීවිතවලට සිදු වන හානිය ඉස්මතු කරමින් ස්වාභාවික බලශක්ති මූලාශ්‍ර යොදා ගැනීමටත් පරිසරය ආරක්ෂා කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති පදනම් කර ගැනීමටත් යෝජනා කළ කුඩා පක්ෂවලට නව පාර්ලිමේන්තුවේ සැලකිය යුතු නියෝජනයක් ලබා ගැනීමට නොහැකි විය. එමෙන්ම ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග පරාජය පිළිබඳ වගකීම බාරගත් අගමැති යොෂිනිකො නෝඩා තනතුරෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූයේය. එහෙත් වැදගත්ම ප්රශ්නය වන්නේ දෙසැම්බර් 26 වැනිදා දෙවන වරටත් අගමැති තනතුරට පත් වෙන ෂින්සෝ අබේට ජපානය මුහුණ දී ඇති ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනීමට හැකි ද යන්නය. 2006/2007 කාලයේ දී වසරක පමණ කාලයක් අගමැති තනතුරේ සිටි ඔහු තනතුරෙන් ඉවත් වූයේ සෞඛ්‍ය හේතු දක්වමිනි. එහෙත් ඒ වන විටත් පසුබෑමට ලක් වෙමින් ජපන් ආර්ථිකය නගා සිටුවීමට අසමත් වීම නිසා ජනමත විමසුම්වල දී ඔහුගේ ජනප්‍රියත්වය පහළට වැටී තිබිණි. මෙවර වඩාත් වැඩි ඡුන්ද ප්‍රමාණයකින් (එහෙත් මෙවර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 59 දක්වා පහත වැටී තිබිණි) ජයග්‍රහණය කළ ද ජන ජීවිතය නගා සිටුවීමට කඩිනම් පියවර ගැනීමට නොහැකි වූවහොත් තනතුරේ රැඳී සිටිය හැකි කාලය ඉතාමත් කෙටි විය හැකිය. සමහර නිරීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට මැතිවරණ ජයග්‍රහණයක් ලැබීමට එක හේතුවක් වූයේ චීනය සම්බන්ධයෙන් ඔහු වඩාත් ජාතිකවාදී ප්‍රතිපත්තියක් යෝජනා කිරීම නිසාය. සෙන්කකු දුපත් අයිතිය කිසිසේත් අත් නොහරින බව පවසන ඔහු එක්සත් ජනපදය සමග වඩාත් සමීප ආරක්ෂක වැඩ පිළිවෙළක් ඇති කර ගැනීමට සූදානම්ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ස්වයංආරක්ෂාව සඳහා පමණක් වූ හමුදාවේ ප්‍රහාරාත්මක ශක්තිය වැඩි කිරීම හා විදෙස් රටවල සාම සාධක කටයුතුවල ජපන් හමුදා භටයන් යෙදවීම ඔහුගේ ආරක්ෂක වැඩ පිළිවෙළට අයත්ය. පැසිපික් කලාපයේ සිය බලශක්තිය වැඩි කිරීමට සැලසුම් කර ඇති එක්සත් ජනපද වැඩපිළිවෙළට මෙය වඩාත් ගැලපේ. ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ඔහු යෝජනා කරන්නේ රජය වියදම් වැඩි කර ඉහළ බදු අනුපාත අඩු කර දිරි ගැන්වීම් ලබා දීමය. එක අතකින් මෙය අලූත් වැඩ පිළිවෙළක් නොවේ. ජපන් රජය දිගින් දිගටම ආර්ථික දිරි ගැන්වීමක් වශයෙන් රාජ්‍ය වියදම් ඉතා ඉහළ මට්ටමක පවත්වා ගත් නමුත් ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වූයේ නැත. මෑතක දී පළ වූ සංඛ්‍යාලේඛන අනුව උද්ධමන බලපෑම ඉවත් කළ විට ජපන් ආර්ථිකය දැන් පවතින්නේ 1993 දී පැවති මට්ටමේය. වඩාත් අයහපත් තත්ත්වය වන්නේ මේ වසරේ දෙවන කාර්තුවේ දී ජපන් ආර්ථිකයේ ප්‍රථම වරට වර්තන ගිණුමේ හිඟ ශේෂයක් වාර්තා වීමය. එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ පවතින ආර්ථික පසුබෑම නිසා ජපන් අපනයන පහත වැටෙමින් පවතින අතර එය මෙම වසරේ අවසාන කාර්තුවේ දී සියයට 3.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම නිසා මෙම වසරේ දී නැවත වරක් සියයට 3ක ඍණ වර්ධනයක් වාර්තා කරනු ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 230ක් වන අතර එය කාර්මික රටවල් අතුරෙන් ඉහළම තැන ගනී. මේ සමගම ජපානයේ ධන උල්පත් වශයෙන් හැඳින්වෙන බලවත්ම සමාගම් ද ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටීමෙන් තත්ත්වය වඩාත් සංකීර්ණ වේ. මීට අමතරව ෂින්සෝ අබේ අනුගමනය කිරීමට සූදානම් වන විදේශ ප්‍රතිපත්තිය ආර්ථිකයේ යහපතට හේතු වන්නේ යැයි කිව නොහැක. චීන මුහුදේ දුපත්වල අයිතිය, එක්සත් ජනපදය සමග වඩාත් සමීප ආරක්ෂක වැඩ පිළිවෙළකට යෑම, ජපානයේ හමුදා ශක්තිය වැඩි කිරීම, ජපානයේ ප්‍රධාන වෙළෙඳ ගනුදෙනුකරුවා වන චීනය සමග ගැටුම්කාරී පියවරය. ජපානයේ විශාල සමාගම් රාශියක් චීනයේ ආයෝජනය කර ඇති අතර ඒවා එම සමාගම්වලට මෙන්ම ජපානයේ ගෙවුම් ශේෂයට ද අතිශයෙන් වැදගත්ය. මෙම වසරේ මැද බාගයේ සිට චීනයේ ජපන් විරෝධී උද්ඝෝෂණත් උත්සන්න වීම ජපන් අපනයන මෙන්ම චීනයේ ඇති ජපන් සමාගම්වල නිෂ්පාදනයේ ද කැපී පෙනෙන පහත වැටීමකට හේතු විය. මෙම බලපෑම මඟ හැරීමට නම් ආයෝජනය සඳහා වඩාත් හිතකර වෙනත් ස්ථාන සොයා ගත යුතුය. අනෙක් අතට සිය අපනයන සඳහා වෙනත් වෙළෙඳපොළ ද සොයා ගත යුතුය. එනම් එක්සත් ජනපදයට හා යුරෝපා සංගමයට කෙරෙන අපනයන වැඩි කළ යුතුය. එහෙත් එම කලාප දෙකේම දැනට පවතින තත්ත්වය අනුව එවැන්නක් කෙටි කාලයේ දී අපේක්ෂා කළ නොහැක. මෙවැනි පසුබිමක් තුළ සුවිශාල ජනවරමක් ලැබුණ ද ජනතා අපේක්ෂා ඉටු කිරීම නව අගමැති ෂින්සෝ අබේට පහසු නොවේ. විශේෂයෙන් අසල්වැසි බලවත් රටක් වන චීනය සමග ගැටුම් ඇති කර ගැනීමට හේතු වන ප්රකෝපකාරී පියවර ගැනීම ජාතිවාදී හැඟීම්වලට කෙසේ වුවත් ආර්ථිකයට යහපතක් වනු ඇතැයි කිව නොහැක. කලින් අගමැති තනතුර දැරූ සමයේ ඔහු දෙවැනි ලෝක යුද්ධයේ දී මිය ගිය ජපන් සොල්දාදුවන් අනුස්මරණ කිරීම සඳහා යොෂිකැම් දේවස්ථානයට යෑම චීනයේ පමණක් නොව සාම්ප්‍රදායික හිතවතකු වූ දකුණු කොරියාවේ ද විරෝධයට හේතු විය. ඒවායේ ආර්ථික බලපෑම ද ප්රබලය. එම නිසා ඡුන්ද සමයේ ප්‍රකාශ කළ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගවලින් ආර්ථිකය ගොඩ ගැනීමට හා ජනතා අපේක්ෂා ඉටු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. අනෙක් අතට සමහර නිරීක්ෂකයින් පවසන ආකාරයට මෙම ඡුන්ද ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජයග්‍රහණයකට වඩා ජපාන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පරාජයයි. ඉන් අදහස් වන්නේ නව අගමැති ෂින්සෝ අබේට ජනතා පැතුම ඉටු කිරීමට නව ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග සොයා ගැනීමට සමත් පෙළඹවීමක් පැවතීමය. එය ඉටු කිරීමට අසමත් වුවහොත් ඔහුට ඉතා කෙටි කාලයක් ඇතුළත අට වැනි අගමැතිවරයකු පත් කර ගැනීම සඳහා තනතුරෙන් ඉවත් වීමට සිදු වනු ඇත.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජපානයට නව එළියක්
අජිත් කරුණාරත්න Saturday, 22 December 2012 07:37 AM
ඉතාම හොදයි. සන්තෝෂයි! (නි)
ෂෙරීෆ් Friday, 21 December 2012 03:20 PM
ඔහොම යන්... (ස)