IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නව දේශපාලන ක‍්‍රමයට නේපාල ජනතාව සූදානම්ද?

නේපාලයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තෝරා පත් කරගැනීම සඳහා 2008 පැවැති මහා මැතිවරණයෙන් පසු ප‍්‍රථම වරට එරට ජාතික එක්සත් රජයක් පිහිටුවීමට ආසන්න තත්ත්වයක් පසුගිය සතියේ උදා විය. දැනට සිිටින අගමැති වෛද්‍ය භට්ටාරායිගේ රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂ කණ්ඩායම් සූදානම් වන අතරතුර නේපාලයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ තුන වන මංවෝවාදී කොමියුනිස්ට් පක්ෂය, එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය හා නේපාල කොංග‍්‍රසයත් මදේසි එක්සත් පෙරමුණත් අතර ඇති කරගත් කරුණු පහකින් යුතු එකඟතාව අනුව නේපාලයේ ප‍්‍රථම වරට ජාතික එක්සත් රජයක් පිහිටවනු ඇත. ඊට ඉඩ සැලසීම සඳහා දැනට සිටින කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ඉල්ලා අස්විය. ඉන් පසුව ප‍්‍රධාන දේශපාලන පක්ෂ තුන සහ මදේසි පෙරමුණ අගමැති භට්ටාරායි යටතේ ජාතික එක්සත් රජයේ කැබිනට් තනතුර භාර ගන්නා අතර ඔවුන්ගේ මූලික කාර්යය වන්නේ මැයි 27 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නිල කාලය අවසන් වීමට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කොට සම්මත කරගැනීමය. පසුගිය වසර හතරක කාලය තුළ ආණ්ඩු හතරක් පැවතිය ද මෙවැනි එකඟතාවකට ළඟා වීමට නොහැකි විය. ලොව දුප්පත්ම රටවල්වලින් එකක් වශයෙන් හැඳින්වෙන නේපාලයේ දේශපාලන පක්ෂ අතර පවතින පටු ආකල්ප හා කුලල් කා ගැනීම් නිසා මෙවැනි එකඟතාවක් ඇති කරගැනීම පවා විස්මයජනක සිද්ධියකි. මෙම එකඟතාව කොපමණ කලක් පවත්වා ගන්නේ ද නියමිත කාල සීමාව තුළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට හැකි වන්නේ ද යන බරපතළ සැක මතු වුව ද වෙනත් විකල්පයක් නේපාල දේශපාලකයන්ට ඇත්තේ ද නැත. ඔවුන්ට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට නොහැකි වුවහොත් ඇති එකම විකල්පයත් සාධාරණ කි‍්‍රයා මාර්ගයත් වන්නේ නැවතත් මහා මැතිවරණයකට යෑම පමණි. එහෙත් නැවත මහා මැතිවරණයක් පැවැත්වුවත් කිසිම දේශපාලන පක්ෂයකට නිශ්චිත බහුතරයක් හෝ ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීමට හැකි වෙතැයි කිව නොහැක. පසුගිය මහා මැතිවරණයේ දී නේපාලයේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයට අනෙක් පක්ෂවලට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත හැකි වුව ද ඔවුන්ට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ බහුතරයක් හිමි වූයේ නැත. මාවෝවාදීන්ට විරුද්ධව සිටි අනෙක් පක්ෂවලට ද බහුතරයක් එක්රැස් කරගැනීමට හැකියාවක් නොතිබුණ නිසා ස්ථාවර රජයක් පිහිටුවීමට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සන්ධානයකට ඉඩක් ලැබුණේ නැත. මෙවැනි වාතාවරණයක් යටතේ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ඇති කරගත් එකඟතාව සුවිශේෂී සිද්ධියකි. එහෙත් එම එකඟතාවට අත්සන් තැබීම නිසා එම පක්ෂ හා කණ්ඩායම අතර පවතින මතභේද තුනී වූයේ යැයි හෝ විසඳුණේ යැයි කිව නොහැක. ඔවුන් අතර පැවති පැහැදිලි එකඟතාව වූයේ මැයි 27ට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත යුතුය යන්න ගැන පමණි. ඊට තුඩු දුන් එක හේතුවක් වන්නේ මැයි 27ට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර නොගතහොත් ඔවුන්ට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස තව දුරටත් රැඳී සිටීමට නීත්‍යනුකූලව අයිතියක් නොමැති වීමය. එහෙත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී විසඳාගත යුතු ගැටලූ රැසක් පවතී. ඉන් එකක් වන්නේ නව රජයේ ස්වභාවයයි. දැනට පවතින මධ්‍යගත පාලනය වෙනුවට සන්ධීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු යැයි සාමාන්‍ය එකඟතාවක් පවතින නමුත් සන්ධීය ඒකක වෙන් කිරීමේ නිර්ණායක ගැන බොහෝ මතභේද පවතී. නේපාල කොංග‍්‍රසයේ ස්ථාවරය වන්නේ එම සන්ධීය ඒකක භූගෝලීය හා පාලන මධ්‍යස්ථාන වශයෙන් පවත්වා ගෙන යෑමේ හැකියාව මත වෙන් කළ යුතුය යන්නයි. එහෙත් නේපාලයේ තෙරායි ප‍්‍රදේශය පදනම්ව ඇති මදේසි පෙරමුණේ බලවත් ඉල්ලීම වන්නේ වාර්ගික පදනමක් ඇතිව සන්ධීය ඒකකවල මායිම් සීමා කිරීමය. මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය ද වාර්ගික පදනම යටතේ සන්ධීය ඒකක වෙන් කිරීමට එකඟතාව පළ කරයි. මේ පදනම වඩාත් සංකීර්ණ වන්නේ මදේසි වාර්ගික කණ්ඩායම් තුළ තවත් අනුබෙදීම පැවතීමත් ඔවුන් ද තමන්ට දේශපාලන අධිකාරියක් ලැබිය යුතු යැයි අවධාරණය කිරීමත් නිසාය. එවැනි ඉල්ලීම සැලකිල්ලට ගන්නේ නම් සන්ධීය ඒකක ගණන සැලකිය යුතු ආකාරයෙන් ඉහළ යනු ඇත. මේ නිසා නේපාල කොංග‍්‍රසයේ තවත් ස්ථාවරයක් වන්නේ සන්ධීය ඒකක සංඛ්‍යාව අට නොඉක්මවිය යුතුය යන්නයි. මෙවැනි සංඛ්‍යාවක් දැක්වීමේ පදනම කුමක් ද යන්න පැහැදිලි නැති වුවත් ඉන් සම්මුතියක් ඇති කරගැනීමට ඇති දුෂ්කරතාව ඉස්මතු කරයි. වාර්ගික කණ්ඩායමක් තුළ පවතින කුල ක‍්‍රමය අනුව ඇති බෙදීම් නිසා වාර්ගික පදනමක් අනුව සන්ධීය ඒකක වෙන් කිරීම ගැටලූවට විසඳුමක් නොවේ. ජයගත යුතු අනෙක් ගැටලූව වන්නේ ජාතික එක්සත් රජයේ අගමැති තනතුරයි. අගමැති තනතුර දැනට හිමිව ඇත්තේ නේපාලයේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ භට්ටාරායිටය. කොංග‍්‍රස් පක්ෂය ඊට විරුද්ධ වී අගමැති තනතුර තම පක්ෂයට හිමි විය යුතු යැයි කියයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු අගමැති තනතුරෙන් ඉවත් වීමටත් නව ඡන්ද විමසීම ඉන් පසුව පවත්වන කොංග‍්‍රස් පක්ෂයේ අගමැතිවරයෙකු යටතේ පැවැත්වීමටත් මාවෝවාදීන් යෝජනා කරන නමුත් කොංග‍්‍රස් පක්ෂය ඊට එකඟ වන්නේ ද යන්න ගැන තවම තීරණයක් ගෙන නැත. ඒ සමගම නේපාලයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය ජාතික එක්සත් රජයේ ඇමැති තනතුරු භාර නොගන්නා බව මේ සතියේ අඟහරුවාදා නිවේදනය කළේය. ඊට හේතු වශයෙන් දක්වන්නේ ජාතික එක්සත් රජයේ ඇමැති තනතුරු වෙන් කිරීමේ දී අගමැති භට්ටාරායි අනෙකුත් පක්ෂ විමසන්නේ නැතිව කි‍්‍රයා කිරීමය. ජාතික එක්සත් රජයේ මදේසි පෙරමුණට අයත් ඇමැතිවරුන් දැනටමත් නම් කිරීම නේපාල මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය තරයේ විවේචනය කරයි. ඔවුන් ජාතික එක්සත් රජයට එකතු නොවන නමුත් පිටත සිට ඊට සහාය දැක්වීමට සූදානම්ය. නව ව්‍යවස්ථාව යටතේ අගමැති ඍජුවම මහජන ඡන්දයෙන් තෝරා පත් කරගන්නේ ද නැති නම් පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නේ ද වැනි කරුණු ගැනත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ අතර පවතින්නේ වෙනස් මතයන්ය. නොඑසේ නම් විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගන්නේ ද යන්නත් විවාද වෙමින් පවතින මතයකි. රාජාණ්ඩු ක‍්‍රමයක සිට මහජනතාවට ඍජුව වග කියන නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කරා සංක‍්‍රමණය වීමේ දී එවැනි ගැටලූ සහ සංකීර්ණතා මතු වීම අපූරු දෙයක් නොවන නමුත් වැදගත් වන්නේ ඒවා විසඳා ගැනීමට සියලූ පාර්ශ්ව ආදියට එකඟ විය හැකි සම්මුතීන්ට පැමිණීමට නේපාල දේශපාලන පක්ෂ සූදානම් ද යන්නයි. මෙතෙක් ඇති කරගත් එකම සම්මුතිය වන්නේ රාජාණ්ඩු ක‍්‍රමය ඉවත් කොට රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් තෝරා පත් කරගැනීම පමණි. මෙවැනි වාතාවරණයක් යටතේ මැයි 27ට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පූර්ණ කරගෙන සම්මත කළ හැකි ද යන්න බරපතළ අභියෝගයකි. මීට පෙර පැවති අභියෝගයක් වූ මාවෝවාදී සටන්කරුවන් නිත්‍ය හමුදාවට බඳවා ගැනීමේ ප‍්‍රශ්නය නිරාකරණය කරගැනීමේ දී මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය දැඩි කැපවීමකින් කි‍්‍රයා කළේය. එම නිසා ඊළඟ පියවර ගැනීමට අවකාශයක් ලැබිණ. දැනට ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සන්ධීය ආණ්ඩු ක‍්‍රමය, ආගම්වාදී නොවීම, ජනරජය හා සියලූ ජන කොටස් හවුල් කරගැනීම වැනි වඩාත් සංකීර්ණ එහෙත් නව රජයේ ව්‍යුහය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් කරන ගැටලූය. ඒවාට විසඳුම් නොමැතිව සියලූ ජන කොටස්වලට පිළිගත හැකි පාලන ක‍්‍රමයක් ස්ථාපිත කළ නොහැක. අතීතයේ මෙවැනි තීරණාත්මක ගැටලූවලට විසඳුම් සෙවීමේ දී අසල්වැසි ප‍්‍රබලයා වූ ඉන්දියාව වැදගත් සාධකයක් විය. පසුගිය සතියේ ඇති කරගත් එකඟතාවට ද ඉන්දියාව මැදිහත් වූ බව සමහර වාර්තාවල දැක්වේ. මැයි 27ට පෙර මෙම ගැටලූව නිරාකරණය වීම නේපාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ යහපාලනයේ පැවැත්මට වැදගත් වුව ද අසල්වැසි ප‍්‍රබලයින් මත යැපීම එහි ඉදිරි ගමනට හොඳ ආරම්භයක් නොවේ.

සටහන - මහින්ද හත්තක
අගමැති භට්ටාරායිගේ ඡායාරූපයක් පුළුස්සමින් අගමැති භට්ටාරායි නේපාලයේ මාවෝවාදී අනුගාමිකයෝ ජාතික ශිෂ්‍ය සංගමය රජයේ දේපළ පුළුස්සමින්



අදහස් (0)

නව දේශපාලන ක‍්‍රමයට නේපාල ජනතාව සූදානම්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 928 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 506 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 126 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8392 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 154 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 236 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site