IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මැද පෙර දිග දෙපිළ බෙදේ

ඊශ‍්‍රායෙලය හා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඇතිකරගෙන තිබූ පැය 72 ක සටන් විරාමයද නියමිත කාලය ගතවීමට මත්තෙන්ම අවසන් විය.

අවසාන මොහොතේදී සටන් විරාමය උල්ලංඝණය කිරීමට කටයුතු කළ හමාස් සටන් කාමීන් කියා සිටියේ ගැටුම් වලට ස්ථීරසාර විසදුමක් ගෙන ඒමය අවැසි වන්නේ නම් වසර ගණනාවක් පුරාවට ගාසා තීරය වටකොට ඊශ‍්‍රායෙලය හා ඊජිප්තුව පිහිටුවාගෙන  සිටින ආරක්ෂක වළල්ල ඉවත්කළ යුතුව ඇති බවය.මෙනිසා සටන් විරාමයකින් ඵලක් නොමැති බව කියූ ඔවුහු යළිත් වරක් ඊශ‍්‍රායෙලට රොකට් ප‍්‍රහාර එල්ල කළහ.

ඊශ‍්‍රායෙලයද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේ ගාසා තීරයේ තවත් ගොඩනැගිලි කිහිපයක් බිමටම සමතලා කරවමින් තවත් සිවිල් වැසියන් ගණනාවකට මරු කැදවමින්ය.දැන් දෙපාර්ශවයම නැවත වරක් එකිනෙකාට ප‍්‍රහාර එල්ල කර ගැනීමේ නිරතව සිටිති.

දෙපාර්ශවය අතර හබය ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්ව ඇත.වැඩිදෙනාගේ ඇගිල්ල දිගුව ඇත්තේ ඊශ‍්‍රායෙලය දෙසටය.ඊශ‍්‍රායෙල ප‍්‍රහාර වලින් සියගණනින් මරුමුවට පත්වන්නේ සිවිල් වැසියන් වීම මීට හේතුවයි.

සිවිල් වැසියන් මැස්සන් මෙන් මැරෙනු දකින ලෝකයාගේ කෝපය ඊශ‍්‍රායෙලය වෙත යොමුවීමේ වරදක් නැත.සිවිල් වැසියන්ගේ මරණ සාධාරණීකරණය කරන්නට තැත් කරන ඊශ‍්‍රායෙලය හමාස් සංවිධානය රොකට් අවි ස්ථාන ගත කර ඇත්තේ සිවිල් වැසියන්  ගැවසෙන ස්ථාන වල යැයි පවසා සිටීම සිවිල් වැසියන් මරණයට පත්වන ආකාරය දුටු විට පිළිගැනීමටද නොහැකි වන්නට පිළිවන.නමුත් ඊශ‍්‍රායෙලයට දොස් තබන ලොව බහුරතය ඔවුන් ප‍්‍රහාරයක් එල්ල කිරීමට මත්තෙන් එම ප‍්‍රහාරය එල්ල කිරීමට නියමිත  ප‍්‍රදේශයෙන් ඉවත් වන්නැයි ගුවනින් දැන්වීම් පති‍්‍රකා හෙළන බවත්,ශබ්ද විකාශන යන්ත‍්‍ර  භාවිතයෙන් සිවිල් වැසියන් දැනුම්වත් කරන බවත් දන්නේ දැයි සැක සහිතය.

මේ ඊශ‍්‍රායෙලයේ කි‍්‍රයාකලාපය සාධාරණීකරණය කරන්නට දරන තැතක් නොවේ.ඔවුහු ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් සිටිති.තමන්ය රිසි සැටියට තවත් ජනතාවක් වෙසෙන ප‍්‍රදේශයකට ප‍්‍රහාර එල්ල කරන්නට කිසිවෙකුටත් කිසිදු අයිතියක් තිබිය යුතු නොවේ.එය මිනිසත් බව ලබා ඇති අප නොකළ යුතු තරමේ  දෙයකි.

හමාස් සංවිධානයටද තමන් අතේ කිසිදු වරදක් නැතැයි පැත්තකට වී සිටිය නොහැක.ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ‘‘මාකට්‘‘ කරමින් තමන්ගේ  පැත්තට ලකුණු දමාගැනීමේ කටයුත්තක ඔවුහු නියැළී සිටින බවක් පෙනේ.අනෙක් අතට ඔවුන් ඊශ‍්‍රායෙලයට රොකට් ප‍්‍රහාර දිනපතාම සිය ගණනින් එල්ල කරමින් සිටී.අයන් ඩෝමය නොවන්නට ඊශ‍්‍රායෙලයද මේ වන විට පවතිනු ඇත්තේ සුන්බුන්ගොඩක් බවට පත්වය.

දෙපාර්ශවය අතර ගැටුමට අවධානය යොමුකර සිටින ලෝකයාට මැදපෙරදිග උද්ගතවී  ඇති තත්ත්වය අමතකව ඇති සෙයක් පෙනේනට තිබේ.ඊශ‍්‍රායෙල ගාසා සටන එක් කුඩා සිදුවීමක් පමණකියැයිද එසේ නොව සියවස් ගණන් පැරණි කෝන්තර දැන් දලූ  ලා වැඩෙමින් පවතින බවද ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී ඇති බවක් පෙනේ.ඊශ‍්‍රායෙලයේ ප‍්‍රහාර වලින් මියයන සිවිල් වැසියන් සම්බන්ධයෙන් ශෝක වුවද  අන්තවාදීන්ගේ ප‍්‍රහාර වලින් මැදපෙරදිග රටවල දිනපතා දහස් ගණනින් මිය යමින් සිටින,උන්හිටි තැන් අහිමිව යමින් සිටින ජනතාව ගැන ඔවුනට අමතකව ගොස් ඇති  සෙයක් පෙනේ.

මැදපෙරදිග මේ දිනවල ඇති ලොකුම පිළිලය වන්නේ අයිඑස් (ඉස්ලාමික දේශයේ - පෙර අයිඑස්අයිඑස්) අන්තවාදීන්ය.සුන්නි පාර්ශවිකයින් වන ඔවුහු පාරිශුද්ධ යැයි තමන් හඳුන්වාගනිමින් වෙනත් ආගම් වලට මෙන්ම තමන්ගේම ආගමේ වෙනත් කොටස් වලට අයත් ජනතාව සංහාරය කරමින් සිටින්නෝය.දැනට ඔවුහු ඉරාකයේ හතරෙන් පංගුවක  කොටසක බලය අල්ලාගෙන සිටිති.ඔවුන්ගේ අඩු පඩු මුලූ මැදපෙරදිග පුරාම අඩු වැඩි වශයෙන් විසිර තිබේ.බලහත්කාරයෙන් අත්පත්කරගන්නා විවිධ රටවල සම්පත් ඔවුන් තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් භාවිතා කරමින් සිටිති.

පසුගිය රාමසාන් දිනයේදී ඔවුන් වීඩියෝවක් එළිදැක්වීමට කටයුතු කර තිබුණි.රාමසාන් යනු සන්තෝශයේ කාලයක් වුවත් එයට හාත්පසින්ම වෙනස් තේරුමක් ගෙන දුන් එම වීඩියෝව හදවතක් ඇත්තෙකුට නම් බැලිය නොහැක.නිරායුධ වැසියන්ට වෙඩි  තබනු,ඔවුනට වද හිංසා කරනු,ලෙයින් වැකී ගිය ජැටි වල සිට මළසිරුරු මුහුදට විසි  කරනු,මෝටර් රථවල යමින් මාර්ගයේ ධාවනය වෙන අනෙක් මෝටර් රථ වලට වෙඩි වරුසා එල්ල කරනු,හිස ගසා දමනු,පුද්ගලයින් කුරුසි පත් කරනු ආදී ඇග ලොමු ලැහැගැන්වෙන දර්ශන රැසකින් එය සමත්විත වුනි.එල්එස් අන්තවාදීන් ඔවුනට  වුවමනා පරදි මේ රගන රැගුම ඉදිරියේ ලෝකයා තවමත් නිහඬය.

 

පසුගියදා අයිඑස් අන්තවාදීහු තවත් නරුම වැඩක් කළහ.ඉරාකයේ පැරණිම ගෝත‍්‍රයක් ලෙස සැළැකෙන යසිඩි ගෝත‍්‍රයේ වැසියෝ 40000 ක් පමණ දෙනා රටේ උතුරු පැත්තට එළවා දැමූ ඔවුහු එම ජනතාවට තෝරාගැනීම් 2 ක් ලබාදුන්හ.පළමුවැන්න ඔවුන් එළවාදමන ලද කඳුගැටයට වී ආහාර හා ජලය සපයාගත නොහැකිව මිය යාමයි.අනෙක කඳුපාමුල බලා සිටින අයිඑස් අන්තවාදීන්ගේ අතින් මිය යාමයි.

මෙම සිදුවීම නම් ලෝක බලවතුන්ගේ අවධානය දිනා ගැනීමට සමත්වුනු අතර ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ අණින් අහසට නැංවුනු ප‍්‍රහාරක යානා බෝම්බ හෙළා අයිඑස් අන්තවාදීන්ගේ රථ පෙළක් විනාශ කර දැමිය.තවත් යානයක් කදු මුදුනේ සිරවී සිටිනා ජනතාවට ආහාර ද්‍රව්‍ය පිරැවූ මලූ හෙලීය.

අයිඑස් අන්තවාදීන් සමූලඝාතක ප‍්‍රයත්නයකට සැරසෙන්නේනම් තමන් ඊට දැඩි ප‍්‍රතිචාර දක්වන බව ඇමරිකා ජනපතිවරයා ප‍්‍රකාශ කළ අතර බි‍්‍රතාන්‍යයද ඒ හා සමානවම අදහස් දක්වා සිටියේය.

ලෝක බලවතුන්ගේ ඇස් මීට පෙර ඇරුණේ නම්, වරක් ඇමරිකාව පවසා සිටි පරිදි ඉරාකයට දැන් ඔවුන්ගේ ආරක්ෂාව බලා කියා ගැනීමට හැකියැයි කියා නිකම්ම නොසිටියේ නම් අයිඑස් අන්තවාදීන් මේ දක්වා සිදුකර ඇති මහා විනාශය වළක්වා ගත හැකිව තිබුණි.නමුත් දැන් ප‍්‍රමාද වැඩිය.

අයිඑස් ඇතුළු සුන්නි අන්තවාදී සංවිධානයන්ට සහය දෙමින් සිටින්නේ සෞදි අරාබිය බව ප‍්‍රසිද්ධ රහසකි.

 

අයිඑස් හා ගැටෙනා ෂියා පාර්ශවයට, එනම් ඉරාක රජය,සිරියා රජය, හා ඉරාකයේ වෙනම පාලනයක් ගෙන යන කුර්දිශ්වරුන්,ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ආදීන් හට අවි සපයමින් ඔවුනට සහය දක්වමින් සිටින්නේ ෂියා හිතැති ඉරානය ඇතුළු රටවල්ය.

මෙනිසා මුළු මහත් මැදපෙරදිගම දෙපිළ බෙදී සිටිනු දැකගත හැකිය.

ඊළගට අවාසනාවන්තම තත්ත්වය ඇත්තේ ලිබියාවේය.බටහිර බලවතුන් සහය දැක්වූ අරගලයකින් පසු ලිබියාවේ ආඥාදායක ගඩාපි බලයෙන් පහ කර දමණු ලැබිණ.සියලූදෙනා සිතූයේ ලිබියාවට මින් පසු හොද කලක් යනු ඇතිය කියාය.නමුත් අවාසනාවකි,එය යථාර්ථයක් බවට පත් නොවුනි.

ගඩාපිගේ පරාජයෙන් පසු රට පත්වූයේ විවිධාකාරයේ සන්නද්ධ කණ්ඩායම් අතටය.ඔවුහු නීතියක් නොදන්නා,තම තමන්ගේ මතය පමණක් ජනතාවට අතරට ගෙන යෑමට තැත් කළ පිරිසක් වූහ.මෙහි ප‍්‍රතිඵලය වූයේ ලිබියාවේ නැවත වරක් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීමයි.වර්තමානයේ ලිබියාවේ ප‍්‍රධාන නගර වල පදික වේදිකාවන්ගේ පවා ගිනි අවි විකිණීමට තබා ඇත.නයිජර්,මාලි,චැඞ් වැනි රටවල අන්තවාදී කණ්ඩායම් වල නව නිවහන වී ඇත්තේ ලිබියාවයි.ඔවුහු ලිබියාවේ බලය තහවුරු කරගැනීමට එකිනෙකා හා නිරතුරව ගැටෙති.පසුගියදා ටි‍්‍රපොලි හා බෙන්ගාසී යන නගරවලදී ඇතිවූ ගැටුම් වලට මැදිවී සිය ගණනක් සිවිල් වැසියෝ මිය ගියහ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගඩාපි පරාජය කර සැබෑ ස්වාධීනත්වය ලිබියා ජනතාව වෙත ලබාදුන්නේයැයි කියූ ඇමරිකාව බි‍්‍රතාන්‍යය හා ප‍්‍රංශය වැනි බටහිර බලවතුන් ලිබියාවේ සිටි තම තමන්ගේ පුරවැසියන්ට නැවත සිය රටවල් බලා යන්නැයි දැන්වීය.ලිබියාවේ පිහිටි තම තානාපති කාර්යාලයද වසා දැමූ ඇමරිකාව එහි වූ කාර්යමණ්ඩලයද නැවත කැදවාගත්තේය.බි‍්‍රතාන්‍යය ලිබියාවේ සිටින තම පුරවැසියන් කැදවා ගැනීම සදහා රාජකීය නාවික හමුදාව යෙදවූවේය.

වසර 40 ක ගඩාපි පාලන කාලයේ පවා ලිබියාව අත්නුදුටු විරූ ව්‍යසනයක් දැන් එහි වැසියෝ අත්විදිමින් සිටිති.සහය වන්නැයි ඔවුහු ආයාචනා නගති.එයට පිළිතුරු ලෙස ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා සිටියේ ලිබියානුවන් දැන් තමන්ගේ වැඩකටයුතු බලාකියා ගත යුතුව ඇති බවයි.

ස්වාධීනත්වය දිනා දෙන්නෙමැයි කියා අවසානයේ ජනතාව සිටියාටත් වඩා අන්ත දුක්ඛිත අවදියකට පත් කර එයට දෙන පිළිතුරද අපූරුය.

මැදපෙරදිග ඊළගට ඇති ව්‍යසනය තිබෙන්නේ සිරියාවේය.එයටත් බටහිර හවුල්ය.බටහිර ආධාර ලබන සිරියා කැරළිකරුවන්,ඉරානය ඇතුලූ ෂියා හිතවාදීන්ගේ සහය ලබන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදාවන් හා ගැටෙමින් සිටී.මාස ගණනක් පුරා දිවෙන මේ ගැටුම් වල ප‍්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් සිවිල් ජීවිත හා දේපළ විනාශ තිබෙන අතර ලක්ෂ ගණනක් ජනයා අවතැන්වී සිටිති.සාම කි‍්‍රයාදාම යැයි උත්සාහයන් කිහිපයක්ම ගනු ලැබූවත් ඉන් එකකින්වත් මේ දක්වා ඵලක් වී නොමැත.ගැටුම් දිගටම සිදුවෙමින් පවතී.

සිරියාවේ අවතැන්ව සිිටින ජනයා රැකවරණ පතා යමින් සිටින්නේ ජෝර්දානයට හා ලෙබනනයටය.මෙම ජනතාවගෙන් බහුතරය සුන්නි පාර්ෂවිකයන් වන අතර ඔවුන් මෙම රටවලට යෑමෙන් එම රටවල ෂියා හා සුන්නි ජන අනුපාතය වෙනස්වී අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇතැයි මත පළවී තිබේ.දැනටමත් ජෝර්දානය සුන්නි පාක්ෂික එල්එස් අන්තවාදීන්ට සහය දක්වන බවක් පෙනෙන්නට ඇත.මෙම තත්ත්වය මේ දක්වා ස්වාධීනව සිටින මෙම රටවල්ද මැදපෙරදිග ගැටුම්වලට එක්කරනා ලකුණු දනවයි.

මෙම තත්ත්වය මර්දනය කිරීමට මැදපෙරදිග රටවල් වෙන්කර ඇති දේශසීමා සංශෝධනය කළ යුතුයැයි ඇතැම්හු යෝජනා කරති.නමුත් එසේ කළහොත් ආගමේ නාමයෙන් සිදුවන ගැටුම් තවදුරටත් වැඩිවනු විනා අඩුවීමක් දැකගත නොහැකි වනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

මැදපෙරදිග ව්‍යසනයට බටහිර ලෝකය පොහොර දමා ඇති බවක් හොදින්ම පෙනෙන්නට තිබියදී බි‍්‍රතාන්‍යය මැදපෙරදිග කලාපය සදහා විශේෂ නියෝජිත හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පවසා සිටින්නේ මැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වයට බටහරි ශිෂ්ඨාචාරය කිසිලෙසකින්වත් හවුල්වී නොමැති බවයි.

ඉරාකය හා ලිබියාව වැනි රටවල සිටි පාලකයින් ආඥාදායකයින්යැයි ලොවට හුවා පෙන්වූ බටහිරම,පසුව ඔවුන්ම මැදිහත්වී එම පාලකයින් පරාජය කොට, එම රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට තමන් උර දුන්නේයැයි උදම් ඇනුවද ඇත්තෙන්ම සිදුවී ඇත්තේ එම රටවල හා මුළු කලාපයේම ජනතාව කබලෙන් ලිපට වැටීමක් මිස අන් කිසිවක් නොවේ.

තමන් කළ කී දේ වල අනිටු ප‍්‍රතිඵල නෙළා ගැනීමට බටහිරටම සිදුව ඇතිවීමද දෛවයේ සරදමක් වැනිය.දැන් බොහෝ බටහිර රටවල් වලද අන්තවාදය හිස ඔසවමින් සිටී.

ඊශ‍්‍රායෙලයේ ප‍්‍රහාර වලින් මිය යන සිවිල් වැසියන් ගැන ලොව අවධානය යොමුවිය යුතුමය.එසේ වී යැයි කියා බලවතුන්ගේ වැරදි නිසා ලොව සියළු දෙනාටම වන්දි ගෙවීමට සිදුවිය හැකිවන තරමේ ව්‍යසනයක් ඇති වෙමින් තිබියදී එය අමතක කර දැමීමට කටයුතු කර තිබීම සිදුනොවිය යුත්තකි.

 



අදහස් (0)

මැද පෙර දිග දෙපිළ බෙදේ

සරත් Monday, 11 August 2014 04:46 AM

මේ අය කරන අමානුෂික වැඩ ලංකාවේ පුවත් වල ප්‍රචාරය වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න ජිහාඩ් සංවිධානයට ආවඩන අයටත් කියන්නේ ආගමේ නාමයෙන් අහිංසකයින්ව මරණ මිනිමරුවන් ප්‍රතික්ෂේප කරන්න. හැමෝම එකම ආගමක ඉන්න ඕනේ කියල නීතියක් කොහෙවත් නැහැ. කොහේ හරි ලියල තියෙනවා කියල හිතෙනවා නම් එ්කේ මොනවා හරි අර්ථ දැක්වීමේ වරදක් තියෙනවා. අනික පුදුම වැඩේ කියන්නේ ඊශ්‍රායලයෙන් කරන පහර දීම් වලට වඩා අමානුෂික තිරිසන් විදියට මිනිසුන් මරණ අයව ප්‍රතික්ෂේප කරන්න ලංකාවේ ඉන්න ඊශ්‍රායල් විරෝදීන්ට අමතක වීමයි (නදී)

:       0       0

සිංහ Tuesday, 12 August 2014 02:40 AM

මේක තමයි අපේ රටටත් කරන්න යන්නේ. යුධ අපරාධ කියා කියා අපේ රටට මැදිහත් වෙලා, අපේ රටත් විනාශ කරන්න තමයි මේ බලවේග වලට ඕන කරන්නේ. මේ අන්තවාදය පිටිපස්සේ සෞදි අරාබිය වගේම ඇමරිකාවත් ඉන්නවා. උන් ඇති දැඩි කරපු කාලකන්නි තමයි ඔය. මේ රටෙත් දැන් එහෙම උන් ටිකක් හදන් යනවා. එ්කට විරුද්දව කතා කරන කොට ජාතිවාදී ලේබල් අලවනවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 10 August 2014 02:33 PM

වැදගත් අර්ථවත් කාලින ලිපියක්. මේ ලිපිය අපේ රටෙත් ආණ්ඩුව පෙරලනකම් බලන් ඉන්න දේශපාලන හිවලුන්ට හොද කනේ පාරක්. ප්‍රජාතන්ත්‍රවාදිව මේ රජය පෙරලන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉඩ කඩ විවරව තියෙනවා. නමුත් ඒකට ජනතාව සුදානම් නැත්නම් ඒ තීරණයට හිස නමනවා මිසක් බටහිර සහ ඇමෙරිකානු උපාය මාර්ග වලින් මේ රටේ බලය ජනතා කැමැත්තට පිටින් ලබා ගන්න ගියොත් එදා ඉදල මේ රටටත් වෙන්නේ අද ලිබියාවට ඉරාකයට සිදු වෙලා තියෙන නස්පැත්තියම තමයි. කොහොම හරි කරලා අතට ගත්තත් ගත්ත කට්ටියට කටට දාල හපන්න වෙන්නේ හක්ක පටස් එකක් තමයි. (නදී)

:       0       0

අජිත් Tuesday, 12 August 2014 03:17 AM

මේ සත්තු ඉවර උනු දාට මේ ලෝකයේ යහපත් කලක් උදා වනු නියතයි (නදී)

:       0       0

පද්මා Tuesday, 12 August 2014 10:16 AM

කට්ටිය කියන විදියට ලංකාවෙත් එහෙම වෙයි කියන බයට මේ යන ක්‍රමයටම මැස්ස අටවා අටවා ඉඳිමු එහෙනම්. ඔය බය දැනෙන්න ඕනෑ අපට නොවේ මිනිසුනේ, මේ රට පාලනය කරන පක්ෂ විපක්ෂ උදවියටයි. ඒ අයට එහෙම බයක් දැනෙනවා නම් ජනතාවගේ ප්‍රසාදය දිනාගන්ට ඕනෑ. (නි)

:       0       0

වසන්ත Tuesday, 12 August 2014 08:51 PM

බන්දුල මහතා හරි. (නි)

:       0       0

සඳුන් පෙරේරා Monday, 11 August 2014 11:56 AM

අපේ රටෙත් අන්තවාදයට කත් අදින හිවලුන් නිසා තමයි අපි යම් දවසක මේ තත්වයට පත් වන්නේ. ඔවුන්ට තේරෙන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම. අද අනෙක් අයට වෙන අසාධාරණය තමන්ට වෙන්න වැඩි දවසක් නෑ කියන එක හිතන්න මොලයක් නෑ.(නදී)

:       0       0

සෝමදාස Sunday, 10 August 2014 03:22 PM

ඉතා හොද ලිපියක්. බටහිර රටවල් වලිකන්නෙ මැද පෙරදිගට දීපු බෙහෙත අපිටත් දෙන්න තමයි.(නදී)

:       0       0

සරම් Monday, 11 August 2014 05:19 AM

සරත්ට මල් මිටක් ! (දී)

:       0       0

නැනී Tuesday, 12 August 2014 03:39 AM

ඊශ්‍රායල් ජාතිකයෝ හරි යයි මම කියන්නේ නැහැ. මට වසර තිස් හතරක් තිස්සේ යුරෝපයේ ගත කල කාලය තුල එහි විසිරී සිටින සරනාගත පලස්තීන ජාතිකයන් විශාල ප්‍රමාණයක් සමග කටයුතු කරන්නට මගේ රැකියාව නිසා සිදුවුණා. මේ අත්දැකීම් සමග මට පෙනුනේ මොවුන්ද කොටි සංවිදානය මෙන් මුදල් එකතු කිරීම් ආදියෙන් ඉතා ඉහල තැනක සිටින බවයි. මොවුන්ටද සාමයට වඩා අවශ්‍ය ලෝක ප්‍රජාවගේ අනුකම්පාව දිනා සටන් පවත්වා ගෙනම යන්නයි. බටහිර රටවල් මේ තත්වය දඩ මීමා කරගෙන දෙපැත්තටම ආයුධ විකුනනවා. සදාම් හුසේන්ට බිලියන් ගණනක ආයුධ විකිණුවේ කවුද කියා ඔබ සියලු දෙනාට හොඳින් මතක ඇති. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 12 August 2014 10:51 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

කුමාරි Monday, 11 August 2014 05:43 AM

ඇත්තෙන්ම වැදගත් ලිපියක්. රටක ඇති අභ්‍යන්තර ප්‍රශ්න වලට වෙන රටකට අත දමන්න දුන්නම මෙහෙම වෙනවා කියල මට හිතෙනවා. ගෙයි ගිනි පිටට දෙන්න එපා වගේ රටේ ප්‍රස්න රට තුල විසඳ ගමු. කැමති කෙනෙකුට කැමති ආගමක් අදහන්න කවුරුත් බල කරන්න ඕන නැහැ. දේශපාලනේ කරන කවුරුත් කතා කරන්නේ තමන්ගේ පක්ෂේ රැක ගන්න. මිනිසුන් මිට වඩා බුද්දිමත් විය යුතුමයි. (නදී)

:       0       0

සෙනරත් Tuesday, 12 August 2014 03:54 AM

කවුරුත් හොදින් තේරුම් ගන්න ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල් තවත් රටකට මැදිහත් වෙන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයි. ඔවුන්ගේ දිගුකාලීන සැලසුම්වලට ඕන විදියට ඒ කලාපයන්ම හදන්නයි එකම බලපොරොත්තුව. ඒ අර්මුනේදී උදව් කළේ යු.එන්.පී යද, ජේවීපි යද, සන්දානයද කියලා නැහැ ඔක්කොටම බෙදන්නේ එක හැන්දෙන්. ඕන නම් බොහොම ටික දෙනකුට වෙනසක් වෙයි. අනිත් ඔක්කොටම වෙන්නේ ඉරාකේ, ලිබියාවේ, සිරියාවේ වැසියන්ට උන දේ තමයි. එහෙම උනාට පසුව කාටවත් ආයේ අාපසු හරවන්න බෑ. (නදී)

:       0       0

මුසෙන් Monday, 11 August 2014 06:25 AM

සරත් ලංකාවෙ ජිහාඩ් සංවිධාන නෑ. තියෙනවා නම් ඔප්පු කරන්න (ඔබ ජිහාඩ් කියන්නෙ මොකද්ද කියලවත් තාම දන්නෙ නෑ) හැමෝම එක ආගමක ඉන්න ඕනෙ කියලා කොහෙවත් ලියලා නෑ එහෙම කරන්නෙ තමන්ගෙ වැරදි වහගන්න ඊශ්‍රායලයෙන් කරන පහර දීම් මානුෂිකයි අනික්වා අමානුෂිකයි කියල නෑ ඔක්කම එකයි (නදී)

:       0       0

සනත් Wednesday, 13 August 2014 03:27 PM

බන්දුල මහතාගේ අවසන් වැකිය නම් හරි තමා. (නි)

:       0       0

සෆීන් Tuesday, 12 August 2014 01:08 PM

මෙම ගැටුම් යන්තම් උඩින් පල්ලෙන් බලා නිර්වචනයක් දෙන්න බැහැ. එහෙම කළොත් සියලු සත්‍යයන් වැළලී යනවා. (නි)

:       0       0

ප්‍රියන්ත හේරත් Monday, 11 August 2014 03:34 PM

ලෝකයේ ගමන් දිශාව දිහා බලන කොට අපට සතුටු විය හැකිද ? අපේ අනාගතය පිළිබද අපට සතුටු විය හැකිද ?(දිල්)

:       0       0

සමීර Sunday, 10 August 2014 07:52 PM

ත්‍රිවිධ රත්නයේ අනන්ත සුවිසි මහා ගුණ බලයෙන් ලෝවැසි සියල්ලන්ටම සාමය උදා වේවා!මව යම් සේ තමාගේ එකම පුතු ආදරයෙන් රකින්නේද එපරිද්දෙන් සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත වැඩෙත්වා! (නි)

:       0       0

කුමාරසිරි Monday, 11 August 2014 07:39 AM

බන්දුල පෙරේරා ,ඔයා වගේ පොතක් පතක්, කියවන අයකුට තේරුනාට මෙවෙනි දේ .සමහර දෙනාට නොතේරේ , මේ වින්නැහිය (දී).

:       0       0

අනුෂල් Monday, 11 August 2014 04:25 PM

මේ හැමදේටම ඇමෙරිකාව වගකියන්න ඕනෑ (නි)

:       0       0

සුපුන් Sunday, 10 August 2014 09:07 PM

මැද පෙරදිග යුද්ධ අද ඊයේ ඇතිවූ යුද්ධ නොවේ. මේවා වසර දහස් ගණනක සිට පැමිණේ. (නි)

:       0       0

ශීලා Sunday, 10 August 2014 09:25 PM

විවිධ රටවල විවිධ හේතූන් නිසා සාමාන්‍ය මිනිසුන් මියගිය හැම වෙලාවෙදීම ශිෂ්ටසම්පන්න මිනිසුන් ලෙස ඇස් කන් පියා සිටින්න අපි කිසිකෙනෙකුට බැහැ. නමුත් පුදුමය නම් ඇමරිකාව අත දමා දෙයක් හොඳ වෙන්න හෝ නරක වෙන්න කළොත් ඔය කිසිම රටක් මොකුත් කරයිද? (නි)

:       0       0

සිරිල් Monday, 11 August 2014 02:12 AM

යුධ ගිනි දැල් නිවී සාමය උදාවේවා! (නි)

:       0       0

ජීවන්ත Monday, 11 August 2014 09:22 AM

ඉතාමත් හොද ලිපියක්. (දී)

:       0       0

තරංග Wednesday, 13 August 2014 11:38 AM

ලෝකයේ හැමතැනකම තිබෙන යුද්ධ වලට අත දාලා තිබෙන්නේ කවුද බලන්න (නි)

:       0       0

සේරම් Monday, 11 August 2014 03:58 AM

අනේ බන්දුල නොදිටි මොක්පුර. (නදී)

:       0       0

නිසාර් Sunday, 10 August 2014 01:33 PM

ලෝක විනාසය කිට්ටු වෙනකොට මීට වඩා භයානක දේවල් වෙන්ඩ තියනවා. ඒවා කලින්ම කියලත් තියනවනේ. (නදී)

:       0       0

සුධීර Tuesday, 12 August 2014 01:57 AM

දෙන්න ඕනා පාන් කියාගන්න බැරි වෙන්න. (නදී)

:       0       0

උපුල් Tuesday, 12 August 2014 06:36 PM

කොයි කාටත් මැරෙන මොහොතේදී තමයි දැනෙන්නේ හරි මොකක්ද වැරදි මොකක්ද කියලා.හැබැයි ඒ වෙනකොට ප්‍රමාද වැඩියි නේද...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 284 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 232 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 639 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 87 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 90 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 520 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site