IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මියන්මාරයේ වෙනස කවදාද?

පසුගිය ඉරිදා මියන්මාරයේ පාර්ලිමේන්තුවේ ආසන 45 ක් සඳහා පැවති ඡන්ද විමසීමෙන් අවුන්ග්සාන්සුකිගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ජය ගන්නා බවට සැකයක් තිබුණේ නැත. 2010 නොවැම්බර් මාසයේ පැවති මහා මැතිවරණයෙන් ජයගෙන ඇමති තනතුරු ලැබීම නිසා මන්ත‍්‍රීධුරවලින් ඉවත් වීමෙන් පුරප්පාඩු වූ ආසන 45ක් සඳහා පැවති මෙම අතුරු මැතිවරණය රාජ්‍ය බලය වෙනස් කිරීම සඳහා නොවන නමුත් මියන්මාර් ජනාධිපති තීන් සින් පොරොන්දුවන ප‍්‍රජතන්ත‍්‍රවාදී නිදහස සඳහා වූ ගමනේ වැදගත් සන්ධිස්ථානයකි. මෙම අතුරු මැතිවරණය පැවැත්වීමට පෙර අවුන්ග්සාන් සුකිගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය දේශපාලන පක්‍ෂයක් වශයෙන් ලියාපදිංචි වීමට ඉඩ ලැබුණ අතර දශක දෙකකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ පසු වූ අවුන්ග් සාන් සුකි නිදහස් කිරීම නිසා ඇයට ඡන්ද විමසීමට ඉදිරිපත්වීමට අවස්ථාවක් ද ලැබිණ. 1962 දී රාජ්‍ය බලය පැහැරගත් හමුදාව ඇයට මැතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩ දීම පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ගෙන ගිය අරගලයේ ජයග‍්‍රහණයකි. කෙසේ වුවත් හමුදාවේ සහාය ලබන සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ එකමුතු පක්‍ෂයට මෙම ආසන දිනා ගැනීමේ අවස්ථාවක් නොලැබෙන බව පැහැදිලිව තිබිය දී මෙම ඡන්ද විමසීම පැවැත්වීම පවා වැදගත් කඩඉමකි. අඩ සිය වසක කාලයක් තිස්සේ පැවති හමුදා පාලනය 2010 පැවති මහා මැතිවරණයෙන් පසුව සිවිල් ජනතාවගේ ආණ්ඩුවක් බව පෙන්වීමට මතු පිටින් වෙනස්කම් සිදු කළ ද එහි තවමත් සැබෑ බලය රඳා ඇත්තේ හමුදාව මතය. ජනාධිපති තීන් සින් හිටපු හමුදා නායකයා වන අතර කැබිනට් මණ්ඩලයේ සිටින බහුතරයක් හමුදා තනතුරුවලින් ඉල්ලා අස් වූ අයයි. ඊට අමතරව හමුදා රජය යටතේ පවත්වන ලද ජනමත විචාරණයකින් සම්මත කර ගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් සියයට විසි පහක් වෙන් වන්නේ හමුදාවටය. එම නිසා ඔවුන්ගේ බලයට අභියෝග කළ හැක්කේ පසුගිය ඉරිදා ප‍්‍රදර්ශනය වූ ආකාරයට මහා ජන බලයක් ගොඩනගා ගැනීමෙන් පමණි. මීට පෙර 1990 පැවති ඡුන්ද විමසීම බොහෝ දුරට නිදහස් හා සාධාරණ වාතාවරණයක් යටතේ පැවැත් වූ නිසා අවුන්සාන් සුකි තරග නොකළ එම මැතිවරණයෙන්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට පහසු ජයක් අත්කර ගත හැකිවිය. එහෙත් එවකට පැවති හමුදා රජය එම මැතිවරණ ප‍්‍රතිඵල නොසලකා අවුන්ග් සාන් සුකි සහ ඇයගේ පක්‍ෂයේ නායකයන් සියලූදෙනාම පාහේ සිරගත කළේය. එම මැතිවරණයෙන් ජයගත් කිසිම කෙනෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට අවස්ථාවක් ලැබුණේ ද නැත. එම නිසා ජනාධිපති තීන් සින් ප‍්‍රජාතන්ත‍්‍රීය වෙනසකට සුදානම් යැයි අනුමාන කළ හැක. ඔහු පසුගිය මහා මැතිවරණයෙන් පසුව අවුන්ග් සාන් සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමට අමතරව ඇයට දේශපාලන කටයුතුවල යෙදීමට අවස්ථාවක් ලබා දුන්නේය. එමෙන්ම ඇය සමග ප‍්‍රථමවරට දේශපාලන වෙනස්කම් පිළිබඳව සාකච්ඡාවක් ද ආරම්භ කළේය. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ප‍්‍රතිපත්තියක් වශයෙන් එකඟවීම වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට අවසර ලබා දීම හා අවි අතට ගෙන සිටින වාර්ගික සුළුතර ජන කොටස් සමග ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා ඇරැඹීමට කැමැත්ත පළ කිරීම හා සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති තීන් සින් ගත් සාධනීය පියවර වශයෙන් හැඳින්විය හැක. මේ නිසා ඔහු අවංක හොඳ පුද්ගලයකු වශයෙන් සුකි හැඳින්වුවාය. හමුදා පාලනය කෙටුම්පත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ අතුරු මැතිවරණයට ඉදිිරිපත් වීමෙන් සුකි හා ඇයගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ඔහුගේ නායකත්වය හා දේශපාලන ක‍්‍රියා මාර්ග කෙරේ ඇති විශ්වාසය තහවුරු කළහ. මෙම ප‍්‍රවණතාව දිගටම පැවතුනහොත් 2015 දී පැවැත් වීමට නියමිත මහා මැතිවරණයට සුකි හා ඇයගේ දේශපාලන පක්‍ෂය ඉදිරිපත් වීමටත් ඉන් ජය ගැනීමටත් බෙහෙවින් ඉඩ කඩ පවති. එසේ වන්නේ නම් හමුදා පාලනය අනුක‍්‍රමයෙන් රාජ්‍ය බලය සිවිල් පරිපාලනයකට පැවරීමකි. එහෙත් බරපතළම ප‍්‍රශ්නය වන්නේ එය එසේ විය හැකිද යන්නයි. හිටපු හමුදා නායකයා වූ වත්මන් ජනාධිපති තීන් සින් මීට වසර කීපයකට පෙර කිසිවෙකු අනුමානය නොකල බොහෝ දුරක් පැමිණ ඇත. මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කිපයක් දැනටමත් ලබාදීම සැබැවින්ම දිරිගන්වන සුලූය. ඊට බලපෑ සාධක මොනවාද යන්න මත ඔහුගේ ඊළඟ පියවර කුමක් විය හැකිද යන්න තීරණය වනු ඇත. කෙසේවුවත් මෙතෙක් ගෙන ඇති පියවර නිසා බටහිර රටවල් මියන්මාරය මත පනවා තිබු සම්බාධක ඉවත් කිරීමේ සූදානමක් පවති. ඉරිදා පැවති අතුරු මැතිවරණයෙන් පසු ප‍්‍රකාශයක් කළ ආසියන් රාජ්‍ය නායකයෝ මියන්මාරය මත පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස බටහිර රටවලින් ඉල්ලා සිටියහ. සම්බාධක ඉවත් කිරීමට පෙර තවත් ප‍්‍රජාතන්ත‍්‍රීය වෙනස්කම් රට තුළ සිදුවිය යුතු යැයි සුකි කලින් පැවසුවත් දැන් සම්බාධක ඉවත් කිරීමට වැඩි පෙළඹිමක් ඇති බව පෙනේ. සුකි නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමත් සමග එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය මියන්මාරයට පැමිණ රාජ්‍ය නායකයින් මෙන්ම සුකි ද හමුවූවාය. මියන්මාරය තුළ දැනට පවතින නිදහස් වාතාවරණය නිසා ආසියානු රටවල ආයෝජකයන් ද විශාල වශයෙන් මියන්මාරයට පැමිණෙන බව වාර්තා වේ. ස්වභාවික සම්පත්වලින් බෙහෙවින් පොහොසත් මියන්මාරයේ මෙතෙක් විදේශීය ආයෝජනවලට නොයෙකුත් සීමා පැන වී තිබිණ. සම්බාධක ඉන් එකක් පමණි. මියන්මාර් හමුදා පාලකයන් සිය පැවැත්ම වඩාත් සුරක්‍ෂිත වන්නේ චීන රජයේ සහාය මත යැයි විශ්වාස කළ නිසා ආර්ථික, දේශපාලන හා යුදමය සම්බන්ධතා පැවැත්වුයේ චීනය සමගය. ‘ආසියන්’ හවුලේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු එම රටවලට ද ආයෝජන අවස්ථා විවෘත වුවත් එය කැපී පෙනෙන බලපෑමක් වූයේ නැත. ඊට එක හේතුවක් වන්නේ චීනයේ ආර්ථික හෝ යුද බලයට එම රටවලට අභියෝග කිරීමට ඇති නොහැකියාවය. එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල සම්බාධක පනවා තිබු කාලයේදී පවා තායිලන්තය හා සිංගප්පුරුව මියන්මාරය සමග ආර්ථික සබඳතා පවත්වා ගත් බව නොරහසකි. එම නිසා මියන්මාරයේ හමුදා පාලකයන්ගේ වෙනස්වීමට ආර්ථික සම්බාධක එකම හේතුව විය නොහැක. අනෙක් අතට චීනය මත පමණක් රැදී සිටීම නිසා මියන්මාර් පාලකයන්ට අත්කර ගත හැකි ආර්ථික ඵලප‍්‍රයෝජනවල සීමාවන් ද තිබෙන්නට ඇත. වඩාත් විවෘත පාලනයක් යටතේ ඇමරිකානු ආයෝජකයන්ට මෙන්ම ආසියානු ආයෝජකයන්ට අවස්ථාවක් ලැබෙන නිසා පොදුවේ රටට අත්වෙන ආර්ථික සමෘද්ධියට අමතරව හමුදාව යටතේ ක‍්‍රියාත්මක වන විවිධ සමාගමවලට ලබාගත හැකි ලාභයද වැඩි වෙනු ඇත. ඒ සඳහා දේශපාලනයේ සමහර ලිහිල් කිරීම්වලට ඉඩ දීමට සූදානම් බව මෙතෙක් ගෙන ඇති පියවරවලින් පෙනේ. ජනමාධ්‍ය නිදහස හා සුළු වාර්ගික ගැටුම් සඳහා සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කිරීම අමතර සුදුසුකම්ය. සැලකිල්ලට ගත යුතු වැදගත්ම කාරණය වන්නේ මෙතෙක් ප‍්‍රකාශයට පත් කර ඇති ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය රටේ මූලික නීතියේ සලසා ඇති ප‍්‍රතිපාදන යටතේ නොවීමය. ඒවා තවම හිටපු හමුදා නායක, ජනාධිපති තීන් සින්ගේ කැමැත්ත අනුව සිදුවේ. ඔහු අතුරු මැතිවරණයෙන් ජයගත් සුකිට ඇමති තනතුරක් ලබා දීමට සුදානම් වන්නේද ඒ ආකාරයටය. එම නිසා මෙම වෙනස්කම් කෙතරම් කලක් පවතින්නේද යන්න තවම තීරණය කරන්නේ ඔහුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදි  ඕනෑකම් හා හමුදා පාලකයන්ගේ අවශ්‍යතාව අතර ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇති බවට ඉඟි දැනටමත් පළ වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රීය නායිකා සුකි නිවැරදිව පෙන්වා දෙන ආකාරයට පාර්ලිමේන්තුවේ ආසන වලින් සියයට විසි පහක් හමුදාවට ලබාදීම අනුමත කළ නොහැක. මහජන ඡුන්දයෙන් තේරීපත් නොවන අයට ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට සහභාගි වීමට ඉඩක් නොතිබිය යුතු බව ඇය අවධාරණය කරයි. අනෙක් අතට වත්මන් හමුදා නායක මින් අවුන්ග් ජලයින්ග් මියන්මාර් හමුදා දිනයේ දී ප‍්‍රකාශ කළ ආකාරයට හමුදාවට ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේ ක‍්‍රියාවලියට සහභාගි වීමේ වගකීමක් පවති. ඉන් අදහස් වන්නේ හමුදාවට අවශ්‍ය ආකාරයට සකස්කර ඇති වත්මන් අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට හමුදාවේ කැමැත්තක් නැති බවය. අනෙක් අතට සැබෑවටම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් තහවුරු කිරීමට නම් ජනතාවගේ පුළුල්තම සහභාගිත්වයක් ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුය. 1990 පැවති මහා මැතිවරණයේ මූලික අරමුණ වූයේ එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. හමුදාව ඊට ඉඩ නුදුන්නේ සිවිල් පරිපාලනයක් යටතේ හමුදාවේ කාර්ය රටේ ආරක්‍ෂාව රැුකීමට පමණක් සීමා වන නිසාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදි නායිකා සුකිටත්, ඇයගේ දේශපාලන පක්‍ෂයටත් ඉදිරියේ මුහුණ දීමට ඇති බරපතළම අභියෝගය වන්නේ හමුදාව හා රාෂ්ට‍්‍ර පාලනය අතර ඇති ලක්‍ෂ්මන් රේඛාව ලකුණු කරන්නේ කෙසේද යන්නයි.

සටහන - මහින්ද හත්තක
පක්ෂ ආධාරකරුවෝ ජයග‍්‍රහණය සමරමින්... ඡන්ද පොළට යමින්... සුකීය සුබ පැතුම්



අදහස් (0)

මියන්මාරයේ වෙනස කවදාද?

ශාන්ත ඩොනල්ඩ් Friday, 06 April 2012 04:34 PM

සුබ පැතුම් සුචී, ඉතාමත්ම හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site