කාන්තාව සැබෑ නිදහසක් ලබා ස්වයං හැකියාවක් ඔස්සේ පිබිදුනේ බුදුරජාණන් වහන්සේ කාන්තාව කෙරෙහි දැක්වූ මධ්‍යස්ථ හා යථාර්ථවාදී ස්වභාවය නිසාය. බුදුරජාණන් වහන්සේ කාන්තාවට නිදහස ලබා දුන්නේ අංශ 4ක් ඔස්සේය.

1. භික්ෂුණියක් වශයෙන් 
2. මවක් වශයෙන් 
3. ගෘහණියක් වශයෙන් 
4. උපාසිකාවක් වශයෙනි 

භික්ෂුණියක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කාන්තාවට ලබා දුන් ශාසනික වරප්‍රසාදය ඉතා වැදගත්ය. ඒ අනුව තම සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය කුල කාන්තාවන් 500ක් සමග පැවිදිභාවය ඉල්ලීමෙන් අෂ්ඨගරු ධර්ම පිළිගන්නවා නම් පමණක් පැවිදිභාවය ලබාදෙන බව පවසා අෂ්ඨගරු ධර්ම පිළිගැනීමෙන් පසු ප්‍රජාපතී ගෝතමී ඇතුළු කාන්තාවන් 500කට පැවිදි භාවය ලබා දුන්හ. 
කුණ්ඩල කේසි කතා පුවතින් ස්ත්‍රියගේ ප්‍රඥා මහිමය පැහැදිලි වේ. කුණ්ඩල කේසි සොරෙකුට සිත්බැඳී පසුව විවාහවී සොරාගෙන් මරණයට පත්වීමට ඔන්න මෙන්න තිබිය දී කළ ස්ථානෝචිත ක්‍රියාව දැක රුක් දේවතාවෙක් බුදුන් දෙසූ ගාථාවකින් ඇයගේ ගුණ වැනීය. 


නසෝ සබ්බේසු ඨානෙසු - පුරිසො හෝති පණ්ඩිතා 
ඉත්තිපි  පණ්ඩිතා හොන්ති - තක්ඛ තක්ඛ විචක්ඛණා 


සෑම විටකදීම පුරුෂයාම පණ්ඩිත නොවේ. විචක්ෂණ බුද්ධියෙන් යුක්ත අවස්ථාවෝචිතව ක්‍රියා කරන කාන්තාවන් ද පණ්ඩිත වන බව ඉහත ගාථාවෙන් පැහැදිලි වේ. සූලසා ජාතකයෙන් ද මෙවැනිම අදහසක් නිරූපණය වේ. මුත්තා, මෙත්තිකා, සෝමා, නන්දුත්තරා, මිත්තපාලි වැනි  බ්‍රාහ්මණ වංශික කාන්තාවෝ ද පැවිදි විය. සැරියුත් හිමියන්ගේ සොහොයුරියන් වන චාලා, උපචාලා, සිසුපචාලා ද පැවිදි බිමට පත්විය. මේ අනුව භික්ෂුණී සමාජයේ ඒ ඒ දක්ෂතා ඇති භික්ෂූණීන්ට තනතුරු පිරිනැමු බවක් ද දක්නට ලැබේ. 

* චිරරාත්‍රඥ භික්ෂුණීන් අතර - ප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය
* නුවණැති  භික්ෂුණින් අතර - ඛේමා භික්ෂුණිය 
* සෘද්ධිමත් භික්ෂුණින් අතර - උප්පලවණ්ණා භික්ෂුණිය 
* විනයධර භික්ෂුණීන් අතර - පටාචාරා භික්ෂුණිය 
* ධ්‍යානලාභී භික්ෂුණීන් අතර - නන්දා භික්ෂුණිය 
* දිවැස් ඇති භික්ෂුණීන් අතර -සකුලා භික්ෂුණිය 

ආදී භික්ෂුණීන් අග්‍රස්ථානය ලැබූහ. චුල්ල නන්දා භික්ෂුණියගේ දහම් දෙසීම පිළිබඳ ප්‍රසාදයට පත්වූ රජතුමා තම සාටකය පිදීය. එම භික්ෂුණිය ‘ධම්ම පාඨ භානකා’ යන පදවියෙන් ද පිදුම් ලැබූහ. 


මවක් වශයෙන් කාන්තාව ලැබූ නිදහස ද ඉතා ඉහළය. බ්‍රාහ්මණ සංකල්පය අනුව ලෝකය මවන ලද්දේ මහා බ්‍රහ්මයා යන මිත්‍යා සංකල්පයට ප්‍රතිවිරුද්ධව බුදුරදුන් ඉදිරිපත් කරන්නේ දරුවන් මෙලොවට බිහිකර හදාවඩා  ගන්නේ  දෙමාපියන් බැවින් බ්‍රහ්ම යන නාමය පිදීමට නියම සුදුස්සන් වන්නේ දෙමාපියන් බවය. 


පරාභව සුත්‍රයට අනුව දෙමාපියන්ට නොසලකන දරුවන් පිරිහෙන බව පැහැදිලි ව්. ‘යෝ මාතරං වා පිතරං වා - ජින්නකං ගත යොබ්බනං’ මේ ආදී වශයෙන් මවක් වශයෙන් කාන්තාව උසස් කොට සලකා ගෞරවාන්විත බාවයක් උදාකර දුන් බව පැහැදිලි  වේ. 


ගෘහණියක් වශයෙන් ගත් කල බුදුහිමි කාන්තාවගේ පරාමාධිපත්‍ය අගය කර ඇත. ගෙදරක  වැඩ කටයුතු සොයා බලා කලට වේලාවට කරන්නේ කාන්තාව විසිනි. එසේම ගෙදර අලංකාරව පිළිවෙලට තබා ගන්නේද ඇයමය. ඒ අනුව සිඟාලෝවාද සුත්‍රයේ කාන්තාව ‘පුත්තදාරා දිසා පච්චා’ අඹුදරුවන්  බටහිර  දිසාව සේ දක්වන ලදී. එහි වැඩිදුරටත් සැමියාගෙන් කරුණු 5ක් බිරිඳටත්, බිරිඳගෙන් කරුණු 5ක් ස්වාමියාට ඉටුවිය යුතු බව පැහැදිලි වේ. 
භාර්යාවගේ ලක්ෂණ කතා කිරීමේ දී සත්තබරියා සුත්‍රය ඉතා වැදගත් වේ. එහි පැහැදිලි කරන ආකාරයට භාර්්‍යාවරු කොටස් 7කට බෙදා දක්වා ඇත. එනම්,

1. මාතු භරියා (මවක් බඳු බිරිඳ) 
2. භගිනි භරියා (සොහොයුරියක් බඳු බිරිඳ) 
3. දාසි භරියා (දාසියක් බඳු බිරිඳ)
4. සඛී භරියා  (මිතුරියක් බඳු බිරිඳ) 
5. චෝර භරියා (සෙරක් බඳු බිරිඳ)
6. වධක භරියා (වධකයෙක් බඳු බිරිඳ) 
7. සාමි භරියා (ස්වාමියෙක් බඳු බිරිඳ) 

මෙම සප්ත භරියා  අතුරින් පළමු සතර දෙනා ශ්‍රේෂ්ඨ බවත් ඉතිරි තුන්දෙනා ගර්භාවට ලක්කර ඇතිබවත් පැහැදිලි වේ. මීට අමතරව චතුසංවාස සුත්‍රය ද මේ සම්බන්ධව වැදගත් වේ. ඒ අනුව පැහැදිලි වන්නේ, 

1. දේවෝ දේවියා සද්ධං සංවසති (දෙවියෙක් සමග දෙවඟනක්) 
2. දේවො ඡවාය සද්ධිං සංවසති (දෙවියෙක් සමඟ මළ ස්ත්‍රියක්) 
3. දේවියා ඡවාය සද්ධිං සංවසති (දෙවඟනක් සමග මළ මිනිසෙක්) 
4. ඡවො ඡවාය සද්ධිං සංවසති (මළ මිනිහෙක් සමග මළ ස්ත්‍රියක්) 
මෙම කොටස් 4න් උසස්ම දිවි පෙවෙත ලෙස සැලකෙන්නේ දෙවියෙක් දෙවඟනක් සමග වාසය කිරීම නොහොත් ජීවත් වීමයි. බෞද්ධ සාහිත්‍යයට අනුව විශාකාව පතිකුලයට යන විට තම පියා වූ ධනංජය සිටුවරයා විසින් ස්වාමි දියණියක් සතුව පැවතිය යුතු ආචාර ධර්ම 10ක් හඳුන්වා දී ඇත. එනම්,

1. ඇතුළත ගිනි පිටත නොදෙන්න 
2. පිටත ගිනි ඇතුළට නොදෙන්න 
3. දෙන අයට දෙන්න 
4. නොදෙන අයට නොදෙන්න 
5. දෙන අයටත් නොදෙන අයටත් දෙන්න 
6. සුවසේ නිදන්න 
7. සුවසේ හිඳ අනුභව කරන්න 
8. සුවසේ සැතපෙන්න 
9. ගිනි දෙවියා පුදන්න 
10. ඇතුළත දෙවියන් පුදන්න 
උපාසිකාවක් වශයෙන් ද කාන්තාවට සමාජයේ උසස්ම තැනක් බුදු සමය තුළින් ලැබුණි. පංචශීල, අෂ්ඨංග ශීල, දස ශීල පුරමින් සිල්වන්තව ගුණවත්ව සිටින කාන්තාව ආදර්ශමත් හා කාගේත් පැසසුමට ලක්වන බවත් එසේ නොමැති අසීලාචාර, දුසිල්වත් කාන්තාව මාරපාස යන නින්දා සහගත කාන්තාවක් ලෙසත් දක්වා ඇත. 

කු/නික/වාරි රතනසෙල ඓතිහාසික මහ පිරිවනහෙි නියෝජ්‍ය පරිවේණාධිපති 
ගලගෙදර රතනවංශ හිමි. 

Related Posts