සෑම වසරකම උඳුවප් පුන් පොහොය දිනයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය මාස හයක කාලයක් පවති. සම්මා සම්බුදු පියාණන්ගේ වම් පාද ලාංඡනය ඇතිබවට විශ්වාස කරන සමන්තකූඨ පර්වතයයට එදා බෞද්ධයන් කරුණා කලේ අපාසු පැමිණීමේ අදහස සිතින් අත්හැරගෙනය. ක්‍රි:පූ: හයවන සියවස හෙවත් අදින් වසර 2600කට පෙරදී බුදුරජාණන් වහන්සේ ගේ තුන්වැනි ලංකා ගමන සිදුවූ අවස්ථාවේ උන්වහන්සේ සමන්තකූඨ පර්වතය හෙවත් සමනල කන්දට නොඑසේනම් වර්තමානයේ හඳුන්වන ශ්‍රීපාදස්ථානයට වැඩම කළ බව ‘මහාවංශය’ කියයි.

රජුගේ මල්වත්තේ මල් නෙලන්නට ආ සුරංගනාවියන්ගේ මග පෙන්වීමෙන් වනගතව තිබූ මේ ශ්‍රීපාද පද්මය මිනිස් ස්පර්ශයට මුලින්ම නිවරාවරණය වූ බව ජනකතාවේ දැක්වේ.


රාජ උදහසට ලක්ව අතපය දෙකම කපා රජුට අයත් මල්වත්තක මල්කඩන සොරුන් අල්ලන්ට බාරදුන්  කොටෙක් විසින් මේ ශ්‍රීපාදස්ථානය සොයාගත් බව ජනප්‍රවාදයේ එයි.


රජුගේ මල්වත්තේ මල්නෙලන්නේ තමන් බවත්, සුරංගනාවියන් වූ තමන් මේ නෙලාගන්නා මල් සමන්තකූඨ පර්වත මුදුනේ ඇති සිරිපතුල වන්දනා කිරිමට ගෙනයන බවත් කොටාට දැනුම්දුන් බව ජනප්‍රවාදයේ කියැවෙයි. ඒ අවස්ථාවේ කොටා සාදුකාර දී පින් අනුමෝදන්ව අත්පා නැති තමන්ට සිරිපතුල වන්දනා කරන්නට නොහැකි වීම ගැන දුක්වන්නේ යැයි සුරංගනාවියන්ට දැනුම්දුන් බව ද එකී ජනප්‍රවාදයේ සඳහන්ය.


අනුකම්පා සිතුඇතිවු සුරංගනාවියන් කොටාගේ කපා දැමූ දෑත් දෙපා කෙළවරවල සුරංගනාවියන්ගේ සලුපොටවල් ස්වර්ශවන්නට සැලැස්වීමෙන් පසු අත්පා සම්පූර්ණ වූ බවත් මල් නෙලූ සුරංගනාවියන් සමන්තකූඨ පර්වතයට යන මග දිගේ මල් වැටෙන්නට සලස්වා අතපය සම්පුර්ණ වූ කොටාට සමන්තකූඨ පර්වතය මුදුනේ සිරිපතුල වන්දනා කරන්නට මග සලසාදුන් බවත් මේ ජනකතාව අවසන් වෙයි.


සිරිපා මලුවට සුරංගනාවියන් මල් ගෙනයන මල්වත්තක් ගැන ඒ පාරම්පරික ජනකතාවල කියැවෙයි. එක් සමයෙක රටේ රජ්ජුරුවන්ට අයත් රාජකීය මල්වත්තක් සබරගමුවේ පිහිටි කතාවක් වැඩිහිටියන් අතර අදටත් පවතී. ගංගාවක් අයිනේ පිහිටි මේ මල්වත්ත විශාල ප්‍රදේශයක් පුරා පැතුරුණු පර මල් ඇතුලු නා නා විධ මලින් පිරුණු මල්වත්තක් බව ඒ කතා කියයි.


කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජ්ජුරුවන්ගේ කාලයේ මේ කියන මල්වත්තේ මල් නෙලන්නට සුරංගනාවියන් වෙනුවෙන් ම වෙන්කළ බව ද ඒ ජනකතා වල සඳහන්වන බව පැරැණ්නෝ කියති. ඒ මල්වත්ත වත්මන් කුරුවිට නගරාසන්නයේ දෙල්ගමුව රජමහා විහාරස්ථානට නුදුරු මල්වත්ඕවිට බවට විශ්වාසයක් පවතී.  කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජු රජකලේ ක්‍රිස්තු වර්ෂ 1187-1196 වකවානුවේය. 


එය සත්‍යයක් නම් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරිමට ගිය පළමු මග කුරුවිට එරත්න හරහා ඇති මාර්ගයයි. ක්‍රිස්තු වර්ෂ 1059ත් 1114ත් අතර රජකළ ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමුවැනි විජයබාහු රජු සිරිපා වන්දනා කළ පළමු ශ්‍රීලාංකික රාජ්‍ය නායකයා යැයි ඇතැම් පොත්පත් පෙන්වා දෙයි. 


රජුගේ ගමන් මාර්ගය කුරුවිට, එරත්න, ගිලීමලේ ඔස්සේ වූ බවද ඇතැම් පොත්පත් වල සඳහන් වෙයි. එය සත්‍යයක් නම් ශ්‍රී සංඝබෝධි විජයබාහු රජු සිරිපා කරුණාකළේ සුංරංගනාවියන් මල්දමා පෙන්නු පාරෙන්දැයි කෙනෙකුට සිතුනොත් එය ද බැහැර කළ නොහැක. ශ්‍රී සංඝබෝධි විජයබාහු රජු මේ සිරිපා ගමනේ දී ගිලීමලේ සහ බඹරබොටුව යන ගම් දෙක ශ්‍රී පාදස්ථානයට පූජාකර ගිලීමලේ සහ අඹගමුව සෙල්ලිපි දෙක කරවූ බවද ඉතිහාසයේ සඳහන් වෙයි. 


සිරිපා මලුවට පහළින් පිහිටි බුදුරදුන් දිවා විහරණය කළ ‘භගවා ලෙන’ තුල පිහිටි සෙල් ලිපියේ සඳහන් වන්නේ නිස්සංකමල්ල රජු සිරිපා කරුණා කළ බව යැයි පුරාවිiා ගවේශකයන් කියයි. නමුත් මහාවංශයට අනුව කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජු සිරිපා කරුණා කරන්නට පෙර තවත් රජවරු දෙදෙනෙක්  සිරිපා කරුණා කර තිබේ. 


ඒ ක්‍රිස්තු වර්ෂ 1059ත් 1114ත් අතර රජකළ ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමුවැනි විජයබාහු රජු සහ ක්‍රිස්තු වර්ෂ 1153-1186 අතර කාලයේ රජකළ මහා පරාක්‍රම බාහු රජතුමාලාය. පළමුවැනි විජයබාහු රජු ගිලීමලේ සහ අඹගමුව සෙල් ලිපි දෙක කරවූ බවත් සිරිපා මලුවේ සමන් දේවාලය මහා පරාක්‍රමබාහු රජු විසින් කරවූ බවත් ඉතිහාස පොත්වල සඳහන් වෙයි.


ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමුවැනි විජයබාහු රජ සිරිපා කරුණා කරන්නට යද්දී  ගිලීමලේ සෙල්ලිපිය කරවු බව සඳහන් වෙයි. එසේනම් රජුගේ ගමන් මාර්ගය සුරංගනාවියන් මල් නෙලාගෙන ගිය ගමන් මග විය නොහැක. එය සිරිපා කරුණා කරන ඉපැරණි රත්නපුර මාර්ගය හෙවත් ශ්‍රී පලාබද්දල මාර්ගය වි යුතුය. 


ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමුවැනි විජයබාහු රජ සිරිපා කරුණාකර ආපසු යද්දී අඹගමුව සෙල් ලිපිය කළ බව ඉතිහාසයේ දැක්වෙයි. එසේනම් රජු ආපසු ගොස් ඇත්තේ හැටන් පැත්තෙනි. මේ ඉතිහාසගත තොරතුරු හා සසදනවිට බෞද්ධ පාරම්පරික ජන කතාවේ එන සුරංගනාවියන්ගේ උදව් ඇතිව ‘කොටා’ විසින් ශ්‍රීපාදය සොයාගත් වකවානුව ඊට බොහෝ ඈතට දිවයනු ඇත.


වර්තමානයේ සිරිපා කරුණා කරන මාර්ග හතක් ඇතත් ඉන් ප්‍රධානත්වය ගන්නේ තුනකි. නල්ලතන්නිය- හැටන් මාර්ගය, රත්නපුර පලාබද්දල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය එම ප්‍රධාන මාර්ගයි. සුරංගනාවියන් මල්ගෙන ගිය පාර එරත්න පාර ලෙස සැලකෙයි.


දෙහෙනකන්ද- මූක්කුවත්ත මාර්ගය, දැරණියගල මාලිබොඩ මාර්ගය, ඌව මාර්ගය හෙවත් හපුතලේ විහාරතැන්න මාර්ගය සහ මරේවත්ත හරහා රාජමලේ මාර්ගය සෙසු මාර්ගයි. සීතගඟුලේ (කුරු ගඟේ) හිරිගඩු පිපෙන සීතල වතුර කැටි හා හා පුරා කියා මුලින් ම ඉඳුල් කරන්නේ දැරණියගල මාළිබොඩ හරහා සිරිපා කරුණා කරන්නට එන බැතිමතුන් ය. ඊළඟට කුරුවිට එරත්න පාරේ එන බැතිමතුන් වර්ණගල, සුදුවැල්ල පහුකර සීතගඟුලේ දී ‘සීතගඟුල’ ඉඳුල් කරති.


සියවස් ගණනක අතීතයට මේ කතාව සම්බන්‍ධකරන විට සියවසකට පෙර කාලය ගැන සෝදිසි කරද්දී තෙප්පනාව, කුරුවිට, පරණගම, මුදුන්කොටුව, මාටුවාගල, ඇහැලියගොඩ, සීතාවක ආදී ප්‍රදේශවල ජනතාව ශ්‍රීපාද වන්දනාවේ ගොස් තිබෙන්නේ මේ පාරෙනි.


කැළණිවැලි කෝච්චිය නැත්නම් පුංචි කෝච්චිය රත්නපුරේට පැමිණි වකවානුවේ ඇවිස්සාවේල්ල, කොස්ගම පාදුක්ක, නාවල පැත්තේ සැදැහැවත්හු සිරිපා වන්දනාවේ යන්න කෝච්චියෙන් පැමිණ කුරුවිටට පෙර හමුවන  හිග්ගස්හේනෙ පිහිටි ස්ටේෂමෙන් බැස වතුයාය වෙල්යාය හරහා උඩ-මංකඩට ඔස්සේ එරත්න පාරෙන් පයින්ම සිරිපා කරුණා කළහ. 


එකල වන්දනාකරුවන් බඩුමුට්ටු රැගෙන යන්නේ රෙදිවලින් සැකසූ උරහිස දෙපැත්ට දාගත හැකි මල්ලකිනි. එයට කුට්ටි සාක්කුව යැයි කියයි. මේ ප්‍රදේශයේදී ‘සැහැල්ලුව’ කියන්නේ ද මේ ගමන් මල්ලටමය. ඒ සැහැල්ලුවේ සති දෙකකට තුනකට ප්‍රමාණවත් වියළි ආහාරය. එතැන්සිට සිරිපා කරුණ කර ඇති බවට තොරතුරු තිබේ. 


කුරුවිට නගරයේ සිට එරත්නට පාර කැපුණු පසු 1976 පුංචි කෝච්චිය නවතින තුරු වන්දනාකරුවෝ කුරුවිට ඉස්ටේෂමෙන් බැස බස් වලින් ටිකදුරක් ගොස් එතැන් සිට පාගමනින් වන්දනාවේ යති.


වර්තමානය වනවිට සිරිපා කරුණා කරන මාර්ග හතක් ඇතත් ඉන් ප්‍රධානත්වය ගන්නේ තුනකි. නල්ලතන්නිය- හැටන් මාර්ගය, රත්නපුර පලාබද්දල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය එම ප්‍රධාන මාර්ගයි. දෙහෙනකන්ද- මූක්කුවත්ත මාර්ගය, දැරණියගල මාලිබොඩ මාර්ගය, ඌව මාර්ගය හෙවත් හපුතලේ විහාරතැන්න මාර්ගය සහ මරේවත්ත හරහා රාජමලේ මාර්ගය සෙසු මාර්ගයි.


කලකට ඉහතදී මාලිබොඩ මාර්ගය සිරිපා වන්දනා වාරයට පෙර එළිපෙහෙලි කරන්නට ගමේ වැඩිහිටියෝ මූලිකත්වය ගත්හ. සහායට තරුණයන් ද එක්වෙයි. ගල්ලෙන්වල නැවතී උයා පිහාගෙන කා මේ මාර්ගය එළි පෙහෙලි කිරීම වැසියන්ගේ සිරිතකි. වලේබඩ මාර්ගය දෙමලමළහීන්නේදි සිරිපා මලුවට යන එරත්න පාරට එක්වෙයි. 


අතීතයේ සිරිපා අඩවියේ ආහාර පිසීමේදී පිළී වර්ග භාවිතා නොකරන අතර අඩුම තරමින් මළ ගෙදරක්වු නිවසක කෙනෙක් එකි මරණය සිදුවී මාසතුනක් ගතවී නැත්නම් සිරිපා කරුණා කරනවා තබා පාර එළිපෙහෙළි කරන කටයුත්තකටවත් සහභාගි නොවීමට වගබලා ගනිති. ඒ වගේම කට වරද්දාගැනීම ද සිරිපා අඩවියේදි නොකළ යුත්තක් බව පරැන්නන්ගේ විශ්වාසයයි.


සිරිපා අඩවියට පැමිණය යුත්තේ සියලු දුසිරිත්වලින් වැළකීමෙන්ය. ඒ නිසා සිරිපා අඩවිය ශුද්ධ භූමියකැයි යන මතය ජනතාවගෙන් ඈත් කළ නොහැක. අශුද්ධවන්තයන්ට හෝ කටවරද්දා ගන්නා පුද්ගලයන්ට මේ අඩවියේදි විවිධ අකරතැබ්බ වලට මුහුණ පාන්නට සිදුවු කතා පුවත් සිරිපා අඩවිය අවට විවිධ ප්‍රදේශවලින් විවිධ ආකාරයෙන් අසන්නට ලැබේ. වංශවත් මෙන්ම ධනවත් බැතිමතුන් අතවැසියන් සමග සිරිපා කරුණා කළහ.


කුමන මාර්ගයකින් සිරිපා කරුණා කළත් සිරිපා අඩවියේ මායිමේ දී පන්සිල් සමාදන්වීම අනිවාර්යයෙන් කරති. එතැනින් ඉදිරියට යන්නේ පන්සිල් සමාදන්වීමෙන් පසුවය. ඒ අතීත චාරිත්‍රයකි. කටවරද්දා ගැනීමත් මේ අඩවියේ නොකළ යුත්තකි. ඒ නිසා හිමේ හෙවත් සිරිපා අඩවියට ඇතුලුවන අය “ගිහින් එන්නම් ” යැයි කියන්නේ නැත. “සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන්  යන්නම් ” යැයි කියති. 


සිරිපා කරුණාකරන ප්‍රධාන පාර්වල් තුන ම වන්දනාවාරයේ විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙයි. ඒ නිසා වන්දනාකරුවන්ට එය පහසුවකි. අතීතයේ රාත්‍රී කාලයේ සිරිපා වන්දනා කරන්නට යොදාගත්තේ පන්දම්ය. ඒවා බට ලී, උණ බම්බු වලින් හැදූ හේවාය. ලාම්පුතෙක් ලීටරයක් හමාරක් ඊට වක්කළ හැකිය. මදිවුණොත් පන්දම්වලට දාන්න අතිරේක ලාම්පුතෙල් බෝතල තුන හතරක් වෙනම ම ගෙනයාම පුරුද්දකි.


සිරිපා අඩවිය සීතල නිසා ගම්මිරිස් වැඩියෙන් දැමූ අග්ගලා ගෙන යාම පැරණි සිරතකි. මහගිරි දඹේ නගින විට වෙහෙස දරාගන්නට තුන්සරණේ කියනවාට අමතරව .‘අග්ගල කං ඩෝං පුතා, හෙලේ නගිං ඩෝං පුතා...’ කියමින් ගමන් කිරිමද සිරිතකි. 


‘බුද්ධං සරණේ සිරස දරාගෙන... ධම්මංසරණේ සිවුරු දරාගෙන....සංඝං සරණේ සිත පහදාගෙන... එඤ්ඤයි තුන් සරණේ අදහාගෙන...’ වැනි තුන් සරණේ කවි එදා සිරිපා වන්දනාකරුවන් ගායනා කරමින් කරුණා කළහ.
හැත්තෑ හතෙන් පසු රේඩියෝ කැසට් යන්ත්‍ර භාවිතයට පැමිණි මුල් යුගයේ කැසට් යන්ත්‍රවලින් තුන් සරණේ මෙන්ම, බණ වාදනය කරමින් ගිය අතර පසුව එය ගීත දක්වා ව්‍යාප්ත විණි. දැන් ඒවා ගෙනනොයති.


වර්ථමානය වනවිට සිරිපා චාරිකාව වන්දනා ගමනකට වඩා හුදු විනෝදාස්වාදය පිණිස යන ගමනක් බවට පත්ව තිබේ.

සටහන - අජිත්ලාල් ශාන්තඋදය

Related Posts