හෙද හෙදියන් විදෙස් සේවයට යවා ඩොලර් ආදායම් වැඩි කරගැනීමට ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය සැරසේ


රසාංජලී වාසල 

ඉහළ වැටුප් හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත දක්ෂ හෙද හෙදියන් වැඩි වශයෙන් විදෙස් රටවල සේවයට යවමින් රටට ලැබෙන ඩොලර් ආදායම් වැඩි කර ගැනීමට ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය කටයුතු කරන බව එහි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවැසීය.

මෙරට සුදුසුකම් සහිත හෙද හෙදියන්ට විදෙස් රටවල ඇති පිළිගැනීම සහ රැකියා අවස්ථා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඉකුත්දා කොළඹ දී පැවැති අතර එහිදී එදිරිසිංහ මහතා එසේ පැවසීය. 

ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සේවා පුහුණු ආයතනයක් වන අතර, එය දකුණු ආසියානු සෞඛ්‍ය සේවා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද කටයුතු කරන බව ද එහිදී ඒ මහතා කීය.

තම ආයතනය එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය සහ තවත් යුරෝපීය රටවල් වැනි ජාත්‍යන්තරව පිළිගත් වැඩසටහන් හරහා උපායමාර්ගික හවුල්කාරිත්ව ඇති කරගෙන සිටින බව ද ඔහු සඳහන් කළේය.

තම ආයතනය රට රටවල සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති ඉහළ නැංවීමට දායක වන බවද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස, විශිෂ්ටත්වය සඳහා කටයුතු කරන මෙම ආයතනයේ සම්පූර්ණ පාඨමාලා නවීන පහසුකම් සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ අනාගත නායකයන් බිහිකරන විශිෂ්ට කාර්ය මණ්ඩලයක් මගින් කරන බවද ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළේය.

තම විශ්වවිද්‍යාලය පීඨ 4 කින් සමන්විත වන අතර, ඒවා යටතේ පාසල් සහ දෙපාර්තමේන්තු රැසක් ක්‍රියාත්මක වන අතර එහි උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා 300කට ආසන්න සංඛ්‍යාවක් පවත්වාගෙන යන බවද ඔහු පැවසීය. 

මෙම ආයතනයේ වසර 3ක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරන ශිෂ්‍යයකුට Coventry University හි වසරක කාලයකදී උපාධිය හැදෑරීමට හැකි බවද හෙතෙම කීය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට උපකුලපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මියද එක්ව සිටියාය.