එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත වූ බවට පළවූ ප‍්‍රවෘත්තිය කනවැකුණු සැණින් අපට දැනුණේ ළෙංගතු සහෘදයකු අප හැර ගිය මොහොතක හදවතේ ගැඹුරටම දැනෙන ගැඹුරු වේදනාවය. ඔහු එපමණටම පත්තරයටත්, පත්තර කාර්යාලයටත් බොහෝ ළෙංගතු මිතුරකුව සිටියේය.
දේශපාලනඥයකු මියගිය විට ඔහු පිළිබඳව ගුණකථන ලිපියක් පළවීම සාමාන්‍ය සිදුවීමක් වුවද මෙම සටහන එයින් වෙනස්වන්නකි. එයට හේතුව, මේ සටහන දේශපාලනඥයකු සම්බන්ධයෙන් නොව, පත්තරයටත් පත්තර කාර්යාලයටත් බොහෝ ළෙංගතු සහෘදයකු සම්බන්ධයෙන් ලියැවෙන හෙයිනි.
දේශපාලනඥයෝ බොහෝවිට මාධ්‍යයත් සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කරති. එහෙත් ඒ උත්සාහය ඔහු බලයට පැමිණි පසු නතර වේ. එබඳු ඇතැම් දේශපාලනඥයන් ප‍්‍රවෘත්තියකට අදාළ තොරතුරක් දැනගැනීමට හෝ දුරකථනයෙන්වත් සම්බන්ධ කරගත නොහැකිය. දොස්තර ජයලත් ජයවර්ධන වෙනස් වන්නේ එතැනදීය. ඔහු විපක්ෂයේ මන්ත‍්‍රීවරයකුව සිටියදීත් පත්තර කාර්යාලයට ආවේය. ඒ බොහෝවිට අප රෑ වැඩකරන දිනයන්හිදීය. එසේ පැමිණෙන ඔහු කර්තෘ මාණ්ඩලිකයන් සමග පමණක් නොව අපගේ කාර්යාල කාර්ය සහායකයන් සමග ද සුහද කතාබහක යෙදේ. පිටට තට්ටුවක් දමයි. අසනීපයකට ගැනීමට බෙහෙතක් ලියා දෙයි. ඔහු අපට ”දොස්තර මහත්තයාම” වූයේ එසේය.
2001-2004 ආණ්ඩු කාලයේ ඔහු ඇමතිවරයෙකි. ඇමතිවරයකු වූයේ යැයි කියා ඔහුගේ සිරිත් වෙනස් වූයේ නැත. රෑ දෙගොඩහරි ජාමයේ හෝ ඔහු දුවගෙන එන්නේය. ඒ ආරක්ෂකයන් හෝ නොමැතිවය. ඇමතිකමේ මහන්තත්වය පෙන්නුම් කිරීමේ වුවමනාවක් ඔහුට නොතිබිණි. ඇතැම් විට පෙර සතියේ ඔහු විවේචනයට ලක්කළ පුවතක් හෝ ලිපියක් පළවී තිබුණ ද ඒ පිළිබඳව වචනයක් හෝ ඔහු කතා නොකරයි. ඔහුගේ ඇසුර අපට අපේ රස්සාවට බාධාවක් නුවූයේ එහෙයිනි. ඔහු අපට අපූර්ව මිනිසකු වන්නේ ද එහෙයිනි.
මැදියම් රැයේ වුවද ඔහුව සම්බන්ධකර ගත හැකිය. මාධ්‍යවේදියකුට වෛද්‍ය ප‍්‍රතිකාරයක් අවශ්‍ය වුවහොත් තරාතිරම් හෝ පක්ෂ පාට භේදයක් නොතකා ඔහු එය තමන්ගේ වැඩක් බවට පෙරළාගෙන ක‍්‍රියාත්මක වෙයි. අදාළ ස්ථානවලට කතා කර ”අනේ අපේ පත්තර මිත‍්‍රයෙක් එනවා. අවශ්‍ය දේවල් කරන්න” ඔහු ක‍්‍රියාත්මක වන්නේ එහෙයිනි.
හදිසියේ දිවි ගමනෙන් සමුගෙන තිබෙන්නේ ඔහුය. බලයේ සිටියදීත් විපක්ෂයේ සිටියදීත් නොවෙනස්ව කටයුතු කිරීම වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් වෙතින් පළ නොවන දුර්ලභ ගුණයකි. ඇමති ධුරය දරන සමයේදීත් පත්තර කන්තෝරුවලට ගොඩවැදී දුක සැප විමසා ගිය එකම ඇමැතිවරයා ඔහු විය හැකිය. පත්තර ජීවිතයේ මට ඔහු කිසිදා අමතකව නොයන දේශපාලන චරිතයක් බවට පත්වන්නේ එම පසුබිම තුළය.
ඔහු උපතින් කතෝලික බැතිමතෙකි. එහෙත් ඔහු කිසි විටෙකත් පටු ආගම්වාදී ගොහොරුවේ නොගිලූනේය. ඔහු භික්ෂූන් වහන්සේලා සමග ඉතා සමීප සබඳතාවක් පැවැත්වීය. ඇතැම්විට ඔහු බෞද්ධයකු යැයි වරදවා වටහා ගැනීමට පෙළඹෙන තරමට ඔහු පන්සල ළඟින් ඇසුරු කළේය. එමෙන්ම ඔහු නිර්දය විවේචනවලට ලක්වූ අවස්ථා ද විය. එහෙත් කිසිවිටෙකත් ඔහු සැලූනේ නැත. ”දේශපාලනය කරනවා නම් ඕවා දරාගන්න වෙනවා” ඔහු නිතරම කීවේය. එබඳු දේශපාලනඥයන් ද අද හිඟය.
ජයලත් ජයවර්ධන නමැති දේශපාලනඥයා අකල්හි දිවි ගමනින් සමුගැනීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය තුළ මහා හිඩැසක් නිර්මාණය වන්නේ එහෙයිනි. එහෙත් මරණය වෙනස් කළ නොහැකිය. ඇරැයුම ලැබුණු කල්හි ඒ ගමන යා යුතුය. ඔහු අද ගියේ ඒ ගමනය.
ඔබට සුවබර රාත‍්‍රියක්!
ආරියනන්ද දොඹගහවත්ත