අල්ලසට එරෙහි සටනේ වියට්නාම ආදර්ශය


ප්‍රසම්පාදන රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ අල්ලස් ලබාගැනීම යන චෝදනාවලට වරදකරුවන් වූ හිටපු අමාත්‍යවරුන් දෙදෙනකුට අධිකරණය මගින් වසර 18ක සහ වසර 03ක සිරදඬුවම් පමුණුවා ඇතැයි පසුගියදා මාධ්‍ය ඔස්සේ හෙළිකර තිබිණි. අප කලබල විය යුතු නැත. එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ නොවේ. වියට්නාමයේය.

වසර 18 සිර දඬුවම නියම වී තිබුණේ එරට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාටය. හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාට සහ එම අමාත්‍යංශ නියෝජ්‍ය අමාත්‍යවරයාට නියම කෙරුණේ වසර 03 බැගින් සිරදඬුවමකි. එපමණක් නොව එකී දඬුවම් ලැබීමට හේතු වූ දූෂණ ක්‍රියාවට හවුල් වූ බවට චෝදනා ලද අදාළ සමාගම් සහ අමාත්‍යාංශ දෙකේ නිලධාරීන් 37 දෙනකුට ද මාස 20 සිට අවුරුදු 13 දක්වා සිර දඬුවම් නියම විය.

වියට්නාමය සමඟ සසඳන කල ලංකාවේ මෙතෙක් කාලයක් හිටපු අමාත්‍යවරුන් නම් හැබෑම වාසනාවන්තයෝ වෙති. මොනම බරපතළ ගණයේ වරදකට හසු වුව ද ඔවුන්ට කවදාවත් සිර දඬුවම් විඳින්නට සිදුවන්නේ නැත. ඉඳහිට සති කිහිපයක් රිමාන්ඩ් සිරභාරයේ කූරු  ගණින්නට සිදුවුව ද ඒ බොහොමයක් පසුපස තිබුණේ දේශපාලන කාරණා මිස රටේ අපරාධ නීතිය යටතේ එල්ල කෙරුණු නිසි පරිදි සැකසුණු සාක්ෂි මත ගොඩනැගුණු අපරාධ චෝදනා නොවේ. අප රටේ ඇතැම් ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ද කිව යුත්තේ මේ ටිකම ය.

ඉහත කී දඬුවම් ලද අමාත්‍යවරුන්ට චෝදනා එල්ල වී තිබුණේ කොවිඩ් වසංගතය පැවති කාලයේ දී කොවිඩ් රෝග පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ ද ඒ හා සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන ලොක්කන්ට ද නිලධාරීන්ට ද චෝදනා එල්ල විය. පෞද්ගලික සමාගම්වල නම ද එම චෝදනාවලට ඈඳී තිබිණි. ඒ කාලයේ ඇතැම් පුද්ගලයෝ තමන් බරපතළ සූරාකෑම්වලට ලක්වී යැයි ප්‍රසිද්ධියේ බලධාරීන්ට චෝදනා එල්ල කළහ. කොවිඩ් උපකරණ කට්ටල සහ එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොර වී යැයි ද වෙනත් බොහෝ රටවල් එන්නත් මිලදී ගැනීමේදී වැයකළ මුදල සහ අපේ රට වැයකළ මුදල අතර විශාල පරතරයක් පැවති බවට සංඛ්‍යාලේඛනවලින් පවා තොරතුරු හෙළි වී යැයිද ප්‍රකාශ වූ නමුත් ඒ චෝදනා එතැනින් එහාට ගියේ නැත. ඒ නිසා නඩු වැටුණු කිසිවකුත් නැත. දඬුවම් ද නැත. ඒ වාසනා චක්‍රය ඇතුළේ දේශපාලකයෝ ද නිලධාරීහු ද සිටියහ.

ලෝකයේ ඉතා දැඩිව නීති රීති පනවා දූෂණය, වංචාව සහ අල්ලස ශූන්‍ය තත්වයට පත්කළ ප්‍රධානම රට වශයෙන් සැලකෙන්නේ සිංගප්පූරුවයි. එහි නිර්මාතෘවරයා වූ ලී ක්වාන් යූ වරක් දූෂණය සහ වංචාව හඳුන්වා දී තිබුණේ අපරාධයක් වශයෙනි. එම අපරාධය විසින් අප විනාශයට පත් කිරීමට පෙර අප විසින් එම අපරාධය වනසා දැමිය යුතු බව ඔහුගේ දැක්ම වී තිබිණි. රටක් දූෂිත වන විට එහි බලපෑම්වලින් වඩාත්ම පීඩාවට පත්වන්නේ පොදු මිනිසා බව ද ඔහු පෙන්වා දුන් අතර, දූෂණය, වංචාව සහ අල්ලස තම රජය කිසිසේත් නො ඉවසන බව ද ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ ය.

එහෙත් අපේ රටට මේ කිසිවක් අදාළ බවක් පෙනෙන්නේ නැත. ලොව හොඳම දූෂණයට සහ වංචාවට එරෙහි අණපනත් අප විසින් සකසා ඇතැයි අපේ නායකයන් ප්‍රකාශ කරනවිට අපට ආර්ථික සහන ලබාදීමට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව හැඳින්වූයේ දූෂණය සහ වංචාව ඉහ වහා ගිය රටක් හැටියට ය. එවන් රටක් ආර්ථික වශයෙන් බංකොලොත්වීම ගැන පුදුම විය යුතු ද?

මේ සම්බන්ධයෙන් උදාහරණ සෙවීමට වැඩි ඈතකට යා යුතු නැත. පසුගියදා හෙළි කෙරුණු බාල බෙහෙත් මගඩියම එයට කදිම උදාහරණයක් සපයා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම බලධාරීන් ගණනාවක් මේ වනවිට රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටියත් එහි ප්‍රධානම මොළකරුවන් සහ තීන්දු ලබාදීමට නියෝග දුන් දේශපාලකයන්ට එරෙහිව තවමත් පියවරක් ගෙන නැත. මේ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් අපි වැඩිදුර තොරතුරු සඳහන් කිරීමෙන් වැළකී සිටිමු. එහෙත් ඉදිරියේ දී හෝ මෙවැනි ආකාරයේ බරපතළ වැරැදි තුරන් කර දැමීමට නම් දූෂණයට සහ වංචාවට එරෙහිව නීතිය තදින් ම ක්‍රියාත්මක විය යුතු ය. එය දේශපාලකයාට හෝ පොදු මිනිසාට හෝ කියා වෙනස් නොවිය යුතු ය.

ලී ක්වාන් යූ වරක් ප්‍රකාශ කළේ රටක දූෂණය, වංචාව සහ අල්ලස තුරන් කිරීමට නම් එම සටන ඇරඹිය යුත්තේ රාජ්‍ය නායකත්වයට සමීපතම පුද්ගලයන්ගෙන් බව ය. ඒ සිංගප්පූරුවේ ය. දැන් වියට්නාමය ද එම ආදර්ශය ලබාදී තිබේ. එහෙත් මේ ශ්‍රී ලංකාව ය.

(***)