අල්ලස් ගැනීම්, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධ පැමිණිලි 3255 ක් මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට නොවැම්බර් මස 21 වැනිදා දක්වා කාලය තුළ අල්ලස් කොමිසමට ලැබී ඇතැයි එම කොමිෂම් සභා ආරංචි මාර්ග පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
එම ප්‍රවෘත්තියට අනුව අල්ලස් කොමිසමට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මහජනයා සමග නිරන්තරයෙන් ගැටෙන රාජ්‍ය ආයතනවලට අදාළව වන අතර පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි සියයකට ආසන්න සංඛ්‍යාවක් ද විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි පනහකට ආසන්න සංඛ්‍යාවක් ද මේ වසරේ ලැබී තිබේ. පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කම්කරු කාර්යාල යන රජයේ ආයතනවලට එරෙහිව ද පැමිණිලි විශාල වශයෙන් ලැබී තිබේ.
අල්ලසට, දූෂණයට කිසිවෙක් කැමති නැත. එහෙත් එහි පහසු ගොදුරු බවට ඇතැමෙක් පත්වෙති. එයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අධිපරිභෝජනවාදී ජීවන රටාව ය. ආදායම හා වියදම තුලනය කරගත් අපිස් ජීවිතයක් සම්බන්ධ පෙළඹවීම ආගම දහම තුළ කොතෙක් තිබුණ ද ඒවා ජීවිතය තුළ යථාර්ථයක් බවට පත්කර ගැනීමට පවතින පරිභෝජනවාදී සමාජය තුළ ඉඩක් නැත. එහෙයින් බොහෝ දෙනෙක් ආදායමේ සීමාව ඉක්මවා ගිය වියදමකට පෙළඹෙති. එම අඩුව පිරිමසා ගැනීමට සාදා නිමකළ දැහැමි මාවතක් නැත. එක්කෝ සිඟමන් යැදිය යුතුය. නැතහොත් අල්ලසට, දූෂණයට, අයථා ලෙස වත්කම් ඉපැයිය යුතුය. පහසුම මග එය වන හෙයින් ඇතැමෙක් එයට යොමුවෙති.
පවතින දැවැන්ත ආර්ථික අර්බුදය සමාජයේ සන්සුන් සංහිඳියාවත් ජනයාගේ පැවැත්මත් බරපතළ ලෙස අභියෝගයට ලක්කර තිබේ. ජනයාගේ ඉපැයීමට වඩා හත් අට ගුණයකින් වියදම වැඩි වී තිබේ. එය ජනයාගේ වරදක් නොවේ. අමතර ආදායම් මාර්ග වැසී ගොසිනි.
2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් රජයේ සේවකයන්ට මසකට රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමක් යෝජනා කර තිබේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරය මුදල් සොයා ගනු ලබන්නේ වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමෙනි. එම වැට් බද්ද වැඩි කිරීමෙන් පසුව රජයේ සේවකයකු එක් මසකට අමතර වශයෙන් රුපියල් දොළොස් දහසක් ගෙවිය යුතු බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. වැඩි වන්නේ රුපියල් දස දහසකින් වුවද එම රජයේ සේවකයා වැඩිවන ගණනට වඩා රුපියල් දෙදහසක් වියදම් කළ යුතුය.
මෙම කරුණු කාරණා දෙස බැලීමේ දී ආර්ථික අර්බුදය ඉතා බරපතළ බව පැහැදිලි ය. එමෙන් ම ඒ වෙනුවෙන් නිර්දේශ වන ඇතැම් විසඳුම් ද ප්‍රායෝගික නැත. හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව ඒකාන්ත සත්‍යයකි. අල්ලසට, දූෂණයට, අයථා ඉපැයීම්වලට බලපාන හේතු නිරුපද්‍රිතව තිබියදී ඒවායෙහි නියැලෙන්නන් කූඩු කිරීමෙන් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.
මීට පෙර රටේ බොහෝ සොරකම් ‘කුඩ්ඩන්ගේ’ ගිණුමට බැර විය. එහෙත් වර්තමානය වන විට දරුවන්ගේ බඩගින්න නිවා දැමීම වෙනුවෙන් ඇතැමෙක් සොරකම්වලට පෙළඹී සිටිති. එහි තාර්කික ප්‍රතිඵලය වන්නේ අපරාධ බහුල රටක් නිර්මාණය වීමය. ප්‍රශ්නය එයට හිමි නිසි බරින් හඳුනාගත යුතු වන්නේ එහෙයිනි.
(***)