පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ‘‘ප්‍රතිපත්ති ප්‍රකාශනයේ’’ ප්‍රධාන කරුණු කිහිපයක් අන්තර් ගතව තිබිණි.
අර්බුදයට ලක්ව තිබූ ආර්ථිකය නිසි මඟට ගෙන තමන් ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් දුන්නේය යන්නත්, කෙසේ වෙතත් දැනට පවතින තත්වයෙන් සෑහීමට පත්විය නොහැක්කේ ඩොලර් බිලියන 91ක ණය කන්දරාවක් ගෙවීමට ඇති නිසාය යන්නත් එහෙයින් රටේ සියලු පක්ෂ එක්වී රට ගොඩ නැඟිය යුතුය යන්නත් එම ප්‍රධාන කරුණු කිහිපයයි.
තමන් නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය හැකි නම් සමඟි ජනබලවේගයට හා ජාතික ජන බලවේගයට එසේ ආණ්ඩුව සමඟ එක්විය නොහැකි මන්දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.
සමගිය නරක දෙයකැයි කියන්නට ලෝකයේ වංකම පුද්ගලයා හෝ ඉදිරිපත් නොවනු ඇත. පාසලේ ගුරුවරු ද ආගමික ප්‍රධානීහු ද සමගියේ වටිනාකම ගැන දරුවන්ට උගන්වති. එහෙයින් සියල්ලන් සමඟිව රට ගොඬනැගිය යුතු යැයි කියන විට එය එක්වරම නිරපේක්ෂ අර්ථයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකිය.
බොහෝ ගම්වල ගොවීහු සමඟියෙන් එක් වී එකිනෙකාට උපකාර කර ගනිමින්, අත්කම් ක්‍රමය වැනි ක්‍රම අනුව තවමත් වහා කටයුතු කරති. ඇතැම් ප්‍රදේශවල මව්පියන් එක්වී තම දරුවන් ඉගෙන ගන්නා පාසලේ ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි කටයුතු කරති. මේවා සමඟියේ ප්‍රතිඵලයි.
එහෙත් දේශපාලනයේ දී එවැනි සමඟියක් ප්‍රායෝගික ද යන ප්‍රශ්නය මතුවේ. සෝවියට් දේශය, චින සමාජවාදී සමූහාණ්ඩුව වැනි රටවල කෘෂිකාර්මික සමුපකාර සංවිධාන තුළ මෙවැනි සමඟියක් ක්‍රියාත්මක වූ බව කියවෙන අතර එය බොහෝ දුරට සාර්ථක වූ බවද කියවේ. එහෙත් ඒවා අද වන විට වෙනස් වී තිබේ.
ධනවාදී සමාජ ආර්ථික ක්‍රමයක් ඇති දූෂණය ඉහවහා ගිය දේශපාලනඥයන් සම්පත් කොල්ල කෑමේ පොරයක නිරත වී සිටින ශ්‍රී ලංකාව වැනි රටක දේශපානඥයන් සියලු දෙනාම එක් වී සමගියෙන් රට ගොඩනැඟීම ගැන කතා කිරීම පවා වංචාවකි. අනෙක් අතට රට ගොඩ නැඟීමට එක්වීම යන්නෙන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ අදහස් කරන්නේ කුමක්ද? ආර්ථිකය ගොඩ නැඟීමට අදාල වගකීම් බෙදාහදාගෙන එම වගකීම් ඉටු කිරීම ද? එසේ නොවේ නම් ඇමැති ධුර වැනි නිලතල බෙදා ගැනීම ද එසේත් නැත්නම් නිලතල නැතත් ආණ්ඩුවේ සියලු කටයුතු අනුමත කරමින් සිටීම ද?
පෙනෙන අන්දමට නම් ඔවුන් විපක්ෂය වෙතින් අපේක්ෂා කරන්නේ දෙවැන්න හෝ තුන්වැන්නයි. තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමැතිකම් දෙන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වසර එක හමාරක් තිස්සේ කරන ඉල්ලීම ජනාධිපතිවරයා ඉටු නොකරන හෙයින් එක්ව රට ගොඩනැගීම යන්නෙන් වගකීම් බෙදා හදාගෙන ඒවා ඉටුකිරීම හෝ හුදෙක් ඇමැතිකම් බෙදාගෙන නිහඬව සිටීම හෝ අදහස් නොකෙරෙන බව පෙනේ. ඔවුන් අදහස් කරන්නේ විපක්ෂය විවේචනයෙන් තොරව තමන්ගේ සියලු කටයුතු අනුමත කළ යුතුය යන්නයි.
එජාපට හා පොදුජන පෙරමුණට එක්විය හැකි නම් අනෙක් පක්ෂවලට එසේ කළ නොහැක්කේ මන්දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළද 2022දී එම පක්ෂ දෙක එක්වූයේ රට ගොඩ ගැනීම හෝ ගොඩ නැඟීම සඳහා ද නැත්නම් එම පක්ෂ දෙකේ පැවැත්ම රැක ගැනීම සඳහා ද යන ප්‍රශ්නය මතු කළ යුතුව ඇත.
අනෙක් කාරණය නම්, 2022 දී රට ගොඩ නැඟීම සඳහා එක්වන්නැයි එවක සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම එජාපය හෝ පිළිගත්තේ නැත.
2022 මාර්තු තුන්වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව විවේචනය කිරීම නිසා විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන දෙදෙනා ඇමැති ධූරවලින් නෙරපීය. එහෙත් ආර්ථික අර්බුදය නිසා කරකියා ගත නොහැකිව සිටි ජනාධිපතිවරයා එම දෙදෙනාගේ පක්ෂ ඇතුළු පක්ෂ 11ක නායකයන්ගේ ඉල්ලීම පරිදි අප්‍රේල් 1 වැනිදා ඔවුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඔවුන්ගේ යෝජනාව වූයේ සියලු පක්ෂවලින් සමන්විත අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා පසුව මහ මැතිවරණයක් පැවැත්වීමය. ඔවුන්ගේ අරමුණ කුමක් වුව ද ජනාධිපතිවරයා එම යෝජනාව පිළිගත්තේය.
ඔහු එදිනම තම සහෝදරයා වූ අගමැතිවරයා (මහින්ද රාජපක්ෂ මහතා) හැර අනෙක් සියලු ඇමැතිවරුන්ට ඉල්ලා අස්වන්නට උපදෙස් දී ඔවුන් එසේ කළ පසු ආණ්ඩුවට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළේය. එජාප ඇතුළු විරුද්ධ පක්ෂ එය පිළිගත්තේ නැත. යෝජනාව කළ පක්ෂ හෝ ඊට ඉදිරිපත් නොවුයේ රටපුරා විරෝධතා පැතිර යාම නිසාය. එජාප එදා සමඟිය සඳහා වූ එම යෝජනාව නොතකා හැර ‘‘ගෝඨා ගෝ හෝම්’’ විරෝධතාවට එක් විය.
තවත් අපූරු කරුණක් නම් ඉන් සති හයකට පසු මැයි 12 වැනිදා අගමැති ධුර භාර ගත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පසුවත් ගෝඨා ගෝ හෝම් උද්ඝෝෂණයට සහාය දෙන බව ප්‍රකාශ කිරීමය. ‘‘ගෝඨා ගෝ ගමට’’ අවශ්‍ය පහසුකම් සලසන ලෙස තමන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට උපදෙස් දුන් බවත් එම කටයුත්ත සඳහාම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා යටතේ කමිටුවක් පත් කරන බවත් ඔහු නිවේදනය කළේය. මෙරට නීතිය අනුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වුවහොත් අගමැතිවරයා තාවකාලිකව හෝ එම ධුරයට පත් වෙයි.
ඉන් පසු අරගලය යනුවෙන් එවක පොදුවේ හැඳින්වුණු මහජන උද්ඝෝෂණ උත්සන්න විය. ජූලි 9 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටෙන් පලා ගියේය. 14වැනිදා සිංගප්පූරුවේ සිට ඉල්ලා අස් විය. විය යුතු පරිද්දෙන් වික්‍රමසිංහ මහතා තාවකාලික ජනාධිපති ධුරයට පත් විය. ඔහු අරගලකරුවන්නට පහරදී පළවා හරින්නට හමුදාවට උපදෙස් දුන්නේය. ඒ අනුව ඔහුම පාර්ලිමේන්තු ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත් කරන්නට පොදු ජන පෙරමුණ තීරණය කළේය.
පක්ෂ දෙක එක්වූයේ එසේය. එය දෙපාර්ශ්වයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් විනා රට ගොඩනැගීමේ හෝ ගොඩනැඟීමේ සැලැස්මක් අනුව සිදු වුවක් නොවීය.
පොදුජන පෙරමුණට කෙසේ හෝ බලය රැක ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමේ අවශ්‍යතාවක් ඔවුන් තුළ නොතිබුණ ද මහජන විරෝධය හමුවේ තමන්ගෙන් කෙනකු එම ධුරයට පත් කිරීමට ද ඔවුන් තුළ ධෛර්යක් නොවීය. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට හෝ නොහැකි වූ වික්‍රමසිංහ මහතාට ද ජනාධිපතිවීමේ අවස්ථාව පෑදිණි. එය අත්හරින්නට ඔහුට ද අවශ්‍ය නොවීය. අරගලය මර්දනය කිරීම නිසා දෙපාර්ශ්වය වඩාත් සමීපව ද සිටියහ.
පක්ෂ දෙක ආණ්ඩු පක්ෂය ලෙස එක් වූයේ එසේය. රට ගොඩ ගැනීම හෝ ගොඩනැඟීම පිළිබඳ දෙපාර්ශ්වය අතර වූ එකඟතාවක් මත එය සිදු වූයේ නැත. අඩු තරමින් එවැනි සාකච්ඡාවක් හෝ එහිදී සිදු වූයේ නැත.
එසේම තමන් අතර ප්‍රතිපත්තිමය හෝ ක්‍රියාමාර්ගික එකඟතාවක් නැතැයි ලෝකයට කියාගන්නට දෙපාර්ශ්වයටම ඉන්පසු අවශ්‍ය විය. වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ සැණින් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීමේ දී ඔබ රාජපක්ෂවරුන්ගේ මිත්‍රයෙකැයි විදේශ ජනමාධ්‍යවේදියකු දැක්වූ අදහසට ඔහු විරෝධය පෑ අතර මම රාජපක්ෂවරුන්ට මුල සිටම විරුද්ධ වූ අයෙකැයි කීවේය. එදිනම ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ඡන්ද දුන්නේ කාටදැයි ජනමාධ්‍යවේදියකු පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමන් ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දුන් බවය. දෙදෙනාගේ මේ ප්‍රකාශ දෙකම අසත්‍ය බව රටම දැන සිටියත් ඒවා අසත්‍ය බව ඔප්පු කළ නොහැකි හෙයින් එම ස්ථානවලදී විවාදාත්මක තත්වයක් ඇති නොවීය.
ඉන්පසුද තමන් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් පක්ෂ දෙකකැයි පෙන්වා ගැනීමට දෙපාර්ශ්වයම උත්සාහ කරන අතර හාස්‍යජනක ලෙස ප්‍රායෝගික තලයේදී එක්ව කටයුතු කරති. තමන් ආණ්ඩුවේ ඉහළ බදු අය කිරීමේ ප්‍රතිපත්තියට විරුද්ධ යැයි මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දෙසැම්බර් 20වැනිදා විශේෂ ප්‍රකාශයකින් කියා සිටියේය. එහෙත් ඒ වනවිටත් ඔහුගේ පක්ෂය දෙසැම්බර් 11 වැනිදා වැට් හෙවත් අගය එකතු කිරීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරිම සඳහා ඡන්දය දී තිබිණි. එය පමණක් නොව ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත ඇතුළු සෑම දෙයක්ම සම්මත වන්නේ පොදුජන පෙරමුණේ ඡන්දයෙනි. ඒ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරද්දීය.
මෙය ප්‍රතිපත්තිමය එකඟතාවක් නොව පැවැත්ම සඳහා වූ එක්වීම කැයි පෙනි යන්නේ ඒ අනුවය. පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය නිසාම මෙම එක්වීම බොහෝ විට ඉදිරි ජනාධිපතිවරණයේදී දැකගත හැකිවනු ඇත.
සමඟිය සම්බන්ධයෙන් කතා කිරිමේදී වැදගත් කාරණා දෙකක් වන්නේ සමගියට ආරාධනා කරන ආණ්ඩුව විරුද්ධ පක්ෂ හා විරුද්ධ මතධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හා සමගි වී ක්‍රියාත්මක කරන්නට යන වැඩපිළිවෙළ කුමක්ද යන්නයි.
පළාත් පාලන මැතිවරණ සඳහා දින නියම කරනු ලැබ තිබියදීත්, එම මැතිවරණ සඳහා වෙන් කරන ලද මුදල් රඳවා නොගත යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කොට තිබියදීත් විධායකයේ බලතල මඟින් එම මැතිවරණ පැවැත්විය නොහැකිව තිබේ. මෙය විපක්ෂයේ බලාපොරොත්තු සුන් කළ ක්‍රියා මාර්ගයකි. එසේම ත්‍රස්ත විරෝධි පනත, මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත ආදිය තම ප්‍රකාශන නිදහසට තර්ජනය කැයි විපක්ෂය හා විරුද්ධ මතධාරීහු බිය වී සිටිති. සමගිය පිළිබඳ ආරාධනාව එන්නේ ඒ පසුබිම තුළය.
වඩා වැදගත් වන්නේ රට ගොඩනඟන්නට ආණ්ඩුව සතුව ඇති වැඩ පිළිවෙළ කුමක්ද? යන්නයි. දැනට ආණ්ඩුව සතුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩ පිළිවෙළ පමණි. ඒ යටතේ දැනට ක්‍රියාත්මක වන්නේද රාජපක්ෂ මහතා මූල්‍ය අරමුදලේ සහාය පතන්නට පෙරම එම අරමුදල 2022 පෙබරවාරි මාසයේ ඉදිරිපත් කළ බදු ආදායම ඉහළ දැමීම වියදමට සරිලන අයුරින් විදුලි හා තෙල් මිල ඉහළ දැමීම රාජ්‍ය ව්‍යාපාරික ආයතන පෞද්ගලීකරණය වැනි යෝජනාය.
මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ යටතේ ණය ගන්නට තැනක් නැතිව සිටි රටට ණය ගන්නට අවස්ථාව සෑදුණ ද ණය ගෙවීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරගත යුත්තේ ආණ්ඩුවයි. එවැනි වැඩ පිළිවෙළක අවශ්‍යතාව හා එවැන්නක් නැති වුවහොත් ඇතිවන අනතුර පිළිබඳව ජනාධිපතිවරයාද 7 වැනිදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී සඳහන් කළේය.
එසේ වැඩ පිළිවෙළක් නැත්නම් කළ යුත්තේ පැවැත්ම සඳහා එජාප හා පොදුජන පෙරමුණ එක්වුවා සේ අනෙක් පක්ෂ ද එක්වීම නොවේ. සියලු පක්ෂවලට සම්බන්ධ විශේෂඥයන් එක්වී රට ගොඩ නැඟීම සඳහා වූ විද්‍යාත්මක වැඩ පිළිවෙළක් සකස් කිරීමය. එවැන්නක් සිදු නොවන බව ද ඉතා පැහැදිලිය.
මෙවැනි තත්වයක් යටතේ අවශ්‍ය වන්නේ හුදු සමඟියේ නාමයෙන් එක්වීමක් නොව වගකීමෙන් යුත් හා බලපෑම් කළ හැකි ශක්තිමත් විපක්ෂයකි.
(***)
එම්.එස්.එම්. අයුබ්